රාවය

පොල්පිතිගමට වතුර දෙන්න

පොල්පිතිගමට වතුර දෙන්න

රසික ගුණවර්ධන

තම වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලා ලෙඞ්ඩු වුව අපැයට තබා උද්ඝෝෂණය කරන වෛද්‍යවරු සිටින රටක බිමට වතුර පොදක් ඉල්ලා උද්ඝෝෂණය කරන මිනිසුන් සිටී තැයි කිවහොත් කවුරු විශ්වාස කරනු ඇත්ද? එවන් උද්ඝෝෂණයක් 2009 මාර්තු මස 30 වැනිදා හක්වටුනාව ඔය වාරිමාර්ග ව්‍යාපාරයේ ගොවීන් විසින් සිදු කරනු ලැබීය. ඒ උද්ඝෝෂණයෙන් වසර නවයක් ගෙවී ගියද අදටත් ඒ ප‍්‍රශ්නය එතැනමය. ඔවුහු තමන්ට ජලය ඉල්ලනුයේ තම ගම් ළගින් යන මොරගහකන්ද ව්‍යාපෘතිය තම අවශ්‍යතාව පසකලා වෙන මානයකට ඇදි යන පසුඹිමකය. ඒ පිළිබද රාවය කළ සොයා බැලීමය මේ.

 

ඒ මොරගහකන්ද වාරිමාර්ග යෝජනා ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන මුල් අවදියයි. ඉන්පසු ප‍්‍රදේශයේ එවකට පැවති උග‍්‍ර ජල හිඟය පිළිබඳව සඳහන් කරමින් හක්වටුනාවට ජලය ලබාදීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙමින් එවකට කුරුණෑගල කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වූ ඩබ්ලිව්. එල්. එච්. එම්. ටී. බංඩාර, එවකට වාරිමාර්ග අධ්‍යක්ෂ වරයාට මේ පිළිබඳව 2009 අපේ‍්‍රල් මස 08 වන දින ලිපියක් මඟින් දැනුම් දෙනු ලබයි. එහිදී බංඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ ජල හිඟයට විසඳුමක් ලබා දීමට ඇති අවසාන අවස්ථාව මෙය වන බවයි. එසේම ඔහු ඒ සමගම ජලය ලබාදීමට හැකි සැලැස්මක්ද ඉදිරිපත් කර තිබුණි.

මෙසේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කරන සැලැස්ම තුළ පොල්පිතිගම කොට්ඨාසය ආවරණය වන්නේ නැත. එහෙත් ව්‍යාපෘතිය තුළින් පහසුවෙන්ම පොල්පිතිගම කලාපයට ජලය ලබාදීමට හැකියාවක් ඇති බව දකින එඞ්වඞ් වික‍්‍රමසිංහ මහතා ඒ පිළිබඳව ප‍්‍රදේශයේ ගොවීන්ට දැනුම් දෙමින් ඔවුන් සංවිධානය කරමින් මේ පිළිබඳව ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියට සහ නිළධාරින්ට දැනුම් දීමට කටයුතු කරනු ලබයි. මොවුන්ගේ උත්සහයේ ප‍්‍රතිඵලයක් ලෙස පොල්පිතිගමට ජලය ලබාගැනීමේ යෝජනාව 2009 සැප්තැම්බර් මස 01 දින විශය අංක 15:2:1 යටතේ 5/2009/66 දරණ යෝජනාව වයඹ පළාත් සභාවට ඉදිරිපත් කර එය ඒක ඡුන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව ලැබෙයි.
ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණ (2010* සමයෙන් මතු වයඹ ඇළ ව්‍යාපෘතිය නමින් එම ව්‍යාපෘතිය ආරම්භ වීම සිදුවේ. ඒ අනුව වයඹ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන පියවරයි.

