රාවය

ආණ්ඩුව පරාද වුණේ ප‍්‍රතිසංස්කරණ අඩපණ කළ නිසයි

ආණ්ඩුව පරාද වුණේ ප‍්‍රතිසංස්කරණ අඩපණ කළ නිසයි

මහාචාර්ය උපුල් අබේරත්න

පැවති පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල රටට ලබා දෙන සංඥාව මොකද්ද?

මේ මැතිවරණය දිගටම ගියේ ප‍්‍රධාන තේමා කීපයක් පාදක කරගෙන. ඒ සටන් පාඨ බොහෝ විට පහුගිය ජනාධිපතිවරණයේදීම ඉදිරිපත් වුණ ඒවා. මේවා බොහෝ විට පදනම් වුණේ වඩා පාරදෘෂ්‍ය, ජනහිතකාමී සහ ජනතාවට වගකියන පාලනයක් ගොඩනගන්නේ කොහොමද කියන එක එක්ක.
දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයෙන් පස්සේ මූලික වශයෙන් දිගුකාලීන සටන් පාඨයක් හැටියට ඉස්සරහට ගියේ මහජන මුදල් අපහරණය වළක්වන්නේ කොහොමද කියන එක. එතනදි පැරණි පරාජිත දේශපාලනික රෙජීමයේ තිබුණු අල්ලස්, වංචා සහ දූෂණ සෙවීමේ ක‍්‍රියාවලියක් ආරම්භ වුණා. ඒ විදිහට ආරම්භ වුණත් දවස් කිහිපයක් යද්දී එක්සත් ජාතික පක්ෂයත් එබඳුම ආකාරයේ වංචනික ක‍්‍රියාවලියක යෙදුණා. ඉන් පස්සේ මේ දේවලට විරුද්ධ සටන ගෙන යන බව පෙනුණේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බලවේගත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමත් විතරයි. එහෙම වුණත් මේ ඡුන්දයේදී ඒ බලවේග සියල්ලටම ලැබුණේ සියයට දහනවයක විතර, සාපේක්ෂව අඩු පිළිගැනීමක් විතරයි.

මේ තත්ත්වය තේරුම් ගනිද්දී මට නැවත නැවත මතක් වෙන්නේ මාක්ස් Eighteenth Brumaire කියන පොතේ කියන කතාවක්. මාක්ස් ඒ පොතේදි කියනවා සමහර දේවල් ඉතිහාසයේ සිදුවෙන්නේ දුක්ඛාන්තයන් විදිහට. තවත් සමහර දේවල් සිදුවන්නේ ප‍්‍රහසනයන් විදිහට කියලා.

ලංකාවේ ඡන්දදායකයන් ගැන මට කියන්න තියෙන්නෙත් ඒකයි. ඔවුන් දෙදහස් පහළොවේදී අල්ලස, දූෂණය සහ වංචාව දුක්ඛාන්තයක් විදිහට ගත්තා. එහෙත් අද වන විට ඒ දේවල් සුඛාන්තයක් විදිහට අරන් තියෙනවා. ඒ බව තමයි මහින්ද රාජපක්ෂ නායකත්වය දරන පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට දෙන ලද ඡන්ද දිහා බලද්දි පැහැදිලි වෙන්නේ.

දූෂණය සහ දූෂිතයින්ට දඬුවම් කිරීම කියන කාරණයට අමතරව සංවර්ධනය සහ ජීවන වියදම කියන කාරණාත් මේ මැතිවරණය තුළ වැදගත් වුණ බව පේනවා?

එක්සත් ජාතික පක්ෂයටත් මේ ආණ්ඩුවට සම්බන්ධවෙලා ඉන්න අනික් පාර්ශ්වවලටත් මේ රටේ මිනිස්සුන්ගේ සැබෑ ප‍්‍රශ්න ගැන අවබෝධයක් තිබ්බෙ නෑ. උදාහරණයක් විදිහට ගොවියන් කම්කරුවන් වගේ අය ඉතාම දැඩි ආර්ථික අගාධයක එරිලා ඉන්න මොහොතක අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව විහිලූ සපයන්නන් බවට පත්වුණා. ඔවුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ප‍්‍රශ්න විසඳලා දෙනවා වෙනුවට කිව්වේ වයිෆයි දෙනවා කියලා. තමන්ට තියෙන එකම ඇඳුම වැවෙන් හෝදගෙන ඉස්කෝලෙට යන දරුවෙක්ට අවශ්‍ය වුණේ වයිෆයි නෙමෙයි. ටැබ් නෙමෙයි. සමහර වෙලාවට ඒ ළමයාට වැඩියෙන් ම වැදගත් වෙන්නේ තමන්ට මගහැරුණු ආහාර වේල.

