රාවය

රාවයේ අයිතිය හා මාර යුද්ධය

රාවයේ අයිතිය හා මාර යුද්ධය

රාවයේ අයිතියේ ස්වභාවය පැහැදිලි කරන ලෙස අනුරුද්ධ ප‍්‍රදීප් රාවයට ලියා තිබුණි. අසූචිවලින් හැදුණු මිනිසකු විසින් මෙහෙයවන එවැනි සංවාදයක් මුහුණු පොතේද දක්නට ලැබුණි. සංවාදයට දායක වී සිටින අයගේ සංඛ්‍යාව විශාල නොවූවත් සමහරු එහි පළකර තිබූ අදහස් අපූරුය. මෙහෙයවන්නාට අනුව රාවය මහජනයාට අයිති ව්‍යාපාරයකි. මුහුණු පොතේ ඉහත කී සංවාදය මෙහෙයවන්නා කියන්නේ රාවය මහජනයාට අයිති ව්‍යාපාරයක් වන නිසා එය අත්පත් කරගැනීමට වික්ටර් අයිවන්ට ඉඩ නොදිය යුතු බවය.

ආප්ප කඬේ

රාවය මොහොතකට අමතක කොට, ආප්ප කඩයක් නිදර්ශනයට ගත හැකිය. කිසියම් පුද්ගලයෙක් ආප්ප කඩයක් පුංචියට ආරම්භ කළේය. එහි විකුණන ලද්දේ සාමාන්‍ය ආප්ප, ලූණු මිරිස්, බිත්තර ආප්ප කහට තේ හා කිරි තේ පමණය. මේ කඬේ විකුණන ආප්පවලට ලූණු මිරිස්වලට, බිත්තර ආප්පවලට හා තේවලට ආවේණික විශේෂත්වය නිසා හා එහි පවත්වාගෙන ගිය පිරිසිදුකම නිසාත් ක‍්‍රමයෙන් එම ආප්ප කඩය සරු වෙළෙඳාමක් ඇති ආප්ප කඩයක් බවට පත්වී තවත් කාලයකදී එය රටේ තිබෙන විශාල හා සුපිරි ගණයේ ආප්ප කඩයක් බවට පත්විය. එම ආප්ප කඬේ ගැනුම්කරුවන් වූයේ මහජනයාය.
එක්තරා අවස්ථාවකදී මෙම ආප්ප කඬේ එක්තරා කාලයකදී වැටුපට වැඩ කොට ඉවත්ව ගිය ආප්ප බාස් කෙනෙක් ආප්ප කඬේ අයිතිය පිළිබඳව අපූරු අදහසක් ඉදිරිපත් කළේය. මේ සුපිරි ආප්ප කඬේට මටත් අයිතියක් තිබෙනවා. මාගේ ආප්ප දැමිල්ලද ආප්ප කඬේ ජනප‍්‍රිය වෙන්න වැදගත් හේතුවක් ලෙස ක‍්‍රියා කළා. ඒ නිසා මෙම ආප්ප කඬේට මටත් අයිතියක් තියෙනවා. ඔහුගේ තර්කයට ඇහුම්කන් දුන් මෙම කඬේ දීර්ඝකාලීන ආප්ප පාරිභෝගිකයෙක් මෙසේ කීවා. මම මේ කඩෙන් කොච්චර ආප්ප කන්න ඇද්ද? කඬේ දියුණුවට මගේ මිලදී ගැනීමත් බලපෑවා. ඒ නිසා මේ කඬේ අයිතියට අයිතිවාසිකම් කියන්න මට වගේම මේ කඬේ දියුණුවට දායක වූ අනෙක් මහජනයාටත් අයිතියක් තිබෙනවා. ඔහු අවසානයේ මෙසේද කීවේය. ‘‘මේ ආප්ප කඬේ දියුණුවට බලපෑවේ මහජනයා නිසා මේ ආප්ප කඬේ මහජන අයිතියට පත් කළ යුතුයි.”

