රාවය

ගම්මිරිස් ප‍්‍රතිඅපනයනයේ ඇතුල් පැත්තේ කතාව

ගම්මිරිස් ප‍්‍රතිඅපනයනයේ ඇතුල් පැත්තේ කතාව

රසික ගුණවර්ධන

පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරක රැුලියකදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන්නේ දැනට සිදුවන ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය මුළු මුලින්ම තහනම් කරන බවකි. ඇත්ත කියන්නේ කාටද බොරු කියන්නේ කවුද යන්න දැන් සොයා බැලිය යුතුව ඇත. මේවන විට ගම්මිරිස් මිල සීග‍්‍රයෙන් පහළ බැස ඇත. ඒ නිසාවෙන් ගම්මිරිස් ගොවියා දැන් සිටින්නේ ඉතා අසීරු අඩියකය. ලංකාවේ ගම්මිරිස් ගොවීන්ගේ ප‍්‍රමාණය ලක්ෂ හතරකට ආසන්නය. මේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව අප යම් සොයා බැලීමක් සිදු කළෙමු.

ඌව පරණගම කඳු පල්ලම්වලද, කඳු වැටිවලද, තැනිතලාවලද වැවූ ගම්මිරිස් වගාබිම් පසුකරමින් අප ගමන් කරමින් සිටියෙමු. ඒ ගම්මිරිස් වගා කරුවන් හමුවීමටය. ඇතැම් තැනක බැලූ බැල්මට නඩත්තුවක් නැත්තා සේ පෙනෙන ගම්මිරිස් වගා බිම්ය. ඇතැම් තැනක කම්කරුවෝ බිම් සුද්ද කරමින් සිටිති. වියළි පොළොව මත උදැල්ල වැදී දුහුවිලි දුමාරය මතුවෙයි. විටෙක ඔවුහු විඩාව නිසා එසවූ හිස් ඇතිව අප සමඟ සිනාසෙති. අවසානයේ අප වැලිමඩ, ඌව පරණගම ගම්මිරිස් වගා කරුවන් මුණ ගැසුනෙමු. මේ ඔවුන්ගේ කතාවයි.

වගාව

ගම්මිරිස් වාණිජ කෘෂි භෝගයක් වුවත් එහි අස්වැන්න වර්ෂය පුරාම ලැබිය හැකි නොවේ. ගම්මිරිස් වගාව යනු වර්ෂය පුරාම නඩත්තු කටයුතු සිදුකර එක් වරක් අස්වැන්න නෙලාගන්නා භෝගයකි. ඒ නිසා ගම්මිරිස් සඳහා දැරිය යුතු පූර්ව වියදම ඉතාම ඉහළය. සාමාන්‍යයෙන් ගම්මිරිස් කිලෝ එකක් සඳහා වැයවන නිෂ්පාදන වියදම රුපියල් හාරසියයක් පමණ වෙයි. මේ නිසා ගොවීහු ගම්මිරිස් වලින් සැලකිය යුතු තරමේ මිලක් බලාපොරොත්තු වෙති.
ගම්මිරිස් සඳහා උචිතම බිමක් පවතින්නේ ලංකාවේ පහතරට හා මැදරට තෙත් හා අතර මැදි කලාපවල ය. ගම්මිරිස් සඳහා යොදාගන්නා බිම ඒ සඳහා උචිත ලෙස සැකසිය යුතුය. අවශ්‍ය ආධාරක සිටුවිය යුතුය. භෝග ඉන්දවීම සිදු කළ යුතුය. එසේම මෙහිදී යොදා ගන්න පැළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඒවා විය යුතුය. එසේ නොවූ විට වගාව සහමුලින්ම අභාවයට ගොස් යෙදූ සමස්ත ආයෝජනයම අපතේ යයි. ඒ නිසා ගම්මිරිස් වගාවේ නිරත වීමේදී ඒ සඳහා විශාල සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ පිළිබඳව අදහස් දැක්වූ ගම්මිරිස් වගාකරුවෙකු වන ජී.එච්.ගුණසිංහ,මෙසේ කීවේය. ‘‘දැන් ගම්මිරිස් පැළ විවිධ ඒවා තියනවා. ගොඩක් ඉන්දියාවෙන් ගෙන්නපු පැළ. සමහර ගොවීන් දේශීය ගම්මිරිස් ප‍්‍රභේදම පාවිච්චි කරනවා. ඉන්දියාවෙ ඒවා සමහරක් හොඳ වුණත් සමහර ප‍්‍රභේ්ද හොඳ නෑ. අපනයන එකෙන් හඳුන්වලා දුන්න සමහර ප‍්‍රභේදවලට වෙළෙඳපළේ හොඳ මිලක් නෑ, සමහර ඒවාට ලෙඩ. ලෙඬේ අනිත්වටත් ගියොත් වගාවම ඉවරයි. ඔය වගේ අවදානමක් අරගෙන තමයි අපි වැඩ කරන්නේ.”

