පොහොට්ටුව පිපීමෙන් පසු

පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම ආණ්ඩුවට පැවතීමට සහ ඉදිරි අවුරුදු දෙක තුළ නොවැටී සිටීමට ඇති නීතිමය ඉඩකඩ ගැන, දේශපාලන අවකාශය ඉතා අඩු බව පෙනේ. එය වනාහී පළාත් පාලන මැතිවරණයකින් පසුව ආණ්ඩුවක් පත්වන පැවැත්මේ අර්බුදය පිළිබඳව කලාතුරකින් ලැබෙන නිදසුනකි. තම ධුර කාලය මැදදී පවත්වන අතුරු මැතිවරණ සහ පළාත් පාලන, ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක මැතිවරණ ආදියේදී ආණ්ඩු පක්ෂ අබිබවා විරුද්ධ පක්ෂ ජයගැනීම අමුතු දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස ක‍්‍රියාත්මක වන රටවල ඒවා සිදුවීම විමතිය දනවන දෙයක්ද නොවේ. එහෙත් පෙබරවාරි 10දා පළාත් පාලන මැතිවරණය අසාමාන්‍ය දේශපාලන ප‍්‍රතිඵල ඇති කරන්නට සමත් එකක් වී ඇත.

සිරිසේන – වික‍්‍රමසිංහ ආණ්ඩුව පෙබරවාරි 11දා සිට මුහුණදෙමින් සිටින්නේ තම පැවැත්ම පිළිබඳව නෛතික අභියෝගයකට නොවේ. සදාචාරමය අභියෝගයකටයි. සුජාතභාවය පිළිබඳ අභියෝගයකටය. නෛතික අභියෝගයක් නොවන්නේ, පළාත් පාලන ආයතනවල අතිබහුතරයක බලය ලැබුණේ, පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසාය. අගමැති – ජනාධිපති දෙදෙනාගේ පක්ෂවල මන්ත‍්‍රීවරුන් එකතු වූ පසු පහසු පාර්ලිමේන්තු බහුතරයක් තිබේ. එහෙත් දැන් ගැටලූව තිබෙන්නේ, එම දෙපාර්ශ්වයට එකට සිටීමට හැකි සදාචාරාත්මක දේශපාලන තත්ත්වයක්, ඔවුන් විසින්ම නිෂ්ප‍්‍රභ කරගෙන තිබීමයි. එම තත්ත්වයන් යළි ගොඩ නැගීම පහසු නැත. පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී සිදුවූයේ එජාප-ශ‍්‍රීලනිප සම්බන්ධතාව පසමිතුරු සම්බන්ධතාවක් බවට පරිවර්තනය වී, සංහිඳියාව යළි ඇතිකර ගැනීම දුෂ්කර වන ලෙස දෙපාර්ශ්වය එකිනෙකාගෙන් බිඳී ගොස්, ‘යහපාලන’ යන දැන් නොගැළපෙන නාමයෙන් හඳුන්වන සන්ධානය ප‍්‍රායෝගික වශයෙන් බිඳ වැටීමයි. එම සන්ධානයේ 2015 වන විට සිටි ප‍්‍රධාන බලවේග තුන, එනම් එජාපය, ශ‍්‍රීලනිපය, පොජඑපෙ සහ ජවිපෙ පළාත් පාලන මැතිවරණය, එකිනෙකාට දෝෂාරෝපණය කරගනිමින් වෙනම තරග කළ විට, සිරිසේන වික‍්‍රමසිංහ සභාග ආණ්ඩුවේ සදාචාරාත්මක පදනම දෙදරා බිඳ වැටිණ. පෙබරවාරි 11දා මැතිවරණ ප‍්‍රතිඵලවලින් පෙනුණේ ඡන්දය දුන් පිරිසගෙන් 46%කි. එම පදනම බිඳ වැටීම අනුමත කර, එම ගොඩනැගිල්ලමද කඩා ඉවත් කළ යුතු බවට යෝජනා කිරීමයි. මෙම ඡුන්දදායක පිරිස තම මැතිවරණ තීන්දුවෙන් දී ඇති පණිවුඩය වනාහී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා යන දෙදෙනා දී තිබෙන පණිවුඩයක් හඬ නගා ප‍්‍රතිඋච්චාරණය කිරීමයි.

