රාවය

නීතිය දණ ගැස්වීම

නීතිය දණ ගැස්වීම

රාජ්‍ය පාලකයන් සහ නීතිය බලගන්වන ආයතන අතර ගැටුම් බොහෝ රටවල තිබේ. මේ දිනවල මාල දිවයිනේ එවැනි තත්ත්වයක් උද්ගත වී ඇති අතර විධායකය සහ අධිකරණය අතර බරපතළ ගැටුමක් නිර්මාණය වී තිබේ. දේශපාලන සිරකරුවන් ලෙස දඩුවමට ලක් ව සිටින හිටපු ජනාධිපතිවරයා ඇතුඵ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 9 දෙනකු නිදහස් කරන ලෙස සහ ආසන අහිමි කරවන ලද තවත් විපක්‍ෂ මන්තී‍්‍රන් 12ක් නැවත මන්තී‍්‍රධුරවල පිහිටුවන ලෙස ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට ඇති අතර එම නියෝගය වත්මන් ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත. එයට පිළිතුරු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තමන් වෙත ඉදිරිපත් කරන්නැ’යි නීතිපතිට නියෝග කිරීමයි. නීතිපති එම නියෝගය කි‍්‍රයාත්මක නොකරන අතර එයට ඉඩ නොතබන්නැයි ආරක්‍ෂක විෂය භාර අමාත්‍යවරිය පොලීසියට හා හමුදාවට නියෝග කොට ඇත.

ඒ අතර සිරගතව සිටි හිටපු ජනාධිපතිවරයා හැර අනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් විසිදෙනා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමත් සමග විපක්‍ෂයේ බහුතරය වැඩි වී ඇති අතර කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නට ඔවුන් සැලසුම් කොට ඇත. එවිට ජනාධිපතිවරයා කළේ හමුදාව ලවා පාර්ලිමේන්තුව වසා දමා විපක්ෂ මන්ත‍්‍රීන්ට එහි පිවිසෙන මං ඇහිරීමයි.

විපක්‍ෂ මන්තී‍්‍රන් අත්අඩංගුවට ගෙන ඇති අතර හිටපු ජනාධිපති මෙන්ම ප‍්‍රගතිශීලී පක්‍ෂයේ නායක මඋමූන් අබ්දෙල් ගයුම් ද නිවාස අඩස්සියේ තබා ඇත.
විරෝධතා ව්‍යාපාර මාලේ අගනුවර කි‍්‍රයාත්මකවෙමින් පවතින හෙයින් 5දා සවස හදිසි අවස්ථාව පනවන ලදි. ඒ යටතේ අගවිනිසුරු හා තවත් විනිසුරකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන්නා ලදි. විරෝධතාකරුවන්ට පොලීසිය පහර දෙන හා ඇදගෙන යන දර්ශන පුවත් අඩවිවල දැකිය හැකි ය.

ඉන්පසු 06දා අපූර්ව දෙයක් සිදුවිය. අත්අඩංගුවට නොගැනුණු ඉතිරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් තිදෙනා එක් ව පෙර සාමුහිකව ගත් තීන්දු සියල්ල අහෝසි කිරීමයි ඒ. මෙය අසන ඕනෑම කෙනෙක් අන්ද මන්ද වනු නිසැක ය. නීතිය විධායකය ඉදිරියේ දණින් වැටීම ගැන මෙය හොඳම උදාහරණයක් වනු නිසැක ය.

සංචාරක පාරාදීසයක් වන මාලදිවයිනේ මාලේ අගනුවර සංචාරකයන්ට ආරක්‍ෂිත ස්ථානයක් නොවන බැවින් එහි යාමෙන් වළකින්නැ’යි බි‍්‍රතාන්‍යය සහ චීනය ඇතුඵ රටවක් කිහිපයක් සිය රටවල ජනතාවට දැනුම් දී තිබේ.

විධායකය විසින් නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අපේ රට නම් දරා සිටි සහ සිටින බැවින් අපට මෙවැනි දෑ ආගන්තුක නොවේ. නීතිපති විධායකය යටතේ පැවැති කාලයක් තිබූ අතර අගවිනිසුරු දෝෂාභියෝගයක් මගින් ඉවත් කරන ලදි.

නීතිය තමන්ට රිසි පරිදි කි‍්‍රයාත්මක නොවන විට පාලකයන් කෝපවන අවස්ථා දුලබ නොවේ. මේ සම්බන්ධ ආසන්නතම උදාහරණය සැපයෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙනි.

අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයාත්මක විමර්ශන කටයුතු සඳහා වන ෆෙඩරල් කාර්යාංශය හෙවත් එෆ්බීඅයි ආයතනය බදු අරමුදලින් නඩත්තු කෙරෙන විශාලතම විමර්ශන ආයතනයකි. එය දෙවැනි වෙතොත් ඒ මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් සීඅයිඒ සංවිධානයට පමණි. එහෙත් මේ ආයතන දෙකේ කාර්යභාරයන් ඉඳුරා වෙනස්ය.

