සුපිරි නළු මාලන් බ‍්‍රැන්ඩෝගේ දිවිසැරියේ හා චින්තනයේ අසිරිය

කැත්ලීන් ජයවර්ධන

මාලන් බ‍්‍රැන්ඩෝගේ ස්වයං චරිතාපදානය මා හඳුනා ගන්නේ ලෝක ප‍්‍රකට රංගන ශිල්පියකුගේ ජීවිතය පිළිබඳ අන්දරයකට එහා ගිය (එහි සීමාමායිම් ඉක්ම වූ) කෘතියක් ලෙසිනි. ‘මගේ ජීවිතය යනු පෞද්ගලික කාරණාවක් බවත්, ඒ ගැන දැන ගැනීම මගේ පවුලේ හා මා ආදරය කළ අය හැරුණු විට අන් කිසිවකුගේත් රාජකාරියක් නොවන බවත් මම සැමවිටම සිතුවෙමි” යනුවෙන් මාලන් බ‍්‍රැන්ඩෝ මේ ගැන කියන්නේ වෙනත් කතාවකි. එහෙත් බ‍්‍රැන්ඩෝගේ ජීවිතයේ යම් යම් සංසිද්ධීන් මෙන් ම ඒ හා සම්බන්ධ ඔහුගේ අර්ථකථන ද ප‍්‍රකට කරන්නේ සැබැවින් ම නම් එය එසේ නොවන බව ය. ‘මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියාදුන් ගී’ කෘතිය මනුෂ්‍යයා විසින්, මනුෂ්‍ය සමාජය විසින් කියවා අවශෝෂණය කරගනු ලැබීමට සුදුසු පෝෂණපදාර්ථවලින් ගහණ වූවක් ලෙසිනි, මා දකින්නේ.
රිදීතිරයෙන් මාලන් බ‍්‍රැන්ඩෝ දුටු, ඔහුගේ රංගන කුසලතා හඳුනා සිටින බහුතරයකට බ‍්‍රැන්ඩෝගේ නළු ජීවිතය පිළිබඳ පොතේ සඳහන් සියල්ල හෙළිකිරීම අවශ්‍ය යැයි නොසිතෙයි. මෙහිදී අපගේ අවධානයට විශේෂයෙන් ලක්වන්නේ බ‍්‍රැන්ඩෝගේ චින්තනයේ මෙන් ම ඒ සමාජ දැක්මේ ද තීව‍්‍රතාවයි.

සිනමා න`ඵවකුගේ ජීවිතයේ අඳුරු අහුමුඵවලට එබී බලන්නට මිනිසුන් බොහෝ විට වැඩි කැමැත්තක් දක්වන්නේ ඔහුගේ ෙලෙංගික ජීවිතය පිළිබඳ අත්දැකීම් දැනගැනීම හා රසවිඳීම සඳහා ය. එහෙත් බ‍්‍රැන්ඩෝගේ ස්ත‍්‍රී ඇසුර එතරම් ආටෝප-සාටෝප සහිතව මෙහිදී උත්කර්ෂයට නැගෙන්නේ නැත. බ‍්‍රැන්ඩෝගේ ජීවිත කාලය පුරා ඔහුට සමීපව සිටි මිතුරු මිතුරියන් අතරෙහි වූ ජැනිස් මාර්ස්, බ‍්‍රැන්ඩෝ පිළිබඳව කියන මේ කතාව ඔහුගේ ජීවිතය පිළිබඳ එක්තරා හරස්කඩකියි සිතෙයි.

