රාවය

ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරන එක ලේසි නැහැ එම්. සෆීර

ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරන එක ලේසි නැහැ එම්. සෆීර

දිනී ජයසේකර

එම්. සෆීර් නාට්‍යකරුවෙකි. ඔහු විසින් අවුරුදු 6ක සිට ‘කොළඹ නාට්‍යය උළෙල’ නමින් අන්තර්ජාතික නාට්‍ය උළෙලක් කොළඹදී සංවිධානය කරමින් සිටින්නේය. එය ඉතා සාර්ථක නාට්‍ය උළෙලක් ලෙස 7 වැනි වරටද ඉදිරියේදී පැවැත්වෙනු ඇත. ඔහු ජූලියා පිලිප්පු නම් අන්තර්ජාතික නිළිය සමග ‘ස්වීට්ස් ඔෆ් ලව්’ නමින් වේදිකා නාට්‍යයක් මේ දිනවල අධ්‍යක්ෂණය කරන අතර එම නාට්‍යය පෙබරවාරි 27 වැනි දින ඩුබායිහිදී රඟදැක්වෙනු ඇති. මෙම නාට්‍යය පිළිබඳව මෙන්ම කොළඹ නාට්‍ය උළෙල පිළිබඳව එම්. සෆීර් නාට්‍යකරුවා රාවයට දැක්වූ අදහස් පහතින් පළවේ.
කොළඹ නාට්‍ය උළෙල මේ වනවිට ලබා ගෙන ඇති ප‍්‍රගතිය කුමක්ද?

විජය රජුගේ කාලයේ සිට මේ පවතින ආණ්ඩුව දක්වා කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක් තමා ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පවත්වන එක. මේ සම්බන්ධව විශේෂයෙන්ම නාට්‍යකරුවන්ගෙන් අහන්න ඕනෙ. එයාල මේක හරි සරලයි කියල කියනව. හැබැයි මේක ඒ තරම් සරලයි නම් ලංකාවේ මීට කලින් ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පැවැත්තුවේ නැත්තෙ ඇයි? මගේ විග‍්‍රහයට නම් ඒක එච්චර පහසුත් නෑ, කියන එකයි.

අපහසුව විඳ දරා ගැනීම, රට වෙනුවෙන් එය ඉටු කිරීම මම කරල තියෙනවා කියන එක මම කියනවා. දැන් අවුරුදු හයක් ඉවර වෙලා හත්වෙනි අවුරුද්දටත් ඇවිල්ල තියෙනවා. එතකොට ඒ අවුරුදු හය දිහා ආපස්සට හැරිල බැලූවොත් මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට අයදුම්පත් 400ක් රට රටවල් 60කින් විතර ලැබිල තියෙනවා. ඒකෙනුත් නාට්‍ය කණ්ඩායම් 40ක් විතර ලංකාවට ඇවිත් නාට්‍ය රඟදක්වල තියෙනවා. ඉතිං මම හිතන්නේ ඒක විශාල ජයග‍්‍රහණයක්. ඉතිහාසයේ කවදාවත් අපිට කරන්න බැරිවෙච්ච වැඩක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පැවැත්වීම. එහෙත් අපිට හැකිවෙලා තියෙනවා නාට්‍ය උළෙලක් පැවැත්වීමට. සීමිත ප‍්‍රමාණයකට හරි එය සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන එකම අපේ සාර්ථකත්වය කියල කියන්න පුළුවන්.
අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමට නාට්‍යකරුවෝ මේකට සහභාගි වුණේ නෑ කියන එකයි යථාර්ථෙ. එහෙත් අපි ජාත්‍යන්තර සලකුණක් තියල තියෙනවා. ලෝකෙ හැම විෂයකටම අදාළ සිතියමක් තියෙනවා. ආර්ථිකය ගත්තම ලෝක සිතියමක් තියෙනවා. නාට්‍යයට, සිනමාවට, දේශපාලනයට. මීට අවුරුදු හයකට කලින් මේ සිතියමේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කියන දේ සංකේතවත් වෙලා තිබුණේ නෑ. ඒත් දැන් ජාත්‍යන්තර නාට්‍ය උළෙල කියන දෙය ඒ සිතියමේ සංකේතවත් වෙලා තියෙනවා. අපි කවදාවත් නොහිතපු ජෝජියාව, අසර්බයිජානය, ඕස්ටි‍්‍රයාව, ආජන්ටිනාව වැනි රටවල් වලින් පවා නාට්‍යය ඇවිල්ලා තියෙනවා සහ එන්න තියෙනවා. ඉතිං එයිට වඩා ප‍්‍රගතියක් මම දකින්නේ නෑ. ඒක අපේ ලොකු ජයග‍්‍රහණයක්.

