රාවය

ලෝකය දෙස සුබවාදීව බැලීම

ලෝකය දෙස සුබවාදීව බැලීම

අද දෙස් විදෙස් ප‍්‍රවෘත්ති නරඹන විට සහ පුවත්පත්, සඟරා කියවන විට, කරදරයක් නැතිව සුවසේ විසීම සඳහා සුදුසු කිසිදු තැනක් ලොව තුළ නැතැයි යන හැඟීම පාඨකයා තුළ ඇතිවීම නොවැළැක්විය හැකිය. ඇමරිකාව වාර්තා කරන්නේ භයානක සුළි කුණාටු, කාලගුණ විපර්යාස හා කුරිරු වෙඩි තැබීම් ගැනය. උතුරු කොරියාව හා ඇමරිකාව නුදුරේදී න්‍යෂ්ටික යුද්ධයකට පැටලෙනු ඇතැයි භයානක අනාවැකි දස දෙසින් පළවෙයි. මියන්මාරයේ මුස්ලිම් සංහාරය, සිරියා සහ යේමන සිවිල් සංග‍්‍රාම පිළිබඳව කියවන විට අපට හැෙඟන්නේ ලෝකය මතුදා කැබලිවලට කැඞී යනු ඇතැයි කියාය. එහෙත් වත්මනෙහි ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන හැට හැවිරිදි බිල් ගේට්ස් පවසන්නේ, සමස්තයක් වශයෙන් ගත් කල ලෝකය ඊයේට වඩා යහපත් තැනක් බවට පත්වෙමින් තිබෙන බවයි. ඔහු මෙම සුබ පණිවුඩය ගෙන එන්නේ හිතළුවක් ලෙස නොව, විශ්වසනීය දත්ත සමූහයක් අතැතිවය. 1990දී ලෝක ජනගහනය වූ බිලියන 5.2න් 1/3 කටත් වඩා පිරිසක් (මිලියන 1733ක්) අන්ත දුප්පතුන් ලෙස ජීවත් විය. එහෙත් මේ වන විට ලොව වෙසෙන අන්ත දුගියන්ගේ ප‍්‍රමාණය (වත්මන් ලෝක ජනගහනය බිලියන 07කි) ලෝවාසීන්ගෙන් 1/10ක් හෙවත් මිලියන 700 දක්වා පහත වැටී තිබේ.

සුව සේවා වර්ධනය

මීට වසර 30කට පෙර, ඉතියෝපියාවේ විසූ සෑම ළමයින් පස්දෙනෙකු අතරින් එක් අයෙකු තම 05 වැනි උපන් දිනය තෙක් ජීවත්වීමට වරම් ලැබුවේ නැත. එහෙත් සුව සේවාවන්හි වර්ධනයත් සමග, අවුරුදු 05න් පහළ ළමා මරණ (1990 සිට 2012 දක්වා වන කාලවකවානුව තුළ) සංඛ්‍යාව 2/3කින් අඩුකර ගැනීමට ඉතියෝපියාව සමත් විය. සමස්තයක් ලෙස ගත් කල ලෝක ළමා මරණ සංඛ්‍යාව හරි අඩකින් පහත වැටුණු අතර පසුගිය වසර 25 තුළ දරුවන් මිලියන 122ක් අකල් මරණවලින් බේරාගැනීමේ හැකියාව ලෝකයට ලැබුණි. වසර 05කට ආසන්න කාලයක් තිස්සේ ඇවිළ ගිය දෙවැනි කොංගෝ සංග‍්‍රාමයට (1998-2003* අප‍්‍රිකානු රටවල් 09ක් සහ සන්නද්ධ හමුදා 20ක් පටලැවී තිබුණි. අප‍්‍රිකානුවන් මිලියන 5.4ක් මරු වැළඳ ගත් මෙම යුද්ධය, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව හටගත් දරුණුම සංග‍්‍රාමය ලෙස හැඳින්විය හැකිය. එකිනෙකා හා යුද වැදුණු මෙම සන්නද්ධ කල්ලිවල විනෝදාංශය වූයේ අතට අසුවුණු හැම දරුවෙක්ම, කාන්තාවක්ම සමූහ දූෂණයට ලක්කිරීමයි. වයස අවුරුදු හතරේ ළදැරියන් පවා මොවුන්ගේ බරපතළ ලිංගික හිංසාවන්ට බඳුන් විය. ප‍්‍රංශයේ ඇන්ගර්ස් වෛද්‍ය විද්‍යාලයෙන් ප‍්‍රසව හා නාරිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධිය දිනා සිටි කොංගෝ වැසියෙකු වූ ඩෙනිස් මුක්වෙජ්, ලිංගික අතවරවලට පත් කොංගෝ දරු දැරියන්ට හා කාන්තාවන්ට පිහිටවනු වස් 1999දී කොංගෝහි බුකාවූ පෙදෙසේ ‘පැන්සි’ නමැති රෝහල ස්ථාපිත කළේය. බොහෝවිට, අතවරයට පත් කාන්තාවන් පැන්සි ආරෝග්‍යශාලාව වෙත ගෙන එනු ලැබුවේ ශරීරයේ නූල් පොටක් පවා නැතිවය. සමූහ දූ ෂණ හේතුවෙන් ඔවුන්ගේ ලිංගික අවයව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. දිනකට පැය 18ක් වැඩ කරමින් ශල්‍යකර්ම 10ක් දෛනිකව සිදුකිරීම වෛද්‍ය ඩෙනිස්ගේ පරිචය විය. ශාරීරිකව, මානසිකව සහ ආර්ථික වශයෙන් පූර්ණ ලෙස අනාථව සිටි කාන්තාවන් හා දැරියන් 50,000කට පමණ ශල්‍යකර්ම සිදු කොට එතැනින් නොනැවතුණු වෛද්‍ය ඩෙනිස් මුක්වෙජ්, ඔවුන්ට නැවත ජීවිතය ගොඩ නගා ගැනීමට අවශ්‍ය ජීවනෝපායයන්, මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සහ ඉන්න හිටින්නට නිවෙස් පවා ලබා දුන්නේ ප‍්‍රංශ හා යුරෝපීය දානපතියන්ගේ නොමසුරු මූල්‍ය ආධාර ඒ සඳහා ලබාගනිමිනි.

