රාවය

ලසන්ත වික‍්‍රමතුංග ඝාතන පරීක්ෂණ ගෝඨාභය සහ ෆොන්සේකා

ලසන්ත වික‍්‍රමතුංග ඝාතන පරීක්ෂණ ගෝඨාභය සහ ෆොන්සේකා

හිටපු ‘සන්ඬේ ලීඩර්’ කතුවර ලසන්ත වික‍්‍රමතුංග මහදවල් මහපාරේ සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද පරීක්ෂණ දැන් සක‍්‍රිය බව පෙනේ. මේ වනවිට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්ද අත්අඩංගුවට පත්වී සිටියි. ඒ මේ ඝාතනය කළා හෝ ඝාතනයට කුමන්ත‍්‍රණය කළා හෝ යන චෝදනා මත නොවීමද විශේෂය. ඔවුන් අත්අඩංගුවට පත්වී තිබෙන්නේ එවකදී මෙම පරීක්ෂණ අඩාල කිරීමට සහ සාක්ෂි විනාශ කිරීමට මේ නිලධාරීන් සම්බන්ධ බවට පරීක්ෂණවලදී තහවුරුවීමත් සමගය. මේ සඳහා නියෝග එවක පොලිස්පති ධුරය දැරූ ජයන්ත වික‍්‍රමරත්නගේ සිට ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති දක්වා ඉහළ නිලයන්ගෙන් පැමිණ ඇති බව මේ දක්වා කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මේ අතර ගල්කිස්ස ප‍්‍රදේශය බාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී පසුගිය පෙබරවාරි 21 ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප‍්‍රකාශයක් කරන අතර එයින්ද මේ තත්ත්වයන් තහවුරු වී ඇති බව දැනගන්නට ඇත. මෙම තත්ත්වය මත පසුගිය දා එවකදී කොළඹ දකුණු දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන ප‍්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට පත්වන අතර එහිදී එන තොරතුරු කීවේ ඊළඟට හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මෙම චෝදනාවලටම අත්අඩංගුවට පත්වන්නට නියමිත බවය. මෙම තත්ත්වය යටතේ විදේශ ගමන් තහනමකටද යටත්වී සිටින හිටපු පොලිස්පතිවරයා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද තමන් එයින් මුදවන්න යැයිද ඉල්ලා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන අතර එහිදී එම මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය 28 වැනි දින සලකා බැලූණේ ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල හමුවේය. එහිදී ඔවුන් මෙම පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙන තුරු හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. දැන් මෙය විලාසිතාවක් බවට පත්වී ඇති බව පෙනේ. අවසානයේ මෙම නඩු දින මාස ගණනින් ඉදිරියට ඇදී යන ස්වභාවයක්ද ඒ අනුව මෙවැනි චූදිතයින් නීතියේ සිදුරු මතින් කරණම් ගසමින් සිටින බවද නිරීක්ෂණය කළ හැකිය. දැන් සොයා බැලිය යුත්තේ පොලිසියේ ඉහළ නිලධාරීන්ට මෙම පරීක්ෂණ යටගහන්න සහ සාක්ෂි විනාශ කරන්නට නියෝග ලැබුණේ කාගෙන්ද යන්නයි. පොලිසියේ මේ තත්ත්වය ගැන කල්පනා කරනවිට නියෝග නිකුත් කිරීමේ බල ධූරාවලිය ගැන සිතනවිට පෙනෙන්නේ මේ නියෝග එවක ආරක්ෂක අමාත්‍යංශය භාරව කටයුතු කළ ලේකම්වරයාගෙන් හෝ අදාළ අමාත්‍යවරයාගෙන් ලැබෙන්නට ඇති බවය. එවක හමුදාපතිවරයා මේ ඝාතන වසන් කිරීමට එවක පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේයැයි මේ තත්ත්වය මත තාර්කිකව සිතිය නොහැකිය.

 

සරත් කරළියට

මෙම පරීක්ෂණ සක‍්‍රීය වීම ආණ්ඩුව අස්ථාවරවීම ආදී සිදුවීම් සිදුවන්නේ සමාන්තර කාල අවකාශයකදීය. මෙම තත්ත්වය තුළ ආණ්ඩුව ස්ථාවර කරගැනීම සඳහා කැබිනට් සංශෝධනයක් පිළිබඳව සාකච්ඡාවක් කරළියට පැමිණි අතර එහිදී බොහෝ දෙනෙකුගේ අදහස වුණේ මේ ආණ්ඩුව අස්ථාවර වීම සඳහා සහ ජනතා අප‍්‍රසාදයට ලක්වීම සඳහා සාගල රත්නායක දැරූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප‍්‍රබල හේතුවක් වූ බවය. එයිනුත් නොනැවතී බොහෝ දෙනෙකු කීවේ අලූත් සංශෝධනයේදී මෙම අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට ලබාදිය යුතු බවය. මේ පිළිබඳව බොහෝ සාකච්ඡා ඇතිවූ අතර ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කළේ මේ අමාත්‍යාංශය කෙසේවත් සරත් ෆොන්සේකාට ලබා නොදිය යුතු බවය. මෙම තත්ත්වය තුළ පසුගියදා අදාළ කැබිනට් සංශෝධනය සිදුවූ අතර එහිදී අගමැතිවරයාම මෙම අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා බව ප‍්‍රකාශ වුණි. එහෙත් දැන් ලැබෙන තොරතුරු කියන්නේ ඉදිරි සතිය තුළදී මෙම අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට ලබාදෙන බවය. දැන් නැවත ඝෝෂාව ඇරඹී ඇත. බොහෝ දෙනෙකු පොළොවේ හැපෙන බව පෙනෙයි.