ලංකාවේ නාට්‍ය විෂයයේ දියුණුවට කොළඹ නාට්‍ය උළෙල කවර බලපෑමක් කරනවාද?

බලපෑම කියන කාරණාව මනින්නේ කොහොමද කියන එක වැදගත් කාරණාවක්. එහෙත් බලපෑම කියන එක තමා ලෝකෙ නාට්‍ය කලාවට ලංකාව විවර වුණා කියල කියන එක. මගේ විග‍්‍රහය අනුව ජාත්‍යන්තර නාට්‍යකරුවන් ලංකාවට එන්න යන්න ගත්තම අනිත් නාට්‍ය අන්තයන් සම්බන්ධව අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා. සරල උදාහරණයක් ගත්තොත් ජෝජියාවෙන් ආපු නාට්‍ය ලෝකප‍්‍රකට කාමන් කියන නිර්මාණය ආශ‍්‍රය කරගෙන හදපු නර්තන නාට්‍යයක් තමා ‘ඩාන්ස්’ කියන නාට්‍යය. ඒ වගේ නාට්‍යයක් ලංකාවට ආවම බලන්න සැලැස්සුව එක මං හිතන්නේ අතිවිශාල බලපෑමක්. මගේ නාට්‍ය කලා ජීවිතයට දැන් අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා.

මම මීට කලින් කවදාවත් ලංකාවේදි ජෝජියාවෙ නාට්‍යයක් බලල නෑ, කවදාවත් ආජන්ටිනාවේ නාට්‍යයක් බලල නෑ ඒ වගේම ඉරාන නාට්‍යයක් බලලත් නෑ. ඉරානය කියන්නේ මහ දැවැන්ත සිනමාවක හිමිකමක් දරන රටක්. ඒකෙන් සිද්ධ වුණේ ඉරාන නාට්‍යය කලාව ගැන අපිට අදහසක් ගන්න හැකිවුණා. ඒක ලොකු බලපෑමක්. ඒ බලපෑම නාට්‍යය බලපු අයට තේරෙනවා කොයි වගේ බලපෑමක්ද කියන කාරණාව.

වේදිකාවේ රංගනය කියන්නේ පුළුල් විෂයයක්. විදෙස් රංගන අත්දැකීම් සහ ලංකාවේ භාවිත වන රූපණ ක‍්‍රියාවලි අතර මේ කාලය තුළ සිදුවූ හුවමාරුව කුමන ස්වරූපයේ එකක්ද?

