රාවය

ඔබ බලා සිටින්නේ හංස ගීතය ඇසෙනතුරුද?

ඔබ බලා සිටින්නේ හංස ගීතය ඇසෙනතුරුද?

ලංකාව මුහුණ පා සිටින බරපතළ ප‍්‍රශ්නය වන්නේ හුදෙක් යහපාලන නායකයන්ගේ අදූරදර්ශී බව නොවේ. එමගින් උද්ගත කරන ආරාවුලේ වර්ගඵලය අතිවිශාලවීමෙන් හා එම විශාල වර්ගඵලය බොල් පොළොවක් බවට පත්වී යළි බීජ ඵල නොදරන තත්ත්වයක් උදාවීමය. අලූත් සමාජ ව්‍යාපාරයක් හදන්නට හෝ ප‍්‍රතිසංවිධානය වන්නට කිසිවකු අඬගසන විට ‘‘අනේ දැන් හොඳටම ඇති” කීමට තරම් ඔබ දැන් වෙහෙසකර මිනිසකු බවට පත්ව නැද්ද? එම වෙහෙස ඇතිවන්නේ ශාරීරිකව හා මානසිකව යන දෙකෙන්මය. වර්තමාන දේශපාලන පසුබිම නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන එක් සත්‍යයක් වන්නේ 2020 වනවිට යහපාලන ආණ්ඩුවේ ආයු කාලය බොහෝදුරට අවසන් විය හැකි බවය. ඔවුන්ගේ ආයු කාලය අවසන් නම් හා යළි උපද්දවන්නේ පරාජය කළ – රාජපක්ෂ රෙජීමය නෙමෙයි නම් ඒ සඳහා ජනතාව ගනු ඇත්තේ කවර ස්ථාවරයක්ද?

ප‍්‍රතිවිප්ලවයක්

2015 ජනවාරි 08 සිදුවූයේ විප්ලවයක් බව ඇතැම් මුග්ධ විචාරකයෝ කියති. ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටි සමාජයක් ප‍්‍රතිසංස්කරණවාදීන් පිරිසක් බලයට පත්කර ගැනීම විප්ලවයක් නම් විප්ලවවලට කියන්නේ කුමක්ද? යන ප‍්‍රශ්නය එම දුහුනන්ගෙන් විමසිය යුතුය. ආණ්ඩුව ජනයාගේ ප‍්‍රතිසංස්කරණ බලාපොරොත්තුව ඉතා සාහසික ආකාරයෙන් බිඳ දැමීය. ජනයාට එම විෂයේදී යන එන මං අහිමි කැරිණි. ඒ අතින් නම් ජන. 08 විප්ලවයක් සිදු නොවුණත් ඔවුන්ගේ වසර තුන ඇවෑමෙන් ජනතා විරෝධී ප‍්‍රතිවිප්ලවයක් සිදුවී තිබෙන බවක් දැකිය හැකිය. විප්ලවයක් සිදුනොවුණු බැවින් මෙම ප‍්‍රතිවිප්ලවය යළි ප‍්‍රගතිශීලී මාවතකට හරවනු නොහැකි බව ප‍්‍රත්‍යක්ෂ වෙයි.

වත්මන් ආණ්ඩුව පත් කිරීමට වෙහෙසුණු සිවිල් සමාජ ක‍්‍රියාධරයන් කියන්නේ දැන්වත් මහජනයා බලාපොරොත්තු වූ සමාජ ප‍්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුව ගමන් කළ යුතු බවකි. ඔවුන් එසේ කියන්නේ ප‍්‍රධාන වශයෙන් කරුණු දෙකක් මුල්කරගෙනය. 2015 ජන. 08 ප‍්‍රයත්නය නිරර්ථක උත්සාහයක් ලෙස ඉතිහාසයේ ලියැවෙනවා වෙනුවට යම් ඵලදායක උත්සාහයක් බවට අවසාන මොහොතේ පරිවර්තනය කරගැනීම එකකි. අනෙක් අතට ඉතා කෙටි කාලයකින් රාජපක්ෂ යළි බලයට පත්වුවහොත් ජන. 08 දේශපාලන වෙනසට උරදුන් අතිබහුතරයකට එල්ල විය හැකි අනතුර හේතු කොටගෙනය. 17 වසරක එජාප පාලනය (77-94) භීෂණකාරී පාලනයක් රටෙහි ගෙන ගියත් යළි බලයට පත්වූ විට එම පාලනය තුළ භීෂණයේ සලකුණක්වත් නැති බව කෙනෙකුට තර්ක කළ හැකිය. එය සැබෑවකි. එහෙත් රාජපක්ෂ යළි බලයට පැමිණිය හැකි බවට ඉඟි කර තිබෙන්නේ එජාපය මෙන් විපක්ෂයේ වසර විස්සකට අධික කාලයක් කල්මැරීමෙන් නොවේ. වසර තුනක් යනු ඉතා කෙටි කාලයකි. එය කොටියා සිටින කැලේ හෝ පුල්ලි යන දෙකම මාරුවෙන්නට තරම් කාලයක් නොවේ. එබැවින් රාජපක්ෂ පරාජය කළ වැඩසටහනෙහි සිටි සිවිල් ක‍්‍රියාධරයන්ට බියවීමට සාධාරණ හේතු තිබේ.

