ති‍්‍රස්තන කුමරිය සහ ආණ්ඩුව

ආණ්ඩුව මුහුණ පෑවේ ‘‘මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී’’ වැනි තත්ත්වයකටය. පළාත් පාලන ඡුන්දයේදී අත්කරගත් පසුබෑමෙන් පසු ශී‍්‍රලනිපයත්, එජාපයත් යන පක්‍ෂ දෙකම වෙන වෙනම තම තමන්ගේ ආණ්ඩු හදාගන්නට කළ වෑයම මේ වන විට වතුරේ ගොස් ඇති බවක් දක්නා ලැබේ. යළි පැමිණ ඇත්තේ පැරණි බෝතලේ පැරණි වයින් තත්ත්වයටමය. මෙවර වයින්වලට වැඩි රසයක් හා වින්දනයක් මුසු කිරීමට යන බව දැනගන්නට ඇතත් ඉදිරි වසර දෙක තුළත් ජනයාට පානය කිරීමට සිදුවන වයින්වල වැඩි වෙනසක් දැනෙන්නට විදියක් නැත.

දැන් උද්ගතවී තිබෙන්නේ කාලයක් නිශ්ඵල දිවියක් ගෙවූ පුද්ගලයකුට හදිසි අනතුරකින් මැරෙන්නට සිදුවී තිබෙන මොහොතකදී යළි සඵල දිවියක් ගෙවීමට ප‍්‍රාණය බි`දක් ඉල්ලා සිටිනවා වැනි තත්ත්වයකි. ප‍්‍රශ්නය වන්නේ ජනතාව මැරෙන මිනිහාට පණ පොවන්නට මනාප නැති බව ප‍්‍රදර්ශනය කරමින් සිටීමය. නිශ්ඵල සරන්නා ඇද වැටී සිටින විට ඉපදෙන්න පෙරුම් පුරන ගන්ධබ්බයාද පිශූනාවාචයෙහි ව්‍යාවෘත වුවකු බැවින් ජනතාව මුහුණ පා සිටින්නේ ගෙදර ගියත් නොගියත් නසින්නට වන තත්ත්වයකටය.

ඉදිරිගාමී නොවීම

ඡන්ද ප‍්‍රතිඵලයෙන් පසුව ජනපතිත්, අගමැතිත් උත්සාහ දැරිය යුතුව තිබුණේ තම තමාගේ කල්ලි සමග ගුහාගත වීමට නොවේ. ඉකුත් වසර තුන තුළ සිදුවූ අඩුපාඩුකම් විමසා බලා ඒවාට නිසි ප‍්‍රතිකර්ම කිරීමටය. ඔවුන් දෙදෙනාම පීඩාවට ලක්වූයේ පොට වරද්දාගත් නිසාය. සම්මුතිවාදී ආණ්ඩුව මෝරන්නට පටන්ගත් අවස්ථාවේදීම පක්‍ෂ දෙකෙහිම ඉහළ සිට පහළට රෙදි ගලවා ගන්නා සම්ප‍්‍රදාය වෙනුවට එකිනෙකා විවේචනය නොකර ගනිමින් අවබෝධයෙන් කි‍්‍රයා කරන සම්ප‍්‍රදායක් ඇති කරගන්නට තිබුණි. එසේ බද්ධ විවේචනයෙන් තොර වන්නට එකිනෙකා කරන වැරදි හැකි තරම් අවම කරගත යුතුවද තිබුණි. විශේෂයෙන්ම සම්මුතිවාදී දේශපාලනය ලංකාවට අලූත් අත්දැකීමක් නිසා දෙපාර්ශ්වය බැදුණු අරමුණු ඉලක්ක හා කි‍්‍රයාකාරකම් ගැන පරීක්‍ෂාවට ලක්කැරෙන, විනිවිදභාවයෙන් යුතු ක‍්‍රමයක් හදන්නට තිබුණි. එසේ නොවීම නිසා සම්මුතිවාදී වැඩපිළිවෙළ අයාලේ යන විට ඒ පිළිබ`දව අනතුරු ඇ`ගවීමට කිසිවකුත් නොවුණි. නායකයන් මෙන්ම ඔවුන්ගේ හිතවාදීන් කළේ තම නැණපමණින් පිළිතුරු සොයා ගැනීමට හා අභ්‍යාස කිරීමට කි‍්‍රයා කිරීමය. ආණ්ඩුව ගෙර යාමටත් මග සිටීමටත් නොහැකි තත්ත්වයට මුහුණ පා සිටින්නේ සම්මුතිය තුළ සුරුට්ටුව ඇතල් පැත්තට පත්තුවන තත්ත්වයක් මුල සිටම දක්නට ලැබුණු නිසාය.