ඒක පාක්ෂික විසඳුම්

ආණ්ඩුවේ පැවැත්ම දුෂ්කරවන්නේ මේ නිසාය. ආණ්ඩුවේ සැකැස්ම දැඩි පරිවර්තනයකට භාජනය නොකර සභාගයට තවදුරටත් පැවතිය නොහැකි බව පාර්ශ්ව දෙකටම වැටහී ඇති බවද පෙනේ. දැන් දෙපාර්ශ්වය සොයන බව පෙනෙන්නේ ඒකපාර්ශ්වික විසඳුම්ය. රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර, ජනාධිපති සිරිසේනගේ පාර්ශ්වයට සහ වක‍්‍ර ලෙස මහින්ද රාජපක්ෂ මහතාටද පිළිගත හැකි අගමැති කෙනෙකු සෙවීමට, සිරිසේන මහතාගේ හිතවතුන් උත්සාහ ගන්නා බව පෙනේ. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉවත් කර, තනියම ආණ්ඩුවක් පිහිටුවීමටත්, රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමටත් එජාපයේද ප‍්‍රවණතාවක් ගොඩනැගෙන බවද පෙනේ. ඉදිරි දින කිහිපය තුළ තවත් විකල්ප මතුවිය හැකියි. ඒ අතර ආණ්ඩුවේ වාසනා චක‍්‍රය පැවැත්ම සහ බිඳ වැටීම යන අන්ත දෙක දෝලනය වනු ඇත.

පෙබරවාරි 10දා පැවති පළාත් පාලන මැතිවරණය වනාහී ජයග‍්‍රාහකයාත්, පරාජිතයාත්, ඡුන්දදායකයාත් යන තුන්ගොල්ලන්ම මවිතයට පත් කළ ප‍්‍රතිඵල ලබා දුන් එකක් බව පෙනේ. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවක් සෙළවෙන්නේ නැත. මෙම මැතිවරණය ආණ්ඩුව සෙළවූවක් පමණක් නොව, එහි පදනම්ද දෙදරවූ එකකි. බලයට පත්වී යන්තම් අවුරුදු තුනක් වනවිට තම ආණ්ඩුව වැටෙන තත්ත්වයට සාධක නිපදවීමට ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ දේශපාලන නායකයන් ලෙස දක්වා ඇති අදක්ෂතාවයේ දක්ෂතාව, දේශපාලනය පිළිබඳ මතුවී තිබෙන නව ඇපොරියාවකි; ප‍්‍රහේළිකාවකි.

දේශපාලන සියදිවි නසා ගැනීම

තමන් බලයට පත් කළ සන්ධානය එකට තබා ගන්නේ නැතිව, එහි ප‍්‍රධාන බලවේග දෙක, මුලදී එකිනෙකාට තරගකාරීව, පසුව එකිනෙකාට පසමිතුරුව, ප‍්‍රතිවිරුද්ධ දෙදිසාවකට ගමන් කරවීමේ ක‍්‍රියාවලියකට නායකත්වය දීම මගින් සිරිසේන සහ වික‍්‍රමසිංහ යන දෙපළ කර තිබෙන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ ඇති සාමාන්‍ය තර්කණයට හසුකරගත නොහැකි, එම තර්කණයට සම්පූර්ණයෙන් පරිබාහිර, දේශපාලන චර්යාවන් ප‍්‍රදර්ශනය කිරීමකි. මෙවැනි සියදිවි හානිකර ගන්නා සුළු චර්යාවකට මේ නායකයන් දෙදෙනා පෙළඹුණේ මක්නිසාද? මෙයද පහසුවෙන් පිළිතුරු දිය නොහැකි ප‍්‍රශ්නයකි; පහසු පිළිතුරුවලින් තේරුම් ගැනීමට ආධාර නොවන ප‍්‍රශ්නයකි. දේශපාලන විග‍්‍රහයට ආධාර වෙනු පිණිස මනෝවිශ්ලේෂණයද? ප‍්‍රමාද වී හෝ දැන්වත් ඉගෙන ගත යුතු යැයි මට සිතේ.

