රාවය

මැතිවරණ ප‍්‍රතිඵලය සහ ඉදිරියට විය හැක්කේ කුමක්ද?

මැතිවරණ ප‍්‍රතිඵලය සහ ඉදිරියට විය හැක්කේ කුමක්ද?

පළාත් පාලන ඡන්ද ප‍්‍රතිඵලයේ සංකීර්ණතාව නිසා යහාපාලන ආණ්ඩුව බරපතළ අර්බුදයකට ගියේය. දින ගණනාවක් යනතුරු කිසිවකුටත් ඉදිරිය නොපෙනෙන තත්ත්වයක් උදා විය. මෙම සාකච්ඡුාවට විෂය වන්නේ මැතිවරණ ප‍්‍රතිඵලය සහ රටේ දේශපාලන ස්ථාවරත්වයයි.

වින්ධ්‍යා ගමගේ / දිනී ජයසේකර

අපි කියපු කිසිදෙයක් අදාළ වෙලා නැහැ.
ආචාර්ය සෞම්‍ය ලියනගේ.

ප‍්‍රාදේශීය වශයෙන් නියෝජිතයන් තෝරාගැනීමේ මැතිවරණයක්. මේ මැතිවරණයෙන් සම්පූර්ණයෙන්ම රටක දේශපාලන විපරිවර්ථනයක් සිද්ධ කළ හැකි මැතිවරණයක් කියල බොහෝ දෙනෙක් කියනවා. ඒත් මම එය විශ්වාස කරන්නෙ නැහැ. බොහෝ වෙලාවට එහෙම යම් යම් පිරිස් විසින් එවැනි අර්ථකතන දෙන්න උත්සාහ කරනවා. හැබැයි මම හිතන්නෙ නෑ මහ ජනතාව විසින් එහෙම ප‍්‍රකාශයක් යෝජනා කරලා තියෙනවා කියලා. මේ මැතිවරණයෙන් යම් විදියට අනතුරු ඇගවීම් සහ යම් කිසි විධියේ ප‍්‍රකාශන කිහිපයක් එළියට සම්පේ‍්‍රෂණය කරල තියෙනවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සමස්ත රාජ්‍යයතන්ත‍්‍රයම කණපිට පෙරලන්න පුළුවන් කියලා. බල තුලනය සම්බන්ධව යම් යම් සංවාද පවතින බව තේරෙනවා. එහෙත් මම හිතන්නෙ දේශපාලන ක‍්‍රමය ඇතුලත පවතින බල තුලනය ප‍්‍රශ්නයක් නැහැ කියලා.

මේ රටේ මහජනතාව දේශපාලන වශයෙන් ඉන්න බුද්ධි මට්ටමේ තරම මේ පළාත් පාලන මැතිවරණයෙන් විද්‍යමාන කළා කියලත් කියන්න පුළුවන්. රටේ මහජනතාව බලපාන දෙයක් තමා රටේ දූෂණ සහ අක‍්‍රමිකතාවන්. ඒත් එවැනි චෝදනා ඉහ වහා ගිය පක්ෂ ඉතා පැහැදිලිව දැක දැකත් නැවත වරක් ඔවුන්ටම බලය ලබා දෙන විදියේ ඡුන්ද ප‍්‍රකාශනයකට රටේ ජනතාව ගිහිල්ල තියෙනවා. එක්තරා විදියකට මේ රටේ තියෙන පසුගාමී සමාජයේ තරම තමයි එයින් ඉස්මතු වෙන්නේ.

