සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන වැඩිදුරටත් …….

ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැන හෝ නොදැන රට අරාජිකත්වය කරා යන ගමන වේගවත් කරමින් සිටින්නේ යැයි කිව හැකිය. එම තත්ත්වය පාලනය කරගැනීමට අවශ්‍ය ප‍්‍රශස්ත දැක්මක් හා හික්මීමක් එම නායකයන් දෙදෙනාටම ඇති බවක් පෙනෙන්නට නැත. අගමැතිවරයා 19 වැනි සංශෝධනයෙන් තමන්ගේ තටු කපා තිබෙන බව ජනාධිපතිවරයා හරියටම දැනගෙන තිබෙන බව පෙනෙන්නේද මෙම අර්බුදයත් සමගය. රනිල් අගමැතිකමෙන් ඉවත් කොට වෙනත් අගමැතිවරයෙකු සහිත ආණ්ඩුවක් ගැන ජනාධිපති සිහින දකින්නට ඇත්තේ ජනාධිපතිවරයාට 19 වැනි සංශෝධනය ගැන මනා අවබෝධයක් නොතිබුණු නිසා විය හැකිය. තමාට අගමැතිවරයා වෙනස් කිරීමේ බලයක් නැති බව ජනාධිපතිවරයා සිය කණ්ඩායමට පසුගිය සතියේදී දැනුම් දෙන්නට ඇත්තේද ඒ අවබෝධය ඇතිකර ගැනීමෙන් පසුවය. එහෙත් ජනාධිපතිවරයාට පියඹා යෑමේ හැකියාවක් නැතත් තමා කරළියට ගෙනා 19 වැනි සංශෝධනය යටතේ පවා තමන්ට බලවත් ලෙස අවහිර කිරීමේ හැකියාවක් ඇති බව අගමැතිවරයා දැනගන්නට ඇත්තේද මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා කරන අවහිර කිරීම් දෙකක් ඉදිරියේ කර කියාගත නොහැකි අසරණ තත්ත්වයකට පත්වීමෙන් පසුව විය යුතුය.

දැන් තිබෙන තත්ත්වය

දැන් ජයග‍්‍රාහී මහින්ද පිල කියන්නේ අරාජක තත්ත්වයක් ඇතිවීම වැළකීම සඳහා ප‍්‍රමාද නොකොට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවය. ඉතා වැදගත් දේ ජයග‍්‍රාහකයා ඉල්ලන්නේ ජනාධිපතිවරණයක් නොව පාර්ලිමේන්තු මැතිවරණයක්වීමය. 19ට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගත හැක්කේ ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවකින් පරාජය කිරීමෙන් හෝ නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස, පාර්ලිමේන්තුව ඉල්ලා සිටින්නේ නම් පමණය. ආණ්ඩුව කොතරම් දුබල තත්ත්වයකට පත්ව සිටියද විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමේ ශක්තියක් මහින්ද පිලට නැත. මොනම පාර්ලිමේන්තුවක්වත් සිය කැමැත්තෙන් විසුරුවා හරින තැනකට යන්නේ නැති බව කියා ඇත්තේ ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳව ලංකාව බිහිකළ හොඳම විශාරදයන් කිහිපදෙනාගෙන් කෙනෙකු ලෙස සැලකිය හැකි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඇන්.ඇම්. පෙරේරාගේ ගෝලයෙකු ලෙස පෙනී සිටින 19 වැනි සංශෝධනයේ නිර්මාතෘවරයා වන ජයම්පති වික‍්‍රමරත්න ගුරුවරයා පෙන්වා දී තිබෙන එම සරල මූලධර්මය පවා නොදැන හෝ නොසලකා එම ව්‍යවස්ථාව සම්පාදනය කර ඇති බව පෙනී යයි. ඔහු එම ව්‍යවස්ථා සම්පාදනය කෙටුම්පත් කළේ අගමැතිවරයාගේ වුවමනාව සලකා ඔහුගේ උපදෙස් පරිදිය. ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳව අගමැතිවරයාට තිබෙන දැනුමේ තරමද ඉන් තේරුම් ගත හැකිය. එම වරද ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන විෂයට සිටින විශාරදයන්ටද නොපෙනුණේය. බුද්ධිමය තලයේදී ලංකාව සිටින්නේ ලොකු අර්බුදයක බව ඉන් පෙනේ.

