ආණ්ඩුවේ නායකයා ස්වයං විනාශයට පාර කැපුවා

ආචාර්ය අතුල විතානවසම්
අංශාධිපති දේශපාලන විද්‍යා අංශය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය රටේ ජාතික දේශපාලනය අර්බුදයකට ගෙන යෑම කියන කාරණය ඔබ විග‍්‍රහකරන්නේ කොහොමද?

මේ පළාත් පාලන මැතිවරණය තුළ යම් සුවිශේෂත්වයක් තිබ්බා. මොකද මේක ප‍්‍රාදේශීය මට්ටම ඉක්මවා ගිහින් ජාතික වැදගත්කමක් ගන්නා මැතිවරණයක් බවට වුණා. ඒකට හේතුව තමයි, මේ මැතිවරණයට තරග කළ ආණ්ඩුපක්ෂය සහ ඉන් පිටත හිටපු ශ‍්‍රීලංකා පොදු ජන පෙරමුණ කියන ප‍්‍රධාන පාර්ශ්ව දෙක මේ මැතිවරණය යොදා ගත්තු විදිහ. විශේෂයෙන් ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ මේ මැතිවරණය ගත්තේ ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය මැන බලන බැරෝ මීටරයක් විදිහට. ඒ වගේම ආණ්ඩුව මේ මැතිවරණය භාවිත කළේ කොහොම හරි පොදුජන පෙරමුණේ ඒ අරමුණ පරාජය කරන්න. ඒ වගේම ඔවුන් ආණ්ඩුවේ ශක්තිය උපරිම තලයකට ගේන්න උත්සාහ ගත්තා.

පොදුජන පෙරමුණේ ආධ්‍යාශය පරාජය කරන්න ආණ්ඩුව කටයුතු කළා කියලා කිව්වත් ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලදී එහෙම පෙණුනේ නෑ. ඒක බොහෝ විට කේන්ද්‍රගත වෙලා තිබ්බේ ආණ්ඩුව ඇතුළේ තිබුණු අර්බුද විසඳගන්න ස්වරූපයෙන්?

ඔව්. මේ මැතිවරණ ප‍්‍රතිඵලය ගැන සලකලා බලද්දි ඒකට හේතු වුණ ප‍්‍රධාන සාධකය විදිහට පේන්න තිබුණේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක‍්‍රියා කලාපය. ඔහුගේ ප‍්‍රකාශන මේ මැතිවරණ ප‍්‍රතිඵලයට විතරක් නෙමෙයි, මේ පළාත් පාලන මැතිවරණය ජාතික තලයේ මැතිවරණයක ස්වරූපයට ගේන්නත් ඉතාම තදින් බලපෑවා.

මේ ක‍්‍රියාපටිපාටියේදී ජනාධිපතිවරයා කටයුතු කළේ තමන්ගේම ආණ්ඩුවේ ප‍්‍රධාන කොටසක් වන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව. මේක එකම ගෙදර ඉඳන් ගෙදර අනික් සාමාජිකයා විවේචනය කරනවා වගේ තත්ත්වයක්. ඒ හැසිරීම තුළ ඔහු ඔප්පු කළා තමා පරිණත නායකයකු නොවන බව. ඔහු හැසිරුණේ ගමේ සාමාන්‍ය නිදහස් පාක්ෂිකයෙක් වගේ. එතනදි තමා රටේ නායකයා ය, නිදහස් පක්ෂයේ සභාපති ය, ආණ්ඩුවේ නායකයා ය, විධායකයේ නායකයා ය කියන කාරණා සියල්ල නොසලකා හැරියා. ඔහුගේ අපරිණතකමට අමතරව, තම පක්ෂයේ න්‍යායන් රටට වඩා ඉදිරියට ගැනීම සහ තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම කියන වැඩපිළිවෙළත් මේ හැසිරීමට බලපෑවා.

