රාවය

සිදුවූයේ කුමක්ද? වියහැක්කේ කුමක්ද?

සිදුවූයේ කුමක්ද? වියහැක්කේ කුමක්ද?

පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ ආකාරයටම ඒ අවස්ථාවේදී තමන් බලයට පත් කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ දේශපාලන හවුල පරාජයට පත්කර තිබෙන්නේයැයි කිව හැකිය. මහජනයා තෝරාගත් විකල්පය හොඳ දේශපාලන විකල්පයක් ලෙස සැලකිය නොහැකි වුවත් යහපාලන ආණ්ඩුව විසින් රටේ මහජනයා ඇද දමා තිබූ අසරණ තත්ත්වය තුළ ඔවුන්ට තෝරා ගැනීමට අන් විකල්පයක්ද නොතිබුණේය.


තේරුම්ගත යුතුව තිබෙන ඉතා වැදගත් දේ යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට ආණ්ඩුවේ උපදේශකයන්ට හෝ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි සිවිල් නායකයන්ට යහපාලන ආණ්ඩුව කෙරෙහි මහජනයා අතර පැවති අතිවිශාල කලකිරීම පිළිබඳව අල්පමාත‍්‍ර හෝ අවබෝධයක් නොතිබීමය. ඒ සියලූදෙනාට තිබෙන දේශපාලන දැනුමේ තරම ඉන් තේරුම් ගත හැකිය.


මැතිවරණ ප‍්‍රතිඵලය


සමහර විචාරකයන් මෙම මැතිවරණ ප‍්‍රතිඵලය යහපාලන ආණ්ඩුවට මහජනයා දෙන ලද අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙස හඳුන්වා තිබේ. ගෙදර දරුවකු වරදක් කළ විට මව හෝ පියා එම දරුවාගේ කම්මුලට පහර දෙන අවස්ථා තිබෙන්නේය. එවැනි පහරදීමක් කෝපයෙන් කරනවා විය හැකි වුවත් එය දරුවා හදාගැනීමේ අරමුණින් කරන පහරදීමක් ලෙස සැලකිය හැකිය. එහෙත් මෙම පළාත් පාලන මැතිවරණයේදී මහජනයා කර තිබෙන පහරදීමත් එවැනි පහරදීමක් ලෙස සැලකිය නොහැකිය. එය දැඩි කෝපයකින් යුතු තමුසෙලා අපට එපායැයි කියන අර්ථයෙන් එල්ල කරන ලද පා පහරක් ලෙස සැලකිය හැකිය. පළාත් පාලන මැතිවරණය ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් නොවූවත් මෙම පළාත් පාලන මැතිවරණයේදී මහජනයා යහපාලන ආණ්ඩුවට රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය අහිමි කර තිබෙන්නේ යැයි කිව හැකිය.


පොහොට්ටුව පළාත් පාලන මැතිවරණය ජයගෙන ඇතත්, යහපාලන ආණ්ඩුවේ ඡන්ද පදනමේ ලොකු පරිහානියක් වී නැතැයි කියන අදහසද වැරදිය. දේශපාලන පක්ෂවලට තිබුණු මහජන බලයේ තරම තේරුම් ගැනීම සඳහා යොදාගත යුත්තේ 2015 ජනාධිපතිවරණය නොව, ඉන්පසු පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයයි. එම මැතිවරණයේදී එජාප ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 5098927කි. මෙම පළාත් පාලන මැතිවරණයේදී ලබාගෙන ඇති ඡුන්ද සංඛ්‍යාව 3612259කි. එජාපය අහිමි කරගෙන තිබෙන ඡුන්ද සංඛ්‍යාව 1486668කි. පාර්ලිමේන්තු මැතිවරණයට ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පිල හා මහින්ද පිල තරග කළේ මතභේද තිබුණද එක දේශපාලන කණ්ඩායමක් ලෙසය. ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 4732669කි. මේ මැතිවරණයේදී මහින්දගේ ශ‍්‍රී ලංකා පොදු පෙරමුණ ඊට වැඩි ඡුන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 4941952කි. වැඩිවී තිබෙන ඡුන්ද සංඛ්‍යාව 209283කි. ජවිපෙ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 543944කි. මෙවර ලබාගෙන තිබෙන ඡුන්ද සංඛ්‍යාව 693675කි. වැඩි කරගෙන තිබෙන ඡුන්ද සංඛ්‍යාව 149931කි. ජවිපෙ තමන්ගේ ඡුන්ද පදනමේ සුළු වැඩිකර ගැනීමක් ඇතිකර ගැනීමට සමත්ව ඇතත්, ශක්තිමත් තුන්වැනි විකල්පයක් ලෙස මතුවීමට සමත් වී නැත.