රාවයේ අයිතිය පිළිබඳව කෙරෙන විවාදයද සැලකිය හැක්කේ එවැනි විවාදයක් ලෙසය. රාවය මාගේ නිර්මාණයකි. එය ආරම්භ කොට දීර්ඝ කාලයක් පවත්වාගෙන ගියේද මාය. වාර සඟරාවක්ව තිබුණු කාලයේදී එයද ටැබ්ලොයිඞ් පුවත්පතක් බවට පත්වීමෙන් පසු එයද බ්‍රෝඞ්ෂීට් පුවත්පතක් බවට පත්වීමෙන් පසු එයද එය පවත්වාගෙන ගියේත්, ඒ සඳහා සංවිධාන හා ප‍්‍රතිපත්ති නිර්මාණය කළේද මාය. ආයතනයට බඳවා ගන්නා ලද සියලූ සේවකයන්ගේ පඩි නඩි අවසාන වශයෙන් තීන්දු කළේද මාය. මා ආයතනයේ හිමිකරුවා වුවද මා ලබාගත්තේ වැටුපකි. මාගේ වැටුප තීරණය කළේද මාය. ඒ වැටුප පත්තර විෂයෙහි කතුවරුන්ට ගෙවන වැටුපට වඩා ඉතා සොච්චම් වැටුපක් වී යැයි කිව හැකිය. පළමු වසර 10 අවසන් වනවිටත් මාගේ වැටුප තිබුණේ රුපියල් දසදහස නොඉක්මවන තත්ත්වයකය. අවුරුදු 30ක සේවයෙන් පසුව මා විශ‍්‍රාම යන විට මා ලබාගත් වැටුප රුපියල් 60,000ක් විය. මාගේ සිහිනය වූයේ මහජනයාගේ දැනුම හා ආකල්ප වැඩි දියුණු කරන හා වෙනස් කරන ප‍්‍රකාශනයකි. සාම්ප‍්‍රදායික මගේ ගමන් නොගන්නා උඩුගං බලා පිහිනන ප‍්‍රකාශනයකි. ඒ ගමනේදී මුහුණ දෙන්නට සිදුවන සියලූ අවදානම් භාරගත්තේද මාය.

ජේවීපී කැරැුල්ල කාලයේදී රටේ තිබුණු බිහිසුණු වටාපිටාව නොසලකා ආණ්ඩුවේ අන්තවාදී ක‍්‍රියාකාරකම් සේ ම ජේවීපීයේ අන්තවාදී ක‍්‍රියාකාරකම් ද විවේචනයට ලක් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. 1988 ජනාධිපතිවරණයේදී ජේවීපීය එම ඡුන්දය වර්ජනය කළ යුතු බවට මහජනයාට නියෝග කළ අවස්ථාවේදී මම එම නියෝගය බලවත් ලෙස විවේචනයට ලක් කළෙමි. එය ඔවුන්ගෙන් මැරුම් කන්නට සිදුවන තරමේ බරපතළ ක‍්‍රියාවක් වුවත් මා එසේ කළේ සැඟවී ඉඳිමින් නොව පරණ පුරුදු ජීවිතය ගෙවන අතරතුරය.

රාවයේ අයිතිය

එම කැරැුල්ල අවසන්වීමෙන් පසුව මට එරෙහිව පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය යටතේ සිදුකෙරෙන විභාග පහක් පැවැත්වීමට නියමිතව තිබුණි. චෝදනාවන්ට ලක්වන හැම ජනමාධ්‍යවේදියෙකුම පවත්වාගෙන ගිය පිළිවෙත වූයේ පරීක්ෂණයට මුහුණ දී පනවන ඕනෑම දඬුවමක් භාරගැනීමය. මා එම සාම්ප‍්‍රදායික ප‍්‍රතිපත්තියෙන් වෙනස් වී පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය යටතේ වරප‍්‍රසාද කාරක සභාව නඩු අසා දඬුවම් කරන ප‍්‍රතිපත්තියට අභියෝග කරන තැනකට ගියෙමි. එය ඉතාමත් අවදානම්සහගත ක‍්‍රියාවක් විය. දඬුවම් කිරීමේ බලය වරප‍්‍රසාද කාරක සභාවට තිබුණි. ඔවුන් දැඩි ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කළේ නම් මගේ ගමන අවසන් වන්නට ඉඩ තිබුණේ හිරගෙදරිනි. පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය යටතේ නඩු අසා දඬුවම් කරන ප‍්‍රතිපත්තිය මා අභියෝගයට ලක් කළා පමණක් නොව, ඊට එරෙහිව ජාත්‍යන්තර මතයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ගද ගත්තෙමි. එම ප‍්‍රශ්නයේදී ජාත්‍යන්තරයෙන් එල්ල වන්නට වූ පීඩනය නිසා වරප‍්‍රසාද කමිටුවට තම අඩිය අඩි ගණනක් ආපස්සට ගන්නට සිදුවූවා පමණක් නොව අවසානයේ නීති සංශෝධනයක් මගින් එම ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමටද සිදුවිය.

