රාවය

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම

විජයානන්ද ජයවීර

රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යක් පවත්වාගෙන යාමට විකාශන බලපත‍්‍රයක් ලැබූ අයෙකුට අන්මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප‍්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡුා කළ යුතු ප‍්‍රශ්නයක් බව මෑතදී ඇතැම් විද්‍යුත් මාධ්‍යක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි. බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල විද්‍යුත් මාධ්‍යයක් පවත්වාගෙන යාමට විකාශන බලපත‍්‍රයක් දෙනු ලබන්නේ එය තමන්ගේ මතය ප‍්‍රචාරය කිරීම සඳහා යොදා නොගත යුතුය යන අනුල්ලංඝනීය කොන්දේසිය මතයි. නෛතික වශයෙන් පමණක් නොව මාධ්‍ය සදාචාරය අතින්ද මේ කොන්දේසිය ඉතා වැදගත් වේ. ඒ ඇයිද යන්න පැහැදිළි කිරීම මේ කෙටි ලිපියේ අරමුණයි.

පුවත් පත් හා තොරතුරු වෙබ් අඩවි වැනි සැමකෙනෙකුටම වාගේ පවත්වාගෙන යා හැකි මාධ්‍ය වර්ග මෙන් නොව විද්‍යුත් මාධ්‍ය නාලිකාවක් විකාශනය කිරීම සඳහා මහජන දේපළක් වන විකාශන සංඛ්‍යාත භාවිත කිරීමට බලපත‍්‍රයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. එසේ ලබාදිය හැකි සංඛ්‍යාත ප‍්‍රමාණයෙන් සීමිත බැවින් විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත‍්‍ර හිමියන්ගේ සංඛ්‍යාවද සීමා කළ යුතු වේ. ඒ අනුව විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත‍්‍ර හිමිකරුවෙකු වීම යන්නම සමාජයේ අන් අයට නොලැබෙන විශේෂ වරප‍්‍රසාදයකි. මේ වරප‍්‍රසාදය සමග බැඳුනු වෘත්තීය හා සමාජ වගවීම් ද වෙයි. ලාභය ලැබීම සිය අරමුණ විය හැකි වුවද විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍රකරුට නිශ්චිත කාලසීමාවක් සඳහා විකාශන සංඛ්‍යාත පවරා දෙනු ලබන්නේ එමගින් ලබාදෙන තොරතුරු නිරවද්‍යව මෙන්ම පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව ඉදිරිපත් කළ යුතුය යන කොන්දේසිය ද මුල් කරගෙනයි.

හැම රට වැසියෙකුටම තමතමන්ට අභිමත මතය විකාශකය කිරීමට අසීමිත විද්‍යුත් මාධ්‍ය සංඛයාවක් පවත්වාගෙන යා නොහැක. එනිසා විවාදාත්මක කරුණක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විට බලපත‍්‍රහිමි විද්‍යුත් මාධ්‍යයක් විසින් කළ යුත්තේ තම මතය හිතුවක්කාරී ලෙස මහජනයාට පැටවීමට තැත් කිරීම නොව එම කරුණ ගැන පක්ෂ විපක්ෂ වැදගත් මත නියෝජනය කළ හැකි නියමු මතවාදීන්ගේ, විෂය විශේෂඥයන්ගේ අදහස් හා එකී මතවාද සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප‍්‍රමුඛ විශ්වසනීය ප‍්‍රතිචාර සිය අසන්නන්ට හෝ නරඹන්නන්ට දැන ගැනීමට සැලැස්වීමයි. එසේ නැතිව මහජන මතයට ආදේශකයක් ලෙස විද්‍යුත් මාධ්‍ය හිමිකරුගේ මතය තම සේවකයන් ලවා ඉදිරිපත් කිරීම අශික්ෂිත කමකි.මෙම අශික්ෂිතකම නොසලකා හැරිය හොත් විද්‍යුත් මාධ්‍ය සඳහා මුදල් ආයෝජනය කළ හැකි බලපුළුවන් කාරයන් අතලොස්සකට තමන්ට අභිමත පරිදි මහජන මතය හැසිරවීමට ඉඩදීමට සිදුවේ. එය ජනමාධ්‍ය නිදහස නොවේ.

තමන්ට අභිමත දේශපාලන පක්ෂයකට සහයෝගය දැක්වීමට විද්‍යුත් මාධ්‍යට ඉඩ සලසන වගන්තියක් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මැතිවරණ පැවැත්වීම පිළිබඳ සකසා තිබූ මුල් කෙටුම් පතක අඩංගු විය. ඕනෑම අයෙකුට පළ කළ හැකි පුවත් පතකට එවැනි අයිතියක් තිබිය හැකි නමුත් සීමිත මහජන සම්පතක් භාවිත කරන විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍රලාභීන් අතලොස්සකට එවැනි බලයක් ලබා දීම සමස්ත මැතිවරණ ක‍්‍රියාවලියම විකෘත කල හැකි අකටයුත්තක් බව එකල අපි පෙන්වා දුනිමු. එවැන්නකට ඉඩදුන්නොත් වාණිජ විද්‍යුත් මාධ්‍ය පක්ෂපාතීත්වය ඉහළ ලංසුවකට හෝ වරදානවලට ලබා ගත හැකි බලපුලූවන් කාරයන් අතලොස්සකට මැතිවරණය වාසිදායක ලෙස හැසිරවිය හැකිය. අවසානයේ දී වාසනාවකට මෙන් එම යෝජනාව ඉවත් කර ගත්තේය.