මැදහත් ජනයා
පක්‍ෂවල එල්බ නොසිට ලංකාවේ වර්තමාන දේශපාලන කි‍්‍රයාවලිය දෙස බලන පිරිසට අභිමුඛව තිබෙන ප‍්‍රශ්නය වන්නේ කවුරු ආණ්ඩු හැදුවත් ඒ මහජනයා වෙනුවෙන්ද යන්නය. දේශපාලන නායකයන් ඒසා බලලෝභීත්වයක් මෙන්ම මහජනයා විෂයෙහි නොසැලකිල්ලක් ප‍්‍රදර්ශනය කරනු පෙනේ. බලය තහවුරු කර ගැනීම සදහා අභ්‍යන්තරයෙ ත් මතුපිට තලයෙ ත් කරන මජර සටන තුළ මහජන හිතවාදී කාර්ය සාධන අරමුණක් දක්නට නොලැබෙයි. රටක මෙවැනි අර්බුදකාරී වාතාවරණයකදී සියලූ පක්‍ෂවලින් සුසැදි අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්නට අවකාශයක් තිබේ. එවැනි කි‍්‍රයාවලියක පෙරමුණ ගැනීමට එනම් මූලස්ථානයේ භූමිකාව ඉටුකිරීමට පළල් අරුතකින් රටේ ප‍්‍රශ්න දකින නායකයකු සිටිය යුතුය. පෙනී යන්නේ එවැනි නායකයන් කිසිවකුත් දැනට ජීවතුන් අතර නැති බවය. දැනට දේශපාලනය කරන අය අතර තිබෙන බරපතළම ප‍්‍රශ්නය වන්නේ එකිනෙකා විශ්වාස නොකිරීමය. එකිනෙකා විශ්වාස නොකරන සමාජයක් අවසන් වනු ඇත්තේ එකිනෙකා කා කොටාගෙනය. ලංකාවේ සමාජය ගමන් කරමින් සිටින්නේ එතැනටද?

