රාවය

20 වන සියවසේ ලක් ඉතිහාසය ඔපවත් කළ දැවැන්තයෝ

20 වන සියවසේ ලක් ඉතිහාසය ඔපවත් කළ දැවැන්තයෝ

විකල්ප ඉතිහාසයන් ගවේෂණය කිරීමේ මගේ උත්සාහය පාඨක කුතුහලය තීව‍්‍ර කොට ඇති බව ලැබෙන ප‍්‍රතිචාරවලින් පෙනී යනවා.

රටක ඉතිහාසය සැබැවින්ම දිග හැරෙන දිශාව හා එහි හැඩතල තීරණය කරනු ලබන්නේ හුදෙක් දේශපාලන නායකයන් පමණක් විසින් නොවෙයි. එයට වෙනත් චරිත හා නිර්දේශපාලනික සිදුවීම් ද දායක වනවා.

පොදු උන්නතියට කැපවූ බුද්ධිමතුන්, නව මං සොයා යන ව්‍යාපාරිකයන් මෙන්ම අසාමාන්‍ය ගණයේ සමාජ සේවකයන් ගන්නා යම් පියවරත් තීරණාත්මක ලෙසින් අපේ පොදු යථාර්ථය බිහි කිරීමට හේතු වනවා.

එවන් උදාහරණ කිහිපයක් අද අපි සිහිපත් කරමු.

ශී‍්‍ර ලංකාවේ ජල විදුලිබලය උත්පාදනයේ පියා ලෙස අවිවාදයෙන් සැළකෙන ඞී. ජේ. විමලසුරේන්‍ද්‍ර (1874-1953) ගැන මීට පෙර ලිපි දෙකකින් මා විසින් විස්තර කොට තිබෙනවා (2015 අගෝස්තු 30 හා සැප්තැම්බර් 7).

1896දී රජයේ වැඩ දෙපාර්තමේන්තුවට (PWD) බැදුණු තරුණ විමලසුරේන්‍ද්‍රට, 1901දී කැලණි ගංගා නිම්නයේ ඛණිජ සම්පත් තක්සේරුවක් කිරීමේ වගකීම් පැවරුණා. පොළොව යට ඇති සම්පත්වලට වඩා මතුපිටින් ගලා යන ජල සම්පතේ විදුලි උත්පාදන විභවය ගැන ඔහු මුල් වරට තේරුම් ගත්තේ එහිදීයි.

මෙරට ජල විදුලි විභවය ගැන තම විවේක කාලයේදී තනිවම මූලික තක්සේරුවක් කළ විමලසුරේන්‍ද්‍ර මුල්වරට ඒ ගැන සෙසු ඉංජීනේරුවන්ට කරුණු ඉදිරිපත් කළේ 1912දී. එහෙත් ඔවුන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. එයින් නොසැලී ඔහු දිගටම ගවේෂණ හා අධ්‍යයන කළා.

‘ශී‍්‍ර ලංකාවේ ජල විදුලි උත්පාදනයේ ආර්ථික වැදගත්කම’ නමින් ඵෙතිහාසික නිබන්ධයක් ඔහු එළි දක්වූයේ 1918දී. ලංකා ඉංජිනේරු සංගමයට ඉදිරිපත් කළ එහි මෙරට ජල විදුලි විභවය හා එය භාවිත කොට ගෘහස්ත මෙන්ම කර්මාන්ත භාවිතය ස`දහා විදුලිබලය ජනනය කිරීම පිළිබ`ද යෝජනා මාලාවක් අඩංගු වුණා.

විමලසූරේන්‍ද්‍ර චරිත කථාවේ පැහැදිලිව පෙනෙන්නේ ඔහුගේ සහෝදර ඉංජිනේරුවන් මෙන්ම එවකට මෙරට පරිපාලන තීරණ ගත් යටත් විජිත නිලධාරීන්ද මේ නව අදහස් ගැන දැක්වූ උදාසීන ප‍්‍රතිචාරයයි.