ලංකාව මෙම නිශ්චිත මොහොතේ පමණක් නොව ඊළඟ මැතිවරණයෙන් පසු කාලයේදීද සිටිනු ඇත්තේ හිරවුණු අරාජික තත්ත්වයකය. එසේම ලංකාවේ මේ මොහොතේ පමණක් නොව, ඊළඟ මැතිවරණයෙන් පසු කාලයේද තිබෙනු ඇත්තේ කවර පක්ෂයක් බලයට ආවද සාර්ථක ආණ්ඩු පාලනයක් පවත්වාගෙන යා නොහැකි අවුල්සහගත තත්ත්වයකය. රටේ හැම ක්ෂේත‍්‍රයක්ම තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. විදේශ වශයෙන් ලබාගෙන ඇති ණය සඳහා ගෙවිය යුතු වාරිකය හා පොලිය තිබෙන්නේ බිලියන්වලින් නොව ටි‍්‍රලියන්වලින් ගෙවිය යුතු තත්ත්වයකය. හැම වසරකදීම ඉහළ යන ණය වාරිකය ගෙවනවා නම් ගෙවන්නට සිදුවනු ඇත්තේ රටේ ලොකු දේපළක් විදේශ වශයෙන් විකිණීමෙන් පමණය. රට එවැනි ආර්ථික වශයෙන් දුෂ්කර තත්ත්වයක තිබියදීත් මන්ත‍්‍රීවරුන් හා ඇමතිවරුන් සතුටු කිරීම සඳහා ආණ්ඩුව ඔවුන්ට දුන්නේ එතෙක් ඔවුන්ට ලබාදෙමින් තිබූ සුඛෝපභෝගී රට නොව, ඊටත් වඩා අධික මිලක් ඇති සුඛෝපභෝගී වාහනය. රට තිබෙන්නේ අන්ත බංකොළොත් තත්ත්වයක වුවත් සුප‍්‍රා ගණයේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ගමන් කරන්නේ රුපියල් ලක්ෂ 300කටත් වැඩි මිලක් ඇති සුඛෝපභෝගී වාහනවලිනි. යුද්ධයක් නැතත් තාමත් රටේ දේශපාලන නායකයන් ගමන් යන්නේ රථ පෙරහැරවලිනි.

මහින්ද පිලේ අනාගතය

දැන් 2015දී ඉතා ජයග‍්‍රාහී තත්ත්වයක සිටි යහපාලන ආණ්ඩුව හා එහි නායකයන් ඉන්නේ සුව කළ නොහැකි පරාජිත තත්ත්වයකය. ලෙඩා තවමත් මියගොස් නැතත්, ලෙඩා ඉන්නේ දැඩි සත්කාර ඒකකයේය. ශරීර ක‍්‍රියාකාරීත්වය සිදුවන්නේ මැෂිමක ආධාරයෙනි. 2015 පරාජිත තත්ත්වයකට පත් මහින්ද සිටින්නේ ඉතාමත් ජයග‍්‍රාහී තත්ත්වයකය. බාහිර පෙනුමෙන් එසේ වුවත් මහින්ද සිටින්නේද ලිහා ගැනීමට පහසු නැති ලොකු අවුලකය. ඔහුට විශ්වාසභංගයකින් ආණ්ඩුව පරාජය කිරීමට අවශ්‍ය තරම් පාර්ලිමේන්තු බලයක් නැත. පළමුවෙන් එන්නේ ජනාධිපති තරගයක් වුවත් ඊට තරග කිරීමේ හැකියාවක් ඔහුට නැත. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයක් එනතුරු බලා සිටිය යුතුය. මහින්ද එම ප‍්‍රහේළිකා ප‍්‍රාතිහාර්යයක් බඳු දෙයකින් ජයගත්තද රට තිබෙන්නේ පාලන බලය ලබාගත්තද පාලනයක් පවත්වාගෙන යා නොහැකි අතිවිශාල අර්බුදයකය. නායකයන් තිදෙනා අතුරින් ඒ ගැන වැඩියෙන්ම දන්නේද මහින්දය.

