1948-2018 මහා අතපසුවීම් හා ප‍්‍රබල වැරදි වළක්වා ගත්තා නම්?

‘‘එය එසේ නොවී මෙසේ වූවා නම්…?’’ මැයෙන් 1948-2018 වකවානුවේ විකල්ප ඉතිහාසයන් මෙනෙහි කිරීමට ගිය සතියේ මා ගත් උත්සාහයට හොද ප‍්‍රතිචාර ලැබුණා.

ඉතිහාසය යනු පූජනීය දෙයක් නොව අහම්බයන්ගේ එකතුවක් බව පෙන්වා දීමටයි මට උවමනා වූයේ.

නිදහසින් පසු ගත වූ 70 වසරක කාලය තුළ අපට පරිකල්පනය කළ හැකි විකල්ප ඉතිහාසයන් රාශියක් තිබෙනවා. එයින් බහුතරයක නිමිති දේශපාලන ක්‍ෂේත‍්‍රයට අදාළ වූවත් එසේ නොවන අවස්ථාද ගණනාවක් සොයා ගත හැකියි. අද මා බෙදා ගන්නේ තවත් විය හැකිව තිබූ සිදුවීම් කීපයක්.

‘කටින් බතල’ නම් අරූඪ නමින් මට විද්යුත් තැපැලක් එවූ එක් රාවය පාඨකයෙක් මෙසේ කියා සිටියා:

‘‘ඉතිහාසය වෙනස් වීමට දැඩිව බලපෑ තවත් සිද්ධියක් ලෙස බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීමද සැලකිය හැක. එදා ඞී. එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවැනියා කරා නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේ නැත. එසේ නම් ධනවාදී කඳවුර සහ සමාජවාදී කඳවුරු ලෙස පැහැදිලි බෙදීමක් ඇති වීමට ඉඩ තිබුණි.

‘‘බණ්ඩාරනායක මේ දෙක අතර ප‍්‍රතිපත්තියක් ඇති කිරීමෙන් සිදු වුයේ කඳවුරු දෙකම යථාර්තවාදී නොවන කෙටි කාලින විසඳුම් හරහා බලය ලබා ගැනීමට තැත් කිරීමය. එයින් රටට වූයේ මහත් හානියකි. අද මෙරට අපි මුහුණ පා ඇති බොහොමයක් ප‍්‍රශ්නවලට මුල මෙතනය. උදාහරණයක් ලෙස ලක්ෂ 16ක රාජ්‍ය සේවය නිසා ධනවාදී ආර්ථිකයට අවශ්‍ය ශක්තිමත් රාජ්‍ය නියාමනය පිරිහී ඇත. නියාමනය නැති ධනවාදී ආර්ථිකය යනු බලූ පොරයකි. අපි අද රස විඳින්නේ එයයි.”

අගමැති බණ්ඩරනායක, මෙරට මෑත ඉතිහාසය තීරණාත්මක ලෙස වෙනස් කළ නායකයෙක්. ඔහු තනතුර හෙබ වූයේ දින 1,261ක් පමණක් වුවද ඔහු කළ හා නොකළ දෙයින් මතු වූ ප‍්‍රතිඵල අද දක්වාත් අපේ රටේ ඇතැම් සාධක තීරණය කරනවා.

1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා සිංහල කථා නොකරන සුළු ජාතීන් කොන් වූ බවත්, ඒ හරහා සිංහල-දෙමළ වාර්ගික අර්බුදය උග‍්‍ර වී එය අරගලයක් දක්වා විකාශනය වූ බවත් පිළිගැනෙනවා.

එසේම ස්වභාෂාවලට මුල් තැන දීමේ අරමුණ කි‍්‍රයාත්මක කිරීමේදී ප‍්‍රමුඛ ජාත්‍යන්තර භාෂාවක් වන ඉංගී‍්‍රසි උගැන්වීම හා ඉගෙනීම අතපසු කිරීම 1950-1960 දශකවල පටන් අපේ අධ්‍යාපන ක‍්‍රමයේ කළ වරදක්. ඒ හරහා සිංහල හෝ දෙමළ පමණක් භාවිත කරන, ලෝකය සම`ග ගනුදෙනු කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන ඒක භාෂික පරම්පරා දෙකක් මෙරට බිහිවුණා. ‘ළිං මැඩියාව’ මෙරට ව්‍යාප්ත වීමට ප‍්‍රධානතම හේතුව මෙයයි.