ඔයා හැම තිස්සෙම අම්මා වෙනුවට කෙනෙක් සොයමින් සිටියා. අසනීප වුණාම ඔයා එයා ළගට ගියා. සමහර වෙලාවට එයා ආවා ඔයා බලන්න. හරියට නරක ළමයෙක් බලන්න එනවා වගේ. ඔයා එතකොට අපේ කාමරයේ හැංගුණා. ඔයා හුගක් වෙලාවට කෙනෙකුට අපහාස කරන්න මුරණ්ඩු විදිහට උත්සාහ කළා. ගැහැනියක් ඒකට කොච්චර දුරට ඉඩ දෙනව ද කියල දැනගන්න ඔයාට ඕන වුණා. ඔයාගේ ජීවිතේ ‘ලිංගිකත්වය’ කියන එක හරියට චොකලට් කෑල්ලක් කනව වගේ. නැත්තං බෙහෙත් පෙත්තක් බොනව වගේ. ඔයා ගැහැනුන්ව ආශ‍්‍රය කළේ දෙගිඩියාවෙන්. ඔයාගෙ බලපරාක‍්‍රමය, ස්පර්ශ කළ නොහැකි රැුස්වළල්ලක් වගෙයි මට දැනුණෙ. ඒක හරියට කාන්දමක් වගේ පරිහරණය කරන හැටි ඔයා දැනගෙන හිටියා. ඔයාගේ ස්පර්ශය තුළ කිසියම් මෝහනීය සැනසිල්ලක් තිබුණ බවක් මට දැනුණා. කිසි කෙනෙකුට ඔයා අල්ලගෙන ඉන්න එදත් බැරිවුණා. අදත් බැරිවුණා.

(මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියා දුන් ගී – 121 පිටුව)
බ‍්‍රැන්ඩෝගේ මුළුමහත් ජීවිතයම හකු`ඵවා ඇතැයි මට සිතෙන්නේ මේ අවධාරණය තුළ ය. සුවිශේෂ මිනිසුන්ගේ ඒ බලපරාක‍්‍රමය සැබැවින් ම රැස්වළල්ලක් වැනි ය. එය ස්පර්ශ කළ නොහැකි ය.

බ‍්‍රැන්ඩෝගේ දිවිසැරිය සියුම් ලෙස නිරීක්ෂණය කරන මනෝවිද්‍යාඥයකුට ඒ ඔස්සේ බොහෝ අලූත් ඉසවු හැඳිනගන්නටත්, මනෝවිද්‍යාවේ පවතින ඇතැම් සිද්ධාන්ත යළි තහවුරු කරගන්නටත් ඉඩසැලසෙන්නේ යැයි අපට සිතෙයි. ඒවා මනුෂ්‍යත්වයේ අඳුරු අහුමුළුවලට ආලෝකධාරා එල්ල කරනසුලූය. ‘තමාගේ ජීවිතය ගැන සෙවීම පිටස්තරයන්ගේ රාජකාරියක් නොවේ’ ය යන බ‍්‍රැන්ඩෝගේ අවධාරණයට අප විරෝධය පාන්නේ ඒ නිසාය.

බ‍්‍රැන්ඩෝගේ එක් කැපීපෙනෙන ලක්ෂණයක් ලෙස අප දකින්නේ ඔහුගේ නාහෙට නාහන ස්වභාවයයි. කවදාවත් කීකරු පුත‍්‍රයකු වන්නට, කීකරු ශිෂ්‍යයකු වන්නට බ‍්‍රැන්ඩෝට බැරි වුණේ ඒ නිසයි. ‘අණ’ කෙරෙහි ඔහු තුළ වූ අනවධානය නැත්නම් විරෝධය පැහැදිලිව පෙන්වා දෙන ප‍්‍රබල සාක්ෂිය වන්නේ ඝාණ්ඨාර කුලූනට වෛර කරමින් ඝාණ්ඨාර ගෙඩිය සොරකම් කිරීමයි. රාත්තල් 150ක් බරැති එය අසීරුවෙන් ඔසවා ගෙනැවිත් මිහිදන් කිරීමයි. අධිකාරි බලයට යාවූ උස් හඩවල් තමා කෝප ගැන්වූයේ යැයි ඔහු කියයි. ෂැටුක් ඇකඩමියේ, පන්තියාම, ආහාර ගැනීම, නින්දට යාම, පේළි ගැසීම මතක් කර දෙමින් ඝාණ්්ඨාරය දෙන ‘අණ’ බ‍්‍රැන්ඩෝ වැනි නිදහස්කාමීන්ට ඔරොත්තු නොදෙන බව ගුරුවරු නොසිතති. ඒවායින් හික්මවිය හැක්කේ කීකරු දරුවන් ය. බ‍්‍රැන්ඩෝ කීකරු දරුවකු නොවේ.