ඡන්ද දුන් සැටි

මැතිවරණ ප‍්‍රතිඵලය ගැන දින කිහිපයකට පසු සාකච්ඡුා කරමින් සිටි අවස්ථාවක එම සාකච්ඡුා සභාවේ සිටි අයකු කීවේ තිරප්පනේ, තුම්පනේ සහ මහරගම ජනතාව එක සමාන බවය. ඔහු අදහස් කළේ එම ගම්තුනේ ජනයා චින්තනයෙන් සමානය යන්නය. කිසියම් රැවටීමකට හෝ උගුලකට හසු කරන්නට හදනවිට එය තේරුණු අයකු ‘‘අපි තුම්පනේ නෙමෙයි’’ කියනු අප අසා තිබේ. ඉන් අර්ථ ගැන්වෙන්නේ තුම්පනේ ජනයා පහසුවෙන් රැුවටීමට බදුන් කළ හැකිය යන්නය. තිරප්පනේ සහ මහරගම තුම්පනේට සමීප වූයේ කෙසේද? තිරප්පනේ ප‍්‍රාදේශීය සභාවට නයා ලකුණෙන් ඡුන්දය ඉල්ලූවේ ස්වාධීන කණ්ඩායමකි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තිරප්පනේ ලැයිස්තුව ප‍්‍රතික්‍ෂේප වීම නිසා මහින්ද රාජපක්‍ෂ හිතවාදීහු නයාට සහාය දැක්වූහ. ආණ්ඩුව කරන පක්‍ෂ, ජ.වි.පෙ ආදී සියල්ලන් පරදා තිරප්පනේදී නයා දිනුවේය. එය කැළේ යන නයි වස්ත‍්‍රය අස්සේ දාගැනීමට නොදෙවැනි කි‍්‍රයාවකි. දිනන්නට උදව් කළ කණ්ඩායමට මන්තී‍්‍රධුර ලැබෙන්නෙ ත් නැති නම් මේ වැඩෙන් පල ප‍්‍රයෝජනයක් නැති බව තිරප්පනේ බුද්ධිමත් ජනතාවට සිතුනේ නැත. තිරප්පනේ ජනයා තුම්පනේට සම්බන්ධ කෙරෙන්නේ ඒ ආකාරයට විය හැකිය. මහරගම ජනයාට අත්වූයෙ ත් එවැනි ඉරණමකි. මහරගමදීත් පොදු ජන පෙරමුණේ ලැයිස්තුව ප‍්‍රතික්‍ෂේප වූයේය. ඡුන්ද ප‍්‍රචාරක කටයුතු ඇරඹී දින ගණනාවක් ගතවීමෙන් පසුව එක් දවසක මහරගම ඇතුළත ප‍්‍රදේශවල අලවා තිබුණු පෝස්ටරයක දැක්වුණේ මහින්ද මහතා මහරගමට මෝටර් බයිසිකලයෙන් එනවා යනුවෙනි. මෝටර් බයිසිකලයෙන් ඉදිරිපත්ව සිටි ස්වාධීන කණ්ඩායමට පොදුජන පෙරමුණේ සහාය ලැබිණි. බයිසිකලය ඡුන්ද 44783ක් ලබාගෙන ආසන 25ක් දිනාගන්නා විට දෙවැනි ස්ථානයට පත් පාලක එජාපය ඡන්ද 26171ක් ගෙන ආසන 11ක් දිනාගත්තේය. වැඩි ඡුන්ද දහ අටදහසකින් මෝටර් බයිසිකලය ඉදිරියට ආවේය. එම ලැයිස්තුවෙන් ඡුන්දය ඉල්ලා තිබුණේ මහරගමටත් සම්බන්ධයක් නැති පිරිසක් බව කියැවේ. පොදු ජන පෙරමුණේ අපේක්‍ෂකයන්ට මෙහිදීත් සභිකධූර ලැබෙන්නට විදියක් නැත. මහරගම දැනට පදිංචිව සිටින බව කවුරුත් සිතා සිටින්නේ ප‍්‍රත්‍යන්ත ගම් දනව්වලින් පැමිණ උසස් රැුකියාවන්හිද නියුතු යමක් කමක් දන්නා මධ්‍යම පාංතික ජනයාය. එහෙත් කාල්මාක්ස් කීවේ මධ්‍යම පංතිය යනු මැටි ගොඩක් බවය. ඒ බව පසක් කරමින් මහරගම ජනයා මෝටර් බයිසිකලයේ එල්ලූණේය. මහරගමත් තුම්පනේට සම්බන්ධ වන්නේ මේ අරුතින් විය හැකිය. මේ ආකාරයටම රයිනෝසිරස්ගෙන් ඉල්ලූ ස්වාධීන කණ්ඩායමක් පොදුජන පෙරමුණේ සහාය ලබා මහියංගනය පැත්තෙන් දිනුවේය. බණ්ඩාරවෙලදී උමා ඔය විනාශයට පාර කැපූ රාජපක්‍ෂගේ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමකින් ඇවිත් දිනුවේය. උමා ඔය ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ සමන්්ත විද්‍යාරත්නලාගේ ස්වාධීන කණ්ඩායම බණ්ඩාරවෙලදී නන්නත්තාර වූයේය. මේ සියලූ උදාහරණවලින් පෙනී යන්නේ ලංකාවේ ජනයා තම අනාගතය ගැන තීරණ ගැනීමේදී කෙතරම් අවිචාරවත්ද යන්න මිස අනෙකක් නොවේ.

සිදුවූයේ කුමක්ද?

