ලසන්ත ඝාතන පරීක්ෂණය සහ ආණ්ඩුවේ අනාගතය

පසුගිය පළාත් පාලන ඡුන්දයේදී ජනතාව පොහොට්ටුවට රැුල්ලට ඡුන්දය දීම නිසා යහපාලන ආණ්ඩුව දැන් වැටී සිටින්නේ ලොකු අමාරුවකටය. මේ ලිපිය ලියන බ‍්‍රහස්පතින්දා උදෑසන වනවිට අලූත් ආණ්ඩුවක් ගැන පමණක් නොව අලූත් අගමැතිවරයෙක් ගැන කතාද ඇසෙමින් තිබුණි. එලෙස ඇසෙන ආරංචි ජනවාරි 8 බලාපොරොත්තු සමග සැසඳීමේදී සතුටට හේතු නොවෙන බව කිවයුතුය. දැනට ලැබී තිබෙන සාපේක්ෂ නිදහසද කාබාසිනියා කරදමන නව පාලන මොඩලයක් පිළිබඳව ඇසෙන මේ කතා නිවැරදි වුවහොත් අප මේ කතා කරන්නට යන ඝාතන පිළිබඳ පරීක්ෂණද අතුරුදන් වන්නට නියමිතය.

ප‍්‍රගීත් එක්නැළිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග, වසීම් තාජුඩින් ආදී පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ඝාතනය වූ බොහෝ මිනිසුන් ගැන පරීක්ෂණ ආරම්භ වුණේ නැතිනම් යටගසා තිබූ පරීක්ෂණ නැවත වටයකින් ආරම්භ වුණේ ජනවාරි 8 රාජපක්ෂ රෙජීමය තාවකාලිකව පසුබැස ගිය තත්ත්වය යටතේදීය. දැන් ඒ පරීක්ෂණ වලට සිද්ධ වී තිබෙන්නේ කුමක්ද? වර්තමාන ජනාධිපතිවරයා වංචා සහ දූෂණ පිළිබඳ කොතෙක් කතා කළත් මේ ඝාතන ගැන කතා කරන්නේ නැත. අනෙක් පැත්තෙන් ඔහු රණවිරුවන් ආරක්ෂා කරන්නෙමැයි පොළොවේ හැපෙන ස්වරූපයෙන් පෙනෙන්නේ මේ පරීක්ෂණ මෙලෙස හෝ ඉදිරියට යෑම ආශ්චර්යයක් බවය. ඇත්තටම දැන් තිබෙන ප‍්‍රශ්නය, රණවිරුවන් ලෙසින් සුදු ඇඳගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින මේ ඝාතකයින්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කළයුතු නැති බවද? එලෙස නොකර යහපත් රටක් ලෙස ලංකාවට ඉදිරි ගමනක් තිබෙන්නේද?

ලසන්ත ඝාතනය

පසුගිය 2008 ජනවාරි 08 වැනි දින දෙහිවල අත්තිඩියේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක්වූ අතර ඒ ඝාතනය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන රහස් පොලීසියට මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ, එවකදී මේ පිළිබඳව ගල්කිස්ස පොලීසිය මෙහෙයවූ පරීක්ෂණය හිතාමතාම පොලිසියේ උසස් නිලධාරීන් විසින් ගඟට විසිකර ඇති බවය. දැන් මේ චෝදනාවට පොලිසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවේය. මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාය. ඔහුට එල්ල වෙන චෝදනාව වන්නේ පොලිස් සටහන් පොතෙහි පිටු කඩා දැමීමය. ඔහු අත්අඩංගුවට ගත් පසු ඔහුගෙන් මේ සඳහා නියෝග ලැබුණු උසස් නිලධාරීන් පිළිබඳව හෙළිදරව් වී ඇත. ඒ අනුව මේ පිටු කැඞීමට නියෝග ලබාදී තිබෙන්නේ එවක කොළඹ දකුණු ප‍්‍රදේශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාය. ඔහු ප‍්‍රසන්න නානායක්කාරය. දැන් ඔහුද සිටින්නේ අත්අඩංගුවේය. ඒ තොරතුරු සැඟවීම, විනාශ කිරීම සහ පරීක්ෂණ අඩාල කිරීම සහ ඒ සඳහා පහළ නිලධාරීන්ට නියෝග ලබාදීම යන චෝදනා යටතේය. මෙහිදී මේ ඉවත්කරනු ලැබූ සටහන් පොතේ පිටුවෙහි ඝාතනය සිදුවූ දිනයේදී ලසන්ත වික‍්‍රමතුංගගේ වාහනය පසුපස පැමිණි යතුරු පැදි දෙකක් පිළිබඳව තොරතුරු අඩංගු වී ඇත. එම තොරතුරු ලබාගෙන ඇත්තේ, ඝාතනය සිදුවන්නට මොහොතකට පෙර ලසන්ත සිය සටහන් පොතේ දමන ලද සටහන් උපයෝගී කරගෙනය. නඩු භාණ්ඩයක් වූ එම සටහන් පොතද පසුව අතුරුදන් වී ඇති අතර මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ අත්අඩංගුවට ගත් මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවක එම සටහන් පොත රැගෙන ගොස් ඇති බවය. කෙලෙසක හෝ පරීක්ෂණ අඩාල කිරීමේ සහ සාක්ෂි විනාශ කිරීමේ නියෝග එවක පොලිස්පති ධුරය දැරූ ජයන්ත වික‍්‍රමරත්න වෙතින් ලැබී ඇතැයි ද ඔහුට ඊට ඉහළින් සිටි ලේකම්වරයෙක් නියෝග ලබාදී ඇතැයිද සැකකරන බව පරීක්ෂණ කණ්ඩායම දෙසින් එන ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. මේ අනුව ඉදිරියේදී මේ කියන හිටපු පොලිස්පතිවරයාද අත්අඩංගුවට පත්වෙනු ඇත. එහෙත් මේ කියන ලේකම්වරයා අත්අඩංගුවට පත්වෙනු ඇත්ද? එය ගැටලූකාරීය. ඒ ඒ අවධිය වනවිට නීතිය අදාළ ලේකම් දෙසට නැමෙන්නට පුළුවන් බැවිනි.

