රජුන් තනනු හෝ නසනු නොරිසියෙමු

රාවයට දේශපාලනයක් තිබේ. එය රජුන් තනන හා රජුන් නසන එකක් නොවේ. පුවත්පත ප‍්‍රජාවගේ ඉල්ලීම් දෙකක් කෙරෙහි සංවේදී වෙයි. එකක් වන්නේ ආසන්න යටගියාවේ හා වර්තමානයේ මහජනයාට බලපාන ලෙසින් රටෙහි වූ සිදුවීම් පිළිබඳව විමර්ශනශීලීව ක‍්‍රියාකිරීමය. එය පුවත්පතක් පිළිබඳ මහජනයාගේ බලාපොරොත්තුවකි. නිදසුනක් ලෙස ආසන්න අතීතයට හා වර්තමානයට අදාළව රටෙහි සිදුවූ දූෂිත ගනුදෙනු, මෙන්ම මානව හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දුර්වර්ණ පැවතුම් කෙරෙහි විමර්ශනාක්ෂිය යොමු කිරීම ජනමාධ්‍යයක කාර්යභාරය වෙයි. ඒවා මගහැර යන ඕනෑම අයකු ප‍්‍රශ්න කරනු දැකීම හා අභියෝගයට ලක් කරනු දැකීම පාඨක ප‍්‍රජාවගේ එක් අභිලාෂයකි. පුවත්පත සිය ජනමාධ්‍ය වපසරිය තුළ සිට එය කරන්නේ හුදෙක් පාඨක මනෝරථය ඉටුකිරීම හා වෙළෙඳ අභිලාෂය පෙරදැරිව නොවන බවද කිවයුතු වෙයි. එහි තිබිය යුත්තේ බලවත් සමාජීය අරුතකි. සැබැවින්ම එය තහවුරු වන්නේ පාඨක ප‍්‍රජාවගේ දෙවැනි ඉල්ලීම හා සංවේදී වීමේදීය. එය නම් රජුන් තනන හා රජුන් නසන ලූහුවාදී වැඩපිළිවෙළ ඉක්මවා ගොස් රාජ්‍ය පාලනයට අවශ්‍ය විෂයයික දර්ශනයකින් සමුපේත, වේලාසනින් අවදි වූ පුවත්පතක් ලෙස ක‍්‍රියාකිරීමය.

පුවත්පතක් මේ මොහොතේ මහජනයා මුහුණදෙන ප‍්‍රශ්න හා සිතුම් පැතුම් සමග බැඳී සිටිය යුතුය. ඉන් නොසෑහී ජනයාගේ සරල සිතුම් පැතුම්වලින් ඔබ්බට විහිදී බැලීමටද හැකියාව අත්පත් කරගත යුතුය. ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට පමණක් නොව, ප‍්‍රශ්නවලට විසඳුම් යෝජනා කිරීමටද ශක්‍යතාවක් පුවත්පතකට තිබිය යුතුය. රාවය අභ්‍යාස කරන්නට වෑයම් කරන්නේ මහජනයාගේ ජීවිත පැවැත්මට අදාළ ජනමාධ්‍යයකි. එය වඩාත් විශ්වාස කරන්නේ ලෞකික රාජ්‍යය වන අතර ආගමික මූලධර්මවාදය එහිදී මුළුමනින් ප‍්‍රතික්ෂේප වෙයි. එමෙන්ම ජාතිවාදී ප‍්‍රවණතා පිළිබඳ ආලෝලනයක් ඊට කිසිදාක නොතිබුණි. ජාතීන් කෙරෙහි සම ඇසකින් බලන අතරම ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ඉහළින්ම ගරු කරන ජනමාධ්‍ය භාවිතයක් මෙහි නොවෙනස් වන ආදර්ශය ලෙස අනාගතයේදීත් පවතියි.

