රාවය

හෙදියට හදි කිරීම සහ ජනමාධ්‍යය

හෙදියට හදි කිරීම සහ ජනමාධ්‍යය

පෞද්ගලික රෝහලක හෙදියකට එහි වෛද්‍යවරයකු තම මිතුරන් හා සේවකයන් සමග කළ සාමූහික දූෂණය ගැන පුවත මේ දිනවල සෑහෙන ජනප‍්‍රියය. මෙවන් පුවත් රසකර ලිවිය හැකිය. තලූ මරා අනුභව කළ හැකිය. එබැවින් මෙවැනි කතා වසංගතයක් සේ පැතිරෙන්නේ විදුලි වේගයෙනි. ඇයට කළ අපරාධය කියමින් එය රසකර ලිවීම හරහා විනාශ වන්නේ ඇගේ දිවියමය. ඇගේ දුක මාධ්‍යවලට රසක් වී ඇති අතර එය කියවන බොහෝ අයට ඒ දුක සැපක් වී ඇති බව පෙනේ.

මේ ලියවිලි හරහා එම ලිංගික අවස්ථා ලිවීම කොතරම් ආශ්වාදයක් ගෙනදී ඇත්ද යන්න එය ලියා ඇති ස්වරූප අධ්‍යයනයෙන්ම පැහැදිලිය. ඒ අනුව බලන කල දූෂණය කළවුන්ට වඩා දූෂණයක් මාධ්‍යය මගින් කරමින් තිබේ. එහි තවමත් ඉවරයක්ද නොපවතී.

මෙය මෑතක සිද්ධියක් නොවේ. කාලයක පටන් සිදුවීගෙන එන්නකි. මේ කතාව දෙස බලද්දී සමාජයට උගත හැකි පාඩම් බොහෝය. ඒ හුදු කතා රසයට එහා ගිය පාඩම්ය.

මේ වෛද්‍යවරයා හමුදා රෝහලේ වැඩ කරනු හමුදා සේවයට අනුයුක්ත වෛද්‍යවරයෙකි. ඔහු කපිතාන්වරයෙකි. ඔහු හමුදා රෝහලට අමතරව පෞද්ගලික රෝහලේ සේවය කොට ඇති අතර මේ හෙදිය සමග මිතුරුවන්නේ එතැනදීය. එය පේ‍්‍රම සබඳතාවකි. කෙසේ හෝ එය ලොකු සබඳතාවක් බවට මාධ්‍ය දෙහි ඇඹුල් දමා ලියන්නේ ලිංගිකව හැසුරුණු බව කියන්නටය. මේ අනුව දිගට පැවතෙන මේ සබඳතාව කෙළවර වන්නට ගොස් ඇත්තේ වෛද්‍යවරයා විවාහකයකු බව සැලවීමත් සමගය. ඉන්පසු මේ යුවතිය ඔහු අතහැරීමට උත්සාහ කළත් එය සිදුනොවුණු අතර ඒ වෙනුවට ඔහු බලහත්කාරයෙන් අවස්ථා කිහිපයකදීම තමන්ව රැුගෙන ගොස් සාමූහික දූෂණයකට ලක් කළ බව ඇය කියන කතාවය. ඇය සාමූහික දූෂණයකට ලක් කළේ ඇගේ සිය පවුලම ඝාතනය කරන බවට අනතුරු අඟවා බව ඇය කියයි. මේ බව හෙළි කළහොත් සිද්ධ වන විපාකය එය නිසා තමන් එය රහසක් ලෙස රකිමින් ඔවුන් අඬගසන වාරයක් පාසා ගිය බව ඇගේ කතාවය. මෙයින් උගතහැක්කේ කුමක්ද?

