රාවය

ඉතාලි යෑමට පෙර ලංකාවේ අතරමංවීම

ඉතාලි යෑමට පෙර ලංකාවේ අතරමංවීම

රසික ගුණවර්ධන

ඒ රාත‍්‍රී ගෙවීයමින් උදෑසන එළඹෙන හෝරාවයි. ඇවිදින පිරිමින්ගෙන්ද දුවන ගැහැනුන්ගෙන් ද පිටකොටුව කාර්යබහුල වීමට තව හෝරා කිහිපයක් ගෙවී යා යුතුය. හිල්ටන් හෝටලය නානාවිධ විදුලි බුබුලූ දල්වමින්ද, නිවමින්ද සිය තේජස සුන්දරත්වය සමග මුසුකරවයි. ගාලූ මුවදොර දෙසින් හමනා සුළඟ කෙදිරිල්ලකට හුරුය. අප ඒ හිමිදිරියේ ගාලූමුවදොර දෙසට පිය නැගුවේ ‘වී.එෆ්.එස් ග්ලෝබල්’ ආයතනයේ එළිපත්තේ නිදන ඉතාලි පුරවැසියන් සොයාය.

පාරේ රැය
ජනාධිපති කාර්යාලය අසල කොටුව පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති විශාල ගොඩනැගිල්ල පාමුල රැුය පහන් කරන මිනිසුන් ද ගැහැණුන්ද පිරිසකි. ගණනින් සියයකට එකසිය පනහකට එහාය. මොවුන් අනාථවූවන් හෝ යන එන මං නැතිවූවන් නොවේ. මේ පිරිසෙන් ඇතැමුන් ඉතාලියේ පුරවැසිබව ලැබූවන්ය. ඇතැමුන් පවුල් පිටින් ඉතාලියේ පදිංචිවූවන්ය. ඇතැමුන් ඉතාලි යෑමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ය.
මොවුන් මෙසේ වී.එෆ්.එස්. ග්ලෝබල් ආයතනයේ ඉදිරිපිට රැුය පහන් කරන්නේ ලංකාවේ සේවාවන්හි පවතින කාර්යක්ෂම බවේ සුගතිය නිසාවෙනි. මොවුන්ගේ කතාව කෙටියෙන් මෙසේය.

මොවුන් මෙතැනට පැමිණෙන්නේ තමන්ගේ විදේශ කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි පිළිබඳව කටයුතු සඳහාය. එහෙත් පැමිණෙන පිරිසට ගැළපෙන ලෙස සේවාවන් නොලැබීම නිසාවෙන් දින ගණනක් දිවා ? මෙහි ගත කිරීමට මොවුන්ට සිදුවී ඇත. අදාළ ආයතනය දිනකට සේවාවන් සපයනු ලබන්නේ (ඉතාලි) දහදෙනෙකුට හෝ දොළොස් දෙනෙකුටය. ඒ අනුව මුලින්ම සිටින පිරිසට අදාළ සේවාවන් ලබාගත හැකිය. දිනකට සේවා සපයන ප‍්‍රමාණය සීමිත නිසාද, සේවා ලබාගැනීමට පැමිණෙන පිරිස අතිවිශාල නිසාද, පැමිණෙන පිරිස නිසි මෙහෙයවීමක් නොකරන නිසාද සේවාවන් ලබා ගැනීමට මෙසේ දින ගණනාවක් මොවුන්ට පෝලිම්වල සිටීමට සිදුවී ඇත.

