මේ ඡන්දය තීරණාත්මක වෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටයි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඔබේ නිරීක්ෂණය සහ විය හැකි යැයි ඔබ සිතන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් පළාත් පාලන ඡුන්දයක් කියන්නේ ඒ තරම් දේශපාලන වශයෙන් උණුසුමක් ඇති කරන්නක් නොවෙයි. මොකද පළාත් පාලන ඡුන්දයක් තිබෙන විට එය ආණ්ඩු පක්ෂයට වාසි සහගත එකක් වන බව සාමාන්‍යයෙන් පිළිගැනීමයි. එයට නිදසුන් ලංකාවේ පළාත් පාලන ඡුන්ද ඉතිහාසයේ තිබෙනවා. ඒ නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. මොකද, මෙහිදී විශේෂයෙන්ම දේශපාලන පක්ෂ වගේම ජනමාධ්‍ය අතරත් මහ මැතිවරණයකදී ලෙසම දැඩි උණුසුමක් නිර්මාණය වී තිබෙනවා. හැබැයි ජනතාව අතර එතරම් උනන්දුවක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙහි ඇති වෙනස එයයි. මහමැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා වුණත් ඒ උනන්දුව මේකේදී නැහැ. ඒ වුණත් දේශපාලන පක්ෂ මේ මැතිවරණ සටන ගෙන යෑම සඳහා ඉතාම විශාල පරිශ‍්‍රමයක් දරනවා. ඒ පරිශ‍්‍රමයට හේතුව, රටේ මේ වන විට නිර්මාණය වී තිබෙන දේශපාලන අර්බුදයයි. 2015න් පසුව මේ රටේ බිහිවුණු සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවන්නේ ප‍්‍රධාන පක්ෂ කීපයක් එකතුව තවත් පක්ෂ කීපයක සහයෝගයෙනුයි. එය ලංකා ඉතිහාසයේ නිදහසෙන් පසුව තිබෙන අලූත් දේශපාලන අත්දැකීමක්. මේ ආණ්ඩුව සභාග ආණ්ඩුවක් හෝ සන්ධාන ආණ්ඩුවක් නොවෙයි. මේක සම්මුතිවාදී ආණ්ඩුවක්.

ඒ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවුණු අර්බුදයත් මේ මැතිවරණ උණුසුමට හේතුවී තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වුණු පසුව මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙන කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙන් වුණා. මේ දෙපාර්ශ්වය අතර තිබෙන බලපොරයෙන් ලොකුම අභියෝගය එල්ල වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටයි. ඔහුට තිබෙන අභියෝගය තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තහවුරුකර ගැනීමේ අභියෝගය. ඒ නිසා එය උරගා බලන ඡන්දයක් බවටත් මෙය පත්වී තිබෙනවා. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කොතරම් බලය තිබෙනවාද යන්න උරගා බලන ඡුන්දය බවටත් මෙය පත්වෙනවා. ඒ නිසා මේ ඡුන්දයේ වැඩි බරක් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට වඩා ඒ දෙපාර්ශ්වය අතරයි.