මේක මගේ අතිශය පෞද්ගලික පේ‍්‍රමයක් මහාචාර්ය සුනිල් ආරියරත්න

‘සුළු කළිඟු දාවත’ වැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් මෙවැනි මොහොතක එළිදැක්වීමට හේතුව කුමක්ද?

ඔබ අදහස් කරන දේ හරි. පොතක් එළිදකිනවා නම් ඒක කාලයට ගැළපෙන, යුගයට අවශ්‍ය පොතක් විය යුතුයි. ඒ අනුව බැලූවම මේ කෘතිය කාලයට නොගැළපෙන, යුගයට අවශ්‍ය නොවන අනවශ්‍ය වෙලාවක නිකුත්වෙන පොතක් හැටියට තමයි මං හිතන්නේ. මොකද කිසිදු ආකාරයක සම්භාව්‍ය සාහිත්‍යය ගැන උනන්දුවක් නැති යුගයක් තමයි මේක. විශ්වවිද්‍යාල මට්ටමෙන්වත් එවැනි උනන්දුවක් නැහැ. එතැන තත්ත්වෙත් එහෙම නම් අනිත් පාඨක ලෝකය ගැන කියන්න දෙයක් නැහැනේ. ඒ ගැන කියනුම කවරේද?

මේක ඇත්තටම මගේ අති පෞද්ගලික වුවමනාවක්. ඒ වගේම විචිත‍්‍ර සිහිනයක් සැබෑ කරගන්න තිබුණු වුවමනාවක් පිටකර ගැනීමක් විතරයි. මේක මට හැර වෙන කාටවත් වැදගත් වන දෙයක්ද කියලා මම නම් දන්නේ නැහැ. මේක මට පෞද්ගලිකව සතුටු විය හැකි දෙයක්. මොකද මම බොහෝ කාලයක් තිස්සේ දැකපු හීනයක් තමයි ‘සුළු කළිඟු දාවත’ නමින් කෘතියක් මගෙ ජීවිත කාලේදී කවදා හෝ නිකුත් කරන්න. ඒ සිහිනය ඵලදැරීමක් තමයි මේ සිද්ධවෙන්නේ.

ඔබ ඒ කෘතියට එතරම් ආකර්ෂණය වීමට හේතුව කුමක්ද?