සුබවාදී චින්තනය

හතරවටින්ම මරණයේ සෙවණැලි හොල්මන් කළද සමූහ දූෂණවලින් නන්නත්තාර වූ කතුන්ට නව ජීවනයක් කෙසේ හෝ ලබාදීම කළ හැකියැයි යන සුබවාදී සිතිවිල්ල තමාව නිතරම ශක්තිමත් කළ බැව් වෛද්‍ය ඩෙනිස් පවසයි. දෙවන කොංගෝ යුද්ධයෙන් පසුවද වුවද විවිධ ගෝත‍්‍රික කල්ලි අතර හටගන්නා ආරාවුල් හේතුවෙන් සමූහ ස්ත‍්‍රී දූෂණය තවමත් කොංගෝ රට තුළ සිදුවන නිසා පැන්සි රෝහලට රෝගීහු නොකඩවා පැමිණෙති. 2012 සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් වෛද්‍ය ඩෙනිස් මුක්වෙජ් අවධාරණය කර සිටියේ, කොංගෝ රජය තම රටේ කාන්තාවන් ආරක්ෂා කිරීම හා අදාළව කිසිදු සාධනීය පියවරක් නොගන්නා බවයි. ධනවත් රටවල්ද මේ ඛේදවාචකය ගැන දක්වන අවධානය ප‍්‍රමාණවත් නොවන බැව් ඔහු කීය. මෙම කතාවෙන් කුපිත වූ පාලකයෝ, 2012 ඔක්තෝබර් 25 දින ආයුධ සන්නද්ධ ඝාතකයන් 04 දෙනෙක් ලවා වෛද්‍ය ඩෙනිස්ගේ නිවසට දිගට හරහර වෙඩි ප‍්‍රහාර එල්ල කළ නමුත් අනූනවයෙන් තම ජීවිතය බේරාගෙන, සිය පවුල සමග ප‍්‍රංශය බලා පැනයාමට ඔහුට හැකිවිය. ඔහු නික්ම ගිය පසු පැන්සි රෝහල තාවකාලිකව වසා දැමිණි. දැන උගත් කොංගෝ කාන්තාවෝ, කෙසේ හෝ යළි මව්බිමට එන්නැයි ආයාචනය කරමින් වෛද්‍ය ඩෙනිස්ට දිගින් දිගටම ලිපි යැවූහ. ඒ අනුව, 2013 ජනවාරි 14 දින හෙතෙම කවුමු ගුවන්තොටින් කොංගෝවට පය තැබූ මොහොතේ ඔහුව පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ සිට සැතපුම් 20ක් දිගට මාර්ගය දෙපස කාන්තාවෝ දස දහස් ගණනින් එක්රොක්ව සිටියහ. තම ජීවිතය පරදුවට තබමින් අසරණ කොංගෝ කාන්තාවන්ට හැම අතින්ම පිහිටවීමේ ගුණය අගයමින්, 2015 මැයි 28 දින ඇමරිකාව් හාවර්ඞ් සරසවිය වෛද්‍ය ඩෙනිස් මුක්වෙජ්ට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීය. අද කොංගෝවේ සුව සේවා සංවර්ධනය සඳහා යූරෝ හා ඩොලර් බිලියන ගණනින් එරටට ගලා එන්නේ වෛද්‍ය ඩෙනිස් මුක්වෙජ් නමැති තනි මිනිසාගේ යෝධ ප‍්‍රතිරූපයට පින්සිදුවන්නටය. ප‍්‍රතිපාදන බෙදාහැරීමේදී කොංගෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය ඩෙනිස්ගේ මැදිහත්වීම (කමිටුවක් හරහා), අකමැත්තෙන් වුවද වත්මනෙහි ලබාගන්නට සිදුව ඇත්තේ ආධාර දෙන ධනවත් රටවල් විසින් සිදුකරන බලපෑම නිසාය. කොංගෝ කාන්තාවන් බලාත්මක කිරීමට තමාට හැකිවූයේ, සාගින්න, ලෙඩරෝග හා යුද ගිනි මැද වුවද සුබවාදී ලෙස ලෝකය දෙස බලන්නට හුරු පුරුදු වූ නිසා යැයි වෛද්‍ය ඩෙනිස් මුක්වෙජ් පවසයි.