ආණ්ඩුවේ සහ රාජ්‍යයේ නායකයා තමන්ගේ ම ආණ්ඩුව විවේචනය කරමින් ස්වයං විනාශය කරා මාර්ගය කපාගත්තු එකම අවස්ථාව තමයි මේක. ඒ අර්බුදයේ කොටස්කරුවෙක් විදිහට ඔහුම ඉඳගෙන අර්බුදය විවේචනය කිරීම උපහාසාත්මකයි. රටක ජනාධිපතිවරයෙක් කියන්නේ රාජ්‍ය නායකයෙක්. නූතන සංකල්ප හැටියට ජනාධිපතිවරයෙක් සලකන්නේ ක‍්‍රයිසීස් මැනේජර්වරයෙක් හෙවත් අර්බුද කළමනාකරුවෙක් හැටියට. මොකද ජාත්‍යන්තරයෙන් හෝ රට අභ්‍යන්තරයෙන් එන අර්බුද සමහන් කිරීමේ කාර්යය හිමිවෙන්නේ ජනාධිපතිවරයෙක්ට.
එක්සත් ජාතික පක්ෂය වැරදි කළා තමයි. මහබැංකු මංකොල්ලය අති විශාල, සමාව දෙන්න බැරි එකක්. ඒත් ඒවගේ වැරදි වෙද්දී ආණ්ඩුවේ නායකයා විදිහට ඉදිරියට ඇවිත් ඒවා වළක්වන එකයි ජනාධිපති වරයා කරන්න තිබ්බේ. ඒ වෙලාවේ නොදැක්ක ගානට ඉඳලා පස්සෙ එකපාරට මැතිවරණ වේදිකාවට නැගලා මෙන්න ගෙදර හොරාකනවෝ, මං දැන් තමයි දැක්කේ කියලා කියන එක වැරදියි.
ජාතික ධනය මංකොල්ල කනකොට නිහඬව ඉඳීම තුළ මැතිවරණ වේදිකාවේදී මොනවා කිව්වත් ඒ වැරදිවලින් ඔහුට ගැලවෙන්න බෑ. මොකද ඒ ක‍්‍රමයට නායකත්වය දුන්න කෙනා ඔහුයි. ඒ වෙලාවේ ආණ්ඩුව තුළ හරි වෙනත් නීතිමය ආයතනයක් තුළ හරි ඒ වැරදි විසඳගන්න කටයුතු කරලා ඒ බැරි වුණානම් දෙවනුව ඔහුට ඒක මැතිවරණ වේදිකාවට ගේන්න තිබ්බා. එදා ඒ කිසි දෙයක් කරන්නෙ නැතිව පස්සෙ මැතිවරණ වේදිකාවට ඇවිත් මෙන්න මගේ ගෙදර හොරු ඉන්නවා කියන එකේ පදනමක් නෑ.

පක්ෂ දෙක අතර මේ අර්බුදය පළාත් පාලන මැතිවරණය තුළදී මතු වූවකට වඩා ආරම්භයේ ඉඳන්ම තිබුණු එකක් කියලා 19 ව්‍යවස්ථා සංශෝධන අත්දැකීම්, අලූතින් ගේන්න ගිය ව්‍යවස්ථාව සම්බන්ධ කාරණා සහ ඇමති මණ්ඩලය පත්කිරීම වගේ තැන් වලදි තදින් පෙනුණා?

ඔව්. මේ අර්බුදයේ ඉතිහාසය දෙදහස් පහළොව දක්වාම ගමන් කරනවා. මොකද ආණ්ඩුවේ මේ සම්බන්ධය එදා ගොඩ නැගුණේ ම හුදෙක් මහින්ද විරෝධය කියන සටන්පාඨය ඇරගෙන. එතනින් එහාට ගිය පුළුල් ඉදිරි වැඩපිළිවෙළක් යටතේ නෙමෙයි.
මේ වැඩපිළිවෙළ ආවේ කිසිම පක්ෂයකින් නෙමෙයි, සිවිල් සමාජයෙන්. විශේෂයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වය අනුව ගොඩනැගුණු කතිකාව ඇතුළේ තමයි ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ හා යහපාලන වැඩ පිළිවෙළක් ගොඩනැගිය යුතුයි කියන මතය ආවේ. ඒ සඳහා මුලින් ම නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයෙක් තරගකොට දෙවනුව ගොඩනගන පාර්ලිමේන්තුවක් හරහා මේ ප‍්‍රතිසංස්කරණ විය යුතුයි කියන සංකල්පය තමයි එතනදි මතු වුණේ.

