රාවය

ජනපතිගේ කතා මරු

ජනපතිගේ කතා මරු

වත්මන් ජනපතිවරයාද මේ වනවිට අපූරු කතාකාරයකු වී ඇත. දේශපාලන වේදිකාවේ තැනට ඔබින ලෙස කතා පැවැත්වීම ඔහු මෝස්තරයක් කරගෙන ඇත. මුලදී ඉතා වැදගත් ලෙස ගරු ගාම්භීරව කතා කළ ජනපති අද වන විට ඔඩියන්ස් එකට විසිල් සපයන කතාකාරයකු වී ඇත.

‘‘මම අභියෝග කරනවා ඔය මහා වීරයන්ට පෙබරවාරි 10ට කලින් එක දවසක් හරි බැඳුම්කර විවාදය අරගෙන පෙන්වන්න කියලා.”

මේ බව ජනපතිවරයා ප‍්‍රකාශ කළේ දෙනියායේ පැවති මැතිවරණ වේදිකාවකදීය. මීට පෙර පානදුර පැවති වේදිකාවේදී ජනපති කීවේ මෙම කොමිෂන් සභා වාර්තා දෙක සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයක් හැකිනම් මැතිවරණයට පෙර පවත්වන ලෙසය. පානදුරදී එහෙම කියන ජනපති දෙනියායේදී කියනුයේ උච්ච ස්වරයෙනි. කාගේ කාගේත් ස්වර වෙනස් වන්නේ තම තම බල ප‍්‍රදේශවලදීය. ජනපති දකුණේදී කතා කරනුයේ එක විදිහකටය. මෙහි දකුණ යනු දකුණු පළාතය. බස්නාහිරදී තව විදිහටය.

ජනපතිගේ අභියෝගය අනුව විවාදයට දින නියම වන්නේය. ඒ අගමැති ඒ අභියෝගය භාර ගැනීම නිසාය. එනම් පෙබරවාරි 6 වැනිදාය. දැන් ප‍්‍රශ්නය නම් දින නියම වූ පසු ජනපති කියන කතාවය.

‘‘බැඳුම්කර – වංචා දූෂණ විවාදය සාර්ථක වනු ඇතැයි විශ්වාස නෑ. මැතිවරණයට පෙර විවාදය යොදා ගන්නා ලෙස අභියෝග කළ නිසා 6 වැනිදාට යොදා ගත්තා. මම දන්නේ නැහැ ඔය එක දවසක පැය ගාණක විවාදයක් කොතෙක් දුරට සාර්ථක වේවිද කියලා. මන්ත‍්‍රීවරුන්ගෙන් 90%ක් ඔය විවාදයට එයි කියලා මම හිතන්නේ නෑ.” මේ ජනපති මෛත‍්‍රීපාල අද පත්තරයට දෙන සාකච්ඡුාවේදී කියන දෑය. ජනපතිවරයා මෙතරම් විහිළු සපයනුයේ කාටද? කටට එන ඕනෑම දෙයක් වාචාලව කියා දාන දේශපාලන වටාපිටාවක ජනපති විනයක් ඇතිව කතා කරනවායැ’යි අපි සිතුවෙමු. එහෙත් අද වනවිට එය බොරුවක් වී ඇත. ජනපති හිස් දොඩාලන්නෙක් බවට පත්වී ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද අහුලන ඡුන්ද යාදින්නෙක් බවට ඔහු පත්වී ඇත. මේ සාගින්න කුමක්ද? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වේයැ’යි බියද? පොහොට්ටුවටත් පිටුපස නවතීයැ’යි පවතින සැකයද?

යහපාලනයක් කියමින් මහා කයිවාරු ගැසූ අය පුංචි ඡුන්දයේදී එකවර දෙබිඩි භාවයෙන් මිදී තනි තනි මාවතට පිවිස මෙලෙස කෑමොර දෙයි නම් ලබන වසරේ ජනපතිවරණයත් සමග කුමන කතා ජනතා කන්වලට ඇසිය හැකිවනු ඇත්ද?

යහපාලනය කතා කළ ආණ්ඩුව මෙවර ඡුන්දයෙන් තනි මාවතේ යන්නේ එකට බදාගත් අයගේම සළු පිළි එකිනෙකා උනා ගනිමින් නොවේද? මේ වාද විවාද හරහා පෙනෙනුයේ එය නොවේද? රටට පේන්නට එකකු ලෙස සිටිනවා කියන ආණ්ඩුවේ ව්‍යාජ ගමන් මග නොවේද? ඡුන්දෙන් පසු නැවත මොවුන් එකතු වන බව දෙපැත්තෙම අය කියති. මේ ඡුන්ද ලබාගැනීමේ සෙල්ලමක් බව තවත් විටක ඇසේ. මේ සෙල්ලමෙන් පොහොට්ටුව පිපුණද පුදුම විය යුතු නැත. ‘‘වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්” යැයි ජනවහරේ එති.

මේ අතර තවත් වේදිකාවකදී ජනපතිවරයා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු 96 දෙනා එකතු කරගෙන නව අගමැතිවරයකු යටතේ ආණ්ඩුවක් කරන බවය. ජනපති මේ ප‍්‍රකාශ හිතු හිතූ ලෙස ප‍්‍රකාශ කරනුයේ ඇයි? එලෙස උදම් අනන ඔහු තවත් විටෙක කියෙනුයේ බැඳුම්කාර හොරුන් අල්ලන්නට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙසය. මෙලෙස පින්සෙණ්ඩු වන්නේ අගමැතිටය. එවිට මතුවන ප‍්‍රශ්නය අගමැතිගෙන් නොඅසා නොඉල්ලා ජනපති කිසිවක් නොකරන බවද? කළ නොහැකි බවද?