”මෙතන ඉන්නව දවස් තුනේ හතරෙ ඉඳලා, දැන් මේගොල්ලෝ මෙතන හිටියට වැඬේ කෙරෙන්නෙ නෑ. දවසට දහයයි ගන්නේ.” ප‍්‍රථමයෙන්ම හඬ අවදි කළේ පේ‍්‍රමරත්න මහතාය. ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ සිය දියණියගේ විවාහ උත්සවය වෙනුවෙනි. මොහුගේ බිරිඳ එරට පුරවැසියෙක් වන අතර මොහුටද එරට පුරවැසි බව ලබා ගැනීම සඳහා මොවුන්ගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. මොහු ඒ සඳහා මසකට ආසන්න කාලයක් මෙතැනට පැමිණ ඇති අතර තවමත් ඔහුගේ කාර්ය ඉටුකර දීමට මෙම ආයතනය සමත්ව නැත. ඔහු සිය ගුවන් ටිකට් පතද වැඩි මුදලක් ගෙවා දීර්ඝ කරගෙන ඇති අතර විශාල මුදලක්ද ඒ සඳහා ඔහුට වියදම් කිරීමට සිදුව ඇත. දිගින් දිගටම ප‍්‍රමාදවීම හේතුවෙන් ඔහු ස්වකීය කාර්යය අතහැර දමා නැවත ඉතාලිය බලා යෑමට සූදානම් වෙයි.

”අපි මෙතන නයිට් දෙකක්. පෝලිමේ දවස් තුනක් ආවා. ඒත් හැමදාම පෝලිමේ තමයි.” පේ‍්‍රමසිරිගේ කතාවෙන් උද්දීපනය ලැබූවෙකු තවත් තොරතුරු පවසා සිටී. ඉන්පසු තව දෙනා සිය දුක්ගැනවිල්ල පැවසීමට එකතු වෙයි. ඒවා හතර වටින්ම ඇසේ. කවුරුන්ගේ මුවෙන් පිටවේදැයි නිශ්චිත නැත. හැම දෙනාම එකසේ මුව විවර කරන්නේ සාධාරණයක් ලබා ගැනීම උදෙසාය.

‘‘ අපිට මෙහෙන් කියනවා එම්බසියට කතා කරලා බනින්ඩ කියලා. එම්බසියට බැනලා වැඩක් තියේ ද? මෙහෙන්නෙ ෆයිල් ටික බාර ගන්නේ.” ඔය ඇසුණු තවත් කතාවකි.

‘‘ වී.එෆ්.එස්. ග්ලෝබල්” ආයතනයට ගොඩවන පඩිපෙළේ වාඩිවී ඉතා අපහසුවෙන් සිටින කාන්තාවක් අපේ නෙත ගැටුණි. ඈ පසකින් සිය අත්වාරුව පඩියකට ම හේත්තු කරගෙනය. අඳුර පලවා හැරීමට තරම් නොවුණද වටින් පිටින් වැටෙන එළියෙන් ඇගේ මුහුණ පෙනේ. ඒ මුහුණ වේදනාබරිතය. අප ඈ වෙතට ළඟාවූයේ ඇගේ කතාව ඇසීමටය. ඈ නමින් ඩයනි වර්ණකුලයි. ඇයට ඉතාලි පුරවැසි බව හිමිය. මේ ඇය කියන කතාවයි,
”මම ඉතාලියේ අවුරුදු විසිනවයක්, මම ඉතාලි පුරවැසියෙක්. මම අවුරුදු එකහමාරක් තිස්සේ ඇවිදින්නේ අත්වාරුවලින්. මට ඩොක්ටර් කියල තියනවා දණිස්වල ඔපරේෂන් එකක් කරන්ඩ කියලා. අපේ‍්‍රල් 13 ඔපරේෂන් එක කියලා ඩොක්ටර් ලියුමකුත් දීල තියනවා. මම දැන් හයපාරක් මෙතනට ආවා. ලියුම පෙන්නුවා. මෙතන සිකියුරිටි මට ඇතුළට යන්ඩ දෙන්නේ නෑ. මෙහෙ විතරයි මෙහෙම. ඉතාලියේ ආබාධිත අයට වෙනම පිළිගැනීමක් තියනවා. මම මේ වගේ දෙයක් කොහෙදිවත් දැකල නෑ. මම නංගිව ගන්ඩ ලංකාවට ආවේ. මෙතන මාස එකහමාරක්. තවම වැඬේ කරගන්ඩ බැරි වුණා.”
අපේ රටේ පොදු ප‍්‍රවාහන සේවයේ පවා නමට හෝ ආබාධිත පුද්ගලයන්ට අසුනක් වෙන්ව පවතිනුයේ ඔවුනට ප‍්‍රමුඛතාව ලැබිය යුතු නිසාය. එහෙත් මෙම ආයතනයේ එසේ ප‍්‍රමුඛතාවක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.

