රාවය

දේශපාලන අවිචාරයෙහි අවසානයක් නැද්ද?

දේශපාලන අවිචාරයෙහි අවසානයක් නැද්ද?

සෝභිත හිමියන් ජීවත්ව සිටි සමයේදී කීවේ තැටිය රත්වූ අවස්ථාවේදී රොටිය පුච්චා ගත යුතු බවය උන්වහන්සේ එසේ කීවේ යහපාලන ආණ්ඩුව නිසි වේලාවේදී ගතයුතු තීන්දු නොගෙන අයාලේ යනු දුටු ප‍්‍රථම හෝ දෙවැනි අවස්ථාවේදීය. ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ආදාහනය දවසේදී කීවේ එහිමියන්ගේ ප‍්‍රතිපත්ති රකින බවය. එනම් විධායක ජනාධිපති ධුරයත් අහෝසි කර තැටිය රත්වූ අවස්ථාවේදී රොටියත් පුච්චා ගන්නා බවය. එහෙත් වසර තුනකට පසුත් රොටිය අමු බව ජනපතිට පෙනී යන්නට ඇත්තේ පළාත් පාලන ඡුන්දයේ ප‍්‍රතිඵලය නිකුත්වීමත් සමගය.

ජනතා තීන්දුව

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව වෙතින් ප‍්‍රතිචාර දෙකක් ඡුන්දයේදී දැක්විණි. එකක් වූයේ ජනවාරි අට වෙනෙසෙහි කොටස්කරුවන් ආණ්ඩුව කෙරෙහි වන අප‍්‍රසාදය නිසාම ඡුන්දය ප‍්‍රකාශ නොකර සිටීමය. එම ප‍්‍රතිචාරයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකටම ලොකු හානියක් නොවුණි. එහෙත් ජනයාගේ දෙවැනි ප‍්‍රතිචාරය ආණ්ඩුවට මාරාන්තික වූයේය. එය නම් යහපාලන රජය ජනතා අපේක්ෂාභංග කිරීම පිළිබඳව පොහොට්ටුවට ඡුන්දය දී ආණ්ඩුවට භයානක අනතුරක් අභිමුඛ කිරීමය. ජනතාව මහින්දට ඡුන්දය දුන්නේ ඔහු හොඳ නායකයකු හා හොඳ ව්‍යාපාරයකට නායකත්වය දුන් නිසා නොවේ. ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමටය. ඉන් අකර්මණ්‍යව සිටි පිරිසකට ඉක්මනින් ප‍්‍රාණය ලැබිණි. එමෙන්ම ජාතිවාදයත්, ආගම්වාදයත් යළි උත්කර්ෂයට නැංවුණි. ජනවාරි 08 මහජන ප‍්‍රයත්නයෙහි තිබුණු සාධනීය ලක්ෂණ අහෝසි කැරිණි. මෛත‍්‍රී රනිල් මන්දගාමී එකමුතුවට සාපේක්ෂව රාජපක්ෂලා පිළිතුරක් බවට පත්කර ගැනීම ලංකාවේ ජනයා මීට වඩා සිතිය යුතු කාරණයකි. මෙවැනි විකෘති පිළිතුරක් සමාජයට අවසානයේදී ශේෂ වන්නට ඉඩ හැරීම පිළිබඳව ඊට ඡුන්දය දුන් ජනතාව පමණක් නොව ඊටත් වඩා ජනපතිත්, අගමැතිත් වගකිව යුතුය. ඒ ඔවුන් තම වගකීම් පැහැර හළ නිසාය.

බලාපොරොත්තු කඩකිරීම

රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනවාරි 08 ගෙදර යැව්වේ ඔවුන් සිය වසර දහයක කාලය තුළ දූෂිත හා අත්තනෝමතිකව ක‍්‍රියා කළ ආණ්ඩුවක් බවට පත්වූ නිසාය. එමෙන්ම එවක සිදුවූ මිනිස් ඝාතන රැුසකට වගකිවයුතුව සිටි නිසාය. එපමණක් නොවේ. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ජනයා උග‍්‍ර ජීවන බරකින් මිරිකී ගිය නිසාය. ඔවුන්ට යම් කාලයක් අල්ලාගෙන සිටීමට එකම අත්වැල සපයා තිබුණේ යුද ජයග‍්‍රහණය පමණි. යුද ජයග‍්‍රහණයෙන් මනස ආතුර කරගත් පිරිසක් අදත් සිටිති. එහෙත් යුද්ධයට අදාළව අන්තර්ජාතික වශයෙන් ලංකාව කෙරෙහි ඇතිව තිබුණු තත්ත්වය සංකීර්ණ එකක් විය. ජනයාට සිිවිල් සමාජය කියන අර්ථයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඕනෑ නොවන්නට පුළුවන. ජනාධිපති ධුරයේ විධායක බලය තිබුණත්, නොතිබුණත් ඔවුන්ට එය අදාළ නොවන්නට පුළුවන. ස්වාධීන කොමිෂන් සභා වැනි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලත් පොදු ජනයා සම්බන්ධයෙන් අදාළත්වය එබඳුය. එහෙත් ප‍්‍රතිසංස්කරණ නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි, රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වයේ විනිවිදභාවයක් නැති, විරුද්ධවාදීන් හා ජනමාධ්‍යවේදීන් ඝාතනය කැරෙන, අන්තර්ජාතිකව හොඳ හිත වගා දිගා නොවුණු රාජ්‍ය පාලනයකට වැඩිදුර යා නොහැකිය. රාජපක්ෂට එදා සිය ගමන නතර කරන්නට සිදුවූයේ එහෙයිනි. යහපාලනයෙන් ජනයා විකල්පයක් අපේක්ෂා කළේ මේ තත්ත්වය තුළය.