එසේම ගම්මිරිස් ප‍්‍රභේද අනුවද ඒවායේ ආයු කාලය තීරණය වේ. සාමානයෙන් ලංකාවේ දේශීය ගම්මිරිස් ප‍්‍රභේදය ආයු කාලයෙන් ඉහළය. එහෙත් මීට අවුරුදු දහයකට පමණ පෙර හඳුන්වා දෙනු ලැබූ පැණි මෝරු නම් විශේෂය එතරම් සාර්ථක නොවන බව ඇතැම් ගොවීන්හු කියති.

‘‘ලංකාවේ දේශීය ගම්මිරිස් වර්ගෙ හොඳට අල්ලලා හිටිනවා. අපේ වත්තෙ සමහර පැළ අවුරුදු සීයක් විතර පරණ ඒවා,ඒවගේ තාම ඵලදාව තියනව.ඒ වුණාට ඉන්දියාවෙන් ගෙනාපු පැණි මෝරුවල පොඩි පොඩි ලෙඩ තියනවා. හිටි ගමන් වැල කහ වෙලා මැරිලා යනවා” ඒ වැලිමඩ, ඌව පරණගම ජයරත්න ගොවි මහතාය.

වියදම්

සුදුසු පැළ තෝරාගෙන වගා කිරීමෙන් අනතුරුව අස්වැන්න නෙලීම සඳහා අවුරුදු තුනක පමණ කාලයක් ගතවේ. ඒ අතරතුර පොහොර යෙදීම්, අතු කැපීම්, බිම් සුද්ද පවිත‍්‍ර කිරීම් ආදී කාර්යයන්වල නිරත වීමට ගොවියාට සිදු වේ. ඒ අනුව වසර තුනක කලයක් කිසිඳු ආදායමකින් තොරව නඩත්තු කටයුතු කිරීම සිදු කරනු ලබයි.

‘‘අපිට අවුරුද්දකට ලොකු සේවක වියදමක් යනවා.සාමාන්‍යයෙන් රජයේ වත්තක ගෙවන්නෙ රුපියල් පන්සිය පණහක් හයසීයක් වගේ වුණාට අපි රුපියල් දාහක් ගෙවනවා. නැතුව අපිට සේවකයෝ ගන්ඩ බෑ. ගම්මිරිස් වැලත් එක්ක වැල් ජාති පැටලෙනවා, ඒවා ගලවන්ඩ ඕනේ. අතු කපන්ඩ, නංචි කපන්ඩ වගේ දේවල් වලට මිනිස් ශ‍්‍රමය නැතුව බෑ. එහෙම බලද්දි අපි විශාල මුදලක් සේවකයෝ වෙනුවෙන් වියදම් කරනවා. ගම්මිරිස් මිල නෑ කියලා සේවකයෝ ඉවත් කරන්ඩ බෑ, වත්තේ නඩත්තු කටයුතු දිගටම කරගෙන යන්ඩ ඕනෙ. නැත්නම් අස්වැන්න අඩු වෙනවා. වැල් බාල වෙනවා.”ගම්මිරිස් වගා කරුවෙකු වන බන්දුල කරුණාරත්න එසේ කීවේය.

යොමු වීම

ගම්මිරිස් ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන භෝගයක් වුවත් මීට වර්ෂ කිහිපයකට පෙර එය එසේ වූයේ නැත. එකල ගම්මිරිස් වගාව සාමාන්‍යයෙන් කෘෂි භෝගයක් ලෙස පැවතුණි. ගොවීන් කිහිපදෙනෙකු වගා කටයුතුවල නිරත වූවද, ඒවා අපනයන කිරීම් සිදු වූයේ ඉතාම අල්ප වශයෙනි. එකල බොහෝ දෙනා ගම්මිරිස් වගා කළේ දෛනික පරිභෝජනය සඳහා සහ මෙරට වෙළෙඳපොළ ඉලක්ක කරගනිමිනි.
එහෙත් පසුව බොහෝ ගොවීහුගම්මිරිස් වගාව සඳහා යොමු වූහ. ඒ අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කි‍්‍රයාවලිය හා ඒ දෙපාර්තුමේන්තුවේ ක්‍ෂේත‍්‍ර නිළධාරීන්ගේ උත්සාහය හා කැපවීම නිසා බව නොරහසකි.ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙමින්,සම්පත් හා මුදල් ආධාරද ලබා දෙමින් ගොවීන් දිරිමත් කිරීම පැසසිය යුතුය. එහෙත් ගම්මිරිස් අස්වැන්න අලෙවි කිරීමේදී කිසිඳු මැදිහත් වීමක් ඔවුන් සිදු කර නොමැත. එය ගොවීන් අතරමන් කර දැමීමකි. මක්නිසාදයත් විශාල ආයෝජනයන් කර කාලයද,ශ‍්‍රමයද කැපකර නිශ්පාදනය කරගන්නා ගම්මිරිස් සඳහා සුදුසු වෙළෙඳපොළක් නොමැති වුවහොත් ඔවුන් සිදු කරන ලද සියලූ දේ වතුරේ යන බැවිනි.