පාර්ලිමේන්තු මැතිවරණයකදී නම් වැදගත් වන්නේ තේරී පත්වූ මන්ත‍්‍රී සංඛ්‍යාව කොතරම්ද ආණ්ඩු බලය කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද යනාදී ප‍්‍රශ්නය. පළාත් පාලන මැතිවරණයේදී වැදගත්වන්නේ තේරී පත්වුණු සභික සංඛ්‍යාව හා පළාත් පාලන ආයතන කොතරම් සංඛ්‍යාවක බලය හිමිකර ගත්තේද යන ප‍්‍රශ්නයයි. සභික සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී නව ඡුන්ද ක‍්‍රමය තුළ සභික සංඛ්‍යාව දෙගුණ වී ඇති බවද අමතක නොකළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ සභික සංඛ්‍යාව 431ක් වන අතර එක පළාත් පාලන ආයතනයක්වත් බලය හිමිකර ගැනීමට සමත් වී නැත. මෛත‍්‍රී පිලෙන් තේරී පත්වී තිබෙන සභික සංඛ්‍යාව 1032කි. බලය හිමිකරගෙන තිබෙන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 11කි. තේරී පත්වී තිබෙන සභික සංඛ්‍යාවෙන් කිසියම් ප‍්‍රමාණයක් මහින්ද පිලට එකතු වනු ඇති අතර, ඊට අනුව බලය හිමිකරගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාවේද වෙනස්කම් ඇතිවිය හැකිය. එජාපයෙන් තේරී පත්ව සිටින සභික සංඛ්‍යාව 2385ක් වන අතර බලය හිමිකරගෙන ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 42කි. මහින්ද පිලෙන් තේරී පත්වී සිටින සභික සංඛ්‍යාව 3369ක් වන අතර බලය හිමිකරගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 249ති. තේරී පත්වූ සභික සංඛ්‍යාව අනුව හා බලය හිමිකරගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව අනුව ගත් කල ලොකුම ජයග‍්‍රාහකයා ලෙස සැලකිය හැක්කේද මහින්ද පිලය. අනෙක් පක්ෂ තුනම සැලකිය හැක්කේ පරාජිතයන් ලෙසය.


එජාප හා මෛත‍්‍රීගේ ශ‍්‍රීලනිප සහ එක්සත් නිදහස් ජනතා සන්ධානය ලබාගත් ඡුන්ද සංඛ්‍යාව එකතු කළහොත් මහින්ද පිල ලබාගත් ඡුන්ද සංඛ්‍යාවට වඩා 145708 වැඩි ඡන්දයක් එම එකතුව ලබාගෙන ඇතැයි කිව හැකිය. එහෙත් තේරී පත්වූ සභික සංඛ්‍යාව අනුව ගත්විට එම එකතුවට ලැබෙන සභික සංඛ්‍යාව මහින්ද පිලට ලැබී තිබෙන සභික සංඛ්‍යාවට වඩා 46කින් වැඩිය. බලය හිමිකරගත් ආයතන සංඛ්‍යාව වශයෙන් ගත්විට එම එකතුව පළාත් පාලන ආයතන 53ක් වන විට මහින්ද පිල හිමිකරගත් සංඛ්‍යාව 249කි.