මහින්ද පාලන කාලය අවසන් වන්නට පෙර ජනාධිපතිවරණයකට ගියේ ලොකු අර්බුදයක් එන්න තිබෙන බව දැනගෙන එම අර්බුදයට පෙර ජනාධිපතිවරණයකට ගොස් එය ජයගත යුතුයැයි කියන අදහස ඇතිවය. දැන් රට තිබෙන්නේ එදා ඒ තිබුණ තත්ත්වයෙන් වඩා නරක තත්ත්වයකය. පාලන බලය ලබාගත්තද පාලනයක් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය අතහැර ඒකාධිපති පාලන ක‍්‍රමයකට මාරුවීමද ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ඒකාධිපති පාලනයක් නූතන ලෝකය පිළිගන්නේ නැත. ආර්ථික සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවී තිබෙන අර්බුදය වඩා විශාල අර්බුදයක් බවට පත්කිරීමට හේතුවනු ඇත. ජාත්‍යන්තර තලයේ පමණක් නොව, දේශීය තලයේද වෘත්තීය සමිති ශිෂ්‍ය අරගල හා මහජන උද්ඝෝෂණ අනුකම්පාවිරහිත ලෙස මර්දනය කරන පිළිවෙතක් තුළ මහජනයාට ජීවත් වන්නට සිදුවනු ඇත්තේ නිදහස අහිමි කරගත් පීඩාකාරී තත්ත්වයකය. ලංකාව මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය ජයගත හැකිවනු ඇත්තේ ඒකාධිපති පන්නයේ පාලනයක් ඇතිකර ගැනීමෙන් නොව ප‍්‍රඥාවන්ත සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට මාරුවීමෙනි.

අර්බුදයේ පරිණාමය

ලංකාව මුහුණ දී තිබෙන විස්තීර්ණ අර්බුදයේ පදනම් පිළිබඳව හරි අවබෝධයක් නැතිකම අර්බුදය ජයගැනීමට ඇති නොහැකියාව කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙම අර්බුදය කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධාන සාධකය දූෂණය හෝ දේශපාලකයන්ගේ අඥානකම නොවේ. නිදහසේදී හෝ ඉන්පසුව ජාතික රාජ්‍යයට අවශ්‍ය නූතන ජාතිය (ශ‍්‍රී ලාංකේය ජාතිය) ගොඩනගා ගැනීමට අසමත්වීම මෙම අර්බුදය කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධානම සාධකය ලෙස සැලකිය හැකිය. නූතන ජාතික රාජ්‍යයට නූතන ජාතිය ගොඩනගා ගැනීමෙන් තොරව යහපත් ලෙස පැවතිය නොහැකිය. නූතන ජාතික රාජ්‍යයට ඒකාග‍්‍ර කළ සමාජයක් අත්‍යවශ්‍යය. ජාතිය ගොඩනගා ගැනීම ඒ අරමුණ සපුරා ගැනීමට තිබෙන එකම මාර්ගය වේ.
ජාතිය ගොඩනගා ගැනීමට එය අරමුණු කරගත් දෘෂ්ටියක් අවශ්‍ය වන අතර සමාජයේ ගැටුම් ඇති කිරීමට හේතුවන වර්ගභේදය, කුලභේදය හා ආගම්භේදය වැනි යල්පැනගිය භේද අවම කොට සියලූ මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් දෙමින් රට මුල්කරගත් බැඳීමක් සමාජය තුළ ඇති කිරීම අවශ්‍ය වේ.