සැලැස්ම

රුපියල් මිලියන 16 000 ක් පමණ ඇස්තමේන්තු ගතකර ඇති වයඹ ඇළ ව්‍යාපෘතිය වර්ෂ 2016-2024 දක්වා කාලය තුල ඉදිකිරීමට යෝජනා කර ඇත. ඒ අනුව 2016 සිට 2019 දක්වා වර්ෂ සීමා තුළ වෑමැඩිල්ල ජලාශයේ ඉදිකිරීම ද,නාලන්දා- වෑමැඩිල්ල- මහකිතුල ඇළ මාර්ග ඉදිකිරීමට ද යෝජිතය. ඉන්පසු වර්ෂ 2019-2024 සීමාව තුළ අනෙකුත් කටයුතු අවසන් කිරීමට යෝජනා වී ඇත.
ව්‍යාපෘතිය යටතේ නාලන්ද ජලාශයේ සිට යෝජිත මහකිතුල ජලාශය වෙත ජලය ගෙන එනු ලබයි. එහිදී මහ කිතුල වැව සිට එක් වාරි මාර්ගයක් මැඩියා වැව දක්වාත් අනෙක් වාරිමාර්ගය කදුරු වැව දක්වාත් ඉදිකිරීමට යෝජිතය.

සියඹලන්ගමුවට වතුර

යෝජිත මහකිතුල ජලාශයේ සිට ස්වාභාවික බැස්ම සෑදී ඇත්තේ සියඹලන්ගමුව ජලාශය දෙසටය. එසේම සියඹලන්ගමුව ජලාශයට ජලය ලැබුණු සිඹලන්ගමුව ඔයට,යෝජිත මහකිතුල ජලාශයේ සිට ඇති දුර මීටර් 800 ක් පමණය. ඒ නිසාවෙන් සියඹලන්ගමුව ජලාශයට ජලය සැපයීම සඳහා විශාල අමතර වියදමක් දැරීමට සිදු නොවේ. වයඹ ඇළ ව්‍යාපෘතියට යෝජිත මුදල වන රුපියල් මිලියන දාසය දහසක මුදල සමග සසඳන විට මේ සඳහා වැයවන මුදල නොගැනිය හැකිතරම් වේ. එසේම සියඹලන්ගමුව ජලාශයට ජලය ලබාදී, නැවත එම ජලය සැලසුම් සහගත ප‍්‍රදේශය දක්වා ගලා බැසීමට ස්භාවික සියඹලන්ගමුව ඔය පිහිටා ඇත. ඒ හරහා ජලය කන්නෝරුව දක්වා ගෙනයාමට හැකියාව ලැබේ. එසේම ස්භාවික ජල මාර්ගයන් හරහා ජලය ගලා බැසීම සිදුවන නිසා විශාල ගොවි පවුල් සංඛ්‍යාවකට ජලය සැපයීමේ හැකියාවද ඇත. ඒ අනුව බලන විට සියඹලන්ගමුව ජලාශය හරහා ජලය සැපයීම ප‍්‍රතිඵලදායී කාර්තව්‍යයක් බව පැහැදිලිය.

සියඹලන්ගමුව අතහැරීම

එහෙත් සිදුව ඇත්තේ වෙනකකි. මහවැලි එච් කලාපයටද, වයඹ ඇළ ව්‍යාපෘති කලාපයටද සියඹලන්ගමුව අයත්ය. එහෙත් වයඹ ඇළ ව්‍යාපෘතියේ පෝෂක ප‍්‍රදේශයක් ලෙස සියඹලන්ගමුව සැලකෙන්නේ නැති බව වයඹ ඇළ ව්‍යාපෘති වාර්තාව අධ්‍යනයේදී පෙනී යයි. සියඹලන්ගමුවේ කෙලවර ඇත්තේ විශාල කඳු වැටියකි. එහි පාමුල ගොවිජනතාව ජීවත් වනු ලබයි. එසේම තවත් පසකින් කහගල්ල රක්ෂිතය ද වෙයි. ඒ නිසාවෙන් සියඹලන්ගමුවට වෙනත් ජල මූලාශ පෝෂකයක් නැත.

යෝජිත මහකිතුල ජලාශය ඉදිවන්නට නියමිතව ඇත්තේ ඉහත කී කහගල්ල රක්ෂිතය තුළය. එසේම යෝජිත මහකිතුල ජලාශයට තරමක් වයඹ දිශාවට වන්නට සියඹලන්ගමුව ජලාශය පිහිටා ඇත. මහකිතුල ජලශය මීටර් 200 සමෝච්ච රේඛාවේ පිහිටන අතර සියඹලන්ගමුව ජලාශය පිහිටා ඇත්තේ මීටර් 160 සමෝච්ච රේඛාවේය. ඒ අනුව සියඹලන්ගමුව ජලාශයේ භූමි පිහිටීම යෝජිත මහකිතුල ජලාශයට වඩා පහළ මට්ටමක වේ. ඒ අනුව ස්වාභාවික බැස්ම පිහිටා ඇත්තේ යෝජිත මහකිතුලේ ජලාශයේ සිට සියඹලන්ගමුව ජලාශය දෙසටය.

