රාවය

විජය කුමාරණතුංග කැරිස්මාවේ මූලයන් ඒ කැඩපතෙන් අපිත් මූණ බලමුද?

විජය කුමාරණතුංග කැරිස්මාවේ මූලයන් ඒ කැඩපතෙන් අපිත් මූණ බලමුද?

සිරිල් බී. පෙරේරා.

විජය කුමාරණතුංග ඝාතනය කෙරුණේ 1988 පෙබරවාරි මාසයේදීය. තත්කාලීන ලංකාවේ සමාජ මනස තේරුම් ගැනීමට විජය විෂයයක් සේ සලකා අධ්‍යයනය කළ යුතු යැයි 88 ජුනි මාසයේ ‘සුරතුර’ පත‍්‍රයේ මුල්වරට පළවූ මෙම ලිපිය සිරිල් බී. පෙරේරා (සිබිරා) යෝජනා කර සිටියේය. විජය මියගොස් දැන්වසර තිිහකි. සිරිල් මියගොස් වසර 26ක් වේ. සීබිරා සහ විජය ගැන මේ ආවර්ජනය අද පරම්පරාවට අපූරු කියවීමක් වනු ඇත.
විජය කුමාරණතුංග ඝාතනය කොට පැය ගණනක් ගතවන්නට පෙර රට පුරා වීදියක් වීදියක් පාසා අදින ලද දම්පාට කොඩි තැනින් තැන මේ ලියන මොහොත වනවිටත් ඉතිරි වී තිබෙනවා. එහෙත් පසුගිය කෙටි කාලය තුළ ඒවා පාරිසරික හා කාලගුණික තත්ත්වයන්ගේ සැඩකමට හසුවීම නිසා ඒවා මූලික වර්ණයන් වන නිල් පාටට හැරිලා. අව්ව, වැස්ස නිසා මූලික වර්ණවල පාට එච්චර ලේසියෙන් පිච්චෙන්නේ නැතිලූ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පොල්හේන්ගොඩ නිවස වසා දමා ගොස් රොස්මිඞ් පෙදෙසේ අල්ලපු ගෙදර සිට පළාත් සභා මැතිවරණය මෙහෙයවනවා. උතුරේ හා නැගෙනහිර ජනවාර්ගික කරුණු අධ්‍යයනය පිළිබඳ කේන්ද්‍රය විසින් නිපදවන ලද විත්ති වීඩියෝ චිත‍්‍රපටය රොස්මිඞ් පෙදෙසේ තම නිවසේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ ළඟදී නරඹා ඇත්තේ විජය කුමාරණතුංගගේ දරුවෙකු උකුළේ තබාගෙන නළවමිනි.

මෙම සංකේත හා සිද්ධීන් පිළිබඳ ඇත්ත නාටකය අපේ රටේ වර්තමාන සංකීර්ණත්වය පිළිබඳ චිත‍්‍රපටයකම අපූරු වස්තුවක් සහ තේමාවකි. එහෙත් එය අද වැදි රජුන් නැතිව ‘මනමේ’ නටනවා වාගේ වැඩක්. නළුවා අද නැති නිසාය.

මීගමුව අසල වෙරළබඩ ගමක පල්ලියක සෙවණේ සිට හොරගොල්ල රත්වත්ත වලව්ව දක්වාත්, හන්තානේ බොළඳ කතාවක සිට ක‍්‍රිස්තු චරිතය දක්වාත්, ට්‍රොට්ස්කිවාදී ගැටවරකමේ සිට නළුකම ඔස්සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දක්වාත් එතැන් සිට අලූත් පක්ෂයක් පිහිටුවීමේ සිට සම්මත වම එක් කිරීමේ චිතකය දක්වාත් වේදිකා රැුසක රඟපෑ යුගයේ අරුම නළුවා විජය.

මීට අවුරුදු ගණනකට පෙර වෙසක් දවසක සුගතදාස ස්ටේඩියම් පහුකොට යනකොට මම දැක්කා විජය කුමාරණතුංග වෙසක් දන්සැලක් විවෘත කරනවා. විජය මියගියදා හවස එතැන පසු කොට යනකොට පරණ කුණුමෝල තිබුණු තැනම එහා වැසිකිළි සහ කම්කරු තට්ටු නිවෙස් ළඟ සුදු රෙද්දේ අවියත් කළු අකුරින් ඇඳපු බැනර් එකක් දැක්කා. ඒකේ තිබුණ ශෝක ප‍්‍රකාශය ‘‘අම්මපා හදවත පැළෙනවා” විජය කුමාරණතුංග මහතාට නිවන් සැප ලැබේවා. ”මම හිතන්නේ ඒ රෙදි කෑල්ලේ ‘හදවත පැලෙනවා’ කියන හරිය තවමත් එතැන තියෙනවා.