වසර 30ක් රාජ්‍ය සේවයේ නිරතව සිට 1929දී විශ‍්‍රාම ගන්නා තුරු ඔහුට අත්හදා බැලීමක්වත් හරිහැටි කළ නොහැකි වුණා. 1931දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් වූ ඔහු මන්තී‍්‍රවරයකු ලෙස ද තම යෝජනා ප‍්‍රවර්ධනය කළා.

අසීමිත ධෛර්යෙන් යුතුව ඔහු දශක ගණනාවක් කළ බලපෑම් අන්තිමේදී කි‍්‍රයාත්මක වූයේ 1950 දෙසැම්බරයේ ලක්‍ෂපාන බලාගාරයේ මුල් අදියර නිම කිරීමත් සමගයි. එවිට විමලසූරේන්‍ද්‍රයන්ගේ වයස 76යි.

ජීවිත කාලයක් පුරා තමන්ගේ ‘ලොකු සිහිනය’ වෙනුවෙන් දිගටම පෙනී සිටිනු වෙනුවට යම් අවස්ථාවක ඔහු කල කිරීමට පත්වී සියල්ල අත්හැර දැමුවා නම්? අපේ බලශක්ති ක්‍ෂේත‍්‍රය කෙසේ වෙනස් විය හැකිව තිබුණාද?

මෙවැනිම තීරණාත්මක සිදුවීමක් 1970 දශකය අගදීත් අපට හමු වනවා.

මහවැලි ගංගා ජලය ගොවිතැනටත්, ජල විදුලි බලය ජනනයටත් යොදා ගැනීමේ විභවය ගැන විස්තරාත්මක විද්වත් අධ්‍යයන කෙරුණේ 1950-1960 දශකවලදී. මුල් අදියර හැටියට මහවැලිය හරහා පොල්ගොල්ලේ වේල්ලක් ඉදි කිරීම 1970 දී ඇරඹුණා.

1976දී එය නිම කරන ලද අතර, මුල් සැළැස්ම වූයේ අදියර කිහිපයකින් වසර 30ක් පුරා මහවැලි වේලි, ජලාශ හා වාරිමාර්ග ඉදි කිරීමයි. එහෙත් 1977 ජූලි මාසයේ බලයට පත් රජය, මහවැලි ව්‍යාපාරය වසර 5ක් තුළ නිම කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා.

මේ කඩිනම් මහවැලි ව්‍යාපාරය පිළිබ`ද කැබිනට් තීරණය මුල්වරට නිලධාරීන්ට ප‍්‍රකාශ කරනු ලැබුවේ මහවැලි සංවර්ධන මණ්ඩලයේ පැවති රැුස්වීමකදී. මෙරට ඉංජිනේරු, වාරිමාර්ග හා විදුලිබලශක්ති ක්‍ෂේත‍්‍රවල ඉහළ නිලධාරීන් හා විද්වතුන් එක් රැුස් කළ මේ රැුස්වීම අමතමින් මහවැලිය කඩිනම් කළ යුත්තේ ඇයිද යන්න එවකට අගමැති ජේ. ආර්. ජයවර්ධන විස්තර කළා.

එහිදී මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාත්, එතැන් සිටී ජ්‍යෙෂ්්ඨ ඉංජිනේරුවන් අති බහුතරයකුත් අගමැතිවරයාට කීවේ මෙතරම් විශාල සංවර්ධන ව්‍යාපෘති සමූහයක්, මෙතරම් කෙටි කාලයක් තුළ ඉදි කර නිමා කිරීම කළ නොහැකි බවයි. එසේම එයට අවශ්‍ය පිරිවැය භාණ්ඩාගාරයට නැති බවත් ඔවුන් පෙන්වා දුන්නා.

