ඔළිද ඇටේ…..

ශාන්ති දිසානායක

අරුණාලෝකයේ නැහැවෙමින් ඔළිද ඇට අහුලන මුත්තම්මාගේ හිස රිදී පැහැයෙන් බබලයි. ළමිස්සියන්ගේ කළුම කළු කෙස් කළඹ තරම්ම ඒ සුදෝ සුදු කෙස්සත් අලංකාර බව හගිමින් කෙල්ල මිදුලට පැන්නාය. පඩි තුන හතරකින් නැගිය යුතු තරමට උස් ගෙපිළෙන් බිමට පැනීමට කෙල්ලද කොල්ලාද එක ලෙසින් කැමතිය. පිල් කොණේ සුරුට්ටු දුමාරයෙන් කප්පරක් හීන දකින මහල්ලා කටක් කෙනහොල්ලයි. බැරි වෙලාවත් කිරි අම්මා හෝ මුත්තම්මා හෝ අඩව්ව දුටුවේ නම් ‘‘පුදුම විසයක්නේ යකෝ මුංට වැටිලා අතක් පයක් කඩාගනිල්ලකෝ… බෙහෙත් බදින්ඩ නං කව්රුවත් නෑ මෙතන’’යි දෝෂාරෝපණය කරති.

හීං කිරි අත්තා අහළ පහළ සිටියේ නම් ‘‘අලියන්ඩ ළමයින්ඩ නළියන්ඩමයි හිත’යි තාලයට ගයයි. ඒ සහයෝගයට කෘත ගුණ දක්වනු වස් තිළිණ කළ කුරුම්බා ගෙඩිය සියල්ල අවුල් කර දමයි.

ගිනි මද්දහනේ පවා තුවායකින් හිස වසා සිටින හිං කිරි අත්තාට තැඹිලි කුරුම්බා අගුණය. ඉතිං මහගෙදර හැත්ත බුරුත්තට හොරෙන් කුරුම්බා වතුර මදිවාට ලොදත් යහමින් සූරා කන මිනිසා වැඩි පමාවක් නැතිවම කිඹුහුම් අරින්නට පටන් ගනිති.

අන්තිමේදී ළමිස්සියන්ගේ කිකිණි සිනාද ඉළන්දාරින්ගේ ගොරෝසු හඬද පරයා කොයි කාගේත් දෙකන් රිදවන්නේ ඒ කිඹුහුම් හඬයි.

පණකෙන්ද ඉතිරිව තිබෙන තාක් කල් කිවිසින්නට දිවුරා පොරොන්දු වූ එකෙකුමෙන් ඔහු නොනවත්වා කිවිසියි. කහියි… සොටු සූරයි. බල්ලාත් බැල්ලිත් බළල් රංචුවත්, කුකුල් ? නත් සද්ද බද්ද නවතා පුදුමයෙන් විපිළිසරව හි`දින තරමට හීං කිරි අත්තාගේ කිවිසුම් උස්ය.

‘‘බිව්වද තැඹිලි කුරුම්බා?’’ යි එක එල්ලේ ප‍්‍රශ්න කරන්නී, සහෝදර පේ‍්‍රමයෙන් ආතුර වන කිරි අම්මාය. ඇය මේ ලෙඩා දුකාට ආදරේය. ‘‘එව්වා ගහේ… මෙව්වා ඉතිං පුරුවේ පව්…’’ යි වෙර වෑයමෙන් කියන මිනිසා නැවතත් සොටු සූරයි.

‘‘ගහේද බඬේද බලන්ඩ බඩ පලන්ඩෝන්නෑ…. මං දැක්කා කුරුම්බා කෝම්බේ… කට පරිස්සං කර ගන්ඩෙපැයි. තමුන්ට අගුණ නං මොකට පෙරේත වෙනවද ඔව්වට…’’ යි දෙස් දෙවොල් තබන්නිය. බඩ පිස්සාගේ අබල දුබල බවින් කම්පිත මුත්තම්මායි.

‘‘තැඹිලි කුරුම්බා බොන්ඩ නෙමෙයි නියගලා කන්ඩයි තියෙන්නේ මුංදලාගේ බෙලි කටු මල්ලෙං බේරිලා ඉන්ඩ නං’’
නියගලා මලේ් රුසිරු නිමක් නැතත් නියගලා අලේ මාරාන්තික බව නොදන්නා අයෙක් ගංගොඬේ නැත්තේය.

‘‘අයො ඕකට ඉතිං වහ කන්ඩෝනැයි? ලෙඩා දුකා විච්චි.. කට රැුක ගන්ඩ දැනගන්ඩෙපැයි.’’ යි කොදුරමින් මුත්තම්මා පසෙකට යයි.
මනුස්ස පරාණයක් මරු වසගයට ගන්නට තරම් බල සම්පන්න නිය`ගලා අලය සිහි කළ නිසාම කිරිඅම්මාද නිහඬ වෙයි. හීං කිරි අත්තා ඉර අවරට යනතුරුම කිඹුහුම් අරියි. කහියි. හොටු සුරුයි. කෙල්ල ඇස්ගෙඩි උළුප්පාගෙන උන්දැ දිහා බලා හිදියි.

