අරාජකත්වය ජයගැනීම

මෙම මැතිවරණයෙන් ආණ්ඩු පාලනයේ ඇතිවූ කඩා වැටීම යළි යථා තත්ත්වයට පත් කළ හැකිවේයැයි සිතිය නොහැක. ප‍්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂගේ ව්‍යාපාරය ආණ්ඩුව මුහුණ දී තිබෙන අවුල උග‍්‍ර කිරීමට මිස යථා තත්ත්වයට පත්කිරීමට දායක වනු ඇතැයි සිතිය නොහැකිය. යූඑන්පී නොවන ආණ්ඩුවක් ඇතිකර ගැනීමට දරන සියලූ උත්සාහයන් අසාර්ථකවීමෙන් පසු නැවත එම සභාග පක්ෂ අතර ඇතිකර ගන්නා ආණ්ඩුවකින් වුවද මේ තත්ත්වයෙහි ලොකු වෙනසක් ඇති කළ නොහැකිය. එවැනි ආණ්ඩුවක් මහජනයාට පෙනෙනු ඇත්තේ නයි – මුගටි ආණ්ඩුවක් ලෙසය.

19 වැනි සංශෝධනය

මා මීට පෙර කියා ඇති පරිදි ආණ්ඩුවක් පරාජය කරනවාට වඩා බලයේ සිටින ආණ්ඩුවකට ආණ්ඩු කිරීමට තිබෙන සදාචාරමය අයිතිය අහිමි කරන තත්ත්වයක් ඇති කරන ප‍්‍රතිඵලය භයානකය. ආණ්ඩුවක් පරාජය කළ විට මහජනයාට අලූත් ආණ්ඩුවක් ලැබෙන්නේය. බලයේ සිටින ආණ්ඩුවකට ආණ්ඩු කිරීමට තිබෙන සදාචාරමය අයිතිය නැති කළ විට ආණ්ඩු පාලනයේ ලොකු බිඳ වැටීමක් ඇතිවන්නේය. සාමාන්‍යයෙන් එවැනි තත්ත්වයක් ඇතිවූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයට යෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන රටක සාමාන්‍ය පිළිවෙත ලෙස සැලකිය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් පවත්නා හැම රටකම පාහේ එවැනි විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාටද, අගමැති කෙනෙකු මුල් කරගත් ආණ්ඩුක‍්‍රමයක් පවත්නා රටක එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අගමැතිවරයාටද ලබා දේ. ලංකාවේ අගමැති මුල් කරගත් පාර්ලිමේන්තු ආණ්ඩුවක් පැවති කාලයේදී ඒ බලය අගමැතිවරයාට තිබූ අතර ජනාධිපති ක‍්‍රමයකට මාරුවීමෙන් පසු ඒ බලය ජනාධිපතිවරයාටද ලබාදී තිබුණි.

එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට නැති තත්ත්වයක් ඇති කර තිබේ. එවැනි අවස්ථාවකදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණය. ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැත.

එම විධිවිධානය ඇතුළත් ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය මෙසේය.

‘‘ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය.

එසේ වුවද පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයන් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.”

තිබුණු පරණ ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තුවට අවුරුද්දක කාලයක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිවරයා කැමති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණි. එය මන්ත‍්‍රීවරුන් බියගන්වා පාලනය කිරීමට ජනාධිපතිවරයාට ලබාදී තිබුණු හිතුවක්කාරී බලයක් විය. ඒ බලය නැති කිරීම අවශ්‍ය වුවහොත් එය කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි මෙවැනි අතිවිශේෂ අර්බුදකාරී අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ නැතිනම් ඒ දෙදෙනාට ඒ දෙදෙනාගේ එකඟත්වය මත එසේ කළ හැකි ආකාරයටය. එහෙත් අපේ ව්‍යවස්ථා පණ්ඩිතයන් එය සිදුකර තිබෙන්නේ එකක් කඩතොලූ හදා ගන්නට ගොස් දෙකක් කඩතොලූ හදාගත් ඉඳුරුවේ ආචාරියා ක‍්‍රියාකර තිබෙන ආකාරයටය.

