රාවය

දේශපාලන අස්ථාවරභාවය හා ඒකාධිපතිවාදයේ අනතුර

දේශපාලන අස්ථාවරභාවය හා ඒකාධිපතිවාදයේ අනතුර

ටෙරන්ස් පුරසිංහ
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

දේශපාලන අස්ථාවරභාවය රටක ආර්ථික හා සමාජ අස්ථාවරභාවය කෙරෙහි ඍජු ලෙස බලපානු ඇත. වත්මන් ශ‍්‍රී ලාංකේය දේශපාලන ක‍්‍රමය තුළ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය කුමක්ද?

යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගතවූ පසු පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඍජුව සහයෝගය පළකරන ලද ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන ආයතන අතිමහත් බහුතර සංඛ්‍යාවක ජයග‍්‍රහණය හිමිවීමත් සමග පෙබරවාරි එකොළොස්වෙනිදා පටන් රටේ දේශපාලන අස්ථාවරභාවයක් උද්ගතවී තිබේ. එම අස්ථාවරභාවය සැබෑ ලෙස ඉස්මතු වූ තත්ත්වයක්ද නොඑසේ නම් කෘත‍්‍රිම ලෙස නිර්මාණය කරන ලද තත්ත්වයක්ද යන්න ප‍්‍රථමයෙන් විමසා බැලිය යුතුය.

සාමාන්‍යයෙන් පළාත් පාලන ඡුන්ද විමසීමක් යනු රටක පහළම තලයේ මැතිවරණයක් වේ. ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් යනු වඩාත් ඉහළ තලයේ මැතිවරණ වේ. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය යටතේ එක් මැතිවරණයකදී ඡුන්දදායකයන් විසින් දෙනු ලබන ජනවරමක්, වෙනත් තලයක මැතිවරණයකදී දෙනු ලබන ජනවරමකින් නිශේධනය වන්නේ නැත. එනම් පළාත් පාලන ඡුන්දයකදී ලැබෙන ජනවරමකින් ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණවලදී ලද ජනවරම නිශේධනය වන්නේ නැත. මේ සම්බන්ධයෙන් ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය ක‍්‍රියාත්මක වන රටවල් ගණනාවකින් නිදසුන් දැක්වීමට පුළුවන. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ සමීපතම අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවේ ප‍්‍රාන්ත මැතිවරණවලදී මධ්‍යම ආණ්ඩුවේ බලය දරන දේශපාලන පක්ෂය හෝ පක්ෂ සන්ධානයට අන්ත පරාජය අත්වී ප‍්‍රාන්ත ආණ්ඩු බලය විරුද්ධ පක්ෂය විසින් හිමිකර ගැනීම නිරන්තරයෙන් සිදුවන්නකි. එසේ වූ කල මධ්‍යම ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂය ඉල්ලා අස්වීමක් සිදු නොවේ. තවත් නිදසුනක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වසර හතරකට වතාවක් ජනාධිපති තෝරා පත් කරනු ලැබුවද, කොංග‍්‍රස් සභාවේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය සඳහා වසර දෙකකට වතාවක් මහා මැතිවරණ පවත්වයි. මෙහිදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ බහුතරය ජනාධිපතිගේ දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂය විසින් අවස්ථා වැඩි ගණනකදී හිමිකරගනු ලැබීමය. එසේම කොංග‍්‍රසයේ සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයේ බහුතරයද ජනාධිපතිගේ පක්ෂයට විරුද්ධ පක්ෂය විසින් හිමිකරගනු ලැබිය හැක. එසේ වූ කල ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා විසින් හිමිකර ගනු ලැබූ ජනවරම නිශේධනය වන්නේ නැත. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ ස්වභාවය මෙය වේ.

