රාජපක්ෂ බලයට කැඳවීම

ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පසුගිය 10වනදා පැවති පළාත් පාලන මැතිවරණයේ පණිවුඩය පැහැදිලිය. මහින්ද රාජපක්ෂ තමන්ගේ ඡන්ද පදනම වර්ධනය කර ගෙන තිබේ. වඩාත් නිවැරදිව කියන්නේ නම් රාජපක්ෂ ඡුන්ද පදනම රනිල්- මෛත‍්‍රී ආණ්ඩුව විසින් වර්ධනය කර දී තිබේ.

අනෙක් පැහැදිලි පණිවුඩය නම් රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපයේ ඡුන්ද පදනම විශාල ඛාදනයකට ලක්ව තිබෙන බවයි. එය සියයට 12ක් තරම්ය.

සිරිසේන සතුව තමන්ටම කියා ඡන්ද පදනමක් තිබුණේ නැත. එසේ නමුත් ඔහු සමග සිටින හතළිස් ගණනාවක් වන ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ ඡුන්ද පදනම ද සේදී ගොස් තිබේ.

ජනාධිපති ධුරයට පත්වූ සිරිසේන සිය ඡන්දදායකයින් විසින් ප‍්‍රතික්ෂේප කර තිබීම දෙවැනි විය හැක්කේ ප‍්‍රබල එජාප බලකොටුවක් වූ බටහිර කොළඹින් රනිල් වික‍්‍රමසිංහ එජාපය පරාජය වීමයි.

තවත් කැපී පෙනෙන ලකුණක් නම් 2015 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කළ තිස් ලක්ෂයක් පමණ පසුගිය පෙබරවාරි 10දා ඡන්දය නොදී ඇරීමයි. ඉන් බහුතරය රාජපක්ෂයට ඡන්දය දීමට අකැමැති වූ විරෝධතා ඡුන්ද යැයි සැලකීමේ වරදක් නැත.

2015දී රාජපක්ෂ විරෝධී ජනබලවේග සතුව තිබූ දූෂණ විරෝධී සටන් පාඨය මෙවර රාජපක්ෂ අතට ගොස් තිබුණි. එය පුදුම නමුත් ඇත්තකි.
බලයට පැමිණි වහාම සිරිසේන සිය සහෝදරයාට අධික වැටුපක් සහිත ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ධුරය ප‍්‍රදානය කළේය. වික‍්‍රමසිංහ සිය අතිජාත උපදේශකයා වන චරිත රත්වත්තේගේ සහෝදරයා අධික වැටුපකට පාඩු ලබන එයාර් ලංකා සභාපති බවට පත් කළේය. තානාපති සේවය සිරිසේනගේ සහ වික‍්‍රමසිංහගේ හෙංචයියන් සහ ඥාතීන්ගෙන් පුරවනු ලැබුණි. ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය වළපල්ලට යවා මහාරාජා නාලිකාවන්ට ප‍්‍රකෝටි ගණන් වටිනා සංඛ්‍යාත ලබා දුන්නේ සිරිසේනය. දැන් එම නාලිකා රෙදි නැතිව වික‍්‍රමසිංහට විරුද්ධව සිරිසේන වෙනුවෙන් කඬේ යයි. සියල්ලටමත් වඩා දැවැන්ත දූෂණය වූ බැඳුම්කර වංචාවේ දේශපාලන වගකිවයුත්තා බවට අගමැති වික‍්‍රමසිංහ පත්විය. වික‍්‍රමසිංහගේ මිතුරියකයැයි කියන සබීතා පෙරේරාගේ පුරුෂයාට අයත් ගොඩනැඟිල්ලකට මසකට මිලියන 16 බැගින් දැන් දෙවසරකටත් වඩා ප‍්‍රයෝජනයක් නොගෙන කුලී ගෙවීමද වික‍්‍රමසිංහගේ ගැටයකි.

මේ ලැයිස්තුව දිගය. දූෂණය නැති කොට දූෂකයින්ට නිසි දඬුවම් ලබාදෙන බවට සපථ කර බලයට පැමිණි ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් කළ එකම දේ නම් තමන්ද රාජපක්ෂ දූෂණ අඩිපාරෙහිම ගමන් කිරීමය. දූෂකයින් සමග ගනුදෙනුවලට යෑමය.

ඉදින් එවැනි ආණ්ඩුවකට ඡන්දය නොදී සිටි ලක්ෂ 30ක් තරම් ජනයාට වරදක් කිව හැකිද?