දේශපාලන වීජ ගණිතය

මේ අතර, පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල වල අංක ගණිතය දෙස බලන විට පුදුම එලවන නිරීක්ෂණද කළ හැකිය. පොහොට්ටුවට (එනම් එක්සත් ජනතා නිදහස් පෙරමුණට) පළාත් පාලන මැතිවරණයෙන් සුනාමි රළ පහරක් වැනි ජයග‍්‍රහණයක් ලෙස එක් පැත්තකින් පෙනුණත්, සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම ඡුන්ද මුළු ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය 2015 ජනාධිපති සම පාර්ලිමේන්තුවරණ වලදී රාජපක්ෂ මහතා සහ එතුමාගේ සන්ධානය ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය ඉක්මවන්නේ නැත. යහපාලන සන්ධානයේ සිටි පක්ෂ වෙනම වෙනම ගත් ඡන්දවල එකතුව සහ ප‍්‍රතිශතය පොහොට්ටුව ලබාගත් ඡුන්ද මුළු ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය ඉක්මවයි. එහෙත් මේ අංක ගණිතයයි. ට්‍රොට්ස්කි වරක් කියූ පරිදි දේශපාලනයේ ඇත්තේ අංක ගණිතය පමණක් නොවේ. එහි වීජ ගණිතයද තිබේ. මේ පක්ෂ සන්ධානයක් ලෙස එකතු වී පළාත් පාලන ඡුන්දයට සහභාගි වූයේ නම් 2018 පෙබරවාරි 11දා මතුවූ දේශපාලන තත්ත්වය එසේ නොවන්නට හොඳටම ඉඩ තිබිණ.

යහපාලනයේ ඉහිරුණු කිරට දැන් හඬා වැඩක් නැත. මන්දයත් මේ මැතිවරණ ප‍්‍රතිඵලවලින් පෙන්වන සමහර ප‍්‍රවණතාවන්ට අනුව පැරණි යහපාලන න්‍යාය පත‍්‍රය අලූත් කිරීමේ දේශපාලන අදාළතාවක් තවදුරටත් නැත. ඡුන්දදායකයන් බහුතරයක් නොව 46%කට ආසන්න ප‍්‍රමාණයක් 2015දී දෙවරක්ද, 2018දී එක් වරක්ද දූෂණය අනුමත කර ඇත්තාහ. ජනාධිපතිතුමාගේ දූෂණ විරෝධී සටන් පාඨයට සහාය දක්වන බව පෙනෙන්නේ ඡුන්දය දුන් සංඛ්‍යාවෙන් 13%ක් වීමම එයට හේතුව නොවේ. මැතිවරණ දේශපාලනයේදී ඡුන්දදායකයන්ගේ තේරීම් කිරීමේදී, එනම් තීන්දු ගැනීමේදී, දූෂණය, මානව අයිතිවාසිකම් උල්ලංඝනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන තේමාවල වැදගත්කම, එම සටන් පාඨ මත බලයට පත්වූ දේශපාලනඥයන් විසින්ම අදාළ නැති තත්ත්වයකට ඇද දාලා ඇති නිසාය. තමන් බලයට පත්වීමට ආධාර කරන ඉණිමගකට වඩා වැඩි වටිනාකමක් ඒ තේමාවල නැතැයි ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ අඩු වැඩි වශයෙන් ඔප්පු කළ විට, ඡුන්ද තීන්දු ගැනීමේදී ඡන්දදායකයන් ඒවා නොසලකා හැර ඇති බව පෙනේ. ජනාධිපතිතුමා කළේත් දූෂණ විරෝධය තවත් මැතිවරණ ව්‍යාපාරයක සටන් පාඨයක් බවට ලඝු කිරීමය. ඡුන්දදායකයන්ගෙන් 13%ක පමණක් අනුමැතිය ලැබුණු එතුමාට, තියුණු වන දේශපාලන බල අරගලය තුළ ඇති කේවෙල් කිරීමේ ශක්තියද ඉතා දුර්වලය. රාජපක්ෂ, වික‍්‍රමසිංහ සහ සිරිසේන යන නායකයන් තිදෙනා අතරින්, ඡන්දදායකයන්ගේ වැඩිම ප‍්‍රතික්ෂේප කිරීමට භාජනය වී ඇත්තේ ජනාධිපති සිරිසේනගේ න්‍යාය පත‍්‍රය වන්නේය යන්න ප‍්‍රමාද වී හෝ පිළිගැනීමට එතුමාට සිදුවනු ඇත.