ඒ අනුව වයඹ ඇළ ව්යාපෘතියේ අවම වියදමකින් වැඩිම ප‍්‍රතිලාභයක් ලබාගත හැකි ලෙස ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන්නේ නම් එය සියඹලන්ගමුව වැව හා ඔය හරහා සිදුකළ යුතු බව මේ ව්‍යාපෘතිය සියඹලන්ගමුවට ලබාගැනීම උදෙසා කි‍්‍රයාකාරීව සහභාගී වන උපුල් අබේරත්න මහතා පෙන්වා දෙයි. මහවැලිකලාපයේ සිටියද මහවැලියේ වතුර නොලැබෙන බවත්, මෙය සියඹලන්ගමුවට ජලය ලබාගැනීමට ඇති එකම ව්‍යාපෘතිය බවත්, මෙය මගහැරී ගියහොත් නැවත අවස්ථාවක් නොලැබෙන බව ඔහු ප‍්‍රකාශ කර සිටිනුයේ මේ අවස්ථාව අහිමි වීම ලොකු ව්‍යසනයක් බව ඉගි කරමිනි.

ජල හිඟය

මේ වන විට සියඹලන්ගමුව ගම්මානය මුහුන දී සිටින්නේ විශාල ජල අර්බුධයකටය. බොහෝ කාලයක පටන් ගම්මානයට වර්ෂාව ලැබී නොමැත. කන්න හයක් වගා කිරීමට නොහැකිවූ කුඹුරු ඇත. ජලාශයේ ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් පහළ ගොසින්ය. ජලාශයේ ජලය ශීඝ‍්‍රයෙන් පහළ යනවිට ජනතාව පානීය ජල අවශ්‍යතාවය සපුරා ගත්තේ සියඹලන්ගමුව කන්දෙන් ආරම්භවන ජල උල්පත්වලින්ය. එහෙත් මේ වන විට ඒ උල්පත් ද සිදී යමේ අවදානමකට මුහුණ දී ඇත. එයට හේතුව ජලාශයේ ජලය පහළ යාම බව නිරීක්ෂණයේදී පෙනී යයි.

ගම්මානය ගොවි ගම්මානයක් නිසා ජල අවශ්‍යතාවය ඉතා ඉහළය. ඔවුන් ජලාශයේ ජලය නොමැති නිසා විශාල වගා ළිං කපා ජලය ගැනීම සිදු කරණු ලබයි. එසේ තවම වගා ළිං අතිශය ගැඹුරුය. ඒ වගා ළිං හේතුවෙන් පොළොවේ භූගත ජලය ශීඝ‍්‍රරයෙන් අඩුවේ. වගා ළිංවලින් ජලය ලබාගැනීම අපහසු වූ විට ඔවුන් නළ ළිංවලින් ජලය ලබා ගනී. නළ ළිං ඉදිකරනු ලබන්නේ ජල උල්පත් තුළටම බට යොදා බැවින් කන්දේ ජල උල්පත් සිදී යාමේ අවධානම ඇති වේ.

එසේම ඔවුන් සිය දෛනික ජල අවශ්‍යතාව සපුරා ගැනීමටද යොදා ගනු ලබන්නේ මේ නළ ළිං ජල ක‍්‍රමයයි. ප‍්‍රදේශයේ ගොවියෙකු වන එච්.එම්.ටිකිරි බංඩා මේ පිළිබඳව මෙවැනි අදහසක් ඉදිරිපත් කළේය.‘‘දැන් ඉස්සර වගේ වැවේ වතුර නෑ. ටික දවසක් ළිං ටිකක් කපාගෙන හිටියා දැන් ඒවයෙත් වතුර නෑ. නළ ළිං වල විතරයි වතුර තියෙන්නෙ. මහත්තුරු ඇවිල්ලා කියලා යනවා ඒවා බොන්ඩ එපා කියලා, ඒවා බොන්ඩ එපානන් මොනවද බොන්නේ”
යෝජිත වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීමට යෝජිත ඇළ මාර්ග දෙක බොහෝ තැන්වල කොන්කී‍්‍රට් යොදාගෙන කෘත‍්‍රිමව ඉදිවනු ලබන්නකි. එහෙත් සියඹලන්ගමුව හරහා ජලය සැපයීම සිදුකළ හොත් කෘතී‍්‍රම ජල මාර්ග සෑදීමට අවශ්‍යය නොවන බවත් පසුවෙන් ජලය ප‍්‍රවාහනය කළ හැකි බවත් උපුල් කුමාර මහතා පෙන්වා දෙනු ලැබූ කාරණාවයි. අපටද එය දැකගැනීමට හැකි විය.