ධනවාදයේ අවසානය නොවේ

සාමාන්‍යයෙන් ලෝකයේ තිබෙන එක් දේශපාලන න්‍යායයක් වන්නේ ධනේශ්වර පක්ෂ තනි තනිව කරන කාර්යභාරය අවසන් කළ පසු, එනම් ලංකාවේදී නම් පක්ෂ දෙකම තනි තනිව සාපේක්ෂව ප‍්‍රතික්ෂේප වූ යුගයක එම පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවකට යාමය. එවිට ජාතික ආණ්ඩුව යනු ධනවාදයේ අවසාන තුරුම්පුව ලෙස දැක්වෙන මෙම න්‍යාය තාර්කික අවසානයකට පත්වන්නේ ශක්තිමත් වාමාංශික බලවේගයක් තිබෙනවා නම් පමණි. ලංකාවේ ධනවාදය අවසාන තුරුම්පුව ගහන දවස වනවිට ලංකාවට වමක් තිබුණේ නැත. ජවිපෙ වමක් හෝ ජාතික ආණ්ඩු කෙමනට පිළිතුරක් නොවන බව ඉකුත් 10 වැනිදා ජනතාව හරියටම පෙන්නුම් කර දුන්නේය. සම්මුතිවාදී ආණ්ඩුව රාජපක්ෂ කළ වැරදි අතරින් සමහර දේවල් කළේ නැත. සාපේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රටෙහි ඇති කැරිණි. අන්තර්ජාතිකව හොඳ නමක් ඔවුහු රටට අත්කර දුන්හ. එහෙත් නිසි වේලාවේ නිසි තීරණ නොගැනීම නිසා එය දවසින් දවස අවවර්ධිත ආණ්ඩුවක් බව පෙන්නුම් කරමින් තිබුණි. වර්ධනයවීමට තව කල් දෙන්නට ජනතාවගේ සූදානමක්ද නොතිබුණි. වැරදි හදා ගන්නට කාලයක් දෙන්නට ජනතාව කල්පනා නොකළේ බැඳුම්කර ගනුදෙනුව වැනි යළි ආපස්සට ගත නොහැකි බරපතළ ගණයේ වැරදි ආණ්ඩුව අතින් සිදුවීම නිසාය. අකාර්යක්ෂමතාවයේ හා දූෂණ චෝදනාවල අවසන් ප‍්‍රතිඵලය වූයේ ඔවුන් ඉක්මනින් නරක ඉරණමකට ගොදුරුවීමය.
හොඳක් ඇත්තේම නැද්ද?

යහපාලන රජය පැමිණි ගමන් ඉන්ධන මිල ඇඟට දැනෙන ලෙස අඩු කළේය. අදත් ඒ සහනය ජනයාට ලැබෙයි. එහෙත් දින සියය තුළ ගත් සමහර ජනප‍්‍රිය තීරණ ආණ්ඩුවට දරා ගැනීමට අපහසු බව පසුව පෙනී ගියේය. මහජන සහන දීම් ආණ්ඩුවට දරාගත හැක්කේ ඊට සමගාමීව රටේ ආර්ථික සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක වන්නේ නම් පමණි. ආදායම් උපයන මාර්ග අහිමි වැය පමණක් සහිත රටක නියත කල දසාවක් තිබේ. ආණ්ඩුව එම අර්බුදයෙන් ගැළවෙන්නට නොහැකි ලෙස පැටලූණේය. ජනප‍්‍රිය තීන්දු ආපසු හැරවිය නොහැකි වූයේය.