පක්ෂ සිදු කළේ සිවිල් සමාජ සඨන්පාඨ සහිත මේ වැඩපිළිවෙළ අත්පත් කරගත්ත එක විතරයි. මේ අය මේ සටන් පාඨ අලූතින් අතට ගත්තත් මේවා කෙරේ අව්‍යාජ වුවමනාවක් තිබුණේ නෑ. ඔවුන් බැලූවේ මේ සඨන්පාඨ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න තිබුණු හොඳම සටන් පාඨ විදිහට විතරයි.

ඇත්තටම කියනවානම් දින සීයේ වැඩපිළිවෙළ තුළ තිබුණා පුළුල් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකට යනවා කියන එක. මුලදී කිව්වා ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන එක. දෙවනුවට කිව්වා ජනාධිපතිවරයාගේ බලතල ඉතාමත් තීරණාත්මක විදිහට අඩු කරමින් විධායක අගමැති ධුරයක් සහිත පාලන ක‍්‍රමයකට යනවා කියලා. ඊට අමතරව ස්වාධීන කොමිෂන් සභා පත් කරනවා කිව්වා. ඒත් ඒ කාලය තුළ ඒ දේවල් ඉටු කරගන්න බැරි වුණා. ඒකට හේතුව ඒ ගැන පුළුල් දැක්මක්වත් වුවමනාවක්වත් තිබුණෙ නැති නිසා.

මේ වෙලාවේ තියෙන අර්බුද වැඩි කරන්න දහනමවන සංශෝධනයත් බලපාලා තියෙන බව පේනවා?

දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ අධිකරණයේ සීමාවන්ට සහ ඊට එරෙහිව කකුළෙන් අදින විපක්ෂ බලවේගවලට යටත්ව නිර්මාණය වුණ එකක්. ඒ නිසා ඒක දැන් තියෙන ව්‍යවස්ථා අර්බුදයට හේතු වෙලා තියෙනවා කියන එක සෑහෙන දුරට නිවැරදියි.

මං විශ්වාස කරන විදිහට හැත්තෑ අට ව්‍යවස්ථාවට තවදුරටත් මේ විදිහේ සංශෝධන ගේන්න බෑ. මේ ව්‍යවස්ථාවේ සැබෑ අභිලාශය බලවත් විධායකයක් සහිත අධිකාරිවාදී පාලනයක් බිහිකිරීම. ඒ නිසා ඒ අභිලාශයට පිටින් යන සංශෝධන ව්‍යවස්ථාව විසින්ම ප‍්‍රතික්ෂේප කරනවා. ඒක හරියට ලේ නොගැලපෙන රෝගියෙක්ගේ අවයවයක් බද්ධ කරනවා වගේ එකක්. මේ ව්‍යවස්ථාව ගෙනාවට පස්සේ එතන ඉඳන් දාහත්වන ව්‍යවස්ථා සංශෝධනයට එනකන්ම ගෙනාපු සංශෝධන අතර දහතුන හැර අනික් සියල්ල නිවැරදි ආකාරයට ගැලපුණා. මොකද ඒකට හේතුව ඒ හැම සංශෝධනයක්ම ගෙනාවේ මූලික ව්‍යවස්ථාවේ යටි අරමුණ හෙවත් විධායකය තව තවත් ශක්තිමත් කිරීමට නිසා. ඒත් දාහත්වන සංශෝධනය ආවේ වෙනත් අරමුණක් සහිතව. ඒ නිසා ඒක ප‍්‍රතික්ෂේප වුණා. ඊළඟට ගෙනාපු දහ අට ව්‍යවස්ථාව හැත්තෑ අට ව්‍යවස්ථාවට හොඳින් ම ගැලපුණා. එහෙම බලද්දි දහ අට ගෙනාපු අය තමයි මේ ඒකාධිපති ව්‍යවස්ථාවේ අභිලාශය හොඳින්ම හඳුන ගත්ත පිරිස. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපයේ පැලැස්තරයක් විදිහට දහනමය ගෙනාවට පස්සේ ඒක තුළ තවදුරටත් අර්බුද ඇති කළා. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ මේ ගැටලූව හඳුනගෙන අලූත් ව්‍යවස්ථාවක් කරා යන එක විතරයි. එහෙම නැත්තං මේ ව්‍යවස්ථාව විඳදරාගෙන ඉන්න එක විතරයි.