ගම වෙනුවෙන් එවැනි තීන්දු ගන්නා ජනතාවක් රට ගැන කෙසේ සිතයිද? නයාගෙන් පමණක් නොව රයිනෝසිරස්ගෙනුත් දිනන්නට තමාට හැකිබව දැන් රාජපක්‍ෂ මහතා සිතනවා විය හැකිය. මෙම මහජන අවිවේචනාත්මක තත්ත්වය රටෙහි අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේ කෙසේද? වැදගත් උපදෙස් නොපිළිපදින ජනපති කෙනෙක් හා එවැනිම තමා සියල්ල දන්නවා යැයි සිතන අගමැති කෙනෙක් 2015 ජනවාරි 08 න් පසූ කාලය තුළ දිස්විය. ඔවුහු ජනවාරි 08 උදෙසා ඉටු කළ යුතුව තිබුණු ප‍්‍රතිපත්තිමය කාරණා කිහිපයක් ඉටු කළහ. සාපේක්‍ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති කිරීම, අන්තර් ජාතික තලයේ යම් පමණකට හොද හිත වගා කර ගැනීම ඇතුලූ වැදගත් දේවල් කිහිපයක් ඔවුන් කර තිබුණත් ජනතාවගේ පැත්තෙන් සහනශීලී බවක් යහපාලන ආණ්ඩුවෙන් ලැබුණේ නැත. ජනාධිපති කෘෂිකර්මාන්තයෙන් රට දියුණු කරන බව කිව්වත් ගොවීන්ට පොහොර ටිකවත් වෙලාවට ලැබුණේ නැත. බණ්ඩි පොහොර ගොයමට නැති වුවත් ආණ්ඩුවේ ඇතැමුන්ගේ බණ්ඩිය තර කැරෙන පැරණි ක‍්‍රමයම යහපාලනය යටතේදීත් දක්නට ලැබුණි. අවසානයේදී වයිෆයි යනු කන දෙයක් යැයි සිතූ ආණ්ඩුවට එරෙහිව ජනතාව අවිචාරවත්ව නැගී සිටියේය. අනෙක් අතට අවිවේචනාත්මකව ගමේ එකාට නොව මහින්ද රාජපක්‍ෂට ඡුන්දය දුන්නේය. එසේ වූයේ විචාරශීලීව හා විශ්වසනීය ලෙස කි‍්‍රයා කළ යුතු ආණ්ඩුවක් අවිචාරවත්ව කටයුතු කරන බව පෙනී යන නිසාය. ජනතාව අවිචාරයෙහි සිට ආචාරශීලීත්වය සොයා ගත යුතුව තිබුණු නමුත් ඔවුන් ගියේ එක් අවිචාරයකින් තමන් අවිචාරයකටය.

ගැලවීමක් නැද්ද

වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ නව ආණ්ඩුවක් හදන්නේ කවුද යන්න නොවේ. ආණ්ඩුවක් හදන අය මෙතැන් සිට කරන්නේ මොනවාද යන්නය. රාජපක්‍ෂ පාලන කාලයේත් ඉකුත් වසර තුන තුළත් රට පෙලූ අර්බුද නිකම්ම දුරිභූත වන්නේ නැත. මේ ඇදකුද සහිත පාලන තන්ත‍්‍රයට යළි කෙළින් වී වැඩ කිරීම පහසු නැත. එසේ නම් යහපාලනයේ ඉදිරි වසර දෙක තුළ මහත් ආශ්චර්ය සිදුවීමක් විය යුතුය. විශ්ණු ශර්මන්යේ පංච තන්ත‍්‍රයේ එන කතාවක් මෙබදුය. පංච තන්ත‍්‍රයේ කතාකරුවා පයෝධර තුනක් ඇති කුමරියක් පාඨකයා වෙත කැදවයි. ඇගේ අත ගන්නේ ජාති අන්ධයෙකි. ඔවුන්ගේ සේවයට කුදෙකු සිටී. මේ තිදෙනා දුරු රටක දිවිගෙවීමට යන අතර ඉතා ඉක්මණින්ම ඉහත ති‍්‍රස්තන කුමරිය කුදා සමග අනුරතියකින් බැදුනාය. ඒ සමගම අන්ධයා කෙරෙහි වෛරයක් ඇය තුළ ලියලා ආවාය. ජාති අන්ධයා මරා දැමීම ඒ දෙදෙනාගේම අපේක්‍ෂාව බවට පත්විය. දිනක් කුදා විසින් ගෙන එන ලද විෂ නයි කුනක් රස අහරක් ලෙස පිසින කුමරිය එය අන්ධයාට කෑමට දුන්නාය. පුදුමයකට මෙන් එහි ප‍්‍රතිඵලය වූයේ අන්ධයාට දෘෂ්ටියත්, කුදාට සෘජු කාය බලයත් කුමරිගේ පයෝධර තුනෙක් එකක් යන දෝෂ, දුරිභූත වී යාමය. සංකේතාත්මකව ගත් කල සම්මුතිවාදයේ කුදාට සෘජු කාය ලැබිය යුතුය. ජාති අන්ධයාට දෘෂ්ටිය ලැබිය යුතුය. ති‍්‍රස්තන කුමරියගේ බදු විකෘති පයෝධර සමාන්‍යකරණය විය යුතුය. එබදු ආශ්චර්යයක් සිදුවුවහොත් මිස ඉදිරි වසර දෙක තුළ යහපාලන ආණ්ඩුවට ගැලවීමට නොහැකි වනු ඇත.