අද ඇත්තටම 19 වන සංශෝධනයත් සමග ඇත්තේ එදා සිට ඒකාධිකාර බලසම්පන්න ජනපති නොවේ. පුද්ගල ඒකාධිකාරිය බිඳ දැමීම යහපත්මුත් එය අනෙක් අතට සිදුකොට ඇත්තේ අගමැති ඒකාධිකාරියකු කිරීමය.

ජනපති කියන ආකාරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 96 එකතු කර ගත්තද ඔහුට කළ හැකි දේ සීමිත වී ඇත. ඒ ගැන ජනපති තවමත් නොදැනුවත්ද යන්න බරපතළය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමට පෙර පැවති ව්‍යවස්ථාවේ 47 වැනි ව්‍යවස්ථාව අනුව ජනපතිගේ අභිමතය පරිදි අගමැතිවරයා පත් කළ හැකි වුවද 19 වැනි සංශෝධනයේ 46 (2) ව්‍යවස්ථාව අනුව නව අගමැතිවරයා පත් කිරීම සඳහා වර්තමාන අගමැතිවරයා ස්වකැමැත්තෙන්ම ඉල්ලා අස්විය යුතුය. එසේ නොව තැන කළ හැකි දෙයක් නැතිය. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිකමෙන් ඉවත් කිරීම ජනපතිට කළහැකි නොවේ. එනිසාමදෝ රනිල් වික‍්‍රමසිංහ මහතා කියනුයේ 2020 වන තෙක් තමන් සිටින බවය. මේ බව නීති විශාරදයන් නොබෝදා මාධ්‍යයද දැනුවත් කළේය.

19 වන සංශෝධනයට පෙර ජනපතිවරයාට ලිඛිත දැනුම්දීමකින් අගමැති ඉවත් කළ හැකිය. එහෙත් ජනපති ඒ මතයේම සිටිනවා විනා නව නීති ගැන විමසුම් නැති ගාණය. එසේ නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සැවොම අනාගෙන ඇති බව පැහැදිලිය. එය තව කෙනෙකුගෙන් තව කෙනෙකුට බලය ලබාගැනීමට ගත් බරක් විනා සාධාරණ විසඳුමක් නොවන තැනට තල්ලූවෙමින් පවතී. එහි නරක විපාක කලඑළි බසිමින් තිබේ. අගමැති නොව අගමැතිගේ උපදෙස් නොමැතිව මන්ත‍්‍රීවරයකු හෝ ඉවත් කිරීමේ හැකියාව දැන් ජනපතිට නොමැතිය.

ඒ අනුව බලන කල යූඑන්පී ආණ්ඩුව සිය ඡුන්දවලින් ජනපති කෙනෙකු ගෙනාවේ යන්න ඕනෑ වූ විට පහසුවෙන් යන්න නොදෙන තැනට මෙන්ම හිතුමතේ ක‍්‍රියා කිරීමටද නොහැකි අයුරින් බව පැහැදිලිය. සැවොම එකට පැටලී ඇත. තනිව දැලෙන් රිංගා යා නොහැකිය. යනවා නම් සියල්ල වෙර දරා එකට ගැළවිය යුතුය. එයට එළැඹෙන ජනපතිවරණය තෙක් සිටිය යුතු වේ. 2020 වන තෙක්ම ඉවසිය යුතු වේ. ඒ අතර කාලය තුළ සැමට තම ආතතිය පිට කළ හැකිය. මේ සිදුවන්නේ එයය. අද වනවිට වඩා මට්ටු වී ඇත්තේ ජනපති බව පැහැදිලිය. ඔහු කියන සියලූ කතා ඊට දෙස් දේ. එමෙන්ම පක්ෂය ගැන ඕනෑවටත් වඩා ආලයෙන් වෙලෙන ඔහු කසාදයේ නීත්‍යනුකූලභාවයන් නොසලකා හැර ඇති ගාණය. සැබැවින්ම සිදුව ඇත්තේ ඔහු අලූත් විධි ගැන නොදැනුවත් බවය. ඒ නිසා ඔහු කියන දේම ඔහු දිනෙන් දින කුඩා කරමින් සිටී. ජනවාරි 08 වැනිදාක මහා යෝධයකු වූ එතුමා ජනවාරි 08 වැනිදාවන් පසුවන්න පසුවන්න එන්න එන්නටම කුඩාවෙමින් සිටී. තව ටික කලකින් තමා උගුලක හසුවී ඇතැයි ඉන් තමා ගළවන්නැයි ජනතාවගෙන් තව එක වරමක් ඉල්ලූවත් අප පුදුම විය යුතු නැත. මන්ද සැබැවින්ම ඔහු උගුලක සිරවී ඇත. ප‍්‍රශ්නය තවමත් ඔහු එය නොදැන සිටීමය. දැන් හෝ ඔහු කළ යුතුව ඇත්තේ එකතුව කළ හැකි දේ කිරීමය. නැතහොත් තමන් හෑල්ලූ නොවී නිහඬව සිටීමය.