මේ ගැන කීමට සිදුවූයේ ඉකුත් 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව රටෙහි කිසියම් දේශපාලන වෙනසක් සිදුවන්නට යන තත්්ත්වය සලකාය. මේ වනවිට රටෙහි තිබෙන්නේ ජයග‍්‍රාහකයා කවුද යන්න පිළිබඳ වාදයකි. එය ජනතාවගේ පැත්තෙන් නිරර්ථක වාදයක් ලෙස රාවය හඟියි. ඒ කවුරු දිනුවත් පොදු ජනයා පරාජිතයන්ය යන අදහස ඉදිරිපත් කරන්නට සිදුවීම එක්විටම තරමක් නාස්තිකවාදී අදහසක් යැයි පෙනී ගියත් මෙරට මෑත දේශපාලන ඉතිහාසය පිරික්සීමේදී එය යථාර්ථයක් ලෙස පෙනෙයි. මන්ද හැමවිටම දිනා තිබුණේ දේශපාලකයන් මිස ජනතාව නොවේ.

මේ අදහස සමග රාවය ඌනනය වන්නේ අප, දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් පිටු දැක තනි අලියාගේ භූමිකාව නිරූපණය කරනවා යන තැනට නොවේ. රාවය දේශපාලන අධිකාරියෙන් අපේක්ෂා කරන්නේ ඔවුන් සිය විෂය තුළ අනුගතව සිටිය යුතුය යන්නය. පුවත්පත රජුන් තනන හා නසන වැඩසටහන්වලට සම්බන්ධ නොවී ජනමාධ්‍ය භූමිකාවෙහි ව්‍යාවෘත වන අතර රටෙහි අවුලට හේතුවී තිබෙන්නේ ජනමාධ්‍ය, දේශපාලනය ප‍්‍රමුඛ අති බහුතර පිරිස් තම තමාට අයත් විෂය ප‍්‍රදේශ තුළ නොසිටීම හා ක‍්‍රියා නොකිරීම බව කිව යුතුය. ජනාධිපතිවරයා සිය විෂය ප‍්‍රදේශ හරියට හඳුනාගත්තා නම් වර්තමානයේ ඔහු මුුහුණ පා සිටින අභියෝග එල්ලවන්නේ නැත. අගමැතිවරයාටත් එය අදාළය. හිටපු ජනපතිටත් එසේමය. හිටපු ජනපති චිත‍්‍රපටි ගැන තීන්දු දෙන්නට යන සමාජයක, සිදුනොවිය හැක්කේ කුමක්ද? එමෙන්ම රටෙහි නායකයා තමා ද්වන්ද්ව තත්ත්වයකට මුහුණපෑවිට ද්වන්ද්වය ජයගැනීමට වෑයම් නොකර තමා ළැදියාව දක්වන කණ්ඩායමක් සමග වැඩ කරන්නට යෑම මෙන්ම අගමැති විෂය ප‍්‍රාමාණිකයන් දුරස්කර දුහුනන් කෙරෙහි බර තබා ක‍්‍රියා කරන ප‍්‍රතිපත්තියකින් රටකට සෙතක් විය නොහැකිය. හැරල්ඞ් ලැස්කි මෙසේ කියයි. ”හොඳම ඇමතිවරයා යනු ඔහු වෙත ඉදිරිපත් කරන විවිධ ප‍්‍රශ්න පිළිබඳව සැණෙකින් හා ක‍්‍රමානුකූලව සිතීමට හැකි පුද්ගලයාය. ඔහු සතු පළමුවැනි ගුණාංගය වනුයේ ඔහුගේ සාමාන්‍ය බුද්ධිය වන අතර දෙවැන්න වනුයේ ජනතාව පිළිබඳ විනිශ්චයක් කිරීමට ඔහුට ඇති හැකියාවයි.” දේශපාලනඥයා ප‍්‍රායෝගිකව හා සංකල්පීයව සංගත විෂය ප‍්‍රදේශයක සැරිසැරිය යුතු බව ඉන් අදහස් වෙයි. ජනමාධ්‍ය ආයතනයක් ලෙස රාවය අනලස්ව සිය විෂය ප‍්‍රදේශ තුළ සැරිසරන්නට අදහස් කරනවා සේ ම දේශපාලනඥයාද සිය විෂය ප‍්‍රදේශය තුළ සැරිසරනු දක්නා කැමැත්තෙමු. රාවයට රජුන් තනන හා නසන ප‍්‍රයත්නයක් නැත්තේ එම බහුත්වවාදී අරුතිනි.