වී.එෆ්.එස්. ග්ලෝබල්

වී.එෆ්.එස්. ග්ලෝබල් ආයතනය යනු ඉතාලි තානාපති කාර්යාලය හා සම්බන්ධිත එහෙත් පෞද්ගලික ආයතනයකි. ශ‍්‍රී ලංකාවේ සිට ඉතාලියට යන අයෙකු මෙම ආයතනයට පැමිණ අදාළ ලියකියවිලි කටයුතු සිදුකරගත යුතුය. එසේම ඉතාලියේ දැනට පදිංචි ශ‍්‍රී ලාංකික පුරවැසියන්ද සිය රාජකාරී කටයුතු සඳහා ඉතාලි තානාපති කාර්යාලය යොමු කරන්නේ මෙම වී.එෆ්.එස්. ග්ලෝබල් නම් පෞද්ගලික ආයතනය වෙතටයි. ඒ අනුව මෙම ආයතනයට ඉතාලි තානාපති කාර්යාලය සමඟ ඍජු සබඳතාවක් ඇත. නොඑසේ නම් මොවුන් එම කාර්යාලයේ නියෝජිත ආයතනයක ස්වරූපය ගනී. එසේම මෙම ආයතනය අනෙකුත් තානාපති කාර්යාලවල ලිපිගොනු ආශි‍්‍රත කටයුතුවලද නිරත වනු ලබයි. ඒ අනුව තානාපති කාර්යාලවලට අදාළ ලිපිගොනු සහතික කරගැනීමේ කටයුතු සඳහා මෙම ආයතනයට පැමිණීමට එම රට වලට යන සියලූ මහජනයාට සිදුවේ.

අප එහිදී නිරීක්ෂණයට ලක් කළ කාරණා අනුව පැහැදිලිවම දැකගත හැකිවූ කාරණාව නම් වී.එෆ්.එස්. ග්ලෝබල් ආයතනය ස්වකීය පාරිභෝගිකයන් පිළිබඳව කිසිදු සුහදතාවක් නොදක්වන බවයි. එහි කාර්යයේ නිරත ආරක්ෂක නිලධාරීන් මාධ්‍යවේදීන් ලෙස අපට යම් සුහදතාවක් දැක්වූවද මහජනයාට සැලකුවේ ඔවුන් බලෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණි පිරිසක් ලෙසටය. ඒ බවට එක් උදාහරණයක් මෙහිලා අපි සටහන් කරමු.

පෙර දින රාත‍්‍රියේ සිට අදාළ ස්ථානයේ රැුඳී සිටි මා මුලින් සඳහන් කළ ආබාධිත ඩයනි වර්ණකුල මහත්මියට, යම් ප‍්‍රමුඛතාවක් හෝ පහසුකමක් ලබාදිය හැකිදැයි අප ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් ඇයට පැවසුවේ ආයතනය ඇතුළට ගොස් අසුන් ගන්නා ලෙසයි. ඉන්පසු ඇය ඉතාම අපහසුවෙන් පඩිපෙළ නැග (එහි ආබාධිතයන්ට ඇතුළුවීමට පහසුකම් සලසා තිබුණේ නැත.) ආයතනයට ඇතුළු වූ අතර ඇය අසුන් ගැනීමට යන විට අදාළ ආරක්ෂක නිලධාරීන්ගේ ප‍්‍රධානියා ඇයට නැවත හැරී යන ලෙසට පවසනු අප නිරීක්ෂණය කළේය. ඉන්පසු ඇය නැවත පඩිපෙළ බැස පිටතට පැමිණියාය. මෙය පිටත සිටි ආරක්ෂක නිලධාරියාට දැනුම් දුන් විට ඔහු නැවත ඇයට ආයතනය තුළට යන ලෙසට දැනුම් දෙනු ලැබීය. ඇය නැවත නැවත පඩිපෙළ දිගේ ගමන් කරවීම පිළිබඳව ඔවුන්ට කිසිදු හැඟීමක් නැත. ඇයට නැවත එහි නැගීමට අපහසු නිසා ඇය පඩියකම අසුන් ගත්තේ අසුන් ගැනීමට ආසනයක් හෝ ලබාදීමට ඔවුන් කාරුණික නොවූ නිසාය. ආරක්ෂක අංශයේ මේ හැසිරීම අතිශයින්ම නින්දිතය, පිළිකුල්සහගතය.
‘‘ ආබාධිත අයට සලකන්නේ මෙහෙම නම් අපි ගැන මොන කතාද?” ඔය අතර රැුඳී සිටි පිරිස අතුරින් අයෙකු අපට එසේ පැවසීය.