එවිට ජේ. ආර්. නිලධාරීන්ට කීවේ පිරිවැය කෙසේ හෝ තම රජයට සොයා ගත හැකි බවයි. කඩිනම් පදනමින් මහවැලි වේලි හා ජලාශ තැනිය හැකිද යන ප‍්‍රශ්නය නැවත වරක් ඔහු යොමු කළේ එතෙක් නිහඬව අසා සිටී මෙරට ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවකු වූ ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහටයි.
කුලසිංහයන් කිසිදු පැකිලීමකින් හෝ දෙගිඩියාවකින් තොරව කීවේ. ‘ප‍්‍රතිපාදන තිබෙනවා නම් අපට ඉදි කිරීම් සියල්ල වසර පහකින් කළ හැකියි’ කියායි. එම ප‍්‍රකාශය ගැන එතැන සිටි ඔහුගේ සහෘදයෝ මවිතය පළ කළා.

මේ රැස්වීම ගැන විස්තරයක් ඞී. එල්. ඕ. මෙන්ඩිස් සංස්කරණය කළ කුලසිංහ අභිනන්දන ග‍්‍රන්ථයේ හමු වනවා.

මේ ගැන මෙන්ඩිස් ලියා ඇත්තේ මෙලෙසයි. ‘‘රටේ අගමැතිට මෙවැනි ධනාත්මක ප‍්‍රතිඥාවක් දීමට තරම් වෘත්තිය ආත්ම ශක්තියක් තිබූ අයකු එම රැුස්වීමේ පමණක් නොව එදා මුළු රටේම සිටියා නම් ඒ කුලසිංහ පමණයි. මේ බව අගමැති ජේ. ආර්. ද දැන සිටියා විය යුතුයි. කුලසිංහගේ තාක්‍ෂණික හා කළමනාකාරිත්ව කුසලතා ගැන අගමැතිට ලොකු විශ්වාසයක් තිබුණා. මහවැලිය කඩිනම් කළේ එම විශ්වාසය මත පදනම් වීයි.’’

ඒ වන විටත් රජයේ සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටී කුලසිංහයන් නව රජය විසින් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලයේ (CECB) සභාපති ලෙස පත් කරනු ලැබුවා. මේ තනතුරේ කි‍්‍රයා කරමින් ඔහු වික්ටෝරියා, කොත්මලේ, මාදුරුඔය, රන්දෙණිගල හා රන්ටැඹේ වේලි හා ජලාශත්, ඒවාට අනුයුක්ත වාරිමාර්ග හා විදුලිබලාගාරත් ඉදි කිරීමට අවශ්‍ය විද්වත් උපදේශන, සම්බන්ධීකරණය හා ප‍්‍රමිතිකරණය ලබාදුන්නා. (ඒ අතර මහවැලිය සදහා ප‍්‍රතිපාදන ලෙස විදේශ ආධාර මහා පරිමානයෙන් සොයා ගන්නට ජේ. ආර්. රජය සමත් වුණා. අද මෙන් ණය ලෙස නොව, මුළුමනින් පරිත්‍යාග ලෙසයි මේ ආධාර ලැබුණේ.)

1977 අග භාගයේ මහවැලිය කඩිනම් කිරීමේ තීරණය දේශපාලනමය වශයෙන් අවදානමක් තිබූ තුරුම්පුවක්. යම් හෙයකින් කඩිනම් කාල සීමාව තුළ ව්‍යාපෘති සාදා නිම කළ නොහැකි වූවා නම් රජය බලවත් අපහසුතාවකට පත් වනවා.

අන් සැවොම නැහැ-බැහැ කියද්දී ජේ. ආර්. නොබියව එම තීරණය කි‍්‍රයාත්මක කළේ කුලසිංහයන් එසේ කථා කළ නිසායි.