මේක 1960 ගණන්වල මම පාසල් ශිෂ්‍යයෙක් වශයෙන් ඉන්න කාලේ ‘සුළු කළිඟු දාවත’ නමැති ප‍්‍රබන්ධයට ඇතිවෙච්ච පේ‍්‍රමයක ප‍්‍රතිඵලයක්. බඹ තෙමේහෙ සඳින් සොමි ගෙනැ…’ කියන කුමරි වර්ණනාව ඒ කාලේ මගේ හිත තදින්ම ඇද බැඳ ගත්තා. ඒ පාඨයෙහි කියන්නේ නුඹව මවන්න මහා බ‍්‍රහ්මයා සඳෙන් සෞම්‍ය ගුණය ගත්තා. රන්පාට වර්ණවලින් ප‍්‍රසන්න ගුණය ගත්තා. වනමල්වලින් පියයුරු මැව්වා. නෙළුම් මල් දෙකක් අරන් ඉන් එක නෙළුම් මලක් ඉරලා නුඹගේ දෑත් මැව්වා. අනික් නෙළුම් මල ඉරලා නුඹගේ දෙපා මැව්වා. මේ ආදී වශයෙන් ස්ත‍්‍රියගේ විවිධ අංග ප‍්‍රත්‍යංග මවපු මහා බ‍්‍රහ්මයා නුඹගේ හදවත ගලක් කළේ ඇයි? කියන එක ඒ ෙඡ්දයෙන් ප‍්‍රකාශ වෙනවා. මේ ෙඡ්දය මම කොහෙදි හරි දැක්කා. ඊට පස්සේ මේ ෙඡ්දය තියෙන්නේ කොහෙද කියලා මම හෙව්වා. එතකොට කවුදෝ කෙනෙක් මට කිව්වා ඒක තියෙන්නේ ධර්ම ප‍්‍රදීපිකාව කියන පොතේ කියලා. මම පුස්තකාල පීරලා ධර්ම ප‍්‍රදීපිකාව හොයා ගත්තා. පොතේ හැම පිටුවක්ම පෙරළුවට සුළු කළිඟුදාවත මට හොයාගන්න බැරිවුණා. මට දකින්නට ලැබුණේ නීරස පාලි පාඨ රාශියක් හා නීරස සංස්කෘත ශ්ලෝක රාශියක් විතරයි. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී සිංහල විශේෂවේදී උපාධිය කරන කොට මෙන්න නැවත මට ‘සුළු කළිඟු දාවත’ හම්බ වෙනවා. එතකොට තමයි මට තේරෙන්නේ ධර්ම ප‍්‍රදීපිකාව කියන්නේ ගුරුළුගෝමි පඬිවරයා රචනා කරපු පරිකතාවක් කියලා. අපේ රටේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යය කියලා සාහිත්‍යයක් තියෙනවා. මේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යය කියලා කියන්නේ සන්න, ගැටපද, පරිකතා, ටීකා, ටිප්පනි, පිටපොත් යන නම්වලින් හැඳින්වෙන සාහිත්‍යයක්. මේවයින් කෙරෙන්නේ යම් යම් පොත්වල තියෙන අමාරු වචනවලට තේරුම් දීමයි. ඒ වගේ ධර්ම ප‍්‍රදීපිකාව කියලා කියන්නේ පාලි මහා බෝධි වංශයේ වචන 200 ගණනකට ලියපු පරිකතා රාශියක්. ඒ පරිකතා අතුරින් එකක් තමයි ‘සුළු කළිඟු දාවත’ කියලා කියන්නේ. දන්තපුරයේ සුළු කළිඟු කුමාරයා දන්තපුරයේ රජවූ හැටි කියන පාඨයට ලියපු පරිකතාවක් තමයි ‘සුළු කළිඟු දාවත’ කියලා තමයි මට තේරුම් යන්නේ. හැබැයි විශ්වවිද්‍යාලයේදී ‘සුළු කළිඟු දාවත’ ට මට ඇතිවෙච්ච පේ‍්‍රමය නැතිවෙලා ගියා.

ඒ ඇයි?

අවංකවම කියනවා නම් පොඩි කාලේ මම අර කෙටි පාඨයක් කියලා ලබපු රසය විශ්වවිද්‍යාලයේදී ලැබුවේ නැහැ. 70 දශකයේදී යාපනය විශ්වවිද්‍යාලේ සිංහල අංශය පටන් ගන්නවා. සිංහල අංශයේ ආරම්භක කථිකාචාර්යවරුන් වශයෙන් පත්වෙලා යන්නේ මාත් ධර්මසේන පතිරාජත්. අංශ ප‍්‍රධානියා මහාචාර්ය සුචරිත ගම්ලත්. මම යාපනය විශ්වවිද්‍යාලයට යන්නේ නූතන සාහිත්‍යය උගන්වන්න හිතාගෙන. ඒත් මහාචාර්ය ගම්ලත් මට සම්භාව්‍ය සාහිත්‍යය උගන්වන්න කියලා පතීට නූතන සාහිත්‍යය භාර දෙනවා. අකමැත්තෙන් වුණත් මට පැරණි සාහිත්‍යය භාරගන්න වෙනවා. බැරිවෙලාවත් පතී කිව්ව නම් ඔබ උගන්වන්න නූතන සාහිත්‍යය මම උගන්වන්නම් පැරණි සාහිත්‍යය කියලා අද මගේ අතින් මේ පොත බිහිවෙන්නේ නැහැ. ඒ නිසා මේ පොත බිහිවීමට පතීත් විශාල ආධාරකයක් වෙනවා. හැබැයි ඔහු මේ මොහොත වෙනකොට අපිව අතහැර ගිහිල්ලා. මහාචාර්ය ගම්ලත්ද අද අප අතර නැහැ. මහාචාර්ය ගම්ලත් මට උගන්වන්න නියම කරන්නේ ‘කව් සිළුමිණ’ හා ‘සුළු කළිඟු දා වත’යි. හැබැයි මම මහාචාර්ය ගම්ලත්ට කිව්වා මම මේක උගන්වන්න දන්නේ නැහැ කියලා. ඔබට මම උගන්නන්න උගන්නන්නම් කියලා ඔහු ‘කව් සිළුමිණ’ යි ‘සුළු කළිඟු දා වත’යි උගන්වන විදිය මට කියල දුන්නා. අන්න ඒ මොහොතේදී පාසල් කාලේදී මියගිය මගේ පේ‍්‍රමය නැවත පටන් ගන්නවා. පුදුම විදියට මේ කෘති දෙක කෙරෙහි මම ආශක්ත වෙනවා. මොනතරම් ආසාවක් ඇතිවුණාද කියනවා නම් විශ්වවිද්‍යාලයෙන් විශ‍්‍රාම යනතුරුම මේ කෘති දෙක මම ශිෂ්‍යයන් සමග බෙදා හදා ගත්තා. ඒ කාලේ මේ පොත් දෙක තුළින් මම ලබපු ආස්වාදය පොදු පාඨකයන් සමගත් බෙදා හදා ගන්න ඕන කියලා හිතපු නිසා තමයි මේ කෘතිය අද බිහිවෙන්නේ.