ලංකාව බලවත් නිදහස් අරගලයක් ඔස්සේ නිදහස දිනාගත් රටක් ලෙස සැලකිය නොහැකිය. නිදහස දිනාගැනීම සඳහා වන බලවත් අරගලයක් වී නම් වර්ග, කුල හා ආගම් බේද නොසලකා ඒ සියලූදෙනා ජනතාව එම අරගලයට එකතු කරගැනීමට නිදහස වෙනුවෙන් පෙනී සිටින නායකයන්ට සිදුවේ. එහිදී ජනතාව අතර තිබෙන වර්ග, කුල හා ආගම් බේද නොසලකා ඒ සියලූදෙනා එක සමාන ලෙස සලකා ක‍්‍රියාකරන්නට හා ඔවුන් අතර සමගිය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන නිසා භේද ඇති කිරීමට හේතු ලෙස ක‍්‍රියාකරන වර්ග, කුල හා ආගම් යන භේදවලට එරෙහිව ඒ භේද නැති කිරීම සඳහා ක‍්‍රියාකිරීමට එම නායකයන්ට සිදුවේ. එම ක‍්‍රියාවලිය සමාජය ඒකාග‍්‍ර කොට නූතන ජාතිය ගොඩනගා ගැනීමක් සිදුවන අතර නැවත එම ක‍්‍රියාවලිය තුළ නවීන සමාජයක් ඇතිවීම සේ ම පරිණත නායක පරපුරක් ඇතිවීමද සිදුවේ. අපේ සමාජය නවීන වූයේ බාහිර වශයෙන් පමණය. අභ්‍යන්තරික වශයෙන් එය ආචීර්ණ කල්පිත වී යැයි කිව හැකිය. පොදු ජාතික දෘෂ්ටියක් සමාජයට නොතිබුණි. සමාජයට තිබුණේ වර්ගය, කුලය හා ආගම මුල් කරගත් පසුගාමී දෘෂ්ටියකි. එවැනි ක‍්‍රියාවලියක් රටේ නොතිබීම නිසා නවීන ලෙස සිතන පරිණත නායක පරපුරක්ද ඇති නොවීය.
නිදහසේ සිටම ලංකාව ගමන් ගත්තේ භේදකාරී හා තිබෙන භේද වර්ධනය කිරීමට හේතුවන ගමන් මාර්ගයකය. වර්තමානය අප මුහුණ දී තිබෙන අර්බුදය උපදින්නේ එතැනිනි. වර්ග අතර භේද තිබුණා සේ ම වර්ග තුළද භේද තිබුණි. සිංහල වර්ගයා ඒකාග‍්‍ර වර්ගයක් නොවීය. කුලභේදය ඔවුන් අතර තිබිය යුතු ඒකාග‍්‍ර බව නැතිකර තිබුණි. දෙමළ වර්ගයාද ඒකාග‍්‍ර වර්ධනයක් නොවීය. ඔවුන් අතරද ලොකු කුලභේදයක් තිබුණි. ආගම්ද වර්ග අතර පමණක් වර්ගය තුළද භේද ඇති කළේය. සියලූ සිංහලයන් බෞද්ධ නොවූ අතර සියලූ දමිළයන්ද හින්දු නොවීය.

රටේ නායකයන්ට පොදු ජාතික දෘෂ්ටියක් නොතිබීම නිසා ඔවුන් පටු දේශපාලන වාසි සලකා තිබෙන භේද උග‍්‍ර කළේය. නිදහස ලබාගත් වහාම සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් ප‍්‍රථම ඞී.එස්. සේනානායක ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය. ඉන්පසු 1956දී එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කළේය. ඒ නිසා 1958දී සිංහල දෙමළ කෝලාහලයක් ඇතිවිය. 1956දී දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි වාමාංශික පක්ෂ දෙක 1965දී දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සඳහා ඇති කළ විධි විධානවලට එරෙහිව ‘ඩඞ්ලිගේ බඬේ මසල වඬේ’ යැයි කියමින් ශ‍්‍රීලනිප සමග විරෝධතා පෙළපාළි ගියේය.