ඉන්පසු මට එජාප පාලනය යටතෙත්, ඊටත් පසුව එළැඹුණු සමඟි පෙරමුණු පාලනය යටතෙත් සාපරාධී අපහාස නීතිය යටතේ පවරන ලද නඩු විශාල ගණනකට මුහුණ දෙන්නට සිදුවිය. එහිදීත් ඒ නීති යටතේ නඩු පැවරීම්වලට ලක්වූ ජනමාධ්‍යවේදීන් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය වූයේ එසේ පවරන ලද නඩුවලට කීකරු ලෙස මුහුණදීමය. මා එම ප‍්‍රතිපත්තියෙන් වෙන්වී ජනමාධ්‍යවේදීන් භීතියට පත් කරන එම නීතිය අභියෝගයට ලක් කරන තැනකට ගියෙමි. එයද ඉතාමත් අවදානම්සහගත ක‍්‍රියාවක් විය. මා තෝරාගත් මාවත ජයග‍්‍රාහී නොවී නම් ඒ අවස්ථාවේදීද මාගේ ගමන නවතින්නට ඉඩ තිබුණේ හිරගෙදරිනි. මා සාපරාධී අපහාස නීතිය අනුව නීතිපතිගේ අභිමතය අනුව නඩු පවරන ක‍්‍රමය අභියෝගයට ලක් කළා පමණක් නොව නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියටද ගියෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සාධාරණ තීන්දුවක් නොලැබුණු විට එම තීන්දුවට එරෙහිව ජිනීවාහී මානව හිමිකම් කමිටුව ඉදිරියට මගේ නඩුව ඉදිරිපත් කළෙමි. එය ලංකාවෙන් මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි නඩුකරය වී යැයි කිව හැකිය. එයින් මා අපේක්ෂා කළ කාරණා දෙකක් තිබුණි. සාපරාධී අපහාස නීතිය යටතේ ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව නඩු පවරන ක‍්‍රමයට එරෙහිව තීන්දුවක් ලබාගැනීම එක අරමුණක් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටුකර ගැනීමට අසමත් වූ කෙනෙකුට යුක්තිය ඉටුකරවා ගැනීමට යන්නට තවත් තැනක් ඇති බව මහජනයාට ප‍්‍රායෝගිකව කියාදීම එහි ඊළඟ අරමුණ විය. මා එම නඩුව ජයගැන්මට සමත් වූවා පමණක් නොව, සාපරාධී අපහාස නීතිය අවලංගු කිරීමේ ක‍්‍රියාදාමය කෙරෙහිද මගේ එම සටන බලපෑවේය.

මා පහළ අධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් ආරම්භ කොට අගවිනිසුරු දක්වා දිවයන ආකාරයට සිදුකෙරුණු අරගලයද ඉතාමත් බිහිසුණු ප‍්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකිව තිබුණු දේශීය අර්ථයෙන් පමණක් නොව ජාත්‍යන්තර අර්ථයෙන්ද දැවැන්ත අරගලයක් ලෙස සැලකිය හැකිය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දීමේ ඡුායාරූපය උඩ යට පෙරළා ‘අධිකරණ නිදහසේ මළගම’ යන ශීර්ෂය යටතේ පළකරන ලද කළු කලාපය එම අරගල ක‍්‍රියාවලිය තුළ සිදුවූ බිහිසුණු හා උද්වේගකර ක‍්‍රියාවක් ලෙස සැලකිය හැකිය. ඉන්පසු එම අගවිනිසුරුවරයා ධුරයේ සිටියදීම ඔහු පිළිබඳව පොතක් (නොනිමි අරගලය) පළකිරීම ඒ හා සමාන උද්වේගකර හා බිහිසුණු ක‍්‍රියාවක් ලෙස සැලකිය හැකිය. ඒ කිසිවක් සාකච්ඡුා කොට සාමූහිකව ගනු ලැබූ තීරණයක් නොව මා විසින් ගනු ලැබූ තීරණයන්ය.

විශිෂ්ටතාව

මිලින්ද මොරගොඩ රාවයේ කොටස් අයිතියෙන් 40%ක් මිලදී ගැනීමට කැමැත්ත පළ කළ අවස්ථාවේදී රාවය ගැන කරුණු සොයා බැලීමේ වගකීම ඔහු දෙන ලද්දේ කේ.පී.එම්.ජී. සමාගමටය. ඔවුන් රාවය පිළිබඳව හදිසි විගණනයක් කරන ලද අතර ඉන්පසු එම සමාගමේ ආයතන ප‍්‍රධානියා මා සමග කරන ලද සාකච්ඡුාවකදී කීවේ එය ඉතාමත් පිරිසිදු ආයතනයක් වන බව ගිණුම් පරීක්ෂා කිරීමේදී පැහැදිලිව පෙනී ගිය බවය. මා පොදු යහපත වෙනුවෙන් කර තිබෙන ක‍්‍රියාවලට ආර්ථික වටිනාකමක් තිබෙන බවත් කීර්තිනාමයේ අගය වශයෙන් ලක්ෂ 100ක අගයක් පහසුවෙන්ම එකතු කළ හැකිව තිබෙන බවත් කීවේය.

