අහෝ පොලිසිය!

සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අවසර දීම වෙනුවෙන් රුපියල් තිස්දහසක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට පොලිස් උප පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පහුගිය දිනවල වාර්තා විය. මෙය අලූත් සිද්ධියක්ද? පොලිසිය පගා ගන්නේ නැද්ද? පගා ගන්නේ පොලිසිය විතරද? දේශපාලකයන් මහා පරිමාණ වංචා කළැයි කීවට අත්අඩංගුවට ගනු ලැබුවේ කාවද? මේවා නිකම්ම නිකම් කතාය. පොලිස් නිලධාරියා අල්ලස් ගැනීමත් අගැමතිට පොලිසි භාරවීමත් එකට මෙන් සිදුවෙන සිදුවීම් දෙකක්ය. එය ලොකු අරුතක් එකතු කරන්නේය. එය පසුවට කතාබහට ඉතිිරි කොට මේ මොහොතේ පොලිසිය ගැන කතා කළ යුතුව ඇත්තේය. නව පොලිස්පතිවරයා භාවනාවෙන් වැඩ පටන් ගත්තද ක‍්‍රියාව අන්තිම අපායසහගතය. පොලිසිය දිනෙන් දින පිරිහෙමින් ජනතාවගෙන් ඈත්වන්නේ ඔවුන් ජනතාවගේ කොටසක් නොවන ගාණටය. එබැවින් පොලිසිය හරහා නීතිය ක‍්‍රියාත්මක කරගනු වෙනුවට ජනතාව නීතිය අතට ගන්නා තැනට තල්ලූවෙමින් පවතී. මෙය නම් බරපතළ තත්ත්වයකි.

රජයට මෙන්ම ජන සමාජයට අනතුරකින් බාධාවකින් තොරව සියලූදෙනාටම කටයුතු කරගෙන යෑමේ පරිසරය නිර්මාණය කිරීමෙහිලා වැදගත්ම ආයතනය පොලිසිය බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් ඒ තත්ත්වය අද පොලිසිය හරහා ක‍්‍රියාත්මකවේද?

මෙරට පොලිසිය මෙතරම්ම හෑල්ලූ වූයේ මේ දේශපාලනය නිසා නොවේද? අද අල්ලස් ගත් නිසා මේ පොලිස් නිලධාරියා අත්අඩංගුවට පත්විය. එහෙත් දේශපාලන අණකට සම්බාහන ආයතන පවත්වාගෙන යන්නට ඉඩදී මුනිවත රකින පොලිස් නිලධාරීන් කරනුයේ නිවැරදි දේද?

පොලිසිය මිනිසුන්ට මෙතරම් අප්පිරියාසහගත තැනක් වී ඇත්තේ ඇයි? පොලිස් නිලධාරීන් ජනතාවට සේවය කරතැයි ජනතාව කවදා සිතනු ඇත්ද?

හමුදාවට රණවිරුවන් කියන ජනතාව පොලිසියට එවැනි ගරු නම්බු දෙනු ඇත්ද? මෙයට හේතුව නම් පොලිසිය සහ පොලිස් නිලධාරීන් ජනතාව වෙනුවට දේශපාලකයන්ට වැඩ කරන පිරිසක් බවට අද පත්වී සිටීමය. ඔවුහු දේශපාලකයන්ගේ මුරබල්ලන්වීමය. එය ගලවාගත නොහැකි තත්ත්වයට අද පිළිලයක් වී ඇත.

මිලිටරිකරණය

අද දවසේ පොලිසියේ කාර්යභාරය කුමක්ද? එය විග‍්‍රහ කොට බැලූවහොත් පෙනෙනුයේ ජනතාව ත‍්‍රස්තවාදීන් ලෙසත් පොලිසිය එය මැඬපවත්වන රකුසන් ලෙසත්ය. 1971 තරුණ කැරැුල්ල සහ අසූව දශකයේ භීෂණයත් සමග ඉන්පසු උතුරේ යුද්ධයත් සමග පොලිසියටත් ත‍්‍රිවිධ හමුදාව සමග එක්ව මිලිටරිකරණය වූ අතර මහජන සේවයෙන් මුළුමනින්ම අහකට විය. තරුණ කැරලි සහ යුද්ධය අහවර වුවද පොලිසිය තවමත් සිටිනුයේ මහජන සේවය වෙනුවට මිලිටරිකරණයේමය. කැරලි මර්දන අද පොලිසිය ක‍්‍රියාත්මක කරනුයේ ඉහළ පෙර අත්දැකීම් ආශ‍්‍රයෙන්මය. ඔවුන් පුල පුලා බලා සිටිනුයේ පහරදෙන්නට අණදෙන තෙක්ය. සැබැවින්ම අද පොලිසිය යනු ගහන්නටම බලා සිටින උමතු ජාතියක් වී ඇත. මේ උමතුව විනාශ කරනුයේ සමස්ත පොලිසියට කුමන හෝ ගැටලූවකට පොලිසියට යන අය පොලිසිය දකිනුයේ අපරාධකරුවන් ලෙසය. බස් රියදුරන්, ත‍්‍රීවීලර් රියදුරන් පොලිසිය දකිනුයේ නරකම කොට්ඨාසයක් ලෙසය. ඔවුන් යහපත් ලෙස කතා කරන්නට හෝ මේ අයට නොහැකිය. වටිනා වාහන ළඟ දෙකට තුනට නැවෙන අය ඒ සියලූ හයිරම් පානුයේ ත‍්‍රීවීලර් සහ බස් රියදුරන් ළඟය. පොලිසියම මිනිසුන් වර්ග කර හමාරය. ජනතා සේවය මෙයද?

ඉහත සඳහන් කළ තරුණ කැරලි, යුද්ධය අවස්ථාවන්හිදී පොලිසිය ක‍්‍රියා කළේ මිලිටරිකරණයවීමෙන්ය. එවිට ඔවුන් ක‍්‍රියා කළේ රටේ සාමාන්‍ය නීතිය අනුව නොවේ. හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේය. ඒ හරහා නීතිය ඔවුන්ගේ කෙළිබඩුවක් විය. කොටින්ම ඔවුන් නිල ඇඳුම ලාගත් ලයිසන් මැරයන් බවට පත්විය. ඒ නිසා නිතර ස්ථාපිතව ගොඩනැගුණේ සාමාන්‍ය පොලිස් නීතියට අනුව ක‍්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් නොව විනෝදයට මිනීමරන පොලිස් නිලධාරීන්ය. පහුගිය කාලය පුරා පොලිස් කූඩු කළ කොතරම් නම් අය මිය ගියේද? වාහනවල අණ නොතකා පලා ගිය බවට කීදෙනෙකුට මියෙන්නටම වෙඩි තැබූ අවස්ථා කොපමණද? අවම බලය හැමදාම ඔවුන් අර්ථ ගැන්වූයේ ජීවිත කෙළවර කරමිනි. පාදඩ ආඥා පනත උපයෝගී කරගනිමින් ඉතිරි මානසික ව්‍යාධියද පොලිසිය සුවකර ගන්නා තැනට තල්ලූවිය. මේ ජනතාවට සේවය කරන ජනතා සේවකයන්ද? භාවනා කොට ගොඩ නගන්නට හදන්නේ එවන් මානසික මට්ටම්ද? සිවුරුලාගත් අයගෙන්ද ඉටු නොවන භාවනාව පොලිසියෙන් ඉටුවේද?
මේ මිලිටරි මානසිකත්වය අදටත් එසේමය. උද්ඝෝෂණයකදී තවමත් පොලිසිය ක‍්‍රියාකරනුයේ පෙර පරිදිමය. ඉදින් පහරදීම්, අල්ලස්, පගා ගැනීම් හැර පොලිසියේ වෙන පුරුදු නැති තරම්ය.

යුද්ධයෙන් පසු කළයුතු බොහෝ දේ උතුරේ ජනතාවට සිදු නොවුණා සේ ම ති‍්‍රවිධ හමුදාවට, පොලිසියටද සිදු නොවුණි. එබැවින් මේ කරුම යුද්ධය අහවරවීද දිවි ගෙවනුයේ යුද සමයේ මෙනි.

ඒ නිසාම යුද්ධයෙන් පසු වුව ඉහළ සිට පහළටම පොලිසියේ නියම ප‍්‍රතිසංස්කරණයක් සිදු නොවීය. අද ජනතාව ඉදිරියේ ක‍්‍රියා කළ යුතු ආකාරය පොලිසිය නොදනී. ඔවුන් ජනතාවට ආමන්ත‍්‍රණය කිරීමට පවා නොදනී. පහරදීම ඔවුන්ට උපතින් ලද උරුමයක් ලෙස ඔවුහු සලකති.
පහුගිය මාසවලදී යාපනයේ යතුරු පැදියක ගමන් ගත් දෙදෙනෙකුට පොලිසිය වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය. කතරගමදීද එවැනි සිද්ධියක් වාර්තා විය.

මේ යුද්ධ සමයේ මේ අය කටයුතු කළ ආකාරයය. ඒ කාලේ මේවාට සරල උත්තර දිය හැකිය. එනම් ත‍්‍රස්තවාදීන්, සැකකරුවන් වැනි දෑය. උත්තර සැහැල්ලූය. මොවුන් විරුවන්ය. අදද තත්ත්වය එසේමය. උතුරේ වුව දකුණේ තත්ත්වයද එසේමය. යාපනේ සිද්ධියට පොලිසිය කීවේ ඒ ‘ආවා’ ගෲප් එකේ අය කියාය. බයිසිකලේ යන විටම ‘ආවා’ ගෲප් කියා හඳුනා ගැනීමට මෙරට පොලිසියට ඇති ඉව අර පැරණි පුරුදුම නොවේද? එසේ නම් කතරගම පුද්ගලයා බීමතින් යතුරුපැදිය ධාවනය කළේ නවත්වන්නට කියද්දීත් නොනවත්වාය. එවිට හිසටම වෙඩි තබන මානසිකත්වය කුමක්ද? මේවා ඉදිරියටත් එසේම වනු ඇත. භාවනා කොට මේවා නැවතිය නොහැකිය. දේශපාලකයන්ද මේ ක‍්‍රමයට කැමතිය. එවිට ජනතා පාලනය පහසුය.

අද ලසන්ත ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනෙනුයේ පොලිස් ප‍්‍රධානීන්ය. ඒ ඝාතනය කිරීමට නොව ඝාතනයේ සාක්කි මැකීම නිසාය. තාජුඩින් ඝාතන නඩුවට අත්අඩංගුවට ගැනෙනුයේද පොලිස් ප‍්‍රධානීන්ය. වාස් ගුණවර්ධන වැනි ප‍්‍රබලයන් හිරේය. මේ පොලිසියේ තරමය. ඔවුන් දේශපාලකයන්ගේ අතකොළුව ක‍්‍රියා කළ ආකාරයය. එය අදද එසේමය. පහුගිය දශක කිහිපය පුරාම පොලිසිය දේශපාලකයන් සමග දේශපාලන පොලිස් කෝලම අපූරුවට රඟදැක්වීය. සාමාන්‍ය ජනයාගේ ඉළඇට බිඳීය. පොලිස් ආඥා පනත් කුණු කූඩයට වැටුණි. පොලිසිය ක‍්‍රියාත්මක වූයේ දේශපාලනඥයාගේ නීත්‍යනුකූල නොව නියෝග මතය. උපදෙස් මතය. ආබාධිත සෙබළුන්ට පහරදීමත් එවැනිම පහත් ක‍්‍රියාවක ප‍්‍රතිඵලයකි. පොලිස් පහරදීම්වලට නියෝග දෙන අය නැත. ප‍්‍රශ්නය එයය.

රතුපස්වල සිද්ධිය උඩ දමා කතා කළ මේ ආණ්ඩුව ඉන්පසු ක‍්‍රියා කළේ එයින් බැහැරවද? හිටපු පොලිස්පතිවරයෙකු වූ බාලසූරියට ගෙදර යෑමට සිද්ධ වූයේ ඊපීඑෆ් ප‍්‍රශ්නයට එළියට බැස්ස කටුනායක සේවකයන්ට වෙඩි තැබීම නිසාය. එසේ නම් පොලිසිය සේවය කරනුයේ මහජනතාවටද? කටුනායක වෙඩි තැබීමට අණ කළ පොලිස්පති පසුව තානාපති ධුරයකට උසස් විය. එයින් පෙන්වනුයේ එවැනි සිද්ධි පොලිස් නිලධාරීන්ගේ උසස්වීමට කොතරම් බලපාන්නේද යන්න නොවේද? පොලිස් නිලධාරීන්ද ක‍්‍රියාකරනුයේ තම නිලය ඉහළට තබා ගන්නටය. ඊට ඕනෑම ජඩ වැඩක් කිරීමට ඔවුන් සූදානම්ය.
බොහෝ පොලිස් නිලධාරීන් ලොක්කන් වූයේ දේශපාලන හයියෙනි. අල්ලස්වලින් ධනවත් වූ පිරිසක්ද සිටිය හැකිය. එහෙත් සමස්ත පොලිසියම එසේ යැයි නොකියමු. එහෙත් අද බහුතරය එසේමය. පෙට්ටි කඩයක් කළද එයින් කෑම නොමිලේ ගැනීමට එන පොලිස් නිලධාරීන් බහුලය. බසයේ නොමිලේ යන තැන සිට සියල්ල නොමිලේ කරන්නට බලා ඉන්නා පිරිස බහුලය. දහසක් ප‍්‍රශ්න හමුවේ මිරිකෙන මොවුන් අල්ලස් ගන්නට පෙළඹෙනවා ඇත. මේ තිස්දහසද එලෙස කප්පරක් ප‍්‍රශ්නවලට තාවකාලික විසඳුමක් විය හැකිය. එහෙත් දැන් සියල්ල අහවරය.

වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් සජින් වාස්ට ගැසූ දඩය රුපියල් දහසකි. කෝටි ගණනින් උපයා ගත් හැටි නොකියා සිටීමට ගෙවිය යුත්තේ දහසකි. එය නීතියේ අණපනත්වල වරදකි. ඒවා නිවැරදි කරනුද නොපෙනේ.

එහෙත් මේ තත්ත්වයන් දැක දැක වුවද පොලිසියේ ප‍්‍රධානීන් මෙන්ම පොලිස් පොඞ්ඩෝද හැකි උපරිම සේවය කරනුයේ දේශපාලකයන්ටමය. පහුගිය රජය සමයේ දේශපාලකයන්ට දරදිය ඇද්ද බොහොමයක් අද ඉන්නේ හිරේය. එයින් පාඩම් ඉගෙන මේ ආණ්ඩුව යටතේ වුව පොලිසිය වෙනස් වෙතැයි සිදුවුවද සිදුවන මහ වෙනසක් නැත.

මුහුණ වැහෙන හෙල්මට් නීතිය දේශපාලකයන්ගේ මැදිහත්වීම මත තහනම් විය. පදික වේදිකාවේ වාහන නැවතීම දේශපාලකයන්ට අදාළ නැත. දේශපාලකයන්ගේ මිතුරන්ටද ඥාතීන්ටද අදාළ නැත. මෙවන් එහෙයි පොලිසිය ජනතාවට සේවය කරනුයේ කෙසේද?

පොලිසියේ අවංක අයට වුව අවංක විය නොහැකිය. අධිවේගී මගෙහි දේශපාලකයකුගේ වාහනයට දඩ කොළය ලියූ පොලිස් නිලධාරියාට වුණේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා පන්නයේ වැඩකි. පොලිස් ප‍්‍රධානි ඔහුව වැරදිකරු කරන තැනට තල්ලූ විය.

මේ යන ආකාරයට පොලිසිය නිකම්ම නිකම් මැර ආයතනයකට එහා අගයක් නොගන්නවා නියතය. පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයට ගැනීම මේ සියලූ විපාක වූ බව පැහැදිලිය. මේ ආයතනය මහජන සේවයට ගැළපෙන ලෙස කවදා හැදේදැයි සිතීමත් අනුවණකමකි. එය අගමැතිට දුන්නායැ’යි අමුතු වෙනසක් නැත. බැඳුම්කර සිද්ධියත් සමග පොලිසිය අගමැතිට දීම විහිළුමවන කතාවක් බවට අද පත්වී ඇත. එසේ නම් අදටත් මෙරට පොලිසියේ ඉරණම කිසිදු වෙනසක් වීද? අගමැති පොලිසිය භාරගැනීමත් පොලිස් නිලධාරියකු අල්ලස් ගැනීමත් දෙකම එකය. සිදුවීම හරහා පෙනෙනුයේ පොලිසිය පොලිෂ්වීම තව බොහෝ ඈත බවය. දේශපාලනයම හොර ගුහාවක් වනවිට පොලිසියට සිදුවන්නේ මෙලෙසම යෑමටය. කාට විරුද්ධ වම්ද?

අහිංසකයකුට දඩයක් ගසා අහිංසකයකුගේ ඉළඇට කඩා පගාවක් ගෙන පාඩුවේ සිටීම පොලිසියේ කලාව වී ඇත. පොලිසිය දුරස් වන තරමට ජනතාව නීතිය අතට ගන්නා බව නොකිවමනාය. කවුරු වුව පොලිසිය නියමාකාරයෙන් හැදිය යුතු කාලය පැමිණ ඇත. එය ෆොන්සේකාටද කළහැක්කක් නොවන බව කිව යුතුය. දැන් නම් කාට කළහැකිදැයි අපටද කිව නොහැකිය.