වෛද්‍යවරයාට හමුදා නාමයක් ඇති නිසා හමුදා සෙබළුන් තිරිසනුන් ලෙස අරුත් ගැන්වීම සිදුවේ. හමුදාකාරයකු මෙන්ම ඔහු තුළ වෛද්‍යවරයෙකුද සිටී. එසේ නම් වෛද්‍යවරුන්ද තිරිසනුන්ය. සැබැවින්ම මේ හැම කෙනකු තුළම තිරිසනුන් සිටිය හැකිය. තමන්ගේ නොවන දේ සාමූහිකව බෙදාගන්නට මේ අය ප‍්‍රියය. තම බිරිඳව මේ වෛද්‍යවරයා මේ ලෙස බෙදා ගනු ඇත්ද? ඔහු සමග සාමූහිකව මේ තරුණිය පරිහරණය කළ කිසිවකු තම බිරිඳ, සහෝදරියක හෝ දියණියක මෙලෙස හුවමාරු භාණ්ඩයක් ලෙස තලූ මරනු ඇත්ද? එහෙත් තමන්ගේ නොවන කෙළි බඩු උපරිමයෙන් විනෝදය සඳහා යොදා ගැනීම උමතුවක් නොවේද? හමුදා නිල ඇඳුම් ඇතුළෙහි මේ තත්ත්වය බහුලව ඇත. ඒ හයිකාරකමක්ද? ඒ නිල ඇඳුම් තුළ ඇති නිසාය. තම ආදරවන්තියට මෙසේ නම් මේ අය උතුරේ ගැහැනියකට කෙසේ සලකන්නට ඇත්දැයි අමුතුවෙන් කිව යුතුද?

එය ඒ පැත්තෙන් බලන කල මේ තරුණිය පැත්තෙන්ද කතාවක් කිව යුතුය. ඇය අද මේ සිද්ධිය නීතිය දක්වා රැුගෙන එන්නේ තමන්ගේ නිරුවත් ඡායාරූප තම සේවා ස්ථානයේ පරිගණක පද්ධතියෙහි දැකීමත් සමගය. මුලදී තම පවුලම ඝාතනය කරන බවට බිය වැද්දූ කල එයට බියවී මේ ගමන් ගිය ඇය පින්තූර පළවූ පසු එඩිතර වූයේ කෙසේද? පළමු වාරයන්හිදීම ඇයට එඩිතර වන්නට නොහැකි වූයේ ඇයි? මේ පින්තූර පළ නොවන්නට ඇය තව කී වාරයක් කී දෙනකු සමග මෙසේ හැසිරෙනු ඇත්ද? මේ අයුරින් බලන කල ඇයද බිය තුළ කිමිදෙමින් තමන්වම විනාශ කරගෙන නැත්ද?

අද ඇය තමන් අත්විඳි කතා පොලිසියට කී කල ඒවා පොලිසියද රස විඳ මාධ්‍යයට ලබාදීමත් සමග ඒවා කුණු මස් කෑල්ලක් බවට පත්වී එය කපුටන් බුදින රස බොජුනක් බවට පත්වී ඇත. අද ඇය භුක්ති විඳි ඉරණමට සිදුව ඇති සාධාරණය කුමක්ද? සාමූහික අතවරයන්ට ලක්වී මියැදෙන තරුණිය ලිංගික පහස ලැබූ හැටිද දිව්‍යඥානයෙන් දැක ලියන මාධ්‍ය කැළ මෙවැනි කතා දුන් කල තලූ මරනුයේ කෙළ පෙරමිනි. ඒවා ලියා ඇති අයුරු ඉතාම හිරිකිතය. ඔවුන්ද අර දූෂිතයන් මෙන්ම එවන් දෑ ලිවීම් හරහා මේ තරුණිය කොතරම් විනාශ වන්නේදැයි නොසිතති. වැදගත්ද කොට නොසලකති. ඇත්ත එයය.