මේ ඝාතනය පිළිබඳව බොහෝ තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙන අතර ඝාතකයින් ලසන්ත ලූහුබැඳ ගිය යතුරුපැදි පිළිබඳ තොරතුරු ද මේ වනවිට අනාවරණය වී ඇත. දැනට තිබෙන තොරතුරු අනුව කොළඹ ටි‍්‍රපොලී හමුදා බුද්ධි කඳවුරේම වැඩකි මෙය. ඒ අනුව පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ මේ ඝාතන බොහොමයක් මෙහෙයවූ හමුදාවේ ඉහළ බුද්ධි නිලධාරියෙක් බොහෝවිට ඉදිරියේදී අත්අඩංගුවට ගනු ඇත. එහෙත් සිදුවෙන්නට නියමිත ආණ්ඩු වෙනස මේ සියලූ පරීක්ෂණ කුණු කූඩයට විසිකරනු ඇතිදැයි කියන්නට තවම කල්වැඩිය. එහෙත් ජනපතිවරයාගේ කස සංදර්ශනය නම් කියන්නේ මේ පරීක්ෂණවල අනාගතය අනතුරක බවය. සියල්ලෝම නිදහස් වීම වැඩි ඈතක නැති බවය.

මේ ජනාධිපතිවරයා, ආණ්ඩුව පත්වන්නේම මේ ඝාතකයින්ට නිසි දඬුවම් ලබාදෙන බවට වූ පොරොන්දුව සමගය. එහෙත් ගතවූ කාලය තුළ නීතිය හරිහැටි මේ සඳහා ක‍්‍රියාත්මක වූවේ නැත. එයට ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද වගකිවයුතුය. එනිසා මේ ඡුන්ද ප‍්‍රතිඵලයට එයද එක හේතුවක් වූවාට සැක නැත. එනිසා අසීරු අඩියක සිටින ජනාධිපතිට සහ සිටින හෝ පත්වන්නට නියමිත අගමැතිවරයාට කියන්නට ඇත්තේ මේ ඝාතන පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන්ට ඒ සඳහා නිදහස ලබාදෙන ලෙසය. නීතිපති හෝ හමුදාපතිවරුන් මේ පරීක්ෂණ සඳහා නිසි සහයක් නොදෙන්නේ නම් ඔවුන් ගෙන්වා ඒ පිළිබඳව කරුණු විමසන ලෙසය. ඔවුන් ඒ සඳහා සූදානම් නැතිනම් ඔවුන් අදාළ තනතුරුවලින් ඉවත්කර වෙනත් නිලධාරීන් ඒ සඳහා ආදේශ කරන ලෙසය. අනෙක් පැත්තෙන් මේ ඝාතන වලට විරුද්ධව රාජ්‍ය මාධ්‍ය හෝ භාවිත කරමින් යම් මතයක් සමාජය මත නිර්මාණය කරන්නට කටයුතු කරන ලෙසය.