මිල අවුල

පසුගිය වසරේ ගම්මිරිස් මිලදී ගැනීමේ මිල සීග‍්‍රයෙන් පහළ ගියේ ය. වර්ෂ 2016 දී වියලි ගම්මිරිස් කිලෝ ග‍්‍රෑමය රුපියල් 1200-1300 අතර මිලකට අලෙවි වූ අතර එය වර්ෂ 2017 දී අලෙවි වූයේ රුපියල් 600-700 අතර මිලකටය. ඒ අනුව කෙතරම් මිලක් පහළ ගොස් ඇත්දැයි යන්න පැහැදිලිය. එය, 50% ප‍්‍රතිශතයකින් ආසන්න මිල පහළ යාමකි. එසේම අමු ගම්මිරිස් කිලෝව වර්ෂ 2016 හා ඊට පෙර රුපියල් 400-600 අතර මිලකට අලෙවි වූවද වර්ෂ 2017 දී එය පැවතියේ රුපියල් 200-300 අතර මිලකටය. ඇතැම් ප‍්‍රදේශවල එය රුපියල් සියය පමණ දක්වා පහළ වැටී ඇත.

මේ ආකාරයට ක්ෂණිකව හා සීග‍්‍රයෙන් මිල පහළ යාම නිසා ගොවීන් මුහුණ දී සිටින්නේ විශාල ගැටලූවකට ය. තමන් විශාල ලෙස ආයෝජනය කර, කාලයද ශ‍්‍රමයද වැයකර සිදු කරන ලද වගාවට සිදු වූ පාඩුව පිළිබඳ ඌව පරණගම ඇසිලින් හාමිනේ මෙසේ පැවසුවා.

‘‘මේ කෑල්ලෙත් අපි ඉස්සර ලක්‍ෂ එක හමාරක් විතර ගන්නවා. මෙදාපාර ගත්තේ රුපියල් තිස් හතළිස් දාහයි. අතින් පාඩුවට කළේ. අපි එක පාරක් අස්වැන්න නෙලලා ඊළඟ පාර අස්වැන්න නෙලනකන් ලොකු වෙහෙසක් දරනවා. පොහොර දාන්ඩ ඕනෙ, සුද්ද කරන්ඩ ඕනෙ, මෙදාපාර හරි ගානක් ලැබුණේ නැති හින්ද ඊළඟ කන්නෙ කරගන්ඩ විදිහක්වත් නෑ’’

ඇතැම් ගම්මිරිස් වතු වල් වැදී ගොසින්ය. නඩත්තු වී නොමැත. ගොවීන් වගාවන් අත්හැර දැමූ ආකාරයක් පෙනීයයි. උසට තණකොළ වැවුණු,ආධාරක වැටහිරියා ගස් වැවී උඩු වියනක් සෑදුනු වතු කුඩා වනාන්තර වැනිය.

මේව සුද්ද කරන්නෙ නැද්ද?
”මොකටද, සීයට දෙසීයට දෙනවට වැඩිය හොඳයි වගා නොකර ඉන්නවා.”

ඒ සුමනාවතීය. ඇගේ දෑස් ඈත කඳු වැටිය දෙසට යොමුවීය. එකක් පරයා එකක් නැගී ඇති කඳු දෙස බලාගෙන ඈ සුසුම් හෙළුවාය.

ඇමති

ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා 2017 ජූලි මාසයේ ප‍්‍රකාශ කරන්නේ මධ්‍යස්ථාන 24 දී කිලෝව රුපියල් නවසියය බැගින් මිලදී ගැනීමට ඉදිරි සති දෙක තුළ කි‍්‍රයාකරන බවයි. එහෙත් ඒ පොරොන්දු පුස්සක් බවට පත්වී ඇත, බාගවිට ඇමතිවරයාගේ ජූලි මාසයේ සති දෙක තවම ගෙවී නොමැතිව ඇත්තා විය හැකිය. දින් දිගටම ගොවියා රැුවටීමට ලක්කිරීමේ ප‍්‍රතිඵල මේ වන විට ඔවුහු භුක්තිවිඳිමින් සිටිති.