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට එම පක්ෂ දෙකටම වඩා ස්ථාවරයි. ඒ කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි වශයෙන්ම තිබෙන්නේ දෙකඩ වෙලායි. ඒ නමුත් එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස ස්ථාවරව පවතිනවා. හැබැයි බැඳුම්කර චෝදනාවත් සමග එක්සත් ජාතික පක්ෂයට කළු පැල්ලමක් ඇති වුණා. ඒ නිසා විශේෂයෙන්ම නගරබද මැදපන්තික ස්ථරය, ඒ කියන්නේ යම් අධ්‍යාපනයක් ලැබූ, වෘත්තීයන්ගේ නියැලෙන, දේශපාලනය ගැන උනන්දුවක් ඇති සහ විචාරශීලී අය අතර මේ බැඳුම්කර සිද්ධිය සමග එක්සත් ජාතික පක්ෂයට විශාල විවේචනයක් එල්ලවී තිබෙනවා. එය එක්සත් ජාතික පක්ෂයට එල්ල වූ විශාල කළු පැල්ලමක්. හැබැයි එය පහළ ස්ථරවල දක්නට ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශාල වශයෙන් දූෂණ චෝදනා, මිනීමැරුම් චෝදනා එල්ල වුණා කියලා පහළ ඡුන්ද පදනම ඔහුගෙන් ගිලිහී ගියේ නෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේත් ඒ පහළ ඡුන්ද පදනම ගිලිහී යන්නේ නැහැ. හැබැයි විචාරශීලී, දේශපාලන මත දරන, දේශපාලන වශයෙන් උනන්දු මැද පන්තියේ ස්ථරය තුළ මේ ප‍්‍රශ්න මතුවෙනවා. එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ආවේ එයයි. හැබැයි එය ප‍්‍රබලයි. දේශපාලන වශයෙන් ඉතාම තීරණාත්මක සහ ඉතාම තියුණු වන්නේ ඒ නාගරික සමාජ මතයයි. ඒ නිසා එය එක්සත් ජාතික පක්ෂයට අවාසියක්. මේ වාතාවරණය තුළ එක්සත් ජාතික පක්ෂයට අද තිබෙන ඡුන්ද පදනම උරගා බැලීමේ හැකියාවකුත් මේ ඡුන්දයේදී තිබෙනවා. ඒ නිසා මේ ඡුන්දය ඇත්ත වශයෙන්ම තුන්කොන් අරගලයක්. ලංකා ඉතිහාසයේ කිසිම ඡුන්දයකදී එහෙම තුන්කොන් අරගලයක් තිබී නැහැ. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ හැම ඡුන්දයක දීම අපිට දකින්නට ලැබුණේ ප‍්‍රධාන පක්ෂ දෙක වටා අනෙකුත් පක්ෂ එකතු වන ද්වී සභාග ක‍්‍රමයක්. ඒ නමුත් මෙය ඊට හාත්පසින්ම වෙනස් තුන්කොන් සටනක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය තුළ ලංකාවේ දේශපාලන පක්ෂ ක‍්‍රමය පිළිබඳවත් අලූතෙන් අපට හිතන්න සිදුවී තිබෙනවා. ඒ වගේම මැතිවරණ ඉතිහාසයේ එක් සුවිශේෂ අවස්ථාවක් ලෙසත් මෙය අපට හඳුනා ගන්න පුළුවන්. මේ හේතු නිසා මෙම ඡුන්දය බොහොම උණුසුම්කාරී වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි මහජනතාවගේ තිබෙන්නේ එතරම් ප‍්‍රසාදජනක හැඟීමක් යයි සිතිය නොහැකියි. ඉතාම බරපතළ චෝදනා රාශියක් මේ ප‍්‍රධාන පක්ෂ වෙත එල්ල වී තිබෙනවා. මේ වාතාවරණය මත මෙවර පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රධාන බලවේග හතර මහජනයාට බලපා තිබෙන ආකාරය ගැන ඔබ සිතන්නේ මොකක්ද?

