රාවය

මූල්‍ය විනයක් අවශ්‍ය පාලන තන්ත‍්‍රයටය

මූල්‍ය විනයක් අවශ්‍ය පාලන තන්ත‍්‍රයටය

දූෂණයට එරෙහිව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය බව නිදහස් සමරුවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. එජාපය,ශී‍්‍රලනිපය ප‍්‍රමුඛව සම්මුතිවාදී වැඩපිළිවෙළට ජනතාව සහය දුන්නේ එම අරමුණ කරා ගමන් කිරීමට බව අප ජනපතිට අලූතින් මතක් කර දිය යුතුද? මූල්‍ය විනය පිටු දැක, සොරකම් කිරීම සදහා ආණ්ඩු හදන්නට ජනපතිට සහාය දුන් කිසිවකුත් කීවේ නැත. ජනපති කල්පනා කළ යුත්තේ මහත් බලාපොරොත්තු තබා ඇති කරගත් සම්මුතිවාදී වැඩපිළිවෙළ තුළින් මූල්‍ය විනය ගිලිහී ගියේ කෙසේද යන්න ගැනය. මීට වසර තුනකට පෙර මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වන විට රට තිබුණේ මූල්‍ය විනයක් නැති ආර්ථිකය නාය ගිය තත්ත්වයකය. පළමු පියවරේදීම එම වැරදි නිවැරදි කරන බවත් මූල්‍ය අවභාවිතයන්හි නිරතවූවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවත් ජනපති කීවේය. සැබවින්ම මූල්‍ය විනය කැඩුවේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝජනය නොකළ රාජපක්‍ෂගේ ආණ්ඩුවක් විසින් නොවේ. රාජපක්‍ෂ පාලන යුගයේ යනුවෙන් මේවන විට වත්මන් ජනපති හිතවාදීන් කතා කරන්නේ රාජපක්‍ෂ පාලනය තුළ මෛතී‍්‍රපාල නමැති අයකු සිටියේවත් නැති ගානටය. මෛතී‍්‍රපාල සිරිසේන මහතාට එම වසර දහය තුළ මූල්‍ය අවභාවිතය පිළිබදව පුද්ගලිකව කිසිදු චෝදනාවක් එල්ල නොවුණු බව සැබෑය. ඒ ගැන අප ඔහුට අවශ්‍ය ගෞරවය ලබා දිය යුතුය. එහෙත් බූරුවා කුට්ටමේ කී‍්‍රඩාව කරන තැන කොළ වලට ඔට්ටු ඇල්ලූවත්, ඒ දෙස බලාගෙන නිකම්ම සිටියත් පොලිසි යන්නට සිදුවන යථාර්ථය මෙහිදී මෛතී‍්‍රපාල මහතාටත් වළංගු නොවන්නට විදියක් නැත. රාජපක්‍ෂ හිතවාදීන් මූල්‍ය විනය කැඩුවේ මෛතී‍්‍රපාල මහතා නින්දට ගිය විට විය නොහැකිය. ඒවා නිහඬව ඉවසාගෙන නොසිටියා නම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද සිටින තැනට පය තැබීමට නොසමත් වනු ඇති බව මෙහිදී කිසිවකු කියන්නට පුළුවන. එයත් බැහැර නොකළැකි තර්කයකි. එහෙත් වරද දැක දැක නිහඬව සිටීම නම්වූ වරදට වර්තමාන ජනපතිවරයාත් වගකිව යුතු බව පෙන්වා දිය යුතුවෙයි.
2015 ජනවාරි 09 වැනිදා සිට ජනතාව ඒ හොර ගුහාවෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහතාව මුදා ගත් අතර දැන් ඔහු අපගේය යනුවෙන් උපකල්පනය කළ ජනතාවක් රටෙහි බිහිවූහ. ඔවුන්ගේ එක් අභිලාෂයක් වූයේ මෛතී‍්‍රපාල මහතාත් සිටි ආණ්ඩුවේ නීල හොරුන්ට එරෙහිව නීති ප‍්‍රකාරව කි‍්‍රයා කිරීමය. ජනපති විශේෂ විමර්ශන කොමිසමක් ඇති කැරිණි. එහි පළමු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දැරූ ලැසිල් ද සිල්වා කිසිදු හේතු දැක්වීමකින් තොරව ගෙදර යැවිණි. ඔහු ජනමාධ්‍යවලට පරීක්‍ෂණවල ඇතැම් කරුණු හෙළි කරමින් සිටීම ඊට ප‍්‍රධාන හේතුව දැයි නොදනිමු. එය තනතුරින් ඉවත් කිරීමට හේතුවක් විය නොහැකිය. අනතුරුව පත් කළ නිලධාරියා ජනමාධ්‍යයට කිසිවක් නොකීවේය. කෙසේ වෙතත් මේ වනවිට ආයතන 34ක් පිළිබදව විමර්ශන වාර්තාවක් නිකුත් වී ඒ පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අතර කාලය තුළ හරි පුදුම දේවල් සිදුවිය. ඉකුත් රජයේ ආශීර්වාදය ලබමින් මූල්‍ය අවභාවිතයෙහි යෙදුණු ඇතැම්හූ රජයේ සාක්ෂිකාරයන් වූහ. එහෙත් ඔවුන් රජයේ සාක්‍ෂිකාරයන් බවට පත්වී දුන් සාක්‍ෂියක් නැත. ඔවුන් ජනපති වෙනුවෙන් රැුස්වීම් සංවිධානය කර දුන් අවස්ථා තිබුණි. හිටපු ජනපති වටා වත්මන් ජනපතිත් දන්නා කියන චෞර රැුළක් සිටියහ. මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය බව කියන ජනපති මේ වැනි කාරණා ගැන කියන්නේ කුමක්ද? වර්තමානයේ කිසිම දේශපාලනඥයෙක් පහසුවෙන් හසුවන විදියට සොරකම් කරන්නේ නැත. සමහර විට ඔවුන් උපයන වත්කම් තිබෙන්නේ වෙනත් කෙනෙකුගේ නමටය. ඒවා අහිමි වන්නේ උපයා සපයා ගත් තැනැත්තා හදිසියේ මියගිය හොත් පමණි. එබදු නිදසුනක් දෙකක් ලංකාවේ සමාජයේ තිබෙන බව ප‍්‍රසිද්ධ කතාවකි. එබැවින් ජනපති උනන්දු විය යුත්තේ දේශපාලනඥයන් වට වංගුවේ ගොස් කරන දූෂණ ගැන සෙවීමටය. තමාගේ එකා කියා අතහරින්නට ඔහුට කිසිදු අයිතියක් තිබිය නොහැකිය. පළමුව තමාගේ එකාගෙන්ම ආරම්භ කළ යුතුය. දැනට නම් කොහොමටත් ඇත්තේ අනෙකාගෙන් ආරම්භ කරන ගතියකි. සජින් ද වාස් ගුණවර්ධන රජයේ සාක්‍ෂිකරයා බවට පත්වී දුන් සාක්‍ෂි මොනවාදැයි ජනපති විමසා බැලීම වටී.

මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුව ගැන ජනපතිගේ මැදිහත් වීම වැදගත්ය. ඔහු නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීමේ සිට ජනාධිපති කොමිසමක් මගින් ගනුදෙනුවේ ඇතුළත ස්වාභාවය හෙළිකර ගැනීම දක්වා දැරූ තැත ප‍්‍රශස්තය. එහෙත් සමහර දේවල් සිදුවන ආකාරය සැකයට බදුන්වෙයි. ඇලෝසියස් සහ පලිසේන අත්අඩංගුවට ගන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වී මසකට පසුවය. ඒ ඡුන්දය මුවවිටේය. මේ කඩිනම ඡුන්දයෙන් පසුත් පෙනෙන්නට තිබිය යුතුය. බැදුම්කර වාර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදය මුල්වරට 06 වැනිදා පැවැත්විණි. නැවත 21 සහ 22 එය පැවැත්වීමට නියමිතය. එවැනි විවාදයකට හදිසි වීමෙහි අර්ථයක් නැත. විවාදය කළ යුත්තේ ප‍්‍රමාණවත් කාලයක් ඒ සදහා ලබාගෙනය.

මූල්‍ය විනය නමැති විෂයේදී ලංකාවේ මහජන නියෝජිතයෝ භයානක විහිළු සපයති. රට තිබෙන්නේ එයින් ගැලවෙන්නට නොහැකි තැනකය. යහපත් දේශපාලකයන් රටෙහි නායකත්වයට පත්කර ගතහොත් මේ තත්ත්වය සමහන් කර ගත හැකි බව ඇතැම්හු සිතති. එහෙත් ඕනෑම යහපත් නායකයකුට වුව සුගක් හෝ දූෂණය නොවී සිටීමට ඉඩක් මෙම දේශපාලන ක‍්‍රමය විසින් සකසා දී නැත. මිස්ටර් ක්ලීන් යනුවෙන් දීර්ඝ කාලීනව පටබැදුනු නමක් ඇති දේශපාලනඥයකුට පවා මේ ක‍්‍රමය තුළ අවපැහැ ගැන්වීමෙන් බේරී සිටීමට නොහැකි විය. ක‍්‍රමය පවත්වාගෙන යන විට ඒ සදහා උපාය මාර්ග තෝරන විට ඕනෑම වීරයකු අභ්‍යන්තරයෙන් කඩා වැටෙයි. සුගක් දූෂණය වෙයි. අභියෝගය වන්නේ මේ තත්ත්වය තුළ ගෞරවය බේරා ගන්නේ කෙසේද යන්නය.

මූල්‍ය අවභාවිතය යන්න කිසිදු සමාජයකින් මුළුමනින් තුරන් කළ නොහැකිය. අපට දැනට කළ හැක්කේ රටෙහි මූල්‍ය කටයුතුවල විනිවිද පෙනෙන සුළු ස්වභාවයක් ඇතිකර ගැනීමය. මූල්‍ය කටයුතු නිතර පරීක්‍ෂාවට ලක්වන ක‍්‍රමයක් ඇති කර ගැනීමය. ජනපති කියන ආකාරයට මූල්‍ය විනයක් ඇති කිරීමේ ජාතික ව්‍යාපාරයක් ඇති කළ හැකිද යන්න ප‍්‍රශ්නයකි. අප අවධාරණය කළ යුත්තේ පාලන තන්ත‍්‍රයට මූල්‍ය විනයක් තිබිය යුතුය යන්නය. මෙතෙක් නොතිබුණේ එයයි. ජනපතිගේ අවධානය යොමු විය යුත්තේ ඒ සදහාය. එහෙත් ක‍්‍රමය දූෂිත බැවින් ජනපතිගේ සුන්දර අපේක්‍ෂාව බොද නොවනු ඇතැයි සිිතිය නොහැකිය.