මුත්තම්මා ඔහුගේ හිසේ තෙල් ගල්වන අතර කිරි අම්මා වතුර මුට්ටියක් ළිප තබයි. ඊට දෙහි කොළ, පාවට්ටා කෙළ එක් කරයි. පිළිකන්නේ දෙහි ගහත් වැටේ පාවට්ටා පදුරත් මේ ලෙඩා දුකා වෙනුවෙන් පේවී ඉන්නවා වාගේය.

ඉහේ හිට රෙද්දක් පොරවාගෙන උණුවතුර වාෂ්පය අල්ලන හීං කිරි අත්තා දෙපස හිටගෙන ඉන්නා මැහැල්ලත් ගැහැනියත් විටින් විට යම් යම් උපදෙස් ලබා දෙයි.

‘‘හයියෙං හයියෙං හොදට කටෑරලා ඉහළට අදින්ඩ ’’

‘‘කොයි? කොයි සද්දේ? නිකං බොරුවට ඕක අස්සේ ඉදලා වැඩක් ඇතැ… හොදට පපුවට වැදෙන්ඩ ඉහළට අදින්නැතුව වාස්පේ.’’
උණුවතුර වාෂ්පය පමණක් නොව මුට්ටියද ඇදී යන තරමට ඔහු ඉහළට අදින හඬින් ඔවුන් අස්වැසෙති.

රූරා හැලෙන දහදියත් එක්ක එබී බලන හීං කිරි අත්තාට ඉගුරු කොත්තමල්ලි කෝප්පයක් ලැබෙයි. කිතුල් හකුරු කෑල්ලක් එක්ක බංකුව වෙත යන මිනිසා කෙල්ලගේ කෑදර බැල්ම දකියි.

‘‘කොත්තමල්ලි වතුර ඩිංගක් දෙන්ඩද?’’
ඇය හිස දෙපසට සලයි.

කෙල්ල කුරුමානම් අල්ලන්නේ කිතුල් හකුරු කැබැල්ලට බව වටහා ගන්නා හීං කිරි අත්තා දයාන්විත සිනාවක් පායි. හකුරු කැබැල්ල මුළුමනින්ම ඇය අත තබන්නට හෙතෙම නොපැකිළෙයි.

‘‘හොද කිරි අත්තා’’ යි ඇය ප‍්‍රශංසා කළාක් මෙන් මුත්තම්මා

‘‘මයේ හො`ද කෙල්ල’’ යි මීමිණිබිරිය පසසයි. ඒ ඔළි`ද ඇට අහුලා දුන් හිලව්වටය. ‘‘මොකටද මුත්තම්මේ ඔව්වා.’’

‘‘කුකුල් බෙට්ටත් බේතට ඕනෑ වෙනවා කියනවානේ.’’ යි කියනවා මිසක උන්දැ වැඩි විස්තරයක් නොකරයි. කොහොමටත් මුත්තම්මා මෙන්ම කිරි අම්මාද ඔළි`ද ඇටය පමණක් නොව මී ඇට, සියඹලා ඇට, කොහොඹ ඇට, මදටියා ඇට අහුළා වෙන වෙනම සුරක්‍ෂිතව තබති. ඒ කී නොකී ඇට අතරින් ඉහළම තැන් වැජඹෙන්නේ වී ඇටය හා කොස් ඇටය බව අමුතුවෙන් කිව යුතු නැත.

‘‘යමංකෝ වත්ත පහළට’’ යි ඇය ඉල්ලා සිටි විට කෙල්ල ‘‘ඇයි? මොකටද ’’ යි නොඅසයි. මැහැල්ලක් පස්සේ වැටී යාම තරම් චමත්කාරජනක ඇත්දැකීමක් ඇයට තවත් ඇත්තේ නැත. මළ පොතේ අකුරක් නූගත් එකියක වුව පරිසරය හා මේ පොළොව මත බොහෝ කරුණු කාරණා ඇතැඹුලක් සේ දනියි.

‘‘කියාපං බලන්ඩ හපනි නං ඔය ගහ මොකක්ද කියලා’’

මුලෙහි පවා ගෙඩි පලගත් ගහක් සමීපයෙහි නවතින මුත්තම්මා හීන් හිනාවකින් මුව සරසා ගනී. කෙල්ල හිස කසයි. උකුණෙකු සපා කෑ හින්දා නොවේ. කිරි අම්මාද වත්ත පහළට යන එන අතරේ නොයෙක් වර මේ ගහ හදුන්වා දී තිබූ බැවිනි.

‘‘බේත් අවුසදයක්. බැරි වෙලාවත් කපලා කඩලා බිදලා දානවා හෙම නෙමේ.’’

මුත්තම්මා ඉක්මන් පිළිතුරක් පතා උදව් කරයි.