මේ මැතිවරණ ව්‍යාපාරය දිහා බලද්දී අපිට මාධ්‍ය භාවිතය කියන එක අමතක කරන්න බෑ. මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය ජාලයන් පවා මේ මැතිවරණයට යොදාගත් ආකාරය ගැන අපි ගැඹුරු අධ්‍යයනයක් කරන්න අවශ්‍යව තියෙනවා. මේ මාධ්‍ය භාවිතය තුළ පුරවැසියා කියන සංකල්පය ගොඩනැගුවේ නෑ. ගොඩනැගුවේ නරඹන්නන් කොටසක් විතරයි. මේ ග‍්‍රාහකයා කළේ ටෙලි නාට්‍යයක් නැරඹුවාට පස්සේ හරි ෆේස්බුක් එකේ යමක් පළ කළාට පස්සේ හරි ලයික් කියලා හරි ඩිස්ලයික් කියලා හරි දානවා වගේ ඒ පෙන්නපු දේ ගැනීම විතරයි. ඒ හැර තමන් නැරඹූ දේ පිළිබඳව පුරවැසියන් හැටියට සක‍්‍රිය ක‍්‍රියාකාරකමකට යොමුවුණේ නෑ. මාධ්‍ය විසින් ගොඩනැගුවෙත් මේ විදිහට දෙන ලද දේ එන්ජෝයි කරමින් බලාගෙන ඉන්න කණ්ඩායමක්.

දැන් බලන්න විවිධ රූපවාහිනී වැඩසටහන්වල යන දේශපාලන විචාර වැඩසටහන්. ඒවායේ බොහෝ විට සිදු කරන්නේ දේශපාලන බුද්ධිමත්භාවයක් නැති සහ දේශපාලන සාක්ෂරතාවයෙන් තොර, එහෙත් විද්වතුන්යැයි කියාගන්නා කණ්ඩායමක් ගෙන්නලා නාට්‍යයක් රඟපානවා වගේ අදහස් ප‍්‍රකාශ කිරීම. පේ්‍්‍රක්ෂකයින් ඒවා බලලා ලයික් හෝ ඩිස්ලයික් කියනවා මිස ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්නෙ නෑ. තමන් අයිතිවාසිකම් සහිත පුරවැසියන් යැයි කල්පනා කරලා මේ අය විචාරශීලීව කටයුතු කරන්නේ නෑ. මේ වගේ දේවල් තමයි අපි දේශපාලනික ව අනික් පැත්තට හරවන්න ඕනෑ. එහෙම කරන්න වෙන්නේ පුරවැසියා සඳහා දේශපාලනික ඥානයක් ලබාදීම තුළින්. එහෙත් සිදු නොවෙන්නෙත් ඒක.

ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ මේ කාලය තුළ ගොඩ නගා ගත් ආස්ථානය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

මං කළින් කිව්වා වගේ දූෂණයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ ගෙන ගිය ප‍්‍රතිපත්තියට නිසි ප‍්‍රතිචාර නොලැබීම ගැටලූවක් තමයි. එහෙම වුණත් වාමාංශික පක්ෂයක් විදිහට, ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණ ව්‍යාපාරයේදී අරන් ගිය සටන් පාඨ වාමාංශිකයෙක් විදිහට මට පේන්නේ ඉතාම හාස්‍යසහගත විදිහට.