1971 කැරැල්ල කෙරෙහි සිංහල සමාජයේ පැවති කුලභේදය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. කැරැුල්ලට අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ කුලය සොයා බලන්නටද ආණ්ඩුවට සිදුවිය. 1972දී ශ‍්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් හවුල් ආණ්ඩුව සම්මත කරගන්නා ලද නව ව්‍යවස්ථාවෙන් සියලූම සුළු ජාතීන් ව්‍යවස්ථානුකූලව දෙවැනි පන්තියේ පුරවැසියන් බවට පත් කළේය. එම ආණ්ඩුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එකතු වන දෙමළ ශිෂ්‍ය අනුපාතිකය පහළ දැමීම සඳහා ප‍්‍රමිති කරන නීති ඇති කළේය. ඒ මගින් දෙමළ ජනයා වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින තැනකට තල්ලූ කළේය.

1977දී හයෙන් පහක බලයක් හිමිකරගත් ජේ.ආර්. ජයවර්ධන නිදහසේ සිට ක‍්‍රමයෙන් වර්ධනයවෙමින් තිබෙන අර්බුදය මහා පරිමාණයෙන් ලේ හැලෙන අර්බුදයක් බවට පත්කිරීමට ක‍්‍රියාකළේ යැයි කිව හැකිය. වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කළේ ඔහුය. මැර බලය ආයතන ගත කළේද ඔහුය. ජේ.ආර්. ජයවර්ධන පාලනයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස ක‍්‍රියා කළ දැන් දේශපාලනයෙන් මුළුමනින් ඉවත් වී සන්සුන් ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු කියා තිබෙන කතාවක් මෙසේය. ඔහු ජනාධිපති හමුවී කරන කතාබහකදී සර් දූෂණය හුඟාක් හිස ඔසවලා තියෙන බව පේනවා. එම තත්ත්වය පාලනය කිරීම අවශ්‍ය නේදැයි කියා ඔහු කියා තිබේ. ජනාධිපතිවරයා දී තිබෙන පිළිතුර වී ඇත්තේ ”මේක මඟුල් ගෙයක් ලෙස සලකා ක‍්‍රියා කරන්න පුරුදු වෙන්න.” කියාය. එතැන් සිට අද දක්වා රාජ්‍ය පාලනය ගමන් කරමින් තිබෙන්නේ ඔහු විසින් හඳුන්වා දෙන ලද එම මාර්ගයේය.

යාපනේ පුස්තකාලය ගිනි තබන ලද්දේ එම පාලන කාලයේදීය. ඉන්පසුව හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කර ගත්තේය. ඒ මගින් විරුද්ධ පක්ෂයට බලවත්වීමට තිබුණු ඉඩ ඇහුරුවේය. 83 කළු ජූලිය දෙමළ තරුණ පරපුර ආයුධ සන්නද්ධ අරගලයකට තල්ලූ කළේය. ජවිපෙ තහනම් කොට ඔවුන්ද කැලෑවට තල්ලූ කළේය.

ඉන්පසු ලංකාව දීර්ඝකාලීන වශයෙන් මහා පරිමාණයෙන් ලේ හලන අශීලාචාරත්වය රජ කරන රටක් බවට පත්කිරීමට හේතුවිය. එම දීර්ඝ අශීලාචාර කාලයේදී සියලූ මිනිසුන්ට ජීවත් වන්නට සිදුවූයේ මරණ බියෙනි. එම අශීලාචාර බිහිසුණු කාලයේදී තොග ගණනින් මිනිසුන් මරා දමන ලද අතර සටන් කරන දෙපාර්ශ්වයට (සිංහල දෙමළ කැරලිකරුවන් හා ඔවුන්ට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදා) උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදාහරින ලදි. ඒ ගැටුම්වලින් ලක්ෂයකට වැඩි පිරිසක් මියයන විට ජීවත්වීමේ භාග්‍ය හිමිකරගත් මිනිසුන්ද ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ රෝගී වූ හා විකෘති වූ මිනිසුන් බවට පත්වූහ. එහිදී විකෘති තත්ත්වයකට පත්වූයේ සමාජය පමණක් නොවේ. එම සමාජ වටාපිටාව රාජ්‍ය හා රාජ්‍යයේ ආයතන ක‍්‍රමද විකෘති කිරීමට හේතුවිය. ඒ සියල්ල අකාර්යක්ෂම, අන්ත දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්කිරීමට හේතුවිය.