මෙසේ අමාත්‍යවරයා ගම්මිරිස් මිලදී ගන්නා බව පැවසීම නිසා බොහෝ ගොවීහු ප‍්‍රමාණයක් සිය අස්වනු වෙළෙඳුන්ට නොදී රජයට දීමට බලා සිටියහ. අවසානයෙන් ඒ නිසා ගොවීන් කබලෙන් වැටුනේ ළිපටය. රජය විසින් එසේ කියූ පරිදි මිලදී නොගත් නිසා ඔවුන්ට නැවත ඒ ගම්මිරිස් පුද්ගලික වෙළෙඳුන්ටම දීමට සිදු විය. එහෙත් ඒ වනවිට වෙළෙඳපොළ ගම්මිරිස් මිල පහළ ගොස් තිබිණි, අමාත්‍යවරයාගේ බොරු පොරොන්දු නිසා ගම්මිරිස් කුණු කොල්ලයට ගියේය.

‘‘අපි ගම්මිරිස් තියාගෙන බලාගෙන හිටියා. අද වැඩිවෙයි, හෙට වැඩිවෙයි කියලා. අන්තිමට වුණේ අපිට තිබිච්ච ගානටත් දෙන්ඩ බැරි වුණ එක.” නම පැවසීමට අකමැති වූ ගම් වැසියෙකු ප‍්‍රකාශ කර කළේය.‘‘අපට වන්දි දෙන්ඩ කියලා ෆෝම් නම් පුරවගෙන ගියා. ඒත් තවම ලැබුණ වන්දියක් නෑ” ඒ වැලිමඩ ජයරත්න.

ප‍්‍රති-අපනයනය

ලෝක වෙළෙඳපොළේ ගම්මිරිස් ඉල්ලූම මෙට්රික් ටොන් ලක්ෂ 03 ක් පමණ වේ. ලංකාවද මේ සඳහා සැලකිය යුතු තරමේ සැපයීමක් සිදු කරනු ලබයි. ලංකාවේ ප‍්‍රධාන ගම්මිරිස් ගැනුම්කරුවන් වන්නේ ඇමරිකාව, ජපානය හා ජර්මනිය යි. එසේම ඉන්දියාවද සැලකිය යුතු තරමේ ගම්මිරිස් මිලදී ගැනීමක් සිදු කරනු ලබයි. එහෙත් ඉන්දියාව ගම්මිරිස්වල ගුණාත්මක බවට වඩා මිල පිළිබඳව සැලකිලිමත් වේ. ඒ අනුව ඉන්දියාවට වැදගත් මිල අඩු ගම්මිරිස්ය!.
තත්ත්වය මෙසේ වන විට වර්ෂ 2015 දී ලංකාවේ ගම්මිරිස් නිශ්පාදනය මෙට්රික් ටොන් 27 000 කි. වර්ෂ 2016 දී එය මෙට්රික් ටොන් 18 000 ක් වූ අතර 2017 දී එය නැවත මෙට්රික් ටොන් 20 000 දක්වා ඉහළ ගියේය. ඒ අනුව ලංකාවේ ගම්මිරිස් නිශ්පාදනය පහළ යාම නිසා පිට රටින් ගම්මිරිස් ගෙන්වූ කතාව අසත්‍යක් බව පෙනේ. වර්ෂ 2015 ලැබෙන්නේ ඉහළම අස්වැන්නකි. එය අවුරුද හතරකට පහකට වතාවක් සිදු වන්නකි. මේ පිළිබඳව අදහස් දැක්වූ බන්දුල කරුණාරත්න,‘‘සාමාන්‍යයෙන් එක අවුරුද්දක ඉහළම අස්වැන්න ලැබෙද්දි ඊළඟ අවුරුද්දේ සාමාන්‍යයෙන් අස්වැන්න අඩු වෙනවා. දෙදාස් පහළොවේ විශාල අස්වැන්නක් ලැබුණා. ඒ හින්ද දෙදස් දාසයෙයි දා හතෙයි අස්වැන්න අඩු වුණා මේක ලොකු අඩුවීමක් නෙවෙයි. පහළොවට සාපේක්ෂව අඩු වුණත් මේ තමයි සාමාන්‍යයෙන් ලැබෙන ප‍්‍රමාණ මේක අස්වැන්න පහළ යාමක් නෙවේ.”

