රාවය

දරු නොදුටු අම්මාවරුය

දරු නොදුටු අම්මාවරුය

‘‘අපි ඉල්ලන්නේ ඊලම නොවෙයි, අපි ඉල්ලන්නේ රට බෙදන්න නොවෙයි, අපි ඉල්ලන්නේ අතුරුදන් කළ අපේ දරුවෝ, හමුදාවට බාර දීපු අපේ දරුවෝ” ඒ ඔවුන්ගේ වසර ගණනාවක සිට කෙරෙන ඉල්ලීමය. යුද සමයේ සහ පශ්චාත් යුද සමයේ අතුරුදන් වූ තම පවුල්වල ඥාතීන්ට සිදුවූ දේ අනාවරණය කරන ලෙස ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ මාපියන් පිරිසක් කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ඉදිරිපිට ගෙන යන අඛණ්ඩ සත්‍යග‍්‍රහයට 2018 වසරේ පෙබරවාරි 20වන දිනට වසරක් ද සම්පූර්ණ විය. එහෙත් ඔවුන් තම දරුවන් සොයමින් යා හැකි සියලූ ස්ථාන වෙත යමින් පැමිණිලි කළ හැකි සියලූ ස්ථානවලට පැමිණිලි කරමින් කරන දුක්ඛිත අරගලයට නම් වසර ගණනාවක්ම මේ වන විට ගත වී හමාරය. එහෙත් කිසිදු සහනයක් නොලබා තවමත් සිටින්නේ මහමගය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග තමන්ට යම් සාධාරණයක් ඉටු වෙතැයි ඔවුහු බලා සිටියහ. වරින් වර ඔවුන්ට යම් බලාපොරොත්තුවක් දල්වා ගත හැකි යෝජනා රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වුව ද අද වන තුරුම ඒවා ක‍්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැත. අතුරුදන් තැනැත්තන් පිළිබද කාර්යාල පනත පිළිබද බොහෝ දෙනා තුළ සුභදායක බලාපොරොත්තු තිබුණ ද තවමත් ඉන් ඵලක් නම් මේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට ලැබුණේ නැත. විවිධ වාද විවාද මැද පාර්ලිමේන්තුවෙන් සම්මතව වුව ද ක‍්‍රියාත්මකව නොතිබුණු අතුරුදන් තැනැත්තන් පිළිබද කාර්යාල පනත සදහා ජනාධිපති විසින් ද අනුමැතිය ලබා දී අත්සන් තැබෙන්නේ 2017 ජූලි මාසයේය. ඒ අනුව එය උතුරේ පමණක් නොව දකුණේ ද අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා හිතවතුන් විසින් වසර ගණනාවක් කළ ඉල්ලීමක යහපත් ඵල දැරීමක් ලෙස ද යහපාලන රජයේ පොරොන්දු ඉටු කරමින් ජනාධිපතිවරයා විසින් ගත් නිර්භීත පියවරක් ලෙස ද පෙනුන ද අද වන තුරු අතුරුදන් තැනැත්තන් පිළිබද එවන් කාර්යාලයක් ( ඕ.එම්.පී.) නම් පිහිටුවා නැත. එවන් කාර්යාලයක් පිහිටුවීමට අදාළ වන කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් මෙතෙක් පත් කර නැත.

ඒ වෙනුවට සිදුව ඇත්තේ අතුරුදන්වුවන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කරන ලෙස වව්නියාව,කිලිනොච්චිය සහ මුලතිව් හි එම පවුල්වලට අයත් ඥාතීන් වසරකට වැඩි කාලයක් තිස්සේ කරනු ලබන විරෝධතාවයේ ඵල ලෙස මව්වරුන් හත් දෙනෙකුම කිසිදු යුක්තියක් නොලබාම මියයාමයි. ඉන් හතර දෙනෙකුම කිලිනොච්චියේ විරෝධතාවයේ නිරත වු මව්වරු වූහ.

‘‘අවුරුදු ගණන් ගත වුණත් මේ අසරණ මව්වරුන්ට සාධාරණයක් ඉටු කරන්න රජයේ පාර්ශ්වයන්ට අවශ්‍ය බව පෙනෙන්නේ නැහැ. ඒ අය මේක කවදා හෝ අවසන් වන තෙක් බලාගෙන ඉන්නවා. මේ අය මිය ගියත් මේ සටන අවසන් වෙන්නේ නැහැ. ඊළග පරම්පරාවත් මේක ඉදිරියට ගෙන යනවා. ආණ්ඩුව මේ ගැටලූව නොදන්නවා වගේ ඉන්නවා. අතුරුදන් තැනැත්තන් පිළිබද කාර්යාල පිහිටුවනවා කියලා පොරොන්දු වුවත් ඒ කිසිවක් මේ වන තෙක් ඉටුවී නැහැ. ජාත්‍යන්තරය ආණ්ඩුවට මීට විසදුම් ලබා දීමට අවශ්‍ය කාලය සහ සහයෝගය ලබා දුන්නා. ඒ නමුත් ආණ්ඩුව මේ ගැටලූව නොපෙනෙන ලෙස කටයුතු කරන බව පෙනෙනවා.” ඒ උතුරු පළාත් සභා මන්ත‍්‍රීනී ආනන්දි ශශිදරන් ය. එමෙන්ම අතුරුදන් වූ පිරිසක් මෙරට නොමැති බව ද ආණ්ඩුවේ බලධරයින් ප‍්‍රකාශ කර තිබීම හේතුවෙන් ද රජය විසින් තමන්ට සාධාරණ විසදුම් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ද ඇය සදහන් කළාය.

ජනාධිපතිවරයා ප‍්‍රමුඛ යහපාලන රජයෙන් ද තමන්ට යුක්තිය ඉටු නොවු බවට චෝදනා කරන අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ජාත්‍යන්තර මැදිහත් වීමකින් හෝ තම පවුලේ අතුරුදන්වූවන්ට අත් වූ ඉරණම පිළිබඳව හෙළි කරන ලෙස ඉල්ලා සිටිති. රටේ ජාතීන් අතර සංහිදියාව ඇති කරමින් යුක්තිය ඉටු කරන බවට රජය ජාත්‍යන්තරයට පොරොන්දු ලබා දී තිබුණ ද යුක්තිය ඉටු වී ඇත්තේ කොතැනදැයි එම කිලිනොච්චි විරෝධතාවට එක් වූ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද විමසුවාය. රටේ සංහි`දියාවක් පවතී නම් තම දරුවන් ඉල්ලමින් මව්වරුන්ට පාරේ ජීවත් වීමට අවශ්‍ය නොවන බව ද ඇය පවසන්නීය.