යම් හෙයකින් එදා ඒ රැුස්වීමේ කුලසිංහයන් නොසිටියා නම්? නැතහොත් අන් සියලූ ඉන්ජිනේරුවන් හා නිලධාරීන්ගේ දෙගිඩියාව නිසා ඔහුගේ ආත්ම විශ්වාසයද පලූදු වූවා නම්?

දිනෙන් දින තීව‍්‍ර වන සංවර්ධන අවශ්‍යතා හමුවේ මහවැලි ව්‍යාපාරය හෙමින් හෙමින් තැනීමට නොහැකි බව ජේ. ආර්. රජය අවබෝධ කර ගෙන සිටියා. මෙරට සියලූ විද්වතුන් හා නිලධාරීන් නැහැ-බැහැ කීවද විදෙස් විද්වතුන් ගෙන්වා හෝ එය කඩිනම් කිරීමට එම රජය කි‍්‍රයා කළ හැකිව තිබුණා.

කුලසිංහයන් එදා දුන් පිළිතුර නිසා මහවැලිය කඩිනම් මට්ටමින් ඉදි කිරීම අපේ විශේෂඥයන්ගේ අධීක්‍ෂණය යටතේ සිදු වුණා. විදේශාධාර ලැබූ ව්‍යාපෘතිවලට එකී ආධාර දෙන රටවල ඉංජිනේරුවන් හා සමාගම් සම්බන්ධ වූ බව සැබෑයි. එහෙත් සමස්ත ව්‍යාපාරයේ පුළුල් සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය පැවතියේ මෙරට විද්වතුන් හා නිලධාරීන් යටතේයි. සිදු විය හැකි වඩාත් ප‍්‍රශස්ත කි‍්‍රයාමාර්ග වූයේත් එයයි.

1978-1985 මහවැලි ව්‍යාපාරය කඩිනම් ලෙස ඉදි නොකළා නම් මෙරට සහල් නිෂ්පාදනය හා විදුලිබල ජනනය සැළකිය යුතු අන්දමින් අඩු විය හැකිව තිබුණා. විශේෂයෙන් 1980 හා 1990 දශකවල විදුලිබල හිගයක් ප‍්‍රබලව මතුවීම වළක්වාගත්තේ මහවැලි බලාගාර ජාතික පද්ධතියට ලබා දෙන විදුලිබලය නිසායි.

ගල් අගුරු බලාගාර හා තාප බලාගාර කි‍්‍රයාත්මක වන අද කාලේ පවා හොද වර්ෂාව ලැබෙන වසරක මෙරට සමස්ත විදුලිබල ජනනයෙන් 30%-40%ක් ජලවිදුලියෙන් උත්පාදනය කැරෙනවා. එහිදී විශාලතම දායකත්වය ලැබෙන්නේ මහවැලි බලාගාරවලින්.

ඉංජිනේරුවන් පමණක් නොව සෙසු වෘත්තිකයන්ද ආර්ථික හා සමාජ සංවර්ධනයට මහත් සේ දායක වනවා. මෙරට යථාර්ථය වන්නේ බොහෝ විට ඔවුන් දිරිමත් කරනු වෙනුවට නිලධාරීවාදි වැට කඩොලූ මෙන්ම ඇනුම් බැනුම් හා ගැරහුම් ලැබීමයි.

ශී‍්‍ර ලංකා අක්‍ෂිදාන සංගමයේ නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා ගැනද මීට පෙර ලිපි දෙකකින් මා විස්තර ඉදිරිපත් කොට තිබෙනවා (2014 මැයි 25 ජූනි 1). මෙරට බිහි වූ විශිෂ්ඨතම සමාජ සේවා හා මානුෂික සේවා ව්‍යාපාරයක් වන අක්‍ෂිදානය අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ මෙරටින් ලෝකයට පරිත්‍යාග කර ඇති අක්‍ෂි කුනිත සංඛ්‍යාව 76,980ක්. දේශීය භාවිතයට ලබා දී ඇති අක්ෂි කුණිත ගණන 49,245ක් (2018 පෙබරවාරි 21 දක්වා).