විය හැකි දේ

අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට රට තිබුණේ සමාජය හා රාජ්‍යය ලොකු ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි අර්බුදකාරී තත්ත්වයකය. ඒ දක්වා ගොඩනගා ගැනීමට අසමත් වී තිබුණු ජාතිය ගොඩනගා ගැනීමට එම ප‍්‍රතිසංවිධාන වැඩසටහනේ වැදගත් අරමුණක් කරගත යුතුව තිබුණි. ඒ සමග රෝගී හා විකෘති වී තිබෙන සමාජයක් රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කරගැනීම තවත් වැදගත් අරමුණක් විය යුතුව තිබුණි. එහෙත් අභ්‍යන්තර යුද්ධය අවසන් කළ වීරයාට අභ්‍යන්තර යුද්ධය ජයගැනීමට අවශ්‍ය කරන ප‍්‍රඥාව හා ආත්ම ධෛර්යය තිබුණද ලංකාවේ අර්බුදය ජයගැනීමට අවශ්‍ය ප‍්‍රතිසංවිධානයක් සඳහා අවශ්‍ය කරන ප‍්‍රඥාව නොතිබුණේය. ඒ නිසා මහජනතාව 2015දී යුද්ධය ජයගත් වීරයාව පරාජය කොට ගෙදර යැව්වේය. මහින්ද පරාජය කොට බලයට පැමිණි නායකයන් දෙදෙනා කළ යුතුව තිබුණේ මහින්ද සම්පූර්ණ නොකළ ඓතිහාසික කොන්දේසි සම්පූර්ණ කිරීමය. එනම් ජාතිය ගොඩනගා ගැනීම හා රෝගී හා ජරපත් තත්ත්වයකට පත්ව තිබූ සමාජය හා රාජ්‍ය ප‍්‍රතිනිර්මාණය කරන තැනකට යාමය. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රඥාව ජනාධිපති මෛත‍්‍රීපාලට හෝ අගමැති රනිල් වික‍්‍රමසිංහට නොතිබුණේය. එම අඥානකමේ අවසාන ඵලය වී තිබෙන්නේ යහපාලන ආණ්ඩුවට රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය අහිමි කරගත් තත්ත්වයක් ඇතිවීමයි.

මෙය මෙම ඓතිහාසික අර්බුදයේ තවත් අලූත් වටයක් ලෙස සැලකිය හැකිය. දැන් රටේ ලොකු බලයක් තිබෙන නායකයන් තිදෙනාම සිටින්නේ පහසුවෙන් ගැලවිය නොහැකි, හොඳටම හිරවූ තැනය. ආණ්ඩුව තිබෙන්නේත්, රාජ්‍යය තිබෙන්නේත් ආර්ථිකය අරාජිකය ඇතුළු වෙනත් සියලූ දේ තිබෙන්නේ අවුල් ජාලයකය. මහා කඩා වැටීමක ආසන්නයේය.

ඇතිවන්නට යන තත්ත්වය ජේවීපී කැරැුල්ල, එල්ටීටීඊ කැරැල්ල හෝ සුනාමිය ඇති කළ තත්ත්වයට සමානය. ලොකු ලේ ගැලීමක් සමග මිනිසුන් තොග වශයෙන් ඝාතනය වන තත්ත්වයක් ඇතිවන්නේ නැත. මිනිසුන්ගේ ජීවිත නැති නොවී ඔවුන්ට තිබෙන බොහෝ දේ නැතිවන අන්ත අසරණ තත්ත්වයකට පත් කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය.

