රාවය

ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ

ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ

අජිත් ජිනදාස

ළමා නළුවෙකු වශයෙන් සිනමාවට පිවිස එහි බොහෝ දුරක් ගමන් කළ එකම රංග ශිල්පියා වශයෙන් මා ඔබව හඳුනා ගැනීම කොතරම් දුරට නිවැරදිද?

ඔබගේ නිරීක්ෂණය සමග මගේ හිත ඈත අතීතයට දිව යනවා. අපූරූ සුන්දර කල්පනාවන් කිහිපයකුත් මගේ හිතට එනවා. ඔබ ප‍්‍රකාශ කළ දේ තුළ තමයි මගේ භාග්‍යය හා අභාග්‍යය කියන දෙකම තියෙන්නේ. දැන් අපි වයසයි. මගේ වයසේ හුඟක් අයට සාපේක්ෂව මගේ පෙනුම හොඳ වුණත් මට අවුරුදු හැටකට ළංවෙලා තියෙන්නේ. මේ කාලය ඉතා දීර්ඝ වුණත් තාම මාව හඳුනන්නේ ‘මඩොල් දූව’ හා ‘ගැහැනු ළමයි’ කියන චිත‍්‍රපට දෙකෙන් පමණයි. ඒ ලේබලයෙන් මිදෙන්න හරි අමාරුයි. ‘මඩොල් දූව’ චිත‍්‍රපටයට අමතරව එය පාදක කරගෙන තවත් නිෂ්පාදනයන් කිහිපයක් කෙරුණා. ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයක් විදියටත් නිර්මාණය වුණා. එහෙත් කිසි කෙනෙකුට ඒ ගැන මතකයක් නැහැ. ඒ චරිත ගැන කවුරුත් දන්නේ නැහැ. එහෙත් 1975දී ‘මඩොල් දූව’ චිත‍්‍රපටයේ මම රඟපාපු උපාලි ගිනිවැල්ලගේ චරිතය තාම පේ‍්‍රක්ෂකයන්ට මතකයි. ‘ගැහැනු ළමයි’ චිත‍්‍රපටයේ මම රඟපාපු නිමල්ගේ චරිතයක් එහෙමයි. ඒ චිත‍්‍රපට අතිශය ජනපි‍්‍රය වුණා. එහෙත් ළමා නළුවෙකු වශයෙන් සිනමාවට පිවිසීම නිසා පූර්ණ තරුණයෙක් වශයෙන් සිනමාවේ පෙනී සිටින කාලය මට නැතිවෙලා ගියා. මට අවුරුදු 30 – 35 කාලෙදි වුණත් මාව සැලකුවේ ළමා ස්වභාවය කලවම් වෙච්ච තරුණයෙක් හැටියටයි. ඒ නිසා තමයි මම කිව්වේ මගේ භාග්‍යය හා අභාග්‍යය යන දෙකම රැුඳී තිබුණේ මගේ ආරම්භය මතයි කියලා.

කොහොම වුණත් මේ හැම දෙයක්ම මට විශාල ආනන්දයක් ගෙන දෙනවා. ‘මඩොල් දූව’ නරඹපු අයගෙන් කාටවත් මාව හංගන්න බැහැ. ‘ගැහැනු ළමයි’ චිත‍්‍රපටය නරඹපු අයගේ මතකයෙන්ද මාව හංගන්න බැහැ. හැබැයි මම ඊට පස්සේ චිත‍්‍රපට රාශියක රඟපෑවා. ඒ චිත‍්‍රපට පිළිබඳ නිවැරදි විචාරයක් හෝ තක්සේරුවක් අපේ රටේ කෙරුණේ නැහැ. ඒ නිසා මාව මුල් චිත‍්‍රපට දෙකට පමණක් සීමාවුණා කියන හැඟීමක් මට තියෙනවා. ඒ වුණත් සිංහල සිනමා ඉතිහාසයේ මගේ නමත් පොඩියට හරි සටහන් වෙලා තියෙනවා කියලා දැනෙන කොට මට නිහතමානී සතුටක් තියෙනවා. දැන් මම ඉන්නේ විදේශ ගතවෙලා. එවැනි දුරු රටක ඉන්න කොට මගේ මතකය හැම තිස්සේම අතීතය සමග ගනුදෙනු කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම අතීතයේ පමණක් ජීවත් වෙන මිනිහෙක් කියලා. මම හොඳට වර්තමානයේ පය ගහලා ඉන්න කෙනෙක්. ඒ හැම අතරේ අතීතය සිහිවීම නවත්වන්න පුළුවන්කමක් නැහැ. මීට ටික කලකට ඉස්සෙල්ලා වික්ටර් රත්නායක සංගීත ප‍්‍රසංගයක් සඳහා කැනඩාවට ආපු වෙලාවේ ඔහු ගායනා කළ ගී අතර ‘කොහේද කොහේද අපේ ලොවක්’ ගීතයක් ඇතුළත් වෙලා තිබුණා. ඒක ඒ වෙලාවේ අහනකොට මට හරිම පුදුමයක් මෙන්ම විශාල සතුටක්ද දැනුණා. ගීත දහස් ගණනක් තියෙන ඔහු මේ ගීතය තෝරා ගැනීම තුළින් කියන්නේ තවමත් රසිකයන්ගේ මතකයට අපිව රැුගෙන එන එක නෙමේද? ඒ වගේම රසිකයන් තවමත් ඒ ගීතවලට ප‍්‍රියකරන බව නොවේද? ‘ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ?’ ගීතයත් එවැනි රසවත් මතකයක් නෙමේද? මේවා කෙතරම් මිහිරි වුණත් මගේ ආරම්භය එතරම් මිහිරි නැහැ.