අක්‍ෂිදානය හා හඞ්සන් සිල්වා ගැන කථා කළ අවස්ථාවේ මා ලියූවේ මෙසෙයි: ‘‘අපේ සාරධර්ම හා නූතනත්වය මනා සේ සංයෝජනය කළ අක්ෂිදානය, ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාවේ හොඳ නමට කර ඇති මෙහෙවර තානාපති නිලධාරින් සිය ගණනකටවත් කළ හැකි වික‍්‍රමයක් නොවෙයි.”

අක්ෂිදාන ව්‍යාපාරය මෙරට ස්ථාපිත වූයේ විවිධ බාධක හා හිරිහැර මැද. මේ සංකල්පය ප‍්‍රායෝගික නොවන මනෝ විකාරයක් යැයි සමහර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් මුල් යුගයේ ප‍්‍රසිද්ධියේ කියා සිටියා.

උද්‍යොගිමත් තරුණ වෛද්‍යවරයකු ලෙස හඞ්සන් සිල්වා සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයේ අක‍්‍ර‍්‍රමිකතා සහ අකාර්යක්ෂමතා පෙන්වා දීම ගැන නිලධාරින් නොසතුටු වූවා. දන් දෙන අක්ෂි කුණිත රජයේ රෝහල්වලට ලබා දුන් පසු හරිහැටි පරිහරණය නොකිරීම නිසා අපතේ යන බව තහවුරු කර ගත් වෛද්‍ය හඕසන්, ඒ ගැන ප‍්‍රසිද්ධියේ කථා කළා.

ප‍්‍රතිඵලය වූයේ දිගින් දිගටම පරිපාලනමය වශයෙන් ඔහුට හිරිහැර කිරීමයි. තමන්ගේ රාජකාරිය කිසි විටෙක අතපසු නොකොට, පෞද්ගලික වියදමින් අක්ෂිදාන වැඩ කළත් ඔහුගේ වැරදිම සෙවූ නිලධාරින් සිටියා. අන්තිමේදී 1967දී අනිවාර්ය විශ‍්‍රාම ගන්වනු ලැබුවා.

1970 දශකය මුලදී සෞඛ්‍ය නිලධාරින් අක්ෂිදාන සංගමයට දිගින් දිගටම කළ බාධා නිසා කළකිරුණු වෛද්‍ය හඕසන් පිලිපීනයේ ඇස් බැංකුවක් බිහි කිරීමට විදේශගත වන්නට තීරණය කළා. එරට සංචාරයකට ගිය සර්වෝදය නායක ආචාර්ය ඒ ටී ආරියරත්නට මෙය ආරංචි වුණා. වෛද්‍ය හඞ්සන් යළි සියරට ගෙන්වා ගන්නට මැදිහත් වුණේ ඔහුයි.

‘හඞ්සන් සිල්වා කියන්නේ එසේ මෙසේ කෙනකු නොවෙයි. ලංකාවට අවශ්‍යම පුද්ගලයෙක්’ යයි කියමින් ඔහු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට මතු වී ඇති ප‍්‍රශ්න ගැන කියා සිටියා. මැතිනිය මැදිහත් වී නිලධාරි ප‍්‍රශ්න සමනය කළ නිසා වෛද්‍ය හඞ්සන් දිගු කාලීනව විදේශගත වීමේ අදහස අත් හැරියා.කලකිරීමෙන් මඩනා ලද වෛද්‍ය සිල්වා එසේ යළිත් සියරට නොපැමිණ වෙනත් රටක සේවයට ගියා නම්? ජපානය හා පාකිස්ථානය වැනි රටවල ඔහුට ඉමහත් පිළිගැනීමක් තිබුණා. ඔහුට ඕනෑම පහසුකමක් ලබාදී ඉහළ මට්ටමේ ප‍්‍රතිපාදන සමග වැඩ කර ගෙන යාමට එම රටවල් ඉදිරිපත් විය හැකිව තිබුණා.