මොකද්ද මේ පරිකතාව හා ගද්‍ය කාව්‍යයය කියන්නේ?

‘සුළු කළිඟු දා වත’ පරිකතාවක්. ඒ වගේම තමයි එය ප‍්‍රථම සිංහල ගද්‍ය කාව්‍ය වශයෙන් තමයි මා හඳුනා ගත්තේ. ‘පරි’ කියන වචනයෙන් කියවෙන්නේ හාත්පස කියන අර්ථයයි. කතා කියන්නේ කතාන්දරය. එතකොට ගුරුළුගෝමීන් කරන්නේ වචනවලට එකිනෙක විදියට කතා සම්පාදනය කිරීමයි. එහෙම නැත්නම් තොරතුරු සැපයීමයි. සමහරවිට එක වචනයක් අරගෙන ඒ වචනයට තියෙන පරිකතාව පාලියෙන්ම තමයි කියන්නේ. සමහර ඒවා සංස්කෘත භාෂාවෙන්ද සමහරවිට පාලි, සංස්කෘත හා සිංහල මිශ‍්‍රිත භාෂාවකින් තමයි විස්තර කරන්නේ. සමහර විස්තර සපයන්නේ ජාතක කතාවලින්. සමහරවිට පොඩි පොඩි කතන්දරවලින්. මම මෙතැනදි පොඩි හෙළිදරව්වක් කරනවා. සම්භාව්‍ය සාහිත්‍යය ගැන කතා කරන උදවිය ඒ ගැන මීට කලින් කතා කරලා තියෙනවා. ඒත් මම නිසැකවම අවධාරණය කරනවා අපේ සාහිත්‍ය ඉතිහාසේ ආදිතම කතාකරුවා ගුරුළුගෝමීන් කියලා. මොකද ජාතක පොත සිංහලට නැගෙන්නේ කුරුණෑගල යුගයේදී. ඒත් ‘සුළු කළිඟු දා වත’ ඇතුළත් වන ධර්මප‍්‍රදීපිකාව බිහිවෙන්නේ දොළොස්වන ශතවර්ෂයේදී. ඒ වෙනකොට මොනම විදියකටවත් සිංහලෙන් කතන්දර ලියවිලා නැහැ. ඒ නිසා කාටහරි ඕන නම් සිංහල සාහිත්‍යයේ පැරණිම කතන්දර කොහෙද තියෙන්නේ කියලා හොයන්න, හොයන්න තියෙන්නේ ධර්ම ප‍්‍රදීපිකාවේ. මොකද ගුරුළුගෝමීන් සමහර පදවලට පරිකතා ලියන්න රුචියක් දක්වන්නේ කතන්දරවලින්. ඒ නිසා මේ කෘතියේ ඉතා කුඩා කතා විස්සක් විතර තියෙනවා. මම පළමුවැනි වතාවට ඒ කතා වෙන වෙනම අරගෙන මේ පොතේ සංග‍්‍රහ ගතකරලා තියෙනවා. ඇත්තටම මේ කතන්දර සම්බන්ධව මුලින්ම අදහස් ප‍්‍රකාශ කරලා මේ හඳුනා ගැනීම මුලින්ම කරලා තිබුණේ අපේ ප‍්‍රවීණතම සාහිත්‍යධරයෙක් වන කේ. ජයතිලකයන් විසින්. ඔහුගේ ‘සිංහල කතා කලාවේ විකාශය’ කෘතියේ ඔහු පැහැදිලිව කියනවා අපේ ආදිතම කර්තෘකාරයා ගුරුළුගෝමීන් කියලා. එහෙම කිව්වම සමහරු හිතන්නේ අමාවතුරේ තියෙන කතා කියලා. ‘අමාවතුර’ පොතේ නෙමෙයි මේ කතා තියෙන්නේ ධර්මප‍්‍රදීපිකාවේ. ඒ කතා ඔක්කොම ඉතා රසවත් කෙටිකතා. ඒවා අතරත් එකම එක ගද්‍ය කාවයයි තියෙන්නේ.