බ‍්‍රැන්ඩෝගේ ළමා කාලය ගෙවුණේ ආදරය ලැබීම් හෝ සුරතල් කිරීම් මධ්‍යයේ නොවේ. එකල තමාගේ ගැටලූවලට හේතුවූ කරුණු-කාරණා තමා දැන නොසිටියේ යැයි බ‍්‍රැන්ඩෝ සඳහන් කරයි. මවුපියන්ගෙන් ආදරය ඉල්ලා කළ අරගලය ප‍්‍රතිඵල රහිත යැයි බ‍්‍රැන්ඩෝ තේරුම් ගන්නේ පසුව ය. ඔහු බොහෝ දේ ඉගෙන ගන්නේ පොත-පතින් නොව ජීවිතයෙනි. පහළ බාලාංශ පන්ති විභාගයෙන් අසමත් වූ පන්තියේ සිටි එක ම ශිෂ්‍යයා තමා යැයි ඔහු කියයි. එසේ වන්නට ඇත්තේ තමා අන්‍යයන්ගේ බලපෑම්වලට නතුවීම ප‍්‍රතික්ෂේප කරන්නට වූ නිසා විය හැකි යැයි ඒ පිළිබඳ අනුමානයක් ද එළිදක්වයි. කුඩා කල පාසලේදී පන්තියේදී අසාර්ථක වූ, අලසයෙක් වූ, කුරුල්ලන්ට වෙඩි තැබූ බ‍්‍රැන්ඩෝගේ ක‍්‍රමික අනුවර්තනය – පරිවර්තනය සිදුවූයේ කාගේ හෝ උපදෙසකින්, පොත-පතකින් නොවන බව නම් නිසැක ය. ‘කාලාම සූත‍්‍රය’ නොදන්නා මාලන් බ‍්‍රැන්ඩෝගේ ජීවිතය දිගහැරී ඇත්තේ කාලාම සූත‍්‍රයට අනුකූලව ය. තමා තුළ සිදුවූ අනුක‍්‍රමික වෙනස එළිදක්වමින් පසුකලෙක ඔහු තබා ඇති සටහන මෙවැනි ය.
සතුන්ට ආදරය කිරීම පහසුවක් බැව් මම නිරීක්ෂණය කළෙමි. මන්දයත් උන්ගේ ආදරය කොන්දේසි විරහිත වූවක් වන හෙයිනි. උන් විශ්වාසවන්ත, සුවච කීකරු අයයි. පෙරළා ආදරය දැක්වීමක් මිසක වෙනත් කිසිවක් උන් ඉල්ලා සිටින්නේ නැත.

(මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියා දුන් ගී – 46 පිටුව)
ලිබර්ටිවිල් උසස් පාඨශාලාවේදී තමා නොහික්මුණු, අලස, නරක ළමයකු වූයේ යැයි බ‍්‍රැන්ඩෝ පවසන්නේ ගුරුවරුන් හා විදුහල්පතිවරයා තමාගේ පිළිබිඹුව දුටු කැඩපතින් බලා ය. සිය බලඅධිකාරියට ශිෂ්‍යයින් අභියෝග කරනු දැකීමට ගුරුවරු කැමති නොවෙති. ඒ ළමා කාලයේ දී තමාට ඒ කිසිවක් නොවැටහුණ ද කාලය ගතවී යද්දී ඒවායේ සැබෑ හැඩතල තමාට පෙනෙන්නට වූයේ යැයි බ‍්‍රැන්ඩෝ කියයි. ඒ අනුව පොදු මිනිසා පිළිබඳ ඔහුගේ නිර්වචනය මෙවැනි ය.

මිනිස් සමාජයේ සෑම කණ්ඩායමක් ම, සෑම පුද්ගලයෙක් ම අනෙකාට වඩා තමා උසස් යැයි ප‍්‍රකාශ කිරීමට උත්සාහ දරයි. මෙකී තත්ත්වය ආගමික කණ්ඩායම්, ජාතීන්, ගෝත‍්‍රිකයන් මෙන් ම ප‍්‍රාදේශීය ක‍්‍රීඩා සංගම් අතර පවා පවතී. කුලවාදය, ඉන්දියාවට හෝ එංගලන්තයට වඩා (අමෙරිකාවේ) වර්ධනය වී ඇතැයි අතැම් විට හැගේ.

(මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියා දුන් ගී – 30 පිටුව)
‘ෆාරිබෝල්ට් ෂැටුක් මිලිටරි ඇකඩමි’ ආයතනයට බ‍්‍රැන්ඩෝ ඇතුළු කෙරෙන්නේ එහි පවත්නා දැඩි විනය, බ‍්‍රැන්ඩෝගේ නාහෙට නාහන ස්වාභාවයට කිසියම් විසඳුමක් වනු ඇතැයි අදහන බ‍්‍රැන්ඩෝගේ පියාගේ අදහසකට අනුවය. එහෙත් ඒ වන විට බ‍්‍රැන්ඩෝගේ සිත පදම්ව තිබුණේ සෑම බලඅධිකාරියකටම එරෙහිව කැරලි ගසනු පිණිසය. ෂැටුක්හිදී ලද අත්දැකීම්වලට අනුව හමුදා මානසිකත්වය, හමුදාවේ යාන්ත‍්‍රණය ඔහු නිර්වචනය කරන්නේ මෙසේ ය.

‘මිලිටරි මානසිකත්වය තුළ ඇත්තේ එක් ඉලක්කයක් පමණි. එය නම්, සොල්දාදුවාගේ ප‍්‍රතිචාර හැකිතරම් යාන්ත‍්‍රික බවට පත්කිරීමයි. දුරකතනයක්, මැෂින් තුවක්කුවක් මෙන් මිනිසා කෙරෙන් ද යන්ත‍්‍රයක වැනි විශ්වසනීයත්වයක් එහිදී අපේක්ෂා කෙරේ’

(මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියා දුන් ගී – 52 පිටුව)
පාසල කීතු-කීතු කර ඉරා දැමීමට මිස ඒ තුළ වහලකු වීමට බ‍්‍රැන්ඩෝ උත්සාහ නොකළේ සැමවිටම අධිකාරී බලය ප‍්‍රතික්ෂේප කළ නිසා ය. ඔහු ඝාණ්ඨාර ගෙඩිය සොරකම් කරන්නට යොමු වූයේ ද ෂැටුක් මිලිටරි ඇකඩමියේදී ම ය.

