රාවය

ඔලිම්පික් කෙළියේ යටගියාව

ඔලිම්පික් කෙළියේ යටගියාව

ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් ලෙස පවතිද්දී ඔලිම්පික් හා අධිරාජ්‍ය ක‍්‍රීඩා වැනි ජාත්‍යන්තර තරගවලට ක‍්‍රීඩකයන් සහභාගි කරවීමේ නිල සම්මේලන අවශ්‍යතාව වටහා ගත් ක‍්‍රීඩා ප‍්‍රවීණයෝ සමූහයක් එක්ව 1937 අපේ‍්‍රල් 30දා ශ‍්‍රී ලංකා ඔලිම්පික් හා අධිරාජ්‍ය ක‍්‍රීඩා සම්මේලනය පිහිටුවා ගත්හ.
එවකට පැවති ලංකාවේ ඔලිම්පික් ක‍්‍රීඩා වූයේ පිහිනුම්, බොක්සිං හා මලල ක‍්‍රීඩා ඉසව්ය. ඒ ඉසව්හී ජාතික සංගම් නියෝජිතයෝ මෙම ආරම්භක රැුස්වීමට සහභාගි වූහ. එහි ප‍්‍රථම සභාපති දොස්තර ඒ.ආර්. ෂොක්මන් මහතාට හිමිවූ අතර ලේකම් ධුරය ඩබ්ලිව්.එච්.ඞී. පෙරේරා මහතාට හිමිවිය.

1948 වනවිට ශ‍්‍රී ලංකාව ඇතුළු බි‍්‍රතාන්‍ය යටත්විජිත ගණනාවක්ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් ගිලිහී ගියේය. මෙම යටත්විජිත යළි බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය හා බැඳ තබන පවුර බවට අධිරාජ්‍ය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා හැටියට කරළියට ආහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකා ඔලිම්පික් හා අධිරාජ්‍ය ක‍්‍රීඩා සම්මේලනය ලංකා ඔලිම්පික් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා හැටියට නම් විය. ඒ අනුව ලංකා ඔලිම්පික් හා අධිරාජ්‍ය ක‍්‍රීඩා සම්මේලනය ලංකා ඔලිම්පික් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය සම්මේලනය නමට පෙරළුණි. එය 1972දී ලංකාව ජනරජයක් වීමත් සමග ලංකා යන වචනය ඉදිරියෙන් ‘ශ‍්‍රී’ යන්න අඳින ලදි.

1972 එය එලෙස ව විට 1971දී මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කටයුතු සොයා බැලීමට ගුණවර්ධන කොමිසම් වාර්තාවක් එළියට ආ අතර එහි පැහැදිලිවම සඳහන් වූයේ ක‍්‍රීඩා පනතට පිටින් ජාතික ඔලිම්පික් කමිටුව තැබීම යෝග්‍ය නොවන බවය. ඒ අනුව එය ක‍්‍රීඩා පනතට ඇතුළත් කිරීමට නිර්දේශ කරන ලදි.

1973 ජුනි 21 වැනි දින ජාතික රාජ්‍ය සභාවේ පැවති ක‍්‍රීඩා පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදී කතා කළ ක‍්‍රීඩා ඇමති කේ.බී. රත්නායක ‘ලෝකයේ සෑම රටක් විසින්ම ජාතික ඔලිම්පික් කමිටු පිළිගෙන ඇති නිසා මෙම පනත විසින් එය පිළිගත යුතුව ඇති බව පැවසීය. ඒ අනුව සම්මත වූ 1973 අංක 25 දරන ක‍්‍රීඩා පනතේ 18 සිට 21 දක්වා වූ වගන්තිවල ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ගැන නියෝග ඇතුළත් විය. මුලදී මෙම ඔලිම්පික් කමිටුවේ නිල කාලයද සෙසු ක‍්‍රීඩා සංගම් මෙන් වසර දෙකකට සීමා විය. එම තීරණය පැනවීමට පෙරාතුවම ජාතික ඔලිම්පික් කමිටුවල සභාපතිවරුන් හැටියට දස වසර ඉක්මවූ දෙදෙනෙක් විය. ඔවුන් ශ‍්‍රීමත් ඩොනල්ඞ් ඔබේසේකර (1947-1957) හා වී.ඒ. සුගතදාස (1962-1973) ය අයය. එවකට ලේකම් කෙනකු ලෙස දස වසර ඉක්මවිය හැකිව තිබුණේ ඩබ්ලිව්.එච්.ඞී. පෙරේරාට පමණි. සෙසු සභාපතිවරුන්ගේ හා ලේකම්වරුන්ගේ කාලය වසර 2-4කට සීමාවිය.