ක්ෂණික පැලැස්තර

මේ අදහස සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය කරළියට ගෙනා සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත්ව තිබූ වැදගත් අංගයක් ලෙස සැලකිය හැකිය. පොදු අපේක්ෂකයා පිළිබඳ අදහස සමග සිටින ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට තිබූ ලොකුම දේශපාලන තුරුම්පුව ලෙස සැලකිය හැකිය. මහින්ද පරාජය කිරීමට ශක්තිය ඇති පොදු අපේක්ෂකයකු සොයාගත හැකි නම් මාස හයකට අඩු කාලයක් තුළ සමස්ත දේශපාලන ක‍්‍රමයේ යහපත් විපර්යාසයක් ඇති කළ හැකිය යන අදහස සමාජ ගත කෙරුණේ එම වැඩසටහන හරහාය.
එම වැඩසටහනට ඇතුළත්ව තිබූ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයට අදාළ කොටසේ නිර්මාතෘවරයා වූයේ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය තුළ ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි ප‍්‍රධාන න්‍යායවාදියා ලෙස ක‍්‍රියා කළේ ඔහුය. මෙම ව්‍යාපාරය කරළියට ගෙනා විසඳුම බාහිර පෙනුමෙන් ඉතා ලස්සන හා ප‍්‍රායෝගික වුවද එහි අභ්‍යන්තර නිමාව අවුල්සහගත විය. එම වැඩසටහන කරළියට ගෙනා උගතුන්ට එහි අභ්‍යන්තරයේ ඇති බරපතළ අවුල් ඇති කිරීමට හේතුවන සීමාව නොපෙනුණේය. එම විසඳුම සමාජ ගත කරන්නට පෙර ඒ ගැන හොඳින් කරුණු සලකා බැලීමක් සිදුකර නැත.

මා එය ආරම්භයේදීම විවේචනයට ලක් කළෙමි. එය රට ලොකු අරාජිකත්වයකට තල්ලූ කිරීමට හේතුවනු ඇති බවද කියා සිටියෙමි. මාගේ එම විවේචනයෙන් පසුවටත් මා කියන්නේ ඇත්තක්දැයි සොයා බලන තැනකටද ඔවුන් නොගියේය.

ඉතාමත් අවාසනාවන්ත දේ ලෙස සැලකිය හැක්කේ ව්‍යවස්ථා සම්පාදන විෂයයට අදාළ ශාස්ත‍්‍රාලයීය උගතුන් පවා ඒ ගැන අදහස් පළකරන තැනකට නොගොස් නිශ්ශබ්දව බලා සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

ඉන්පසු පොදු අපේක්ෂකයා සේ ම පොදු අපේක්ෂකයාට ජන බලය ලබාදෙන පක්ෂයේ ප‍්‍රධානියාද මෙම වැඩසටහන කරට ගත්තේ එම වැඩසටහනේ ප‍්‍රායෝගිකතාව හෝ එය ඇති කරන්නට නියමිත අවුල් ගැන කරුණු සලකා බලන තැනකට යෑමෙන් තොරවය. ඒ වනවිට ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය අත්හැර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධාන ව්‍යවස්ථා උපදේශකයා බවට පත්ව සිටියේය. ඔහු සමසමාජකාරයෙකු වුවත් පසුව එජාප ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරයෙකු බවට පත්වී ව්‍යවස්ථා සම්පාදන විෂය භාරව ක‍්‍රියාකරන ප‍්‍රධාන මොළකාරයා බවට පත්විය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙනා අවස්ථාවේදීද මම එය විවේචනයට ලක් කළෙමි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව එහි තිබෙන අක‍්‍රමවත් විධිවිධාන ඈත අනාගතයේදී නොව යහපාලන ආණ්ඩු කාලයේදීම රට අරාජකත්වයකට තල්ලූ කිරීමට හේතුවක් වනු ඇති බව මම කීවෙමි. ඊට පෙර ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව අළලා මා ලිපි පෙළක් රාවයට ලියන ලද අතර, ඒ ලිපි එකතුව නව ව්‍යවස්ථාවක් හදාගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ පොතක් වශයෙන් පළකිරීමටද මට සිදුවිය. පොදු අපේක්ෂකයා පිළිබඳ සංකල්පය හා සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ගැන වන විවේචනයක්ද ඊට ඇතුළත්ය. එහෙත් සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව රාවය පවත්වාගෙන ගිය කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තිය වූයේ එම වැඩසටහනේ න්‍යායවාදියා ලෙස ක‍්‍රියා කළ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න කොන්දේසි විරහිතව ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියාකිරීමය. සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ප‍්‍රශංසාවට ලක් කරන කතු වැකි පමණක් නොව ඒ අරමුණින් ලියන ලද ලිපිද නිතර නිතර රාවයේ පළවිය. ඒ අර්ථයෙන් රාවය පුවත්පතද මෙම මෝඩ වැඩසටහන අවිවේචනාත්මකව කරගසාගෙන යන පිළිවෙතක් අනුගමනය කළා පමණක් නොව, ඒ ගැන පාඨකයා තුළ විශ්වාසයක් ඇති කිරීමට හේතුවන ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කළේය.