අද සමාජය ඉල්ලනුයේද මෙවැනි කතාය. හමුදා වෛද්‍යවරයා සමග ඉංජිනේරුවෙක්ද තව හමුදා සෙබළුන් කිහිපදෙනෙක්ද මේ සිද්ධියට අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් බේරා ගැනීමට රටේ ඉහළ පාර්ශ්ව මැදිහත් වන බවද මාධ්‍ය පළ කොට තිබුණේ පොලිස් ආරංචි මාර්ග හරහාය. එයින් ගම්‍යවන්නේ පොලිසිය මේ සිද්ධියේදී තදින් ක‍්‍රියාකරන බවය. එය යහපත් වුවත් මෙම තරුණියගේ කටඋත්තර මාධ්‍යයට ලබාදෙමින් පොලිසිය කරනුයේ ඇයට කටඋත්තර නැති කිරීම බව නොවැටහෙන්නේ ඇයි? පොලිසිය තුළද සිටිනුයේ මේ සමාජය නියෝජනය කරන පිරිස්මය. ඒ අයද මේ කුණු රසට ප‍්‍රියය.
උසාවිය තුළද සිදුවන්නේ හාර හාරා ඇය ලිංගික පහස ලැබූ හැටි ප‍්‍රශ්න කිරීමය. හමුදා නිල ඇඳුමක් ඇඳ කුමක් කළද ඒ අය බේරාගැනීමේ ඉටුදෙවියා තමන් බව නීතිඥ අජිත් පතිරණ ඔප්පු කරනුයේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමිනි. ඕනෑම අයකු ඔප්පු වනතුරු සැකකරුවකුය. ඔවුන්ට නීතියේ පිහිට තිබිය යුතුය. නීතිඥ සහය තිබිය යුතුය. ඒ ගැන විවාදයක් නොපවතී. හෙදිය අකමැත්තෙන් සමූහ දූෂණය වුණු බවට සාක්ෂි නෑ යන්න අද එම නීතිඥ පාර්ශ්වවල තර්කයය. එසේ නම් කැමැත්තෙන් වුව මෙලෙස අයාලේ හැසිරිය හැකිද? වීඩියෝ ගතකර, නිරුවත් ඡුායාරූප ගෙන ඒවා ප‍්‍රසිද්ධ කර ඇගේ ජීවිතය විනාශ කළ හැකිද?

දෙපැත්තටම ඇති පදම් තර්ක කළ හැකිය. එහෙත් මේ තිරිසන් ක‍්‍රියාවලිය අනුමත කළ හැකිද? මේ අය බොහොමයක් විවාහකයන්ය. ඔවුන්ගේ බිරින්දෑවරු, ළමුන් මේ අය ස්වාමියා, පියා ලෙස හෙට දිනයේ බාරගනු නියතය. එහෙත් ඒ අය හදවතින් සමාව දෙනු ඇත්ද? බැලූ බැල්මට මෙය පළිගැනීමක් බව පැහැදිලිය. එයට කොතරම් සාධාරණ හේතු නීතිඥයන්ට පෙන්වා දිය හැකි වුවත් මේ නම් අමන වැඩකි. තිරිසන් වැඩකි. ඊට නිසි දඬුවම් දිය යුත්තේ මෙලෙස රවටන්නන් සහ රැවටෙන්නන්ටද පාඩමක් ලෙසය. බිය වැද්දීමකට සිය ජීවිතයම කාලකණ්ණි කර ගත යුතුදැයි මින් මතු හෝ සමාජය තුළ බොහෝ තරුණියන්ට සිතිය හැකිය.

මෙවැනි සිද්ධි එළියට එනුයේ බොහෝ කල් ඉකුත් වූ පසුවය. මේ හෙදිය වුව හෙට දවසේ මානසික රෝගියකු ලෙස දකින්නට හැකිවනු ඇත. ඇයට එලෙස කළ මහත්වරු නම් නියතවම මානසික රෝගීන්ය. එහෙත් එය නම් හෙළිදරව් නොවනු ඇත. මන්ද එය නියතයක් ලෙස ඔවුන්ගේ ශරීර තුළ ලැගුම් ගෙන ඇති නිසාය. මේ මහත්වරුන්ම නාවා ගෙට ගත හැකිය. එහෙත් මේ තරුණියට අනාගතයක් වේද? එය ඔවුන්ගේම මේ ජඩ මාධ්‍යයද නැවත නැවත විනාශ කරමින් සිටින්නේය. මේවා බලා හූල්ලනවාට එහා අරුතක් නැද්ද? උදේ හවා බණ අසන හාමුදුරුවරු ආගම අතහැර දේශපාලනය කරන රටක දොස්තරවරුන්ට, ඉංජිනේරුවන්ට ඇත්තේ මෙවැනි හුවමාරුකම් නම් හෙට දවස කෙසේ වනු ඇද්ද? මේවා පුදුම විය යුතු දේ නොවේ. එහෙත් සුළු කොට තැකිය යුතු දෑද නොවේ.