මේ අතර, මැතිවරණ පරාජයකින් සිරිත් පරිදි සිදුවන පරිදි, පරාජිත කඳවුරේ පිරිස් පරාජය පිළිබඳව එකිනෙකාට දොස් පැවරීමද කාලය නාස්ති නොකරම ආරම්භ කර සිටිති. සිරිසේන වික‍්‍රමසිංහටත්, වික‍්‍රමසිංහ සිරිසේනටත් චෝදනා කර ගනිති. මේ අතර එජාපය ඇතුළතද වික‍්‍රමසිංහ සහ සිරිසේන යන දෙදෙනාටම, පාක්ෂිකයෝ චෝදනා කරති. තමන්ගේ දේශපාලන කාලය අවසන් වී ඇති බව පිළිගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ සූදානම් නැත. තමන්ට ජාතික බලපදනමක් නැති බව පිළිගැනීමට ජනාධිපති සිරිසේන සූදානම් නැත. දෙදෙනාම සූදානම්වෙමින් සිටින බව පෙනෙන්නේ, බල අරගලය ප‍්‍රසිද්ධියේ සිදුකිරීමටයි. තමන්ගේ බලතල තිබෙන්නේ 18 වැනි සංශෝධනය යටතේ නොව 19 වැනි සංශෝධනය යටතේ බව මතක් කරගතහොත්, අගමැති සමග කරන සටන එතරම් ඵලදායී නොවන බව ජනාධිපතිතුමාට වැටහෙනු ඇත.

මේ අතර, රාජපක්ෂ මහතාගේ නොනිල නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ, දේශපාලන පක්ෂයක් හැටියට වාර්තාවක් තබා ඇත. එය නම්, පිහිටුවා වසරක් තරම් කෙටි කාලයක් ඇතුළතදී, ප‍්‍රතිෂ්ඨාපිත පක්ෂ පරදවා, රටේ වැඩිම ඡුන්දදායක කැමැත්ත ඇති තනි දේශපාලන පක්ෂය බවට මතුවීමයි. එම පෙරමුණේ හැඟීම ලංකාවේ දේශපාලන පක්ෂ ක‍්‍රමයේ ඇති අධිපති – ද්විපක්ෂ ලක්ෂණය නැවත වරක් තහවුරු කර ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට පත්වී, එය හා පෙරමුණ එක් නොවූවහොත්, ශ‍්‍රීලනිපය කුඩා පක්ෂයක් බවට පත්වීමේ ඉරණම වෙනස් කිරීමට ජනාධිපති සිරිසේන මහතාට හැකියාවක් නැති බවද පෙනේ. එතුමා ළඟ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් වැඩිදෙනෙකු එතුමා අතහැර, පොදු ජන පෙරමුණට යාමටද බොහෝ විට ඉඩ තිබේ.

පළාත් සභා මැතිවරණයෙන් ලංකාවේ දේශපාලනය නැවත වරක් තරමක් ව්‍යාකූල තත්ත්වයකට මෙන්ම, යළි දිසාගත කිරීමකටද පත්කර තිබේ. එහෙත් එම අලූත් දිසාව ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය, දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ ජනවාර්ගික සම්බන්ධතා සාමකාමීව යළි ගොඩ නැගීම යන තේමාවන්ට ගරුකරන එකක් බව නම් නොපෙනේ. 2015 පරාජයෙන් හා එම වසරේ සිදුවූ දේශපාලන වෙනසෙන් කිසිදු සාධනීය පාඩමක් ඉගෙන ගෙන නැති, ඉගෙන ගැනීමටද නොහැකි පිරිස නැවත රාජ්‍ය බලය ලබා ගනු ඇත. වික‍්‍රමසිංහ සහ සිරිසේන යන දෙදෙනාම දැන නොසිටින එක දෙයක් වන්නේ ‘රාජ්‍ය බලය යනු කුමක්ද?’ යන්න නම්, රාජපක්ෂ සහෝදරවරු යනු ‘රාජ්‍ය බලය යනු කුමක්ද?’ යන්න ගැන හොඳින්ම දන්නා අයයි. ඒ බව ඔවුන් ක‍්‍රියාවෙන් ඔප්පු කර ඇත.