රාවය

තැන්පත්කරුවන් 800ක් පැමිණිලි 200ක් හා රු.මි 680ක් වත්තේ ගෙදර නිවාසට චෝදනා පත‍්‍රයක්

තැන්පත්කරුවන් 800ක් පැමිණිලි 200ක් හා රු.මි 680ක් වත්තේ ගෙදර නිවාසට චෝදනා පත‍්‍රයක්

දෙවසරකට පෙර සිදු වූ මහා පරිමාණ මුදල් වංචාවකින් විශාල පිරිසකට තවමත් යන එන මං නැති වී ඇතත් ඊට වගකිව යුතු වංචාකරුවන් නම් තවමත් සිටින්නේ නිදැල්ලේය. මහා පරිමාණ මුදල් වංචාවක් සිදුවී ඇති බව වාර්තා වූ සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ රුපියල් මිලියන 680ක පමණ මුදල් තැන්පත් කළ 800කට ආසන්න පිරිස තවමත් කිසිදු සහනයක් හෝ සාධාරණ විසදුමක් නොලබා අන්ත අසරණ බවට ඇද වැටී සිටිති. තම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිව අසරණ වූ මුදල් තැන්පත්කරුවන් පැමිණිලි කළ හැකි සෑම තැනකටම පැමිණිලි කරමින්, සාකච්ඡුා පවත්වමින් එයින් ද සාධාරණයක් ඉටු නොවන තැන උද්ඝෝෂණ පවත්වමින් ද දෙවසරක කලක සිට ඉතා දුක්බර අරගලයක යෙදෙමින් සිටිති. එහෙත් ඒ කිසිදු පාර්ශවයකින් තවමත් විසදුමක් නම් ඔවුන් වෙත ළගා වී නොමැත. එමෙන්ම වරදකරුවන්ට නිසි දඩුවම් පැමිණවීමක් ද දක්නට නැත.
‘‘මේක රජය සම්බන්ධ බැංකුවක් නිසා අපි බය නැතුව සල්ලි දැම්මා. ඒ දවස්වල සණසෙන් අපේ ගෙවල්වලටත් ඇවිත් මේ සමිතියේ සල්ලි තැන්පත් කරන්න උපදෙස් ලබා දුන්නා. ඒ අය ලොකු ප‍්‍රචාරක වැඩපිළිවෙලක් කරගෙන ගියා. අන්තිමට සල්ලි ගන්න ගියාම සල්ලි ගන්න බෑ. ඇතුළේ නිලධාරීන් මුදල් වංචා කරලා, එකම කෙනා ණය කීපයක් අරන්, ඒවා ගෙවලා නැහැ. අපි පුළුවන් හැම තැනටම පැමිණිලි කළා. ඒත් තවම කිසිම විසදුමක් නැහැ. මේක හෙළිදරව් කරන්න ඉඩ දෙන්නේත් නැහැ.” බාහිර තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනිය ඞී.එම්.කේ. දිසානායක මහත්මිය ඔවුන් මුහුණ දී සිටින ඛේදවාචකය පිළිබද පැවසුවාය.

මෙම මූල්‍ය වංචාව පිළිබද සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ මුදල් තැන්පත්කරුවන් මහරගම පොලිස් ස්ථානයේ මේ වන විට පැමිණිලි 200ක් පමණ ද, මිරිහාන මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලි 235ක් පමණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි 10ක් පමණ ද ගොනු කර ඇති බව බාහිර තැන්පත්කරුවන්ගේ සංගමය පවසයි. සමුපකාර සමිතිවල සිදු වන මූල්‍ය වංචා පොදු දේපල පනතට අනුව අපරාධයක් බැවින් ඒ පිළිබද කටයුතු කිරීමට නීතිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබුණ ද මේ දක්වා ඊට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන නොමැති බව ද ඔවුහු පවසා සිටිති.