වඩාත්ම පුදුමසහගත දේ ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විධි විධානවල ඇති විකාරසහගතභාවය තේරුම් ගැනීමට නීතිපති පවා අසමත්වීමය. එහි තිබූ අවුල්සහගත නිමාව තේරුම් ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පවා අසමත් වී යැයි කිව හැකිය. රටේ දේවල් සිදුවෙමින් පැවති විකාරරූපී ස්වරූපය ඒ ආශ‍්‍රයෙන්ද තේරුම් ගත හැකිය.

අරාජකත්වයේ ගතික ස්වභාවය

අවසාන විග‍්‍රහයේදී පළාත් පාලන මැතිවරණය රට අරාජකත්වයේ මුව දොරට තල්ලූ කිරීමට හේතුවූ අතර 19 වැනි සංශෝධනය එතැන් සිට අරාජකත්වයේ අගාධයට රට තල්ලූ කිරීමට හේතුවිය. නැවත බහුතර බලයක් පෙන්වීමේ වැඩි හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටය. එජාප ජනාධිපතිවරයාගේ කැමැත්ත නොසලකා තමන්ගේ ආණ්ඩුවක් ඇතිකර ගැනීමට සමත් වුවද ඒ නිසා රටේ ඇතිවී තිබෙන අරාජක තත්ත්වය සමනය කරගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. ඒ නිසා ජනපති අගමැති අතර ඇතිවී තිබෙන ගැටුම උග‍්‍ර කිරීමට හේතුවිය හැකිය. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණයේ තටු කපා ඇතත්, තමන් අකමැති ආණ්ඩුවකට අවහිර කිරීමේ බලය ජනාධිපති සතුය. සමහරවිට රනිල්ගේ පක්ෂය හා මහින්දගේ පක්ෂය එකට එකතු වී ජනාධිපතිවරයාට එරෙහිව නැගී සිටින තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

අගමැතිවරයා පිහිටුවන ආණ්ඩුවකට ජනාධිපතිවරයා අවහිර කිරීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තියක් යටතේ වුවත් එජාප හිමිකරගෙන තිබෙන පරාජය හා ආණ්ඩු කිරීමට තිබෙන සදාචාරමය තත්ත්වය අහිමි කරගෙන තිබෙන තත්ත්වය තුළ රටේ ඇතිවී තිබෙන අරාජක තත්ත්වය වර්ධනය කිරීමට හේතුවනු ඇතුවා මිස එය පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.

