රාවය

කවි කවි කවි

කවි කවි කවි

පියන්කාරගේ බන්දුල ජයවීර

‘‘රෑට
වැංජනේට
මාළු
කපනවා
පේන්නැද්ද
මාළු
කප
කපා
කොහොම ද
කවි
අහන්නෙ
පස්සෙ
පස්සෙ”

‘‘කොලූවො
දෙන්නා
හෝම් වර්ක්
පැත්තකට දාලා
අර
පොරකනවා
මොන
කවිද
මේ ජංජාලේ”

‘‘අනේ
දැන් නම් බෑ
මට නිදිමතයි
මොක ද මේ
ආයෙත්
කවි
උනන්න
පටන්ගත්තේ?”

හිස
නවාගෙන
දොර හැරියෙමි
සෙමෙන්

රාත‍්‍රිය පැමිණ ඇත
ගෙමිදුලට
බොහෝ සේ
නිහඬ ය
අවට

තරු
බලා සිටිති
එකත්පස් ව

මම
කීවෙමි
කවිය
නිශා ආකාසයට”
ආරියවංශ රණවීර
(‘තවමත් මල්’ කාව්‍ය සංග‍්‍රහය – 2017)

කවිය යනු කුමක් ද?
‘‘කවිය වනාහී හොඳ ම වචන හොඳ ම පිළිවෙළට යෙදීමයි”
– එස්.ටී. කොල්රිජ් –

‘‘රසය ආත්මය කොට ගත් වාක්‍යය කාව්‍යයයි”
– විශ්වනාථ –
‘කවිය‘ පිළිබඳව පෙරඅපරදෙදිග පඬුවන් දෙදෙනෙකු ගේ අර්ථ දැක්වීම් ඉහත පරිදි වේ.

කලකට ඉහත කොළඹ පිහිටි රජයේ කාර්යාලයක මම සේවය කළෙමි. මා සේවය කළ අංශය පිහිටියේ එම ගොඩනැඟිල්ලේ 3 වන මහලේ ය. මගේ තවත් අතිජාත මිත‍්‍රයෙකු සේවය කළේ එම ගොඩනැඟිල් ලේ ම 7 වන මහලේ ය. රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශයක් වූ එහි රාජකාරි අතිශය වගකීම් සහගත හා මහත් රළුපරළු පීඩාකාරී ඒවා විය. ඉතින් එක දිගට රාජකාරියේ නිරතවීමෙන් විඩාපත් වන සිතට මා සහනයක් ළඟාකර ගත්තේ සියල්ල මොහොතකට අමතක කර කවි පදයක් කුරුටු ගෑමෙනි. මගේ අර මිත‍්‍රයා ද කළේ ඒ වැඬේ ම ය! ඉතින් දහසක් බාධක පීඩා මැද ලියැවුණු කවිය රැුගෙන මම ඔහු සොයා 7 වැනි තට්ටුවට දිව යමි. ඔහු ද තමා ලියූ කවිය රැගෙන මා සොයා 3 වැනි තට්ටුවට දිව එයි. ඉතින් දෙදෙනාට ම විවේකී අවස්ථාවක් විනි නම් අපි ලියාගත් කවි බෙදා හදා ගතිමු. සාකච්ඡුා කළෙමු. අඩුපාඩු හදාගතිමු. එහෙත් තත්ත්වය හැමවිටම එකම ආකාර නොවීය. ඇතැම්විට මා අලූතින් ම ලියූ කවිය රැුගෙන මගේ මිතුරා සොයා යන විට ඔහු බරපතළ රාජකාරියක කරවටක් ගිලී සිටී. ඉතින් බලාපොරොත්තු සුන් කරගන්නා මම නැවත මගේ අසුනට බරවන්නේ දුක්බර හදවතිනි. මගේ මිත‍්‍රයාටද මීට සමාන අත්දැකීම්වලට මුහුණපාන්නට සිදුවූ අවස්ථා දුලබ නොවී ය. ඉතින් තමා අලූතින් ම ලියූ කවිය තම සමීපතම මිතුරෙකුට, ඥාතියෙකුට බිරිඳට, පෙම්වතියට බෙදා හදා ගන්නට සෑම කවියෙකු ම කැමති ය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ කවීන් කවි ලියූ පළියට ඔවුන්ගේ සමීපතමයින් හැමවිටම කවි කියවීමට, රස විඳීමට සූදානමින් සිටින්නේ නැත. කවියෙකුට කවිය තම ජීවිතයයි. එහෙත් අන් හැමට ම එසේ ම නොවේ! ඔවුන්ට වෙනත් කරන්නට වැඩ ඇත!