ඔහු ආපසු ආවේ අපේ වාසනාවටයි. එහෙත් විවිධ රජයන් යටතේ නොයෙක් ආකාරයේ හිරිහැරවලට මුහුණදිමට ඔහුට සිදු වුණා.

අවසන් වශයෙන් කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේද තීරණාත්මක විය හැකියාවන් මා දකිනවා. කී‍්‍රඩා ගැන මට වඩා බෙහෙවින් දැනුවත් නීල් විජේරත්න වැනි විද්වතකුට තවත් බොහෝ උදාහරණ හදුනාගත හැකි වේවි. දැනට එක් උදාහරණයක් මෙන්න

1977 ජූලි මහ මැතිවරණයෙන් පසුව දින කිහිපයක්ම පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නන් දෙසින් වාර්තා වුණා. ජයග‍්‍රාහී එක්සත් ජාතික පාක්ෂිකයන් පරාජයට පත් දේශපාලන පක්‍ෂවල කි‍්‍රයාකාරිකයන්ට හිරිහැර කිරීම්, පහර දීම් කළා. මැතිවරණයකින් පසු මෙතරම් ප‍්‍රචණ්ඩත්වයක් සිදු වූ මුල් අවස්ථාව එයයි.

ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රබල ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන් වූ රෙජී රණතුංග හා ඔහුගේ පවුල ද මේ ප‍්‍රහාරයන්ට ලක් වුණා. හැදිවත හා පණ බේරා ගෙන පළා ගිය ඔවුන්ගේ නිවස ගිනි තබා විනාශ කරනු ලැබුවා.

මේ ප‍්‍රහාරයට ලක් වූ පවුලේ සාමාජිකයන් අතර එවකට පාසල් සිසු හා ඉන් වසර කිහිපයකට පසුව ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයකු බවට පත් වූ අර්ජුන රණතුංග ද සිටියා. 1981 මුල්ම ටෙස්ට් කී‍්‍රඩා තරගයෙන් ඇරැුඹුණු ඔහුගේ ජාතික කි‍්‍රකට් නියෝජනයේ උච්චස්ථානය වූයේ 1996 මාර්තුවේ ඔහුගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා පිළ කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමයි.

ඔහුගේ පසු කාලීන දේශපාලන කි‍්‍රයාකාරිත්වය ගැන විවිධ විග‍්‍රහයන් ඇතත් ඔහුගේ කි‍්‍රකට් නායකත්වය සමස්ත ලක් සමාජයේ ප‍්‍රණාමයට ලක් වූ බවට විවාදයක් නැහැ.

අර්ජුනගේ චරිත කථාව දෙස් විදෙස් මාධ්‍යයන්හි ලියැවෙන විය ඔහුගේ ළමා කාලයේ ඡුායාරූප කිසිවක් දකින්නට නැහැ. ඒවාද ගිනිබත් කළ නිවසේ තිබී විනාශ වී යන්නට ඇති.

1977 ප‍්‍රහාරයෙන් පසු රණතුංග පවුල විදෙස් රටක පදිංචියට ගියා නම්? 1982 පෙබරවාරියේ පටන් ශී‍්‍ර ලංකා පිලට කී‍්‍රඩා කිරීමට අර්ජුන රණතුංගට නොහැකි වනවා. නිසි කල් පිරී අත්දැකීම් බහුල වූ පසු ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය ගැනීමට ඔහු නොසිටියා නම්?

අර්ජුනගේ පෞරුෂය, නායකත්වය නොලැබුණා නම් 1996 ලෝක කුසලානය ජයග‍්‍රහණය සිදු නොවන්නට ද තිබුණා. අපට කළ හැක්කේ අනුමාන කිරීම පමණයි.