මෛත‍්‍රී පිල හා රනිල් පිල එකට එකතු වී එක පෙරමුණක් ලෙස තරග කළේ නම් ළඟ ළඟ තරගයකින් සුළු ජයග‍්‍රහණයක් ලබාගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. නායකයන් දෙපළටම අවශ්‍ය වූයේ තනියෙන් රජවන්නටය. එජාපයට හොඳ තරගයක් දෙනවාට අතිරේකව මහින්ද පිල අබිබවා යෑම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ අභිලාෂය විය. එමගින් ශ‍්‍රීලනිපයේ නියම නායකයා ලෙස අභිෂේක ලබමින් ඊළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට ශක්තිමත් පදනමක් ලබාගැනීම ජනාධිපතිවරයාගේ අභිලාෂය විය. ඒ අභිලාෂය සඵල වී නම් මහින්දට ලැබෙන වැදගත්කම බිඳ වැටී ශ‍්‍රීලනිප හා එහි ජනතාව සිය ග‍්‍රහණයට ගෙන 2020 ජනාධිපතිවරණයට තරග කොට එජාපයෙන් තරග කරන රනිල් පරාජය කොට නැවත ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීම ජනාධිපතිවරයාගේ අභිලාෂය විය. එහෙත් ජනාධිපතිවරයාගේ එම අභිලාෂය සාර්ථක වූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ මහින්ද රාජපක්ෂ ශ‍්‍රීලනිපයේ නියම නායකයා ලෙස අභිෂේක ලැබීමය. අගමැති රනිල් වික‍්‍රමසිංහ කල්පනා කළ විදියද ඊට වෙනස් නැත. මෛත‍්‍රී සහ මහින්ද පිල් දෙක අතර කෙරෙන තරගයක් තුළ එජාපය තරග කරන හැම කොට්ඨාසයක්ම හෝ කොට්ඨාස අතිවිශාල බහුතරයක් ජයගැනීමට හැකිවී එජාප ලොකු ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වනු ඇතැයි ඔහු කල්පනා කළ බව පෙනේ. ශ‍්‍රීලනිප කණ්ඩායම් දෙක අතර තරගයක් තිබියදීත් එජාපයට ජයගත නොහැකි වූයේ එජාප විශාල ප‍්‍රමාණයකට බෙලහීන තත්ත්වයකට පත්ව තිබීම නිසාය.


ජනාධිපති ගණන් බැලූ ක‍්‍රමය සේ ම අගමැති ගණන් බැලූ ක‍්‍රමයද වැරදිය. මෙම නායකයන් දෙපළම ගණන් බැලීමේ නිපුණත්වයක් නැති හරි තක්සේරුවක් කිරීමේ හැකියාවක් නැති නායකයන් දෙදෙනෙකු ලෙස සැලකිය හැකිය. නායකයන් දෙදෙනාගේ සැබෑ තත්ත්වය එය නම් රටේ තිබෙන විස්තීර්ණ අර්බුදය ජයගැනීමේ හැකියාව ඔවුන්ට තිබිය හැක්කේ කෙසේද?