ඒ කියන්නේ?

මගේ ජීවිතේ හරියට සුරංගනා කතාවක් වගේ. මම කොළඹ ආවේ ඈත පිටිසර ගමක ඉඳන්. මගේ ගම රත්නපුරේ ඇළපාත. එහෙම නැත්නම් ඉතා පැහැදිලිව කියනවා නම් කොටාමුල්ල කියන ප‍්‍රදේශයේ. ඒ කාලේ හරි දුෂ්කර ජීවිතයක් තමයි ගත කළේ. කොහොමහරි 1972දී ශිෂ්‍යත්වය සමත් වෙලා මම කොළඹ ආනන්දෙට එනවා. ඒ කාලේ කොළඹ ඉස්කෝලයක් ලැබෙනවා කියන එකත් ලොකු දෙයක්. ඉස්කෝලෙදි මම චිත‍්‍රපට රඟපාන්න ඕන කියලා ලොකුවට හිතුවේ නැහැ. කොහොමහරි පත්තරේ තිබුණ දැන්වීමකට අනුව මම ‘මඩොල් දූව’ චිත‍්‍රපටයට ශිල්පීන් තෝරා ගන්න සම්මුඛ පරීක්ෂණයට ගියා. ඒකට ළමයි 5000ක් විතර ඇවිත් තිබුණා. සම්මුඛ පරීක්ෂණ දෙක තුනකින් පස්සේ උපාලි ගිනිවැල්ලගේ චරිතයට මාව තෝර ගත්තා. ඒක අහම්බයක්. ඒ වගේම එච්චර විශාල සෙනඟක් අතුරින් මාව තෝර ගත්තා කිය එක විශාල වාසනාවක්.

ඒ කාලේ අපි ඉස්කෝලේ යන පොඩි ළමයි නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ගැන දැනගෙන හිටියේ නැහැ. අපිට ගාණක් තිබුණෙත් නැහැ. ලෙස්ටර් මහත්තයා ගාණක් ඇතිවෙන්න ඉඩ තිබ්බෙත් නැහැ. ඔහු අපිව ඩිරෙක්ට් කළෙත් නැහැ. ඔහු චරිතවලට ගැළපෙන පුද්ගලයන් ඒ නියමිත තැන තියලා උපදෙස් කීපයක් දුන්නා. ලෙස්ටර් කිසි කෙනෙක් විශේෂයෙන් රඟපානවට කැමති නැහැ. ඒ නිසා ඔහු අපි කිසි කෙනෙකුට රඟපාන්න කියල කිව්වේ නැහැ. ඔහු කිසිම කෙනෙක්ව කෝවක දාලා අඹරල ගන්න කැමති කෙනෙක් නෙමෙයි. ලෙස්ටර් හැම තිස්සෙම කිව්වේ Spoil වෙච්ච නළුවන්ට වඩා රඟපෑම් දන්නැති අලූත් අය හොඳයි කියලා.