ප‍්‍රවීණ කිවියර ‘ආරියවංශ රණවීර’යන් ගේ නවතම කාව්‍ය සංග‍්‍රහය වන ‘තවමත් මල්’හි එන ‘කවි කවි
කවි’ නමැති කවිය, තමා ලියූ කවිය තම සමීපතමයෙකු හා බෙදාහදා ගන්නට අවසර නොලැබ හිත රිදවා ගත් කවියෙකු ගැන කියැවෙන්නකි.
තමා අතින් ලියැවුණු කවිය තම සමීපතමයෙකු, රසිකයෙකු සමග වහාම බෙදාහදා ගන්නට, ගුණ-දොස් අසන්නට ඇත්නම් කවියෙකුට සතුටු ය. එහෙත් ගැටලූව වන්නේ කවියා තම කවිය තවෙකෙකු හා බෙදාහදාගෙන රස විඳින්නට සූදානම් වන මොහොතේ අනෙක් තැනැත්තා ඊට සූදානම් මානසික හෝ කායික තත්වයක නොසිටීමයි. කවියා අලූතින් කවියක් ලියා ඇත. එය තම බිරිඳ හා විඳ ගන්නට ඔහුට අවැසිය. එහෙත් ඇය සිටින්නී ? කෑම පිණිස වෑංජනයකට මාළු කපමිනි. ඉතින් මාළු ලේ බේරෙන අතින් යුතුව එක හිතින් කවියක් විඳගන්නේ කෙලෙස ද? කවිය රස විඳීම කවියාගේ බිරිඳ විසින් කල් දමනු ලබයි.
‘‘රෑට
වෑංජනේට
මාළු
කපනවා
පේන්නැද්ද
මාළු
කප
කපා
කොහොම ද
කවි
අහන්නෙ
පස්සෙ
පස්සෙ”
ඉන් අනතුරුව කවියා තම කවිය බිරිඳ හා බෙදාහදා ගන්නට නැවත වතාවක් උත්සාහ ගන්නා විට, ඔවුන්ගේ දරුවෝ අධ්‍යාපන කටයුතුවලට අදාළ ගෙදර වැඩ (HOME WORK) පසෙකටලා රණ්ඩුවක
පැටලී සිටිති. මේ ජංජාලය මැද මොන කවිදැ’යි ඇය ප‍්‍රශ්න කරන්නී ය. ඉතින් කවියා ගේ දෙවැනි උත්සාහය ද අසාර්ථක වේ!
‘‘කොලූවෝ
දෙන්නා
හෝම් වර්ක්
පැත්තකට දාලා
අර
පොරකනවා
මොන
කවිද
මේ ජංජාලේ”
කවියා තම කවිය බිරිඳ හා බෙදාහදා ගන්නට තවත් උත්සාහයක් දරයි. එවිට ඈ සිටින්නී නිඳි මතිනි. නිඳිමතේ මොන කවි රස විඳීමක් ද? අනෙක් අතට කවියා නැවත කවි ලියන්නට පටන් ගැනීම ද බිරිඳගේ සැකයට ප‍්‍රශ්න කිරීමට බඳුන් වේ.
‘‘අනේ
දැන් නම් බෑ
මට නිදිමතයි
මොක ද මේ
ආයෙත්
කවි
උනන්න
පටන්ගත්තේ?”
තම කවිය තම බිරිඳ හා එක්ව රස විමසුමට බඳුන් කිරීමට ගත් උත්සාහය අතැර දමා, බිරිඳට කරදර නොකර හේ දොර හැර මිදුලට බසී. පරිසරය බොහෝසෙයින් නිහඬ ය. අහසේ තරු එකත්පස්ව බලා සිටිති. ඉතින් කවියා තම කවිය රාත‍්‍රී අහසට කියන්නට හිත හදා ගනී.
‘‘හිස
නවාගෙන
දොර හැරියෙමි
සෙමෙන්

රාත‍්‍රිය පැමිණ ඇත
ගෙමිදුලට
බොහෝ සේ
නිහඬ ය
අවට

තරු
බලා සිටිති
එකත්පස්ව

මම
කීවෙමි
කවිය
නිශා ආකාසයට”