මා සඟරාවක කතුවරයෙකු වශයෙන් ජනමාධ්‍ය ලෝකයට එකතු වන විට මට අවඥාවෙන් හිනැහෙන ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකුද සිටියේය. මාසික සඟරාවක කතුවරයෙකු වීමට මට තිබෙන පළපුරුද්ද හා සුදුසුකම් ප‍්‍රශ්න කොට ඔවුන් පත‍්‍රිකාවක්ද ප‍්‍රකාශ කර තිබුණි. මා ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ජනමාධ්‍ය විෂයට ලබාදී තිබෙන දායකත්වය සාපේක්ෂ වශයෙන් විශාලය. මා එම විෂය ගැන පොත් දෙකක් (පෑන අහිංසකද? හා අයාලේ යන ජනමාධ්‍ය) ලියා තිබෙන අතර ලියා තිබෙන ලිපි සංඛ්‍යාවද විශාලය.

ජනමාධ්‍ය විෂයෙහි මා සැලකෙන්නේ ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය ආයතන කෙරෙහි දයාබර හැඟීමෙන් අදහස් පළකරන්නකු ලෙස නොව දැඩි විවේචකයකු ලෙසය. එසේ තිබියදීත් ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සංගම් මා සතුරකු ලෙස සලකන්නේ නැත. කර්තෘ සංසදය මාගේ අයදුම් කිරීමකින් තොරව අවස්ථා තුනකදී මට විශිෂ්ටතා සම්මාන පිරිනමන ලදි. පළමුවැන්න අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මා කරන ලද අරගලය සලකාය. දෙවැන්න ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මා කරන ලද කාර්යභාරය සලකාය. තුන්වැන්න සිය සගයන් අතර හා ජනතාවගේ ගෞරවයට හේතුවූ ජනමාධ්‍යවේදියා ලෙස සලකාය. තුන්වැනි සම්මානය තීරණය කළ පසු ඒ වනවිට කර්තෘ සංසදයේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළ ජ්‍යෙෂ්ඨ කතුවරයකු වන සිරි රණසිංහ මට දුරකතනයෙන් කතා කොට මට එම සම්මානය පිරිනැමීම සඳහා ගනු ලැබූ තීරණය ඒකමතිකව ගන්නා ලද තීරණයක් බවත්, ඒ නිසා මා සම්මානය භාරගැනීමට නොපැමිණියහොත් එය කර්තෘ සංසදයට කරන ලද මදිපුංචිකමක් ලෙස පෙනෙනු ඇති බවත් එවැනි තත්ත්වයකට ඉඩ නොතබා එහි පැමිණ එය භාරගන්නා ලෙසත්, ඔහු මගෙන් ඉල්ලා සිටියේය. ඉන් පෙනෙන්නේද මා කරන ලද විවේචනයන් සතුරු විවේචනයන් ලෙස ඔවුන්ද සලකා නැති බවය. මා ප‍්‍රබල විවේචකයකුව සිටියදීත් ඔවුන් තුළ මා පිිළිබඳව වන දයාබරිත ආකල්පයක් තිබී ඇති බවය.
මා ගොඩනගන ලද පුවත්පත මහජන අභිවෘද්ධිය පිණිස ඇති කොට පවත්වාගෙන ගිය පුවත්පතකි. ඒ වෙනුවෙන් නව සම්ප‍්‍රදායක් ගොඩනගන ලද පුවත්පතකි. ඒ සියල්ල මා විසින් කරන ලද ඒවා මිස, වෙනත් අය විසින් කරන ලද ඒවා හෝ වෙනත් අයගේ උපදෙස් මත කරන ලද දේවල් නොවීය. පුවත්පතේ වැඩ කරන සියලූදෙනා සැලකුණේ වැටුපකට වැඩ කරන සේවකයන් ලෙසය. කිසිවෙක් අයිතිකරුවන් ලෙස සලකා ක‍්‍රියා කළේ නැත. සමහරෙක් රාවය තෝරා ගත්තේ රැුකියාවක් ලෙස තෝරා ගැනීමට වෙනත් මාර්ගයක් නොතිබුණු නිසාය. තෘප්තිය සඳහා එකතු වූ අයද සිටියේය. බොහෝ දෙනෙක් වඩා හොඳ රැුකියාවක් ලැබුණු විට රාවය අත්හැර ගියේය. වැඩ කරන අය අතර ඉතා හොඳ, හොඳ, ඉතා නරක හා නරක අයද සිටියේය. වඩා හොඳ ජීවන මාර්ගයක් ලැබුණු අවස්ථාවලදී පවා මා අන් අය මෙන් රාවය අත නොහැර ගියේ රාවය මාගේ විශේෂ නිර්මාණයක් හා මගේ දරුවකු වූ නිසාය.