මේ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට සහ පාක්ෂිකයන්ට මෙය වැදගත් දෙයක් නෙමෙයි. පක්ෂයට කොතරම් දූෂණ චෝදනා එල්ල වුවත් එය ඒ පාක්ෂිකයන්ට බලපාන්නේ නැහැ. දේශපාලන පක්ෂවලට තිබෙන ස්ථාවර ඡුන්ද සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ අය ඡුන්දය පාවිච්චි කරනවාමයි. සමහරවිට පක්ෂ නායකයින් ඉවත් වුවත් සාමාජිකයින් එම පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. එය මේ රටේ දේශපාලන සංස්කෘතියේ එක් ලක්ෂණයක්. සාමාන්‍යයෙන් බැලූවොත් ජනතා විමුක්ති පෙරමුණට දළ වශයෙන් ලක්ෂ පහක පමණ ස්ථාවර ඡුන්ද තිබෙනවා. එය වෙනස් වෙන්නේ නෑ. එය සෑම මැතිවරණයකම සංඛ්‍යා හා දත්තවලින් පෙනෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන සුවිශේෂී ලක්ෂණය තමයි මේ ස්ථාවර ඡුන්ද වැඩි වෙන්නේ නැහැ. එය විශාල වෙනසකට ලක් වෙන්නේ නැහැ. ඒ අයට ඉන්නේ එක් ස්ථරයක් පමණයි. හැම මැතිවරණයකදීම එය අපට පෙනෙනවා. සමහරවිට මෙවැනි ඡුන්දයකදී ජනතා විමුක්ති පෙරමුණට තිබුණාට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. මොකද මෙය ආණ්ඩු පෙරළන ඡුන්දයක් නොවන නිසායි. හැබැයි ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් වැනි තීරණාත්මක ඡුන්දයකදී ඒ ඡුන්ද ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි සුළු පක්ෂවලට ලැබෙන ඡුන්ද සංඛ්‍යා වැඩි විය හැකියි. එය ස්වභාවිකයි. ඒ නමුත් එම ඡුන්ද ඒ පක්ෂවලට ස්ථාවර වෙනවා කියන දේ එයින් අදහස් වෙන්නේ නැහැ. මොකද මේ වන විට අනෙක් ප‍්‍රධාන පක්ෂ තුනේම අය සභාවල සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ අයත් සිටියත් ඒ අයට සභාවල බලය තිබුණේ නෑ. වරක් තිස්සමහාරාමයේ බලය ලැබුණත් වෙන ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් කියන ආකාරයට ඔවුන් මැරයින් හෝ දූෂිතයින් නොවෙයි. ඒ නිසා ජනතාවගේ යම් ආකර්ෂණයක් ඔවුන්ට ලැබෙනවා. හැබැයි ඒ පක්ෂවල ස්ථාවර ඡුන්ද නොවෙයි, පාවෙන ඡුන්දවල යම් නැඹුරුවක් එවැනි පක්ෂවලට ලැබෙන්න පුළුවන්. ඒ ලැබීමෙන් ඊළග මහමැතිවරණවලදීත් එය සිදුවෙයි කියන දේ අදහස් වෙන්නේ නැහැ.

ඒ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීමෙන් එයට තිබූ ස්ථාවර ඡන්ද සංඛ්‍යාවත් දෙකඩ වෙනවා. එයින් වැඩි ප‍්‍රතිශතයක් නැඹුරු වී තිබෙන්නේ පොහොට්ටුවටයි. මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැමි ගොවි සමාජ ස්ථරයේ සහයෝගය තවම තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. පොළොන්නරුව, අනුරාධපුර වැනි දිස්ත‍්‍රික්කවල එය වෙනස් විය හැකියි. මොනරාගල සහ රත්නපුර දිස්ත‍්‍රික්කවල පොහොට්ටුව වැඩිම ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා බවට සමහර බුද්ධි තොරතුරුත් ලැබී තිබෙනවා. හැබැයි පසුගිය සති දෙකක කාලයක් වගේ ඇතුළත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පිලේ ඡුන්ද පදනමේ යම් පුළුල්වීමක් සිදුවෙන බව තමයි පෙනෙන්නේ. මීට පෙර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 7%ක හෝ 10% වගේ ඡුන්ද පදනමක් තිබුණා නම් අද එය 15%ක් 20%ක් පමණ දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ වාසිය සෘජු ලෙසම ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ තිබෙන සභාවලින් බහුතර සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂය දිනා ගනියි කියලා මම හිතනවා. මොකද එක්සත් ජාතික පක්ෂයට පාවෙන ඡුන්ද අහිමි වුණත් ඔවුන්ගේ ස්ථාවර ඡුන්ද වෙනස්වී නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 30ක 40ක ඡුන්ද ප‍්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ ඡුන්ද සංඛ්‍යාව එක්සත් ජාතික පක්ෂයට ලැබුණොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද සංඛ්‍යාවත් දෙකඩ වුවොත් අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයට වැඩි සභා සංඛ්‍යාවක බලය හිමි වෙනවා.

පළාත් පාලන මැතිවරණයකදී ග‍්‍රාමීය මට්ටමේ ඡුන්දදායකයින් තුළ තිබෙන දැක්ම බොහෝ විට දේශපාලන ව්‍යුහයක් මත ගොඩ නැගුණු එකක් යැයි සිතිය නොහැකියි නේද?