පරිකතාව හා ගද්‍ය කාව්‍යය අතර තියෙන වෙනස තමයි ගද්‍ය කාව්‍යය කියන්නේ වර්ණනාත්මක ශෛලියක් මත රචනා වන දෙයකට වීම. සංස්කෘතියේ තියෙනවා ගද්‍ය කාව්‍යය කියන එකට වෙනම නිර්වචනයක්. ඒ නිර්වචනයට අනුව යමින් විවිධ වර්ණනා සහිතව තමයි ගද්‍ය කාව්‍යය ලියවෙන්නේ. මං සංග‍්‍රහ කරලා තියෙන ආදීතම කතන්දර අතර මේ කතාව ඉතාම සුවිශේෂයි.

‘සුළු කළිඟු දා වත’ හා ජාතක පොත අතරද සම්බන්ධයක් තියෙනවා.

ඔව්. එය පන්සිය පනස් ජාතක පොතේ තියෙන කාලිංග බෝධි ජාතකය කියන ජාතක කතාවක්. ඒ ජාතක කතාව හරිම නීරස ජාතක කතාවක්. කාලිංග බෝධි ජාතකය මේ පොතට සම්බන්ධ වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ අතීතයේ කරපු බෝධි පූජාවක් ගැන මේ ජාතක කතාවේ කියවෙන නිසා. ඕනම ජාතක කතාවක ප‍්‍රධාන කොටස් තුනක් තියෙනවා. වර්තමාන කතාව, අතීත කතාව හා සමෝධානය කියලා. ඒත් ගුරුළුගෝමී මේ වර්තමාන කතාව කියන එක ඉවත් කරනවා. සමෝධානය කියන පූර්වාපර ගැළපීම් ඉවත් කරනවා. එතකොට තියෙන්නේ අතීත කතාව විතරයි. අතීත කථාවෙනුත් ගන්නේ පොඩි කොටසයි. ඒ කියන්නේ ඔහු ගන්නේ පේ‍්‍රම කතාව විතරයි. මේ කතාව ඇතුළේ හිමාල වර්ණනාව, ගිම්හාන වර්ණනාව, වර්ෂා ඍතු වර්ණනාව, සරත් ඍතු වර්ණනාව, වසන්ත සෘතු වර්ණනාව, කුමරි වර්ණනාව, සම්භෝග වර්ණනාව වැනි වර්ණනා දහයක් තියෙනවා. හැබැයි එය මුද්‍රිත පිටු පහළොවකට වඩා නැහැ. මේ එකදු වර්ණනාවක්වත් අයින් කරන්න බැහැ. ඒවා මේ කතන්දරයට ඓන්ද්‍රීයව හා ශාරීරික විදියට බද්ධවෙලා තියෙන්නේ. මෙයට සමාසන්න කාලයක තමයි ‘කව් සිළුමිණ’ රචනා වෙන්නේ. එහි සම්භෝග වර්ණනාවට මුළු පරිච්ෙඡ්දයක්ම වැය කරනවා. ඒත් ගුරුළුගෝමීන් මුද්‍රිත පේළි දහයකින් පමණ ඒ වික‍්‍රමය කරනවා. තරාදියේ දාපුවම මේ මුද්‍රිත පේළි දහය ‘කව් සිළුමිණ’ කාව්‍යයේ තියෙන අර සර්ගය තරමටම විශිෂ්ටත්වයට පත්වෙනවා. මෙන්න මේක තමයි කතන්දරයක් හා ගද්‍ය කාව්‍යයක් අතර තියෙන වෙනස. මේ කිසිදු වර්ණනාවක් ආදිතම කතා මාලාවේ නැහැ. ඒවා කතන්දර විතරයි.

