නායකත්ව පුහුණුවට බිලිදීම

පනස් තුන් හැවිරිදි කාන්තාවක් අඩි හතළිහක් උස ඉනිමගක නැගීම සහ පසුව කඹයක ආධාරයෙන් බිමට බැසීම අනුමත කළහැක්කේ උමතුවූවන්ට හැර වෙන කාටද? මේවා අකමැත්තෙන් වුව කළයුතු වැඩ බවට පත්ව ඇත්තේ රාජ්‍ය සේවකයන් මේවායේ ගොදුරුම බවට පත්ව ඇති නිසාය. මේ නායකත්ව පුහුණුව නැතිව පාසලක් පාලනය කළ නොහැකිද? උඩ නැග කඹයක එල්ලී පහළට බැස්ස විට ගොඩනැගෙන නායකත්වය කුමක්ද?

විදුහල්පතිවරුන්ට/වරියන්ට නායකත්ව පුහුණුව ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහන් ආරම්භය පහුගිය ආණ්ඩුවෙන් සිද්ධ කරද්දී ඊට ආ විරෝධතා එමටය. එහෙත් අදටත් එයට ස්ථිරසාර පිළියම් නොමැතිය. මේ විකාර නායකත්ව පුහුණුව අහිංසක ජීවිතයක් බිමට ඇද දමා මියදෙන්නට හරිද්දීත් එය නවතා දමන අයුරු නොපෙනේ. අධ්‍යාපන ඇමති අකිල විරාජ් සුපුරුදු පරිදි ‘‘පරීක්ෂණයක් පවත්වනවා” යන වාක්‍ය ජප කර තාවකාලිකව නායකත්ව පුහුණුව නවත්වන්නට අණදී ඇත. එතැනින් එහාට කිසිවක් සිදුනොවන බව කිව යුතුය.

සැමදේම තාවකාලිකය. නායකත්ව පුහුණුව අතර විදුහල්පතිනිය මියයෑම මේ දිනවල කතාබහය. රටේ කතාබහට ඕනෑතරම් මාතෘකා තිබියදී මේ තවත් එක් මාතෘකාවක් පමණි. එබැවින් හෙට අනිද්දා වනවිට මෙය බොහෝ අයගේ මතකයෙන් මැකී යනු ඇතිය. එය එම පවුලේ සහ ඥාතීන්ගේ මතකයක්ව පමණක් ඉතිරි වනු ඇත. තව මෙවන් සිද්ධියක් වුණොත් ඊට මෙයද ඈඳෙනු ඇත. එසේ නොවන්න මේ හැම දේ කඹයක එල්ලී පහළ බහින තරම්ම ලිස්සා යෑමකට එහා අරුතක් නොසපයනු ඇත.

ගිය ආණ්ඩු සමයේ විදුහල්පතිවරු කර්නල්ලා දක්වා උසස් කරන විට එය උමතුවක් බව පෙන්නා දුන්නද පළක් නොවීය. එවකට පාලකයන් උමතුවූවන් බැවින් ඒ කිසිවක් මායිම් නොකළේය. නායකත්ව පුහුණුව විකාරසහගත බව කීවද ළහිරු නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මියගියද එය එවකට පාලකයන් පිළිනොගත්හ. ඉන්පසුවද තත්ත්වය වෙනසක් නොවීය.