ගැරන්ටියේ කතාව

මා කලක් රාවයේ සේවය කරන අතර බීබීසීයේ සංදේශයට සතියේ දේශපාලන විග‍්‍රහයද ඉදිරිපත් කළෙමි. එක් අවස්ථාවකදී මා එක්සත් රාජධානියට ගිය අවස්ථාවකදී බීබීසී ආයතනයේ බුරුම කලාපයේ ප‍්‍රධානයා මට ඔහුගේ නිවසේ සූදානම් කළ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට කැඳවා බීබීසී සේවයට එකතු වන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඒ මගින් මට වඩා හොඳ වැටුපක් ලබාගැනීමේ හැකියාවක් තිබියදීත් මා එම ඇරියුම භාර නොගත්තේ රාවයේ නිර්මාණකරු වශයෙන් එය අත්හැරීමේ හැකියාවක් මට නොතිබූ නිසාය. 94 ඇතිවූ ආණ්ඩු පෙරළියෙන් පසුද චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මට ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරය පිරිනමන ලද අවස්ථාවේදී මා එය භාර නොගත්තේ රාවය නිසාය.

රාවය පොහොසත් ආයතනයක් නොවූවත් එය බිංදුවෙන් පටන් ගෙන තමන්ගේම ඉඩමක් ගොඩනැගිල්ලක් හා මුද්‍රණාලයක් සහිත ව්‍යාපාරයක් බවට පත්වූයේය. ඒවාට වෙළෙඳ වටිනාකමක් තිබුණු අතර අවසාන විග‍්‍රහයේදී ඒ සියල්ලේ අයිතිකාරයා වූයේ මාය. රාවයේ කොටස් අයිතියෙන් සියයට 49ක් සේවකයන්ට දිය යුතුය යන අදහස මා තුළ ඇතිවූ අදහසකි. ඒ කවුරුන් විසින් හෝ මට යෝජනා කරන ලද දෙයක් නොවීය. දීර්ඝ කාලයක් එක දිගට සේවය කළ අයට එයින් ලොකු සහනයක් ලැබෙනු ඇති බව මගේ විශ්වාසය විය.

රාවය සහයෝගීතාව

ගරන්ටි සමාගමක් කොටස් බෙදා වෙන් කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය සමහරු මහත් උජාරුවෙන් කතා කරන බව පෙනේ. රාවය සමාගමේ Memorandum and Articles සකසා ඇත්තේ කසිකබල් නීතිඥයකු විසින් නොව ලංකාවේ ප‍්‍රමුඛ නීතීඥ සමාගමක් වන ජුලියස් ඇන්ඞ් ක‍්‍රීසි සමාගම විසිනි. සමාගමේ ව්‍යුහය හා බලතල සකස් කර තිබෙන්නේ 2007 සමාගම් ආඥා පනතට අනුව නොව, 1982 සමාගම් ආඥා පනතට අනුවය. 2007 සමාගම් ආඥා පනතට අනුව ඒ නීතියෙන් පසු ලියාපදිංචි කරන ගරන්ටි සමාගමකට කොටස් හිමිකමක් ඇති කළ නොහැකිය. එහෙත් 1982 සමාගම් ආඥා පනතට අනුව ගරන්ටි සමාගමකටද එහි විධි විධානවලට අනුකූලව සීමිත කොටස් හිමිකමක් ඇති කළ හැකිය. රාවයට කොටස්කරුවන් සිටිය හැක්කේ කෙසේද යන මෝඩ ප‍්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මෙම සමාගම් ආඥා පනත් දෙක අතර තිබෙන වෙනස නොදන්නා බක පණ්ඩිතයන්ය. මිලින්ද රාවයේ කොටස් මිලදී ගන්නට ගිය අවස්ථාවේදී කේපීඑම්ජී සමාගමේ අයිතියේ නෛතික පදනම ගැනද සොයා බැලූවේය. එය පුංචි ආයතනයක් නොව, ලංකාවේ තිබුණු දැවැන්තම ආයතනයකි. රාවය සහයෝගිතා ව්‍යාපාරය නමින් සංවිධානයක් ඇති කොට එය රාවයේ කොටස් අයිතියෙන් කොටසක් මිලදී ගන්න තීරණය කළ අවස්ථාවේදීද රාවයේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය හොඳින් සලකා බලන ලද්දේ සමාගම් නීතිය පිළිබඳව වර්තමානයේ ලංකාවේ සිටින ලොකුම නීති විශාදරයා ලෙස සැලකිය හැකි අරිත වික‍්‍රමනායක මහතාය. ඊට අතිරේකව කලක් වෙළෙඳ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස ක‍්‍රියා කළ චන්ද්‍රා ජයරත්න මහතා විසින්ද එය පරීක්ෂා කරන ලදි.