ස්වභාෂාවලට නිසි තැන දිය යුතු බව කිසිදු විවාදයක් නැහැ. එහෙත් යහපත් අරමුණින් වුවද එය ක‍්‍රියාත්මක කළ ආකාරයයි වැරදි වූයේ.

1956දී එක් වරම සිංහල හා දෙමළ භාෂා දෙකටම රාජ්‍ය භාෂා තත්ත්වය ලබාදී සම සේ සැලකුවා නම්?  (දෙමළ බසට එම තත්ත්වය ලැබුණේ වසර ගණනාවකට පසුවයි. ඒ වන විට දෙමළ ජනයාගේ සිත් පෑරී හමාරයි’)

එසේම දේශීය භාෂා ප‍්‍රවර්ධනය කරමින් ඉංගී‍්‍රසිය ඉවත නොදැමූ ඉන්දියානු ප‍්‍රතිපත්ති ශී‍්‍ර ලංකාවද අනුගමනය කළා නම්?

ජාතිකවාදී පටු දැක්මක් මත පදනම් වී හා තාවකාලික ජනප‍්‍රියත්වය තකා ගත් ප‍්‍රතිපත්තිමය තීරණ දශක ගණනාවක් පුරා මිලියන ගණනක් ජනයාගේ අනාගතයන්ට තීරණාත්මක ලෙස බලපාන බව අපේ දේශපාලකයන් දැන්වත් තේරුම් ගෙන ඇත්ද?

ජනාධිපති සිරිසේනගේ මෑත මාසවල ඇතැම් ප‍්‍රකාශ හා තීරණ දෙස බලන විට ඉතිහාසයෙන් පාඩම් උගෙන නැති සැටියක් පෙනෙනවා!
භාෂාව මෙන්ම ආගම ගැනද ජාතික මට්ටමේ තීරණ ගැනීම ඉතා සීරුවෙන් කළ යුත්තක්. එසේ වැරදි තීරණයක් ගත් පසු එය නැවත නිවැරදි කිරීම අතිශයින් දුෂ්කරයි. මන්ද තර්කානුකූලව නොව ආවේගශීලීව සිය මවු භාෂාව හා ආගමන ගැන සිතීමට බොහෝ දෙනකු පෙළඹෙන නිසා.

1972 පළමුවන ජනරජ ව්‍යවස්ථාව මගින් බුදු දහමට විශේෂ ස්ථානයක් ලබා දීම හරහා එතෙක් (1947 ව්‍යවස්ථාවෙන්) පැවති නිර්ආගමික රාජ්‍යයේ (secular state) ස්වභාවය වෙනස් කෙරුණා. එය එසේ නොවූවා නම්?

‘හේතුවාදී ලිපි’ නම් ග‍්‍රන්ථය 2013දී සංස්කරණය කරමින් ප‍්‍රවීණ ලේඛක අජිත් තිලකසේන මෙසේ කියනවා:

‘‘එක් ආගමකට ප‍්‍රමුඛස්ථානය දෙන වගන්තියක් 1972දී ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඛේදයක්. එයට මුල් වූයේ මාක්ස්වාදී නායකයෙක් වීම උත්ප‍්‍රාසය දනවන්නක්. එයින් පස්සේ හැම ආණ්ඩුවක්ම කි‍්‍රයාවෙන් ‘සර්ව ආගමික’ වුණා. අද ආණ්ඩුව පන්සල්, පල්ලි, කෝවිල් හදනවා. ආගමික සංවිධානවලට යහමින් මුදල් ආධාර දෙනවා. ආගමික ‘රාජ්‍ය උත්සව’ පවත්වනවා. ජනතා සුබසිද්ධියටත්, රටේ භෞතික සංවර්ධනයටත් ඉතිරි කර ගත යුතු විශාල ධන සම්භාරයක් මේ අන්දමින් නැති නාස්ති කරනවා. ආගමික සංවර්ධනයේත්, ආගමික ස්ථාන නඩත්තුවේත් වගකීම පැවරෙන්නේ ඒ ඒ ආගම්වල පූජ්‍ය පූජක ගෝලයන්ටත් දායක කාරකාදීන්ටත්. පුරාවිද්‍යා උරුමය රැුකීම හා ස්මාරක සංරක්ෂණය රජයේ වගකීමක්. සර්ව ආගමික සංකල්පයක් කි‍්‍රයාත්මක වන ලොව කිසිම රටක් දැන ගන්න නැහැ.’’

1972 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මූලිකත්වය ගත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා නීතිය මෙන්ම දේශපාලන විද්‍යාවද ගැඹුරින් ප‍්‍රගුණ කළ අයෙක්. කුමන බලපෑමක් මත රාජ්‍යය ආගමීකරණය කිරීමට ඔහු පෙළඹුණාද යන්න පැහැදිලි නැහැ.

එහෙත් එසේ කිරීමේ ආදීනව නම් එවකට සිටි ඇතැම් උගතුන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් විසින් හොදාකාරව පෙන්වා දෙනු ලැබුවා.

ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘවර හා ප‍්‍රථම සභාපති ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර් එයින් එක් අයෙක්. 1970 සැප්තැම්බර් 25 වනදා හේතුවාදී සංගමයේ නිල ලිපියක් ඔහු ව්‍යවස්ථා කටයුතු පිළිබද අමාත්‍ය කොල්වින් ආර් ද සිල්වාට යොමු කළා. ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාදාමයේදී අවධානයට ලක් විය යුතු යයි සංගමයේ සාමාජීකයන් එකග වන වැදගත් කරුණු 10ක් එහි සංක්ෂිප්තව අඩංගු කෙරුණා.

රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කිරීම, මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප‍්‍රඥප්තියේ අඩංගු අයිතීන් මෙරට ව්‍යවස්ථාවට එකතු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයට තුඩු දෙන විධිවිධාන ව්‍යවස්ථාගත කිරීම, පරිපාලන අක‍්‍රමිකතාවලට එරෙහිව අභියාචනා විභාග කරන ඔම්බුඞ්ස්මන්වරයකු පත් කිරීම, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම වැනි සාධක එහි අඩංගු වූවා.

එහි 6 වන සාධකය වූයේ මෙයයි. ‘‘මානව ඉතිහාසයේ වැඩිපුරම ලේ සැලීම්වලට තුඩු දී ඇත්තේ සාමයික ගැටුම් බව සිහි තබා ගත යුතුය. බහු ආගමික සමාජයක් වන ශී‍්‍ර ලංකාවේ චින්තනමය නිදහස ආරක්‍ෂා කිරීමට ගත හැකි හොදම පියවර නම් රාජ්‍යය නිර්ආගමික හෙවත් ලෞකික මට්ටමේ පවත්වා ගැනීමයි. ඉන්දියාවේ බහුතරයක් ජනයා හින්දු ආගමිකයන් වුවද ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කළ දූරදර්ශී නායකයන් එරට රාජ්‍යය කිසිදු ආගමකට විශේෂ සැලකිලි නොදක්වන ලෞකික රාජ්‍යයක් බව ප‍්‍රකාශයට පත් කළා. මෙය අපට ආදර්ශයක් විය යුතුයි.’’

කොවූර් ඇතුලූ පිරිස කී දේ කොල්වින් නොතකා සිටි බවත්, ඒ හරහා ආගමික රාජ්‍යයකට පාර කැපුණු සැටිත් දැන් අප දන්නවා. 1978 ව්‍යවස්ථාව එම තත්ත්වය එසේම පවත්වා ගත් අතර, හේතුවාදීන් යෝජනා කළ වෙනත් අදහස් ගණනාවක් නම් එකතු කර ගත්තා.