‘‘මම රැකියාව කළේ ලේක් හවුස් ආයතනයේයි. එතැනින් ඉවත් වෙද්දී ලැබුණු අර්ථසාධක අරමුදල්, ප‍්‍රසාද දීමනා සියල්ල එකතු කරලා වත්තේගෙදර සණස බැංකුවේ තැන්පත් කළා. ඇත්තටම එයින් බලාපොරොත්තු වුණේ එයින් ලැබෙන පොළියෙන් ඉදිරි කාලයේ ජීවත් වීමටයි. මම විතරක් නෙමෙයි, පවුල් 800න් හැම කෙනෙක්ම වගේ විශ‍්‍රාමිකයින්. ඒ අය සේවයෙන් ඉවත් වෙද්දී තමන්ගේ මුදල් ගෙනැවිත් මේකේ දැම්මා, මොකද ඒ පොළියෙන් අවසාන කාලයේ ජීවත් වෙන්න බලාගෙනයි. එහෙම එකතු වූ කෝටි 76ක විතර මුදල තමයි මේ අය අරගෙන පැනලා ගිහින් තියෙන්නේ. දැන් අවුරුදු 2ක් විතර වෙනවා. අපි මහ ඇමතිවරයා, සමුපකාර කොමසාරිස් සහ තවත් දේශපාලඥයින් සමග සාකච්ඡුාවලට ගියා, උද්ඝෝෂණ කළා, පත්තරවලට ලියුවා. ඒ නමුත් ඒ කිසිම දෙයකින් කිසිම ඵලයක් වෙලා නෑ. පස්සේ අපේ කණ්ඩායමේ හතර දෙනෙක් දිවි නසා ගත්තා. සමහර අයට මානසික රෝග වැළදුණා,සමහර අය හි`ගමනටත් වැටුණා. වෙනදා උද්ඝෝෂණයකට 1000ක් විතර කට්ටිය ආවා. දැන් ගොඩක් අයට බස් ගාස්තුව හොයාගෙන එන එකක් අමාරුයි. එහෙම නරක තත්ත්වයක් තමයි දැන් අපිට ඇති වෙලා තියෙන්නේ.” ඒ දෙනගම සිරිවර්ධන මහතාය.

පසුගිය කාලයේ ද ඔවුන් විටින් විට කොළඹ විවිධ ස්ථානයන්හි විරෝධතා පැවැත්වූයේ සාකච්ඡුා මාර්ගයෙන් විසදුමක් පෙනෙන්නට නොවූ තැනය. ඒ අවස්ථාවල දී ද අවසානයේ ඔවුන්ට විවිධ තරාතිරමේ දේශපාලඥයින්, ලේකම්වරුන් ඉදිරිපත් වී හැකි ඉක්මනින් සාධාරණයක් ඉටු කරන්නට දුන් පොරොන්දු ද අවසානයේ රැුවටීම් බවටම පත්ව තිබුණි. විශ‍්‍රාමිකයින් වූ මෙම මුදල් වංචාවට හසු වූ කණ්ඩායමෙන් බොහෝ දෙනෙකු 2018 පෙබරවාරි 06 දින ද මහරගම වත්තේගෙදර හන්දියේ උද්ඝෝෂණයක නිරත වූයේ වෙනත් විකල්පයක් පෙනෙන මානයක නොවන නිසාය. ඒ බොහෝ දෙනා විවිධ තරාතිරමේ රැුකියාවන් හි යෙදී අද වන විට විවිධ රෝගාබාධවලින් පීඩා විදින සහ වයෝවෘද්ධ වියේ පසුවන්නන් වුවත් අද ඔවුනට නිවී සැනසිල්ලේ නිවසට වී හිදින්නට පුළුවන් කමක් නැත. ඇතැම් අය බස් වියදම පවා සොයාගෙන තිබුණේ ඉතා අපහසුවෙනි. ඔවුහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ද තමන්ට වූ වංචාව පිළිබද කිහිප වරක් ලිඛිතව දන්වා තිබුණ ද මෙතෙක් කිසිදු විසදුමක් නම් ලැබී තිබුණේ නැත.