නායකත්ව පුහුණු හරහා සිද්ධවන්නේ හමුදා පුහුණුවකට සමාන පුහුණුවකි. යුද්ධයෙන් පසු රණවිරු රෝගය බෝ වූ රටක සෑම ක‍්‍රියාවකටම රණවිරු උපදේස ගැනීම උපහාරයක් විය. නායකත්ව පුහුණුව කියමින් කඹවල එල්ලී යෑම ඉණිමගවල්වල නැගීම, බඩගෑම, උසකින් පැනීම වැනි ප‍්‍රාථමික පුහුණු ගණනාවක්ම විය. ඒවායින් නායකත්වයක් ගොඩනැගෙන්නේ කෙසේද යන්න කිසිවෙක් අධ්‍යයනයක් නොකළේය. එදා උමතුවෙන් ආරම්භ කළ එම වැඩසටහන් කිසිදු වගවිභාගයකින් තොරව මේ ආණ්ඩුවද එලෙසම කරගෙන ආහ. දැන් ඉතිරිව ඇත්තේ පරීක්ෂණයක් පවත්වනවා කියා ඇඟ බේරා ගන්නටය. පරීක්ෂණයට අනුව අවුරුදු පනස් තුනක කාන්තාවක් අඩි හතළිහක පමණ උසක සිට එල්ලී බහින්නට පෙර එය කළයුතුද යන්න සිතා බැලීමට දැනුමක් තිබිය යුතුයැයි තීන්දු කළද පුදුමවිය යුතු නැත.

රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය මෙලෙස මියගියේ කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකළ පුහුණුවක් අතර වාරයේදීය. ඇය හම්බන්තොට ‘සුචි’ ජාතික පාසලේ විදුහල්පතිනියය. පනස් තුන් හැවිරිදිය. ඇය දරුවන් සිව්දෙනකුගේ මවකි. ඇයට මේ ඉණිමං නැගීම, එල්ලී බැසීම, බඩගෑම නොකළේ නම් මේ කාන්තා පාසල පවත්වාගෙන යා නොහැකිද?

තව කාලයක් ගතවන්නට දී පරීක්ෂණත් කුණු කූඩයට යනු ඇත. නැවත නායකත්ව පුහුණුව සුපුරුදු පරිදි පැවැත්වෙනු ඇත. මරණයට හේතුව දිරච්ච කඹය කියා වුව ඇඟ බේරාගත හැකිය. එවැනි අපූරු පන්නයේ බඩු ලෙස අධ්‍යාපන ඇමති ප‍්‍රමුඛ නිලධාරීන් හැඳින්විය හැකිය.

ඇය මිය යනුයේ උසක සිට එල්ලී බසින විට කඹය කඩා වැටීමෙන් හිස බිම වැදී මොළයේ අභ්‍යන්තර ලේ වහනය වීම නිසාද? ඇගේ සැමියා මාධ්‍යයට කියුවේ තම බිරිඳ අඩි 40ක සිට උස ඉණිමගකින් පහළට බැසීමේදී කඹය අතහැරී බිම ඇද වැටීමෙන් මේ තත්ත්වය ඇතිවූ බවය.
විශ්වවිද්‍යාල සිසුන්ටද මේ පුහුණුව ලබාදෙන අතර ඉන් එක් ශිෂ්‍යයෙක් මිය ගියේය. තරුණ පිරිසටත් එය ඔරොත්තු නොදෙන කලක වයස අවුරුදු පනහ ඉක්මවූ විදුහල්පතිවරුන්ට මෙවන් පුහුණුවක් දීම අනුමත කළ හැකිද?

මෙවන් පුහුණුවකට යැවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අපමණය. ඇගේ වයස එහි ප‍්‍රමුඛතාව විය යුතුය. විදුහල්පතිවරු බහුතරයක්ම පනහ ඉක්මවූවන්ය. අද දවසේ වයස අවුරුදු පනහ ඉක්මවූවන් නොව හතළිහෙන් පසුවුවද සිටිනුයේ ලෙඞ්ඩුන්ය. එවැනි පිරිස්වලට මේ පණවනුයේ අනිවාර්ය පුහුණුවක්ද? අනිවාර්ය නොවන්න මේ කිසිවකු මෙවැනි සෙල්ලම් ක‍්‍රියාකාරකම් කරනු ඇතැයි සිතිය නොහැකිය. මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත්වීම කෙසේ වෙතත් මේවාට යොදා ගන්නා කඹ ශක්තිමත්ද කියා හෝ බලන අයුරක් නොපෙනේ. එවැනි ක‍්‍රියාකාරකම්වලදී අනුගමනය කළයුතු ආරක්ෂිත පියවරවල් හෝ නොමැති බව පැහැදිලිය. එබැවින් මෙවැනි සිද්ධියක් වී ජීවිතයෙන් වන්දි ගෙවන තුරු ඒ ගැන කිසිවකුගේ ඇස් කන් නොඇරේ.