සාමාන්‍යයෙන් ඡුන්දදායකයා උනන්දු වන්නේ තමන්ගේ නගරයේ හෝ තමන්ගේ ගමේ එම නාගරික හෝ ග‍්‍රාමීය කටයුතු වඩාත් කාර්යක්ෂමව, වඩාත් සතුටුදායක ලෙස වගේම සංවර්ධනය පැත්තෙන් යම් කිසි ඉදිරි පියවරක් තියනවාද වැනි කාරණා කෙරෙහියි. සාමාන්‍යයෙන් පළාත් පාලන ඡුන්දයක ස්වභාවය එයයි. හැබැයි අද වන විට එය වෙනස්. අද වන විට පක්ෂ දේශපාලනය කියන දේ ලංකාවේ ඉතාම සක‍්‍රීයයි. ඒ නිසාම ජනතාව දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගේ පැත්තෙන් පක්ෂවලට බෙදිලා තියුණු තරගයක යෙදෙනවා. ඒ තරගය පළාත් පාලන ඡුන්දයකට වඩා ඉක්මවා ගිය තරගයක් ලෙස පෙනෙනවා. හැබැයි සාමාන්‍ය ජනතාව මෙවැනි ඡුන්දයක දී උත්සාහ කරන්නේ තමන්ට වඩාත් සමීප, තමන්ගේ ප‍්‍රශ්න තේරුම්ගත හැකි, තමන්ට නිතර සමීප සම්බන්ධයක් පවත්වා ගත හැකි නියෝජිතයින් පත්කර ගැනීමටයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට වඩා, පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුට වඩා ජනතාව සමග සමීප ලෙස කටයුතු කරන්නේ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්. ඒ නිසා පළාත් පාලන ඡුන්දයක් ජනතාවගේ පැත්තෙන් ඉතාම වැදගත්. මොකද ගමට පාරක් හදා ගැනීම, පාලම් හදා ගැනීම, පොදු ස්ථාන නඩත්තු කිරීම, ඒවා අලූතෙන් ආරම්භ කිරීම ආදී ජනතාව නිතර මුහුණ දෙන දෛනික ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ මේ පළාත් පාලන ආයතන වලින් විතරයි. ජනතාවට වඩාත් සමීප වෙන්නේ මේ නියෝජිතයෝයි. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් පළාත් පාලන ඡුන්දයකදී වුණත් දේශපාලන උනන්දුවක් අවශ්‍ය වෙනවා.

පළාත් පාලන විෂය ලංකාවේ ක‍්‍රියාත්මක වන ආකාරය මහජනතාවගේ පාර්ශ්වයෙන් කෙතරම් ඵලදායකද?

පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ ඉතාම දූෂිත තත්ත්වයකට පත්වූ බව අපට පෙනෙනවා. පසුගිය ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ එම දේශපාලන අධිකාරයේ ප‍්‍රාදේශික ඒජන්තයෝ තමයි මේ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් බවට පත්වුණේ. විශේෂයෙන්ම ඒ අය කොන්ත‍්‍රාත්කරුවන්. මේ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ට ඉතාම සුළු වැටුපක් ලැබුණත් ඒ අය පළාත් පාලන ඡුන්දවලට