පරාජයට හේතු


යහපාලන ආණ්ඩුව ප‍්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත්ව ඇත්තේ මිනිස් නිදහස හා ජනමාධ්‍ය නිදහස යන විෂයයන් දෙකේදී පමණය. මහින්ද රාජපක්ෂ කාලයේ භුක්ති විඳි නිදහසට වැඩි නිදහසක් යහපාලන ආණ්ඩුව කාලයේදී මහජනයා භුක්ති වින්දේ යැයි කිව හැකිය. ජනමාධ්‍යයද ඒවාහි පැවැත්ම ප‍්‍රශස්ත තත්ත්වයක නොතිබියදීත් මහින්ද රාජපක්ෂ පාලන කාලයේ භුක්ති විඳි සීමාසහිත නිදහසට වැඩි නිදහසක් යහපාලන ආණ්ඩුව කාලයේදී භුක්ති වින්දේය. ඊටත් අතිරේකව ජනවර්ග ප‍්‍රශ්නයට විසඳුමක් දීමට සමත්වූයේ නැතත්, අන්තර්වාර්ගික විෂයේදී ආණ්ඩුව අතින් සුළු ජාතීන් පීඩාවට පත්කිරීමක් සිදු නොවීය. ඒ හැර අන් සියලූ අංශවල ප‍්‍රගතියක් වෙනුවට දක්නට තිබෙන්නේ පරිහානියකි. රටේ ආර්ථිකය තිබෙන්නේ ලොකු අවුලකය. වෙළෙඳාම තිබෙන්නේද ලොකු අවුලකය. විශේෂයෙන්ම සුළු වෙළෙඳුන්ගේ දෛනික පිරිවැටුමේ ලොකු පිරිහීමක් ඇතිව තිබුණි. කෘෂිකර්ම විෂයෙහිද දක්නට තිබෙන්නේ ලොකු පරිහානියකි. ස්වාභාවික විපත් නිසා පමණක් නොව වස විස නැති ගොවිතැනක නාමයෙන් ක‍්‍රියාවට නගන ලද හිතුවක්කාරි පිළිවෙත් රටේ කෘෂිකර්මය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. පාලනයක් නැතිකම හේතු කොටගෙන වගාවන්ට හානිකරන වනසතුන්ගේ ගහණයේ ඇතිව තිබූ විශාල වර්ධනය වන සතුන් කෘෂිකර්මයට කරන හානිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී තිබුණු අතර, ආණ්ඩුව වන සතුන් කරන හානිය ගැන කතා කළා මිස එයට ප‍්‍රායෝගික විසඳුමක් ලබාදීමට අසමත් විය. ස්වාභාවික හේතු නිසා වියළි කලාපයේ බොහෝ ප‍්‍රදේශවල ගොවීන්ට පිට පිට කන්න තුනක්ම වී ගොවිතැන් කළ නොහැකිව තිබුණි. හතරවැනි කන්නයේදී ඔවුන් වගා කළද කලට වේලාවට පොහොර නොලැබීම නිසා ගොවිතැන් කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජනය ඵලදායී කරගැනීමට හැකිවූයේ නැත. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී කිරි ගොවිතැන නගා සිටුවීම සඳහා ක‍්‍රියාත්මක කළ ප‍්‍රතිපත්ති ආපසු හැරවීම නිසා අමු කිරි නිපදවන කිරි ගොවීන්ට තමන් නිපදවන කිරි විකුණාගත නොහැකි තත්ත්වයක් ඇතිවිය. දැන් අමු කිරිවලින් නිපදවූ බොහෝ දෑ නිපදවන්නේ කිරිපිටිවලිනි. මීට පෙර ලංකාවේ නිපදවා ගත් බොහෝ කෘෂි නිෂ්පාදිතයන් ආනයනය කරන තත්ත්වයකට පත්වී තිබේ. ජීවන වියදම් තත්ත්වය පැවතියේද අඩු ආදායම් ලබන්නන් කෙරෙහි පමණක් නොව මැද ආදායම් ලබන්නන් කෙරෙහිද ලොකු පීඩාවක් ඇති කිරීමට හේතුවන ආකාරයටය.


ඒ සියල්ලට අතිරේකව යහපාලන ආණ්ඩුවේ පාලනය මහජනයාට පෙනුණේ කිසිම චාරයක් නැති පාලනයක් ලෙසය. ජනාධිපති හා අගමැතිගෙන් ආරම්භ වී ආණ්ඩුවේ ප‍්‍රධාන කොටස්කරුවන් දෙපිරිස අතර පැවති පොරය, කඹ ඇදිල්ල, එකිනෙකා නින්දාවට හා පරිහාසයට ලක්කිරීම සඳහා නිතර නිතර කියන වාචාල කතා, ආණ්ඩුවේ අකාර්යක්ෂම හා දූෂිත පැවැත්ම වැනි හේතු නිසා මහජනතාවට ආණ්ඩුව පෙනුණේ දූෂිත, වැඩ බැරි, නෝන්ජල් ආණ්ඩුවක් ලෙසය.


ආණ්ඩුවේ පරාජයට බලපෑ පසුබිම සකස් කරන ලද්දේ මහින්ද පිල විසින් නොව, ආණ්ඩුවේ කොටස්කාර පිල් දෙක ලෙස ක‍්‍රියා කළ මෛත‍්‍රී පිල හා රනිල් පිල විසිනි. මෛතී‍්‍ර පිල රනිල් පිල නැතිභංග කිරීම සඳහා විවෘතව ක‍්‍රියාකරන විට රනිල් පිලද හොර රහසේ මෛත‍්‍රී පිල නැතිභංග කිරීම සඳහා ක‍්‍රියා කළේය. අවසානයේ දෙපක්ෂය විසින් එකිනෙකා නැතිභංග කරගත්තේය. ඒ නිසා ලොකු උත්සාහයකින් තොරව ජයග‍්‍රාහකයා වීමේ වාසනාව මහින්ද පිල හිමිකර ගත්තේය.