1973දී ක‍්‍රීඩා පනත සම්මතවීමත් සමග ජාතික ඔලිම්පික් කමිටු සභාපති පුටුවේ සිටියේ ජුලියන් ගේ‍්‍රරෝ මහතාය. ඔහු පිළිබඳ අධ්‍යයනයේදී පැහැදිලි වන්නේ ඔහු කිසිවිටකත් ක‍්‍රීඩා අමාත්‍යාංශය සමග ගැටුම් ඇති කර නොගත් අමාත්‍යාංශය සමග සුහදව කටයුතු කළ අයකු බවය. ඔහු කිසිවිටකත් අමාත්‍යාංශ තීරණවලට ඉහළින් නොගියේය. එම කීකරුකමට කදිම නිදසුන ලෙස 1976 ඔලිම්පික් උළෙලට කිසිවකු නොයැවීමේ ක‍්‍රීඩා අමාත්‍යාංශය ගත් මෝඩ තීන්දුව එකහෙළා පිළිගනිමින් සිව් අවුරුද්දක් ඇමරිකාවේ දුෂ්කර පුහුණුව ලද රෝසාගේ මොන්ටි‍්‍රයල් සහභාගිත්වය අත්හිටුවීමෙන්ම පැහැදිලිය. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ගැත්තකුවීමෙන්ද ක‍්‍රීඩාවට සෙතක් නොවන බව ඉන් පැහැදිලිය.

ඔහුගෙන් පසුව ඔලිම්පික් සභාපති පුටුවට පත්වූයේ ඩන්ස්ටන් අල්විස් හා රංජිත් වීරසේනය. ඔවුන් අවුරුදු දෙක බැගින් තනතුරු දැරූහ. මෙහිදී රංජිත් ගේ‍්‍රරෝගේ අනිත් අන්තය විය. ඔහු ක‍්‍රීඩා අමාත්‍යාංශය සමග නිතර ගැටුණේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහු සභාපතිත්වය දැරූ ලංකා ආධුනික මලල ක‍්‍රීඩා සම්මේලනය විසුරුවා හැරීය. එයින්ද නොනැවතුණු ඔවුන් ඔලිම්පික් කමිටුවටද පහර දෙන්නට විය. 1982 ආසියාතික පරාජය පිළිබඳ කොමිසම ජාතික ඔලිම්පික් කමිටුව විසුරුවා හැරීමේ නීතිමය ප‍්‍රතිපාදන ක‍්‍රීඩා පනතේ නොවීම ගැන තැවුණේය.

1983දී මෙම තනතුරුවලට පිළිවෙළින් රෝයිද සිල්වා සහ පේ‍්‍රමා පින්නවල සභාපති, ලේකම් තනතුරුවලට පත්විය. එතැන් සිට දෙවසරක් තනතුරු දැරීමේ නීතිය උල්ලංඝනය විය. එයට හේතුවූ මුල් කතාවද කිව යුතුය. ඒ ගාමිණී දිසානායකය. ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය දැරූ ගාමිණී දිසානායක මහතාගේ සේවය තවදුරටත් ලබාදෙන ලෙස ඉල්ලා 1983.04.08 අංක 240 දරන ගැසට් නිවේදනයෙන් මෙම සීමා කාලය තවත් දීර්ඝ කරන ලදි. මෙම ගැසට් නිවේදනයෙන් අලූත් නියෝගයක් ආදේශ කරන ලදි. එය අපූරුය. එනම් සභාපති හෝ ලේකම් ඔවුන්ගේ විශිෂ්ට කාර්ය සංසිද්ධීන් මත ඔවුන් එම තනතුරුවලට පත් කළ යුතු බවට අමාත්‍යවරයාට හැඟී ගියහොත් එසේ කළ හැකි බවත්, එසේ කළහැකි උපරිම වාර ගණන පහකට නොවැඩි විය යුතු බවත් එහි සඳහන් විය.