වන සියවසේ ජීවත් වෙනව කියලා අපි කීවට ගතානුගතික, ජරා ජීර්ණ සමාජ ක‍්‍රමයක තමයි අපි තවමත් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ රටේ දියුණු සමාජ භාවිතයකුත් නැහැ කියලයි දේශපාලන අර්ථයෙන් මට කියන්න පුළුවන් වෙන්නේ. එහෙම දියුණු සමාජ භාවිතයක් තිබුණානම් ඡුන්ද ප‍්‍රතිඵලය මේක නෙමෙයි. එක අතකින් පේන්නේ මේ අපි කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස , සමානාත්මතාව, ජනතාවගේ අයිතීන් සහ චින්තනයේ නිදහස වැනි, මේ කිසිම දෙයක් සමාන්‍ය පොදු ජනතාවට විෂය වන්නේ නැහැ කියන එක. රටේ ජනතාවගෙ ප‍්‍රතිචාරය තුළින් මුදල් ගසාකෑම්, වංචා , හොරකම් කිරීම් ප‍්‍රශ්නයක් නැහැ කියන එක අදහස් වෙනවා. එහෙම බලද්දි මේ රටේ බහුතර ජනතාවට පොදු වශයෙන් අවශ්‍යය කුමක්ද කියන එක ලොකු ප‍්‍රශ්නයක්.
ජනතාවගේ පොදු අභිලාෂයන් පැවති පළාත් පාලන ඡුන්දයෙන් ප‍්‍රකාශ කරන්න බැහැ කියන එක තමයි මගේ අදහස. එක්තරා විදියකින් ගත්තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම් සිදු කිරිමට තිබූ ඉඩ කඩ පසු ගිය ආණ්ඩු පාවිච්චි නොකළ නිසා සිදු වූ නොසතුටුතාව, අකමැත්ත සහ විරෝධය පළ කරන්න මේ ඡුන්දය ජනතාව විසින් පාවිච්චි කළා කියල අදහසක් මගේ තියෙනවා. එහෙත් සමහරු කියනවා රටේ මහජනතාව විකල්පයක් විදියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තෝරගත්තා කියන කාරණය. මහජනතාව විසින් විකල්පයක් විදියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තෝරගත්තා කියලා හිතන්න බැහැ. එහෙම විකල්පයක් විදියට තෝරගන්න වුවමනාව තිබුණනම් ජනතා විමුක්ති පෙරමුණ තෝරගන්න තිබුණා.

යහපාලන වරම දෙසට හැරිය යුතුයි.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

වර්තමාන දේශපාලන අර්බුදය ගැන සාකච්ඡුාවට පෙර මේ දේශපාලන සන්දර්භය දෙස අවධානය යොමු කළ යුතුයි. මුලික වශයෙන්ම අපේ රටේ දේශපාලනයේ කළු කඩ කර්මාන්තයක ලක්ෂණ දක්නට හැකියි. මෙසේ ව්‍යාපාරිකයින්ට රජයත් සමග කළුකඩ ව්‍යාපාර කිරීමට සැලැස්වීම ඉතා දූෂිත තත්ත්වයක්. මෙය අප රටේ දේශපාලනයේ තිබෙන ගැඹුරු ව්‍යුහාත්මක ගැටලූවක්. මේ සමගම, 90 ගණන්වල සිට බලද්දී ඡුන්දදායකයන්ගේ කොටසක් දැනුවත්ම ඡුන්දය ප‍්‍රකාශ නොකර සිටින බව පෙනෙනවා. මගේ විශ්වාසය 90 දශකයේ ලක්ෂ 5ක් පමණ වූ මෙම ප‍්‍රමාණය දැන් ඊට වඩා විශාල ප‍්‍රමාණයකින් දක්වා වර්ධනය වි ඇති බවයි. ඒත් මේ පිරිස සමාජ දේශපාලන වශයෙන් අකී‍්‍රය අය නොවේ. මෙවැනි පිරිසක් ගම්මට්ටමේත් සිටිනවා. මෙවර මැතිවරණයේදී ඡන්දය හිමි ඡුන්දදායකයන් 1/3 ප‍්‍රමාණයක් ඡුන්දය ප‍්‍රකාශ කරලා නැහැ. දේශපාලනය එපා වීම නිසා මෙසේ ඡුන්දය ප‍්‍රකාශ කරලා නැහැ. දේශපාලනය එපා වීම නිසා මෙසේ ඡුන්දය නොදුන් අයගේ ප‍්‍රමාණය අපට මැනගත නොහැකියි. ඒත් මම හිතනවා මේ නොපෙනෙන කොටස ඉතාම වැදගත් පිරිසක් කියලා. මොවුන් සමාජ විඥානයේ නොපෙනෙන කොටසක්. ඒත් සමාජයේ සකී‍්‍රයයි. ඡුන්දයේදී ඔවුන්ව නියෝජනය වෙන්නේ නැහැ.

