බන්දුල බැටදෙන රනිල්ගේ අලූත් පනත

මූල්‍ය විනිවිදභාවය පිළිබඳව වූ අලූත්ම චෝදනාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර තිබේ. පෙබරවාරි 20 දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡුාවදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් මෙම චෝදනාව ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ වගකීම ඇති පාර්ලිමේන්තුව හා මුදල් අමාත්‍යවරයා සතු බලතල ඉක්මවා කටයුතු කිරීමට අග‍්‍රාමාත්‍යවරයාට බලය හිමිවන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

සක‍්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත නම් වූ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වැළැක්විය යුතු බවත්, ඒ සඳහා සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කර ඇත.

මෙම පනත සම්මත වුවහොත් රට මූල්‍ය අර්බුදයකට ඇද වැටීම නවත්වන්නට බැරි බවත්, රාජ්‍ය ණය ප‍්‍රමාණයෙන් 10%ක් කවර හෝ තැනකදී කුමන හෝ පදනමකින් ණයට ගැනීමේ හැකියාව එමගින් ලැබෙන බවත්, 2017 වර්ෂයට අදාළව සම්මත වී ඇති විසර්ජන පනතට අදාළ නීතිමය තත්ත්වයන් මේ පනත් කෙටුම්පතට අදාළ නොවන බවත්, මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවත්, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් දැනුවත් කර ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා පෙළගැස්සීමට අපේක්ෂා කරන බවත් බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.

2018 ජනවාරි මස 19 දින ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ ෂෂ කොටසේ අතිරේකයක් වශයෙන් මෙම පනත් කෙටුම්පත මුද්‍රණය කර ප‍්‍රකාශයට පත්කර ඇති අතර එහි නාමය වන්නේ ‘සක‍්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ’ පනත් කෙටුම්පත යන්නය.
ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වන අග‍්‍රාමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම කෙටුම්පත ප‍්‍රකාශයට පත්කර ඇති අතර පනත් කෙටුම්පත නම්කර ඇත්තේ ‘ශ‍්‍රී ලංකාව තුළ රාජ්‍ය ණය කළමනාකරණය කරනු පිණිස සක‍්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා ශ‍්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත හෝ ණය එකතු කර ගැනීමට බලය ලබාදීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනතක්’ වශයෙනි.

පනතේ අරමුණ වශයෙන් සඳහන් වන්නේ ‘මධ්‍යකාලීන සිට දිගුකාලීන දක්වා වන කාල තුළ ආණ්ඩුවේ මුදල් අවශ්‍යතා සහ ගෙවීම් සම්බන්ධව වගකීම් විචක්ෂණශීලී අවදානම් මට්ටමකට අනුකූලව හැකිතාක් අවම පිරිවැයක් යටතේ දරනු ලබන බව සහතික කිරීම පිණිස රාජ්‍ය ණය කළමනාකරණය කිරීමය’ යන්නය.

පනත් කෙටුම්පතට අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමතය ඇතිව හා පනතේ විධිවිධානවලට අනුව ණයක් මගින් එකතු කරගත යුතු මුදල් ප‍්‍රමාණය, එම ණය ලබාගනු ලබන ආකාරය, පවත්නා ණය පෙරාතු මිලදී ගැනීම සහ පවත්නා ණය අලූත් ණය සමග හුවමාරු කිරීම ඇතුළු, එකී ආණ්ඩුවේ එම ගෙවීමේ වගකීම පියවීම සඳහා යෝග්‍ය බවට අමාත්‍යවරයා විසින් සලකනු ලබන ආකාරය ඇතුළු රාජ්‍ය ණය ප‍්‍රතිමූල්‍යනය සහ පූර්ව මූල්‍යයනය කිරීම සම්බන්ධයෙන් සහ එයට අදාළ ආනුෂංගික කාරණා පිළිබඳ තීරණය කරනු ලැබීමට අමාත්‍යවරයාට බලය ඇත. මෙහිදී අමාත්‍යවරයා වශයෙන් සඳහන් වන්නේ මුදල් විෂය භාර අමාත්‍යවරයාය. බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා චෝදනා කරන ආකාරයට අග‍්‍රාමාත්‍යවරයාට හෝ ඔහු විසින් දරනු ලබන ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාට එම බලය ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් ගනු ලබන එවැනි තීරණ ශ‍්‍රී ලංකා මහ බැංකු විෂය පවරා ඇති අමාත්‍යවරයා මගින් රෙජිස්ටාර්වරයා වෙත ලිඛිතව දන්වා යැවිය යුතු බවට වූ සඳහනක් ඇත. වර්තමානයේ මහ බැංකුව අග‍්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අතර ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයකදී සමහරවිට මෙතෙක් තිබූ ආකාරයටම ශ‍්‍රී ලංකා මහ බැංකුව මුදල් විෂය භාර අමාත්‍යවරයා යටතට පත්විය හැකිය. එවැනි තත්ත්වයකදී අග‍්‍රාමාත්‍යවරයාට මෙම පනතට ඇති සම්බන්ධය සහමුලින්ම ඉවත්වීමට හැකිය.

තවද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් කරනු ලබන චෝදනා සනාථ කරන කරුණුද මෙම කෙටුම්පතේ ඇත. ඉන් එකක් වන්නේ සමස්ත රාජ්‍ය ණය ප‍්‍රමාණයෙන් 10%ක් නොඉක්මවන මුදලක් ශ‍්‍රී ලංකාව තුළින් හෝ ඉන් පිටතින් ණය මුදලක් ලෙස එකතු කරගැනීම සඳහා යෝජනා සම්මතයකින් අනුමැතිය ලබාගැනීමට ඇති හැකියාවය. එමෙන්ම එසේ එකතු කරගනු ලබන ණය 2017 අංක 30 දරන විසර්ජන පනතේ විධිවිධානවලින්ද, ඊට පසු පනවන වාර්ෂික විසර්ජන පනතක විධිවිධාන අදාළවීමෙන්ද නිදහස් කර ඇත.