ලෝකයේ රංගනයට සාපේක්ෂව ලංකාවේ රංගනයට සහ වෙනස් රංගන අත්දැකීම් ලංකාවට බලපෑමක් ඇතිවෙනවද වගේ කියන ප‍්‍රශ්නයක්නෙ ඕක. ඒක ගොඩක් බලන අයට තමා කියන්න පුළුවන්. පහුගිය අවුරුදු හය දිහා අපාහු හැරිල බැලූවොත් නාට්‍යය කියල අපි හිතාගෙන ඉන්නේ දෙබස් මූලික සංකල්ප ක‍්‍රමයක් ගැන. එතකොට ජාත්‍යන්තර නාට්‍ය උළෙලට ආව නාට්‍යවලින් සියයට හැත්තෑ පහක්ම දෙබස් නැතිව ආපු නාට්‍යය. එතනදි වඩා වැදගත් වෙන්නේ රූපණ ශිල්පියාව. රූපණ ශිල්පියාගේ රංගන කෞශල්‍ය අනුව තමා අපි ඒ නිර්මාණය රස විඳින්නේ. ඒක ලංකාවේ අය ඉගෙන ගත්තද නැද්ද කියන්න අපි තවම දන්නේ නැහැ. එහෙත් මම නාට්‍යකාරයෙක් හැටියට දකින කොට එතන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ලෝකයේ වෙනස් බව එතැනින් හඳුනාගන්න පුළුවන් වෙනවා. අපි තවම හිතන් ඉන්නේ පිටපතක් ලියලා නළු නිළියෝ ටිකක් දාගෙන සිංහලෙන් නාට්‍යයක් හදලා ලංකාව ඇතුළෙ පෙන්නපුවම එක දූපතකට විතරක් ඒ නාට්‍යය සීමා වෙනවා. එතකොට අපිට මේ දූපතෙන් එළියෙ තියෙන ඉඩකඩ හරි අඩුයි. එහෙත් භාෂාවක් භාවිත නොකර නාට්‍යයක් කෙරුවම ඒක විශේෂී වෙනවා. එතකොට ලංකාවේ රූපණ ශිල්පීන්ට වැදගත් වෙනවා සිරුර භාවිත කරමින් රංගනයේ යෙදෙනවා කියන එකේ තේරුම හොයාගන්න. මට තේරෙන ප‍්‍රධානම දේ තමා ඒක.

මෙම නාට්‍යය උළෙල තුළින් ලැබුණු ප‍්‍රතිලාභ ගැන තවත් කතා කළොත්?

ලෝකයේ නාට්‍යය කලාව ඇතුළත අපි හැම අවුරුද්දකම ලංකාවේ නාට්‍යකරුවෙකුගේ නමින් තමා ජාත්‍යන්තර නාට්‍යය උළෙල නම් කරන්නේ. එතකොට ඒ නාට්‍යකරුවාව අඩු තරමේ තව රටවල් කිහිපයකින් නාට්‍යය කරුවාව හඳුනා ගන්නවා. පෞද්ගලිකව මම හදපු නිර්මාණ දැකලා මට රටවල් ගණනාවකට කතා කරල තියෙනවා නිර්මාණ කරන්න. මට දැනටමත් ඉන්දියාවේ නිර්මාණ හතරකට ආරාධනා ලැබිල ඒ හතර කළා. ඒත් එක්කම බංගලිදේශයට ආරාධනා කරල තියෙනවා එයාලගේ රටේ නාට්‍යකරුවොත් එක්ක නාට්‍යයක් හදන්න කියලා. තව එවැනි රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබිල තියෙනවා. අපේ ජාත්‍යන්තර නාට්‍ය උළෙළට ආපු එක නිළියක් ‘ජුලියා පිලිප්පු’ කියන නිළිය 2016දී අපේ නාට්‍යය උළෙලට ආවට පස්සෙ මට හිතුණා ජූලියත් එක්ක නාට්‍යයක් කරන්න. ඉතිං ‘ස්වීට්ස් ඔෆ් ලව්’ කියල ඒ නාට්‍යයට කරලා දැනට අපි ඉන්දියාවේ, කොරියාවේ යන රටවල් දෙකේ පෙන්නුවා. මේ පෙබරවාරි 27 ඩුබායි වල පෙන්වන්න කටයුතු සලස්වල තියෙනවා. ඉතිං මේ සියල්ල මේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵල තමා. මගේ ජාත්‍යන්තර නාට්‍ය උළෙළ නොතිබ්බ නම් ජූලියා පිලිප්පුව නොදැන ඉන්න තිබුණා. ඉතිං මේ ක‍්‍රියාවලිය මෙහෙම තමා.

නාට්‍යය කලාවේ ප‍්‍රගමනය උදෙසා කොළඹ නාට්‍ය උළෙල තවත් සංවර්ධනය කිරීම පිළිබඳව ඔබට තිබෙන අදහස?

නාට්‍යය කලාවේ වර්තමානය උදෙසා තමා හැමදාම ණයවෙවී සතපහක් අතේ නැතිව බොහොම අමාරුවෙන් හිඟා නොකා හිඟාකමින් තමා මම මේ නාට්‍යය උළෙල කරගෙන යන්නේ. එතකොට මේක වර්ධනය කරන්න උවමනාවක් තියෙනව නම් මේවට අදාළ යම් යම් පාර්ශ්ව ඉන්නවා. එතකොට ඒ අයගේ කොන්දේසි විරහිත සහයෝගය මේ ජාත්‍යන්තර නාට්‍යය උළෙලට අවශ්‍ය කරන බව මම කියනවා. එහෙම නැතිව මේක මේ සෆීර්ගේ නාට්‍යය උළෙලක් සහ පෞද්ගලිකව කරන්නේ කියන පටු සීමාවල් වලට ආවොත් නාට්‍යය කලාවේ වර්ධනයට ඒගොල්ලන්ගේ දායකත්වය ලැබෙන්නේ නෑ. මම තනි මනුස්සයෙක් හැටියට අතිවිශාල වැඩක් කරලා තියෙනව රටට. එතකොට ඒක පාට කණ්ණාඩි දාගෙන බලලා ඒ වැඬේ අවතක්සේරු කිරීමෙන් වෙන්නෙම ලංකාවේ නාට්‍යය කලාවේ ප‍්‍රගමනයට අවශ්‍ය කරන දායකත්වය ලැබෙන්නේ නැති එක.

අපිට රටක් තියෙනවා. මේ රට ඇතුළෙ කලාව, සස්කෘතිය මේවා සම්බන්ධව ආයතනික මැදිහත්වීම කරන්න මූලයන් හදල තියෙනවා. ඒ පාර්ශ්ව මෙවට මැදිහත් වෙන්න ඕනෙ. ඒ වගේම පෞද්ගලික අංශයේ දායකත්වයත් අපිට ඕන වෙනවා. අපි කියන්නේ පෞද්ගලික ආයතන තියෙන්නේ ලාභ උපයන්නම කියල පමණක් හිතන් නැතිව මේ වගේ ජාතික අවශ්‍යතා වෙනුවෙනුත් යම්කිසි ආයතනගත කොන්දේසි ඉවත් කරලා බලධාරීන් මේ වැඬේට උදව් කරනව නම් මම හිතන්නේ නාට්‍ය කලාවේ ප‍්‍රගමනයට තව ගොඩක් දේවල් එකතු වෙනව.

ලංකාවේ බොහෝ නාට්‍යකරුවෝ විදේශ සංචාර සඳහා යනවා. ඒ රටවල වලට ගිහිල්ල වෙනත් නාට්‍ය දකිනව සහ තමන්ගේ නාට්‍ය ඉදිරිපත් කරනවා. අපේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කියද්දි විදේශිකයන්ගේ නාට්‍ය උළෙලට සහභාගිවීමේ උනන්දුව බොහොම අඩුයි. ඒක ලොකු පාඩුවක් අපේ ප‍්‍රගමනයට. මම මගේ ශක්ති ප‍්‍රමාණයෙන් ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් ඉතිහාසයේ පළමුවැනි වතාවට සංවිධානය කළා. මම විදේශ රටවල සංචාරයට යන්නේ නාට්‍යය උළෙල කරන්න කලින්. මම විදේශ සංචාර වලින් ලබපු අත්දැකීම් සහ හඳුනාගත් පුද්ගලයින් නිසා අද මට ලෝකෙ පුරා රට රටවලින් අපිට අයදුම්පත් එනවා. මටම කියල දැන් ජාත්‍යන්තර හුවමාරු ජාලයක් තියෙනවා. ඉතිං මෙහෙම ජාලයක් තියෙන කෙනෙකුගෙන් වැඩක් ගන්න ඕනෙ කවුරුහරි. එහෙමත් නැතිනම් ඒ කෙනා කරන වැඬේට උදව් කරන්න ඕනෙ.