සිවිල් සංවිධානවල වගකීම

ඉකුත් වසර තුන තුළ සිවිල් සංවිධාන සිය වගකීම ඉටු කළේද යන ප‍්‍රශ්නය එම නියෝජිතයන් එකිනෙකා සිය හෘදය සාක්ෂියෙන් විමසා බැලිය යුතුය. යහපාලන ආණ්ඩුව පත්වූ ගමන් ඒ ඇතැම්හු ඇමතිවරුන්ගේ වියදමින් විනෝද ගමන් ගියහ. මාස කිහිපයකට වතාවක් ගිය එබඳු ගමන් බිමන්වලින් ක‍්‍රම ක‍්‍රමයෙන් යහපාලන ආණ්ඩුව විවේචනය කරන්නෝ හැලී ගියහ. ඉක්මනින්ම යහපාලනය රකින්නෝ පමණක් චාරිකාවලට එක්වන තත්ත්වයක් උදාවූහ. ඔවුන් වනගතවී මධුවිත පානය කර තුරු මුදුන්වලට නැග ගැසූ සෙල්ෆි හා බහුරූ රංග වින්‍යාසයන් දැක්වෙන ඡුායාරූප ඒ දිනවල මුහුණු පොත්හි පළවිය. තවත් සමහරු ආණ්ඩුව පත් කළේ තමන්ගේ හයියෙන් කියන ගෞරවය පෙරදැරිව ගලිවර්ලාගේ සෙයියාවෙන් හැසිරෙන්නට හා ක‍්‍රියා කරන්නට පටන් ගත්හ. ඒ අනුව ආණ්ඩුව ලිලිපුට්ලා වේ යැයි ඔවුන් සිතුවත් එසේ වූයේම නැත. ව්‍යාජ ගලිවර්ලා නිතර ජනපතිත්, අගමැතිත් හමුවූහ. ඔවුහු එය අන් කාටත් නැති මහත් ආනුභාවයක් ලෙසද සිතූහ. බාහිර සිට බලන්නෙකුට මෙම පිරිස තුළ දුටු ප‍්‍රධාන දුර්වලකමක් වූයේ ඔවුන් ජීවිතයේ මුල්වරට දේශපාලන නායකයන් ඇසුරු කරන්නන් බවට පත්ව තිබීමත්, එය ‘මාර වැඩක්’ ලෙස සිවිල් ක‍්‍රියාධරයන් තුළ මොන්ටිසෝරි හැඟීමක් ගැබ්ව තිබීමත්ය. දේශපාලන නායකයා නම කියා ආමන්ත‍්‍රණය කිරීම ඔවුන්ට ආහ්ලාදයට කරුණක් වී තිබුණි. නායකයා නිතර තමා හමුවන ලෙස දන්වා සිටීම ඔවුනට මහත් ආශ්චර්යයක් ලෙස පෙනුණි. සමහර සිවිල් ක‍්‍රියාධරයන් රටේ නායකයන් මතු නොව ජනප‍්‍රිය කලාකරුවන් හඳුනා ගත්තේත් යහපාලන ප‍්‍රචාරක ව්‍යාපෘතියට සෙට්වීම නිසාය. අනතුරුව ප‍්‍රසිද්ධ කලාකරුවන් සමග ගඟක හෝ වැවක බැස ස්නානය කරන ගමන් මධුවිතක් පානය කිරීමත්, සිවිල් ක‍්‍රියාධරයෝ ස්වයං උමතුවකට පත් කළ කරුණක් වූහ. මෙම වින්දනය තුළ සිදුවූ අබග්ගය නම් සිවිල් සංවිධානවලට