මේ වූකලී වත්මන් යහපාලන ආණ්ඩුව පසුගිය රාජපක්ෂ පාලනයේ ණයවලට අදාළව සිදුකරනු ලබන චෝදනාව නීත්‍යනුකූලව කිරීමක් නොවේද? යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ පාලනයට කරන චෝදනාව වන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියට පිටින් නීත්‍යනුකූල නොවන ආකාරයට හොර රහසේ ණය ලබාගෙන ඇති බවයි. මෙමගින් සිදුවී ඇත්තේද රාජපක්ෂ පාලනයට අදාළ එම චෝදනාවට ලක්වන ණය ගැනීමේ ආකාරය නීත්‍යනුකූල ආකාරයෙන් සිදුකිරීමට නීතිමය අවසර ලබාගැනීමක්ය.

පනතට අනුව අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක්ම එකී නියෝගය ගැසට් පත‍්‍රයේ පළකරන ලද දිනයේ සිට මාස තුනක් ඇතුළත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි සඳහන් වුවද, එසේ පාර්ලිමේන්තුව අනුමත නොකළ යම් නියෝගයක් බලරහිත වන්නේ එකී නියෝගය යටතේ කලින් කරන ලද කිසිවකට අගතියක් නොවන ආකාරයටය. ඒ අනුව යම් නියෝගයක් පාර්ලිමේන්තුව අනුමත නොකරන දිනයේ සිට පරිච්ýන්න වුවද එම නියෝගය ප‍්‍රකාර ඊට පෙර කටයුතු බලරහිත නොවේ. මේ මගින් සිදුවිය හැක්කේ පාර්ලිමේන්තුවේ අනුමැතියට පෙර සිදුවන ඕනෑම වැරදි නියෝගයකට අදාළ කටයුත්තක් නීත්‍යනුකූලවීමය. එම තත්ත්වයන් ගැටලූසහගත නොවේයැයි කිව හැකිද?

මෙම පනතේ ඇති වඩා බලවත්ම කාරණය වන්නේ මුදල් මණ්ඩලයේ යම් සාමාජිකයෙකු, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ යම් නිලධරයකු, සේවා නියුක්තිකයකු, සේවකයෙකු හෝ නියෝජිතයෙකු හෝ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ යම් නිලධරයෙකු, සේවා නියුක්තිකයෙකු, සේවකයෙකු හෝ නියෝජිතයෙකු වන්නා වූ කිසිම තැනැත්තකු තමා විසින් සද්භාවයෙන් ක‍්‍රියා කොට ඇති බවද සියලූ නිසි උද්යෝගය, සාධාරණ සැලකිල්ල සහ නිපුණතාව දක්වා ඇති බවද ඔප්පු කරන්නේ නම්, ඔහු විසින් මේ පනත යටතේ හෝ ඒ යටතේ නිකුත් කරන ලද හෝ සාදන ලද යම් නියෝගයක්, නියමයක්, තීරණයක් හෝ විධානයන් යටතේ සිය වගකීම ඉටුකිරීමේදී හෝ ඉටුකිරීමට අදහස් කිරීමේදී කරන ලද හෝ කරන දැයි කියනු ලබන යම් දෙයක් සම්බන්ධයෙන් යම් සිවිල් හෝ අපරාධ නඩුවකට හෝ වෙනත් නඩු කටයුත්තකට යටත් නොවිය යුතු බව සඳහන්වීමය.

වැරදි ක‍්‍රියා සිදුකරනු ලබන කිසිවකු හෝ වැරදි නියෝග ඉටුකරනු ලබන කිසිවකු හෝ තමා අසත්භාවයෙන් කටයුතු කළා යැයි කිසිවිටක කියන්නේ නැත. ඔවුන් සැමවිටම කියනු ලබන්නේ එම වැරදි ඔවුන් සද්භාවයෙන් කරනු ලැබූ බවය. මේ සද්භාවය මනින්නේ කුමකින්ද? මේ සද්භාවය ඔප්පු කරන්නේ කාටද, කොතැනකදීද?

පසුගිය ජනාධිපතිවරණයට අදාළ සිල්රෙදි නඩුවේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා එහි අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට කීවේද ඔවුන් සද්භාවයෙන් කටයුතු කළ බවය.

මෙහිදී අපගේ සිහියට නැගෙන්නේ 1977දී බලයට පත් එජාප ආණ්ඩුවේ එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ ලලිත් ඇතුළත්මුදලි 1979දී ගෙන ආ ත‍්‍රස්්තවාදය වැළැක්වීමේ පනත හා එම පනත යටතේ ක‍්‍රියාකිරීමේදී ආරක්ෂක අංශ සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ආ වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනතය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අංශ සාමාජිකයන් සිදුකරන කිසිදු අපරාධයකට හෝ වැරදි ක‍්‍රියාවකට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඉඩ ලැබුණේ නැත.

සක‍්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනතේ සඳහන් ‘සද්භාවය’ද මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා ඇතුළත් කරන ලද්දක්ද? සාකච්ඡුා කළයුත්තේ මෙම පනතේ ඇති එවැනි ගැටලූසහගත කරුණු කාරණා පිළිබඳවය.