ජර්මානු වේදිකාවේ කීර්තිමත් චරිතයක් බවට පත් සිටි, New School’s Dramatic workshop හි අධ්‍යක්‍ෂවරයා අර්වින් පිස්කේටර් නම් වුව ද එහිදී තමාගේ ආත්මය බවට පත්ව සිටියේ ස්ටෙලා ඇඞ්ලර් යැයි බ‍්‍රැන්ඩෝ කියයි. ඇය කොන්ස්ටන්ටීන් ස්ටැනිස්ලොව්ස්කි යටතේ මොස්කව් කලා රගහලේ හැදෑරීම් කළ තැනැත්තියකි. වසර 30ක් තුළ නාට්‍ය 200කට පමණ සිය රංගන දායකත්වය ලබා දුන් අතිදක්ෂ නිළියක වූ ස්ටෙලා ඇඞ්ලර්ට කිසිදා ‘තරුවක්’ බවට පත්විය හැකි නොවූයේ ඇගේ යුදෙව් සම්භවය නිසා යැයි බ‍්‍ර‍්‍රැන්ඩෝ විශ්වාස කරයි. ‘හොලිවුඩය යනු මුළුමනින් ම යුදෙව් ජනපදයකි’ යි පවසන බ‍්‍රැන්ඩෝ, ස්ටෙලා ඇඞ්ලර්ගේ ඉගැන්වීම්, ලෝකයේ සිනමා නළු නිළියන්ගේ රංගනයට පූර්වාදර්ශයක් වූ බව පෙන්වා දෙයි. මෙහිදී ඔහු විශේෂයෙන් සඳහන් කරන්නේ ‘ගැඞ්ජ්’ නම් වූ අධ්‍යක්ෂවරයා පිළිබඳව ය. රංගන ශිල්පීන්ට නිතරම පාහේ නිදහස ලබා දුන් ඔහු, ඔවුන්ගේ ර`ගපෑම් ඔපමට්ටම් කිරීම අරඹන්නේ පසුව ය. තමා කිසියම් චරිතයකට ආසන්න කළ, ආසක්ත කළ එකම අධ්‍යක්‍ෂවරයා ද ගැඞ්ජ් යැයි බ‍්‍රැන්ඩෝ කියයි. ඔහු තමාට උත්තේජනයක් සැපයුවේ තමා සමගම ඒ චරිතය රගපාමිනි යි පවසන බ‍්‍රැන්ඩෝ, වැඩිදුරටත් කියා සිටින්නේ චිත‍්‍රපටයක් සාර්ථක කිරීම සඳහා නළුවකුට කිහිපවරක් ම උත්සාහ කිරීමට සිදුවන බව ය. තුන්වන හෝ හතරවන වාරය වනතුරුම නළුවාට නිවැරදි ළයමානය හසු නොවීමට ඉඩ ඇති බව ගැඞ්ජ් ඉතා හොඳින් දැන සිටියේ යැයි බ‍්‍රැන්ඩෝ කියයි. ඇතැම් අධ්‍යක්‍ෂවරුන් නළුවා හෝ නිළිය පිටපතට පිටින් කිසිවක් කරනවාට අකමැති වන්නේ ඔවුන් තුළ වන අනාරක්ෂිත බව හෝ මමංකාර නිසා විය හැකි වන බවය, ඔහුගේ අදහස වන්නේ. හොඳ රංගන ශිල්පීන් තෝරා ගැනීමේ සූරයකු වූ ගැඞ්ජ් වෙනස් දේවල් කිරීමට ඔවුන් පොළඹවන්නෙකි. රංගන ශිල්පීන් සතුව පවත්නා නිර්මාණාත්මක කුසලතාව චරිතය ගොඩනැගීම සඳහා උපයෝගි කරගත හැකි ආකාරය ගැන දැන සිටින ඔහු නළු-නිළියනට අවශ්‍ය නිදහස ලබා දෙන අතර ප‍්‍රතිඵල හොඳ වුවහොත් සතුටටත් උද්දාමයටත් පත් වන්නේ යැයි බ‍්‍රැන්ඩෝ පවසයි. තවත් අවස්ථාවකදී ඔහු මතක් කර දෙන්නේ ඇත්ත වශයෙන්ම බොහෝ නළු-නිළියන් සිය හොඳම රගපෑම කරන්නේ කැමරාව නතර කළ පසුව වන බව ය. එලියා කසාන්, බර්නාඩෝ බර්ටලූච්චි හා ගිල්ලෝ පොන්ටිකෝවෝ ද අසාමාන්‍ය කුසලතාවකින් යුතු අධ්‍යක්ෂවරුන් වූ බව බ‍්‍රැන්ඩෝ කියා සිටී. චිත‍්‍රපට හා නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ට මෙන් ම රංගන ශිල්පීන්ට ද ස්වයං විවේචනයක යෙදීම සඳහා වැදගත් වන තවත් බොහෝ අවධාරණයන් බ‍්‍රැන්ඩෝගේ නිර්ව්‍යාජ අදහස් දැක්වීම් ඔස්සේ මේ කෘතිය තුළින් එළිදැක තිබේ.

සුදු ජාතිකයකු වීමේ හේතුව නිසාම තමාගේ ජීවිතය කොතරම් නම් ආරක්ෂාකාරී වී තිබේ ද යන්න තමාට පෙන්වා දුන්නේ කළු ජාතිකයන් යැයි කියන්නේ ද බ‍්‍රැන්ඩෝ ය. ලෝකයට ම නටන්නට ඉගැන්වූයේ කළු ජාතිකයන් බව මතක් කර දෙන බ‍්‍රැන්ඩෝ වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඇමරිකානු සුදු ජාතිකයන් සුචරිතවාදී මඩගොහොරුවෙන් ගොඩගැනීම සඳහා විශාල වශයෙන් දායකත්වය සැපයුවේ ද කළු ජාතිකයන් ම වන බව ය. ඊට හේතුව වශයෙන් ඔහු දකින්නේ (වහල්භාවයේ යෙදී සිටියදී ද) ඔවුන්ට බුක්ති විඳින්නට ඉඩ (නිදහස) සලසා දී තිබූ අල්පමාත‍්‍ර දේ අතරේ ලිංගිකත්වය හෙවත් ෙලෙංගික ජීවිතයක් ගතකිරීමේ හැකියාව ද වීමයි. ඊට ද හේතු වන්නේ තම-තමනට ලාබ-වාසි හිිමිකර දෙමින් තවත් වහලකු උපද්දවා ගැනීමට ඒ ඔස්සේ සුදු ජාතිකයිනට අවස්ථාව සැලසීමයි. අසාධාරණයට ලක්වූ කළු ජාතිකයන් සඳහා මෙන් ම ඒ තත්ත්වයට මුහුණ පා සිටි යුදෙව්වන් ඇතුළු තවත් ජන කොටස් වෙනුවෙන් ද බ‍්‍රැන්ඩෝ සිය ධනය හා ශ‍්‍රමය වැය කර ඇති අවස්ථා බොහෝ යි.