මාධ්‍ය මෙහෙයවන්නාගේ මතය ඍජු ලෙසම ප‍්‍රචාරය කිරීමට රජයේ මාධ්‍යද යොදා ගැනීම ද සුලබ දෙයකි. කලකට පෙර රජය සතු විද්‍යුත් මාධ්‍යක සභාපතිවරයා තම ස්වාමින්ගේ අබිමතයට අනුකූල වන අන්දමට වෙනත් මතවාදීන්ට ඉතා අශ්ලීල ලෙස පහර ගැසීමට සිය මාධ්‍ය යොදාගත්තේය. පහර කෑ අයට තම අදහස කියා පෑමට හැකියාවක් නොවීය.

සංදර්භය වෙනස් විය හැකි වුවත් මෙයට දෙවැනි නොවන මාධ්‍ය දුරාචාරයක් මෑතකදී නිරීක්ෂණය විය. ඒ සිද්ධියට පාදක වූයේ කිසියම් විකාශන සංඛ්‍යාත ප‍්‍රමාණයක් අයථා ලෙස එක්තරා විද්‍යුත් මාධ්‍ය ජාලයකට පවරා ඇතැයි ප‍්‍රධාන පෙළේ විපක්ෂ දේශපාලනඥයෙකු විසින් කරන ලදැයි කියන ප‍්‍රකාශයකි. එහිදී අදාළ විද්‍යුත් මාධ්‍ය සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතර තුර එම ආයතනයේ සේවකයෙකුට කැමරාව ඉදිරියට කඩා පැනීමට ඉඩ සලස්වා, අඩෝ අපේ ගනුදෙනු හොයන්න උඹ කවුද?. උඹේ දූෂණ ගැන කප්පරක් තොරතුරු අපි ළග තියෙනවා, වැනි අදහසක් ගම්‍ය වන ලෙස එම දේශපාලනඥයාට තර්ජනය කළේය. වග කිව යුතු වෘත්තීය ජනමාධ්‍යක් නම් එවැනි චෝදනාවකදී කළ යුතුව තිබුණේ එකී දේශපාලනඥයාගේ චෝදනාව පිළිබඳව පිළිතුරු සැපයිය හැකි සුදුසුම ආයතනය වන විදුලි සංදේශ අධිකාරියේ ප‍්‍රතිචාරය නරඹන්නාට දැන ගැනීමට සැලැස්වීම මිස චෝදකයාට චණ්ඩිකම් පෙන්වීමට සිය විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍රය යොදා ගැනීමට නොවේ. ඒ සිදුවීම නරඹන්නන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන සුලූ වෘත්තීය දුරාචාරයක් විය.

ලංකාවද ඇතුළුව රටවල් 54 ක විද්‍යුත්මාධ්‍ය සංවිධාන නියෝජනය කරන පොදුරාජ්‍ය මණ්ඩලයීය විද්‍යුත් මාධ්‍ය සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය සංස්කරණ මගපෙන්වීම් (Editorial Guidelines)  මාලාවට අනුව වාණිජ, දේශපාලනික හා පුද්ගලික බැඳියාවන් මත විද්‍යුත් මාධ්‍ය සංස්කාරකයන් වැඩසටහන් අන්තර්ගතය පිළිබඳ සිය තීරණ නොගත යුතු බවත් වාර්තාකරණයේදී හා වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී තමන්ට අභිමත මතයට පක්ෂග‍්‍රාහීවීම නොකළ යුතු බවත් වෙසෙසින් සඳහන් වේ.

මෙහිදී පක්ෂග‍්‍රාහී නො වීම යන්නෙන් අදහස් කරන්නේ මතභේදයට තුඩුදෙන මාතෘකා සම්බන්ධයෙන් වැඩසටහන් ඉදිරිපත් නොකිරීම නොවේ. මතභේදාත්මක වැඩසටහන ඉදිරිපත් කළ යුතුමය. එහෙත් එසේ කිරීමේදී කිරීමේදී විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍රලාහියාගේ මතය ඉදිරිපත් කිරීමට තැත් කිරීම වෙනුවට කළ යුත්තේ අපක්ෂපාතී ලෙස එවැනි වාද විවාදවලට වේදිකාව සපයා දීමයි. මෙහිදී අදාළ විද්‍යුත් මාධ්‍යයේ් අපක්ෂපාතීවීම නිරූපණය වන්නේ විවාදයට තුඩුදෙන කරුණ සම්බන්ධයෙන් වඩා වැදගත්වන පක්ෂ, විපක්ෂ මධ්‍යස්ථ මත ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තමන්ට අභිමත තීරණයකට එළඹීමට අසන්නාට හෝ නරඹන්නාට ඉඩකඩ සැලසීමයි.