‘‘දැනට ප‍්‍රදේශ දෙකක් හරහා යවන ඇළවල් දෙකෙන් කිසිම බිමට ප‍්‍රයෝජනයක් නෑ. ගොඩක් තැන්වල වතුර පාර ගෙනි යන්නේ සීල් කරලානිත් තැන්වල කොන්කී‍්‍රට් කරලා. දැන් මේ පැත්තේ එක දිහාවක කරා පුල්නෑව කියලා ඇළක් පොළොව හාරලා. දැන් එහෙ ළිදක වතුර නෑ, පොල් ගහක ඇට්ටියක් නෑ.” උපුල් තරදුරටත් අදහස් දක්වයි. ගමේ මිනිසුන් ව්‍යාපෘතිය සියගමටද ලබා ගැනීම උදෙසා එකා වන්ව පෙළ ගැසීය.

මේ ප‍්‍රදේශයේ ගොවිතැනින්ම ජීවත්වෙන ගොවි පවුල් පන්දාහක් විතර ඉන්නවා. ඒ හැමෝටම දැන් තියන ප‍්‍රශ්නේ තමයි වතුර නැති එක. පළවෙනි දේ ගොවිතැනක් කරගන්ඩ නැති එක, බොන්ඩ වතුර ටිකක් නැති එක.දැන් ඔය ව්යාපෘතියෙන් වැවට වතුර ටිකක් ලැබුනොත් මිනිස්සුන්ට ගොවිතැනක් බතක් කරගෙන ඉන්ඩ පුලූවන්” ඒ බදුල්ලවල සීලරතන හිමියන්ය.

අලි ගම්වදීමට පිළියම

‘‘සියඹලන්ගමුව වැව හා ගම්මානය,කහගල්ල පල්ලෙකැලේ අභය භූමියට මායිම්ව පිහිටා ඇත. මේ නිසාම නියං සමයේ ජලය සොයා ගම් වදින අලීන් නිසා අලි මිනිස් ගැටුම ඉහළ මට්ටමක පවතී. මෙම සමයේ සියඹලන්ගමුව වැවේ සැලකිය යුතු ජල ධාරිතාවක් පවතී නම් අලි මිනිස් ගැටුම අවමවීමට ද හේතුවක් වනු ඇත.”

ඉහත උපුටා ගැනීම මහ සියඹලාගම වම් ඉවුර ගොවි සංවිධානය විසින් වර්තමාන ජනාධිපතිවරයාට ලිපි අංක ඞී.අයි.17/14/01 යටතේ 2017.06.09 දින යොමුකරන ලද ලිපියෙනි.

යෝජිත මහ කිතුලේ ජලය සියඹලන්ගමුව ඔය හරහා පැමිණෙන විට එම සියඹලන්ගමුව ඔය වැටී ඇත්තේ ඉහත කී රක්ෂිතය හරහාය. එය රක්ෂිතයේ ජලාශ කිහිපක්ම පෝෂණය කරමින් පැමිණෙයි. ඒනිසා සියඹලන්ගමුවට ජලය ලබාදීම මඟින් රක්ෂිතයේ ජලාශවල ජලය රැුඳීම නිසා අලීන් ගම් වැදීම සිදු නොවේ.

ඒ පිළිබඳව ගම්වාසීන් මෙසේ ප‍්‍රකාශ කරයි.‘‘ ඉස්සර අලි ගමට ආවෙ නෑ. මේ වතුර නැතිවෙන්ඩ පටන් ගත්තහම තමයි උනුත් වතුර හොයාගෙන ගම්වලට එන්ඩ ගත්තේ. දැන් කැළේ ඇතුළේ වැව්වල වතුර පොදක් නෑ”

වකුගඩු ගැටලූවට පිළියම්

ගම්මානයේ වතුර නොමැති වීම නිසා ගම්වාසීන් ජල පහසුව සලසා ගනු ලබන්නේ නළ ලිං මාර්ගයෙනි. නළ ජලයේ ගුණාත්මක බව පිළිබඳව කුරුණෑගල ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් හා ක‍්‍රම සම්පාදන ඉංජිනේරුවරයා විසින් ප‍්‍රදේශයේ කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ නළ ලිං ජලය සහ වකුගඩු රෝගය අතර සබඳතාවක් ඇති බවයි. එහිදී ඉංජිනේරුවරයා වකුගඩු රෝගයට හේතුවන සාධක තුනක් නම් කරනු ලබයි.