යහපාලන රජය වැඩ පටන්ගත්දා සිට රුපියල ශීඝ‍්‍රයෙන් පහළ ගියේය. ඩොලර් සංචිත කෘත‍්‍රිමව පවත්වාගෙන යමින් රුපියල නඩත්තු කරන ක‍්‍රමයකට වඩා රුපියලේ අගය රටේ නිෂ්පාදනය මත තීරණය වන්නට හැරීම වැදගත් පියවරකි. එහෙත් එය වැදගත් පියවරක් වන්නේ රට නිෂ්පාදන ආර්ථිකයකට යොමුවී සිිටිනවා නම් පමණි. වත්මන් ආණ්ඩුව ආයෝජන ලෙස දුටුවේ තිබෙන ඇතැම් සම්පත් විකිණීමය. වෙනත් මහා පරිමාණ ආයෝජන රටට නොලැබිණි. අගමැතිවරයා ආර්ථික ප‍්‍රතිපත්ති විෂය හැසිරවූවත් ආර්ථික කළමනාකරණයෙහි එජාපය පෙර දැක්වූ බුහුටිකම් මෙකල මතු නොවුණි. එකල එජාපය මහකොළඹ ආර්ථික කොමිසම වැනි ආයතන පිහිටුවා ජනයාගේ කෙටිකාලීන ආර්ථික අපේක්ෂාවලට ඉඩ හළේය. එමගින් ගමට මුදල් ගලා ගියේය. එවැනි සීමිත ක‍්‍රම හෝ වත්මන් ආණ්ඩුවට නොතිබුණි.

වරද්දා ගත්තේ මොකද?

යහපාලන රජය සැලසුම් විරහිත විය. පාර්ශ්ව දෙකක් එකතු වී රටක් පාලනය කරන විට කොපමණ කාලයක් එම ද්විපාර්ශ්වික ගිවිසුම ක‍්‍රියාත්මක වන්නේද යන්න තීරණය කරනවාට වඩා එම කාලය තීරණය කළ යුතුව තිබුණේ තම තමා එක්ව කරන්නට යන වැඩකටයුතුවල ස්වභාවය අනුවය. ජනපතිට හා අගමැතිට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිට, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ගෙන ඒමේ සිට, අන්තර්ජාතිකව මුහුණදිය යුතුව තිබුණු ප‍්‍රශ්නවල සිට සංවර්ධනය දක්වා යන සියල්ලට සරල හෝ කාලරාමුවක් ඇතිකර ගැනීමට තිබුණි. එබඳු කාලරාමුවක අවශ්‍යතාව මුලින්ම පෙනී ගිය අවස්ථාවක් වන්නේ 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමේදීය. 19ට ඡුන්ද ගැනීමට රාජපක්ෂ හිතවාදී මන්ත‍්‍රීවරුන්ට සෑහෙන අල්ලස් දීමට ජනපතිට සිදුවිය. ඔවුන්ගෙන් වැටුණු කොන්දේසි හේතුවෙන් හා 19න් ඇතිවිය හැකි අනාගත අර්බුද ගැන දුර දැක්මක් ආණ්ඩුවට නොතිබීම නිසා අවසානයේදී සම්මත වූයේ අංගවිකල සංශෝධනයකි. එය කෙතරම් නිශ්ඵලද යන්න පෙනීයන්නේ පළාත් පාලන ඡුන්දයෙන් පසුව ඇතිවූ තත්ත්වයත් සමගය. දහනවයේ ඇතැම් වගන්ති රටේ ප‍්‍රශ්න විසඳීමට නොව රට අරාජිකත්වයට ඇද දැමීමට හේතුවන බව පෙනේ. ප‍්‍රශ්නය වන්නේ ස්වාධීන කොමිෂන් සභාවල සිට දේවල් නමට පමණක් කළ දේවල් වීමය. ආණ්ඩුව වසර තුනක් නොව දහතුනක් සිටියත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම කළ නොහැකි බව අවස්ථා ගණනාවකදී පෙන්නුම් කළේය. මූලිකම දේ ඔවුන්ට ඒ සඳහා එක්වූ පිරිසට ඇති අර්ධ දැනුමය. තෙවැනුව විය හැකි දේ පිළිබඳව නිසි තක්සේරුවක් නොමැතිකමය.