‘‘මම සණස සමිතියේ සල්ලි දාලා අවුරුදු තුනක් වෙනවා. පළමු අවුරුද්දේ පොළිය ගෙව්වා. දෙවැනි අවුරුද්දේ ඉදලා සල්ලිත් නෑ, පොළියත් නෑ. ඒ සතයක්වත් මේ රටෙන් හම්බ කළ ඒවා නෙමෙයි, ඒ මම ගෙනා විදේශ විනිමය. පිටරට ගිහින් ඇවිත් ඒ සල්ලි ඔක්කෝම මේකේ දැම්මා. මොකද මටත් මහත්තයාටත් ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. මේකෙන් ලැබෙන පොළියෙන් තමයි ජීවත් වුණේ. දරුවෝ තාම ඉස්කෝලේ යනවා. අක්කාගේ මහත්තයා මිය ගිහින් නිසා එයාගේ දරුවෝ තුන් දෙනාත් රැුකුණේ අපේ සල්ලිවලිනුයි. දැන් අපිට ඇත්ටම ජීවත් වෙන්නවත් විධියක් නෑ. ගෙවල්වල ප‍්‍රශ්න ගොඩක් දැන් ඇති වෙලා. මම ඔපරේෂන් එකකුත් කරලායි ඉන්නේ. ” නිලූ මහල්පගේ මහත්මිය

‘‘මේකේ ඒ දවස්වල අනෙක් බැංකුවලට වඩා පොළිය 3%ක් විතර වැඩියි. ඒ නිසා විශ‍්‍රාම ගිය අය ඊපීඑෆ්, ඊටීඑෆ්, පාරිතෝෂික මුදල් මේකේ තියලා පොළියෙන් ජීවත් වුණා. ඒ වගේම වෙන සණස සමිති වගේ නෙමෙයි වත්තේගෙදර සමිතියෙන් ලංකාවේ ඈත පළාත්වලත් මේ ගැන අත් පත‍්‍රිකා බෙදමින් විශාල ප‍්‍රචාරයක් දුන්නා. ඒ නිසා මේ බැංකුවේ තැන්පත්කරුවන්ගෙන් වැඩි දෙනෙක් වෙනත් ප‍්‍රදේශවල අයයි. මේ වංචාව හෙළි වෙලා තියෙද්දීත් තමයි මගෙන් සල්ලි අරන් තියෙන්නේත්. මම ඒ කාලයේ වැඩ කළේ පුත්තලමේ නිසා ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ආණ්ඩුවේ ලාංඡුන,සමුපකාර ලාංඡුන, සහතික ඔක්කොම තිබුණු නිසා භය නැතුව සල්ලි දැම්මා. 2016 ජනවාරිවල මාස තුනකට මුදල් තැන්පත් කළා. මාර්තු මාසේ සල්ලි ගන්න ගියාම සල්ලි නැහැ. මේකේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය හිතුමතේ ණය විධියට වාර ගණනාවක් මුදල් අරගෙන තියෙනවා. එක ණයක් පියවන්නේ නැතිව එකම කෙනා ණය කීපයක් අරන් තියෙනවා. ඇපකරුවන් ලෙස එකම අය කීපයකටම අත්සන් කරලාත් තියෙනවා. හිටපු සභාපතිත් ඔහුගේ පුතාත් වාර ගණනාවක්ම ණය අරන් තියනවා. හිටපු ලේකම් වාර එකසිය තිස් ගණනකට කෝටි දහයකට වැඩි ණය මුදල් අරගෙන තිබුණා. ඒ වගේම එතැන තැබූ ඔප්පු ගෙනිහින් තවත් බැංකුවල තියලා මුදල් අරන්. ඒ වගේම නොවටිනා ඔප්පුවලට සාමාජිකයින්ට ණය දීලා. ආණ්ඩු මාරුවත් එක්ක මේ ප‍්‍රශ්ණේ එළියට ආවා. අපි මේ වංචාව දැනගත්තාට පස්සේ බාහිර තැන්පත්කරුවන්ගේ සංගමය හදාගෙන සමුපකාර කොමසාරිස්තුමා එක්ක සාකච්ඡුා කරලා මේකට විසදුමක් ලබා ගන්න උත්සාහ කළා. අපි කියන්නේ මේ හොරු ටික අල්ලන්න, අපේ මුදල් ආපසු අපට ලබා දෙන්න කියන දේයි. ඒත් ඒක වෙන්නේ නැහැ. හොරු ඇල්ලීම හැමදාම යට යනවා.” සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ බාහිර තැන්පත්කරුවන්ගේ සංගමයේ ලේකම් චන්න ගුණවර්ධන මහතාය.