ඒ කියන්නේ අපේ ආදිතම කතාකරුවා මෙන්ම ප‍්‍රථම ග‍්‍රන්ථ සංස්කාරකවරයා වන්නේද ගුරුළුගෝමීන්.

‘සියබස්ලකර’ පොතෙන් අපේ සම්භාව්‍ය කවීන්ට ‘පෙදෙන් බුදු සිරිතැ’ කියලා රීතියක් පනවලා තිබුණා. එහෙම තියෙද්දී පද්‍ය කාව්‍ය රචකයන් අතරින් මේ රීතියෙන් රිංගලා ගියේ ‘කව් සිළුමිණ’ කරුවා. ඔහු සුළුම විදියට එයින් රිංගල ගිහින් පද්‍යයෙන් බුදුසිරිත කරනවා කියලා පෙන්නලා රචනා කළේ ඉතා විශිෂ්ට පේ‍්‍රම කාව්‍යයක්. ‘කව් සිළුමිණ’ කාව්‍යයෙත් වර්තමාන කතාව හා පූර්වාපර සන්ධි ගැළපීමක් නැහැ. ‘කව් සිළුමිණ’ තරුව කළෙත් අතීත කතාව විතරක් අරගෙන පේ‍්‍රම කාව්‍යයක් රචනා කරන එකයි. එය ඉතා විශිෂ්ට ගණයේ පේ‍්‍රම කාව්‍යයක්. ඔබ කියූ පරිදි ඔහුට කලින් ඒ කටයුත්ත ඉතා සූක්ෂ්මව කරපු ගද්‍ය කාව්‍ය රචකයා වන්නේ ගුරුළුගෝමීන්.

එය එසේ වුවත් ගුරුළුගෝමීන්ගේ කවීත්වය පිළිබඳ සමහර විද්වතුන් එකඟ වන්නේ නැහැ.

‘බුත්සරණ’ කරපු විද්‍යාචක‍්‍රවර්තීන්, ‘පූජාවලිය’ කරපු මයුර පාද හිමියන් ‘සද්ධර්මරත්නාවලිය’ කරපු ධර්මසේන හිමියන් මේ සියලූදෙනා අතුරින් ශ්‍රේෂ්ඨතමයා හැටියට සලකන්නේ ගුරුළුගෝමීන්. ඒ අතරිනුත් ‘අමා වතුර’ ශ්‍රේෂ්ඨ කෘතිය ලෙස සලකනවා. හැබැයි මහාචාර්ය විමල් ජේ. බලගල්ල ඒ අදහස ප‍්‍රතික්ෂේප කරනවා. ඔහු තමයි මෑත කාලෙදි ගුරුළුගෝමීන්ගේ කවීත්වයට එරෙහිව දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කරපු ප‍්‍රාමාණික පඬිවරයා. ඔහු ඉතාම තර්කානුකූලව පෙන්වලා දීලා තියෙනවා ගුරුළුගෝමීන් විශිෂ්ට කවියෙක් නෙමේ කියලා. ඒත් අනිත් සියලූදෙනාම එක හඬින් ප‍්‍රකාශ කරන්නේ ගුරුළුගෝමීන් තමයි විශිෂ්ටතම කවියා කියලා. සාහිත්‍යය තුළ එවැනි මතවාද බිහිවෙනවා. අමාවතුරේ භාවිත කරලා තියෙන හුදු හෙළය සඳහා ඔහු පර්යේෂණ කරන්නේ ධර්මප‍්‍රදීපිකාව තුළ කියන එක තමයි මගේ තර්කය. ‘සුළු කළිඟු දා වත’ එයට හොඳම සාක්ෂියක්. එහි සාර්ථකත්වය දැකලා ඒ රීතිය අමාවතුරට යොදා ගත්තා කියලා හිතන්න සාක්ෂි තියෙනවා.