සන්දර්භයේ තවත් පැත්තක් තිබෙනවා. එනම් ආණ්ඩු හා දේශපාලනයේ ගැටලූ ගැන සාකච්ඡුා කරන අතරතුර මහජනයාගේ දායකත්වයෙන් ඇතිවූ නිහඬ ජයග‍්‍රහණ කිහිපයක් තිබෙනවා. ඒවා ඇත්ත වශයෙන්ම අමාරුවෙන් වුවත් ආණ්ඩුවට කිරීමට සිදූ වූ දේවල්. ඒවායින් කිහිපයක් වන්නේ අධිකරණයේ යම් ආකාරයේ යහපත් ගමනක් යෑම, පොලීසියට යම් ආකාරයක ස්වාධීන තත්ත්වයක් තිබීම හා ස්වාධීන කොමිසන් සභා කි‍්‍රයාත්මක කිරීම. ඒ ස`දහා හොදම නිදසුනක් වන්නේ පැවතුන මැතිවරණය. පසුගිය මැතිවරණය ලංකාවේ කාලයකට පසුව පැවතුන ඉතා සාමකාමී රාජ්‍ය දේපොළ අවභාවිත නොකළ සාධාරණ මැතිවරණයක්. එවැනි සංකීර්ණ අවස්ථාවකදී තමයි ජනතාව 2/3 පිරිසක් ඡන්ද පාවිච්චි කළේ.

මැතිවරණ ප‍්‍රතිඵලය ගැන විශාල කතිකාවතක් තිබෙනවා. මාධ්‍යවලින් ගොඩනගන දෙය හා යථාර්ථය අතර විශාල පරතරයක් තිබෙනවා. පොදුජන පෙරමුණ45% පමණ ඡුන්ද ප‍්‍රමාණයක් පළාත් පාලන ආයතවල ජයග‍්‍රහණයක් පෙන්නුම් කරනවා. මගේ මතය අනුව මෙය රාජපක්‍ෂ බලවේගවලට වෙස්වලාගෙන පැමිණි ශාපයක්. මම එසේ කියන්න හේතු ගණනාවක් තිබෙනවා. දැන් තිබෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවක් නොවෙයි. අධිකරණය හා පොලිසිය යම් තරමකට ස්වාධීනව කටයුතු කරන අවස්ථාවක්. පළාත් ආණ්ඩුවල බලය සැකසීම අතින් ගත්තම 50%ට වඩා අඩුබලයක් තිබෙන්නේ. ඒ නිසා බලය අතින් ගත්තත්, දුර්වල ආණ්ඩුවක් තිබෙන්නේ. විශාල විපක්ෂයකුත් තිබෙනවා.

මේ ගම්වල මං අර කලින් කී නිහඬ,එහෙත් සකී‍්‍රය දේශපාලන පක්ෂයකට අයත් නැති ජනතාව ඉන්නේ. ඒ වගේම මෙතන රාජපක්‍ෂ දේශපාලන සංස්කෘතියට අයත් ලක්ෂණත් තිබෙනවා. ඡුන්දෙන් පස්සේ දෙවැනි දවසේ ඉදලම ඔවුන් තම දේශපාලන අවභාවිතා පටන් ගත්තා.