බ‍්‍රැන්ඩෝගේ අතිජාත මිතුරා වී ඇත්තේ වොලී කොක්ස් නම් වූ පුද්ගලයා ය. 1973 වසරේදී ඔහුගේ අභාවය සිදුවන තුරුම ඔවුන්ගේ මිත‍්‍රත්වය අඛණ්ඩව ම පැවතී තිබේ. වොලී කොක්ස්ගේ මරණය සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩෝ දක්වන ප‍්‍රතිචාරය ඉතා නැවුම් ය. අසාමාන්‍ය ය. ඒ තරමට ම අපූරු ය.

මියයාම පිළිබඳව කිසිදිනෙක මට, වොලීට සමාව දිය හැකි දැයි මම නොදනිමි. ඔහු මියගිය බවක් මට විශ්වාස කළ නොහැක. මම බලවත් ව්‍යාකූලත්වයට පත්වීමි. මම ඔහු පරිහරණය කළ ඇතැම් දේ විශේෂයෙන් ම මිය යන විට ඔහු ඇඳ සිටි පිජාමාව ද රැගෙන ගොස් සුරැුකිව තබාගත්තෙමි. අද පවා මම ඔහුට කතා කරමි. ඔහුට සාප කරමි.

‘උඹ… බැල්ලිගෙ පුතෙක්’

බ‍්‍රැන්ඩෝ මෙසේ ඔහුට පරුෂ ලෙස බැණඅඩගාන්නේ මරණය වැළඳ ගැනීම පිළිබඳව ය. දෝෂාරෝපණයක් ලෙස එළිදකින්නේ බ‍්‍රැන්ඩෝගේ දරාගත නොහැකි වේදනාවයි.

ලෝක ප‍්‍රකට නළුවකු වන මාලන් බ‍්‍රැන්ඩෝ තමා ලැබූ ඒ ප‍්‍රසිද්ධියේ ආදීනව ගැන කියන කතාව තරමක් අමුතු ය. ඒ කතාව විසින් ඉස්මත්තට ගෙනඑනු ලබන්නේ මාලන් බ‍්‍රැන්ඩෝ නම් වූ නළුවා තුළ අදෘෂ්‍යමානව ජීවත් වූ හඳුනා නොගත් චින්තකයා ය.
‘සමාජයට කිසිදු වැදගත් යමක් නොකළ මිනිස්සු, එක රැයින් සුප‍්‍රසිද්ධ පුද්ගලයෝ බවට පත්වෙති. කීර්තිය හා ප‍්‍රසිද්ධිය ලබාගත නොහැකි උදවිය එය කෙසේ හෝ ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙති…

ප‍්‍රසිද්ධිය යන්න එක්තරා ආකාරයකින් මා විනාශ කළේය. එය අතහැර දැමීමට ඕනෑම විටෙක මම සූදානම්ව සිටියෙමි. මා ප‍්‍රසිද්ධ පුද්ගලයකු වූ පසු නැවත කවරදාකවත් ලිබර්ටිවිල්හි ‘බඞ් බ‍්‍රැන්ඩෝ’ වීමට මට නොහැකි විය. මට ජීවත්වීමට බලකෙරුණේ ව්‍යාජ ජීවිතයකි.’

(මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියා දුන් ගී – 183 පිටුව)
මේ මුනිවර සිතුවිල්ල මාලන් බ‍්‍රැන්ඩෝ වැනි රිදීතිරයේ දිදුළන තරුවක් තුළ පිළිසිඳුණේ කෙසේ දැයි බොහෝ දෙනකුට පුදුම සිතෙන්නට බැරි නැත. (සැබෑව නම් එවැනි මනෝභාවයන් බොහෝ විට හටගැනෙන්නේ දිදුළන මනස් තුළ පමණක් ම වන බව ය) මෙහිදී ඔහු ‘මාධ්‍යය’ හඳුන්වා දෙන්නේ (මාධ්‍යයට උපමා කරන්නේ) ගොදුරක් පසුපස හඹා එන ‘මස් බුදින්නකු’ ලෙසට ය. ඕපාදූප සෙවීමේ ලා නොසංසිඳෙන කෑදරකමකින් පෙළෙන මාධ්‍යය, පිම්පියාගේ පටන් ජනාධිපතිවරයා දක්වා සෑම පුද්ගල චරිතයක් විෂයයෙහි ම ක‍්‍රියාත්මක කරන්නේ එකම ක‍්‍රියාදාමයකියි බ‍්‍රැන්ඩෝ පෙන්වා දෙයි තමන්ට අවශ්‍ය දේ වමාරවාගත නොහැකි වූ කල කතා ගෙතීම මාධ්‍යයේ තවත් ලක්ෂණයකියි ඔහු පවසයි. එක්තරා කුරිරු සංස්කෘතියක් ලෙසට මාලන් බ‍්‍රැන්ඩෝ විසින් හඳුන්වනු ලබන මාධ්‍යයේ සාමන්‍ය පිළිවෙත වන්නේ මුදල් උපයන්නේ නම් ඕනෑම කුණුගොඩක් ළගට ගැනීම යැයි ද (184) පිටුවෙන්) වැඩිදුරටත් අවධාරණය වේ.

‘නළුවකු නොවූවා නම් මේ වන විට මම වංචාකාරයකු වී සිරගෙයක සිටීමට ඉඩ තිබිණි’ යි බ‍්‍රැන්ඩෝ නිර්ව්‍යාජ ලෙස කියයි. (309 පිට( ‘රගපෑම නිසා මගේ මනෝ චිකිත්සකයින්ට ඩොලර් දහස් ගණනින් පූජා කිරීමට මට හැකියාව ලැබිණි’ යි කියන ඔහු යළිත් වරක් උත්ප‍්‍රාසාත්මකව අවධාරණය කර සිටින්නේ ‘ඔවුන් බොහෝ දෙනා ද අඩු-වැඩි වශයෙන් පිස්සන් බව මට දැනගන්නට ලැබිණි’ යි කියා ය.
නිදහස ප‍්‍රිය කළ, නිදහස හඹාගිය බ‍්‍රැන්ඩෝ දූපතක් මිලට ගන්නට යොමු ව ඇත්තේ පරිසමාප්ත නිදහස බුක්ති විඳින්නට විය හැකි ය. ඒ අනුව, තමාගේ ජීවිතයේ ප‍්‍රීතිමත් ම කාලය ගතවූයේ තහිටි දූපතේදී යැයි ඔහු ලියයි. එහෙත් මුහුද දිශාවට වැටී ඇති ජලාශය කෙළවර පිහිටි පොල් ගසක් යට, අඳුර ගලායන එක් සිහිකටයුතු රාත‍්‍රියක පොල්ගෙඩියක් කොට්ටයට තබා ගෙන වැතිරී අහස බලා සිටියදී ඔහු තුළ මතුවන්නේ දූපතේ අයිිතය පිළිබඳ ප‍්‍රශ්නාර්ථයකි. මහා සාගරය මැද කුඩා දූපතක මියගිය සතුන්ගේ ඇටසැකිළි මත (කොරල් පර සැදී ඇත්තේ මියගිය සතුන්ගේ වීම හේතුවෙන්* තමා නිදා සිටින බවක් එහිදී ඔහුට හැගෙයි.

එකී රාත‍්‍රියට පසු මට හැගී ගියේ මා ඒ දූපතේ හිමිකරුවා නොවන බවයි. මා කර ඇත්තේ එයට ඇතුඵවීමට මුදලක් ගෙවීම පමණයි.
(මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියා දුන් ගී – 353 පිටුව)

සුපිරි නඵ මාලන් බ‍්‍රැන්ඩෝගේ නිදහසේ ප‍්‍රකාශනයෙහි පරිසමාප්තිය සලකුණු වන්නේ වයස අවුරුදු 70 දී බව පෙනෙයි. ඒ වන විට ඔහු යළිත් වරක් රූපාන්තරණය වී සිටින්නේ කුඩා දරුවකු බවටයි.

