වඳින්න එපා මංගල කරුණක්

දේශපාලනඥයන්ට පාසල් ළමුන් වැඳ නමස්කාර කළ යුතු නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය සහ සිව්මහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කරමිනි.
එදින ආරාධිතයා වූ අමාත්‍යවරයාට සිසුවියක් වැඳ පිළිගැනීම මෙම ප‍්‍රකාශය කිරීමට හේතුව වී ඇත. ඇමතිවරයා එහිදී දේශපාලකයන්ට වැඳීම ප‍්‍රතික්ෂේප කරන අතර වැඳිය යුතු අයද හඳුන්වා දී ඇත. ඒ ආගමික ශාස්තෘවරුන්, පූජ්‍ය පක්ෂය, ගුරුවරුන් හා මව්පියන්ය.

මංගල අමාත්‍යවරයා මීට පෙර රටේ කතාබහට ලක්වූයේ බාර් අරින වහන වේලාව වෙනස් කිරීම හා බාර්වල කාන්තාවන්ට රැුකියාව ලබාදීම සහ කාන්තාවන්ට මත්පැන් ලබාගැනීමට ඉඩ සැලසීම නිසාය. මෙය බොහෝ අයගේ විරෝධයට හේතුවිය. එයද බුද්ධිමත්ව බලන කල අමාත්‍යවරයා ගත් හොඳ තීන්දුවක් බව පැහැදිලිය. ඒ ගැන නොව කතා කළ යුත්තේ මේ ගැනය.

සැබැවින්ම දේශපාලකයන් ළඟ වැඳ වැටෙනුයේ ඇයි? කුඩා කලම පොඩි එවුන් ලවා වන්දවා ගැනීමේ රෝගය වැඩිහිටියන්ට ඇතිවූයේ ඇයි? පොඩි එකාගේ සිට මහ එකා දක්වා මේ වැඳ වැටෙන ක‍්‍රමය කුමක්ද? එයින් සැබැවින්ම අවංක ගරුත්වයක් සිදුවේද? එදා මංගල සමරවීර ඇමතිවරයාට වඳින ළමයා වඳිනුයේ අවංකවමද? විදුහල්පතිගේ උවමනාවටද? එවන් දෙයක් අටපාස් දේශපාලකයන් බලාපොරොත්තු වනම දෙයකි. අප රටේ බොහෝ දේශපාලකයන් මෙයට කැමතිය. දේශපාලකයන් ළඟ ළමුන් වැඳ වැටෙන විට දේශපාලකයන්ද දේශපාලන නායකයන් ළඟ වැඳ වැටේ. මේ ක‍්‍රම වෙනස් විය යුතු නැත්ද?

ඇමතිවරයා තමන්ට වඳින්න එපා කියන ගමන් වැඳිය යුතු අය නම් කර තිබුණි. එහෙත් භික්ෂූන්ට හෝ ආගමික ශාස්තෘවරුන්ට වුව වඳිනුයේ ඇයි? එයද අද බරපතළව සිතිය යුත්තකි. භික්ෂූන්ට වැඳිය යුත්තේ ඇයි? ඔවුහු කුමක් කරන නිසාද?

සැබැවින්ම මේ වැඳීම නවතාම දැමිය යුතුය. ගුරුවරුන්ට නොව මව්පියන්ට වුව වැඳීම නොකළ යුතුමය. ගරු කිරීම යනු වැඳ වැටීම ලෙස අරුත් ගැන්වීම නවතා දැමිය යුතුය. අද පෞද්ගලික ටියුෂන් ක්ලාස්වල පවා ගුරුවරයාට වඳින තැනට ළමුන් පුරුදු වී ඇත. මේ වැඳ වැටීම ඇයි?