භාෂාව සම්බන්ධයෙන් කතා කරනවා නම් හුදු හෙළය, පාලි හා සංස්කෘත මිශ‍්‍ර සිංහලය අපට වඩා වැදගත් බව පෙනී යනවා. එය හුදු හෙළයට වඩා ඕජෝ ගුණයෙන් යුක්ත වඩා ශක්තිසම්පන්නයි. ඒ ඇසුරෙහි ඕනෑම භාෂා වික‍්‍රමයක් ඉතා විචිත‍්‍ර ලෙස කරන්න පුළුවන්.

පැරණි සාහිත්‍යය නූතන සාහිත්‍යය සමග ගළපා ගන්නේ කෙසේද?

සිංහල භාෂාව පාදක කරගෙන යමක් කරන ගීත රචකයන්, කවියන්, නාට්‍යකරුවන්, සිනමා තිර රචකයන්, නවකතා, කෙටිකතාකරුවන් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම ස්වඋත්සාහයෙන් මේ සම්භාව්‍ය සාහිත්‍යය හැදෑරිය යුතුයි. එය හැදෑරුවොත් තේරෙනවා එයින් මොනතරම් විපුල ප‍්‍රයෝජනයක් ලබාගත හැකිද කියලා. මේ කෘති ගැට පදයක් නැතුව කියවන්න අමාරුයි. ඒ සම්බන්ධව අපි ටිකක් වෙහෙසෙන්න ඕනෑ. මේ ගැටලූව ‘සුළු කළිඟු දා වත’ කෘතියෙහි මම නොතේරෙනවා කියලා හිතෙන සෑම සරල වචනයකටම පවා අර්ථ ඒ පිටුවෙම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා එය පරිශීලනය කරන පාඨකයන්ට එහි නොතේරෙන වචන ගැන වැඩිය වෙහෙසෙන්න ඕනකමක් නැහැ.

ටයිටස් තොටවත්ත සංස්කරණ රීතිය උගන්වන්න යනකොට ඒ සඳහා නිදර්ශන හැටියට ගත්තේ ‘බුත්සරණ’ කෘතියෙහි ඇතැම් පාඨයන්. එවැනි උදාහරණ මෑත කාලයෙනුත් හොයා ගන්න පුළුවන්. ඒ වගේ නූතන නිර්මාණකරුවන්ට සම්භාව්‍ය සාහිත්‍යයෙන් ගතහැකි ප‍්‍රයෝජන අපමණයි. රසයෙන් පිරිපුන් පැරණි සම්භාව්‍ය කෘති සාමාන්‍ය පාඨකයාට නොකියවා මියයන්නට සිදුවීම මොනතරම් කනගාටුවක්ද? හැමදාම මම ඒ සම්බන්ධව හිතෙන් දුක් විඳින කෙනෙක්. ‘සුළු කළිඟු දා වත’ මා අතින් බිහිවුණේ මගේ ඒ දුක නැතිකර ගැනීමේ එක් සුළු උත්සාහයක් ලෙසටයි. පාඨකයා එයින් උපරිම වින්දනයක් ලබා ගනු ඇතැයි මම සිතනවා.