විකල්ප ඉතිහාසයන් ගැන පරිකල්පනය කරන විට, 1977 දී විශාල මැතිවරණ ජයකින් බලයට පත් ජේ. ආර්. ජයවර්ධනගේ එජාප රජයේ භූමිකාව වැදගත් තැනක් ගන්නවා.

1977දී අගමැති බවට පත් වන විට ජේ. ආර්.ගේ වයස 70යි. ඔහු 1978 විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන විට 71යි. ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කළ ඔහුගේ ඵෙතිහාසික භූමිකාව තවමත් බෙහෙවින් විවාදයට ලක් වනවා.

ජේ.ආර්. දෙවන ධූරය කාලයක් සදහා තරග කරනු වෙනුවට, වසර හයක එක් ධූර කාලයක් පමණක් දරා වයස 77දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගියා නම්? ඔහු පේ‍්‍රමදාස වෙනුවට වෙනත් ප‍්‍රබල එජාප දේශපාලන චරිතයක් සිය අනුප‍්‍රාප්තිකයා ලෙස නම් කළා නම්? රටේ ඉරණම කෙලෙසින් වෙනස් විය හැකිව තිබුණාද?

ජේ.ආර්. ගේ තීරණ අතරින් අතිශයින් විවාදයට ලක් වූ තීරණයක් නම් 1977 පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර හයකින් දීර්ඝ කිරීමට මහ මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමයි. 1982 දෙසැම්බර් 22දා ලියාපදිංචි ඡුන්දදායකයන්ගෙන් 70.82%ක් ඡුන්දය ප‍්‍රකාශ කළ එහිදී එසේ දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව බහුතරයක් (54.66%) කැමැත්ත පළ කර තිබුණා. එහෙත් මැතිවරණ අක‍්‍රමිකතා රාශියක්ද වාර්තා වූ නිසා මෙය ජනමතය නිසි ලෙස විමසීමක්ද යන්න ප‍්‍රශ්න කළ හැකියි.

ජනමත විචාරණයේ ආන්දෝලනය හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිදැසක් (democratic deficit) බිහි වී රට අස්ථාවර යුගයකට තල්ලූ වී ගියා. උතුරේත්, දකුණේත් මහත් සේ ලේ වැගිරීම්වලින් ගහන වූ ප‍්‍රචණ්ඩ භීෂණකාරී යුගයක් ලෙස 1980 දශකය ඉතිහාසගත වුණා. ඒ බිහිසුනු බව යම් තරමකට හෝ වෙනස් විය හැකිව තිබුණාද?

1990දී මාර්ටින් වික‍්‍රමසිංහ ජන්ම ගත සංවත්සරය නිමිත්තෙන් තිසර ප‍්‍රකාශකයන් නිකුත් කළ ග‍්‍රන්ථයට ලිපියක් ලියමින් මහා ගත්කතුවරයාගේ දියණිය රූපා සපරමාදු මෙසේ කියනවා.

‘‘….1982දී මැතිවරණයක් පැවැත්වූයේ නම්, 1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් නොකළේ නම්, මෙරට ඉතිහාසය මීට වෙනස් වන්නට ඉඩ තිබුණි. ‘අපට පුතේ මගක් නැතේ’ යන තත්ත්වයට මෙරට ගෙන ආවේ මේ සිදුවීම් දෙකය. දූපුතුන් භීෂණයේ මග තෝරා ගැනීමට යෙදුනේද වෙන මගක් නොමැති වූ නිසාය. දැන්වත් මෙරට තරුණ පෙළට වේගයෙන් වෙනස් වන ලෝකයට ඔරොත්තු දිය හැකි, ඒත් පාරම්පරික හරයන්ට අනුකූල වූ අපගේ සංස්කෘතියේ ආත්මය රැක දෙන මගක් පාදා දීම අප සැමගේම යුතුකම පමණක් නොව අත්‍යවශ්‍යතාව ද වෙයි…’’

මෙසේ කිරීමේදී මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ නවකථා හා වෙනත් ග‍්‍රන්ථ අවබෝධයෙන් යුතුව කියවීම අත්වැලක් වන බවද ඇය කියනවා.