ඇතිවී තිබෙන අරාජක තත්ත්වය විසින් පළමු වටයේදී ගොදුරු කරගනු ඇත්තේ පරාජිත නායකයන් දෙදෙනා ලෙස සැලකිය හැකි ජනාධිපතිවරයා හා අගමැතිවරයාය. ඉන්පසු එම ප‍්‍රවාහයේ ඊළඟ ගොදුර බවට පත්වනු ඇත්තේ ජයග‍්‍රාහකයා ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂය. අරාජකත්වය විසින් ඇති කරනු ලබන පීඩාකාරී හා අවුල්සහගත තත්ත්වය ඉදිරියේ ජයග‍්‍රාහකයා විසින් එම දුෂ්කර තත්ත්වයෙන් තමන් ගලවාගනු ඇතැයි ජනතාව අපේක්ෂා කරනු ඇති අතර එහිදී එම අරමුණ සපුරාලීමට ඔහු අසමත් වෙතොත් ඔහුට තිබෙන පිළිගැනීමද වාෂ්ප වන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.
පිටිය සකස් වී තිබෙනුයේ කිසිවෙකුටත් ජයග‍්‍රාහීවීමට ඉඩක් නැති ආකාරයටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත ශ‍්‍රීලනිප හා එහි නිල නායකත්වයද හිමිවනු ඇති අතර පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකත්වයද සංවිධායක ධුරයද හිමිවනු ඇතත්, මහජන පිළිගැනීමේ තරම කොතරම් විශාල වුවද ඊළඟ ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර බලය හිමිකර ගැනීමේ හැකියාවක් නැත. බලය හිමිකර ගැනීමේ හැකියාවක් තිබුණද දැන් ලංකාවේ අර්බුදය තිබෙන්නේ මේ කිසිවෙකුටත් පාලනය කළ නොහැකි තත්ත්වයකය.

අරාජකත්වයේ අත්තිවාරම

අරාජකත්වය මෙම මැතිවරණය නිසා ඇති වූවක් ලෙස සැලකීම වැරදිය. රට තිබුණේ අර්බුදයකය. එය නිදහසේ සිට සුළුවෙන් ආරම්භ වී ගෙවී ගිය දීර්ඝ කාලය තුළ ලොකු මහත්වෙමින් ඉදිරියට ගලායමින් තිබූ ප‍්‍රවාහයක් බඳු දෙයක් විය. එම අර්බුදයේ ප‍්‍රවාහය ගලාගෙන ගිය නළයේ දුර්වලම පුරුකෙන් නළය කඩාගෙන එම අර්බුදය මතුවූයේ අරාජකත්වයක ස්වභාවය ගනිමිනි. පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය නළය දුර්වල කොට එතැනින් අර්බුදය පිටතට ගලා යන තත්ත්වයක් ඇති කළේය.

ලංකාවේ අර්බුදය නිදහසත් සමග ආරම්භ වී ක‍්‍රමානුකූලව ලොකු මහත්වෙමින් ඉදිරියට ගමන් ගනිමින් තිබූ ප‍්‍රවාහයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ 1948දී නිදහස ලබාගත්තේ ඒ සඳහා දරන බලවත් උත්සාහයකින් තොරවය. ඒ නිසා ජාතික රාජ්‍යයේ ඉදිරි ගමනට නැතිවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකි සමාජය ඒකාග‍්‍ර කොට ජාතිය ගොඩනගා ගැනීමක් හෝ සමාජයට පොදු ජාතික දෘෂ්ටියක් උරුම කරදීමක් සිදු නොවීය. ඒ නිසා නිදහසින් පසු ජාතික රාජ්‍යයට ඉදිරියට යන්නට සිදුවූවේ පොදු ජාතික දෘෂ්ටියක් නැතිව වර්ගය, කුලය, ආගම යන සාධක මත භේද බින්න වූ සමාජයක් හා නිදහස් අරගලයක් තුළ පරිණතභාවයක් හිමිකර නොගත් වර්ගවාදී, කුලවාදී හා ආගම්වාදී ආකල්පවලින් යුතු, බලලෝභී ආත්මාර්ථකාමී හා හිස් ජාතික නායකයන් පිරිසක් සමගය. එම නායකයන් තමන්ට ලබාගත හැකි පටු දේශපාලන වාසි සලකා සමාජයේ තිබෙන බෙදීම් උග‍්‍ර කිරීමට හේතුවන ලෙස ක‍්‍රියා කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මුලදී කලකෝලාහල ඇතිවී පසුව දීර්ඝකාලීන වශයෙන් මහා ලේ වැගිරීම් ඇතිවිය. ඇතිවූ ප‍්‍රචණ්ඩ ගැටුම්වලින් සිංහල දකුණේද, දෙමළ උතුරේද විශාල මිනිසුන් සංඛ්‍යාවක් මිය ගියේය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති බිහිසුණු අශීලාචාර වටාපිටාව තුළ ජීවත්වීමේ වාසනාව හිමිකරගත් මිනිසුන්ද අඩු වැඩි ප‍්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ මිනිසුන් බවට පත්වූයේය. එම බිහිසුණු අශීලාචාර වටාපිටාව මුළු මහත් සමාජයම රෝගී කිරීමට හා විකෘති කිරීමට හේතුවිය. එම දීර්ඝකාලීන අශීලාචාර වටාපිටාව විකෘති කළේ මිනිසුන් පමණක් නොවේ. මිනිසුන් නොවන රාජ්‍ය හා ආයතන ක‍්‍රමද විකෘති කළේය. රාජ්‍ය මාංශභක්ෂක චෞර රාජ්‍යයක් බවට පත්කිරීමට හේතුවූ අතර වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්විය. මෙම අශීලාචාර කාලය තුළ රටේ සමස්ත ආයතන ක‍්‍රමයද අකාර්යක්ෂම දූෂිත හා පරපීඩාකාමී ආයතන ක‍්‍රමයක් බවට පත් කිරීමට හේතුවිය.