‘‘ ඔයාල ඉන්න හින්දා මේගොල්ලෝ මෙහෙම ඉන්නේ. වෙන දවස්වලට අපට සත්තුන්ට වගේ කතා කරන්නේ. පෝලිමේ ඉන්ඩ දෙන්නෑ. යන්ඩ කියනව, එළවනවා.” ඒ තවත් කථාවක්ය. මෙහි පැමිණ සිටිනා පිරිසෙන් බොහෝ දෙනෙකු සිය නම්, ඡායාරූප ප‍්‍රසිද්ධ කරනවාට වැඩි කැමැත්තක් නැත. ඒ හරහා ආයතනයේ පළිගැනීම්වලට ලක්වී සිය කාර්යයන් කරගැනීමට නොහැකි වේ යැයි ඔවුන් තුළ පවතින බිය හේතුවෙනි.

”මෙතන ටොයිලට් එකක් නෑ, වතුර ටැප් එකක් නෑ. දවස් ගණන් මිනිස්සු මෙතනට වෙලා හිටියට කිසි පහසුකමක් නෑ. පිරිමින්ට නම් පඳුරකට හරි මුත‍්‍රා කරන්ඩ පුළුවන්. ඒත් ගෑනු අය වතුර ටිකක් බොන්නේ නෑ, ඒ අයට යන්ඩ ටොයිලට් එකක් නැති හින්දා. මිනිස්සු මෙතන ඉන්නේ එච්චර අපහසුතාවෙන්. ආයතන ඒ ගැන කිසි සැලකිල්ලක් නෑ, ඒවා එයාලට අදාළ දේවල් නෙවෙයිලූ.” මේ පිරිසෙන් ඇසුණු තවත් කතාවකි.

යාන්ත‍්‍රණය

මෙහි පැමිණෙන පිරිස මෙහෙයවීමේ හෝ හැසිරවීමේ නිසි යාන්ත‍්‍රණයක් දැකගත නොහැකිය. ඒ හරහා පැමිණෙන සියලූදෙනාම පාහේ අසාධාරණයටද අපහසුතාවටද පත්වේ. මේ පෞද්ගලික බව ප‍්‍රසිද්ධ නොකිරීමේ පොරොන්දුව මත තවත් අයෙකු අප වෙත පැවසූ තවත් කතාවකි.