තත්ත්වය දිගටම පවතින්නට යන්නේ මෙලෙස නම් රාජපක්ෂ පවුල සහ එහි අන්තේවාසිකයින් දකුණෙහිදී ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීම වැළැක්විය නොහැකිය. තිත්ත නමුත් ඇත්ත එයයි. ජර්මනියේ හිට්ලර් බලයට ගෙන එන ලද්දේ ද අද පිලිපීනය අයෝමය හස්තයකින් පාලනය කරන දුතර්තේ බලයට පත් කරන ලද්දේ ද බහුතර මහජන ඡුන්දයෙනි. ඉතිහාසයෙහි නිශ්චිත අවස්ථාවන්හිදී පටු ජාතිකවාදයෙන් සරසන ලද දුෂ්ට සහ මර්දනකාරී දේශපාලනය ජය ගනී. සමහරවිට දැන් ශ‍්‍රී ලංකාව ගමන් කරන්නේ එවැනි අන්තයක් කරා විය හැක.

මේ බව පසක් වන්නේ දූෂණයේ සහ භීෂණයේ සංස්කෘතිය කොතරම් මෙරට දේශපාලන සංස්කෘතියේම කොටසක් වී ඇත්ද යන්න පසුගිය තෙවසර විසින් අපට පෙන්වා ඇති නිසාය.

කොළඹ නගර සභාවට රාජපක්ෂ කණ්ඩායමෙන් තරග කළ තරුණ දේශපාලනඥයකු ප‍්‍රසිද්ධියේම කීවේ තමන් බලයට පත් වූ පසු මත්කුඩු ජාවාරම මැඬළීමට ගෝඨාභය රාජපක්ෂ මෙන් යුද හමුදාව යොදා ගන්නා බවයි. ගෝඨාභයගේ කුඩු විරෝධී සටන විසින් නිරායුද තරුණයින් ඝාතනය කෙරුණු අතර වැලිකඩ ඝාතනයද එහිම දිගුවකි. එහෙත් එම භීෂණය විසින් කුඩු ජාවාරම මර්දනය නොවූ බව නොදන්නේ කව්ද? එසේ තිබියදීත් ගෝඨාභය අනුගමනය කරන බවට සපථ කරන තරුණ දේශපාලනඥයින් සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? එම ප‍්‍රකාශයෙන් සංකේතවත් කැරෙන්නේ භීෂණයේ සංස්කෘතිය ජනප‍්‍රිය මගින් බලයට ඒමේ භයානක දේශපාලනයයි.

දූෂණය පිටුදැකීම සිය දේශපාලනයේ ප‍්‍රමුඛ පරමාර්ථය බවට පසුගිය මැතිවරණ වේදිකාවන්හිදී පාරම් බෑ සිරිසේන පාර්ශ්වය, රාපපක්ෂ කණ්ඩායමේ සහායෙන් හෝ ආණ්ඩුවක් සෑදීමට අර ඇදීමෙන් පෙන්නුම් කැරැුණේ ද දූෂණ විරෝධය දේශපාලන බල තණ්හාවට යටවී යන අන්දමයි. රනිල් වික‍්‍රමසිංහ සිය අගමැතිකම රැුකගැනීම පිණිස සම්මුති බද්ධ දේශපාලනය පරදුවට තැබීම විසින් ද පෙන්නුම් කරන්නේ රටට පෙර මමය යන බල තන්හාවේ දේශපාලනයයි.

රාජපක්ෂ ජයග‍්‍රහණය කළේ හුදෙක් මේ කරුණු නිසාම නොවේ. මේ සියල්ලටමත් වඩා පටු ජාතිකවාදය සහ යුද වීරත්වය පදනම් කර ගනිමින් දෙමළ ජනයාගේ මානව හිමිකම් සුරකින දේශපාලන විසඳුමක් ලබාදීමට එරෙහිව ගොඩනඟන ලද ආක‍්‍රමණශීලී දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපාරය නිසාය. වික‍්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික පිළිවෙත් මගින් ඇති කරන ලද පොහොර සහනාධරය කපා හැරීම වැනි සහන කප්පාදු ද රාජපක්ෂගේ වාසියට තිබුණි.
දේශපාලන තලයෙහි ලද පරාජයන් හමුවෙහි තවදුරටත් රනිල්- මෛත‍්‍රී ආණ්ඩුවෙන් 2015 ජනවාරි පෙරළියේ අපේක්ෂා ඉටුවීමට ඉඩක් ඇතැයි සිතීම දුෂ්කරය. මන්දයත් දෙපාර්ශ්වයම විවිධ මට්ටමින් රාජපක්ෂ දේශපාලනය කරා ඇදී ගොස් හෝ ඇදී යමින් ඇති බැවිනි. එජාපයේ විදේශ ඇමති සහ වික‍්‍රමසිංහගේ අතිජාත සගයකු වන මාරපන දැන් කියන්නේ පරාජයට හේතුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම බවයි! සිරිසේනට අනුව මංගල සමරවීර විදේශ ඇමැති ධුරයෙන් ඉවත් කරන ලද්දේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙහිදී මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධ ඒකාබද්ධ යෝජනාවකට එකඟවූ නිසාය.