එවැනි අවස්ථාවල දී මතහේදයට තුඩුදෙන වැඩසටහන්වල මාතෘකාව බවට පත්වියහැකි පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට ද ඒ වැඩසටහනට සහභාගී වීමට අනිවාර්යයෙන්ම ඇරයුම් කළයුතුය. එසේ සහභාගිවීම ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ඒ බව වැඩසටහන මෙහෙයවන්නා විසින් නරඹන්නන්ට දැනුම් දෙනු ලැබිය යුතුය. එහෙත් එවැනි අවස්ථාවලදී සහභාගී නොවන අයගේ මතය නොසලකා හැරීමට හෝ විකෘත කොට දැක්වීමට ඉඩ නොතබා එම මතය පිළිබඳව අනෙකුත් සහභාගිවන්නන්ගේ ප‍්‍රතිචාරය ලබා ගැනීමට වැඩ සටහන මෙහෙයවන මාධ්‍ය වේදියාට වෘත්තීය නිපුණත්වය හා අදීන බව තිබිය යුතුය.

අනෙක් වැදගත් කාරණය එවැනි මතභේද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාකාච්ඡා කිරීමට මැදිහත්වන අය එම කරුණ පිළිබඳ මතවාද පළ කිරීමට සුදුසුම පුද්ගලයන් බව අසන්නන්ට හා නරඹන්නන්ට දැනගැනීමට සැලැස්වීමයි. බැලූ බැල්මටම බලපත‍්‍රහිමියාගේ සේවකයන් මෙන් පෙනෙන තුන් හතර දෙනෙකුට ටයිකෝට් ඇන්දවීමෙන්ම පමණක් එය ඉටු නොවේ.

කරුණුමය සත්‍ය විකෘත නොකරණතාක් කතුවැකි වැනි දෑ මගින් සිය මතය කියා පෑමට පුවත් පතකට අයිතියක් තිබෙන මුත් සීමිත මහජන දේපළක්වන සංඛ්‍යාත භාවිත කිරීමට බලපත‍්‍රයක් ලබාගත් අයෙකුට හුදෙක් එය තමන්ගේ මතය කියාපෑමට හෝ තහවුරු කිරීමට යොදා ගත නොහැකිය. පුවත්පත් මෙන් නොව මහජන යහපත මුල්කොට විද්‍යුත් මාධ්‍ය ස්වාධීනව නියාමනය කිරිමේදී විද්‍යුත් මාධ්‍යයේ අන්තර්ගතය පිළිබඳ සුවිශේෂ කොන්දේසි ඇතුලත් කරන්නේ අයිතියේ ඇති සීමිත බව පමණක් නිසා නොව අන් මාධ්‍ය හා සසඳන විට තමන් සතු සමාජයම බලපෑම අවභාවිත කිරීමට විද්‍යුත් මාධ්‍යට ඇති හැකියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට තර්ජනයක් විය හැකි බැවිනි.

යටකී නිදර්ශන වලින් පෙනෙන්නේ බලපත‍්‍රහිමියාගේ බලපුලූවන්කාරකම් වලින් තොර වෘත්තීයමය සංස්කරණ නිදහසක් ලංකාවේ විද්‍යුත් මාධ්‍ය තුළ සහතික කර නොමැති බවය. වෘත්තීය සදාචාරය නොතකා බලපත‍්‍රහිමියාගේ අභිමතයට අනුව කටයුතු කිරීමට ඒවායේ සේවයේ නියුතු විද්‍යුත් මාධ්‍ය සේවකයන්ට බල කරනු ලැබ තිබේ. විද්‍යුත් ජන මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වන්නේ ආණ්ඩු වලින් හා බලකණ්ඩායම් වලින්ම පමණක් නොවේ. තම දේශපාලනික අභිමතය සාක්ෂාත් කරගැනීමට විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර අවභාවිත කරණ හිමිකරුවන්ද ජනමාධ්‍ය නිදහසට තර්ජනයකි. ජන මාධ්‍ය නිදහස කියන්නේ ම සියලූ ආකාරයේ බලපෑම් වලින් තොරව තම ආයතනය තුළ අදීනව සිය වෘත්තීය කටයුතු ඉටු කිරීමට ජනමාධ්‍යකරුවන්ට ඇති නිදහසට හැර අන් කිසිවකට නොවේ.

මේ නිසා තවමත් නිසි ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන ක‍්‍රමයක් නොමැති අපේ රටේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති මෙවැනි අනාචාරීය හැසිරීම් ජනමාධ්‍ය හිමියන්ගේ හා ජනමාධයවේදීන්ගේ වෘත්තීය සංවිධාන තුළද මහජන සංවිධාන, වෘත්තිකයන්, විද්‍යාර්ථින් හා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අතරද බරපතළ ලෙස සාකච්ඡුාවට ලක් විය යුතුය.