ඒත් වෙනස තිබෙන්නේ, පසුගිය කාලයේ වගේ නොවෙයි. මේ දූෂණ, මැරකම්, අවභාවිතා සිද්ධි දැන් එළිවෙනවා. රාජපක්‍ෂ සංස්කෘතිය යටතේ ඉන්න බොහෝ දෙනෙක්ට, මහින්ද රාජපක්‍ෂ වරින් වර ප‍්‍රසිද්ධියේ කියා සිටින්නේ ‘‘උඹලා ඕන එකක් කරගනිල්ලා, අහුවෙන්නේ නැතිව’’ කියලයි. ඒත් තත්ත්වය වෙනස් නිසා මේ දේවල් දැන් එළිවෙනවා. මේ අවුරුද්ද එකහමාර ඇතුළත ගමේ මිනිසුන්ට මෙම රාජපක්‍ෂ පාලනය තිත්ත වේවි. එම දූෂිත කි‍්‍රයාවලට විරෝධයන් එල්ලවෙනවා. ඉහළින් එන නියෝග තුළින් ඒවා පාලනය කළ නොහැකි වෙනවා.

රාජපක්‍ෂලා කියනවා පාක්ෂිකයන්ට නීතිරීති පනවලා තිබෙනවා කියලා. ඒත් නායකයෝ හොරු වෙනකොට පක්ෂේ අනිත් අය පාලනය කිරීමට නොහැකි වෙනවා. ඒ වගේම රාජපක්‍ෂලාගේ පක්ෂයේ අභ්‍යන්තර ආරවුල්, පවුල් තුළ තිබෙන ගැටුම් නිසා ඉදිරි අවුරුදු 1 1/2 ඇතුළත මේ බලවේගවල සෑහෙන්න පිරිහීමක් ඇතිවෙයි කියලා සිතනවා. දැනට පොහොට්ටුව ලබාගත් ඡුන්ද වුවත් බොහෝම අමාරුවෙන් උත්සාහ කිරීමෙන් ගත් ඒවා. ඒත් ජනාධිපතිවරණයේදී ලබාගත් ඡුන්ද මට්ටමට ළගා වෙන්න මහින්දට නොහැකි වුණා. ඒවගේම පොදු ජන පෙරමුණට ලැබුණු සමහර ඡුන්ද රාජපක්‍ෂවාදී නොවන, සම්මුතිවාදී ආණ්ඩුවේ අසාර්ථකත්වය හෝ ගැටලූකාරී දේ නිසා ඒවාට විරුද්ධව තම කෝපය ප‍්‍රදර්ශනය කිරීමට භාවිත කළ ඡුන්ද ඒ නිසා මගේ මතය නම් පොහොට්ටුවේ ජයග‍්‍රහණය ඔවුන් ලබාගන්න නියමිත පරාජය ආරම්භ කරන ආකාරයක් බවයි.

ඒ වගේම යහපාලන ආණ්ඩුවට අදාළව ඇතිවූ විශාල ගැටලූවන් වූයේ දේශපාලන ගැටලූ සහ පක්ෂවල සංස්කෘතික උගුල්වලට හසුව ජනාධිපතිවරයා ‘නිර්පාක්ෂික’ නායකයකු ලෙස ජනතාවට නායකත්වය ලබාදීමට අපොහොසත් වීමයි. එසේ නිර්පාක්ෂික වූවා නම්, ඡුන්දයේදී මහජනයාගේ අවශ්‍යතාවයන්ට ඉඩ දුන්නානම් (උදා – පිරිසිදු දේශපාලන පරිසරයක් ගොඩනැගීමට) රාජපක්‍ෂවරුන්ට මීට වඩා පරාජයක් මෙන්ම ජනාධිපතිතුමාට අතට හා බුලත් කොළයට මීට වඩා ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත හැකිව තිබුණා. කෙසේ නමුත් ඒ අවාසනාවන්ත තත්ත්වය උඩදී පවා නිදහස් පක්ෂයට හා පොදු පෙරමුණට ලක්ෂ 15කට කිට්ටු ඡන්ද ප‍්‍රමාණයක් ලැබුණා. ඇත්තටම ඒ කෝණයෙන් බලන විට පෙනී යන්නේ එතන ජයග‍්‍රහණය ලැබී ඇත්තේ ජනාධිපතිවරයාට බවයි. ඔහුට මුලදී නොතිබූ විරූ ඡන්ද රාජපක්‍ෂලාට හිමිවීමට තිබූ ඡන්ද තමයි මෙසේ ජනාධිපතිවරයාට ලැබී තිබෙන්නේ. ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටියා නම් අතිවිශාල ඡන්ද ප‍්‍රමාණයක් ඔහුට හිමිවීමට ඉඩ තිබුණා.