විශාල වශයෙන් මුදල් වැය කළා. මොකද පළාත් පාලන ආයතනයක නියෝජිතයෙක් වීම, විශේෂයෙන්ම සභාපතිවරයෙක් වීම, නගරාධිපතිවරයෙක් වීම කියන්නේ ධන ආකරයක්. විශාල වශයෙන් මුදල් ගසා කෑමට එය හොඳ අවස්ථාවක්. ඒ නිසා පසුගිය කාලයේ මේ නියෝජිතයින් අතින් ඉතාම බරපතළ ලෙස දූෂණ සිදුවූ බව අප දුටුවා. ඔවුන් මහජන මුදල් ගසා කෑවා. අනෙක් පැත්තෙන් මේ අය මැරයින්. බොහෝ විට මේ අයට නිසියාකාර අධ්‍යාපනයක් නෑ, සාමාජයේ වැදගත් තැනක් හිමිවෙන්නේ නෑ. දාමරික වැඩ කරන, සමාජ අපචාරවල යෙදෙන අය තමයි මේ නියෝජිතයෝ ලෙස පසුගිය කාලයේ පත්ව සිටියේ. හැම දේශපාලන පක්ෂයේම එහෙමයි. විශේෂයෙන්ම රාජපක්ෂ රෙජිමය යටතේ ඒ අයගේ ඒජන්තයින්ව සිටි අය අතිශයින්ම දූෂිත සහ දුෂ්ට ලෙස ක‍්‍රියා කළා. මේ නිසාම පළාත් පාලන ආයතනවල නියෝජිතයින් පිළිබඳ සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රසාදයක් නැහැ. අද වනවිට අලූත් ඡුන්ද ක‍්‍රමය යටතේ කොට්ඨාස ක‍්‍රමය ඇතිවී තිබෙන නිසා ඒ යටතේ එම නියෝජිතයින්ගේ තරාතිරම පිළිබඳ ඡන්දදායකයා නිසියාකාරව දැනුවත්. ඔවුන්ගේ උගත්කම පිළිබඳව, ක‍්‍රියාකාරකම් පිළිබඳ, සමාජ සේවයේ නියුතු වූ අයද නැත්නම් සමාජ විරෝධී ක‍්‍රියාවල නියුතු වූ අයද යන සියල්ල ඡුන්දදායකයා දන්නවා. ඒ නිසා ඡුන්දදායකයාට හොඳ තේරීමක් කිරීමට මෙවර පුළුවන්කම තිබෙනවා. හැබැයි එතැනදී ඡුන්දදායකයා දේශපාලන පක්ෂ දෘෂ්ටියෙන් බැලූවහොත් එම අරමුණ ඉෂ්ට නොවීමට තමයි වැඩි ඉඩකඩ තිබෙන්නේ. ඇත්තටම ඡුන්දදායකයා දේශපාලන පක්ෂ දෘෂ්ටියෙන් තමයි බලන්නේ. ඒක දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයක්. ඒ නිසා යහපත් පුද්ගලයින් අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා. එය කෙතරම් දුරකට සිදුවී තිබේද නැද්ද යන කාරණය අපට තක්සේරු කළ හැකියි. පසුගිය කාලයේ දූෂණවල අපචාරවල යෙදුණු පුද්ගලයින්ම සමහර පක්ෂවලින් මෙවරත් ඉදිරිපත් වී තිබෙනවා. හැබැයි මොන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කළත් ඒ අය දේශපාලන භූමියෙන් පිටමං කිරීමට ජනතාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා.

මැතිවරණ ක‍්‍රමය වෙනස් වුවත් සභික සංඛ්‍යාව ඉහළ යාම නිසා රටට අධික වැය බරක් දැරීමට සිදු වෙනවා. එය රටට යහපත් ලෙස බලපාන්නේ නැහැ.