1.ජනතාව පරිභෝජනය කරන ජලයේ ඊයම්,කැඩියම්,ඇල්මිනියම් වැනි විෂ සහිත බැර ලෝහ අඩංගු වීම
2.පානීය ජලයේ අධික ලෙස ක්ලෝරයිඞ් අඩංගු වීම.
3.භූ ගත ජලයේ කඨිනත්වය අධික වීම.

ඒ අනුව පැහැදිලි වන කාරණාව නම් නළ ලිංවලින් ලබා ගන්න ජලය වකුගඩු රෝගයට බලපාන සාධකයක් වන බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ උපුල් අබේරත්න මහතා, ‘‘මිනිස්සු දැන් බොන්නෙ නළ ලිංවලින් ගන්නා වතුර. මේ කන්දේ උල්පත් තිබුණත් ඒව දැන් හිඳීගෙන යනවා. වැවේ වතුර තිබුණත් මිනිස්සුන්ට නළ ලිං ගහන්ඩ උවමනාවක් නෑ. උල්පත් ටිකත් හිදෙන්නෑ.”

සැලකිල්ල

සියඹලන්ගමුව දිස්ති‍්‍රක්කයේ මයිම් ගම්මානයකි. ඒ නිසාවෙන් බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවන්නේ ඉතාමත්ම අඩුවෙන් බව ඔවුන් පවසයි. ප‍්‍රදේශයේ සිටින පර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පවා කිසිඳු සැලකිල්ලක් මේ පිළිබඳව දක්වන බවක් පෙනෙන්නට නැත.
වගා කටයුතු භාර අමාත්‍යාංශයේ අමාත්යවරයා හමුවී ගම්වාසීන් උපකාරයක් ඉල්ලූ විට ඔහු තර්ජනය කර මෙවර ඡුන්දය දුන්නොතින් පමණක් ව්යාපෘතිය ලබාදෙන බවට ප‍්‍රකාශ කර ඇත. ඔහු ඔහුගේ පක්ෂයේ මහ ලේකම්වරයාද වෙයි. ඔහුගේ පක්ෂයට මෙවර ගැලපෙනම ඡුන්දය ලැබී ඇත.
එසේම පියාගෙන් දේශපාලනයට අත්පොත් තැබූ ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාව අඩුම තරමින් හමුවීමට හෝ අවස්ථාවක් ගම්වාසීන්ට නොමැති බව ඔවුන් පවසයි. එහෙත් ඔහු සෑම තැනම ප‍්‍රකාශ කරමින් යන මුසාව නම්, මේ වයඹ ඇළ ව්‍යාපෘතිය සිය පියාගේ සිහිනයක් බවත්, මෙම ව්‍යාපෘතිය ඔහුට පසුගිය රජයේ බේබි ලබාදුන් බවත්ය. මේ මන්තී‍්‍රවරායා බැලූන් උඩයවන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයාය.
මේ ඇත්තේ සියඹලන්ගමුවට ජලය ලබා ගත හැකි එකම සහ අවසානම අවස්ථාවයි. මෙය මගහැරී ගියහොත් සියඹලන්ගමුවට ජලය ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ගම්වාසීන් ඉල්ලා සිටින්නේ වයඹ ඇළේ යෝජිත ක‍්‍රමවේදය නවත්වා දමා ඔවුන්ට ජලය ලබා දෙන ලෙස නොවේ. යෝජිත ක‍්‍රමය තුළ ජලය ලැබෙන ගොවීන්ට ජලය ලැබීම නතර කිරීමේ අරමුණක් ඔවුන්ට නැත. ඔවුනට අවශ්ය ඒ ප‍්‍රදේශවල ජනතාවට ජලය ලබාදෙන අතරම තමන්ටද ජලය ලබා ගැනීමේ අරමුණක්ය.