යූඑන්පීයේ නායකත්ව අර්බුදයක් තිබෙන බව රහසක් නොවේ. හොද නායකයෝ ඒතුළ සිටියත් කුල ප‍්‍රශ්න, පරම්පරා රැකගැනීම ආදී පක්ෂවල සංස්කෘතිය අනුව ඔවුන්ට ඉදිරියට ඒමට ඉඩක් නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස සිටීමෙන් මාසයක් දෙකක් ආණ්ඩුව අමාරුවෙන් ගමන් කරාවි. ඒත් ඉන් පසුව අර්බුදය නැවත මතුවෙනවා. ඒ නිසා හොදම තීරණය තමයි මාසයක දෙකක ඇවෑමෙන් ඔහු ගෞරවනීය ලෙස එම ධූරයෙන් ඉවත්වීම. නොඑසේනම් අර්බුදය දිගටම පවතීවි.

එය රටට හැම අතින්ම අයහපත් තත්ත්වයක් උදාකරනවා. මන්ද ඒ අතරතුර බැසිල් රාජපක්‍ෂ මහතාගේ ව්‍යාපෘතියට යම් ඉඩක් ලැබෙන්නට හැකියාවක් තිබෙන නිසා ඒත් දීර්ඝ කාලීනව පොදු ජන පෙරමුණ සම්බන්ධව මා කලින් විග‍්‍රහ කළ තත්ත්වය නිසා දීර්ඝ කාලීනව එවැනි තත්ත්වයන් ඇති වන්නේ නැහැ.

එජාප අර්බුදය විසදාගත්තේ නැති නම් මීළග අවුරුදු 1 1/2 කාලය තුළ රට අරාජික තත්ත්වයක පත්විය හැකියි. ඒත් මම විශ්වාස කරනවා වෙනස් බලවේගවල බලපෑමත් මෙම විසෙද්වි කියලා. ඒවගේම ජනාධිපතිවරයා යහපාලන වරම දෙසට වඩා ශක්තිමත්ව හැරෙනවා නම් මීළග අවුරුදු 1- 1 1/2 ඇතුළත විශාල පෙරළියක් කළ හැකියි. බිම් මට්ටමේ, පළාත් මට්ටමේ ගැටලූ සමග මහජනයා වඩාත් සකී‍්‍රයව සහභාගී වනවා නම්, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් දේශපාලන සංස්කෘතියද පිරිසිදු කරගත හැකිනම් යම් කිසි යහපත් පෙරළියක් ඉදිරි අවුරුදු 1 – 1 1/2 තුළ කළ හැකියි. එහෙත් එජාප ය තම අර්බුදය විසදා නොගතහොත් ජනාධිපතිවරයා රාජපක්‍ෂ බලවේග සමග වෙනස්වුණොත් රට අරාජිත තත්ත්වයට පත්වෙනවා. එම අරාජිත තත්ත්වය මධ්‍යයේ වුවත් නව යහපත් බලවේග මතුවීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා.