එය ඇත්තටම ඉතාම අයහපත් දෙයක්. මීට පෙර සභික සංඛ්‍යාව හාරදහස් ගණනක් වුණත් මේ අනුව එම සභික සංඛ්‍යාව දෙගුණයක් බවට පත් වෙනවා. මෙය ඉතාමත්ම අනවශ්‍ය දෙයක්. මේකට වගකියන්න ඕනෑ පසුගිය ආණ්ඩුවයි. මොකද මැතිවරණ ක‍්‍රමය පිළිබඳව මේ වාර්තාව හැදුවේ බැසිල් රාජපක්ෂ මහතායි. එක්සත් ජාතික නිදහස් සන්ධානයට වාසිවන ආකාරයට තමයි එහිදී ඡුන්ද කොට්ඨාස සකස් කළේ. මේ ගැටලූව ඇතිවුණේ එහි ප‍්‍රතිඵලය ලෙසයි. ඒ නිසා ඡන්දය තවත් ටික කාලයක් හෝ කල් දමා මේ සභික සංඛ්‍යාව අඩු කර නැවත අලූතින් සභාවල කොට්ඨාස නිර්ණය කළා නම් හොඳයි කියන දේයි මම හිතන්නේ. මොකද හදිසියේ මැතිවරණ තියලා මෙවැනි අතිවිශාල සභික සංඛ්‍යාවක් පත්කර ගැනීමෙන් ඇතිවන අයහපතට වඩා තව ටික කාලයක් හෝ කල් දමා සභික සංඛ්‍යාව අඩු කර මැතිවරණය පැවැත්වූවා නම් හොඳයි. මේ අයත් මහජන මුදල් ගසා නොකයි කියන දේ අපිට විශ්වාස කරන්න බැහැනේ. මහජන මුදල් ගසා කෑම පැත්තෙන් ගත්තත්, වගකීම් පිළිබඳ කාරණය ගත්තත්, වැටුප් පිළිබඳ සලකා බැලූවත් ජනතාව දැරූ බර මෙයින් දෙගුණ වෙනවා. ඒ නිසා මෙය ඉතාම අයහපත් දෙයක්. විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා රටකට මෙවැනි විශාල පළාත් පාලන සභික සංඛ්‍යාවක් මොකටද කියන ප‍්‍රශ්නය මතු වෙනවා.

මැතිවරණ ක‍්‍රමය වෙනස්වීම හා වෙනස් වූ ආකාරය පිළිබඳ බරපතළ ගැටලූ තිබෙනවා නේද?

කොට්ඨාස ක‍්‍රමය අහෝසි කිරීම සහ මනාප ක‍්‍රමය ඇති කිරීම කියන දේ මේ රටේ තිබුණු ඉල්ලීමක්. මනාප ක‍්‍රමය ලෝකයේ තිබෙන දියුණුම ක‍්‍රමයයි. ඒ යටතේ මහජන නියෝජිතයින් පත් කිරීමේ බලය ලැබෙන්නේ මහජනයාටයි. නැත්නම් එය ලැබෙන්නේ පක්ෂ නායකයාටයි. අලූතෙන් ඇති කළ පළාත් පාලන ඡුන්ද ක‍්‍රමයෙන් 60%ක් කොට්ඨාස ක‍්‍රමයෙනුත් 40%ක් ලැයිස්තු ක‍්‍රමයෙනුත් පත්වෙනවා. ඒ නිසා කොට්ඨාස ක‍්‍රමයෙන් නම් මහජන ඡුන්දයෙන් තමයි පත්වෙන්නේ. හැබැයි ලැයිස්තුවෙන් පත්වෙන්නේ මහජනතාවගේ තේරීමක් ලෙස නොවෙයි. ඒ අය සම්පූර්ණයෙන්ම පක්ෂ නායකයාගේ නියෝජිතයෝයි. එය ඉතාම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලක්ෂණයක්. මොකද එයින් සැබෑ මහජන මතය නියෝජනය වෙන්නේ නෑ. ඡන්දදායකයාගේ වරණයක් එතැන නැහැ. ඒ 40%ක් වරණය ඡුන්දදායකයාගේ නොවෙයි, එය පක්ෂ නායකයාගේයි. මේ ඡුන්ද ක‍්‍රමයේ තිබෙන වරද එයයි.