ලංකාව මුහුණ දී තිබුණු විස්තීර්ණ අර්බුදය ජයගැනීමට නම් කළ යුතුව තිබුණේ අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව රෝගී තත්ත්වයට පත්ව තිබූ සමාජය සුවපත් කොට සමාජය ඒකාග‍්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩ නගන තැනකට යමින් දූෂිත අකාර්යක්ෂම හා ජරපත් තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍ය එහි ආයතන ක‍්‍රමද ප‍්‍රතිනිර්මාණය කරන තැනකට යෑමය. අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට එවැනි ගැඹුරු ප‍්‍රතිසංවිධානයක් සඳහා වන ඉදිරි දැක්මක් නොතිබුණි. යුද්ධය අවසන් කිරීමෙන් පසු මිනිසුන් තොග වශයෙන් මැරෙන තත්ත්වයක් නොතිබුණද සම්පූර්ණ කළ යුතුව තිබුණු ඓතිහාසික අවශ්‍යතාව සම්පූර්ණ නොකිරීම නිසා ඇතිව තිබූ අර්බුදයද අවසන් කිරීමට නොහැකි විය. ඒ නිසා අර්බුදය විවිධ හැඩ ගනිමින් තව තව වර්ධනය වන දෙයක් බවට පත්විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වූයේද මෛත‍්‍රී රනිල් ආණ්ඩුවක් බලයට පත්වූයේද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. යහපාලන ආණ්ඩුවටද රට වෙලාගෙන තිබූ එම විස්තීර්ණ අර්බුදය ගැන හරි දැක්මක් නොවීය. අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ ගැන හරි අවබෝධයක් යහපාලන ආණ්ඩුවට නොතිබුණි. මහින්දගේ පාලනය පරාජය කිරීම නිසා යම් තරමකට සැර බාලවූ තත්ත්වයකට පත්ව තිබූ අර්බුදය යහපාලන ආණ්ඩුවේ අසාර්ථක පාලනය තුළ නැවත හිස ඔසවා වර්ධනය වන තත්ත්වයක් ඇතිවිය. පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයත් සමග එය පුපුරා ගියේ රට අරාජක තත්ත්වයට තල්ලූ කෙරෙන ආකාරයටය.

අර්බුදය ජයගැනීම

දැන් රට තිබෙන්නේ ඇතිවූ අරාජකත්වය පාලනය කළ නොහැකි තත්ත්වයකය. යළි රනිල් මෛත‍්‍රී ආණ්ඩුවට පණදීමෙන්වත්, රනිල් නැති ආණ්ඩුවක් හැදීමෙන්වත්, එජාප ආණ්ඩුවක් හැදීමෙන්වත් අලූතෙන් රාජපක්ෂ ආණ්ඩුවක් ඇති කිරීමෙන්වත් ඇතිවී තිබෙන අරාජකත්වයට පිළියමක් වන්නේ නැත.
සමස්ත ක‍්‍රමයම තිබෙන්නේ මජර ගලන තරමටම කුණුවූ තත්ත්වයකය. අරාජකත්වය ජයගත හැකිවනු ඇත්තේ රට කුණුවූ තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබෙන අර්බුදය ජයගැනීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමෙන් ක‍්‍රියාවට නගන අවංක හා ප‍්‍රායෝගික වැඩසටහනකින් පමණය. දැන් එය තිබෙන්නේ බලයේ සිටින පාලක පක්ෂයට පමණක් කළ නොහැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් මගින් කළ යුතු තත්ත්වයකය.