එහෙත් පෙබරවාරි දහවැනිදා පැවැත්වූ පළාත් පාලන ඡුන්ද විමසීමට අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලැබූ පොදු ජන පෙරමුණ හිමිකරගත් ජයග‍්‍රහණයත් සමග ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවය. මක්නිසාදයත් පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල පසුබෑම ආණ්ඩුව ලද නියත පරාජයක් ලෙස අර්ථකථනය කිරීමෙනි. වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඇතිවූ සම්මුතිය තුළින් නිර්මාණය වී තිබේ. ඕනෑම ද්විපාර්ශ්වීය සම්මුතියක පාර්ශ්වයක් දෙකට සමාන තැනක් හිමිවන අතර සම්මුතියේ කොන්දේසි සමාන ලෙස පාර්ශ්වයන් දෙකටම අදාළ වේ. එමෙන්ම වගකීම හා වගවීමද පාර්ශ්වයන් දෙක වෙත සමානව හිමිවේ. එහෙයින් ආණ්ඩුවේ වගවීම එක් පාර්ශ්වයක් පමණක් දැරිය යුතු නොවේ. එය පාර්ශ්වයන් දෙකම සමාන ලෙස දැරිය යුත්තකි. අනෙක් අතට ආණ්ඩුව නිවැරදි දේශපාලන ගමන් මාර්ගයක ගමන් නොකළා නම් එහි වගකීමද දෙපාර්ශ්වය විසින් සමානව දරනු ලැබිය යුතුවේ. මෙවන් තතු යටතේ සම්මුතියේ එක් පාර්ශ්වකරුවකුට පමණක් චෝදනා එල්ල කිරීම යුක්තියුක්තවේද?

ඒ කෙසේ වෙතත් පළාත් පාලන ඡුන්දය නිමවීමත් සමග දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ අර්බුදය කෘත‍්‍රිම ලෙස ඉස්මතු කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම බලවේගයේ නායකයාය. ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දුන්නේ පළාත් පාලන ඡුන්දයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වී ඇති හෙයින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හා එජාප ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතු බවයි. නොඑසේ නම් ජනාධිපතිවරයා විසින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කර නව රජයක් පිහිටුවිය යුතු බවයි. මෙසේ ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ තර්ජනය හමුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙන්ම එක්සත් ජාතික පක්ෂයද අනවශ්‍ය ආකාරයේ පසුබෑමකට ගමන් කළේය. සැබැවින්ම එවන් පසුබෑමක් සිදු නොවිය යුතු විය. එහෙත් එම පසුබෑමෙන් ව්‍යුත්පන්නවූයේ ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේද නායකත්වයේ දුර්වලතාවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සලසා ඇති ප‍්‍රතිපාදන අනුව අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි නොවන අතර එම බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවටය. එනම් පාර්ලිමේන්තුවට අගමැති ඉවත් කළ හැක්කේ අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණි. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙසය. මෙසේ රට තුළ දේශපාලන අස්ථාවරභාවය නිර්මාණය කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් විසින් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙනි. මෙහි ඍජු ප‍්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුවේ අස්ථාවරභාවයක් වර්ධනය වීමයි. මෙසේ පාර්ලිමේන්තුවේ හටගත් අස්ථාවරභාවය සමස්ත රාජ්‍යතන්ත‍්‍රයේම අස්ථාවරභාවයක් බවට පරිවර්තනය විය.

ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇසුරින් ජනාධිපති ධුරයක් ස්ථාපිත කොට එම ධුරය වටා බලතල සංකේන්ද්‍රණය කරනු ලැබුවේ ව්‍යවස්ථාත්මක ආඥාදායකත්වයක් ගොඩ නගා දේශපාලන ක‍්‍රමයෙහි ස්ථාවරත්වය තහවුරු කරනු පිණිසය. විශේෂයෙන්ම විධායක සහ ව්‍යවස්ථාදායක බලතල පංගු කරනු ලැබුවේ මේ සඳහාය. මින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවෙන් ව්‍යුක්ත වූ ජනාධිපති ධුරයක් නිර්මාණය කළේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහාය යන්නයි. රජයේ ප‍්‍රධානියාද, සේනාධිනායකයාද, ආණ්ඩුවේ නායකයාද, විධායකයේ ප‍්‍රධානියාද ජනාධිපතිවරයා වන බැවින් මෙන්ම අධිකාරිවාදී බලතල ජනාධිපති ධුරය වටා සංකේන්ද්‍රණය කළ බැවින්ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඕනෑම දේශපාලන කුණාටුවකට ඔරොත්තු දෙන ලෙස ජනාධිපති ධුරය ස්ථාපිත කර ඇති බව දැක්වීමට පුළුවන. මේ අනුව පාර්ලිමේන්තුව අස්ථාවර වුවද ජනාධිපති ධුරය ස්ථාවර වන හෙයින් රටේ දේශපාලන අස්ථාවරභාවය මැඬපවත්වමින් දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම මෙබඳු ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීමේ ඒකායන අරමුණ විය. එහෙත් එම දේශපාලන අරමුණ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ අසාර්ථක වූයේද? ඉටු නොවූයේද?
ඕනෑම රටක දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවීම කෙරෙහි විවිධ හේතු සාධක බලපායි. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් ඇතිවීම හා එමගින් ආරක්ෂක අංශ දෙකට බෙදීම, රජයට එරෙහි කැරලිකාරී තත්ත්වයක් හෙවත් සිවිල් යුද්ධයක් පැන නැගීම, බරපතළ ආර්ථික අර්බුදයක් උද්ගතවීම, පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරයක් කිසිදු දේශපාලන පක්ෂයකට හිමි නොවීම, විදේශ ආක‍්‍රමණයකදී අත්වන පරාජය යනාදිය එම හේතු සාධක වේ. වර්තමානයේදී මෙරටෙහි මතුවී තිබෙන ඊනියා දේශපාලන අර්බුදය කෙරෙහි ඉහතින් දැක්වූ කිසිදු සාධකයක් බලපා නොමැති අතර පළාත් පාලන මැතිවරණයකදී විරුද්ධ පක්ෂයක් විසින් බහුතරය දිනාගැනීම පමණක් සිදුවී තිබේ. එම සිදුවීම රටක දේශපාලන අස්ථාවරභාවය ඇතිවීමට තරම් ප‍්‍රබල හෝ වැදගත් සිදුවීමක් නොවේ.

වර්තමාන සම්මුතිවාදී ආණ්ඩුව 2015 සිට මේ දක්වා ජනතාවට දැනෙනසුලූ වෙනසක් සිදු නොකිරීම පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵලයෙන් ගම්‍යවන්නකි. විශේෂයෙන්ම පසුගිය රජයේ දූ ෂණ වංචාවලට සම්බන්ධ අයට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක නොකිරීම, පසුගිය රජයේ මනුෂ්‍ය ඝාතන, අතුරුදන් කිරීම්, පහරදීම් යනාදියට සම්බන්ධ අයට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක නොකිරීම, ග‍්‍රාමීය පීඩිත ජනතාවට අවශ්‍යයෙන්ම ලැබිය යුතු සහනාධාර ඇනහිටීම මූලික වශයෙන් ආණ්ඩුවට එරෙහිව ජනමතය ඉස්මතුවීම කෙරෙහි බලපෑවේය. අනෙක් අතට මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනාව ප‍්‍රබල වශයෙන්ම මධ්‍යම පන්තිය ආණ්ඩුවට එරෙහිවීම කෙරෙහි බලපෑවේය. එනම් හොරකම මැඬලීම සඳහා බලයට පත්වූ ආණ්ඩුවට දූ ෂණ – වංචා පිළිබඳ චෝදනා එල්ලවීම ආණ්ඩුව කෙරෙහි ජනතා අප‍්‍රසාදය වර්ධනය වීමට හේතුවිය.

