ශාස්ත‍්‍ර බිමේ සැරිසැරූ යතිවරයාණෝ

සුදත් මෙනේරිපිටිය

ජාති, ආගම්, නිකාය, කුලමල ආදී විවිධ පාර්ශ්වයන් සම්බන්ධයෙන් කිසිදු විටෙක පක්‍ෂග‍්‍රාහි නොවී, අන්තවාදී හැගීම් මතුකොට නොගෙන, ත‍්‍රයිනිකායික සංඝයා වහන්සේ සමගත්, අන්‍ය ආගමික නායකයන් මතු නොව දේශපාලකයන් සමගත් සුහදත්වයෙන් හා අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව රටට, දැයට, ආගමට මහ මෙහෙයක් කළ එසේම හැමදෙනාගේම පිදුම් ලද බෙල්ලන්විල විමලරතන අනුනාහිමිගේ අපවත්වීම ජාතියේ ශෝකයට හේතුවකි.

පැවිදි දිවියට පත් උන්වහන්සේ මොල්ලිගොඩ ප‍්‍රවචනෝදය, පැලියගොඩ විද්‍යාලංකාර ආදී පිරිවෙන්වලින් මූළික අධ්‍යාපනය ලදහ. 1963 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ ඉගෙනීමට මෙන්ම බාහිර ශාස්තී‍්‍රය කි‍්‍රයාවන්හිද නියැලූනහ. ඒ අනුව 1965 දී ශාස්ත‍්‍රවේදී උපාධියත්,1976 දී විද්යෝද විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධියක්, 1976 දී එංගලන්තයේ ලැන්කැෂ්ටර් සරසවියෙන් දර්ශන විශාරද (ආචාර්ය) උපාධියත් ලදහ.

උන්වහන්සේගේ සේවය ආගමික හා අධ්‍යාපන සේවයට පමණක් සීමා නොවීය. පුවත්පත්වලට දහස් ගණන් ලිපි සපයමින්ද, ධර්ම දේශනා පැවැත් වීමෙන්ද, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ තම අදහස් අභීතව, අදීනව ඉදිරිපත් කිරීමට ප‍්‍රවීණයෙක් වූ උන්වහන්සේ ග‍්‍රන්ථ කරණයෙහිද නියුතු වූහ. බුදු පිළිමය මුද්‍රා හා ආසන, බුදුදහම හා වෙනත් ආගම්, ප‍්‍රතිමා කලාව හා බුදුපිළිමයේ විකාශය, ප‍්‍රඥා පාරමිතා සාහිත්‍ය, නොසැලෙන මනස, බෞද්ධ මහා පුරිස සංකල්පය ආදී අගනා ග‍්‍රන්ථ රැුසක් ඒ අතර වේ.

බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් සසුන්ගත දිවිය ඇරඹූ උන්වහන්සේ බෙල්ලන්විල විහාරයේ අධිපති පදවිය ලද පසු කළ ආගමික, ශාසනික, සමාජයීය සේවය අතිවිශාලය, අමිලය. විහාරස්ථ දායක සභාවේ සහ ඒ හා සම්බන්ධ සංවිධන එක්ව තම ගුරු දෙවියන් ආරම්භ කළ බෙල්ලන්විල පූජනීය මහ පෙරහර වඩාත් උත්කර්ෂවත් හා අලංකාරවත්ව වසරක් පාසා පැවැත්වීමද උන්වහන්සේගේ අප‍්‍රතිහත කැපවීමේ සංකේතයක් ලෙස සැලකිය හැකිය.
තරුණ පිරිස් සදහා ‘‘බෙල්ලන්විල ප‍්‍රජා සංවර්ධන පදනම’’ පිහිටුවා ඒ මගින් විශාල සේවාවක් කිරීමට උන්වහන්සේ පෙරමුණ ගත්හ. එ පමණක් නොව උන්වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන දහම් පාසල මගින් දහස් ගණන් සිසු දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කිරීමට මග පාදන්නේය.
උන්වහන්සේගේ ශාසනික හා ආගමික මෙහෙය අගයා කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ප‍්‍රධාන ලේඛකාධිකාරි ධූරයත්, පසුව අනුශාසක ධූරයටත් පත්වන්නට උන්වහන්සේ පූජනීය වූහ.
බුද්ධශාසන අමාත්‍යංශයේ මෙන්ම වෙනත් සංවිධාන රැුසක අනුශාසකත්වය හා උපදේශකත්වය දැරු උන්වහන්සේ නිවැරදිව, අවංකව, අපක්‍ෂපාතිව තම අදහස් ඉදිරිපත් කිරීමට සමත් වූහ. එහිදී උන්වහන්සේ ආගම, ජාතිය, කුලය, භාෂාව, පමණක් නොව දේශපාලනය හෝ වෙනත් සම්බන්ධතා පිළිබදව කිසිදු විටෙක පක්‍ෂග‍්‍රාහිව අදහස් පළ නොකළහ. කි‍්‍රයා නොකළහ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව, කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත, විහාර දේවාලගම් ආඥා පනත ආදිය පිළිබදව යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමටද උන්වහන්සේ නොපසුබට වූහ.
දේශීය වශයෙන් කළ මහගු සේවයට අමතරව උන්වහන්සේ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කළ අතර ඒ මගින් ලංකේය සංඝ සමාජයටත්, ලංකාවටත් අත් කර දුන් කීර්තිය අමිලය, විශිෂ්ඨය.
රටට ජාතියට ශූභවාදී හා දූරදර්ශී දැනුමක් ඇති යතිවරයාණන් වහන්සේ නමක වූ බෙල්ලන්විල අනුනා හිමිගේ අපවත් වීම සකල බෞද්ධ ජනයාගේ ශෝකයට මෙන්ම රටට වූ මහත් පාඩුවකි. අපවත් වදාළ බෙල්ලන්විල අනුනාහිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් සෝකයට පත්වන සුවහසක් ජනතාව අතර උන්වහන්සේට නිවන් සුව පතමින් මේ සටහන අවසන් කරන්නේ බෙල්ලන්විල හිමිගේ අපවත්වීම අලලා රඹුකන සිද්ධාර්ථහිමිගේ ගී සංකල්පනාව සිහිපත් කරමිනි.
සිරිමා බෝ වැලි මළුවේ
වැලිකැට වාගේ මදහස
රැ අහසේ පායා එන
තරු කැට වාගේ සෙනෙහස
ලොව්තුරු බුදු පුතුන් සැමට
අත හිත දී හිරු සදු ලෙස
නිවන් පුරේ උපදීවා
සසුන් විලේ පිපි සියපත