‘‘ මම දැන් දවස් තුනකට හතරකට කලින් ආවා. ඇවිල්ලා දොළහ කිට්ටු වෙනකොට වගේ ඇතුළට ගියා. යනකොට මට කීවා ෆොටෝ කොපියක් ගහගෙන එන්ඩ කියලා. මම ෆොටෝ කොපියක් ගහගෙන එන ටිකට තව කවුද කෙනෙක් ඇතුළට දාල මාව කපලා. මම කීවා හෙන ගහන අපරාධ මේවා, මම ඇවිල්ලා මෙතන නොහිටිය නෙවෙයිනේ. ඒ නිසා මේව බාරගන්ඩ කීවා. අද බැරිනම් හෙට ගන්ඩ කීවා. බාරගත්තේ නෑ. අද මම මේ පස්වැනි දවසට. මම ඊයෙ ? කෙනෙක් පෝලිමේ තියලා ගියේ. මේක විසඳලා දෙන්ඩ. එක්කෝ නම්බර දීලා ඇතුළට ගන්ඩ ඕනේ. එහෙම නැත්තන් අපේ ඩොකියුමන්ට්ස් අරගෙන ඊළඟ දවසේ යවන්ඩ ඕනේ. අද මගෙ පේපස් ගත්තේ නැත්තන් මට ඊළඟ දවසෙත් එන්ඩ වෙනවා. මම අවුරුදු තිහක් ඉතාලියේ හිටපු කෙනෙක්. මම කොච්චර විදේශ විනිමයක් මෙහාට එවල ඇද්ද? මේ පේපස් ටික අත්සන් කරලා සීල් එක ගහගන්ඩ සුමාන දෙකක් තිස්සෙ දඟලනවා. එම්බසියට යනවා, එම්බසියෙන් කියනව මෙහෙන් කරගන්ඩ කියලා, මෙහෙන් කියනවා පුළුවන්නම් මෙහෙන් කරගන්ඩ කියලා. මම කීවා ඔළුවෙන් හිටගන්නව කියල එම්බසිය ළඟ, වෙන කරන්ඩ දෙයක් නෑනේ. අවුරුදු තිහක් මම දුක්විඳලා ආවේ.” මෙසේ රස්තියාදු කරවන ඔහු වයස අවුරුදු 73ක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. රටවිරුවෝ ලෙස රජය මහත් ඉහළින් විදේශ ශ‍්‍රමය අගයන බව පැවසුවද මෙහිදී ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය.

එහි නිවැරදි මෙහෙයවීමේ යාන්ත‍්‍රණයක් පැවතියේ නම් ඉහත කතාව පැවසූ පුද්ගලයාට එසේ අපහසුතාවට පත්වන්නට සිදුවන්නේ නැත. ඒ නිසා නිවැරදි මෙහෙයවීමේ යාන්ත‍්‍රණයක් වැදගත්ය. දිනකට ලබා ගන්නා දහයක හෝ දොළහක පිරිස වේවා, පැමිණෙන සියගණන් පිරිසට නොම්මර දීමේ ක‍්‍රියාවලියක් තුළින්, ඔවුන්ට දිනයක් හා වේලාවක් ලබාදීම හරහා මේ සියලූ අපහසුතාවන් මගහැර ගැනීමේ හැකියාවක් ඇත. එය එසේ නොවීම නිසා වයෝවෘද්ධයෝද, ගැබිණි කාන්තාවෝද, ආබාධිතයෝද දිගින් දිගටම අපහසුතාවට පත්වේ.

මෙසේ දිනකට ඉතා සුළු පිරිසකට සේවාවන් සැපයීම ගැටලූසහගතය. තාක්ෂණය මෙතරම් දියුණු සමයක මෙතරම් සුළු පිරිසකගේ පමණක් තොරතුරු ගොනු පිරික්සීම යහපත් ප‍්‍රවණතාවක් ලෙස සඳහන් කළ නොහේ. මේ වනවිට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීම සඳහා ඉතාම කාර්යක්ෂම හා නිවැරදි ලෙස පරිගණක ආශ‍්‍රයෙන් සිදු කළ හැකිය. බාගවිට මෙම ආයතනය සතුව පරිගණක සාක්ෂරතාව පවතින පරිගණක ක‍්‍රියාකරුවන් හෝ නිලධාරීන් නොසිටිනවා විය හැකිය. එය එසේ නම්, කවුරුන් හෝ මොවුන්ට අනුකම්පා කොට ආයතනයට පරිගණක සාක්ෂරතාව ලබාදීමට කටයුතු කිරීම වටිනා කර්යයකි.

මෙහි ඇති රස්තියාදුකරවීමේ ක‍්‍රියාවලිය විවිධ ස්වරූප ගනී. එනම් ඇතැමුන්ට ලිපිගොනු සම්බන්ධ වැරදි විටින් විට පෙන්වමින් මහජනයා නැවත නැවත ගෙන්වීමට ආයතනය කටයුතු කරමින් සිටී. මේ ඒ පිළිබඳව මෙහි සිටි තවත් අයෙකු සිදු කළ ප‍්‍රකාශයක්ය.