දහනමවන සංශෝධනය තුළින් එක්තරා ආකාරයකින් පැවති ක‍්‍රමයේ තටු සින්දත්, ඒ මගින් ඇති කරපු අවහිරතා සහ අස්ථාවරත්වයන් විශාලයි.
මේ සංශෝධනයේ තියෙන ප‍්‍රබලම දෝෂය තමයි, ජනාධිපතිවරයා එක පක්ෂයකිනුත් පාර්ලිමේන්තුව තවත් පක්ෂයකිනුත් පවතින වේලාවක ඇතිකරන ගැටුම් ව්‍යවස්ථාව තුළින් ම විසඳාගන්න ක‍්‍රමයක් නැති කම. මේ සංශෝධනයට කලින්, පාර්ලිමේන්තුවේ ධුරකාලය වසරක් ගිය තැන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට පුළුවන්කම තිබ්බා. ජනතා ඡුන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් ඒ ආකාරයෙන් විසුරුවා හරින්න ජනාධිපතිවරයෙක්ට අයිතියක් තියෙනවාද කියලා එතන සදාචාරාත්මක අර්බුදයක් තිබ්බා කියන එක ඇත්ත. ඒත් ඒ ගැටලූවෙන් ගොඩ එන්න සදාචාරාත්මක අවිය භාවිත කරලා නව මැතිවරණයකට යන්න එදා පුළුවන් වුණා. ඒත් මේ සංශෝධනය මගින් ඇති කරන ලද අවහිරතා නිසා මතුවන අස්ථාවරත්වය අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු හතරහමාරක් විතර ඉන්න වෙනවා. ඒ තුළ රට අරාජිකත්වයකට යන එක වළක්වන්න බෑ.

දහනමවන ව්‍යවස්ථාවේ කියන්නේ, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ තුනෙන් දෙකක එකඟත්වය මත ජනාධිපතිවරයාට කරන ලද ඉල්ලීමකින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් කියලා. ඒත් ප‍්‍රායෝගිකව ගත්තාම ඉතාම පැහැදිලියි මේක සිදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මේ වරදාන යටතේ කොයි මන්ත‍්‍රීවරයාද කලින් ගෙදර යන්න කැමති. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බොහෝ නවක මන්ත‍්‍රීවරුන් කල්පනා කරනවා කොහොම හරි අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ‍්‍රාම වැටුප හදාගන්න ඕනෙ කියලා. අනෙක් අතට ලංකාවේ බොහෝවිට මන්ත‍්‍රීවරුන් වගේම අමාත්‍ය ධුරත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතිං කුමන හෝ ඇමති ධුරයක් ලබාගත් කෙනෙක් ඒක අතඅරින්න කැමති නෑ. අනික් කාරණය තමයි ලංකාවේ මැතිවරණවලට කරන වියදම. රුපියල් මිලියන ගාණක් තමන්ගේ මැතිවරණයට වියදම් කරලා පාර්ලිමේන්තුවට ගිය කෙනෙක් ඒක අත්හිටුවලා ආයෙමත් ඒ වගේ මුදලක් වියදම් කරලා මැතිවරණවලට යන්න කැමති නෑ. සමහර වෙලාවට එහෙම කරන්න හැකියාවකුත් නෑ. ඒ නිසා මේ වගේ වෙලාවක හැමෝම බලන්නේ අර්බුදයේ ම කොටස්කරුවන් හැටියට ඉස්සරහට යන්ඩ.