තම වගකීම මගහැරී යෑමය. විනෝද චාරිකා යන, නිතර නායකයන් හමුවන සිහින දිවිසැරිය තුළ සිවිල් ක‍්‍රියාධරයන් හුදු විසිල් ක‍්‍රියාධරයන් බවට පත්කර සිරකර තැබීමට ජනපතිත් අගමැතිත් අකමැති වන්නට විදියක් නැත. ජනපති, සිවිල් සංවිධාන නුරුස්නා දෙයක් කළ සෑම අවස්ථාවකදීම පාහේ ඔවුහු රංචුව ජනපති හමුවූහ. ක‍්‍රියාවේ බරපතළකම පෙන්වා දුන්හ. එහෙත් ජනපති ඒ හැමවිටම කියා තිබුණේ මට ඒක නොකර බැරිවුණා වැනි වදනකි. මහින්ද රාජපක්ෂට සේවය කළ අන්තේවාසික පුවත්පත් කතුවරයකු සම්බන්ධ සිද්ධිය දැන් සිවිල් සංවිධාන නියෝජිතයන්ට මතකයට නගා ගත හැකිය. එවැනි වදන් අසාගෙන පල්ලං බසිනවා විනා සිවිල් ක‍්‍රියාධරයන්ට ඵලදායක කිසිවක් ඒ කිසිම අවස්ථාවකදීවත් කළ නොහැකි විය. මේ තත්ත්වය තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් සිදුවූයේ 2015 ජන. 08 ජනපතිට උදව් කළ සිවිල් සංවිධාන ආණ්ඩුවට සමාන්තරව පාරාජිකාවීමය. කළ හැකිව තිබුණු ප‍්‍රතිසංස්කරණ පවා ආණ්ඩුව නොසලකා හැර ගියේ සිවිල් සංවිධානවල තෙරපුම ක‍්‍රමයෙන් ලූහුවෙමින් තිබුණු නිසා විය හැකිය. සිවිල් සංවිධාන රටේ සියලූ ප‍්‍රතිසංස්කරණ කරදීමට ජනපතිටත්, අගමැතිටත් ආණ්ඩුවටත් බල කළ යුතුය යන්න මෙයින් අදහස් නොවේ. සිවිල් සංවිධාන කිව්වත් නැතත්, ඒවා ඉටුකරදීම ජනපතිගේත් අගමැතිගේත් ආණ්ඩුවේත් වගකීමකි. එහෙත් ‘ලංකාවේ එහෙම වෙන්නෙ නෑ’ යනුවෙන් කියමනක් පමණක් නොව වැරදි සංස්කෘතියක් තිබෙන බව අප අමතක නොකළ යුතුය. මහ මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තුවට ගැනීමේ සිටම තද හා නොනවතින විරෝධයක් පාන්නට සිවිල් සංවිධානවලට හැකිවූයේ නම් තත්ත්වය තරමක් හෝ යහපත් කරන්නට තිබුණි. එක වරදක් නොසලකා හැරියහොත් තවත් වරද ගණනාවක් සිදුවන නියාම මෙහිදී හරියටම අත්දකින්නට ලැබුණි.

නැවත පටන් ගත හැකිද?