රාවයේ කොටස් අයිතියෙන් සියයට 40%ක් මිලින්ද මොරගොඩට විකුණනවාට රාවයේ පාඨකයන් තරයේ විරුද්ධ වූයේ යැයි මම නොසිතමි. එය හැඟීම්බර දේශපාලන හේතු නිසා කිසියම් සුළු පිරිසක් ඇති කළ කලබලයක් ලෙස සැලකිය හැකිය. මිලින්ද මොරගොඩ සමග මට දීර්ඝකාලීන දැනහැඳුනුම්කමක් තිබුණි. ඔහු රාවයේ ගමන් මග වෙනස් කිරීම පිණිස ක‍්‍රියාකරනු ඇතැයි කියා මම විශ්වාස නොකරමි. ඒ ගනුදෙනුව වළකන්නට ඉදිරිපත් වූ කිහිපදෙනෙක් ඒ සඳහා මහජන අරමුදලක් ගොඩනගන්නට ක‍්‍රියා කළහ. එම අරමුදලට දායක වූ වැඩි පිරිසක් එසේ කළේ මා කෙරෙහි හා රාවය කෙරෙහි ඇති කරගෙන තිබූ පිළිගැනීම හා විශ්වාසය නිසා මිස ඔවුන් නිසා කරන ලද දෙයක් ලෙස නොවේ. එහෙත් ඔවුන්ගේ වැඩසටහන මාගේ ප‍්‍රසාදයට හෝ පිළිගැනීමට හේතුවූයේ නැත. මෙවැනි දෙයකදී එක කොටස්කරුවකු සමග ගනුදෙනු කිරීම පහසුය. පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සමග ගනුදෙනු කිරීම දුෂ්කරය. කොටස්කරුවන් විශාල පිරිසක් ඇතුළත් කරගැනීමේ ප‍්‍රතිපාදනද සමාගමේ ව්‍යුහය තුළ නොතිබුණි. එම ප‍්‍රශ්නය ජයගැනීමට ඔවුන් ඉදිරිපත් කළ විසඳුම වූයේ රාවය සහයෝගිතා ව්‍යාපාරය නමින් සමාගමක් බිහිකොට මිලදී ගන්නා මුළු කොටස් අයිතිය එම සමාගමට පැවරිය යුතු බවය. එම සමාගම විසින් තමන් හිමි කරගත් කොටස් ප‍්‍රමාණය මුදල් දුන් අය සඳහා කොටස් නිකුත් කළ යුතු බවය. මුලදී හැම දෙයක්මත් සැලසුම් කළ ආකාරයට සිදුවිය. ඔවුහු රාවය සහයෝගීතාව වෙනුවෙන් සමාගමක් ඇති කොටගෙන එය ලියාපදිංචි කළහ. රාවය ඒ අරමුදල සඳහා දායක වූ අය සඳහා ලබාදිය යුතු කොටස් ප‍්‍රමාණය ඒ සමාගම වෙත පවරා දෙන ලදි. ඒ අතරතුර රජය සමාගම් සඳහා නව වාර්ෂික බද්දක් පනවන ලද අතර නමට පමණක් පවත්වාගෙන යන සමාගමක් එවැනි බද්දක් ගෙවන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට මුහුණ දෙන්නට එම සමාගම බිහිකළ අයට සිදුවුණි. එම ප‍්‍රශ්නයෙන් ගොඩ ඒමට ඔවුන් කළේ නව සමාගම විසුරුවා හරින ලද බව සමාගම් රෙජිස්ට‍්‍රාර්වරයාට දැනුම්දීමයි. ඔවුන් එසේ කළේ එම සමාගමට පවරා දෙන ලද කොටස් අයිතිය නැවත රාවයට පවරා දීමකින් හෝ වෙන විකල්ප ක‍්‍රමයක් යොදා ගැනීමෙන් තොරවය.