මීට අමතරව රටේ භෞතික සංවර්ධනයට අදාළ දැනෙනසුලූ වෙනසක් පසුගිය තුන්වසරෙහි සිදුනොවීමද ආණ්ඩුවේ ජනප‍්‍රසාදය පහළ යෑමට හේතුවිය. මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් අධික වශයෙන් විදේශ ණය ලබාගෙන අධිවේගී මාර්ග ඉදිකිරීම, නිශ්චිත ප‍්‍රතිලාභ පිළිබඳ අරමුණක් නොමැතිව වුවද ක‍්‍රියාත්මක කළ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි මහා පරිමාණ ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක නොකිරීම, ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයේ විදේශ ආයෝජන ගලා නොඒම, කෘෂිකාර්මික යෙදවුම්වල මිල වේගයෙන් ඉහළට ගමන් කිරීම වැනි හේතු සාධකවල බලපෑමෙන් මෙසේ ජනතාවගේ අප‍්‍රසාදය ආණ්ඩුව කෙරෙහි උත්සන්නවීම සිදුවිය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉතාමත්ම පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ – දේශපාලන පරිසරයක් නිර්මාණය වුවද එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණය පිළිබඳ තෘප්තියට පත්වූයේ සමාජයේ උගත් මැද පන්තික කොටස් පමණි. සාමාන්‍ය ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පුළුල් දැක්මක් නොමැති අතර සාමාන්‍ය ජනතාව වැඩි අවධානයක් යොමු කරන්නේ සුබ සාධන පිළිබඳවය. එය සාමාන්‍ය දෙයකි. එහෙයින් වර්තමානයේදී තහවුරු වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ – දේශපාලන වාතාවරණය පිළිබඳ කිසිදු අගය කිරීමක් සාමාන්‍ය ජනතාව තුළින් විද්‍යමාන නොවීම අවාසනාවන්ත තත්ත්වයකි. පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේදී කැපී පෙනෙන ප‍්‍රවණතාවක් වන්නේ 2015දී බහුතර ඡුන්දදායක ප‍්‍රතිශතයක් විසින් ප‍්‍රතික්ෂේපිත රාජපක්ෂවාදය නැවත පුනර්ජීවනය කිරීමට ඡුන්දදායකයන්ගෙන් බහුතරයක් විසින් දක්වනු ලබන කැමැත්තයි. ඉදිරි පළාත් පාලන හා පාර්ලිමේන්තු මැතිවරණවලදී මෙයට සමාන ඡුන්ද ප‍්‍රතිඵලයක් ලැබුණහොත් යළිත් මේ රට දරුණු අධිකාරිවාදී පාලන ක‍්‍රමයක් කරා ගමන් කිරීම වැළැක්විය නොහැක. මේ වනවිටත් ඇතැමුන් ප‍්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බවයි. එනම් 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කළ යුතු බවයි. එවිට යළිත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වෙනු ඇත. 2015දී රටේ බහුතර ජනතාව විසින් පරාජයට පත්කරනු ලැබූ රාජාණ්ඩුවාදී ප‍්‍රවණතාව යළි පණගැන්වීම ඇතැමුන්ගේ අපේක්ෂාව වී තිබේ. මෙම තත්ත්වය නුදුරු අනාගතයේදී මෙරටෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය වෙත එල්ල විය හැකි ප‍්‍රබලතම අභියෝගය වේ. එහෙත් ඒ පිළිබඳ නිවැරදි වැටහීමක් බහුතර ඡුන්දදායක ප‍්‍රජාවකට නොමැතිීම බරපතළ අවාසනාවකි.

මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ බලවේගය වත්මන් ආණ්ඩුව පෙරළා දමා ස්වකීය පාලනතන්ත‍්‍රයක් නිර්මාණය කරගැනීමට කඩිනමින් උත්සුක වීම කෙරෙහි පවතින දේශපාලන රහසක් වන්නේ එම බලවේගය වෙත එල්ල වී ඇති දූ ෂණ චෝදනාවලින් මෙන්ම මිනීමැරම් චෝදනාවලින් නිදහස්වීමය. එහෙයින් යළිත් වතාවක් එම බලවේගය වෙත ආණ්ඩු බලය අත්පත් වුවහොත් සිදුවිය හැකි ඛේදවාචකය අතිශය බරපතළය. එහෙයින් ඉදිරි වසර දෙක තුළ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගමන් කළහොත් 2015දී යහපාලනය සඳහා ජනතාවට දුන් පොරොන්දු නිසි පරිදි ඉටුකිරීමට වග බලාගත යුතුය. එසේ කළහොත් බහුතර ජන මතය යළිත් ආණ්ඩුව වෙත ග‍්‍රහණය කරගැනීමේ අවකාශය උදාවනු ඇත.