රටේ ඇතිවී තිබෙන අරාජකත්වයට ඉඩදී බලා සිටියහොත් රටේ ආර්ථිකය, වෙළෙඳාම හා රාජ්‍ය පාලනය පමණක් නොව රටේ හැම අංශයක්මත් කඩා බිඳ වැටී මුළු රටට අසරණ හා පහසුවෙන් ගොඩගත නොහැකි කාලකණ්ණි තත්ත්වයකට පත්විය හැකිය. ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණයකට යෑමට ඉඩක් නැති අතර මහ මැතිවරණයකින් අලූත් ආණ්ඩුවක් ඇතිකර ගැනීමද මේ ප‍්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. දැන් රට තිබෙන්නේ පූර්ණ බංකොළොත්භාවයකට පවා තල්ලූ වී යා හැකි භයානක තත්ත්වයකය. ලබන වසරේ ලබාගත් විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරිකය රුපියල් ටි‍්‍රලියන තුනකි. එය ගෙවන්නට රටේ ලොකු දේපළක් විදේශ වශයෙන් විකුණන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

ලංකාව මුහුණ දී තිබෙන ඓතිහාසික අර්බුදය ජයගැනීමේ අවංක අරමුණ ඇතිව ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇතිකර ගැනීම සඳහා රටේ සියලූ ප‍්‍රධාන දේශපාලන නායකයන්ට එකට එකතු වී තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරගත හැකි නම් ඇති කළ යුතුව තිබෙන වෙනස්කම් හඳුනා ගනිමින් ඒවා ක‍්‍රියාවට නැගීම සඳහා කාලරාමුවක්ද ඇතිකර ගනිමින් ඒ සියල්ල සඳහා පොදු එකඟතාවක්ද ඇති කරගත හැකිනම් පවතින අරාජකත්වය ජයගනිමින් සාධනීය විපර්යාසයක් සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ගොඩනගා ගත හැකි එම ආණ්ඩුව ප‍්‍රධාන ප‍්‍රවාහයේ කිසිම නායකයකු බැහැර නොකරන ආණ්ඩුවක් විය යුතුය. ඒ තුළ මෛත‍්‍රී, රනිල්, මහින්ද, සම්බන්දන්, හකීම්, තොණ්ඩමන්, අනුර කුමාර වැනි සියලූ නායකයන් සිටිය යුතුය.
වර්ග භේදයට, කුල භේදයට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව සියලූ මිනිසුන්ට මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙමින් ලාංකේය ජාතිය ගොඩනැගීම එහි ප‍්‍රධාන අරමුණක් කරගත හැකිය. සමාජය සුවපත් කොට සමාජය සජීවී කිරීම එහි තවත් වැදගත් අරමුණක් බවට පත්කරගත හැකිය. දූෂිත හා අකාර්යක්ෂම තත්ත්වයක තිබෙන රාජ්‍ය දූෂණයෙන් තොර කාර්යක්ෂම නවීන රාජ්‍යයක් ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීම හා මොනම නායකයෙකුටවත් ජාතික ප‍්‍රතිපත්ති රාමුව තුළ මිස හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරන්නට ඉඩක් නැති ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් ඇතිකර ගැනීම එහි තවත් වැදගත් අරමුණු දෙකක් බවට පත් කරගත හැකිය.