ගම්මිරිස් මිල පහළ යාමට හේතු වූ ප‍්‍රධානතම හේතුව ප‍්‍රතිඅපනයනය යි. ලංකාවේ මිලට වඩා බොහෝ මිළ අඩු සේම ගුණාත්මක බවද අඩු වියට්නාම් ගම්මිරිස් තොග ගණන් මෙරටට ගෙන්වා, ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස අපනයනනය සිදු කරයි. එහෙත් මේවා ඇමරිකාවට හෝ ජර්මනියට, ජපානයට අපනයනය කළ නොහැකිය. අපනයන කළ හැක්කේ මිල ගැන පමණක් සළකන ඉන්දියාවටය.

මෙහිදී කි‍්‍රයාත්මක වන කි‍්‍රයාවලිය අතිශය සූක්‍ෂමය. ලංකාවේ ගම්මිරිස් අපනයනය ලාභදායී වන්නේ ඇමරිකාව,ප‍්‍රංශය ආදී රටවලට අපනයනය සිදු කරන විටය. ඒ ඔවුන් ගම්මිරිස් සඳහා ගෙවන ඉහළ මිල නිසාය. එහෙත් ලංකාවේ ගොවියාට සිය ගමිරිස් ලබාදෙනු ලබන්නේ ඉහළ මිල කටය. ඒ නිසා අපනයනකරුවන්ට විශාල ලාභයක් තබා ගැනීමට හැකියාවක් නැත. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ ලංකාව තුළින් මිළදී ගන්නා ගම්මිරිස් අවම මිලකට මිළදී ගැනීමය. ඒ සඳහා ඔවුන්ට සිදු කළ යුතු වන්නේ ගම්මිරිස් සඳහා වෙළෙඳපොළ තුළ ඇති ඉල්ලූම අඩු කිරීම යි. ඉල්ලූම අඩු වීමට නම්, අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ගම්මිරිස් ප‍්‍රමාණයක් වෙළෙඳපොළ තුළ පැවතිය යුතුය. ඒ සඳහා ඇති එකම විසඳුම නම් ගම්මිරිස් පිටින් ගෙන්වීමයි. එවිට වෙළෙඳපොළ තුළ ගම්මිරිස් ඇත. මෙරට ගම්මිරිස් නෙලන කාලවලදී වෙළෙඳපොළේ ගම්මිරිස් පැවතීම නිසා, ගම්මිරිස් මිළ පහළ යයි. එවිට දේශීය ගම්මිරිස් අඩු මිලකට මිළදී ගැනීමට හැකියාව ලැබේ. ඒ හරහා ඉහළ මිලකට විදේශ වෙළෙඳපොළ වෙත අලෙවි කිරිමට හැකියාව ලැබෙන නිසා විශාල මුදලක් ලබා ගැනීමට අපනයනකරුවන්ට හැකියාව ලැබේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මේ පිළිබඳව සිදු කරන ප‍්‍රකාශ අපූර්වය. ඔවුන් එක් විටක කියූ කාරණාව නම් මිල පහළ යාමට හේතුව ඉල්ලූම අඩුවීම බවයි. ඔවුන් කිසිවිටකත් ගම්මිරිස් ප‍්‍රතිඅපනයනයට අවසර නොදුන් බවත් ප‍්‍රකාශ කර සිටී. අපූර්ව කාරණාව මෙයයි. ඔවුන්ගෙන් දෙවන වර විමසීමේදී ප‍්‍රකාශ කර සිටින්නේ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය සඳහා 2016 වසරේ අවසර දුන් බවයි,ප‍්‍රකාශ පරස්පර විරෝධීය.

2016 අවසර ලබාදීම බලපාන්නේ 2017 අස්වැන්න සඳහාය. 2017 අස්වැන්න නෙලන කාල සමය වන විට වෙළෙඳපොළෙ ගම්මිරිස් පවතී. ඒ දෙන ලද අවසරය මත ගෙන එන ලද ගම්මිරිස් නිසාය. එනම්, 2017 අස්වැන්න නෙලන අවධිය වන විට ඉන්දියාවට වැනි රටකට ගම්මිරිස් අපනයනය කර ඇත. එවිට ඉල්ලූම අඩුවී යයි. එනම් නෙලූ ගම්මිරිස් ප‍්‍රමාණය ඉල්ලූමට සාපේක්ෂව අතිරික්තයක් වේ. එවිට ඉල්ලූමට වඩා ගම්මිරිස් ඇති නිසා ගම්මිරිස් මිල පහළ යයි. 2017 අස්වැන්නට සිදු වූයේ මෙයයි. මෙයට සම්බන්ධ වී සිටින්නේ රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකි.