ලංකාව හෙල්ලූ සතියේ පාඩම්

‘‘හිතේ අමාරුවෙන් ඉන්නවා” යන සිංහල වාක්‍යය සංකීර්ණ අර්ථ කිහිපයක්ම ගැබ්කර ගත්තකි. එයින් එක් අර්ථයක් වන්නේ, ඉංග‍්‍රීසියෙන් monal crisis යනුවෙන් ප‍්‍රකාශ කරන, ‘චර්යාධාර්මික අර්බුදය’ යනුවෙන් සිංහල භාෂාවෙන් පළ කළ හැකි, පුද්ගලික උභතෝකෝටියකට කෙනෙකු මුහුණදී සිටීමයි. පසුගිය සති දෙක තුනවල, කාරණා දෙකක් නිසා මම එවැනි චර්යාධාර්මික උභතෝකෝටිකයකට මුහුණදෙමින් හිතේ අමාරුවෙන් සිටියෙමි. ඒවා වනාහී කලාතුරකින් ලැබෙන මගේ ස්වයං අවබෝධයකට තුඩු දුන් ඒවාය. පළමුවැන්න, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනේ මීට අවුරුදු තුනකට පෙර ඇරඹුණු අවධිය තියුණු අර්බුදයකට තල්ලූ වන සැටි දැකී සිටීමෙන් ඇතිවූ කම්පාවයි. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ක‍්‍රියාකාරකම් නිසා මට එවැනි අත්දැකීමක් ලැබුණේ නැත. දෙවැන්න, රාවය පත‍්‍රයේ ඇතිවූ අභ්‍යන්තර ගැටලූවක් සම්බන්ධයෙන් වික්ටර් අයිවන් මහතා දැක්වූ ප‍්‍රතිචාර කියවීමෙන් හටගත් කම්පාවයි. රටේ පුරවැසියකු වශයෙන් පළමුවැනි කාරණයේදීත්, රාවයේ ලේඛකයෙකු හා පාඨකයෙකු වශයෙන් දෙවැනි කාරණයේදී මාද කොතරම් ‘අදාළ නැති’ කෙනෙක්ද යනුවෙන් මට ඇතිවූ ස්වයං අවබෝධය, තවත් බොහෝ දෙනෙකු තුළද ඇතිවන්නට ඇතැයි මට සිතේ.

ඒ කරුණු නොව වෙනත් දෙයක් ගැන විවරණයක යෙදීම මෙම ලිපියේ අරමුණයි. එම තේමාව හැඳින්වීමට මා යොදාගත්තේ ‘ලංකාව අර්බුදයක් නැති අර්බුදයකට’ පත්වී, දේශපාලන වශයෙන් ආපස්සට යෑමේ අනතුර මෙරට පුරවැසියන් ඉදිරියේ තිබෙන්නේය යන්නයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලත්, ප‍්‍රතිඵල පිටවීමෙන් පසු සතිය තුළ ඇතිවූ දේශපාලන ව්‍යාකූලත්වයත් විසින් කර ඇත්තේ මෙම අනතුර ගැනද රතු එළියක් දැල්වීමකි.

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල දෙස බලන විට, අප දුටු දේශපාලන ව්‍යාකූලත්වය ඇතිවීමට තරම් වාස්තවික හේතුවක් එහි තිබුණේ නැත. ආණ්ඩුව අස්වීමට තරම්වත්, අගමැති අස්වීමට තරම්වත්, ආණ්ඩු සභාගයේ ප‍්‍රධාන පාර්ශ්ව දෙක අතර සිදුවූවාක් වැනි මහා ආරාවුලක් ඇතිවීමටවත්, ප‍්‍රමාණවත් වාස්තවික සාධක මැතිවරණ ප‍්‍රතිඵලවල තිබුණේ නැත. මැතිවරණයෙන් වැඩියෙන්ම පසුබෑමට ලක්වූයේ ජනාධිපතිතුමාත්, එතුමා නායකත්වය දුන් ශ‍්‍රීලනිපය සහ පොදුජන එක්සත් පෙරමුණයි. එජාපය පත්වී තිබුණේ සාපේක්ෂ වශයෙන් අඩු පසුබෑමකටයි. ජවිපෙ පත්වූයේ තමන් බලාපොරොත්තු වූ තරම් ජයග‍්‍රහණයක් නොලැබීම නිසා තරමක් දුරකට අපේක්ෂාභංගත්වයකට පත්වීම පමණි. මෙම ප‍්‍රතිඵලවල තිබුණේ එකම විශේෂතාවකි. එය නම්, ප‍්‍රධාන දේශපාලන පක්ෂයකින්, එනම් ශ‍්‍රීලනිපයෙන්, කැඞී ගිය කණ්ඩායමකට, එනම් ශ‍්‍රී ලංකා පොදු ජන පක්ෂයට, වසරක පමණ කෙටි කාලයක් තුළ ප‍්‍රධාන පක්ෂ විශාල පරාජයකට පත්කරමින් ඉදිරියට ඒමට හැකිවීමයි. එම අසාමාන්‍යතාව හැරුණුවිට, තම ධුර කාලය අතරමැදදී ආණ්ඩු අතුරු මැතිවරණ, පළාත් පාලන මැතිවරණ ආදියෙන් පරාජයවීම මැතිවරණ දේශපාලනය තුළ අලූත් දේවල් නොවේ.

එසේ නම් පෙබරවාරි 11දා සිට වර්ධනය වී සතියක්ම පැවතුණ දේශපාලන ව්‍යාකූලත්වය පැන නැග්ගේ මක්නිසාද? මෙම ප‍්‍රශ්නයට දිය හැකි එක් පිළිතුරක් වන්නේ, එම සතිය තුළ සිදුවූයේ යහපාලන සභාගයේ දේශපාලනමය බිඳවැටීම සහ ඒ පසුබිම තුළ පැන නැගි අභ්‍යන්තර බල අරගලය විවෘතව ප‍්‍රකාශවීමක් ලෙසයි. බල අරගලය තමන්ට වාසිදායක දිසාවකට තල්ලූ කිරීමට මෛත‍්‍රී පාර්ශ්වය ගත් ක්ෂණික පියවර කිහිපයේ ප‍්‍රධානම අරමුණ වූයේ ආණ්ඩුවේ දේශපාලන සංයුතිය සහ බලතුලනය යළි සකස් කිරීම බව පෙනේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ දුර්වල කිරීම සහ ඉවත් කිරීම, අගමැති ධුරය ජනාධිපතිතුමාගේ සභාග පාර්ශ්වය වෙතට ලබාගැනීම සහ ඡුන්දයෙන් තීරණාත්මක පසුබෑමකට ලක්වූවන්, එසේ දුර්වල වූ ශ‍්‍රීලනිපය සභාග ආණ්ඩුවේ නව බල මධ්‍යස්ථානය බවට පත්කිරීම සහ එජාපය සහ ශ‍්‍රීලනිපය අතර බල සම්බන්ධතාව ශ‍්‍රීලනිපයටද වාසිදායක ලෙස යළි සකස් කිරීම යන අරමුණු හතර මෙම මෙහෙයුමෙහි මූලික ක‍්‍රියාමාර්ග බවද පෙනෙන්නට තිබිණ.

මේ පසුබිම තුළ, ඉහත කී බල අරගලය දෙස බලා සිටින අයට පෙනුණේ මෛත‍්‍රී පාර්ශ්වයේ දේශපාලන ගණන් බැලීම් සාවද්‍ය පදනමක් මත ගොඩනැගූ ඒවා බවයි. පළාත් පාලන මැතිවරණය විසින් තමන්ගේ දේශපාලන බලය දුර්වල කරනු ලැබ තිබුණු මොහොතක, ප‍්‍රධාන බල කණ්ඩායම් තුන අතර දේශපාලන වශයෙන් දුර්වලතම පාර්ශ්වය බවට පත්වූ මෛත‍්‍රී පාර්ශ්වය, රාජ්‍ය බලය හිමි කාටද? යන ප‍්‍රශ්නයට කෙළින්ම සම්බන්ධ වන ක‍්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කළේ මන්ද? මෙය වනාහී ගැඹුරු නොව සරල පිළිතුරුවලින් පමණක් පැහැදිලි කළ හැකි කාරණයක් බවද පෙනේ. එක් සරල පිළිතුරක් නම් ‘දේශපාලන අතිධාවනකාරීත්වය’ යන්නයි.

මෙම අතිධාවනකාරී චර්යාව නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පිළිසකර කළ නොහැකි දේශපාලන හානියක්ද සිදුවිය. එතුමාගේ සහකම්පික විවේචකයකු වන මා සිත් තැවුලට පත්වූයේ මේ නිසාය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මූලික වශයෙන් යහපත්, ගුණගරුක මනුෂ්‍යයෙකි. එම නිසාම, දේශපාලන බල අරගලයක් දියත් කර, එය අවසානය කරා ගෙනයෑමට තරම් ප‍්‍රමාණවත් මූලෝපායික හැකියාවක් තමන් සතු බව ප‍්‍රදර්ශනය කිරීමට එතුමාට නොහැකි විය. එපමණක් නොව තම මෙහෙයුම තුළ සිදුකරන්නට එතුමා සූදානම්ව සිටි බව පෙනුණේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වශයෙන් එතුමාට අවසර නැති ඉතාම අවදානම්කාරී කටයුතු වන අගමැති ඉවත් කිරීම, තමන්ට යටත් පහත් කෙනෙකු අගමැති ධුරයට පත්කර ගැනීම, කැබිනට් මණ්ඩලය තමන්ට රිසි පරිදි සංශෝධනය කිරීම සහ එජාපයේ පක්ෂ නායකත්වය වෙනස් කර, තමන් පුද්ගලික වශයෙන් කැමති කෙනෙකු ඒ තනතුරට පත්කිරීමට කටයුතු කිරීම යන මේවාය.

‘එජාපයේ නායකත්වය වෙනස් කිරීම’ යන කරුණ එතරම් සාකච්ඡුාවට භාජනය නොවූවක් නිසා, එහි බැ?රුම්කම ගැන කෙටියෙන් හෝ පෙන්වා දීම වටී.

ජනාධිපතිතුමා අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග දේශපාලන වශයෙනුත්, පුද්ගලික වශයෙනුත් සාතිශය කලකිරීමකට පත්වී සිටින බව පුරවැසියන් වන අපට පෙනේ. එතුමා, වික‍්‍රමසිංහ මහතාට දක්වන්නේ වෛරයක් නොව පිළිකුළක් යැයිද කෙනෙකුට කිව හැකිය. පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපතිතුමා කළ කතාවලත්, එම කතා පවත්වද්දී එතුමාගේ මුහුණේ ප‍්‍රකාශ වූ හැඟීම්වලිනුත් ඒ බව මෙරට පුරවැසියන්ට පෙනිණි. එය මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට එතුමා දක්වන සාධාරණ ප‍්‍රතිචාරයක් බවද පෙනේ. මෙහි ප‍්‍රතිඵලය වී තිබෙන්නේ, වික‍්‍රමසිංහ මහතා සමග ‘එකට වැඩ කිරීමට මට නම් බෑ’ යන නිගමනයට ජනාධිපතිතුමා පැමිණීම බවද මෙරට පුරවැසියෝ දුටුවහ. ඒ නිසාම වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙනුත්, එජාප නායකකමෙනුත් ඉවත්විය යුතුය යන අදහස ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් විවෘතවම ප‍්‍රකාශ විය. ඒ සඳහා ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් නොයෙකුත් පියවර ගැනුණ බවටද කටකතා සහ ඉඟි පැතිරිණ. ලංකාව හෙල්ලූ එම සතියේ දේශපාලන ව්‍යාකූලත්වය තියුණු වීමට මෙම කාරණය ඉතා තදින් බලපෑවේය. මැතිවරණ සමයේදී ජනාධිපතිතුමා පුන පුනා කියූ ‘ඡුන්දයෙන් පසු කඩුව අතට ගැනීමේ’ තර්ජනය සමගද මෙය හොඳට ගැළපිණ.
මෙතැන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය ගැන ඉතා බැ?රුම් සහ අසාමාන්‍ය ප‍්‍රශ්නයක් පැන නගී. එය නම් එක් දේශපාලන පක්ෂයක නායකයෙකු, විශේෂයෙන් ඔහු රාජ්‍ය නායකයාව සිටියදී, තවත් දේශපාලන නායකයෙකු ඉවත් කිරීමට පියවර ගැනීම දේශපාලන වශයෙන් කොතරම් සුදුසු කි‍්‍රයාවක්ද?” යන්නයි. මේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී, එක ඉඟියක් පමණක් රාවය පාඨකයන්ට සැපයීමට මා කැමතිය. එය මෙසේය: ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමවල, බලය සඳහා කොයිතරම් තරග කළත්, දේශපාලන පක්ෂ අතර කරන ගනුදෙනුවල චර්යාව මෙහෙයවන අලිඛිත එකඟතාද තිබේ. ඉන් ප‍්‍රධාන එකක් නම්, වෙනත් පක්ෂවල නායකයන් වෙනස් කිරීමට, දේශපාලන පක්ෂ නායකයන් ක‍්‍රියා නොකිරීමයි. දේශපාලන පොර පිටියේ කොතරම් ගහබැණ ගත්තත්, දේශපාලන පක්ෂ නායකයෝ සාමාන්‍යයෙන් මෙම අලිඛිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මය රකිති.

පෙබ. 11දා පටන් ගත් ලංකාව හෙල්ලූ සතිය ගැන තවත් බොහෝ දේවල් විවරණය කළ හැකිය; විවරණය කළ යුතුය. ඒ, අසාමාන්‍ය දේශපාලන පාඩම් ගණනාවක්ම ඉගෙන ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එහි තිබෙන බැවිනි.