1990 සිට තවත් පරම්පරාවක පමණ කාලයක් ගතව ඇතත් එම මග පෙන්වා දීම හරිහැටි සිදුව ඇත්ද? තරුණ ජවය හා විභවය ඔවුන්ටත්, රටටත් ඵලදායක ලෙස යොදා ගන්නට නිසි වාතාවරණයක් දැන්වත් බිහිව තිබේද?

එසේ නැත්නම් එය හුදෙක් දේශපාලකයන්ගේ වරද පමණද? පොදු උන්නතියට කැප වන බුද්ධිමතුන් හා කලාකරුවන් අපේ රටේ මෙතරම් හිග වී ඇත්තේ ඇයි?

1980 දශකය තුළ සිදුවූ තවත් ප‍්‍රබල සිදුවීම් රටේ අනාගතය ප‍්‍රබල ලෙස දිශාගත කළා.

1981 ජූනි 1 වනදා අලූයම යාපනයේ මහජන පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම මෙරට වාර්ගික අර්බුදය සන්නද්ධ අරගලයකට තල්ලූ කළ තීරණාත්මකම සිදුවීම ලෙස මා දකිනවා.

දකුණේ සිට උතුරට ගිය එවකට පාලක පක්‍ෂයට සම්බන්ධ දේශපාලකයන් සමහරෙක් හා ඔවුන්ගේ මැර අනුගාමිකයන් මේ මහා සංස්කෘතික අපරාධය කළ බවට ඇති තරම් සාක්‍ෂි තිබෙනවා.

ඔවුන් කවුද යන්නට වඩා අද වැදගත් ප‍්‍රශ්නය නම් නීතිය හා සාමය රැුකීමට රාජකාරිමය වගකීමක් ඇති පොලීසිය හා පොලීසියේ උදවුවට කැ`දවිය හැකි හමුදාව මේ අපරාධ සිදු කරද්දී අහක බලා ගෙන සිටියේ ඇයිද යන්නයි.

යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් විනාශ වී ගියේ එහි තිබූ ලක්‍ෂයකට ආසන්න පොත් හා පුස්කොළ පොත් එකතුව පමණක් නොවෙයි. දෙමළ ජනයාගේ සංස්කෘතියේ මර්මස්ථානයකට එය මරු පහරක් එල්ල කළා. එම අපරාධයේ සංකේතාත්මක වැදගත්කම ඊට දෙවසරකට පසු සිදු වූ කළු ජූලිය තරම්ම ප‍්‍රබලයි.

යාපනය පුස්තකාලය ගිනි තැබීම නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක කළ පොලීසිය විසින් වළක්වනු ලැබුවා නම්?

කළු ජූලිය දින ගණනක් රට පුරා මහත් ව්‍යසනයක් කරනු වෙනුවට එවකට රජය ඉක්මන් හා දැඩි තීරණ ගැනීම හරහා සමනය කර ගත හැකි වූවා නම්?

1958 මැයි මාසයේ මුල්ම වාර්ගික කෝලාහලයේදී බණ්ඩාරනායක රජය එයට ප‍්‍රතිචාර දැක්වීමට දින පහක් ප‍්‍රමාද වුණා. 1983 ජූලියේ ජයවර්ධන රජයද රට ගිනි ගන්නට ඉඩ දී දින තුනක් බලා සිටියා.

මේ අවස්ථා දෙකම පෙන්නුම් කළේ රටේ සියලූ පුරවැසියන්ට රාජ්‍යයෙන් එක සේ ලැබිය යුතු ආරක්‍ෂාව, සුළු ජාතීන්ට හා ආගමික සුළුතරයන්ට ලැබෙන බවට සැම විටම සහතික කළ නොහැකි බවයි.