නායකයන් වශයෙන් ගත් කල ප‍්‍රධාන නායකයන් තිදෙනාම සිටින්නේ අඩු වැඩි වශයෙන් අසරණ තත්ත්වයකය. අනෙකුත් අප‍්‍රධාන නායකයන් සිටින්නේද පැහැදිලි අනාගතයක් දැකිය නොහැකි අසරණ තත්ත්වයකය. හිතේ තිබෙන අප‍්‍රසන්නභාවයේ තරම කුමක් වුවත් ජනාධිපතිවරයාට රනිල් හෝ එජාපය නැති ආණ්ඩුවක් කළ නොහැකිය. ඊළඟ ජනාධිපතිවරණය ගැනද කිසිදු විශ්වාසයක් ඇති කරගත නොහැකිය. ඉන්පසු සිදුවිය හැක්කේ කුමක්ද යන්නද පැහැදිලි නැත. අගමැති සිටින්නේද එවැනිම අසරණ තත්ත්වයකය. හිතේ මොනතරම් අප‍්‍රසාදයක් තිබුණද ජනපති සමග දීග කනවා හැර තෝරා ගැනීමට අන් මාර්ගයක් නැත. තමන්ගේම ආණ්ඩුවක් ඇති කරගත නොහැකිය. තමන්ට පක්ෂය තුළ තිබෙන තත්ත්වයද විශ්වාසදායක නැත. ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමක් ගැන හිතන්නටත් බැරිය. ජයග‍්‍රාහී තත්ත්වය හිමිකරගෙන සිටිනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණක් වුවත් ඔහුටද තමන්ගේ ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ හැකියාවක් නැත. විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාවක්ද නැත. ප‍්‍රාතිහාර්යයක් බඳු දෙයකින් බලය අල්ලා ගත්තද රටේ අර්බුදය තිබෙන්නේ සාර්ථක ආණ්ඩු පාලනයක් පවත්වාගෙන යා හැකි තත්ත්වයක නොවේ. ගොඩනැගෙමින් තිබෙන අරාජකත්වය උග‍්‍ර වුවහොත් පරාජිත නායකයන් පමණක් නොව ජයග‍්‍රාහී නායකයාද ඒ තුළ වාෂ්ප විය හැකිය.

හිරවිල්ල ජයගැනීම

රටක් මේ ආකාරයෙන් හිරවූ තත්ත්වයකට ගිය විට ඒ තත්ත්වය ජයගැනීම සඳහා ඒ සඳහා යොදාගත හැකි උපාය මාර්ගයක් වනුයේ ඇතිවී තිබෙන හිරයෙන් ගැලවී යහපත් ඉදිරි ගමනක් සඳහා ඇති කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් සියලූ දේශපාලන නායකයන් එකට එකතු වී නිශ්චිත කාලරාමුවක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගනිමින් ඇති කළ යුතු වෙනස්කම් ක‍්‍රියාවට නගන තැනකට යෑමය. දකුණු අප‍්‍රිකාව තෝරා ගත් මාර්ගය වූයේද එයයි.

දකුණු අප‍්‍රිකාව සිටියේද දැන් ලංකාව සිටින තත්ත්වයට සමාන තත්ත්වයකය. දකුණු අප‍්‍රිකානු වර්ග භේදවාදී රාජ්‍යයට පනවා තිබූ සම්බාධක නිසා රට ඉදිරියට යා නොහැකි තත්ත්වයකට හිරවී තිබුණේය. සුදු කළු ගැටුමතිබුණේද හිරවූ තත්ත්වයකය. දකුණු අප‍්‍රිකානු කොංග‍්‍රසයට අතිවිශාල මහජන බලයක් තිබුණද එම ව්‍යාපාරය තිබුණේ සුදු බලය පරාජය කළ නොහැකි තත්ත්වයකය. සුද්දන්ට ආර්ථික හා දැනුමේ අර්ථයෙන් අතිවිශාල බලයක් තිබුණද ඔවුන් සිටියේ කල්ලන් පරාජය කළ නොහැකි තත්ත්වයකය. එම අවුල්සහගත හිරවුණු තත්ත්වය ඔවුන් ජයගත්තේ ප‍්‍රධාන බලකණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනා ඇතුළු සෙසු පක්ෂවල නායකයන්ද එකට එකතු වී දකුණු අප‍්‍රිකාවට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් හඳුනා ගනිමින් එම වෙනස්කම් ඇති කර ගැනීම සඳහා වැඩසටහනක්ද ඇතිකර ගනිමින් එම වැඩසටහන ක‍්‍රියාවට නැගීම සඳහා සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගැනීමෙනි. එහිදී ප‍්‍රධාන නායකයන් දෙදෙනාම (මැන්ඩෙලා හා කලර්ක්) එතෙක් තමන් කල්පනා කළ විදියද වෙනස් කළේය.

