හින්දු ජාතිවාදය සහ ඉන්දියාවේ පිරිහීම

මාලදිවයිනේ මේ දිනවල සිදුවෙමින් යන දේශපාලන අර්බුදය මැද්දේ හිටපු ජනාධිපති නෂීද් කර ඇති ප‍්‍රකාශයක් දකුණු ආසියාවේ දේශපාලන නිරීක්ෂකයන්ගේ අවධානයට යොමුවිය යුතුය. තම රටේ අර්බුදය විසඳීමට යුදමය වශයෙන් මැදිහත් වන ලෙස නෂීද් ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. ඉන්දියාව එම ඉල්ලීමට ප‍්‍රතිචාර නොදැක්වීමට බොහෝවිට ඉඩ තිබේ. ඒ සඳහා ඇති විවිධ හේතු අතර එකක් වන්නේ චීන සාධකයයි. චීනය මාලදිවයින් පාලක කණ්ඩායම සමග පවත්වන්නේ ඉතා කිට්ටු සම්බන්ධතාය. මාලදිවයිනේ දේශපාලනයට මැදිහත්වීමට මීට පෙර ඉන්දියාවට තිබූ ශක්තිය දැන් නැත. මාලදිවයින තබා නේපාලය, බංග්ලාදේශය සහ ලංකාව යන රටවල් සම්බන්ධයෙන්ද, ඉන්දියාවට මීට දශකයකට පමණ පෙර තිබුණු ආකාරයේ බලපෑම් සහගත තත්ත්වයක දැන් ඉන්දියාව නැති බව පෙනේ. ඉන්දියාවේ බලය දකුණු ආසියාව ඇතුළත පිරිහී තිබේ.

මෙම පසුබිම තුළ හිටපු ජනාධිපති නෂීද්ගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වීම ගැන නවදිල්ලි නුවර සිටින ඉතා බලසම්පන්න පිරිසක් වන මූලෝපායික චින්තකයන් අතර බැරුම් සාකච්ඡුා දැනටම ආරම්භ වී තිබෙන බවට සැක නැත. එම මූලෝපායික චින්තකයන් සාකච්ඡුා කරන ප‍්‍රධාන විකල්ප කිහිපයක් ඇතැයිද අපට අනුමාන කළ හැකිය. ඉන් පළමුවැන්න නම්, ‘‘මාලදිවයිනේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට මාලදිවයිනේ අයටම ඉඩදී අපි අපේ පාඩුවේ ඉඳිමු” යන්නයි. එසේ ප‍්‍රසිද්ධියේ කියන ගමන්, තානාපති මාර්ගවලින් අර්බුදය කළමනාකරණය කිරීමට අප‍්‍රසිද්ධියේ කටයුතු කිරීම එම විකල්පයේම දෙවැනි කොටසයි.

මේ අතර දෙවැනි විකල්පයක් ගැනද, දිල්ලි නුවර සිටින කිහිපදෙනෙකු හෝ සිතන්නට පටන් ගෙන ඇතැයිද අපට අනුමාන කළ හැකිය. එය නම්, නෂීද්ගේ ඉල්ලීමට සාධනීය ලෙස ප‍්‍රතිචාරයක් දැක්වීමයි. එනම්, මාලදිවයිනේ ප‍්‍රශ්නය විසඳීමට ඉන්දියාවේ බලය යොදවා, ඉන්දියාව යොදවා ඉන්දියාවට වාසිදායක දේශපාලන විසඳුමකට මාලදිවයිනේ දේශපාලන කණ්ඩායම් තල්ලූ කිරීමයි. එය හුදෙක් මිලිටරි බලය නොව මිලිටරි – දේශපාලන බලය එකතු කර කළ හැකි මැදිහත්වීමකි. එවැන්නක් මූලෝපායික වශයෙන් සාධාරණය කරන ප‍්‍රබල තර්කයක්ද ගොඩනැගිය හැකිය. එය නම්, දකුණු ආසියාවේ ගිලිහෙමින් යන ඉන්දියානු කලාපීය බලපෑම ප‍්‍රතිෂ්ඨාපනය කරගැනීමටත්, චීනය සමග දැනට සිදුවෙමින් පවතින බලතරගයේ බලසමීකරණය තමන්ට වාසි ලෙස හරවා ගැනීමටත්, දැන් පැමිණ ඇත්තේ කලාතුරකින් ලැබෙන අවස්ථාවකි යන අදහසයි.