අර්බුදය ඉදිරියටත්
හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්.පේ‍්‍රමවර්ධන

වර්තමාන දේශපාලන අර්බුදය තව තවත් උග‍්‍ර වෙන එක නවත්වන්න බැහැ. මේකට ප‍්‍රධාන හේතුව තමා මේ මැතිවරණ ප‍්‍රතිඵල තුළින් පැහැදිලි වෙලා තියෙනවා අපේ රටේ ජනවර්ග අතර ඔවුන් එකිනෙකාගෙන් දුරස් වීම සහ අවිශ්වාසය වැඩි වෙලා තියෙනව කියන එක. එතකොට රටේ නිදහසෙන් පස්සෙ රටේ සියලූම අර්බුදවලට මූලික හේතුවක් තමා ජනවර්ග තුළ ඇති ඒකාග‍්‍රතාව හා විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වීම. මැතිවරණයෙන් පසු තව තවත් එය උග‍්‍ර වෙලා. අනිත් කාරණාව ආණ්ඩු බලය කවුරු යෙදෙවුවත් රාජ්‍ය හැසිරීම වඩා , ප‍්‍රජාතන්තුවාදී බවට වඩා මර්දනකාරී ස්වරූපයක් තමා ඉදිරියේදී වර්ධනය වීමට හැකියාව තියෙන්නේ. වර්තමාන දේශපාලන තත්ත්වයේ හැටියට විධායක ජනාධිපතිවරයාගේ බලතලත් අගමැති තුමාගේ බලතලත් සිමා වෙලා. දෙන්නගෙන් එක්කෙනෙකුටවත් හදිසි අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හරින්න තියා මුකුත් කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා .

පැවති පළාත් පාලන ඡන්දයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු ස්ථාවරභාවයක් ඇති කරන්න උත්සහයක් දරනවා. මං දකින විධියට එය කළ හැකි දෙයක් නොවේ. දැන් මේ පවතින සමහර පක්ෂ වලට රටේ තියෙන අර්බුද ගැන නිවැරදි අවබෝධයක් නැහැ. ඊට හේතුව රටේ මුලික ප‍්‍රශ්නය , ඒ කියන්නෙ ජනවර්ග අතර ඇති විශ්වාසය සහ විකල්ප බව ගොඩනැගිම යන කාරණා නිසියාකාරව අවබෝධයේ නොමැති විම. කිසියම් පිරිසක් විසින් අවබෝධකරගෙන හිටියත් ඔවුන් මේ ප‍්‍රශ්නය විසදිම සදහා ධෛර්යයක් පෙන්නුම් කරලත් නැහැ. ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට තමා මැතිවරණය අවසාන වෙන කොට වඩ වඩා ජනවර්ගයා කෙරෙහි තියෙන දුරස් බව වැඩි වෙලා තියෙන්නේ. ඉදිරි වටයන්හි ජනවර්ගයා කෙරෙහි මේ ප‍්‍රශ්නය දියුණු වනවා මිසක මර්දනය වීමක් සිදු වෙන්නෙ නැහැ. එහිදී රටේ ස්ථාවරභාවය නැති වෙලා රට වඩ වඩාත් අරාජිත භාවයට පත් වෙනවා.

සාමාන්‍යයෙන් ලංකාවේ අතිතයේ ඉදලා මැතිවරණ වල පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමා ඡුන්ද දායකයෝ හැසිරෙන්නෙ පවතින ආණ්ඩුවට විරෝධය දැක්වීමට තම ඡන්දය පාවිච්චි කිරීම. අනිත් කාරණාව මිනිසුන් කෙරෙහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති නැඹුරුතාව මෙහිදී ජනතාවට තම ප‍්‍රදේශයේ අපේක්ෂකයා කවුද කියන කාරණයවත් අදාළත්වයක් නොමැතිව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සංකේතකය වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව තකා ඡුන්ද දායකයන් තම ඡුන්ද ප‍්‍රකාශය යොදවනවා. එහිදී සිදු වූවේ ජනතාව තමන් විසින්ම නොමග යවා ගැනිමක්.