ගෝඨා කරළියට

මෙම තත්ත්වය තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන්ට හිතවත් මාධ්‍ය මගින් නිවේදනය කරන්නේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය පිළිබඳ සිද්ධිය උපයෝගී කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමට සහ ජනතාව ඉදිරියේ තමන්ව අපකීර්තියට පත්කිරීමට මේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බවය. එහිදී ඔහු නොකියා කියන්නේ මේ ඝාතනයට එවකදී හමුදාවේ උසස්ම නිලය දැරූ සරත් ෆොන්සේකා වගකිව යුතු බවය. එහිදී ඔහු මෙම ඝාතනය සිදුවූ අවධියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයක්ද සිහිපත් කරමින් කියන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ එම සැකය ඔස්සේ පරීක්ෂණ සිදුනොවී තමන් ඉලක්ක කර අදාළ පරීක්ෂණ සිදුවෙමින් ඇති බවය. හිටපු බුද්ධි ප‍්‍රධානියෙකු වන කපිල හෙන්දවිතාරණගේ එවක හැසිරීම සහ ඔහු දැරූ තනතුරු සහ වගකීම් ගැන නන්දොඩවන ඔහු කියන්නේ හෙන්දවිතාරණ දැරුවේ නාමික තනතුරක් බවය. මෙහිදී ඝාතනය කරනු ලැබූ ලසන්ත සහ තමන් අතර තිබුණේ යැයි කියන ආරවුල ගැනද කතා කියන්නේය. මිග් ගනුදෙනුව පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කිරීම පිළිබඳ එම ආරවුල තමන් අධිකරණයේ පිහිටෙන් විසඳාගත් බවද කියන්නේය. කෙසේ හෝ මේ මාධ්‍ය නාටකය තුළින් දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇති බව කිවයුතුය.

ලසන්ත ඝාතනය කළේ ඇයි?

ඇත්තටම මේ පුවත්පත් කතුවරයා ඝාතනය කළේ ඇයි යන ප‍්‍රශ්නය අප අපගෙන්ම නැගුවා යැයි සිතමු. එවිට මෙවැනි දේවල් මේ ඝාතනයට මග පෙන්නූ බවට සැක නැත. (”බයවෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.” – ලසන්ත වික‍්‍රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ.) මේ මෙම තොරතුර 2007.11.25 වැනිදා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත වාර්තා කළ අයුරු ය. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක්වන්නේ 2009 ජනවාරි 8 වැනිදා ය. මේ අතරතුර කාලයේ ලසන්ත වික‍්‍රමතුංග රාජපක්ෂ පවුලට හිසරදයක් වී තිබෙන්නට ඇත. ඒ ජනාධිපති රාජපක්ෂ සඳහා රුපියල් මිලියන 400ක වියදමකින් සුඛෝපභෝගී බංකරයක් තැනීමට ගත් තැත, අනාවරණය කරනු ලැබීම. මේ අනාවරණයෙන් අනතුරුව මේ බංකරය තැනීම අතහැර දමන ලදි. එවකදී එම හෙළිදරව්ව තුළින් වක‍්‍රාකාරව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට උල්පන්දම් දුන්නේයැයි ලසන්ත වික‍්‍රමතුංග අත්අඩංගුවට ගැනීමටද සැලසුම් සකස් කර තිබී ඇතැයි කියයි. ඉන්පසුව ලසන්ත වික‍්‍රමතුංග චමල් රාජපක්ෂගේ වරාය අධිකාරිය සඳහා කාමර 250කින් යුත් ‘කොන්ටිනෙන්ටල් හෝටලය’ කැබිනට් අනුමැතියක් ද අටවාගෙන මිලදී ගැනීමට උත්සාහ ගන්නේයැයි, ‘සන්ඬේලීඩර්’ පුවත්පත තුළින් හෙළිකරන්නේය. මේ හෙළිදරව්ව නිසාද රාජපක්ෂවරුන්ට නැවත අඩිය පස්සට ගන්නට විය. මේ සියලූ හෙළිදරව් කිරීම් සමග මේ ඝාතනයට වගකියූ හෙළිදරව්ව මිග් යානා ගනුදෙනුව බව කිව හැකිය. ‘‘ ඔබට ඇමති මණ්ඩලය, ආණ්ඩුව, රජයේ ඉහළ නිලධාරීන් ඕනෑම කෙනෙකු නිර්දය විවේචනයට ලක්කළ හැකිය. එහෙත් ඔබට රාජපක්ෂවරුන් විවේචනය කරන්නට බැරිය.” මේ රාජපක්ෂ රෙජීමය රජ කළ, ලසන්ත වැනි මිනිසුන් ඝාතනය වූ අවධියේ අපට නිරන්තරව ඇසුණු අප බියට පත් කළ කතාවක්ය. ඉතිං ලසන්ත ඝාතනය කළේ ඇයි යන ප‍්‍රශ්නයට පිළිතුරු සොයාගැනීම අමාරු නැත.