ඉස්සර තිබුණේ මනාප ක‍්‍රමයයි. සල්ලිකාරයින්ට, සමාජයේ ප‍්‍රභූවරුන්ට, දේශපාලන පක්ෂ නායකයින්ට ආදී අයට වැඩිපුර මනාප ලබාගන්න පුළුවන් කියන විවේචන එයට ඇතිවුණා. ඒ වගේම පක්ෂ ඇතුලේ ඇති වන ගැටුම්, මැතිවරණ කලකෝලාහල මේ මනාප පොරය නිසා ඇති වෙනවා කියන චෝදනා ඇති වුණා. ඒ සියල්ල ඇත්ත. එය සිදුවුණේ මේ රටේ දේශපාලන සංස්කෘතිය දියුණු නැති නිසායි. ලෝකයේ බටහිර රටවලත් මනාප ක‍්‍රමය තිබෙනවා. ඒ නමුත් ලංකාවේ ඇති වූ ප‍්‍රශ්න කිසිවක් ඒ රටවල ඇති වුණේ නෑ. මොකද ඒ රටවල දේශපාලන සංස්කෘතිය දියුණු නිසා. ලංකාවේ මනාප ක‍්‍රමය නිසා ප‍්‍රශ්න රාශියක් ඇතිවීම වළක්වන්නයි කොට්ඨාස ක‍්‍රමය ඇති කළේ. ඒ නමුත් එහිත් ප‍්‍රශ්න තිබෙනවා. බහු පක්ෂ ක‍්‍රමයක් තිබෙන රටක කොට්ඨාස ක‍්‍රමය මගින් සැබෑ මහජන නියෝජනයක් සිදුවෙන්නේ නැහැ. වලංගු මුළු ඡුන්ද සංඛ්‍යාව 100ක් යැයි සිතුවොත් එක් එක් පක්ෂ ඡුන්ද 40ක්, 30ක්, 20ක් සහ 10ක් ලෙස ලැබුවොත් ඡුන්ද 40ක් ගත් පක්ෂය ජයග‍්‍රහණය කරනවා. හැබැයි අනෙක් පක්ෂ ලැබූ ඡුන්ද සංඛ්‍යාවල එකතුව 60යි. එයින් පත්වන මන්ත‍්‍රීවරයා නියෝජනය කරන්නේ ඡුන්ද කොට්ඨාසයේ බහුතර මතය නොවෙයි, සුළුතර මහජන මතයයි. ඒ අනුව බහු පක්ෂ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන රටක කොට්ඨාස ක‍්‍රමය අසාර්ථකයි. දේශපාලන පක්ෂ 2ක් ඉදිරිපත් වුණා නම් බහුතරය ගන්නා පක්ෂය සැබෑ මහජන මතය නියෝජනය කරනවා. බහුතර පක්ෂ ක‍්‍රමයක් යටතේ එය සිදුවෙන්නේ නැහැ. මෙවර එය හොඳින් දැක ගන්න පුළුවන්. 60%ක් කොට්ඨාස ක‍්‍රමයෙන් පත් කර ඉතිරි 40% මනාප ක‍්‍රමයෙන් පත් කළා නම් යම්කිසි සමබරතාවක් ඇතිවීමට ඉඩ තිබුණා. දැන් මේ ඡුන්ද ක‍්‍රමයේ සමබරතාවක් නැහැ. ඒ නිසා මෙය සුභවාදී යැයි යම් කෙනෙක් හිතනවා නම් එසේ සිතන්නේ නොදැනුවත්කම නිසායි.

සෑම අපේක්ෂක ලැයිස්තුවකම 25%ක කාන්තා නියෝජනයක් තිබිය යුතුය යන නීතිය මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ක‍්‍රියාත්මක වෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේදී පිරිමින්ට සමානව කාන්තා නියෝජනයක් තිබිය යුතුයි. හැබැයි යම් කිසි රටක දේශපාලන සංස්කෘතිය දියුණු නම් ඒවාට නීති පනවන්නේ නැහැ. එක් පැත්තකින් දේශපාලන පක්ෂවලින් කාන්තාවන් සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනවා. අනෙක් පැත්තෙන් කාන්තාවන්ට ඡුන්දය ලබාදී ඔවුන්ව නියෝජිතයෝ බවට පත්කිරීමට ඡුන්දදායකයාත් උත්සාහ කරනවා. හැබැයි ලංකාවේ නොදියුණු දේශපාලන සංස්කෘතිය නිසා දේශපාලන පක්ෂ පැත්තෙන් එහෙම කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත් කිරීමට තිබෙන නැඹුරුව අඩුයි. පසුගිය කාලයේ කාන්තාවන් ඉදිරිපත් වුණා, හැබැයි ඒ අය දේශපාලනමය හෝ සමාජමය වශයෙන් ප‍්‍රභූ අයයි. ඒ නිසා එය සැබෑ කාන්තා නියෝජනයක් වෙන්නේ නැහැ. අනෙක් දේ තමයි කාන්තාවන් දේශපාලනයට පිවිසීමේ පසුගාමීත්වය මේ රටවල වැඩියි. මොකද මේ රටවල තිබෙන්නේ පුරුෂ මූලික සමාජයක්. මේ පුරුෂ මූලික සමාජය ඇතුලේ ස්ත‍්‍රියට ලැබෙන්නේ දෙවැනි තැනයි. ඒ නිසා සංස්කෘතිකමය වශයෙන් ස්ත‍්‍රියගේ දේශපාලන සහභාගිත්වය තිබෙන්නේ ඉතාම පහළ මට්ටමකයි. දියුණු රටවල 25%ක් කාන්තාවන් ආදී ලෙස නීති පනවන්නේ නැති වුවත් ලංකාවේ එලෙස නීති පැනවීමට සිදුවී තිබෙන්නේ දේශපාලන පක්ෂ පැත්තෙනුත්, ඡුන්දදායකයාගේ පැත්තෙනුත්, කාන්තාව දේශපාලනයට සහභාගි වීමට දක්වන මැලිකම නිසාත් කියන කාරණාවලට ප‍්‍රතිකර්මයක් ලෙසයි. මම එය වරදක් ලෙස දකින්නේ නැහැ. එය මේ රටේ දේශපාලන ප‍්‍රගමනයට හේතුවක් විය හැකියි.

