වත්තේගෙදර ස.ණ.ස කළ වංචාවට, දඩුවම් හා විසදුම් කවදා ද?

බඩගින්නට අඹ ගෙඩියක්, කොස් ගැටයක් කඩා ගත් අහිංසකයින් හිරබත් කන රටක කෝටි ගණන් වංචා කළ මහාපරිමාණ අපරාධකරුවන් සිටින්නේ නිදැල්ලේය. එය වරින් වර ආණ්ඩු මාරු වුවත් සන්ධාන ඇති වුවත් අලූත් වෙනසක් ගෙනෙන බව පවසමින් දේශපාලනඥයන් බලයට පත් වුවත් කිසි දිනක වෙනස් නොවන්නක් බව කාලාන්තරයක් පුරා මහජනතාවට පෙන්නුම් කර දී තිබෙන්නකි. මහරගම සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ සිදුව තිබූ මහා පරිමාණ මූල්‍ය වංචාවට අත්ව තිබූ ඉරණම ද එයමය. රුපියල් මිලියන 680ක පමණ මුදල් තැන්පත් කළ 800කට ආසන්න පිරිසට සිදු වූ මූල්‍ය වංචාවට ද වසර දෙකක් ගතව තිබුණ ද ඔවුන් වෙත විසදුම් ලැබී තිබුණේ නැත. අපරාධකරුවන්ට දඩුවම් ලැබී තිබුණේ ද නැත. වංචාකරුවන් දේශපාලන රැකවරණය ද ලබමින් නිදැල්ලේ පසුවන බවට මුදල් තැන්පත්කරුවන් දිගින් දිගටම චෝදනා කළහ. සිදුවීම පිළිබ`ද පසුගිය සතියේ අප විසින් පළ කරන ලද ලිපියෙන් ද අනාවරණය කරන ලදී.

කෙසේ වෙතත් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් මහරගම සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ හිටපු සභාපති වන නන්දසිරි විනෝදහේවා නමැත්තා අත්අඩංගුවට ගෙන 2018 පෙබරවාරි 19වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි. එම හිටපු සභාපතිවරයා මාර්තු 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහි දී නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙණිය මහතා නියෝග කර තිබුණි. ඊට සම්බන්ධ තවත් පිරිසක් සිටින බවට විමර්ශන මගින් කරුණු හෙළිවෙමින් පවතින බවත් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණයට දන්වා තිබුණි. 2016.03.11 සිට මෙම මූල්‍ය වංචාව පිළිබද සණස සමිතියේ හිටපු සභාපතිවරයාට එරෙහිව මුදල් තැන්පත්කරුවන් විසින් මිරිහාන පොලීසියේ පැමිණිලි 234ක් ද මහරගම පොලීසියේ පැමිණිලි 200ක් පමණ ද ගොනු කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ඔවුහු පැමිණිලි 10ක් යොමු කර තිබුණි.

සණස ව්‍යාපාරයේ සැබෑ අරමුණ ජන සෙත වූ අතර ඇතැම් ප‍්‍රදේශවල එය ඉතා සාර්ථක ලෙස ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කර ඇති අවස්ථා දක්නට තිබුණි. ඒ හරහා ඔවුන්ට විශාල කීර්තිනාමයක් ද හිමි වූ අතර ජනතාව තුළ විශ්වසනීයත්වයක් ද ගොඩනැගී තිබුණි. එහෙත් මෙවැනි ඇතැම් සමිතිවල නිලධාරීනගේ ක‍්‍රියා කලාපයන් හේතුවෙන් එම තැන්පත්කරුවන්ට සිදුව තිබුණේ බලවත් අසාධාරණයකි. සී/ස 532සී වත්තේ ගෙදර ස.ණ.ස. සමිතියේ මුදල් තැන්පත්කරන්නන්ට ආකර්ෂණීය පොලියක් ගෙවන බව රටේ විවිධ ප‍්‍රදේශවල ප‍්‍රචාරක කටයුතු කර තිබූ අතර ඒ අයුරින් මුලින් එලෙස මුදල් ගෙවා තිබුණෙන් අති විශාල පිරිසක් විවිධ ප‍්‍රදේශවලින් පැමිණ එහි මුදල් තැන්පත් කිරීමට ද පෙළඹී තිබුණි. විශ‍්‍රාමික බොහෝ පිරිසක් තම අර්ථසාධක මුදල්, පාරිතෝශික එහි ස්ථිර තැන්පතු ලෙස තැන්පත් කර තිබුණේ ජීවිතයේ ඉතිරි කාලය එහි පොලියෙන් ජීවත්වීමේ අරමුණිනි. තවත් අය ඉඩම් විකුණා ලැබූ මුදල් ද, විදෙස්ගතව සිටිය දී උපයාගත් මුදල් ද ආදී ලෙස තමන් සන්තකය එහි තැන්පත් කර තිබුණේ පොලී මුදලින් දරුවන්ගේ කටයුතු, තම රෝග ස`දහා වියදම් ආදී දේ ඉටු කර ගැනීමේ අටියෙනි. එහෙත් ඒ බොහෝ දෙනාට මුදල් ආපසු ලබා ගැනීමට වත්තේ ගෙදර ස.ණ.ස. වෙත ගිය අවස්ථාවල එහි කාර්ය මණ්ඩලයෙන් ලැබී තිබූ පිළිතුර, පොලිය හෝ මුදල් ආපසු ගෙවීමට බැංකුවට ඒ වන විට හැකියාවක් නොමැති බවය. ඒ පුවත ඇසූ ඇතැම් මුදල් තැන්පත්කරුවන් බැංකුව තුළම සිහිසුන්ව ඇද වැටුණු බව ද අසන්නට ලැබුණි. ඔවුන්ට දැනගන්නට ලැබී තිබුණේ සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතැමුන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් තමන් තැන්පත් කර තැබූ මුදල් මහාපරිමාණයෙන් කොල්ල කා ඇති බවකි.

අවසානයේ ඹවුන්ට සිදුවූයේ පොලිය තබා තමන් සතුව තිබූ මුදල ද අහිමිව තමන්ට සිදුවූ විපත ගැන විලාප නගමින් මහමගට පිවිසීමටය. සිදුවීමට වසර දෙකක් ද ගත වෙද්දී මේ නිමක් පෙනෙන්නට නොතිබූ සටනට දිගින් දිගටම මුහුණ දෙන්නට සවියක් නොමැතිව ඇතැමෙක් සිය දිවි හානි කරගනිද්දී ඇතැමෙක් මානසික රෝගවලට ගොදුරු වූහ. බස් ගාස්තුව ද සොයා ගැනීමට අපහසු වූ තත්ත්වයක සහ රෝග පීඩා හේතුවෙන් ඇතැම් අයට උද්ඝෝෂණ සදහා ද දිගින් දිගට පැමිණීමේ අපහසුතා ඇති විය. දෙවසරක් ගත වුවත් මේ මිනිසුන්ගේ ඛේදවාචකය අසා කඩිනම් විසදුම් දෙන්නට හෝ වංචාකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්නට කිසිවෙකු සමත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

‘‘අපට උන් එක්ක හැප්පෙන්න හයියක් නැහැ, අපට මේ අපරාධය කළ ඒ අය සල්ලි විසි කරලා ලොක්කන්ව අල්ලාගෙන අපට පෙනි පෙනීම සැප වාහනවල යනවා. දැන් අපට කියන්න ඉතිරි වෙලා තියෙන්නේ දෙවියන්ට විතරයි.” ඒ මෙම මූල්‍ය වංචාවට හසු වූ කෙනෙකු පැවසූ වදනකි.