සෙජෙනෙට් කෙලෙමු

1957 මැයි 20 දින, ඉතියෝපියාවේ ෆිනොටේ සිලාම් නමැති කුඩා ගමෙහි ඉපැදුණු සෙජෙනෙට් කෙලෙමු දැරියට පාසල් යාම සඳහා තිබුණේ එකම එක ගවුමකි. සපත්තු, සෙරෙප්පු මිලදී ගැනීම පිණිස, ගොවිතැන් කටයුතුවල යෙදුණු ඇගේ මව්පියන්ට අතමිට මුදල් නොතිබුණි. පාසල් ඇරී ආ විගස නිවසේ වගා කටයුතුවලට සහාය දීමට ඇයට සිදුවිය. සති අන්තයේදී අස්වැන්න පොළේදී අලෙවි කොට ලබන සොච්චම් මුදල තම පවුලේ අයගේ දෛනික වියදම් සඳහාවත් ප‍්‍රමාණවත් නොවන වග ඇයට කුඩා කල සිටම වැටහුණි. ගොවිබිම්වල ඵලදාව ඉහළ නංවනු පිණිස තමා කෘෂිකර්ම විෂය උගත යුතුයැයි කෙලෙමු හැමවිටම සිතුවාය. 1974දී උසස් පෙළ ඉහළින් සමත්ව ඉතියෝපියාවේ අසීස් අබාබා විශ්වවිද්‍යාලයට ඇතුළු වුණු ඇය 1979දී තම විද්‍යා උපාධිය එහිදී දිනාගත්තාය. ශාක ව්‍යාධි පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ඇමරිකාවේ මොන්ටානා සරසවියෙන්ද, අණූක ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ඇමරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයෙන්ද ලබාගැනීමට ඇය සමත් විය.

1992 සිට 2007 දක්වා, නිවර්තන කලාපීය කෘෂිකර්මය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස සේවය කළ කෙලෙමු, 2007 අගෝස්තුවේදී නැවත ඉතියෝපියාව බලා පැමිණියේ මව්බිමට මෙන්ම තෙවන ලෝකයේ රටවලට තම විශේෂඥ දැනුම ලබාදීමේ අරමුණෙනි. අප‍්‍රිකාව, ආසියාව, උතුරු ඇමරිකාව හා ලතින් ඇමරිකාව යන කලාපයන් තුළ සිදුවන සියලූ වගාවන්ට වින කරන කෘමීන් සම්පූර්ණයෙන් පාලනය කිරීමේ තාක්ෂණය සහ පස සරු කිරීමේ ක‍්‍රමවේද සොයාගත් නිසා චීනය, ඊශ‍්‍රාලය හා ඇමරිකාව ලොව විශිෂ්ටතම කෘෂි විද්‍යාඥවරිය ලෙස ඇයව නම් කරනු ලැබීය. සාමාන්‍ය තත්ත්වයේ සිටි ඉතියෝපියානු ගොවීන් 20,000ක් ගෝලීය වෙළෙඳපොළේ නමක් දිනූ අපනයනකරුවන් බවට පරිවර්තනය කළ හෙයින් ලෝ ප‍්‍රකට ඇග්රි ජෙන්ඩර් සඟරාව, ආචාර්ය සෙජෙනෙට් කෙලෙමු ලොව බලවත්ම අප‍්‍රිකානු කාන්තාවන් 10 දෙනාගේ 2014 ලැයිස්තුවට එකතු කළේය. ගෙවිළියක වූ තමාට, මුළු ලෝකයේම කෘෂි ඵලදාව ඉහළ නැංවිය හැකි විද්‍යාඥයෙකු වීමට හැකිවූයේ හැම දුෂ්කර ගැටලූවකටම සාර්ථක විසඳුමක් කොහේ හෝ තිබේයැයි තමා සුබවාදීව සිතූ නිසා වග ඇය කියයි.