මෙම විකල්පය තම උපදේශකයන් තමන්ට ඉදිරිපත් කළහොත්, අගමැති නරේන්ද්‍ර මෝදි එය ප‍්‍රතික්ෂේප කිරීමට ඇති ඉඩකඩ බොහෝය. දකුණු ආසියානු කලාපය තුළ තමන්ට රිසි පරිදි හැසිරීමට දැන් ඉන්දියාවට නොහැකි බව, ඉන්දියාවේ දේශපාලන නායකයෝ දැන් හොඳින්ම දනිති. ඉන්දියාව දැන් පත්වී තිබෙන්නේ දකුණු ආසියාවේ දේශපාලන වෙනස්වීම් බලාසිටින්නෙකුගේ තත්ත්වයට පත්වීමය.

ඉන්දියාවේ මෙම ‘පරිහානිය’ පැහැදිලි කළ හැකි සාධක ගණනාවක්ම තිබේ. එයින් හැමදෙනාම කතා කරන ප‍්‍රධාන සාධකය වන්නේ, ගෝලීය බලවතෙකු වශයෙන් චීනයේ නැගීමත්, චීනය, ගෝලීය බලවතෙකු ලෙස දකුණු ආසියාවට මැදිහත්වෙමින් සිටීමත්ය. ඒ අතර, වැඩි අවධානයට යොමුවී නැති තවත් වැදගත් සාධකයක් පෙන්වීමට මා කැමතිය. එය නම් ඉන්දියාවේ ශිෂ්ටාචාරමය පරිහානියයි. මෙම දෙවැනි සාධකයට, ඉන්දියාවට දැනට පාලනය කරන බීජේපීය ඇතුළු හින්දු ජාතිකවාදී බලවේග ඍජු දායකත්වයක් කරමින් සිටින බවද කිවමනාය.

හින්දු ජාතිවාදය සහ දේශපාලන පරිහානිය

ඉන්දියාව අද මුහුණ දී ඇත්තේ ශිෂ්ටාචාරමය අර්බුදයකට මිස ඊට අඩු දෙයකට නොවේ. එම ශිෂ්ටාචාරමය අර්බුදය සාධක දෙකක එකතුවකි. ඉන් පළමුවැන්න අන්තවාදී හින්දු ජාතිකවාදී බලවේගවල නැගීම සහ ඔවුන් ඉන්දියානු රාජ්‍යය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ ලෙස අත්පත් කරගැනීමයි. දෙවැන්න, ඒ සමගම ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උරුමය දරුණු පරිහානියකට පත්වෙමින් තිබීමයි. මේ ක‍්‍රියාවලිය දැනට සිදුවන්නේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන නායකත්වය යටතේය. බීජේපීය ඉන්දියාව අලූත් ආකාරයේ ධනවාදී සංවර්ධන මාවතකට ගෙනැවිත් තිබේ. එහි ලක්ෂණය නම් නව තාක්ෂණය කේන්ද්‍ර කොටගත් කඩිනම් කාර්මිකකරණයක් සහ නවීකරණයක්, නිර් – ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මාදිලියක් මාධ්‍යයෙන් ඉදිරියට ගෙනයාමයි.