සිය නළු සොහොයුරාගේ අවමඟුල අත්පොළසන් දෙන දේශපාලන වේදිකාවක් බවට පත්වීමෙන් ගාමිණී ෆොන්සේකාට අඩ මිලියනයක් ජනතාව ඉදිරියේ හරියට තරහා ගියා. අපේ රටේ අවමඟුල්වල සම්මත සිරිත් සුන්වුණා. කාලෝ ෆොන්සේකා ජුලියස් සීසර් නාටකය රඟ පපා, මාක් ඇන්ටනි වාගේ කතා කළා. වර්තමාන බෲටස් පිස්සෙක්ය කියන්නට ඔහු උත්සාහ කළා.

ට්‍රොට්ස්කිවාදයේ සිට ගොර්බචොෆ්ගේ පෙරස්ත්‍රොයිකාව දක්වා සියලූ වමේ වාද මිනී පෙට්ටියක් මත දුරුවුණා. ඒ අතර රටේ ප‍්‍රධාන සිනමා ශාලාවල ‘ඔබටයි ප‍්‍රියේ ආදරේ’ ප‍්‍රදර්ශනයවෙමින් පැවතුණා.

නවසිය හැට අටේ සිට අසූ අට දක්වා පෙන්නපු චිත‍්‍රපට 88ක විජය රඟපෑවා. දැන් දැන් අටක් හොඳයි කියන්න පුළුවන් චිත‍්‍රපට. මෙයින් අටක් අපේ රටේ හැටියට හුඟක් හොඳ චිත‍්‍රපට. ඔහුගෙන් සිනමාවට සිද්ධ වෙච්ච සම්මාදම මේ අටට සීමා කරනවද? අනිත් දහයත් එක්ක ගණන් ගන්නවද? ඔහු නැවත ජනප‍්‍රිය නළුවා බවට පත් කළේ හැත්තෑවයි. ඉතින් විජය මනින මිනුම් දණ්ඩ එකද?

එක පැත්තකින් ජාතිවාදය උග‍්‍රව ඇවිස්සෙද්දී අනෙක් පැත්තෙන් ඔහු දෙමළ කොටස් සමගි සන්ධාන ඇති කරගන්නත් ඔහුගේ ජනප‍්‍රියත්වයට ඒවා බලාපොරොත්තුවන්නට හේතුව කුමක්ද? ඔහුගේ ආගම් පසුබිම ගැන කුලගොත් පසුබිම ගැන. උඩරට පහතරටකම ගැන. මිනිසුන් ප‍්‍රශ්න නාහන්නට හේතුව කුමක්ද? අර චිත‍්‍රපට හැත්තෑවද?

විජයගේ මෙම කැරිස්මාවේ හේතුව දකින්නට පුළුවන් අර චිත‍්‍රපට හැත්තෑව තුළ නම්. විජය පිළිබඳව හොඳම අධ්‍යයනය වන්නේ ඒ චිත‍්‍රපට හැදෑරීමයි. ඒවායේ ඔහු රඟපෑ චරිත හැදෑරීමයි. ඒවායේ තේමා, දෙබස් ආදිය හැදෑරීමයි. ඒවායේ හිඟාකන ධනපාලලාගේ, මෝඩ ඥානපාලලාගේ, දුෂ්ට ගුණපාලලාගේ අනෙක් චරිත හැදෑරීමයි. එය අප රටේ වර්තමාන සමාජ මනස පිළිබඳ ඉතා වැදගත් අධ්‍යයනයක්ද වනවාට සැකයක් නැත. විජය කැරිස්මාව හැදෑරීම අපේ රටේ වර්තමාන දේශපාලන, සාමාජික, සංස්කෘතික හා මානසික තත්ත්වයක් පිළිබඳ හැදෑරීමක්. ඒ කැඩපතෙන් අපි මූණ බලමුද?