ඔහු මට උපදෙස් කීපයක් දුන්නා. හැබැයි ඒ කිසි දෙයක් දුන්නේ සෙට් එකේදි නෙමේ. දවල් කෑම කාලා නිදහසේ ඉන්න වෙලාවේදී. ඔහු මට කිව්ව, අයිසෙ, උපාලි ගිනිවැල්ල කියන්නේ හරි playful කෙනෙක්. එයාට ගැහුව වුණත් කට කොණක ටිකක් හිනාවක් දාගෙන ඉන්න කෙනෙක්. ඒක පොඞ්ඩක් ඔළුවට දාගන්නවා කියලා. ඊට පස්සේ කිසි ගාණක් නැතුව අපි වැඬේ කළා. ජෝ අබේවික‍්‍රම, ඬේවිඞ් ධර්මකීර්ති, සෝමලතා සුබසිංහ වැනි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් එක්ක රඟපාන කොට අපේ හැකියාවනුත් ඉබේම උඩට එනවා.

වැඩිහිටි නළු නිළියන් පෙම් කළ යුගයක ඔබත්, වසන්ති චතුරානිත් සිංහල සිනමාවේ පළමුවැනි පෙම්වතුන් යුවළ වෙනවා.

ඒ කියන්නේ ‘ගැහැනු ළමයි.’ ඒ චිත‍්‍රපටය කරන කොට මමත් වසන්තිත් අපි දෙන්නම හිටියේ අවුරුදු 16-17 කාලෙදි. ඒ කාලේ එවැනි වයසක දෙන්නෙක් පේ‍්‍රම කතාවක රඟපානව කියන එක ලොකුම ලොකු කාරණයක්. ඒක අපිටත් කුතුහලයක් දනවන කාරණාවක්. සෙට් එකට ගියහම හැබැයි එහෙම ගතියක් දැනුණේ නැහැ. හැම තිස්සෙම එතැන එකසිය පනහක් දෙසීයක් විතර සෙනඟ හිටියට අපි ඔක්කොම එකම කණ්ඩායමක් බවට පත්වුණා. පාසල් දර්ශනවලදී අපිට අපේ සම වයසේ ළමයි සමග එකතුවෙන්න ලැබුණ නිසා එතරම් ආගන්තුක ගතියක් අපිට දැනුණේ නැහැ. එතැනදී අපිට පුදුම ආසාවක් ඇතිවුණ. ඒ කාලේ සිහිවෙන කොටත් හරිම අපූරු ගතියක් දැනෙනවා. පුදුම මිහිරක් තමයි ඒ කාලේ අපිට ලැබුණේ.

වසන්ති ඒ වෙනකොට චිත‍්‍රපටයේ ඇයගේ නිවසේ දර්ශනයක් කිහිපයක් රූපගත කරලා තිබුණේ. ඒ රූපගතකිරීම්වලින් පස්සේ ඇයට අවශ්‍ය වුණා රඟපෑම නවත්තලා නැවත ගෙදර යන්න. ඇය කිව්වා ඇයට ඒ රඟපෑම් කරන්න පුරුදු නැහැ කියලා. ඒ නිසා ඇයගේ කලකිරීම නැති කරන්න සුමිත‍්‍රා පීරිස් ගෙදර දර්ශන රූපගත කරන එක නවත්තලා පාසල් දර්ශන රූපගත කරන්න සැලසුම් කෙරුවා. එතැනදී සම වයස් ළමයි හිටිය නිසා වසන්ති ඒ පරිසරයට පුරුදු වුණා. ඊට පස්සේ ඇය කිසිදු පැකිළීමකින් තොරව දිගටම ඒ චරිතය සාර්ථකව කරගෙන ගියා. ඇත්තටම ඒ වෙනකොට පාසල් දර්ශන සහිත රූපගත කිරීම්වල ඉදිරියෙන්ම හිටියේ ශ්‍යාමා ආනන්ද. ඇය ඒ වෙනකොට චිත‍්‍රපට කිහිපයක රඟපාලා තිබුණා. ඒ නිසා ඇයට කැමරාව ඉදිරියේ රඟපාන එක ඒතරම් අපහසුවක් වුණේ නැහැ. මමත් රඟපාල තිබුණා. ඒත් වසන්ති සම්පූර්ණයෙන්ම අලූත්. ඒත් චිත‍්‍රපටය අවසාන වෙනකොට ඇය ඉතා දක්ෂ විදියට ඉදිරියට ඇවිත් තිබුණා. පසුකාලේදී සිනමාව තුළ ඇයට පෙම්වතුන් රාශියක් හමුවුණාට ඇයගේ පළමුවැනි පෙම්වතා වුණේ මමයි. ඒකත් මිහිරි මතකයක්. ඇත්තටම ‘ගැහැනු ළමයි’ මතක හිටින්නේ ඒක පුංචි කොල්ලෙකුයි කෙල්ලෙකුයි කරපු නිසා.

‘ගැහැනු ළමයි’ චිත‍්‍රපටය සමගම ඔබ ස්ථාවර නළුවෙකු බවට පත්වෙනවා?

ඔව්. එම චිත‍්‍රපටයට මාව තෝරගත්ත මොහොතේදී තමයි ඇත්තටම මම වෘත්තීය නළුවෙක් වුණේ. ‘මඩොල්දූව’ ඉවර වෙනකොටම තමයි ‘ගැහැනු ළමයි’ මට ලැබුණේ. එතැනින් පස්සේ දිගින් දිගටම මට චිත‍්‍රපටි ලැබුණා. ඒ අනුව කල්පනා කරන්නේ නැතුව ඉබේම මාව වෘත්තීය නළුවෙක් බවට පත්වුණා. ඒ නිසා ඒ චිත‍්‍රපටයට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. එහි හැම දර්ශනයකටම වගේ මම ආස වුණත්, ”ලොකු අයියෙ… අපි තව පොඞ්ඩක් මෙහෙම ඉමු” කියන දෙබස් ඛණ්ඩයට හා ඒ දර්ශනයට මම තාමත් ආස කරනවා. ඒ දර්ශන මතක් වෙනකොට මට මහා පුදුම හැඟීමක් ඇතිවෙන්නේ. විදේශ රටක තනිවෙලා ඉන්න කොට ඒ දැනෙන හැඟීම වැඩියි. ‘වියෝ ගී ගැයෙනා හදේ’ ගීතය ඇහෙනකොට මට සමහරවිට කඳුළු එනවා. ඒ හැඟීම් වචනයෙන් විස්තර කරන්න බැහැ. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේදී අපිත් එය නියෝජනය කළ සතුට මං හිතන්නේ කවදාවත් මගේ මතකයෙන් ඈත්වෙන එකක් නැහැ.

‘ගැහැනු ළමයි’ චිත‍්‍රපටයේ එන හුඟක් දේවල් සංවේදියි. එහි තරුණ ජීවිතවලට බලපාන මහා ලෝකයක් පෙන්නුම් කරනවා. පේ‍්‍රමයට තමන් කැමති විදියට පිපෙන්න මේ සමාජයේ ඉඩක් නැහැ කියන එක එහි පැහැදිලිව පෙන්නුම් කරනවා. අපේ සමාජ ක‍්‍රමය විසින් සැබෑ පේ‍්‍රමවන්තයන්ට ඉඩක් තියල නැහැ. බටහිර සමාජය තුළ එහෙම නැහැ. නාගරික සමාජය තුළත් එහෙම නැහැ. ඒත් ග‍්‍රාමීය සමාජය තුළ තවමත් ඒ නෂ්ඨාවශේෂ තියෙනවා. යොවුන් පේ‍්‍රමය දිහා බලන්නේ වපර ඇහින්. අද වෙනකොට එම තත්ත්වයන් ටිකෙන් ටික ලිහිල් වෙන තත්ත්වයක් දකින්න ලැබුණත් ‘ගැහැනු ළමයි’ කරන කාලේ ඒ තත්ත්වය ඉතා දරුණුයි. ඒ නිසා මව්පියන්ට කුදගහ ගන්න කියලා කුසුම්ව මට හොරෙන් අරගෙන යන්න හැකියාවක් තිබුණේ නැහැ.
‘මලට නොඑන බඹරු’ චිත‍්‍රපටයේ ඔබේ රඟපෑමත් ඒ යුගයට අනුව අභියෝගාත්මකයි.

ලංකාවේ බිහිවෙච්ච පළමුවැනි සමකාමී චිත‍්‍රපටය තමයි ‘මලට නොඑන බඹරු.’ ඒ කාලේ සමකාමී චිත‍්‍රපටයක රඟපානව තියා ඒ ගැන කතා කරන්නවත් ප‍්‍රසිද්ධියේ කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. ඒත් අපි ඒ අභියෝගය භාරගත්තා. එය සාර්ථක වුණා. ඒ චිත‍්‍රපටයත් ඒ කාලේ හොඳට කතාබහට ලක්වුණු චිත‍්‍රපටයක්. ජෝ සමග මම මීට කලින් රඟපාල තිබුණත් ඒ චිත‍්‍රපටයේදී මට සුවිනීතා කෝන්ගහගේ, ගාමිණී සමරකෝන් සමග රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ හැම එකක්ම හරිම සුන්දර අත්දැකීම්. මට ලැබුණු චරිතවල පොඩි විසේකාර බවක් තිබුණා. ‘සීතාදේවි’ වැනි චිත‍්‍රපටයකට සම්බන්ධවීමට ලැබීමත් ලොකු වාසනාවක්. ඒ කාලේ තිබුණ තරු සංකල්පය අද නැහැ. අද සිනමාවේ වීරයොත් නැහැ. ඒත් ගාමිණී, ජෝ, විජය, ටෝනි වගේ නළුවො මුළු සිනමාවම ආවරණය කළා. ඒ කාලේ මේ අය පේ‍්‍රක්ෂකයන්ගේ පරමාදර්ශී චරිත බවට පත්වුණා. ඒත් අද වෙනකොට සිනමාව තුළ එහෙම තත්ත්වයක් නැහැ. අද වෙනකොට මුළු රටම කඩා වැටිලා. එවැනි අවස්ථාවක සිනමාව විතරක් බේරෙන්න පුළුවන්කමක් නැහැනේ.

‘රෝසි’ චිත‍්‍රපටය සමගින් ඔබේ මුල්කාලීන ගමන් මග වෙනස් වෙනවා.

යසපාලිත නානායක්කාර ඒ චිත‍්‍රපටයට මුල ඉඳලම මාව තමයි තෝරාගෙන තිබුණේ. රෙක්ස් කොඩිප්පිලි තමයි මගේ නම යෝජනා කරලා තියෙන්නේ. ‘රෝසි’ කියන්නේ අපේ වාණිජ සිනමාවේ බිහිවෙච්ච ඉතා මනරම් චිත‍්‍රපටයක්. ඒක වැඩිය කතා නොකරපු හින්දි චිත‍්‍රපටයක අනුවර්තනයක්. ඒ වුණාට යසපාලිත එය ඔහුට ඕනෑ විදියට නිර්මාණය කළා. යසපාලිත කියන්නේ අපිට හිටිය හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහු නළු නිළියන්ව මෙහෙයවන්නේ වෙනස්ම ආකාරයකටයි. ලෙස්ටර් පුද්ගලයා තුළ ඉන්න නළුවා උඩට ගන්න වෑයම් කරද්දී යසපාලිත තමන්ට අවශ්‍ය දේ තදින්ම කියා දීලා වෙන්න ඕනෑ විදිය රඟපාලත් පෙන්නනවා. ‘රෝසි’ යසපාලිතගේ චිත‍්‍රපට අතර ඉතා ජනප‍්‍රියත්වයට පත්වුණු චිත‍්‍රපටයක්. එය සාමාන්‍ය පේ‍්‍රම කතාවක් ඉක්මවා ගිය චිත‍්‍රපටයක්. ඊට පස්සේ මම ඔහුගේ ‘දේදුන්නේ සමනළියක්’ චිත‍්‍රපටියේ රඟපානවා. ඒ චිත‍්‍රපටයත් අතිශය ජනප‍්‍රියත්වයට පත්වෙනවා. එතැනදී තමයි දිල්හානි අශෝකමාලා මට හමුවෙන්නේ. ඒ එයාගේ පළමුවැනි චිත‍්‍රපටිය. පළමුවැනි වරට මාත් සමග රඟපාපු නිළියො කිහිපදෙනෙක්ම ඉන්නවා. ඊට පස්සේ මට දිගටම වාණිජ සිනමාවේ චරිත ලැබුණා. ඇත්තටම කියනවා නම් මෙවැනි චිත‍්‍රපට සඳහා නිසි ඇගැයුමක් ලැබුණේ නැහැ. ඒ චිත‍්‍රපටය අධ්‍යයනය කරලා ඒ චිත‍්‍රපට හරවත් විචාරයකට ලක් කළා නම් අද අපේ සිනමවට අත්වෙලා තියෙන මේ ඛේදවාචකය සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් ‘රෝසි’ වගේ චිත‍්‍රපටයක් පිළිබඳ විචාරකයන්ට කතා කරන්න තිබුණා. ඒත් අපේ විචාරකයෝ කතා කෙරුවේ තෝරාගත් චිත‍්‍රපටකරුවන්ගේ චිත‍්‍රපට කිහිපයක් ගැන පමණයි. ඒවා එහෙම වුණත් රසිකයෝ මේ චිත‍්‍රපට පොරකකා බැලූවා. ඒ ස්වර්ණමය යුගය නිමවෙනවා දකින කොට තමයි මට හිතුණේ මේ සිනමාවේ දුක් විඳ විඳ මගේ බෑග් එකේ තියෙන ඇඳුම ෂූටිංවලට දීලා අනන්ත දුක් විඳලා බයිස්කෝප්කාරයෙක් වෙනවට වඩා කොහේ හරි යන එක මීට වඩා හොඳයි කියලා. ඒ අනුව තමයි මම රට අතහැරලා යන්න හිතුවේ. ඒක මගේ හිතට වදදෙන තීරණයක් වුණත් එහෙම විකල්පයක් මිසක් වෙන දෙයක් මට කරන්න තිබුණේ නැහැ.

බොහෝ නළු නිළියන් වේදිකාවෙන් සිනමාවට පිවිසෙද්දී ඔබ සිනමාවෙන් වේදිකාවට පිවිසෙනවා.

රඟපෑම තියෙන්නේ වේදිකාවේ. ඒ සඳහා වේදිකාව සම්බන්ධ ඉව දැනෙන්න ඕනෑ. අපි කුඩා කාලේ ‘රන්කඳ’, ‘සුභ සහ යස’, ‘රතුහැට්ටකාරි’ වැනි නාට්‍ය බොහොම ආසාවෙන් නැරඹුවා. ඒ නිෂ්පාදන දැක්කම වේදිකාව සම්බන්ධයෙන් ලොකු පෙරේතකමක් ඇතිවෙනවා. ඒත් මුල් කාලෙම මම සිනමාව සමග අත්වැල් බැඳගත්ත නිසා වේදිකාව මට අහිමිවෙලා යනවා. කෙසේ නමුත් පසුකාලෙදි ජය ශ‍්‍රී, නිශ්ශංක දිද්දෙණිය, මනෝරත්න, නීල් අලස් වැනි අතිශය දක්ෂ රංගධරයන් සමග 80 කණ්ඩායමට මම සම්බන්ධ වෙනවා. ඒ කාලේ අපේ වේදිකාව තුළද ඉතා විශාල පිබිදීමක් තිබුණා. 80 කණ්ඩායමේ නිෂ්පාදනද එයට විශාල වශයෙන් දායක වුණා. ඒ කාලේ හැම කෙනෙක්ම වේදිකාවේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් කරමින් හිටියේ. එයට මමද දායක වුණා. සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයේ සන්ධිස්ථාන වශයෙන් හඳුනාගත හැකි ‘පුත‍්‍ර සමාගම’, ‘මායාදේවි’ වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම මගේ දායකත්වය ලැබුණා. ඒ අතර නීල් අලස් එක්ක කරපු ‘සිහින සාප්පුව’ නාට්‍යය සුවිශේෂයි. වේදිකා නාට්‍ය සමග ගම් දනව් පුරා ගිය කාලේ හරිම සුන්දරයි. ඒ තුළින් අපි ලබාගත්ත ජීවිත අත්දැකීම් ඉතා ගැඹුරුයි. රඟපාල ඉවර වුණහම සතුටු වෙන්න පුළුවන් එකම තැන වේදිකාවයි. ඒක පූජනීය තැනක්. වසර 35කට පස්සේ ‘මායාදේවි’ නාට්‍යයේ මම මේ ළඟදි රඟපෑවා. ජනප‍්‍රියත්වය පිළිබඳ මම කවදාවත් හිතුවේ නැහැ. හැබැයි රසිකයන් අතර තාම මම ජීවමානයි. අපේ ගොඩාක් දෙනෙකුට වෙන්නේ ජනප‍්‍රියත්වය කියන එක බුද්ධියෙන් පාලනය කරගත නොහැකිවීමයි. එය මනාව පාලනය කරගන්න පුළුවන් නම් මුළු ජීවිතයම සුන්දරයි.