බස්නාහිර පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සිදු කළ යුතු විගණනයන් මෙම වත්තේගෙදර සණස සමිතිය සම්බන්ධව 2005 වසරේ සිට 2015 වසර දක්වාම සිදු කර නොතිබූ බව ද වාර්තා වේ. එහෙත් 2015 වසරේ දී බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්ව සිටි දමින්ද කුමාර මාහතා විසින් සමුපාකාර පනතට අනුව හිමි බලතල යොදා ගනිමින් සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියට අදාලව 47-2 විමර්ෂණයක් ආරම්භ කළ ද වත්තේගෙදර සණස සමිතියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික පිරිසක් මහ සභාවෙන් ද ලිඛිත අවසරයක් ලබා නොගනිමින් කොළඹ අභියාචනාධිකරණයට කරුණු ගොනු කොට 47-2 විමර්ෂනය අත්හිටුවීම සදහා වාරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි. ඒ අතර බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්ව සිටි දමින්ද කුමාර මාහතාට ද වෙනත් ආයතනයකට මාරුවීමට සිදුවී ඇති අතර එතැන් සිට නැවතත් පෙර සිදු වූ ලෙසම වත්තේ ගෙදර ස.ණ.ස. සමිතිය තුළ වංචා ¥ෂණ සිදු වෙමින් පැවති බව වාර්තා වේ.

පසුව සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතිය හා බස්නාහිර පළාත් ස.ණ.ස. සමිති බොහොමයක් ස.ණ.ස. මහා සංගමයෙන් වෙන්ව කොළඹ දිස්ත‍්‍රික්කයේ ස.ණ.ස. සමිති සංගමයේ සාමාජික බවට පත්ව තිබේ. 2016 ජූලි මාසයේ සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ තිබූ සියලූ ලිපි ලේඛන ආරක්ෂාව සදහා යැයි පවසමින් කොළඹ දිස්ත‍්‍රික් ස.ණ.ස. සමිති සංගමයට ගෙන ගිය බැවින් ඒ සම්බන්ධව බාහිර තැන්පත්කරුවන්ගේ සංගමය විසින් මහරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කළ බව ඔවුහු පවසති. මේ වන විට 2005 සිට 2009 ජුනි මස දක්වා පමණක් විගණනය අවසන්ව ඇති අතර එම කාලය තුළ තුළ රුපියල් මිලියන 26ක අලාභයක් සිදුව ඇති බව අනාවරණය වී තිබුණ ද ඒ සම්බන්ධ කිසිදු ක‍්‍රියාමාර්ගයක් වර්තමාන සභාපති ඇතුළු කාරක මණ්ඩලය ගෙන නොමැති බැවින් ඔවුන් ද සිදු කරනුයේ වංචාකරුවන් දිගින් දිගටම ආරක්ෂා කිරීම බව මුදල් තැන්පත්කරුවෝ පවසති. එමෙන්ම 2011 සිට 2016 වසර දක්වා ද 42-2 පරීක්ෂණයක් සිදු කිරීමට සමුපකාර කොමසාරිස්,බස්නාහිර පළාත් සමුපකාර ඇමතිවරයා අවස්ථා කීපයක දී ම දුන් පොරොන්දු ද කඩ වුණු පොරොන්දු බවට පත්ව ඇති බව ඔවුහු පවසති.

සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ අවසන් ගිණුම් වාර්තා සකස් කිරීම දිගන් දිගටම ප‍්‍රමාද වන්නේ සිදුව ඇති වංචා ¥ෂණ හෙළි වීම වැළැක්වීමට ද යන සැකය මේ වන විටත් මතු වී තිබේ. දිගින් දිගටම කල් යන මේ අවසන් ගිණුම් වාර්තාව 2017.04.03 දින බාහිර තැන්පත්කරුවන් සමග බස්නාහිර පළාත් සමුපකාර ඇමතිවරයා පැවති සාකච්ඡුාවේ දී ද මාස හතරක් ඇතුළත ලබා දෙන බවට වත්මන් සභාපතිවරයා එකග වී තිබුණ ද පසුව පැවති සාකච්ඡුාවක දී ඔහු පවසා ඇත්තේ ඊට කොපමණ කලක් ගත වේද යන්න කිව නොහැකි බවකි. වසර එකහමාරක් ගතව ඇතත් තවමත් වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ අවසන් ගිණුම් වාර්තා සකස් වී නැත.