‘‘මතක නෑ? ඉතකිං.. ඇනගනිං හොදවයින් ටොක්කක්’’

උන්දැගේ අතැගිලි ටොක්කට ලක ලැස්ති නොවී කෙල්ලට මහා සැනසුමකි.

‘‘මේක කොට කිඹුලා…. කැඩුං බිදුංවලට ඕනෑ වෙනවා… වත්තක තියෙන්ඩම ඕනෑ ගහක්’’

ඒ අමුතු නමත් අමුතු ගහත් කෙල්ලගේ සිතේ මුල් බහින්නේ ලාටු ගා අලෙව්වා වගේය.

‘‘අර නවහන්දිය එව්වත් කැඩුං බිදුංවලට නැතුවම බෑ. මේ ගුරුල්ලා පදුරක්.’’

කෙල්ල හිස සලයි ‘‘ඉගුරු, කහ, අදුරනවානේ. උදුපියළියා කොළේත් ගොටුකොළේ වගේම වටිනවා කියලා මතක තියා ගනිං. අපේ අම්මා මට මෙව්වා කියලා දෙන කොට මං උඹටත් වැඩිය පුංචියි. උඹත් උඹේ දරු පැටවුන්ට කියා දෙන්ඩ එපැයි කවදා හරි. ඉස්පිරිතාලෙම දුවන්ඩ බලන්නැතුව වන්තේ පිටියේ බෙහෙත් අවුසදේකිං අත් බෙහෙතක් කොරගන්ඩ දැන් කියාගන්ඩෝනෑ.’’

කෙල්ල හැරි හැරී කැරකි කැරකී බලයි. බලන බලන තැන බෙහෙත් අවුසදය.

‘‘ආං ඉරමුසු.. ඕං පොල්පලා… ඩිංගක් එහායින් මොණර කුඩුම්බිය.’’

මේ කුඩා මැහැල්ල ඇදුරුතුමියකගේ භූමිකාව රග දක්වන කල කෙල්ලගේ සිත අපමණ ගෞරවාදරයෙන් පිරී යයි.

‘‘බෙලි ගහේ එළබටු පැළේ අහක දාන්ඩ කියලා දෙයක් නෑ. පස් පංගුවම ඕනෑ වෙනවා.’’ කෙල්ලට ඇස් දෙකත් නොසැහෙන තරමයි.
‘කොහොඹ ගහට මී ගහට වැන්දත් පව් නෑ. හැත්ත බුරුත්තක පණු ගායට කොහොඹ පොත්ත නෙමේද තම්බලා බුන්නේ. අපි ආයේ ළමයි කර පුන්නගෙන ඉස්පිරිතාල ගානේ ගිය එකක්යැ.’’

පරපුරක නිරෝගී බව රැුක දුන් වෘක්ෂයන්ට උන්දැ වැද නමස්කාර කරන්නීය.

ගෙමිදුල මෙන්ම ගෙවත්තද ඔසු උයනක්ව පැවැති වකවානුව ගෙවී ගොස් හමාරය. ඔසු පැළයක් හ`දුනා ගැනීමේ හැකියාවද සීග‍්‍රයෙන් තුරන් වී යන බව පෙනේ.

ජීවිතයට බද්ධ නොවන හා කිසිදු පලක් ප‍්‍රයෝජනයක් නැති විෂයයන් විෂයය නිර්දේශයට එක් කොට අපේ අධ්‍යාපන බලධාරීන් අපේක්‍ෂා කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත. විභාග කේන්ද්‍ර කොටගත් අධ්‍යාපනයකින් රොබෝවරුන් වැනි අනාගත පරපුරක් විනා හැ`ගීම් දැනීම් ඇත්තාවූ සැබෑ මිනිසුන් බිහි නොවන අපේ අධ්‍යාපනික ඇමැත්තෝ වටහා ගන්නේ කවදාද?

අධ්‍යාපනයේ එකම පරමාර්ථය විභාග සමත්වීමය. විභාග සමත් විය යුත්තේ රැුකියාවක් සදහාය. වඩා පහසු ජීවිතයක් මිසක රට හෝ සහෝදර ජනතාව හෝ පිළිබදව අංශූ මාත‍්‍රා හැගීමක් දයාවක් ජනිත වීමේ කිසිදු ඉඩ ප‍්‍රස්ථාවක් නැත්තේය.

මේ තරගකාරී අධ්‍යාපන ක‍්‍රමය තුළ සැගව ඇත්තාවූ සාහසිකත්වය දැන හැ`දින වහා පිළියම් නොයෙදුවහොත් අනාගත මිනිසා හා රොබෝ යන්ත‍්‍රය අතර වෙනස අවම වෙනවා නිසැකය.

මානව දයාවෙන් තොර උගතුන්ගෙන් රටකට යහපතක් සිදු වනු ඇතැයී නිගමනය කිරීම තරම් විහිළුවක් හා ඛේදවාචකයක් තවත් ඇත්ද?