ඒ සියල්ල එසේ කළ හැකිවනු ඇත්තේ නිදහසේ සිට අද දක්වා රටේ කටයුතු සිදුවී තිබෙන ආකාරය ගැන කරුණු සොයා බලන තැනකට යෑමෙනි. එක අංශයක් ගැන නොව හැම වැදගත් අංශයක් ගැනම කරුණු සොයා බලන තැනකට යා යුතුය. දුක්ගැනවිලි ඇති හෝ අදහස් පළකිරීමට කැමති අයට තමන්ගේ දුක්ගැනවිලි හා අදහස් පළකිරීමට ඉඩදෙන ක‍්‍රමයක් ඇති කළ යුතුය. ඒ සඳහා කොමිෂන් සභා ක‍්‍රමයක් ඇති කළ හැකිය. ඒ මගින් මහජනයාගේ උනන්දුවට හේතුවන ජාතික කථිකාවක් ඇති කළ හැකිය. රටේ සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන හරි අවබෝධයක් ඇති කරගත හැකි අතර නැවත එවැනි වැරදි සිදු නොවීම සඳහා ඇති කළ යුතු විධිවිධාන හා ක‍්‍රමවේද හඳුනා ගැනීමටද හැකිවනු ඇත. රටේ අනාගතය රඳා පවතින්නේ අධ්‍යාපනය මත වන නිසා ලංකාවේ පවතින අධ්‍යාපන ක‍්‍රමය, පාසල් ක‍්‍රමය හා විශ්වවිද්‍යාල ක‍්‍රමය ගැන හොඳින් කරුණු ගෙන බලන තැනකට යා යුතුය.
එම ප‍්‍රතිසංවිධාන වැඩසටහන මහජනයාගේ පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාවගේද පිළිගැනීමට හේතුවේ නම් එය මහජන ප‍්‍රබෝධයට සේ ම ජාත්‍යන්තර ප‍්‍රජාවගේද අනුග‍්‍රහය ලබන වැඩසටහනක් බවට පත්වනු ඇත.
එවැනි වැඩසටහනක් ඇති කරගත් දිනයේ සිටම කොටස් වෙළෙඳපොළේ වේගවත් වර්ධනයක් ඇතිවනු ඇති අතර, විදේශ ආයෝජන ගලා එන තත්ත්වයක්ද ඇතිවනු ඇත. එවැනි වැඩසටහනකට ජාත්‍යන්තර වශයෙන් ලොකු පිළිගැනීමක් ලැබෙතොත් ලංකාවේ ණයබර ලිහිල් කරගැනීමට හේතුවන වටාපිටාවක්ද ගොඩනගා ගැනීමට හේතුවිය හැකිය. ලංකාවේ ණය බර ඉසිලිය නොහැකි තත්ත්වයකය. සියලූදෙනා එකට එකතු වී රට ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා වර්ණවත් වැඩසටහනක් දියත් කරන්නේ නම් ගෙවන්නට තිබෙන ණය සඳහා දීර්ඝ සහන කාලයක් ලබාගැනීමට බොහෝ රටවල එකඟතාව ලබාගැනීමට හැකිවිය හැකිය.

රටේ පවතින අවලස්සණ හා අවාසනාවන්ත තත්ත්වයට මේ රටේ දැන් සිටින සියලූ නායකයන්ද ඔවුන්ගේ පූර්වගාමීන්ද වගකිව යුතුය. දැන් අපේ රටේ බොහොමයක් නායකයන් සිටින්නේ ජීවිතයේ සැඳෑ සමයේය. ඇතිවී තිබෙන අරාජකත්වය දිග්ගැසෙන තත්ත්වයකට පත්වුවහොත් ඒ සියලූ දේශපාලන නායකයන්ගේ දේශපාලන පැවැත්ම අවසන් වනු ඇත්තේද ඛේදජනක ආකාරයකටය. එහෙත් ඔවුන් සියලූදෙනාට එකට එකතු වී රට තිබෙන අර්බුදයෙන් ජයගැනීමට හේතුවන ඵලදායී කාර්යභාරයක් ඉටුකළ හැකි නම් මහජනයා ඔවුන් සියලූදෙනා අතින් සිදුවී තිබෙන සියලූ පව් අමතක කොට ඔවුන්ට ගෞරවයද, ප‍්‍රණාමයද හිමිකර දෙනු ඇත. ඒ මාර්ගය තෝරාගන්නා ලෙස මහජනයා දේශපාලන නායකයන්ට බල කළ යුතුය.