‘‘ පටන් ගන්න තැනින් ඩොකියුමන්ට්ස් චෙක් කරලා වෙන් කරලා ඇතුළට අරිනවා. ඇතුළට ඇරියට පස්සේ කියනවා මේක අඩුයි මෙහෙමයි කියල ආපහු හරවල එවනව හදාගෙන එන්ඩ කියලා. මේ මම හත්වෙනි දවසට එන්නේ. එකපාර චෙක් කරලා මේක අඩුයි කීවනන් රස්තියාදුවක් නෑනේ. එහෙම නැත්තන් මෙතන බෝඞ් එකක් ගහන්ඩ ඕනේ. මේවා ගේන්ඩ, මේව ගේන්ඩ කියලා.”

ඔන් ලයින්

‘‘ වී.එෆ්.එස්. ග්ලෝබල්” ආයතනයට නිළ වෙබ් අඩවියක් පවතින අතර ඒ හරහා ලියාපදිංචි වී වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාව ඇතැයි ආයතනය පවසයි. එහෙත් පවතින ගැටලූව නම් අදාළ වෙබ් අඩවියේ ලියාපදිංචිවීම් සංචාරක අංශයට පමණක් සීමාවී තිබීමයි. (ලිපිය ලියන මොහොත වන විට) පරිශීලකයන් ප‍්‍රමාණය ඉහළ යාම නිසා මෙසේ අඩවිය අවහිරවීමට ඉඩ ඇති නමුදු, මෙවැනි විශේෂ සේවා සපයන ආයතනයක එසේ පරිශීලකයන් ඉහළ යෑම නිසා අඩවිය අවහිරවීම කෙතරම් සුදුසු වන්නක් දැයි ඔබටම කල්පනා කර බැලිය හැකිය.

‘‘ දැන් දවස් පහ හයකට කලින් ඔන්ලයින් ගත්ත අය බ්ලොක්, ඔන්ලයින් නන් ඔන් ලයින්. පෝලින් නන් පෝලින්. හරි විදිහක් තියෙන්ඩ එපෑනෙ. ටුවරිස්ට් ඇපොයිමන්ට් විතරයි ඔන්ලයින් තියෙන්නේ. සිටිසන් ඒවට සීල් ගහගන්න ඒවට ඇපොයිමන්ට් දෙන්නෑ. එතකොට අපේ වැඩ කරගන්ඩ විදිහක් නෑ.” ඒ තවත් අයෙකුගේ හඬකි.

අත යටින්

මේ අකාර්යක්ෂම බව පිටුපස ඇත්තේ අල්ලස් ලබාගැනීමේ උවමනාව බව ඩයනි මහත්මිය පවසයි. ‘‘ මිනිස්සු බයයි මෙතන විස්තර කියන්ඩ, ඒ ගොල්ලන්ගේ වැඩ කරගන්ඩ බැරිවෙයි කියලා. මම ඉතාලියේ පුරවැසියෙක් හින්දා මේ ඔක්කොම වෙනුවෙන් කතා කරන්නේ. මෙතන කට්ටිය මේ ගොල්ලන්ගෙන් සල්ලි ඉල්ලනවලූ. මම හරියටම දන්නෑ ඒ කව්ද කියලා. මේ ගැන CID එකට කියපුවහම කියනවා ඒ කට්ටියට විස්තර දෙන්ඩ කියලා. ඒත් මෙතන මිනිස්සුන්ට තියන ප‍්‍රශ්නත් එක්ක මේගොල්ලෝ මේකට ඉදිරිපත් වෙන්නේ නෑ. මෙතන පුදුම සල්ලියක් ගන්නේ.”
ඇය ප‍්‍රකාශ කරන ආකාරයට මෙහි ආරක්ෂක නිලධාරීන් ඇතුළු සියලූම සේවකයන් මුදලට ගිජුකමින් මහජනයා පහසුතාවට පත්කිරීමට කටයුතු කරනු ලබයි.

‘‘ අපි දෙන ඩොකියුමන්ට් එකක් පාස් කරන්ඩ ලක්ෂ තුනක් ඉල්ලනවා. ලක්ෂ තුනක් දීලා, එහෙම ෆයිල් උඩට දාගෙන වැඬේ කරගත්ත කට්ටිය ඕනෙතරන් ඉන්නවා. සමහර වෙලාවට ඒ සබ්ලා වෙන්ඩ පුළුවන්, ඇතුළෙම අය වෙන්ඩ පුළුවන්. කිසිම බිල් එකක් දෙන්නෑ, මෙතන මොනව වෙනවද දන්නෑ. කෙළින්ම කියනවනේ ලක්ෂ තුනක් දුන්නොත් ෆයිල් එක උඩට දාල දෙනව කියලා.” ඒ සේවාව ලබා ගැනීමට පැමිණි තවත් අයෙකු පැවසූවක්ය.
ඒ අනුව පැහැදිලි වන කාරණාව නම්, අල්ලස් ලබාගැනීමේ අරමුණින් මහජනතාවගේ ලිපි ලේඛන ආයතයනය විසින් රඳවා තබා ගන්නා බවයි.
මේ ඒ පිළිබඳව පැවසූ නම ප‍්‍රකාශ කිරීමට අකමැති වූ තවත් අයෙකි. ‘‘ මම දවසක් ඔන් ලයින් දාල ඇවිල්ලා පෝලිමේ හිටියා. අපි පෝලිමේ ඉද්දි සිකියුරිටි ගෑනු කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙ හිටපු කෙනෙක්ගේ අතින් අල්ලගෙන ඉස්සරහට ගියා. අපි අහපුවහම කීවා, ඔන් ලයින් දාපු කෙනෙක් කියලා, එතකොට මමත් කීවා මාත් ඔන්ලයින් දැම්මේ කියලා, එතකොට හෙමීට ඒ කෙනාව ආයෙ පෝලිමට දැම්මා. අනිවාරෙන් එයාගෙන් කීයක් හරි ගන්ඩ ඇති.”

මේ මොවුන් පවසන කාරණා සුළුවෙන් තැකිය හැකි නොවේ. මේවා පිළිබඳව ගැඹුරු සොයා බැලීමක් සිදු කළ යුතුය. මෙය රටේ තානාපති සේවය පිළිබඳ ගැටලූවකි. මේ හරහා රටට ලැබෙන අපකීර්තිය සුළුපටු නෙවේ. මේ පිළිබඳව රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව මතුවන්නේ ඒ නිසාවෙනි.
‘‘ රෑට මිනිස්සු බුදියනවා, දවල්ට බල්ලො බුදියනවා.” පඩියක වාඩිවී සිටි කාන්තාවක් අවසානයේ එසේ පැවසුවාය.
අපට වගකීමක් නෑ – වී.එෆ්.එස්. ග්ලෝබල්

අපට එළියෙ ඉන්න අය ගැන වගකීමක් නෑ. අපි වැඩ කරන්නේ එම්බසිය කියන විදිහට. අපි එයාල කියන ගාණ ගන්නේ. අපි වගකියන්නේ ඇතුළට එන අයට විතරයි. කට්ටිය අපහසුතාවට පත්වෙන එක වළක්වන්ඩ තමයි අපි ඔන්ලයින් එපොයිමන්ට්ස් දාන්ඩ හදල තියෙන්නේ. වෙබ් එක වැඩ. වැඩ නෑ, බ්ලොක් කියන්නේ බොරු.

ආයතනයක් විදිහට මේ ගැන මානුෂීයව බලන්ඩ බැරිද? ඔයාලගෙ පාරිභෝගිකයොනේ මේ දුක්විඳින්නේ. මිනිස්සු දිහා මානුෂීයව බලන්ඩ ආයතනය කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි?

ඒ ගැන ප‍්‍රකාශයක් කරන්ඩ බෑ.