මෙම ගැසට් නිවේදනය පනවා වසර තුනක් යන්නට මත්තෙන් 1988.03.08 දාතමින් අංක 496/8 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් විය. එම නියෝගයෙන් වර්ෂ පහක සීමාවද ඉවත් විය. මෙම සීමාවන් ඉවත් කරන ලද්දේ ගාමිණී දිසානායක මහතාට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකම තවදුරටත් දැරීමට දොරගුළු හැරීමටය. ගාමිණී දිසානායක ක‍්‍රිකට්වලට කළ සේවය කතා කරන මහත්වරු මෙවැනි අවැඩ ගැන නොදනිති. එම පහනින්ම එළිය බැලූ 1983 ඔලිම්පික් කමිටුවට පත් වූ රෝයි – පේ‍්‍රම් දෙපළ පුරා වසර අටක් ඉක්මවා තනතුරුවල යෙදී සිටියේ ගාමිණී තියරිය සරණ යමිනි.
රෝයි – පේ‍්‍රම් යුගයේ ඔලිම්පික් කමිටු මූලස්ථානය වූයේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ කාමරයක්ය. ඒ පින්නවල මහතා රක්ෂණ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වූ නිසාය. එකල තත්ත්වය එබඳුය. සියල්ල තමා සන්තකයේය. කාලයක් තිස්සේ තැනින් තැනට මාරුවෙමින් වසර හතළිස් හයක් තිස්සේ තැනින් තැනට මාරුවෙමින් හතළිස් හය වසරක්ම එක් එක් ස්ථානයන්හී ලිපිනයන් භාවිත කළ ජාතික ඔලිම්පික් කමිටුවට රෝයි – පේ‍්‍රමාගේ ්‍යදජනැහ ෘහබ්ිඑහ යේ ප‍්‍රාණ භුක්තියට හිමිවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඔලිම්පික් තරග ගණනාවකටද ජාත්‍යන්තර සමුළු ගණනාවකටද වෙනත් ජාත්‍යන්තර තරග ගණනාවකටද තරුපහේ හෝටල්වල ලගිමින් සහභාගි වන්නට පාස්පෝට් අලූත් කරමින් රට සවාරි ගහන්නට මේ අයට හැකිවිය. එදා මේ අයට වැලඳුණු රෝගය අදටත් සුවවී නැත. මේ කාලවකවානුව දෙස බලද්දී ඒ අය ඇතිපදම් සැප වින්දද කී‍්‍රඩාවට කළ දෙයක් නොවීය. ඔලිම්පික් සාරය උරා බොමින් කාලය කා දැමුවා මිස තම හොකී සංගමයට වුව යමක් කිරීමට ඔවුන් අපොහොසත් විය. ඉහළ මට්ටමක පැවති හොකී කඩා වැටීම ඇරඹෙන්නේ මොවුන්ගෙනි. ඔලිම්පික් කමිටුවේ එතෙක් පැවති ක‍්‍රියා පිළිවෙත ඒකාධිපති කාබාසිනියන්ට අත්වූ යුගයේ ආරම්භය එය විය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ජුවාන් අන්තෝනියෝ සමාරංචි මේ රටට ගෙන්වා ඔහු ලවා තම සේවා කාලය දික්කර ගැනීම මෙකල සිද්ධි විය. ජනාධිපති ජයවර්ධනට පේ‍්‍රමා පින්නවලගේ තිබූ කිට්ටුකම පෙන්නා තම හයිය පාවිච්චි කළ යුගයක් එකල විය. ඒ නිසා ක‍්‍රීඩා අමාත්‍යාංශයට ඔලිම්පික් කමිටුවට එරෙහිව කළ හැකි කිසිවක් නොවීය. අන්තර්ජාතික සභාපතිවරයාට මෙරට ඔලිම්පික් කමිටුවේ නිල කාලය දීර්ඝ කිරීමේ බලයක් නැතත් ඔහුගේ ඉල්ලීම අහක දැමිය නොහැකිය. සැබෑ තත්ත්වය එයය. අදටද එය වලංගුය.

ඒ මොහොතේ ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙරට ක‍්‍රීඩා පනතේ අරුත් නියම ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දැක්වූයේ නම් තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබුණි. එහෙත් ඊට දක්ෂ ලෙස මුහුණදීමක් අද මෙන්ම එදාද නොවීය. එය එසේ වූයේ නම් අනාගතයට වුව එය යහපතක් වන්නට ඉඩ තිබුණි. මෙම ඔලිම්පික් පිළිකාව සෙසු සංගම්වලටද බෝවිය හැකි බව වටහා ගත් සිව්වැනි ක‍්‍රීඩා අමාත්‍ය නන්ද මැතිව් මහතා 1973 අංක 25 දරන ක‍්‍රීඩා පනතේ ඔලිම්පික් රෙගුලාසි වහාම සංශෝධනය කළේය. ඒ අනුව ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා නිල බලයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙකු කරමින්ද ඔලිම්පික් කමිටු සාමාජික ධුර කාලය අවුරුදු හතර බැගින් වාර දෙකකට සීමා කරමින්ද, 1993 අංක 47 දරන ක‍්‍රීඩා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළේය. මෙම සංශෝධන පනත දෙවැනි වර කියවීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 1993 සැප්තැම්බර් මස 22 දින පැවතුණි. එහිදී නන්ද මැතිව් මහතා කළ අදහස් අගනේය. ඒ කතාව අදටත් සත්‍යයකි.

”ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද සමහරුන් මේ ක‍්‍රීඩාව ව්‍යාපාරයක් හැටියටත් සලකනවා. ක‍්‍රීඩා සංගම්වල සම්මේලනවල නිලතල දරන අය ඒ තනතුරු අතහැර යන්නට කැමති නැහැ. එයට හේතුව විශාල මුදල් කන්දරාවක් ලැබෙන නිසා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගැන අපි මඳක් කල්පනා කළවිට… එහි සභාපති සමාරංචි කවදාවත් ඒ තනතුර අත්හැරියේ නැහැ. මට මතකයි ස්පාඤ්ඤයේ බාසිලෝනාවේ ඔලිම්පික් ක‍්‍රීඩා පැවැත්වීමේදී කීවා ඒක එතුමගේ රට නිසා ඒ ක‍්‍රීඩා උත්සවයෙන් පසුව අස්වී යන බව. දැන් ඔහු දෙන පිළිතුර ඒක තමන්ගේ රට නිසා තමන් එයින් අස් නොවන බවයි. ඒ වාගේම මේ රටේ තිබෙන ජාතික ක‍්‍රීඩා සංගම් සහ ඔලිම්පික් කමිටු නීති මගින් අප එම තනතුරු වෙනස් නොකළහොත් කවදාවත් ඒ අය එම තනතුරු අත්හරින්නේ නෑ. මෙම සංශෝධනය මගින් මේ සාමාජිකයන්ට වසර අටක් එක දිගට සේවය කිරීමට අවස්ථාව සැලකෙනවා. මේ ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වෙන්නේ ඔලිම්පික් ක‍්‍රීඩාවෙන් හෙවත් අවුරුදු හතරෙන් හතරටයි. ක‍්‍රීඩාවේ පහුගිය වසර විස්සක කාලය තුළදී වූ සිදුවීම අනුව සීමිත පුද්ගලයන් සංඛ්‍යාවක් මෙම කමිටුව නියෝජනය කිරීමේ ප‍්‍රවණතාවක් තිබීම හා නව අදහස් හා සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට බාධාවක් ඇතිවූ බවයි පෙනීයන්නේ. එය වළකාලීමයි මෙම සංශෝධනයේ බලාපොරොත්තුව වන්නේ. මෙහි 9 වන වගන්තිය මගින් මුල් පනතට 21 ‘අ’ යනුවෙන් අපි තවත් වගන්තියක් ඇතුළත් කරනවා. ජාතික ඔලිම්පික් කමිටුවට යන ජාතික ක‍්‍රීඩා සංගම්වලට ලැබෙන දේශීය මුදල් හා විදේශීය මුදල් සහ වෙනත් අනුග‍්‍රහයන් නිසි පරිදි උපයෝගී කරගනු ලබන්නේද යන්න සොයා බැලීම අවශ්‍ය හෙයින් එම ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය ලැබෙන පරිදි මෙම සංශෝධන මගින් විධිවිධාන සැලකෙනවා.”

මේ 90 දශකය මුල කළ කතාවකි. එහෙත් එය මේ ක‍්‍රීඩාව යායුතු නියම මග හෙළි පෙහෙළි කළ කතාවකි. ඉන්පසු පැමිණි ක‍්‍රීඩා ඇමතිවරු නිසි අධ්‍යයනයකින් නිසි මග ගියේ නම් අද ක‍්‍රීඩාව මෙතරම් වළපල්ලට නොයන්න ඉඩ තිබුණි. එදා විවාදයේදී එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා කළ කතාවද සැලකිල්ලට ගැනීම වටී. මන්ද ඔහු පසුව ක‍්‍රීඩා ඇමතිවීමෙන් පසු ඔහුට මුල් අදහස් වියැකී ගියාදැයි නැවත සිතා බැලීමට හැකි බැවිනි.
එස්.බී. මන්ත‍්‍රීවරයා එදා කීවේ