කිසිවක් සිදු නොවීම

වත්මන් ආණ්ඩුව ගැන ඉක්මනින්ම තේරුම් ගත් පුද්ගලයා බැසිල් රාජපක්ෂය. 2015 ජනවාරි 09 වැනිදා ප‍්‍රතිඵලය ලැබීමත් සමග බැසිල් රට හැර ගියේය. එසේ ගියේ බරපතළ තත්ත්වයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි යන සැකය නිසාය. එහෙත් මාසයක පමණ කාලයක් ගතකරන විට පැරණි ආණ්ඩුවේ දූෂණ චෝදනා සහ ඝාතන චෝදනා ලැබූවන්ට කිසිම ප‍්‍රශ්නයක් නොවන බව තේරුම් ගත් ඔහු ලංකාවට ආවේය. අනතුරුව ඔහුට මුහුණ දෙන්නට සිදුවූයේ සුළු ප‍්‍රශ්න කිහිපයකටය. කෝටි ගණනක් වටිනා මල්වානේ නිවස ඔහු මගේ නොවේ කීවේය. බැසිල් රිමාන්ඞ් භාරයේ සිට ගෙදර එන ගමන් කීවේ තමා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබුණත් ආණ්ඩුව වැරදි දේශපාලන ගමනක් යන නිසා යළි දේශපාලනය කරන්නට සිදුවී තිබෙන බවය. බැසිල් එසේ කියන තැනට පත් කළේ යහපාලන ආණ්ඩුවය. ඉදින් යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙකට ඉකුත් 10 වැනිදා ජනතාව අත්කර දුන් ඉරණම හැර වෙනත් ඉරණමක් අත්කරදීම සුදුසු නැත. ජනාධිපති පළමු පියවරේදීම පරාජිතයන් පාර්ලිමේන්තුවට ගත්තේය. තමාගේ පිරිසක් හදා ගැනීමට නිහඬව ක‍්‍රියා කළේය. පක්ෂ සභාපතිකම ජනාධිපති ධුරයට වඩා මනසේ ඉහළම තැනක තබාගෙන මූලික වගකීම හෙවත් තම විෂය ප‍්‍රදේශය අමතක කළේය. ජනපතිත්, අගමැතිත් සම්මුතිවාදයෙන් කළ හැකිව තිබුණු වැදගත් දේවල් පවා අමතක කර එකිනෙකා කුළල් කා ගන්නා මට්ටමට ගියේය. මේ තත්ත්වය තුළ ඉකුත් 10 වැනිදා ජනතාව ඔවුන්ට මෙවැනි පිළිතුරක් නොදී සිටීමට හේතුවක් නැත.

පිළිතුර භයානකයි

ලංකාව ආවේගශීලීව වැඩ කරන රටකි. ජනයාගේ හැටියට පාලකයන්ද පාලකයන්ගේ හැටියට ජනතාවද වශයෙන් තකට තක තත්ත්වයක් මෙරට දක්නට ලැබේ. ජනතාව යළි රාජපක්ෂට ඡුන්දය දුන්නේ මහින්ද හොඳවී ඇති නිසා නොව ආණ්ඩුවට හොඳ කනේ පහරක් දෙන්නටය. ලංකාවේ ජනයා හැමදාම කළේ එකකු හොඳ නැති බව පෙනෙන විට අනිකාට අවිචාරවත්ව ඡුන්දය දීමය. මේ පිළිවෙත ඉක්මනින් නතර කළ යුතුය. ඇතැමුන්ගේ මතය වන්නේ මෙම ඡුන්ද ප‍්‍රමාණය 2015දී මහින්දට තිබුණු බවය. අනෙක් සියල්ල එකතු කළ විට එදා ජනපතිවරණයෙන් මෛත‍්‍රී ජයගත් බවය. එබැවින් මෙම ඡුන්දයේදී විශේෂ පරාජයක් එජාපය හා සන්ධානය අත් කර නොගත් බවය. එසේ ගණන් හැදීමෙන් මේ ප‍්‍රශ්නය විසඳාගත නොහැකිය. එමගින් මෝඩ සතුටක් නම් ලැබිය හැකිය. එජාපය, සන්ධානය, ශ‍්‍රීලනිපය මෙන්ම ජවිපෙද පසුපසට තල්ලූ කොට පොදු ජන පෙරමුණ ඉදිරියට පැමිණ ඇති බව පිළිගත යුතුය. එහෙත් සමාජයක් මෙවැනි වැරදි පිළිතුරු සොයා ගැනීමත්, ඒවායින් පළිගැනීමෙන් ලබන ආකාරයේ කාලකණ්ණි සතුටක් ලැබීමත් මගින් රට ඇද වැටෙන්නේ මහත් ඛේදයකට බව තේරුම් ගත යුතුය. පක්ෂ එකක්වත් විශ්වාස නැති තැනක කළයුත්තේ තමා තුළම මානසික කැරැුල්ලක් ගසා අන්තවාදී උත්තර වෙනුවට සාපේක්ෂව හෝ සමබර පිළිතුරක් සොයා ගැනීමය. ගස යට වැහි දෙකකි. එබැවින් පියස්සක් සාදා ගත යුතුමය.