අපේ විචාරාත්මක අවධානය යොමුවිය යුත්තේ මෙම නව දේශපාලන මාදිලිය වෙතය. එය ‘හින්දුත්ව’ යනුවෙන් අර්ථකථනය කර ඇති, අන්ත ජාතිවාදී, ආධිපත්‍යවාදී මහජාතිවාදයක් තම මතවාදය කරගත් දේශපාලන ව්‍යාපෘතියක ප‍්‍රකාශනයකි. එය මූලික වශයෙන්ම මුස්ලිම් විරෝධය මත ගොඩ නැගුණකි. මැතිවරණ මාධ්‍ය කොටගෙන හින්දු දේශපාලන ආධිපත්‍යය පිහිටුවීමත්, තමන්ට හිමි ආණ්ඩු බලය මාධ්‍යය කොටගෙන ඉන්දියාව ‘හින්දු’ කිරීමත් (making India Hindu) මෙම බලව්‍යාපෘතියේ ප‍්‍රධාන කොටස්ය. මෙම ක‍්‍රියාවලියේදී බීජේපීයත්, එහි හින්දු අන්තවාදී බලවේගත් පසුගිය අවුරුදු තුන තුළ ඉතා සාර්ථක ලෙස කරන දෙයක් වන්නේ වර්තමාන ඉන්දියාව, ඉන්දියාවේ ශිෂ්ටාචාරමය උරුමයෙන් වෙන් කිරීමයි.

බීජේපීය හා එහි මතවාදී – දේශපාලන සගයන් ඉන්දියාව වෙන් කරන්නා වූ එම ශිෂ්ටාචාරමය උරුමය කුමක්ද? විසිවැනි සියවසේදී මහත්මා ගාන්ධි, ජවහල්ලාල් නේරු සහ බී.ආර්. අම්බෙඞ්කාර් වැනි නායකයන් නියෝජනය කළ දාර්ශනික, ආගමික, චින්තනමය සහ දේශපාලන බහුත්වවාදයයි; වෙනස්කම් පිළිගැනීම සහ ඉවසීමයි; දේශපාලන ලෞකිකවාදයයි; ශිෂ්ටාචාරමය සමානාත්මතාවාදයයි; ඒ ගුණාංග මත පදනම් වූ දකුණු ආසියාවට ගැළපෙන නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පරිකල්පනයයි. බීජේපීයේ ලෝක දෘෂ්ටියට ජීවන දර්ශනයට සහ දේශපාලන මතවාදයට මගපෙන්වන්නේ දකුණු ආසියාවේ අප කවුරුත් ගෞරවයෙන් බලා සිටින ඉන්දියාවේ මෙම ශිෂ්ටාචාරමය උරුමය නොවේ. අන්ත හින්දු ජාතිවාදී සහ ජර්මන් ෆැසිස්ට්වාදය තම ආදර්ශය කරගත්, ආර්.එස්.එස්. ව්‍යාපාරයේ ආරම්භක නායකයා වූ විනායක් දමෝදාර් සවර්කාර්ගේ ඉගැන්වීම්ය. සවර්කාර්ගේ ඉගැන්වීම් ඉන්දියාවේ සම්භාව්‍ය දාර්ශනික හා චින්තනමය උරුමය මත ගොඩනැගුණක් නොව, යුරෝපයෙන් පැමිණි ජාතික රාජ්‍යවාදී ජාතිවාදය, යුරෝපීය ෆැසිස්ට්වාදය සහ දහනමවැනි සියවසේ අගදී සහ විසිවැනි සියවසේ මුලදී, දයානන්ද් සරස්වතී වැනි නූතන හින්දු මතවාදීන් බිහිකළ හින්දු සංස්කෘතික ජාතිකවාදය යන මේවායේ සම්මිශ‍්‍රණයක් ලෙස ගොඩනගනු ලැබූවකි. මහත්මා ගාන්ධිට අරගල කරන්නට සිදුවූයේ සවර්කාර්ගේ මෙම හින්දු ෆැසිස්ට්වාදී ජාතිවාදයට එරෙහිවය. ගාන්ධි ඝාතකයා වන ගොඞ්සේ මෙම ජාතිකවාදයේ දරුවෙකුය.