එදා රාජපක්ෂලා මේ පුහුණුව ආරම්භ කළ විපක්ෂයේ සිටි එජාපය පවා විරුද්ධ වූවා මතකය. එහෙත් යහපාලනය පැමිණ ටික කලක් මෙය නවතාද තිබුණි. එහෙත් කෙටි කලකින් නැවත එය ඇරඹීය. මේ එහි ප‍්‍රතිඵලය.
අධ්‍යාපන ඇමති අකිල විරාජ්ට නම් මෙය එතරම් සිද්ධියක් නොවන බව පැහැදිලිය. ව්‍යාජ පරීක්ෂණයට එහා කිසිවක් නොවනු නියතය. මේ නායකත්ව පුහුණු අවැසිද යන්න අද දවසේ ඇති කළ යුතු ප‍්‍රබල කතිකාවක්ය. මේවා කල් නෑර කළයුත්තේ එයට තව කොතෙක් වන්දි ලෙස ජීවිතය පූජා කළ යුතු නැති බැවිනි. විදුහලක් පාලනය කරන්නට කඹවල එල්ලී බැසිය යුතු නැත. ඒවා දේශපාලකයන් කළයුතු අනිවාර්ය අංග වූවාට කම් නැත. එවිට එකකු දෙන්නකු නොව ඊට වැඩි පිරිසක් කඩා වැටී මියගියද එය රටට යහපතක් වන බැවිනි.
මෙය අකාලයේ මියගිය මරණයක් ලෙස හැඳින්විය නොහැකිය. මෙය සැලසුම්සහගත මරණයකි. එනම් වයසක් ගැන හෝ නොසැලිකිලිමත්ව කරන මෙවන් ක‍්‍රියාකාරකම් මිනිසුන් මරන්නටම කරන වැඩය. නායකත්ව පුහුණුවක් කියමින් මෙවැනි බොරු ක‍්‍රියාකාරකම් නැවත නැවත කරනුයේ මේ අධ්‍යාපන බලධාරීන්ගේ සිහිවිකල් වී ඇති නිසාද? අදටත් එයට එරෙහිව කිසිම කතිකාවක් නැත. අධ්‍යාපන ඇමති එය නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගන්නේ පරීක්ෂණ පවත්වන බව කියාය. මේ හැම තත්ත්වයකින්ම පෙනෙනුයේ මේ ආණ්ඩුවටද කිසිදු නව දැක්මක් නැති බවය. අකිල විරාජ් වැනි ටැබ් මානසිකත්වයෙන් සිටින ඇමතිවරු වයසක ගුරුවරු කඹවල එල්ලෙන්න හරිනුයේ ඇයි?

මෙම නායකත්ව පුහුණුවට අදාළ ලිපිලේඛන සහ පුහුණුව භාරව කටයුතු කළ නිලධාරියා මාර්තු 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මරණ පරීක්ෂකවරයා විසින් මරදාන පොලිසියට දැනුම් දී ඇත. මේ යන රටාව අනුව කිසිවක් සිදුනොවනු ඇත. මෙයට අධ්‍යාපන ඇමති ප‍්‍රමුඛ නිලධාරීන් සියල්ල වගකිව යුතුය. එය එක් අයකු පිට පටවා ඇඟ බේරාගත හැකි නොවේ.

එහෙත් අවසානයේ මේ විදුහල්පතිනිය බැරි වැඩ නොකර සිටියේ ඇයිද යන පැනය මේ බලධාරීන් සහ ඇමති විමසුවද අප පුදුම නොවිය යුතුය. මන්ද බොහෝ දේවල්වල අවසානය එබඳුය.