ජනාධිපති මැතිවරණයකට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයි කියන පොදුජන පෙරමුණු ප‍්‍රවාදය ඔබ දකින්නේ කොහොමද?

ඒක ඉතාමත් වැදගත් ප‍්‍රශ්නයක්. ඉදිරියට පෙළගැහෙමින් තියෙන කාරණා දිහා බලපුවාම පේනවා අනික් පක්ෂවලට වගේම මේ අයටත් නායකත්වය පිළිබඳ ව්‍යවස්ථා සීමාවන් තියෙනවා කියලා. පළාත් සභා මැතිවරණයට පසුව එන්න තියෙන්නේ ජනාධිපතිවරණයක්. පාර්ලිමේන්තු මැතිවරණය එන්න තියෙන්නේ ජනාධිපතිවරණයට පස්සෙ. ඒ නිසා ඉතාමත් පැහැදිලියි මේ අය මේ ප‍්‍රවාදය ගෙනියන්නේ තමන්ගේ ඒ අර්බුදය විසඳගන්න කියලා.
ජනාධිපතිවරණයකට කළින් මහ මැතිවරණයක් ගෙනාවොත් මහින්ද රාජපක්ෂ මහතා ඒකට තරග කරනවා. එහෙම කරලා බලයට ආ ගමන් ඒ අයට පුළුවන්කම ලැබෙනවා හොඳින් හෝ නරකින් මේ ව්‍යවස්ථාව සකසාගන්න.

ව්‍යවස්ථා සංශෝධනයක් දෙආකාරයකින් කරන්න පුළුවන්. එකක් තමයි පවතින ව්‍යවස්ථා සම්ප‍්‍රදායන් අනුගමනය කරලා කරන එක. අනික ඒවා නොසලකා හැරලා කරන එක. හැබැයි එහෙම කරන්නේ අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රාජ්‍යන් තුළ. ඒවගේම නවසිය පණස් හයේදී පාකිස්ථානයේ නායකයා වූ ජෙනරාල් අයුබ් කාන් කළේ එහෙම. යාහ්යා කාන් හැට හතේදීත් ඒ වගේම හැත්තෑ අටේදී ජෙනරාල් සියාවුල් හක් වගේ අයත් කළේ එහෙම. එක්දහස් නවසිය දාහතේ සෝවියට් සංගමය තුළ නව ව්‍යවස්ථාවක් පිහිටෙව්වේ එහෙම. ඒ විතරක් නෙමෙයි අපි හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හැදුවෙත් එහෙම. ඒක හැදුවේ සෝල්බරි ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සම්පාදන විධිවිධාන අනුව නෙමෙයි. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් විදිහට පාර්ලිමේන්තුව පත්වෙලා. පස්සෙ එක්සත් ජාතික පක්ෂය සහ උතුරේ දේශපාලනික පක්ෂ ඒ වැඩ පිළිවෙළින් අයින් වුණාම තනිකර ආණ්ඩුවේ වැඩපිළිවෙළක් විදිහටයි ඒක ගෙනාවේ.

එතනදි ඔවුන්ට එක්කෝ මහින්ද රාජපක්ෂ මහතාටම රටේ නායකත්වය හිමිවන ආකාරයට විධායක අගමැති ක‍්‍රමයකට යන්න පුළුවන්. එහෙමත් නැතිනම් දහනමවන සංශෝධනය ආපහු හරවලා දහ අටවන සංශෝධනය බලාත්මක කරන්න පුළුවන්. ඉන්පස්සෙ මහින්ද රාජපක්ෂ මහතාට පුළුවන් ආපහු ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙලා රටේ විධායක ජනාධිපතිවරයා වෙන්න. ඒ වගේම මේ වගේ ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුළේ වෙනත් රටවල පුරවැසියන්ට තියෙන බාධා ආදී සියල්ල ඉවත් වෙයි කියලත්, පෙර පරිදිම පවුල් පාලනයකට නිර්මාණය වෙයි කියලත් හිතන්න පුලූවන්.