දැන් මට සැහැල්ලූවක් හා නිදහසක් දැනේ. බොහෝ උදවිය මා ගැන කුමක් කීව ද කුමක් සිතුව ද කම් නැත. වයස අවුරුදු 70 දී මම පෙරටත් වැඩි විනෝදයක්, සතුටක් විඳිමින් සිටිමි. ඉතා සුඵ දේ පවා මගේ සතුටට හේතුවේ. යමක් ගොඩනැගීම, නිර්මාණය කිරීම, මගේ දරුවන් සමග කාලය ගතකිරීම, නොඑසේ නම් මගේ බල්ලා ‘ටිම්’ සමග සෙල්ලම් කිරීම, යහඵවන් සමග එක්ව සිනාසීම හෝ මගේ නාන කාමරයේ බිත්තියේ කුහුඹුවකු බඩගාන ආකාරය බලා සිටීම ද මට සතුටක් ගෙනදේ.

(මාලන් බ‍්‍රැන්ඩෝ – අම්මා මට කියා දුන් ගී – 583 පිටුව)
බොහෝ ධනය ඉපැයූ බ‍්‍රැන්ඩෝට ජීවිතයේ පරම ධනය අත්පත් කරගත හැකි වූ කාලවකවානුව මේ විය හැකි ද? සතුටේ ධනය ඔහුට හිමි වී ඇත්තේ (ඔහු කියන ආකාරයට* අන් අය තමා සමග සැසඳීම අත්හැර දැමූ තැන් සිට ය. ‘වෙනත් අයකු මට වඩා නිර්මාණශීලී නම් මම ඒ ගැන තැකීමක් නොකරමි’ යි ඔහු කියන්නේ දැන් ය. එදා ඔහු කීවේ ‘ජීවිතයෙන් වැඩි කාලයක් මා ගත කළේ ඊර්ෂ්‍යාවෙන් පිරුණු පුද්ගලයකු වශයෙනි’ යි කියා ය. (442 පිටුව) ඉතින් මේ සියල්ල ඔස්සේ අලූතින් සිතන්නට ඇලූත්ම දහමක් නිර්මාණය කරගන්නට හැකි වන්නේ පාඨකයාට ය.

සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා මාලන් බ‍්‍රැන්ඩෝ ස්වයංචරිතාපදානය (අම්මා මට කියා දුන් ගී) තෝරාගැනීම ම එම්. ඞී. මහින්දපාලගේ චින්තනයේ අපූරුව ප‍්‍රකට කරන්නේ යැයි සිතෙයි. ‘වෘත්තිමය රස්තියාදුකාරයා’, ‘හවුල් ඉස්ටුව’ වැනි අපූරු යෙදුම් ගණනාවක් ම ඔහු මේ සඳහා භාවිත කරයි. එහෙත් නිකමට වාගේ මට සිතුණේ මේ කෘතිය ‘අම්මා මට කියා දුන් ගී’ (Song s My Mother Taught Me) යැයි නම් කරනු වෙනුවට ගැඹුරු නිශ්චිත අරුතක් සම්පාදනය කෙරෙන වෙනත් සරල යෙදුමක් ඊට යෙදුණේ නම් යෙහෙකැයි කියා ය. රොබට් ලින්ඞ්සේ ද සමග හවුලේ කළ කෘතියක් ‘ස්වයං චරිතාපදානය’ ලෙස නම් කිරීම උචිත ද යන ප‍්‍රශ්නය ද ඒ සමගම නැගෙයි. (මේවා වැඩිවශයෙන් අදාළ වන්නේ පරිවර්තනයට නොව මුල් කෘතියට ය) කෙසේ වුව ද සුපිරි රංගන ශිල්පියකුගේ ජීවන අන්දරයක් වන මෙහි, ජීවිත වෙනස් කිරීමට තුඩු දෙන ගැඹුරක්, ප‍්‍රබලත්වයක් මා දුටු බව නම් නිර්ලෝභී ව පැවසිය යුතු ය.