ජනතා විමුක්ති පෙරමුණත් පසු කාලයේදී ඒ සමග එකතුවුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ වෙනත් බුද්ධිමතුනුත් සමාජ ක‍්‍රියාකාරිකයිනුත් හිතාමතා අමතක කළ කාරණයක් තිබ්බා. ඒ තමයි රටේ ජනතාවට නිසි දේශපාලනික අධ්‍යාපනයක් ලබාදීම කියන එක. ඔවුන් ඒ දේ තමන්ගේ පූර්ව මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වලදී ඉතාම නරක විදිහට අමතක කළා. ඒ විතරක් නෙමෙයි ඒ අය තමන්ගේ ප‍්‍රචාරණය තුළ අරගෙන ගියේ නිර්ධන පංතියේ සටන්පාඨ නෙමෙයි. අල්ලස, දූෂණය, වංචාව පිටුදැකීම වගේ කාරණා. ඒ දෙයින් පේනවා ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ කැපවී සිටින්නේ ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු කළ ප‍්‍රතිසංස්කරණවාදී ධනවාදයක් ඉදිරියට ගෙනඒමට කියන එක. ඒ වගේම ඒ පක්ෂය වටා එකතු වෙලා ඉන්නේ නිර්ධන පංතිය නෙමෙයි කලකිරීමට පත් මධ්‍යම පාංතියකින් පිරිසක්. මම හිතන විදිහට මේවා තමයි ජනතා විමුක්ති පෙරමුණට වැරදිච්ච ප‍්‍රබලම කාරණා.

ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ කථා කළ යුතුව තිබුණේ ඒ වගේ ගැටලූ නෙමෙයි, අල්ලස හා දූෂණය කියන්නේ ධනවාදයේ ආවේණික කොටසක්. ඔවුන් ඒ ප‍්‍රශ්නය කතා කරද්දී රටේ ජනතාවගේ සාමාන්‍ය ප‍්‍රශ්න අමතක කළා. සාමාන්‍ය ගමේ දරුවා ඉගෙනගන්නේ කොහොමද. මේ රටේ ජාතික ධනය බෙදිලා යන්නේ කොහොමද. ජාතික ධනය අතළොස්සක් අතර විතරක් සංකේන්ද්‍රගතවන්නේ කොහොමද වගේ දේවල්. එහෙත් ඔවුන් ඒ වගේ දේවල් ගැඹුරින් කතා කරනවා අපි දැක්කේ නෑ මේ මැතිවරණ ව්‍යාපාරය තුළ.

ඒ වගේම, කලිනුත් කිව් විදිහට මේ මැතිවරණයේ ඊළඟ ප‍්‍රතිඵලය වෙන්න පුළුවන් දේ තමයි අල්ලස සහ දූෂණය වගේ දේවල් සාමාන්‍යකරණය වෙලා ඒවා පිළිබඳ ක‍්‍රියාමාර්ග නොගෙන ඉන්න ආකාරයේ සම්ප‍්‍රදායක් බිහිවීම.

මේ මැතිවරණ ප‍්‍රතිඵලය ඇතුළේ කැපී පේන කාරණා දෙකක් තමයි උතුරු නැගෙනහිර ජනතාව අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂ ගැන කිසියම් විශ්වාසයක් ගොඩ නැගී තිබීම. ඒ වගේම ඒ තත්ත්වය එහෙම වෙද්දී දකුණේ ප‍්‍රතිඵලය තුළ කිසියම් ජාතිවාදී ප‍්‍රවේශයක් පේන්න තිබීම?

ඇත්ත. මේ දේවල් අමතක කරලා මේ මැතිවරණ ප‍්‍රතිඵලය ගැන කතා කරන්න බැරිතරම්. ජනවාර්ගික යුක්තිය, සාධාරණත්වය ගැන කතා කරන පක්ෂවලට ජන ආකර්ෂණයක් සිදුවෙලා තියෙන එක මේ ආණ්ඩුව ලබපු කිසියම් ජයග‍්‍රහණයක් විදිහට දකින්න පුළුවන්. මේ වෙලාවේ සැලකිය යුතු දෙමළ ජාතිකයින් සංඛ්‍යාවක් හැමෝම එකට ජීවත් විය යුතුයි කියන සාධනීය මාවතකට ඇවිත් තිබීම ඉතාම වැදගත්. ජනවාර්ගික ද්‍රවීකරණය යම් ප‍්‍රමාණයකට තුනීවීම කියන මේ ප‍්‍රගතිශීලී ලක්ෂණය ආපස්සට හැරෙන්න නොදී පවත්වාගෙන යන්න අපි කටයුතු කරන්න ඕනෑ. එහෙත් උතුරු නැගෙනහිර එහෙම වෙද්දී ඉතාම ඛේදනීය විදිහට දකුණ ජාතිවාදී වෙලා තිබීම විශාල අභාග්‍යයක්.

