රාවය

බෙල්ල කැසීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි

බෙල්ල කැසීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි

නිදහස් දිනයේදී බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල උද්ඝෝෂණය කළ ඩයස්පෝරා සාමාජිකයන්ගේ ගෙල සිදින ආකාරයක් දක්වන සංඥාව කිරීම නිසා සේවය අත්හිටවනු ලැබූ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් යළි සේවයේ පිහිටුවීම මේ වන විට විවාදාපන්න මාතෘකාවක් බවට පත්ව තිබේ. ඔහු සේවයේ සිටියදීම සිදුවීම පිළිබදව පරීක්‍ෂණය කරන්නැයි නියෝග ලැබී තිබීමද ඊටත් වඩා බරපතළ කාරණයක් ලෙස දැක්වෙයි. ජනාධිපතිවරයා ගත් පියවර මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානී පි‍්‍රයංක ප‍්‍රනාන්දු කළ බරපතළ කි‍්‍රයාවටම සමනාන්තරය.

බි‍්‍රගේඩියර්වරයාගේ කි‍්‍රයාවෙන් පැහැදිලිවම දරුණු තර්ජනයක් සංඥාවෙයි. ජනපතිවරයා විසින් ගත් පියවර මගින් බිගේඩියර්වරයාගේ කි‍්‍රයාව අනුමත කිරීමක් සිදුවෙයි. හිටපු ජනාධිපතිවරයා කියා තිබුණේ ආරක්‍ෂක ප‍්‍රධානියා තම උරහිසේ සිටින සිංහ ලාංඡනය පෙන්වා බෙල්ල කැසූ බවත් එය වරදක් විය නොහැකි බවත්ය. ජනාධිපතිවරයාටත් හිටපු ජනාධිපතිවරයාටත් යන දෙදෙනාටම මෙය බෙල්ල කැසීමක් නම් ඇත්තටම කවුරු කවුරුත් මෙතැන් සිට බෙල්ල බේරා ගැනීම පිළිබදව කල්පනා කිරීම වැදගත්ය.

ඩයස්පෝරා උද්ඝෝෂණයේදී බි‍්‍රගේඩියර්වරයාට ආවේගශීලී නොවන්නට තිබුණා සේම ජනාධිපතිවරයාටත් මේ සිද්ධියේදී හදිසි නොවන්නට තිබුණි. කවුරු හෝ ජනපති ළග සිටින අදුරදර්ශී උපදේශකයෙක් ජනපතිට පි‍්‍රයංක සේවයේ පිහිටුවන උපදෙස දුන්නා විය හැකිය.

ආරක්‍ෂක ප‍්‍රධානියාගේ ආවේගශීලි හැසිරීම හදිසියේ පැන නැගුණු දෙයක් නොවේ. එය වසර දහයක් පුරා (2005 – 2015) මුළුමනින්ම පාහේ ලංකාවේ සමාජය දක්කාගෙන ගිය වැරදි ගමනක ප‍්‍රතිඵලයකි. ඉකුත් රාජ්‍ය පාලන ජාතිවාදයේ මුදුනටම නැග්ගේය. ආගම්වාදයේ අන්තයටම ගියේය.

බි‍්‍රගේඩියර්වරයාගේ හැසිරීම සිංහලෝත්තමවාදී යුද දේශපාලන ප‍්‍රකාශනයක අනිවාර්ය පලයක් මිස වෙනකක් නොවේ. වත්මන් ජනපතිටත්, අගමැතිටත් ඔළුවලටම වෙඩි තැබිය යුතු බව සමාජ මාධ්‍ය මගින් කියන පරපුරක් හැදුවේ රාජපක්‍ෂ පාලනය විසිනි. පි‍්‍රයංක ප‍්‍රනාන්දු ගෙල වෙන්කිරීම අභිනයෙන් දැක්වීම ඊට දෙවැනි වන්නේ නැත. වඩා බරපතළ වන්නේ මේ සාහසික හැසිරීම නොවේ. ලංකාව ඉකුත් වසර තුනක කාලය තුළ යම් පමණක හෝ අන්තර්ජාතිකව ගොඩනගාගත් සුපසන් මුහුණුවර පිටුපස යක්ෂ මුහුණක සේයාවක් ඇති බව මෙම සිදුවීමෙන් ලෝකයම දැනගත්තේය. ඊටත් වඩා සේවය අත්හිටුවීමට ලක් වූ නිළධාරියා ජනාධිපතිවරයා විසින් කඩිනමින් සේවයේ පිහිටුවීම මගින් එම වැරදි සාහසික හා සිංහලෝත්තම පැවැත්ම ලංකාව තවදුරටත් අනුමත කරන බව පෙන්නුම් කළේය. එමෙන්ම සේවයේ සිටියදීම පරීක්‍ෂණය කිරීමට නියෝග කිරීම මගින් ලංකාව නීතියත්, ආචාර ධර්මත් තුට්ටුවකට නොසලකන ජාතියක් බවද පෙන්නුම් කළේය. ජනාධිපතිවරයා හදිසි නොවිය යුතුව තිබුණේ ඒ නිසාය.

ලංකාවේ අවසන් යුද්්ධයේදී සිදුවූ බව කියන ඝාතන මෙම සාහසික හැසිරීම මගින් තහවුරු නොවනු ඇතැයි අපට කිව හැකිද? දෙමළ වීම හා ඔවුන් අයිතීන් වෙනුවෙන් හඬ නැගීම ජීවත්වීමට නුසුදුසුකමක් යැයි ලංකාවේ සමාජයේ තහවුරු වී තිබුණු අවධිය ව්‍යාජයක් යැයි තවදුරටත් අපට කිව හැකිද? යුද බිමේ සටන සමුල ඝාතනය ලෙසට අර්ථකථනය කර නොගත් ජාතියක් මෙරට වාසය නොකළැයි ඉතින් කිව හැකිද?

ජනපති නිතර කියන දෙයක් වන්නේ රණවිරුවන්ට අත තබන්නට දෙන්නේ නැත යන්නය. රණවිරුවන් ඕනෑම මානව විරෝධී කි‍්‍රයාවක නියැලූනහොත් ඔවුන්ට නීති මගින් කි‍්‍රයා නොකළ යුතු බව ජනපති සිතනවාද? ඒ අනුව රණවිරුවන්ට අත නොතබනු යන්න තනිකරම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා නීති විරෝධී ප‍්‍රකාශයක් බවත් අවසන් වශයෙන් ජනපතිට කිව යුතුවෙයි.