දේශපාලන අඥානභාවය


ගර්භාෂ කාලයේ සිටම ආණ්ඩුව ගොඩනැගෙමින් තිබුණේ බරපතළ අවුල් ඇති කිරීමට හේතුවන විකෘති ආකාරයකටය. මහින්ද පරාජය කිරීමට පොදු අපේක්ෂකයකු අවශ්‍ය වේයැයි කියන තිසීසය තුළද සැඟවුණු ලොකු අවුලක් තිබුණි. පොදු අපේක්ෂකයා ජනපදනමක් නැති පිටස්තරින් ගෙනෙන පුද්ගලයෙකි. ඔහු ජයග‍්‍රහණය සහතික කිරීම ප‍්‍රධාන කොට එක්සත් ජාතික පක්ෂයේ ජන පදනමෙන් හා එහි අරමුදලිනි. එම මෝඩ වැඩසටහනට විරුද්ධවෙමින් පොදු අපේක්ෂකයා විය යුත්තේ තම පක්ෂයෙන් කෙනෙක් බව කීමට අවශ්‍ය ආත්ම විශ්වාසය එජාප නායකයාට නොතිබුණේය. ජනපදනමක් නැති පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයේ වියදමින් හා ඡුන්දයෙන් දිනවා ඔහුට විධායක බලය ලබා දුන් විට ඇතිවිය හැකි ප‍්‍රශ්න කල් තියා දකින්නට එජාප නායකයා සේ ම එක්සත් ජාතික පක්ෂයද අසමත් විය. පරාජයේ අවදානමක් තිබෙන ක‍්‍රමයකට වඩා පරාජයේ අවදානමක් නැති අනියම් ලෙස පාලනය කරන ක‍්‍රමයකට එජාප නායකයාද කැමැත්තක් දැක්වූවා විය යුතුය.


අවසානයේ පොදු අපේක්ෂකයා පිළිබඳ අදහස පමණක් නොව, ඒ සමග දෙන ලද සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනද එජාපය අවිවේචනාත්මකව භාර ගත්තේය. පොදු අපේක්ෂකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන්නේ ශක්තිමත් පොදු වැඩසටහනක් සඳහා අවශ්‍ය එකඟතාවක් පවා ඇතිකර ගැනීමෙන් තොරවය.


ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා ඉක්මන් මැතිවරණයකට යනවා වෙනුවට සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් කාලය නාස්ති කළේය. එම සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත් 19 වැනි සංශෝධනයේ එන සමහර විධිවිධාන ආණ්ඩුක‍්‍රමයේ මහා විකෘතියක් ඇති කිරීමට හේතුවන බව තේරුම් ගන්නටවත් මෙම නායකයන් අසමත් විය. ප‍්‍රමාද වී බැඳුම්කර චෝදනාවන්ද කරගහගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට සිදුවීම නිසා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් හිමිකර ගැනීමට තිබුණු හැකියාවද නැතිකර ගත්තේය. ඉක්මන් මැතිවරණයකට නොයෑමේ තවත් ප‍්‍රතිඵලයක් වූයේ ජනාධිපතිවරයා ශ‍්‍රීලනිප නායකත්වය නමැති භූම රංගය භාරගැනීමය. ප‍්‍රමාදයකින් තොරව පළාත් පාලන මැතිවරණවලට යාමටද බිය විය. කල්දැමීම සාධාරණය කරගත්තේ ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම ඉතා අවශ්‍ය වේයැයි කියන ලස්සන අදහසට මුවාවීය. ඡන්ද ක‍්‍රමය වෙනස් කරන ලද්දේද සභික සංඛ්‍යාවේ ලොකු වැඩි කිරීමක් ඇති නොවන ලෙස ඡන්ද ක‍්‍රමය වෙනස් කරන්නට පුළුවන්කම තිබියදී තේරී පත්වන සභික සංඛ්‍යාව දෙගුණයක් වන ආකාරයටය. අවසානයේ විටින් විට තැනින් තැන තැබිය යුතු පළාත් පාලන ඡුන්ද එකට ගෙන නොවැදගත් මැතිවරණයක් ජනමතවිචාරණයක් වැනි වැදගත් මැතිවරණයක් බවට පත්කර ගත්තේද ආණ්ඩුව විසිනි. ආණ්ඩුවේ නායකයන්ගේ දැක්මේ සීමිතකමේ තරම එම නිදර්ශන ආශ‍්‍රයෙන් තේරුම්ගත හැකිය.