ඒ වගේම මේ වෙලාවේ අපි ඉතාම හොඳින් නිරීක්ෂණය කරන්න ඕනෑ කාරණයක් තමයි අපි මේ මැතිවරණයෙන් පස්සේ සමාජයක් විදිහට ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක. මං දැක්කා ඩලස් අලහප්පෙරුම මැතිතුමා කියලා තිබ්බා මින් ඉදිරියට ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ඉවරයි. ආයෙ අලූත් ව්‍යවස්ථාවක් ගැන හිතන්නවත් බෑ කියලා. මේක ඉතාම නරක දෙයක්. මේ දේශපාලන නරක, මිනිස්සු ආශ්වාදයෙන් වැළඳගන්න තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා.

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයත් සමග එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් පිළිගැනුණු දෙයක් තමයි මේ පසුබෑමට හේතුව ආණ්ඩුවට ජනතාවට වුණු පොරොන්දු නිසි කාලය තුළ ඉටු කිරීමට නොහැකි වීම කියන එක. ව්‍යවස්ථා සම්පාදනය වගේ දේශපාලනික ප‍්‍රතිසංස්කරණත් ඒ පොරොන්දු අතර ඉදිරියෙන් ම තියෙනවා. මේ ස්වයං විවේචනය තුළ මේ පොරොන්දු ඉටුකිරීම කඩිනම් වෙයි කියලා හිතන්න බැරිද?

කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි පිළිගන්න ඕනෑ දෙයක් තමයි, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අයත් යම් යම් මට්ටමින් මේ දූෂණ ක‍්‍රියාවලියේ කොටස්කරුවෝ කියන එක. ඒ නිසා මේ කාටවත් මේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න ඇත්ත උවමනාවක් තිබුණේ නෑ. ඔවුන් කළේ මේ ක‍්‍රියාවලිය ඉස්සරහට ගෙනියනවා වගේ පෙන්වමින් ඒක සචේතනිකව අඩපණ කළ එක විතරයි. නැත්තන් මේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය මෙච්චර කල් අදින්න අවශ්‍ය නෑ. ඒක ඉවර කරන්ඩ ඕනෑතරම් ඉඩකඩ තිබ්බා. මට පේන විදිහට ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ආපහු ජවයකින් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නම් විශාල සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වනවා.

දැන් තියෙන්නේ එකිනෙකා මත එකිනෙකා ආරක්ෂා වන ක‍්‍රමයක්. මං හිතන විදිහට තමන්ගේ පූර්වගාමියා වූ මහින්ද රාජපක්ෂගේ අල්ලස් හා දූෂණ වසාගන්න රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා තීරණාත්මක විදිහට මැදිහත් වුණා. නීතිය හරියට ඉටු කළේ නෑ විතරක් නෙමෙයි තමන්ගේ පළමුවැනි අධිකරණ ඇමතිවරයා විදිහට ඔහු පත් කළෙත් මේ රටේ මහජනතාවට බොරු කරන්නෙක්.

ආණ්ඩුව විසින් පත් කළ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකයෙක් විදිහට මට තදින්ම දැනුණු දෙයක් තමයි. ජනාධිපතිවරයා හරි අගමැතිවරයා හරි මහජනයා අපිට දක්වපු අදහස් මොනවද කියලා සැබෑ වුවමනාවකින් කියවලා තිබුණානම් ආණ්ඩුවට මේ තත්ත්වය උදාවෙන්නේ නෑ කියන එක. අපේ වාර්තා කිසි දෙයක් ඒ අය පරිහරණය කළේ නෑ. මිනිස්සු කන්ඩ ඉල්ලද්දි ටැබ් දෙන්නන් කියන්නේ, මිනිස්සු වතුර ඉල්ලද්දි වයිෆයි දෙන්නම් කියලා මේ අය කියන්නේ මේ නිසා.

මේ රටේ දැන් පවතින එකිනෙකා මත යැපෙන දූෂිත ක‍්‍රමවේදය පරාජය කරන්න අවශ්‍යයි. ඒ කාර්යය කරන්න පුළුවන්නේ ශක්තිමත් වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම තුළින් විතරයි. ශක්තිමත් දේශපාලන වමකට හැර වෙන කිසිම දෙයකට මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න බෑ.