රාවය

අගමැතිගෙන් සැදෑ ආරක්‍ෂක කමිටු

අගමැතිගෙන් සැදෑ ආරක්‍ෂක කමිටු

දූෂණ වංචා ගැන ගත යුතු කි‍්‍රයාමාර්ග කඩිනම් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය විෂයභාර ඇමතිවරයා ලෙස කමිටු දෙකක් පත්කර තිබේ. පළමුවැන්න අපරාධ මැඩලීමට හා දූෂණ විමර්ශනයටය. දෙවැන්න පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ අභියාචනා පිළිබද කටයුතු කඩිනම් කිරීම සදහාය. තෙවැන්න අපරාධ යුක්තිය පිළිබදව විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා සම්බන්ධීකරණ කමිටුවකි. මේවා අවංකවම රටේ දැවෙන ප‍්‍රශ්න විසදීම සදහා දරන ප‍්‍රයත්නයන්ද නැතහොත් ඇපෙන් ගැලවීමට කරන දේවල්ද යන සංශය දැන් දැන් රටේ ජනතාව තුළ මතුවීම නොවැළැක්විය හැකිව තිබේ. එසේවී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව මෙතෙක් කරණ ලද දේවල්වලින් වැඩි ප‍්‍රමාණයක් පාරාජිකා වූ දේවල් බවට පත්වූ නිසාය.

දූෂණ හා වංචා පිළිබද අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග කඩිනම් කිරීම භාරවී තිබෙන්නේ රාජිත සේනාරත්න, ඞී.ඇම්. ස්වාමිනාදන් හා අජිත් පෙරේරා යන ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවටය. මේ කතා කරන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවේ දූෂණ හා වංචා පිළිබදවය. එය එසේ නම් මෙම ඇමතිවරුන් තිදෙනාට ඒවා ගැන හදිසියේ කළ හැකි කෙංගෙඩියක් නැත. ඔවුන්ට එක් දෙයක් කළ හැකිය. ඒ ඊළග වසර දෙක ගතවනතුරු කාලය ගත කිරීමය. එනම් ඔවුන්ට පැවරී ඇත්තේ කි‍්‍රකට් කී‍්‍රඩා වේ එන සැදෑ ආරක්‍ෂකයාගේ කාර්යභාර්ය බදු කි‍්‍රයාවකි. රාජිතත් ස්වාමිනාදනුත් අජිත් පෙරේරාත් උදෑසන හා මධ්‍යහ්නය ගෙවී ගිය ආණ්ඩුවක සැදැව රැකගැනීමට වෙහෙසෙන්නෝ වෙති.

වත්මන් ආණ්ඩුව වැඩ කරනවා නම් පළමුපැයේදීම වැඩ අරඹන්නට තිබුණි. හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරුන්ගේ ග‍්‍රහණයට ලක්වන තුරු බලා නොසිටින්නට තිබුණි. දැන් බලන විට ප‍්‍රශ්නය තිබී ඇත්තේ සාගල රත්නායකගේය. සාගල නීතිය හා සාමය විෂය පථය භාරව සිටින විට එම අමාත්‍යාංශයෙහි හරියට වැඩ නොකළ බැවින් එය කැබිනට් සංශෝධනයේදී අගමැති යටතට පත්කර තිබේ. සාගල අමාත්‍යවරයා ලෙස කිසිවක් නොකර සිටි බව දුටුවා නම් මේ වර්ගයේ කමිටු පත්කර ඔවුන්ට වාර්තා හදන්නට හා කි‍්‍රයාමාර්ග යෝජනා කරන්නට අවකාශය සලසන ලෙස උපදෙස් දීමට අගමැතිවරයාට ඕනෑතරම් කල් තිබිණි. එහෙත් ඇමැති සාගල සිය විෂය පථය තුළ ප‍්‍රාමාණිකව කි‍්‍රයා කරනවාද නැද්ද යන්න ගැන කිසිම අදහසක් පළ කළ බවක් ඉකුත් කාලය කළ දක්නට නොලැබුණි. අගමැතිගේ ප‍්‍රතිචාරවලින් දැනුනේ ඇමති සාගල හරියටම විෂය පථය තුළ කි‍්‍රයා කරන බවය.