අනෙක් අතට පසුගිය වසර තුන ගතවී ගියේ සම්මුතිවාදී ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා අතර පැවති විරසකභාවය තුළිනි. ප‍්‍රතිපත්තිමය වශයෙන් මෙම දෙපාර්ශ්වය අතර ගැටුම් හට ගැනීම පමණක් නොව එම ගැටුම් ප‍්‍රසිද්ධියට පත්වීම නිරන්තරයෙන් සිදුවිය. පළාත් පාලන මැතිවරණය ආසන්න වන විට එම තත්ත්වය වඩාත් උත්සන්න වීම දක්නට ලැබුණි. ලෝකයේ කිසිම ආණ්ඩුවක් අභ්‍යන්තර අර්බුද හා ගැටුම් මධ්‍යයේ ඉදිරියට ගමන් කරන්නේ නැත. ආණ්ඩුවක පැවැත්ම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන් අතර දැඩි ඒකාග‍්‍රතාවක් පැවතිය යුතුය. එහෙත් එබඳු ඒකාග‍්‍රතාවක් සම්මුතිවාදී ආණ්ඩුව ආරම්භයේ සිටම පැවතුණේ නැත. පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පසුබෑමට මෙම තත්ත්වයද ප‍්‍රබල ලෙස බලපෑවේය. එහෙයින් ඉදිරි කාලයේ සම්මුතිවාදී ආණ්ඩුව අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ නම් ප‍්‍රධාන පාර්ශ්වකරුවන් අතර උද්ගත වන ප‍්‍රතිපත්තිමය හෝ වෙනයම් ගැටුම් වඩාත් අවම කරගත යුතු වේ. මෙය ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනාගේ මූලික වගකීමක් වේ. පසුගිය වකවානුවේ දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීමක් වූයේ ආණ්ඩුවේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා වගකීමෙන් අත්මිදීමයි. එසේ ආණ්ඩුවේ නායකයා වශයෙන් ජනාධිපතිවරයාට කිසිසේත්ම වගකීමෙන් අත්මිදිය නොහැක. ආණ්ඩුව දුර්වල වීම කෙරෙහි මෙම තත්ත්වයද ඍජු ලෙස බලපෑවේය.

විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය ඇසුරින් තහවුරු වූ තවත් කරුණක් වන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දේශපාලන උපාය මාර්ගවල අසාර්ථකත්වයයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ කිරීම තුළින් එක්සත් ජාතික පක්ෂයට පහසු මැතිවරණ ජයක් ලබාගත හැකිවේය යන උපකල්පනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ගියේය. එම උපකල්පනය දැරීම හේතු කොටගෙන එක්සත් ජාතික පක්ෂය ජනතාව සංවිධානය කිරීමට එතරම් උනන්දු වූයේ නැත. අනෙක් අතට පසුගිය වසර තුනක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ පහළ සාමාජිකයන්ට අත්වූ සැලකිය යුතු වාසියක් නොමැති හෙයින් එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ආණ්ඩුව කෙරෙහි ප‍්‍රසාදයක් වෙනුවට හටගෙන තිබුණේ දැඩි කලකිරීමකි. මෙහි ප‍්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පාක්ෂිකයා ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙම තත්ත්වය තේරුම් නොගන්නා තාක් එම පක්ෂය ජයග‍්‍රහණය කරා ගමන් නොකරනු ඇත. මෙහිදී මතුවන ප‍්‍රශ්නය වන්නේ ඉදිරි වසර දෙක තුළ වත්මන් ආණ්ඩුව ක‍්‍රියාත්මක වුවහොත් එක්සත් ජාතික පාක්ෂිකයා දිනා ගැනීම සඳහා වූ ප‍්‍රශස්ත වැඩපිළිවෙළක් එම පක්ෂයේ ඉහළ පෙළේ නායකත්වයට පවතීද යන්නයි.

වර්තමානයේදී රටේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය දේශපාලන විචාරකයන්ට ස්වකීය පෑන හැසිරවීමට මෙන්ම ස්වකීය වාග් චාතූර්යය ප‍්‍රදර්ශනය කිරීමටද මාහැඟි අවස්ථාවක් වී තිබේ. එසේ වුවද මෙම තත්ත්වය පොදු ජනතාවගේ හිතසුව පිණිස බලපාන තත්ත්වයක් නොවනු ඇත. කෘත‍්‍රිම ලෙස හෝ දේශපාලන අස්ථාවරභාවයක් උද්ගතවීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය හා සමාජයද ප‍්‍රබල අර්බුදයකට ගමන් කිරීමයි. විශේෂයෙන්ම රටේ ව්‍යවස්ථානුකූල පාලනය බිඳ දැමීමට විරුද්ධ පක්ෂය උත්සාහ දැරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයට එල්ල වන ප‍්‍රබල අභියෝගයකි. මක්නිසාදයත් ව්‍යවස්ථානුකූල පාලනය බිඳ වැටීම ඒකාධිපතිවාදයට මගසැලසීමක් වන බැවිනි.