තමන් මහත්මා ගාන්ධිගේ නොව සවර්කාර්ගේ අනුගාමිකයන්ය යන්න බීජේපී නායකයන් සඟවන්නේ නැති දෙයකි. ඔවුහු එය විවෘතවම පිිළිගනිති. මේ අතර ඉන්දියාවේ පසුගිය අවුරුදු තුන තුළ සිදුවෙමින් පවත්නා නරකම දෙයක් නම්, හින්දු අන්තවාදී ෆැසිස්ට් – ආකාරයේ කණ්ඩායම්, මුස්ලිම්, ක‍්‍රිස්තියානු සහ පීඩිත කුල යන සුළු ජන ප‍්‍රජාවන්ට එරෙහිව දියත් කර ඇති විවෘත ‘යුද්ධය’ යි. එනම් එම ප‍්‍රජාවන්ට එරෙහිව සංවිධානාත්මක ප‍්‍රචණ්ඩත්වය සහ භීෂණය මුදාහැරීමයි. ගවයන් ආරක්ෂා කරන ‘ගව්රක්ෂක’ කණ්ඩායම්, ගවයන් ප‍්‍රවාහනය කරන මුස්ලිම් වෙළෙන්දන්ට පොලූවලින් ගසා මරා දැමීම මෙම අලූත් දේශපාලන ප‍්‍රවණතාවයේ ඇති ඉතා විකාරරූපී සහ භයානකතම ප‍්‍රකාශනයයි. ගවයන් රැුකීමට මුස්ලිම් මිනිසුන් අමු අමුවේ මරණ විට, මිනීමරුවන්ට විරුද්ධව පොලිස් පරීක්ෂණ නැත. නඩු නැත. ආණ්ඩුව ඒවා හෙළා දකින්නේ නැත. අගමැති මෝදි ළඟදී ඒවා හැඳින්වූයේ ‘රස්තියාදුකාර මදාවිකාරයන්ගේ අපරාධ ක‍්‍රියා’ හැටියටය. එහෙත් ඉන්දියාවේ දේශපාලන විචාරකයන් මේ වර්ධනය විග‍්‍රහ කරන්නේ, ඉන්දියාවේ හිස ඔසවමින් තිබෙන නව ෆැසිස්ට්වාදයක ප‍්‍රකාශනයක් ලෙසය. ‘‘රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය පුද්ගලික කණ්ඩායම්වලට කොන්ත‍්‍රාත් ක‍්‍රමයට භාරදීම” ( out-sourcing state terror) එහි ලක්ෂණයයි.

දැන් අපේ මුල් ප‍්‍රශ්නයට යමු. ඉහත කී පරිවර්තනයකට පාත‍්‍රවෙමින් තිබෙන ඉන්දියාව තවදුරටත් දකුණු ආසියාවටත්, ලෝකයටවත් ‘ශිෂ්ටාචාරමය ආදර්ශයක්’ නොවේ. ඉන්දියාව යනු ලෝකයා අතර ශිෂ්ටාචාරමය ආඩම්බරයක් සහ ගෞරවයක් ඇති නොකරන රටක් බවට පත්වෙමින් තිබේ. ඉන්දියාව මුහුණ දී සිටින මෙම ශිෂ්ටාචාරමය අර්බුදය කොතරම් බැරැරුම්දයත්, තමන් එහි කර්තෘකයෙකු බව අගමැති මෝදිතුමාට සිතිය නොහැකිය. ඉන්දියාවට අසල්වැසි රටවල් සලකන්නේ පෙර තිබුණු ගෞරව සම්ප‍්‍රයුක්ත ආදරයෙන් නම් නොවන බව ඉන්දියාවේ පාලකවරුන්ටද නොපෙනේ. එයට හේතුව ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය විසින් වෙනස්ව සිතීම සහ දැකීම සඳහා අවශ්‍ය නිදහස සහ හැකියාව ඔවුන්ට අහිමිකර තිබෙන නිසාය.