අනෙක් අතට නීතිය හා සාමය විෂයභාර ඇමතිවරයා ලෙස දැන් අගමැති මුලින්ම කළ යුතුව තිබෙන්නේ මහබැංකු බැදුම්කර ගනුදෙනුවෙහි ප‍්‍රධාන චූදිතයකු වන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා රාජිත සේනාරත්න ප‍්‍රමුඛ කමිටුව හමුවට පමුණුවීමය. ඔහුට ජනතාව අතර ක‍්‍රමයෙන් ක්ෂය වී ගිය විශ්වාසය එමගින් යළි ඇති කර ගැනීමටද හැකිවනු ඇත. තමාගේ ඇසේ පොල් පරාල තිබියදී අනුන්ගේ දැස්වල තිබෙන පොල් පරාල ගැන විමර්ශනය කිරීමට යාම එක් අතකින් හාස්‍යයට කරුණකි. history is repeating. first as a disaster, Second as a joke යන කියමනට අනුව දැන් ලංකාව ගමන් කරමින් තිබෙන්නේ විගඩම දෙසටය. ලංකාව මෑත අවදියේදී විගඩම දෙසට ගෙන ගියෝ කවරහුද? ඒ දේශපාලන නායකයෝය. ජනවාරි 08 දේශපාලන වෙනස සැබෑ වෙනසක් ලෙස ජනතාවට ඊට ඵෙන්ද්‍රිය බද්ධ වන්නට ඔවුහු ඉඩ නොදුන්හ. රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරුන්ට නීති ප‍්‍රකාරව දඬුවම් කර ඝාතකයන්ට එරෙහි පරීක්‍ෂණ නිමවා අධිකරණයේ කි‍්‍රයාමාර්ග ගෙන සමාජය ඉල්ලා සිටී දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් හෝ ඉටු කළා නම් ඔවුන්ට කෙමෙන් විගඩමක් වීමේ ඛේදයෙන් වළකින්නට තිබුණි. එහෙත් ඒ කිසිවක් නොකර නායක දෙපළ එකිනෙකාගේ වස්ත‍්‍ර ගලවා ගැනීමෙහි නිරත වූවෝය. අනතුරුව ඔබ ඔබේ පැළේ මම මගේ පැළේ ස්ථාවරයට පත්වූහ. කැබිනට් සංශෝධනය හෙවත් අතීසාරයට අමුඛය ගසන්නේ ඒ සියල්ලට පසුවය. අගමැතිවරයා එක කමිටුවකින් නොසෑහෙයි. අපරාධ යුක්තිය පිළිබද විශ්වවිද්‍යාලයන් පිහිටුවීමට පෙර කළ යුතු වැඩක් ඇත. ඒ අපරාධකාරි සමාජය වෙනස් කර එය ජීවත්වීමට සුදුසු තැනක් බවට පරිවර්තනය කරදීමය. ලංකාවේ අපරාධකාරී සමාජය හැදී වැඩුණේ එකලාව නොව දේශපාලනඥයන් සමගය. එය උක්ත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පාඨමාලාවේ පළමු පාඩම බවට පත්විය යුත්තකි. දේශපාලනඥයන් ගෙන් තොරව වෘත්තීයමය වශයෙන් වු අපරාධකාරී සමාජයට පැවැත්මත් නැති බවත් එහිදි අවධාරණය විය යුතුය. කමිටු තුනක් නොව දහතුනක් දැම්මත් ඒවා අභ්‍යන්තරයෙහි සැබෑ වුවමනාවක් හා දුර දැක්මක් නැත්නම් ඉදිරියේදිත් තත්ත්වයෙහි වෙනසක් නොවනු ඇත. සියල්ල night watchmen අනුයන විසදුම් බවට පත්වන්තේ, අවසානයේදී ඒ සියල්ල විගඩමක් බවට වනු ඇත්තේන් එම අරාජික පසුබිම තුළය.