ඩිජිටල් පුස්තකාලය

පාසල් ගියද, මූලික ගණිත දැනුම හා මැනවින් කියැවීමේ හැකියාව නොමැති දරු දැරියන් මිලියන 250ක් පමණ අද ලොව පුරා වෙසෙයි. මෙම ළමයින්ගෙන් 70%ක්ම වෙසෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. අඩු ආදායම්ලාභී රටවල දරු දැරියන්ට, ඔවුන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා අවසන් වන මොහොතේ ඒ අයට කියවීමේ මූලික කුසලතා නියමානුකූලව පිරිනැමීමට හැකි වුවහොත් මිලියන 171ක් දරුවන් අන්ත දිළිඳු බවෙන් මුදවාගත හැකිය. නිව්යෝක්හි මූල්‍ය විශේෂඥයන් කණ්ඩායමකගේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ක‍්‍රියාත්මක වන ‘ඩිජිටල් පුස්තකාලය’ රැුස්ප්බෙරි තාක්ෂණය ඔස්සේ (අන්තර්ජාල පහසුකම් නොමැති පාසල්වලට පවා) කියවීමේ මූලික හැකියාව වර්ධනය කරන ඉලෙක්ට්‍රොනික පොත්පත් 3500කට වැඩි සංඛ්‍යාවක් පිරිනැමීමට කටයුතු කරයි. හයිටි, මොංගෝලියා, රුවන්ඩා හා කාම්භෝජය වැනි රටවල මෙය අතිසාර්ථකව ක‍්‍රියාත්මක වෙයි. රටකට අවශ්‍ය ඩිජිටල් පොත්පත් එම රටේ භාෂාවෙන්ම නිර්මාණය කරදීමට මොවුහු මූල්‍ය ආධාර සපයති. 2018 ජනවාරි 04 වැනිදා මෙකී ඩිජිටල් පුස්තකාලයේ ආසියානු ප‍්‍රධානියා වන සහීලන් සින්තරාජා සමග කොළඹ ෂන්ග‍්‍රිල්ලා හෝටලයේදී දීර්ඝ සාකච්ඡුාවක් පැවැත්වීමට මෙම ලියුම්කරුට හැකිවිය. නිව්යෝක්හි බ්ලූම්බර්ග් ආයතනයේ මූල්‍ය විශ්ලේෂකයෙකු වන ඔහු, මේ ඩිජිටල් පුස්තකාල පහසුකම් ශ‍්‍රී ලංකාවේ පාසල් 05ක් සඳහා ලබාදීමට එකඟතාව පළ කළේය. වචන අඩු, පින්තූර වැඩ, පහසුවෙන් කියවිය හැකි විශාල ඩිජිටල් ග‍්‍රන්ථ සංඛ්‍යාවක් මෙම අධ්‍යාපනික ඊ වේදිකාව තුළින් මතුදා උකහාගන්නා ශ‍්‍රී ලාංකික දරු දැරියන්ට, එමගින් ඔවුන්ගේ මූලික ගණිත, විද්‍යා හා ඉංග‍්‍රීසි දැනුම වැඩි දියුණු කරගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. ඩිජිටල් පුස්තකාලයෙන් මූල්‍ය ආධාර ලබාගෙන වෘත්තීය පුහුණුව හා අදාළ (ගොඩනැගිලි තාක්ෂණ ශිල්පය, සංචාරක කර්මාන්ත ක්ෂේත‍්‍රය හා හෙද සේවය) පොත්පත්ද සිංහලෙන් හා දෙමළ බසින් නිර්මාණය කිරීම අපේ අපේ්ක්ෂාවයි. වෛරී උද්ඝෝෂණ හා අපේක්ෂා භංගත්වයෙන් අප රටේ ඊළඟ පරම්පරාව කෙසේ හෝ මුදවා ගැනීම පිණිස ලෝකය දෙස සුබවාදීව බැලීම අත්‍යවශ්‍ය යැයි මෙහි සඳහන් කිරීම වටී.