මහින්ද රාජපක්ෂ යුගය වැඳීමේ කප් ගැසූ යුගයය. රාජපක්ෂලා එයට බෙහෙවින් ආශා කළෝය. අදද ඔවුන් දුටු කල වැඩිහිටියෝ වැඳ වැටෙති. කලාකරුවෝ වැඳ වැටෙති. මේ දීනකම කුමක්ද? මහින්ද රාජපක්ෂට වැන්ද අය පසුව නාමල් රාජපක්ෂටද වැන්දේය. බැසිල්ට, ගෝඨාටද වැන්දේය. ඔවුහු සැම එය බලාපොරොත්තු වූවෝය. මර්වින් සිල්වා රාජපක්ෂලා ළඟ වැඳ වැටුණේය. අදද රාජපක්ෂ මහතා ආධ්‍යාත්මික නායකයෙක් කියන සැවෝම ඔහුට වඳින්නට බලාගෙන සිටින අයය.

ඒ අතින් මංගල ඇමති නූතන මිනිසෙකි. ඔහුගේ එම කතාව පිළිගන්නට වැඳ වැටෙන අය මැලිවෙති. අද මේ ළමුන් දේශපාලකයන් ඉදිරිපිට වැඳ වැටෙන ලෙසටම ඒ අයගේ මව්පියෝද ඉහළ තනතුරු ළඟ වැඳ වැටෙති. උපාධිධාරීන් රැුකියාවට බඳවා ගැනීමේ ලිපිය ජනපති හෝ අගමැති දෙන විට එය ලබාගන්නේ වැඳ වැටීය. මේ දීනකම කුමක්ද?

ජනතා ඡුන්දයෙන් ජනතාව ළඟ වැඳ වැටී ඡන්දය ඉල්ලා එන මේ දේශපාලකයන් මැති ඇමතිවරු වූ පසු ජනතාව ලවා වන්දවා ගන්නේ ඇයි? ජනපතිවරයා සීනි ඇතැයි මයිලෝ පෙන්න පෙන්නා කෑගැසූ මුත් වන්දවා ගැනීමට රුසියෙකි.

මංගල ඇමතිවරයාගේ කතාව සෙසු දේශපාලකයෝද අනුගමනය කළා නොකළා වුවද විදුහල්පතිවරු ළමුන් වැන්දවීම නතර කළ යුතුය. ළමුන් වුව දේශපාලකයන්ට නොව කාට වුව නොවැඳිය යුතුය යන්න අපගේ හැඟීමය. මගේ දරුවා මට නොවැන්දයි, ආදරයේ අඩුවෙක් වේද? මගේ මවට හෝ පියාට නොවැන්දා කියා ආදරය, සෙනෙහස අඩුවීද? මේ වැඳ වැටීම් වෙනුවට ඉගැන්වියයුත්තේ ගරු කිරීම්ය. දේශපාලකයා ඉන් කුමක් අපට උගන්වයිද? කතා කිරීමේ වැදගත්කම ක‍්‍රියාකිරීමේ වැදගත්කම ඔවුන් උගන්වයිද? වැඳීම කෙසේ වෙතත් මෙරට දේශපාලකයන් ඉදිරියේ හිටගැනීමත් ජුගුප්සාජනකය.
වැඳීම අනවශ්‍යය. එය රටින්ම තුරන් කළ යුතු වසංගතයකි. ඇමතිවරයකු ලෙස ඒ කතාව මංගල කීවට හෙට ඒ කතාව කීදෙනෙක් ක‍්‍රියාවට නගතැයි ප‍්‍රශ්නය ඉතිරිය. මේ වැඳීමට සැවොම කැමතිය. වඳින තාක් ඒ අයට ගරු කරන වැඳ වැටෙන අය ඇතැයි මිනිසුන් සිතති. ගුරුවරු, මව්පියෝ, ආගමික නායකයන් යන සියල්ලට වැඳීම නැවතීම අගනාය. එක් අතකින් අද වැඳීමට කියා අය සිටිත්ද? පිදිය යුත්තෝ පිදිය යුතුය. ඒ වැඳ වැටී වැඳීමෙන් නම් නොවේය. ඒ අතින් මංගල සමරවීර දවසකට හරි මිනිහාය. මංගලගේ මංගල කරුණු බොහෝය. එහෙත් වැඳ වැටෙන දීන එවුන් බහුල රටක ඒවා නොවැටහීම ගැන කම්පාවනු හැර කුමක් කරමුද?