මේ සම්බන්ධව බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස් හා රෙජිස්ටාර් ආසිරි වීරසේකර මහතාගෙන් කළ විමසීමේ දී ඔහු ලබා දුන් පිළිතුර මෙසේය. ‘‘එම සමිතියේ විඝණන කටයුතු 2005 වසරේ සිට සිදුවී තිබුණේ නැහැ. පසුගිය කාලයේ 2010වන තුරු විගණන කටයුතු අවසන් කරලා තියෙනවා. ඉදිරි කොටස සදහා අවශ්‍ය වන දත්ත මේ වන විට සමිතියෙන් සකස් කර තිබෙනවා. අවශ්‍ය ගිණුම් කට්ටල් සමිතියෙන් සකස් කර දිය යුතුව තිබෙනවා. ඒවා ලැබුණු පසු විගණනය ආරම්භ කරනවා. එය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. 47-2 විමර්ශනයට අදාල චෝදනා පත‍්‍රය ලබන සතිය වන විට ඒ අයට යැවීමට කටයුතු කරනවා. අධිකරණයේ නඩු කටයුතු සදහා ලොකු කාලයක් ගත වී තිබෙනවා. ඒ නමුත් ඒවායේ මේ වන විට තීන්දු ලැබෙමින් පවතිනවා. තැන්පත්කරුවන් සියලූදෙනා කැදවා දැනුවත් කර ඒ අනුව ක‍්‍රමිකව එම මුදල් සමිතිය හරහා ලබාදීමට අපි සමිතියට උපදෙස් ලබා දෙනවා. සමිතිය සහ තැන්පත්කරුවන් දැනුවත් කර නිසි ක‍්‍රමවේදයකට එම මුදල් ලබා දීමේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණය හරහා තීන්දු ලැබෙන පිළිවෙල අනුව තමයි එම මුදල් නිදහස් කිරීමට සිදුවන්නේ. දැනට සමිතියේ රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් එකතු වී තිබෙනවා. මූලික ගෙවීම් මාර්තු මාසය වන විට සිදු කිරීමට හැකියි.” කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇතැම් සමිති දෙපාර්තමේන්තුව අවශ්‍ය නොමැති බව සිතා දෙපාර්තමේන්තුවේ උපදෙස් නොගනිමින් විඝණනය අනවශ්‍ය ලෙස සලකා එය තම සමිති අතර කටයුත්තක් ලෙස පවත්වාගෙන යෑම ඔවුනට ගැටලූවක් බවට පත්ව තිබෙන බව ද ආසිරි වනිගසේකර මහතා පවසයි. මෙය ද එවැනි සමිතියක් බවත් මෙවැනි දේට අවශ්‍ය නීති මේවන විට සකස්ව තිබෙන බවත් ඒවා තව දුරටත් සංශෝධනය කළ යුතුව පවතින බවත් ඔහු සදහන් කරයි. ” ඒ වගේම පොළිය වැඩි බව ඇසූ පමණින් ඈත පළාත්වලින් පැමිණ මේ සණස සමිතියේ මුදල් තැන්පත් කළ අය ඉන්නවා. අපේ පළමු උපදේශය තමයි, එයින් මිදිය යුතුයි. තමන් සාමාජිකත්වය නොදරන සමිතියකට පුළුවන්තරම් නොයා හිදීම හොදයි. දෙපාර්තමේන්තුව අධීක්ෂණයක් කළත් මේවා රාජ්‍ය ආයතන නොවෙයි, ස්වාධීන ආයතනයි. පිටස්තර ප‍්‍රදේශවල සිට පැමිණ සියලූම මුදල් එක් ස්ථානයක තැන්පත් කරන්න එපා කියනදේත් අපි මහජනතාවගෙන් ඉල්ලනවා.” බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

‘‘මේ ගැන මාධ්‍යවල වාර්තා කරන්න එපා කියලා ස.ණ.ස. සමහර මාධ්‍ය ආයතනවලට දැනුම් දීලා තියනවා. වෙළද දැන්වීම් ලැබෙන්නේ නැති වෙයි කියලා මාධ්‍යත් මේ ගැන කතා කරන්නේ නෑ.” මෙම මූල්‍ය වංචාව නිසා හෙම්බත්ව සිටින තැන්පත්කරුවන් කියූ කතාවකි.