කවර ක්‍ෂෙත‍්‍රයකදී වුවත් රටේ ෆෙඩරල් නීතිය උල්ලංඝනය වන සහ විය හැකි අවස්ථාවල ඒ ගැන විමසිල්ලෙන් සිටීම එෆ්බීඅයි වෙත පැවරී ඇති මූලිකම රාජකාරියයි. ඒ අනුව ජනාධිපතිවරණවලදී ඔවුහු ඒවාට අදාළව ගොනු විවෘත කොට පවත්වා ගෙන යති. මන්ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අපෙගේ වැනි රටවල මෙන් නොව ලිස්සා යන්නට ඉඩ නොදීම රාජ්‍ය සේවයේ බරපතළ වගකීමක් ලෙස ඒ රටවල ජනතාව සහ ව්‍යවස්ථාදායකයන් කල්පනා කරන හෙයිනි.

2016 අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී ඉදිරියෙන් ම සිටි අපේක්‍ෂකයන් වූයේ රිපබ්ලිකන් පක්‍ෂයේ ඩොනල්ඞ් ජේ. ට‍්‍රම්ප් සහ ඩිමොක‍්‍රැටික් අපේක්‍ෂක හිලරි ක්ලින්ටන්ය. ට‍්‍රම්ප් දේශපාලනයට නවකයකු වූ අතර ක්ලින්ටන් 2008 වසරේ ඩිමොක‍්‍රැටික් අපේක්‍ෂකත්වයට තරග කළ මෙන් ම පසුව අමෙරිකාවේ විදේශ අමාත්‍ය ධුරය හෙවත් රාජ්‍ය ලේකම් ධුරය දැරූ තැනැත්තිය වූවාය.

ට‍්‍රම්ප් සහ ඔහුගේ රිපබ්ලිකන් පාක්‍ෂික මෙන්ම එසේ නොවන ආධාරකරුවන් මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට 2016 මුල් කාර්තුවේ තරම් ඈතකදී පැමිණිලි ලැබී තිබිණි. ඒවා බොහෙමයක් බරපතළ චෝදනා වූ අතර විදෙස් රටවල රාජ්‍ය නායකයන්ගේ නම් පවා ගෑවී තිබිණි. වහා ඒ ගැන පරීක්‍ෂණ පවත්වන ලෙස එවකට අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් එෆ්බීඅයි වෙත නියෝග කරන ලදි.

පරීක්‍ෂණවල ප‍්‍රස්තුතය කාටර් පේජ් නමැති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටනේ පතාක යෝධයකු ව සිටියෙකි. ඔහු එම ව්‍යාපාරයේ විදෙස් රහස් ඔත්තු සේවා අංශයේ ප‍්‍රධානියාය. එෆ්බීඅයි ආයතනය විදේශ රහස් ඔත්තු ආවේක්‍ෂණ පනත යටතේ ඔහු පිළිබඳ ඔත්තු බැලීමේ නිරතවීමට අනුමැතිය ලබා ගෙන ඇති අතර ඒ අනුව විදෙස් රහස් ඔත්තු ආවේක්‍ෂණ අධිකරණය වෙතින් නියෝග ලබාගෙන විමර්ශනවල නිරත වී ඇත. කාටර් පේජ්ගේ ඉලෙක්ට්‍රොනික ආවෙක්‍ෂණය එමගින් කරන ලදි.

ඔබාමා පරිපාලනය යටතේ සිදුවූ මෙම ආවේක්‍ෂණ කටයුතු පක්ෂග‍්‍රාහීව සිදුකර ඇති බවට වාර්තාවක් කොංග‍්‍රස් සභික මෙන් ම රහස් ඔත්තු සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ඩෙවින් න්‍යුන්ස් විසින් රහස්‍ය මෙමෝ පතක් මගින් ජනවාරි මැදභාගයේ ඉදිරිපත් කරන ලදි. එහි මූලික හරය වන්නේ පේජ් කාටර් සම්බන්ධ සිද්ධියේදී අධිකරණ දෙපාර්තමේන්තුව සහ එෆ්බීඅයි පමණ ඉක්මවා කටයුතු කොට ඇති බවයි.

මේ මෙමෝ පති‍්‍රකාවේ අඩංගු කරුණු මාධ්‍යයට හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් න්‍යුන්ට චෝදනා නැගුණු අතර ව්‍යවස්ථාදායකයේ ආචාර ධර්ම කමිටුව විසින් ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වන ලදි. එම පරීක්‍ෂණයෙන් න්‍යුන් නිදොස් බව තීරණය කරන ලදි. නැවතත් ඔහු රහස් ඔත්තු සේවා කමිටුවේ සභාපති ධුරයට පත් විය.