මේ මොහොතේදී ලංකාවට තෝරාගත හැකිව තිබෙන මාවතද එයයි.

ජනාධිපතිවරයාට ශ‍්‍රීලනිප නායකත්වය අතහැර පක්ෂයේ නිල අයිතිය සේ ම විරුද්ධ පක්ෂයේ නිල නායකත්වයද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට භාරදී නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු බවට පත්වීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තු නියෝජනයක් ඇති සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කළ හැකිය. එම ආණ්ඩුව සඳහා කාලනියමයක් තිබිය යුතු අතර ඇති කළ යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා වැඩසටහනක් සේ ම ඒ සඳහා වන ප‍්‍රතිපත්තිමය එකඟතාවක්ද ඇති කරගත යුතුය.

විය යුතුව තිබෙන්නේ ආපසු හැරී බැලීමකට යමින් ඇති කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගනිමින් පොදු එකඟතාවකින් යුතුව එම වෙනස්කම් ක‍්‍රියාවට නගන තැනකට යාමය.

වර්ග, කුල, ආගම් භේදවාදයන්ට තිබෙන පිළිගැනීම නැති කිරීම සඳහා ජනතාවට ජාතික මට්ටමෙන් අධ්‍යාපනය ලබාදෙන වැඩසටහනකට යා හැකිය. ගැටුම් නිසා හෝ වෙනත් හේතු නිසා අසාධාරණයකට ලක්වූ අයට තමන්ගේ දුක්ගැනවිලි ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන හා අසාධාරණයක් සිදුවී තිබෙන අයට වන්දි ලබාදෙන ක‍්‍රමයක් ඇති කළ හැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, බලශක්ති හා පරිසරය ඇතුළු අන් හැම අංශයකම සිදුවී තිබෙන පරිහානිය හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන තැනකට යමින් අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හඳුනා ගන්නා අතර සියලූ අංශ සඳහා යොදාගත හැකි ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් ඇතිකර ගන්නා තැනකට යා හැකිය. සියලූ ජනවර්ගවලට ඔවුන්ගේ අනන්‍යතාව රැුකගනිමින් සමාජය ඒකාග‍්‍ර කිරීමට හේතුවන ලෙස ලංකාවේ ජීවත් වන සියලූ මිනිසුන්ට මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබන ආකාරයට මෙතෙක් ගොඩනගා ගැනීමට අසමත් වී තිබෙන ලාංකේය ජාතිය ගොඩනගා ගන්නා තැනකට යා හැකිය. රාජ්‍යයේත්, ආයතන ක‍්‍රමයේත්, රාජ්‍ය පාලනයෙන් ඇතිවී තිබෙන පරිහානිය හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතු හා ඒ තත්ත්වය ජයගැනීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හඳුනා ගනිමින් ගොඩනගන ලද ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කෙරෙන වැඩසටහනක් සමග නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තනා ගන්නා තැනකට යා හැකිය.

මෙවැනි ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් මගින් රටේ ගමන් මගේ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවී තිබෙන නවීන රාජ්‍යයක් සේ ම නවීන සමාජයක් ඇති කිරීමටද හේතුවනු ඇත.

එවැනි වැඩසටහනක් දැන් රටම එපාවී සිටින නායකයන්ට ගෞරවයට හේතුවන පිළිගැනීමක් ලබාදීමට හේතුවනු ඇති අතර ඔවුන් දැන් සිටින අසරණ හා අනාරක්ෂිත තත්ත්වයෙන් නිදහස්වීමේ පුළුවන්කමද ඔවුන්ට ලැබෙනු ඇත.