ඉන් පෙනෙන්නේ එම විසුරුවා හැරීම විධිමත් ආකාරයට සිදුකර නැති බවය. එය හිතාමතා කරන ලද වරදක් නොවෙතත් වරද නිවැරදි කිරීමට ලොකු වැය බරක් දරන්නට සිදුවී තිබෙන්නේ යැයි කිව හැකිය. එය අපේ පැත්තෙන් සිදුවූ වරදක් නොවෙතත්, මුදල් පරිත්‍යාග කළවුන්ගේ අයිතිවාසිකම් රැුකීම රාවයේ යුතුකමක් වන නිසා එම වරද නිවැරදි කිරීමේ වගකීම රාවය වෙත පවරා ගැනීමට සිදුවිය. අපේ සමාගම් ව්‍යුහය අනුව කොටස්කරුවන් කිහිපදෙනකු මිස සිය ගණනක් කොටස්කරුවන් බවට පත් කළ නොහැකිය. නීතියට අනුකූලව ඔවුන් සියලූදෙනා අන්තර්ග‍්‍රහණය කරගැනීමට නම් සමාගමේ ව්‍යුහය වෙනස් කළ යුතුය. එසේ කිරීම ප‍්‍රශ්නය විසඳා ගැනීමට තිබෙන එකම ක‍්‍රමය ලෙස පෙනුණු නිසා සමාගමේ ව්‍යුහය වෙනස් කරන තැනකට අපට යන්නට සිදුවිය. එහෙත් ඒ පරිවර්තනයේදී අපට වත්කම් මාරු කිරීම සඳහා ලොකු මුද්දර ගාස්තුවක් ගෙවන්නට සිදුවේ. ඇස්තමේන්තු කර තිබෙන මුද්දර ගාස්තුව රුපියල් ලක්ෂ 40කි.

මෙම වැඩසටහන යටතේ ලැබී තිබෙන ආයෝජකයන්ගේ වටිනාකම අනුව මුදල් ලබාදෙන ලද අයගේ අයිතිවාසිකම් සනාථ කිරීම සඳහා ඇති කළ යුතු වෙනස්කම්වලට යන වියදම රුපියල් ලක්ෂ 50කටත් වැඩිය. හොඳින් කරුණු සොයා බැලීමකින් තොරව දේවල් කළ විට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවේ. රාවයට ආධාර කළ සියලූදෙනා දක්වා තිබෙන ඉවසීම වෙනුවෙන් ඒ සියලූදෙනාට අපේ ගෞරවයට හිමිවිය යුතුය. ඇතිවී තිබෙන අවිනිශ්චිතාවට රාවය වගකිව යුතු නැත. රාවය සහයෝගිතා ව්‍යාපාරයද එය හිතා මතා කරන ලද දෙයක් ලෙස සැලකිය නොහැකිය. එසේ මුදල් ලබාදෙන අය අතර ඇතිවී තිබෙන මෙම අවුල්සහගත තත්ත්වය නිසා දෙන ලද මුදල් ආපසු ලබාගැනීමට කැමති අය වේ නම් ඔවුන් ලබාදෙන ලද සියලූ මුදල් ප‍්‍රමාද කිරීමකින් තොරව ආපසු ලබාදීමට රාවය සූදානම්ය.

මෙම වැඩසටහනේ අතරමැදියෙකු ලෙස ක‍්‍රියා කළේ රාවය සහයෝගිතා ව්‍යාපාරයයි. මේ වන විට එය නීත්‍යනුකූල ලෙස විසුරුවා හරින ලද සමාගමක් බවට පත්වී තිබේ. එය එසේ වී තිබුණද මුදල් ලැබුණේ ඔවුන්ට නොව රාවයටය. මෙම අවිනිශ්චිත තත්ත්වය හේතුවක් කරගනිමින් ඒ මොහොතේදී රාවයට ආධාර කළ අයට කොකා පෙන්වීමේ වුවමනාවක් අපට නැත. අපි ඒ සියලූදෙනාට ගරු කරමු. එසේම ස්තූති කරමු. ලබාදෙන ලද මුදල් ආපසු අවශ්‍ය යැයි සිතන අය රාවයට ඒ බව විධිමත් ලෙස ලියන්න. ඒ සියලූදෙනාට ප‍්‍රමාද කිරීමකින් තොරව එම මුදල් ආපසු ලබාදෙනු ඇත. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ රුපියල් තිස් දහසද කඩිනමින් ඔහුට ලැබෙන්න සලස්වනු ඇත. ආපසු මුදල් ලබාගත්තාට රාවය ඔවුන් සමඟ උරණවන්නේ නැත. ආපසු මුදල් ලබාගැනීමට අවශ්‍ය නැති එහෙත් රාවයේ නිෂ්ක‍්‍රීය කොටස්කරුවන් වනවා දකින්නට කැමති අයද ඒ ගැන අපට ලියන්න. ඔවුන් සම්බන්ධයෙන් අප අනුගමනය කරන්නට අපේක්ෂා කරන ප‍්‍රතිපත්තිය එවිට අපට පැහැදිලි කළ හැකිය.