ජනපතිවරයා සම්මුතිවාදී ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වූ එක්තරා අවස්ථාවකදී කීවේ මම නැවත ජනතාව අතරට ගොස් සටන් කරනවා යනුවෙනි. ඔහු දැනුත් එසේ සිතනවා ඇත්තේ පොදුජන පෙරමුණු ඡන්ද එක ගොඩකටත් අනෙක් සේරම ඡුන්ද එක ගොඩකටත් දැමුවහොත් ඒ දෙවැනි ගොඩ ලොකු නිසා විය හැකිය. සිවිල් සංවිධානවල මහත්වරුන් ජනපති සේ ම වැරදියට ගණන් හදා තිබුණි. අප ඔවුන්ට කිවයුත්තේ ඔබලාට ගණිතය සමත් වන්නට නොහැකි බවය. පළාත් පාලන ඡන්දයේදී සෑම පක්ෂයක්ම ඡුන්දය ඉල්ලූවේ එකිනෙකා හා පිළිමල්වය. පිළිමල්ව ඡුන්දය ඉල්ලූ පක්ෂ ජයග‍්‍රහණය ලබාගත් පක්ෂය සමග ප‍්‍රතිපක්ෂ කර බලන න්‍යාය වැරදිය. එසේ ගණන් හැදුවහොත් ලෝකයේ ඔප්පු කොට ඇති ඕනෑම විද්‍යාත්මක න්‍යායක් කනපිට ගසන්නට පුළුවන. ඡන්ද ඉල්ලූවේ පිළිමල්ව නම් ගණන් බැලිය යුත්තේත් වෙන වෙනමය. පස්ස බිම ඇනෙන්නට වැදුණු පසු හෝ ‘නැහැ අපි තරහා නැහැ තාමත් නටන්ගේ එකට’ බව කීම නරක නැත. එහෙත් එය මොනර නැටුමක් බව පෙනී යෑම නොවැළැක්විය හැකිය. මේ සියල්ලෙන් පසු යළි මෛත‍්‍රීපාල සිරිසේන වැනි නායකයකු දිනවන්නට සිවිල් සංවිධානවලට ජනයාට ආමන්ත‍්‍රණය කළ හැකිද? ප‍්‍රශ්නය වන්නේ එය තනිකර සිවිල් සංවිධානවල ප‍්‍රශ්නයක් නොව රටේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයක් දක්වා කේන්ද්‍ර ගතවෙමින් තිබීම නිසාය.

විසඳුමක් තිබේද?

ජනතාව සිවිල් සංවිධානවලින් බලාපොරොත්තු වූයේ ආණ්ඩුවට මගපෙන්වීමක් කිරීමය. එසේ නොමැතිව සිවිල් සංවිධානවලට ජනතාව කීවේ ආණ්ඩුව පෙන්වන මගෙහි යාමට නොවේ. ආණ්ඩුව, සිවිල් සංවිධාන, සමාජ ව්‍යාපාර, වමේ ව්‍යාපාර ආදී සියල්ල කොළෑ වූ විට රටක් පත්විය හැක්කේ කවර නම් ඛේදයකටද? ලංකාව අත්කර ගනිමින් සිටින්නේ එම දුක්ප‍්‍රාප්තිය නොවේද?

මෙම අර්බුදකාරී අවස්ථාවේදී සියලූම දේශපාලන පක්ෂවලට එකතු වී ජාතික වශයෙන් අන්තර්කාලීන වැඩපිළිවෙළකට යා හැකිද? එසේ කළ හැකි නම් එක් පක්ෂයක් අත්තනෝමතිකව රට හා ජනයා ගැන තීන්දු ගත් ක‍්‍රමයට තිත තැබිය හැකිය. ඒ මගින් රාජපක්ෂටත් ජාතිවාදය හා ආගම්වාදය කරා සමාජය දක්කාගෙන යා නොහැකි වනු ඇත. කාටත් දමනය වී පොදු වැඩසටහනක් තුළ පවතින්නට හා ක‍්‍රියාකරන්නට සිදුවෙයි. එවැනි වැඩපිළිවෙළක මූලස්ථානයේ රාජකාරිය ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට අපට යෝජනා කළ හැකිය. එසේ යෝජනා කිරීමට ආසන්නම හේතුව වන්නේ වසර පහකට ජනවරම ලබාගෙන සිටින රටේ ඉහළම නායකයා ඔහු වන බැවිනි. රටට ගොඩ ඒමට මගක් හා අනාගතයක් ගැන සිතිය හැක්කේ තාවකාලිකව හෝ ඇතිකර ගන්නා එවැනි පොදු වැඩසටහනකින් බව පෙනේ. මේ කිසිවක් නොකර ඔබ බලා සිටින්නේ රටේ හංස ගීතය ඇසෙනතුරුද යනුවෙන් අපි මේ නායකයන්ගෙන් අසමු.