”පසුගිය කාලය තුළ මම දුටු දෙයක් තමයි මේ ජාතික සංගම්වලට ඔලිම්පික් කමිටුවලට රිංගා ගන්නා අය ඒකෙන් අයින් වෙන්නේ නැති බව. අමාත්‍යතුමා අද ඒ පිළිබඳ නීතිමය සීමාවක් පනවා තිබෙනවා. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ඒ වෙනුවෙන් කැපවීමක් කිරීමට කැමති පරිත්‍යාගයෙන් යුතුව එම ක්ෂේත‍්‍රයේ ආශාවෙන් වැඩ කළ හැකි අයට ඒ සඳහා අවස්ථාවක් ලබාගැනීමට ඒක හොඳ ඉඩකඩක් වනු ඇතැයි මා සිතනවා. (තීරු අංක 1748)

ඉන්පසු එස්.බී. දිසානායක ක‍්‍රීඩා ඇමති විය. ඔහුගේ කාලයේ පත්වුවන් අදද සිටිති. එසේ නම් එදා එස්.බී. මන්ත‍්‍රීවරයා ලෙස එකඟ වූ දේ ඇමතිවරයා වූ කල ප‍්‍රායෝගික වීද?

පේ‍්‍රමාගේ රක්ෂණ ඔප්පුව අහිමිවීමත් සමග ඔලිම්පික් කමිටුව නැවත තුරග පිටියට ගෙන එන ලදි. එස්.බී. දිසානායක එවකට ක‍්‍රීඩා ඇමතිවීමත් සමග හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙහි මුල් පුටුවට ගෙන ආවේ හේමසිරි මහතාගේ වෙඩි තැබීම ගැන නොයෙක් අගය කිරීම් කරමිනි. ලේකම්කමට එච්.යූ. සිල්වා පත්වූයේ හේමසිරි මහතාගේ හිතවත්කමටය.

එම කාලය අදටත් අවසන් නැත. මේ ගෙවෙනුයේ විසි වසරක කාලයකි. එලෙස වීමට ක‍්‍රීඩා පනත් වෙනස් වූයේ ඕනෑම කාලයක් සිටිය හැකි ලෙසය. හේමසිරි මහතාගේ කාලය මේ තරම් දීර්ඝ වූයේ කිසිවෙක් ඔහු සමග තරග කිරීමට ඉදිරිපත් නොවීම නිසා බවද කිව යුතුය. එයට පිළියම් ලෙස මහින්දානන්ද අලූත්ගමගේ ක‍්‍රීඩා ඇමතිවරයාව කළේ තම සගයා වන ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මේ පුටුවේ ඉන්දවීමට මාන බැලීමය. එයට සියලූ දේශපාලන සහය නොවැඩිව ලැබුණි. මෙය නරක ආදර්ශයක් වූයේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් නිසාය. එදා ඩිලාන් පෙරේරා තරග වදින කල හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ පාර්ශ්වය තරගයට ඉදිරිපත් කළේ රොහාන් ප‍්‍රනාන්දු නමැත්තෙකි. ඒ නම ඒ මොහොතේ කරළියට නොයෙන්න කිසිවෙක් දැන නොසිටියා මතකය. කෙසේ වෙතත් අද ඔහු හේමසිරි මහතාට විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරනුයේ හේමසිරි පාර්ශ්වය අන්ත දූෂිත බව කියමිනි. තැනින් තැනට අයාලේ ගිය ඔලිම්පික් කමිටුවට ස්ථිර නිවහනක් තිළිණ කළේ හේමසිරි පාර්ශ්වයයි. එයද වටිනා දෙයකි.

මේ 23 වැනිදා නැවත ඔලිම්පික් නිලවරණයක් ගැන අසන්නට ලැබේ. මේ කාලයකට පසුවය. ගිණුම් පිළිනොගෙන ගිණුම් නැතිව නිලවරණය කරන ප‍්‍රතිපත්තියේ තවම රොහාන් පාර්ශ්වය සිටිති. එය අවැඩකි. කෙසේ වුවත් කවුරු ජයගත්තද ක‍්‍රීඩා ඇමතිටද හිතන්නට බොහෝ දේ ඇත. එනම් යටගියාවන් පිරික්සා මේවා මෙතරම් පිළිල වන්නට ඉඩ නොදෙන රාමු සැකසීමය. එසේ නොවන තාක් කවුරු පත්වුවද මේවා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවේ. ඒ තරමට මේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පිළිකාවක් ලෙස වර්ධනය වී මුළු ක්ෂේත‍්‍රය පුරාම පැතිර අවසන්ය.