රාවයේ මට තිබුණු කොටස් අයිතියද සියයට 51කි. සේවකයන් සඳහා සියයට 49කි. සහයෝගිතා ව්‍යාපාරය මිලදී ගත්තේ මගේ කොටස් අයිතියෙන් කිසියම් ප‍්‍රමාණයකි. ඒ මිලදී ගැනීමෙන් මගේ අයිතිය මුළුමනින් අහිමි වූයේ නැත. කොයිකාටවත් මහජන නාමයට මුවාවී මගේ එම අයිතිය අහිමි කිරීමටද නොහැකිය.

රාවය තවත් බොහෝ කාලයක් පවතිනු ඇත. මාගේ ජීවිත කාලය තුළ පමණක් නොව මාගේ මරණයෙන් පසුද එය පවතිනු ඇත. රාවය මහජනයාගේ බුද්ධිය අවධි කරවන, ඔවුන්ගේ යල්පැනගිය ආකල්ප වෙනස් කරන, ඔවුන්ගේ රසඥතාව වර්ධනය කරන පුවත්පතක් ලෙස ක‍්‍රියාකරනු ඇත.

මාර යුද්ධය

මා තර්ජන ගර්ජනවලට පමණක් නොව, අසීලාචාර අර්ථයෙන් සිදුකෙරෙන මඩගැසීම්වලට හා පහරදීම්වලට බියෙන් පලායන හෝ නිශ්ක‍්‍රීය තත්ත්වයකට පත්වන වර්ගයේ පුද්ගලයකු නොවේ. උපරිම මට්ටමේ බිහිසුණු තත්ත්වයන්ට මුහුණ දී විනාශ නොවී සිටින පුද්ගලයෙකි.

නරක මිනිසුන්ට පමණක් නොව හොඳ මිනිසුන්ටද සතුරන් සිටින බව මම දනිමි. දෙවියන් වහන්සේටද ලූසිෆර් කෙනෙකු සිටින්නේය. බුදුන් වහන්සේටද, සොක‍්‍රටීස්ටද, ක‍්‍රිස්තුස්වහන්සේට හා මහත්මා ගාන්ධිටද සතුරෝ සිටියහ. ඒ සියලූදෙනාද උපරිම මට්ටමේ අශීලාචාර ප‍්‍රහාරයන්ට ලක්වූවන් ලෙස සැලකිය හැකිය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ කුණු ගඳ ගහන තරමටම කුණුවූ සමාජයකය. අප සිහින දකිමින් තිබෙන්නේ එම අවලස්සන තත්ත්වය වෙනස් කිරීමටය.

බොක්සිං ශූරයකු පරාජය කළහැක්කේ ඊට වැඩි හැකියාවක් ඇති බොක්සිංකරුවකුට පමණි. ඔහුගේ ක‍්‍රීඩාවට අදාළ එම රීතිය ලංකාවේ මතවාදී තලයට අදාළ නැත. ලංකාවේ මතවාදී තලය තිබෙන්නේද නොදියුණු හා කුණුවූ තත්ත්වයකය. එහි මුහුණට මුහුණලා කෙරෙන සටන් නැත. මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුට සටන් කරන්නට සිදුවන්නේ තනි පුද්ගලයකු සමග නොව විවිධ හේතු නිසා කල්ලි ගැසුණු රංචුවක් සමගය. ඒ රංචුව තුළ පණුවන්ද, නිලමැස්සන්ද, කැරපොත්තන්ද, කාක්කන්ද, නරින්ද, කබරයන්ද, පොළඟුන්ද, ඌරන්ද, පිසාචයන්ද සිටිති.

උන් එකිනෙකා පහරදෙන විධි එක සමාන නැත. විවිධය. එය සමාන කළහැක්කේ මාර යුද්ධයකටය. ඉලක්කය කරා ළඟාවීමට සමත්වනු ඇත්තේ ඒ තත්ත්වයට මුහුණදී ඉදිරියට යාමට අවශ්‍ය ආත්ම ධෛර්යය, සංයමය හා පරිණතභාවය ඇත්නම් පමණි.