දැන් පවතින තත්ත්වය


දැන් යහපාලන ආණ්ඩුව තිබෙන්නේ වටකොට හිර කරනු ලැබූ ඵලදායී කිසිවක් කළ නොහැකි අසරණ තත්ත්වයකය. ජනාධිපතිවරයා ඉන්නේද ඉතාමත් අසරණ තත්ත්වයකය. ජනාධිපතිගේ තත්ත්වය සේනාව අතහැර යෑම නිසා තනිවී අසරණ තත්ත්වයකට පත්ව සිටින සේනාධිනායකයකුගේ තත්ත්වයකයට සමානය. නොවැදගත් තරගයකට පරදු තබන්නට ගොස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කිරුළ අහිමි කරගත්තා පමණක් නොව, ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්නට හෝ ඒ සමාන නිලයක් හිමිකර ගන්නට තිබූ හැකියාවද නැතිකර ගත්තේය.


අගමැතිවරයා සිටින්නේද ඉතා පුංචි නොවැදගත් රාජ්‍යයක් සමග කරන ලද සටනකින් අධිරාජ්‍යයකු පරාජය වූ විට වැටෙන අසරණ තත්ත්වයට සමාන අසරණ තත්ත්වයකය. පක්ෂය ඔහු දෙස බලන්නේ අනුකම්පාවෙන් නොව කෝපයෙනි. මහජනයා ඔහු දකින්නේද හාස්‍යයෙනි. පක්ෂ නායකත්වය හා අගමැතිකම වෙන කෙනෙකුට දී ගෙදර යන්නටද ඔහුට පුළුවන්කමක් නැත. ඔහු තෝරාගනු ඇති මාර්ගය වනු ඇත්තේ තම අධිරාජ්‍යය තමන් පරාජය කළ දුබල රටේ යටත්විජිතයක් බවට පත්කොට එම යටත්විජිතයේ පාලකයා ලෙස ක‍්‍රියාකිරීමය. මැතිවරණයකදී ආණ්ඩුවක් පෙරළනවාට වඩා බලයේ සිටින ආණ්ඩුවට රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය අහිමි කිරීම ඉතා භයානකය. ආණ්ඩු පෙරළියක් ස්ථාවරභාවයකට හේතුවන අතර ආණ්ඩුවක් නොපෙරළා ආණ්ඩුවට, ආණ්ඩු කිරීමට ඇති අයිතිය අහිමි කිරීම නිසා ඇතිවිය හැක්කේ අරාජික තත්ත්වයකි.


සාමාන්‍යයෙන් මේ ස්වරූපයේ අර්බුදයකදී ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමය. එහෙත් 19 වැනි සංශෝධනය නිසා එයද කළ නොහැකි අතර ලැබී තිබෙන පරාජය ඉදිරියේ එජාපයටද මැතිවරණයකට යෑමටද කැමති වන්නේ නැත.
මහින්ද රාජපක්ෂද මාලිගාව වටලාගෙන සිටිනවා හැර වහාම බලය ලබාගැනීමටද සූදානම් නැත. තිබෙන පාර්ලිමේන්තුවේ සංයුතිය මහින්දට වාසිදායක නැත. රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ආර්ථික අර්බුදය නිසාද ඔහු වහාම බලය ලබාගැනීමටද කැමති වනු ඇතැයි සිතිය නොහැකිය. පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලා සිටියත් 19 වැනි සංශෝධනය නිසා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්පූර්ණ වන තෙක් පාර්ලිමේන්තු ඡුන්දයක් ලබාගත නොහැකි බව ඔහු නොදන්නේද නැත.


මෙම සංක‍්‍රමණීය කාලය තුළ ආණ්ඩු පෙරළියක් සිදු නොවූවත් ආණ්ඩු පාලනයක් තිබිය හැක්කේ නමට පමණය. රාජ්‍ය බලය තිබෙනු ඇත්තේ මහජන බලයක් නැතිවය. ඒ නිසා රාජ්‍ය බලය ක‍්‍රියාත්මකවීමේදී එක් පැහැදිලි බිඳ වැටීමක් දක්නට ලැබෙනු ඇත.