කාටර් පේජ් ගැන ආවේක්‍ෂණය අපක්ෂපාතීව සිදු නොවූ බව ට‍්‍රම්ප් මුල සිට ම කියා සිටියේ ය. එය එවකට බලයේ සිටි ඩිමොක‍්‍රැටික් පරිපාලනයේ විරුද්ධවාදීන් දඩයම් කිරීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස ඔහු හැඳින්වීය. එහෙත් කාටර් පේජ් ආවෙක්ෂණයෙන් සොයාගත් කරුණු අනුව රුසියානු රහස් ඔත්තු සේවා 2016 ජනාධිපතිවරණයේ ද ට‍්‍රම්ප් දිනවීමට සෑහෙන වැඩ කොටසක් ඉටු කොට ඇත.

(බලන්න: ට‍්‍රම්ප් දිනුවේ පුතින්ගේ තුරුම්පුවලින් රාවය 2017 නොවැම්බර් 05)
න්‍යුන් මෙමෝ ලෙස හැඳින්වෙන ඉහත සඳහන් ලේඛනය ව්‍යවස්ථාදායකය විසින් ප‍්‍රසිද්ධ කළ යුතු යැ’යි න්‍යුන් විසින් යෝජනා කරන ලදි. එහෙත් ඩිමොක‍්‍රැට් පාක්‍ෂිකයෝ එයට දැඩි සේ විරුද්ධ වූහ. ජනාධිපති ට‍්‍රම්ප් එය ප‍්‍රකාශයට පත් කළ යුතු බව එක හෙළා කියා සිටි අතර කොංග‍්‍රසයේ දී ඊට අදාළ යෝජනාවක් ඉදිරිපත් කරන ලදුව අනුමැතිය හිමිවිය. ඒ ලේඛනය දැනටමත් අන්තර්ජාලයේ කියැවිය හැකිය. ඩිමොක‍්‍රැටික් පාක්ෂිකයන්ගේ විරෝධය ගැනද ජනාධිපතිවරයා සිය කෝපය පළ කළ බව වාර්තාවල සඳහන් ය.

ට‍්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ පරිපාලනය බාරගත් වහාම මුලින් ම කළ රාජකාරිවලින් එකක් නම් එවකට එෆ්බීඅයි ප‍්‍රධානියාව සිටි ජේම්ස් කෝනි තනතුරෙන් පහකිරීමයි. ඒ ඔහු රිපබ්ලිකන් පාක්ෂිකයන්ට එරෙහිව ඒකපාක්ෂික වූයේ යැ’යි චෝදනා නගමිනි. රුසියාව අමෙරිකානු ජනාධිපතිවරණයේ දී මැදිහත් වූයේ ද යන්න පරීක්‍ෂා කිරීමට පත් කරන ලද රොබර්ට් ම්‍යුලර් නමැති විශේෂඥයා ද ට‍්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්විය. ම්‍යුලර්ගේ පරීක්‍ෂණයෙන් අනාවරණය වන තොරතුරු අනුව ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් වුව ඉදිරිපත් විය හැකි බව තතුදත් මතයයි.

පසුගිය සතියේ එෆ්බීඅයි ආයතනයේ අධ්‍යක්‍ෂ කි‍්‍රටෝෆර් බැරි ප‍්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා න්‍යුන් සහ ට‍්‍රම්ප් ඇතුඵ රිපබ්ලිකන් පාක්‍ෂිකයන්ගේ කි‍්‍රයාපිළිවෙත විවේචනය කළෝ ය. මේ සාමාන්‍යයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ සිදුවන ඒවා නොවේ.

එෆ්බීඅයි ආයතනය පෙන්වා දෙන්නේ කොංග‍්‍රසය මේ සම්බන්ධයෙන් විවාද කරන විට රාජ්‍ය ආයතනයක් වශයෙන් ඊට කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට ඇති අවස්ථාව ඉතා සිමීත බවයි. ඇරත් මේවා රාජ්‍යාරක්ෂාව පිළිබඳ කරුණු ය. මේවා ජනතාව ඉල්ලා සිටින්නේ නැත. මේ වනාහි මුළුමනින්ම රිපබ්ලිකන්වරුන්ගේ දේශපාලන උප්පරවැට්ටියකි.

ජනාධිපතිවරයා සහ අධිකරණ දෙපාර්තමේන්තුවත් එෆ්බීඅයි ආයතනයත් අතර ඇති මේ ගැටුමේ ප‍්‍රතිඵලය කුමක් වේදැ’යි කිව නොහැකි නමුත් දෝෂාභියෝගයක් ඉදිරිපත් වුවහොත් ඊට මුහුණ දෙන්නට ජනාධිපතිවරයා දැන් සිටම ඊට සූදානම් වන සෙයක් ඉන් විදහා දැක්වෙන බව පැවසිය හැකි ය.