ආණ්ඩුවේ දූෂණ විරෝධය පමණක් නොව දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබා ඇතුළත් නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සහ සංක‍්‍රමණීය යුක්ති ක‍්‍රියාදාමය දැන් ඉතිහාසයට අයත් දේ බවට පත්වීමට බොහෝ දුරටම ඉඩ තිබේ. පසුගිය තෙවසරෙහි නොකරන ලද දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපාරයක් ඉදිරි මාස විස්ස තුළ ආණ්ඩුවෙන් සිදුවීමට ඉඩක් නැත.

මෙම ලිපිය පළවන විට යහපාලන ආණ්ඩුව ඉදිරි දෙවසරට පවතින්නේද නැත්ද යන්න බොහෝ දුරට තීරණය වී හමාර වන්නට පුළුවන. එය තවදුරට පැවතියද පවතිනු ඇත්තේ අනෙකා ගිල දැමීමට සැරසුණු විෂඝෝර සර්පයින් දෙදෙනකු ලෙසය. හරයෙන් දැන් යහපාලන ආණ්ඩුව අවසානය. එය පැවැතියද පවතිනු ඇත්තේ හුදු බාහිර ස්වරූපයක් ලෙස පමණි.

ජනාධිපතිවරණයකදී රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට සියයට 51ක් ගැනීමට තවමත් නොහැකි නමුත් එය අවසාන වශයෙන් තීරණය වනු පළාත් පාලන ජය විසින් ඇති කරනු ලබන ගතිකත්වය වඩා බලවත්ව ගමන් කරනු ඇත්තේ කුමන දිසාවට ද යන කරුණු මතය. සිරිසේන සහ වික‍්‍රමසිංහ විරසකය උත්සන්න වුවහොත් නිසැක වාසිය රාජපක්ෂටය. නොඑසේව සම්මුති ආණ්ඩුව නව දැක්මක් යටතේ අලූත් ජවයක් ලබාගන්නේ නම් අවාසිය රාජපක්ෂටය.

අප කැමැති වුවත් නැතත් පාර වැටී ඇත්තේ සම්මුතියට නොවේ. අගමැති වික‍්‍රමසිංහ 2004දී මෙන් තම දේශපාලන බලය ගැන අධිතක්සේරුවකින් කටයුතු කරන අතර ජනපති සිරිසේන නිසි ඉදිරි දැක්මක් නැතිව එදිනෙදා දේශපාලනයක නිරතව සිටී.

දැන් මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග නරකම තත්ත්වයට සූදානම් විය යුතුය. අද අපට අනුහස් සහිත නායකත්වයකින් යුතු මාදුළුවාවේ සෝභිත හිමි කෙනෙකු නැත. 2015 ජනවාරියෙහි මුදුන් පැමිණි ආකාරයේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයක් ද නැත.

එජාපයෙහි වික‍්‍රමසිංහ වෙනුවට සිටින නායකයින් දෙදෙනාම එනම් කරු ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාස සිංහල ජාතිකවාදී නැඹුරුවකින් යුතුය.
අනෙක් අතට දෙමළ සමාජයද ආණ්ඩුව සමග දීගයක සිටි දෙමළ සන්ධානය සෑහෙන තරමකට දුර්වල කර තිබේ. එහි ද දෙමළ ජාතිවාදී බලවේග ශක්තිමත් වී තිබේ.

එසේ නමුත් කළු වලාව තුළ රිදී රේඛාවන්ද තිබේ. එම රිදී රේඛා බලවත් කරන්නේ කෙසේදැයි මීළඟට කතා බහ කරමු.