මහින්දටද පවතින්නට සිදුවනු ඇත්තේ මහජන බලයක් ඇතත්, රාජ්‍ය බලයක් නැතිවය. කාලසටහන අනුව පළමුවෙන් එන්නේ මහ මැතිවරණයක් නොව, ජනාධිපතිවරණයකි. එම ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට එජාපයට ශක්තිමත් හොඳ අපේක්ෂකයෙකු නැතිවා සේ ම ශ‍්‍රීලනිපයටද ඉදිරිපත් කරන්නට ශක්තිමත් හොඳ අපේක්ෂකයකු නැත. මහින්දට තරග කළ නොහැකිය. ගෝඨාභය හෝ බැසිල්ද ඉදිරිපත් කළ නොහැකිය.


මෙම සංක‍්‍රාන්ති කාලය එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට අරාජිකත්වයේ කාලයක් වනු ඇත.


එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගත හැකි එකම ක‍්‍රමය වනුයේ කිසිවෙකුත් බැහැර නොකොට සියලූදෙනා එකට එකතු කර ගන්නා ජාතික ආණ්ඩුවක් ඇතිකර ගැනීමෙන් පමණය. ලංකාවේ සියලූ දේශපාලන පක්ෂ හා නායකයන් ඉන්නේ යල්පැනගිය තත්ත්වයකය. රටේ ඇතිවී තිබෙන කුණුවීමට ඔවුන් සියලූදෙනා සේ ම ඔවුන්ගේ පූර්වගාමීන්ද වගකිව යුතුයි. නිදහස ලැබී අවුරුදු 70ක් තරම් කාලයක් ගතවී ඇතත්, තවමත් ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට රට සමත් වී නැත. රටේ තිබෙන සියලූ අවුල්වල මුල තිබෙන්නේද එතනය. අවශ්‍ය නම් ඒ සියලූදෙනාට එකට එකතු වී තාවකාලික ජාතික ආණ්ඩුවක් ඇතිකර ගනිමින් නිදහසේ සිට අද දක්වා ඇතිවී තිබෙන ගැටුම් අවුල් හා විනාශයන් දෙස ආපසු හැරී බලන තැනකට යා හැකිය. රටේ ඇතිවූ කැරලි ගැන සේ ම දේශපාලන ආයතන ක‍්‍රම කුණුවූ තත්ත්වයකට පත්වූයේ කෙසේද යන්න සොයා බලමින් ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය වන අවංක හා ප‍්‍රායෝගික වැසටහනක් හදාගන්නා තැනකට යා හැකිය. සිදුවී තිබෙන බරපතළ වැරදි සොයා බලන තැනකට යායුත්තේ ඒවාට වගකිවයුතු අයට දඬුවම් කිරීමේ අරමුණින් නොව වින්දිතයන්ට සැනසීම හා සහන ලබාදෙමින් වැරදි කර තිබෙන අයට තමන් කර තිබෙන වැරදිවලට කනගාටුවෙමින් නව මිනිසුන් වීමට ඉඩදෙන අතර අනාගතයේ ඒ වැරදි ඇතිවීමට ඉඩ නොතැබීම සඳහාය. ජාතිය ගොඩ නැගීම සමස්ත වැඩසටහනේ එක් වැදගත් අරමුණක් බවට පත්කරගත හැකි අතර රෝගී තත්ත්වයක සිටින සමාජය සුවපත් කොට ජාතියේ අපේක්ෂාවන්ට ගැළපෙන, නීතියේ ආධිපත්‍යය රජකරන ජාතික ප‍්‍රතිපත්ති හා පද්ධති මත ක‍්‍රියාත්මක වන නවීන රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීම එහි ඊළඟ ප‍්‍රධාන අරමුණ කරගත හැකිය.


දැන් රටේ සියලූ නායකයන් ඉන්නේ මහා ප‍්‍රපාතයක මුවවිටය. රට තිබෙන්නේද කුණු ගඳ ගහන තත්ත්වයටම කුණුවූ තත්ත්වයකය. මහ අගාධයකට වැටෙන්නට නියමිත නායකයන්ට මේ අවසාන මොහොතේදීවත් එකට එකතු වී ඒ දේ කළ හැකි නම් ඔවුන් කර තිබෙන සියලූ වැරදිවලට සමාව ලැබී රටට පුනරුදය උදා කළ වීරයන් ලෙස මියයෑමේ භාග්‍යය ඔවුන්ට ලැබෙනු ඇත.