මෙම මැතිවරණයෙන් පසු මෙරට දේශපාලන චිත‍්‍රය කවර වෙනසකට බඳුන්විය හැකිදැයි සිතිය හැකිද?

මේ මැතිවරණයෙන් ඉදිරි මැතිවරණ ප‍්‍රතිඵල පිළිබඳ කිසියම් පූර්ව පිළිබිඹුවක් යම් ප‍්‍රමාණයකට ඇතිවිය හැකියි කියා මම හිතනවා. විශේෂයෙන්ම මේ ඡුන්දය තීරණාත්මක වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. මෙය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය තීරණය කරන මැතිවරණයක් බවට පත්වීමටත් ඉඩ තිබෙනවා. මොකද පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හෝ ඒකාබද්ධ විපක්ෂය පළමු හා දෙවන ස්ථානවලට පැමිණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවන ස්ථානයට පැමිණියහොත් එය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන අනාගතයට විශාල අභියෝගයක් එල්ල කරනවා. එවිට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට රාජපක්ෂ පවුල දේශපාලන භූමිකාවෙන් ඉවත් කිරීමට සිදුවෙනවා. ඔවුන් දේශපාලන භූමිකාවෙන් ඉවත් කිරීමට නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට සිදුවෙනවා. එසේ කළොත් නිතරගයෙන්ම සියලූදෙනා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා ඒකරාශී වෙනවා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ට අකමැත්තෙන් හෝ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතට පැමිණෙන්න සිදු වෙනවා. එසේ නොවූවොත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිදුවෙන්නේ 2015දී තීරණය කළා වගේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමටයි. හැබැයි එයට එක්සත් ජාතික පක්ෂය කොතරම් ප‍්‍රතිචාර දක්වයි ද කියන දේ සැකසහිතයි. එක්සත් ජාතික පක්ෂය ඊළඟ මැතිවරණවලදී තනි පක්ෂයක් ලෙස ඉදිරිපත්වීමේ නැඹුරුතාවක් තමයි තිබෙන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉදිරි වසර දෙක තුළ ගමේ ඡුන්දදායකයින්ට සේවය කිරීමට, ඔවුන්ගේ සුභසාධන කටයුතු කිරීමට, ග‍්‍රාමීය සංවර්ධන කටයුතු නගා සිටුවීමට සහ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන මේ භේදයත් සමග එක්සත් ජාතික පක්ෂයට ජයග‍්‍රහණය කිරීම පහසුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග නැවත සන්ධානයකට යෑමට තිබෙන ඉඩකඩ අඩුයි. හැබැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මෙවර ඡුන්ද ප‍්‍රතිඵලය මත රාජපක්ෂ පවුල ඉවත් කර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඞී බිඳී ගිය සියලූ බලවේග ඒකරාශී කරගෙන තනි පක්ෂ නායක ධුරය ගැනීම හෝ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවෙනවා.