රාවය

සයිටම් සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය ලැබෙන්නේ කවදාද?

සයිටම් සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය ලැබෙන්නේ කවදාද?

සයිටම් වෛද්‍ය සිසුන්ගේ අර්බුදය වසර ගණනාවක් පුරා ඇදීයමින් තිබියදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට තීන්දු කර තිබීම තුළ එම සිසුන්ගේ හා ඔවුන්ගේ මාපියන්ගේ පාර්ශ්වයෙන් සංතෝෂයට පත්ව තිබෙන වාතාවරණයක් දකින්නට ඇත.

සයිටම් වෛද්‍ය පීඨය පිහිටුවනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේදී වන අතර ඒ සඳහා රාජපක්ෂ ආණ්ඩුව එයට නොමඳ සහයෝගයක්ද දක්වන ලද්දේය. මෙම ආයතනයේ මාපියන් දක්වන තොරතුරු අනුව එවකට සිටි ජනාධිපතිවරයා සිසු සිසුවියන් දසදෙනෙකුට සයිටම් ආයතනයට ශිෂ්‍යත්වයද ලබාදී තිබේ. අනෙක් කරුණ වන්නේ සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකුද සහභාගි වී ඇත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් පනත අනුව නම් ඕනෑම විෂය ධාරාවකින් සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගත් අයෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමේ සුදුසුකම් ලැබේ. විශ්වවිද්‍යාලවලට පවතින සම්පත් හිඟකම හේතුවෙන් බඳවා ගන්නා ශිෂ්‍ය ප‍්‍රමාණය සීමාවී ඇතත්, යථාර්ථය එය වෙයි. මේ අනුව වර්තමානයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේදී ඉහළ ලකුණු සලකා බලමින් ඉසෙඞ් කෝර් ක‍්‍රමය භාවිත වෙයි. මේ හේතුව නිසා ඉහළම සුදුසුකම් ලැබුවන්ටද විශ්වවිද්‍යාල ප‍්‍රවේශය අහිමි වෙයි. මේ සඳහා හොඳම නිදසුනක් 2018 පෙබරවාරි 21 දිනපතා ලංකාදීප පුවත්පතේ කර්තෘට ලියුම් තීරයේ පළවූ ලිපියකින් කොටසක් උපුටා දැක්විය හැකිය.

”මගේ තර්කයට සාපේක්ෂව බැලූවොත් කොළඹ ප‍්‍රදේශයෙන් විභාගයට මුහුණ දුන් මට ඒ සහ බී දෙකක් ලැබුණද වෛද්‍ය පීඨයට යාමට වරම් නැත. දුෂ්කර යැයි ප‍්‍රදේශයකින් ඉදිරිපත් වුණ ඔහුට සී දෙකකුත් එස් එකකුත් ලබාගෙන එම පීඨයට යෑමට අවසර ඇත. රජයවත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහිව නැගී සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයවත් අපොස උසස් පෙළ විභාගය රඟදැක්වෙන්නේ කෙසේදැයි නොදන්නා බව මට විශ්වාසය. ශ‍්‍රී ලංකාවේ අපේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් මට ඉසෙඞ් ස්කෝර්වලින් සිදුවී තිබෙන අසාධාරණයට විසඳුමක් වනු ඇත.”
ඇය මේ ලිපියෙන් ඉල්ලන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පුරවැසියෙකු සතු අයිතිවාසිකමකි. රජයෙන් ඒ යුතුකම ඉටුකර දීමට නොහැකි අවස්ථාවලදී පෞද්ගලික අංශයට ඒ අවස්ථාව විවර කරදීම රජයේ යුතුකම සේ ම වගකීමයි.

සයිටම් වැනි ආයතනයක් බිහිවන්නේ මෙවැනි සන්දර්භයක් තුළ බැවින් එය සුළුවෙන් තැකිය හැකි නොවේ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හෝ සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිවන්නන් විසින් කළයුත්තේ ඒවාට විරුද්ධවීම නොව එවැනි ආයතන වඩාත් ගුණාත්මක ඒවා බවට පත්කිරීම වෙනුවෙන් පියවර ගැනීමයි. ඒ සඳහා මැදිහත්වීමයි. එනමුත් පෙනෙන්නට තිබෙන කරුණු අනුව නම් මේ එරෙහි වන්නන් කිසිදු ආකාරයකින් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයක් මේ රටේ පිහිටුවීමට සපුරා එරෙහි වන බව නොවේද?
පවතින වාතාවරණය අනුව ජනාධිපතිවරයා විසින් සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමට ගත් තීන්දුවට සයිටම් සිසුන් සිසුවියන්ගේ මාපියන් සංගමය එකඟය. එලෙසම සයිටම් ආයතනයේ දැනට සිටින සිසු සිසුවියන් 900කට ආසන්න ශිෂ්‍ය ප‍්‍රජාවද එකඟය. එක් අතකින් පසුගිය කාලය පුරා එනම් වසර තුනක් පුරා සයිටම් විරෝධී අරගල 344ක් පැවති වාතාවරණයක් තුළ ඔවුන් එසේ එකඟවීමද පුදුමයක් නොවේ.

එහෙත් මෙවන් තීන්දුවක් ගැනීමෙන් අනතුරුව පැන නැගිය හැකි ගැටලූ සම්බන්ධයෙන් එනම් කොතලාවල වෛද්‍ය පීඨයේ ඉඩකඩ, ප‍්‍රමාණවත් දේශකයන් සිටීද? එසේ ප‍්‍රමාණවත් නොවන්නේ නම් බඳවා ගන්නේ කෙසේද? ඒ සඳහා මූල්‍ය හා වෙනත් ප‍්‍රතිපාදන තිබේද? යන ප‍්‍රශ්න සේ ම කොතලාවල වෛද්‍ය පීඨය පිහිටුවා ඇති අණපනත්වල මේ සිසුන් බඳවා ගැනීමට සෑහෙන ප‍්‍රතිපාදන තිබේද යනාදී ගැටලූ රැුසක්ද පැන නගිනු ඇත. මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමටත් ජනාධිපතිවරයා ක‍්‍රියාමාර්ග නොගන්නේ නම් රජයට එරෙහිව ඊළඟ විරෝධය එල්ලවන්නේ සයිටම් ආයතනයට සම්බන්ධ ප‍්‍රජාවෙනි.

මේ අතරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සයිටම් ආයතනයේ සිසුන් පිරිසක් විසින් අධිකරණයේ පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලපෑමක් කෙරෙතියි යනුවෙන් සයිටම් වෛද්‍ය සිසුන්ගේ මාපියෝ කියති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ යෝජනාවේ යටි අරමුණ වෙනකක් විය හැකි බවද එය සැකසහිත බවද මේ අයගේ අදහසයි.

සයිටම් ගැටලූවට සම්බන්ධ පාර්ශ්වයන් වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ සංගමය, උසස් අධ්‍යාපන ඇමති, සෞඛ්‍ය ඇමති, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති යන අය මේ ගැටලූව සම්බන්ධයෙන් දරන්නේ කුමන මතයක්ද යන්න දුරකතනය ඔස්සේ විමසීමට ලියුම්කරු උත්සාහ කළත් එය අසාර්ථක විය.