රාවය

පන්තිකාරමයේ පරිගණක භාවිතය රජයේ පාසල් දරුවන්ට අකැපද?

පන්තිකාරමයේ පරිගණක භාවිතය රජයේ පාසල් දරුවන්ට අකැපද?

මෙරට රජයේ පාසල්වල සියලූම උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ගුරුවරුන්ට සංයුක්ත පරිගණක හෙවත් ටැබ්ලට් ලබා දීමට 2017 අයවැයෙන් මුදල් වෙන් කෙරුණා.

ඒ අනුව සිසුන් 175,000ක් සහ ගුරුවරුන් 28,000කට ටැබ්ලට් දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් රජයේ වියදමින් ලබාදීමට නියමිතව තිබුණා.

ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙය විග‍්‍රහ කළේ නවීන විද්‍යුත් අධ්‍යාපනය (e-learning) වෙතට මෙරට සිසුන් යොමු කිරීමේ මුල් පියවර හැටියටයි. කෙමෙන් ඩිජිටල්කරණය වන ලෝකයට අනුගත වෙමින් මුද්‍රිත පෙළපොත් වෙනුවට ඩිජිටල් පාඩම් කිරීමේ ක‍්‍රමවලට අපේ පාසල්ද කෙමෙන් හුරු විය යුතු බව ඔහුගේ අදහස වුණා.

ශ‍්‍රී ලංකාවේ මුල්ම ඩිජිටල් පන්ති කාමරය ලෙස හඳුන්වනු ලැබූ පහසුකමක් 2017 ජනවාරියේ කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ස්මාට් පන්ති කාමරය (cloud smart classroom) ලෙස නම් කළ එයින්, පරිගණක හා ඉන්ටර්නෙට් යොදාගෙන හැම විෂයක්ම ඉගැන්වීම ඉලක්ක කෙරුණා.

එයින් පැහැදිලි වන්නේ මේ ව්‍යායාමය හුදෙක් පරිගණක තාක්ෂණය පාසල් සිසුන්ට ඉගැන්වීම ඉක්මවා ගොස් පරිගණක ආධාරයෙන් සමස්ත විෂය මාලාවම ඉගැන්වීමේ ප‍්‍රයත්නයක ආරම්භය බවයි.

මේ ප‍්‍රවේශය බටහිර රටවල මෙන්ම ජපානය, කොරියාව, මැලේසියාව වැනි ආසියානු රටවලද භාවිත කැරෙනවා. එහිදී ගුරුවරයාගේත් සිසුන්ගේත් උදව්වට එන්නේ පරිගණකයයි. නව දැනුම හා කුසලතා ලබා ගැනීම ඒ හරහා තීව‍්‍ර වනවා.

එහෙත් 2018 පෙබරවාරි 20 වැනිදා බීබීසී සිංහල ඇතුළු මාධ්‍ය ගණනාවක් වාර්තා කළේ උසස් පෙළ ගුරුන්ට හා සිසුන්ට ටැබ්ලට් ලබා දීම තාවකාලිකව නතර කරන බවයි.

එයට හේතුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් බවද කියැවුණා. ‘‘රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක‍්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කළ ප‍්‍රකාශයට කැබිනට් මණ්ඩලයද එකඟ වී තිබේ” යනුවෙන් බීබීසී සිංහල වාර්තා කළා.

එම පුවත් සේවය තව දුරටත් කීවේ මෙයයි: ‘‘මේ අවස්ථාවේදී මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය වී යැයි ඒ පිළිබඳ පැහැදිලි කළ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.”

‘‘පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව මෙවැනි තාක්ෂණික වැඩසටහන්, වයිෆයි (එනම් ජංගම ඉන්ටර්නෙට් සේවා) මිනිසුන්ගේ මූලික ඉල්ලීම් නොවන බව ඇමතිවරුන්ගේ මතය වූ බවද” තවත් අමාත්‍යවරයකු කී බව බීබීසීය වාර්තා කළා.

පළාත් පාලන මැතිවරණයේදී ජාතික රජයේ ප‍්‍රධාන පක්ෂ දෙක පසුබෑමට ලක්වූයේ ඇයිද යන්නට විවිධ විග‍්‍රහයන් තිබෙනවා. එම විවාදයට එළැඹීමට මගේ අදහසක් නැහැ.

එහෙත් ජාතික මට්ටමේ ප‍්‍රතිපත්ති හා මහජන මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම් ආදිය මේ මැතිවරණ ප‍්‍රතිඵල නිසා කඩිමුඩියේ වෙනස් කිරීම නම් නුවණැති ක‍්‍රියාවක් නොවෙයි.

සමාජයක කෙටි කාලීන අපේක්ෂාවන් හා මූලික අවශ්‍යතාවන් සම්පාදනය කරන අතරම දිගු කාලීනව රටට වැදගත් ක්ෂේත‍්‍රයන්හි වර්ධනයට මහජන මුදල් ආයෝජනය කිරීම රජයක වගකීමයි.

අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට වැය කරන මහජන මුදල් රටේ සමාජ සංවර්ධනයට මෙන්ම ආර්ථික දියුණුවටත් දායක වනවා. මේ බව නිදහසින් පසු හැම රජයක්ම පිළිගෙන ක‍්‍රියා කොට තිබෙනවා. අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවාවලට ඉහළ ප‍්‍රතිපාදන වෙන් කිරීම යුද්ධය පවතින සමයේදී පවා පවත්වා ගනු ලැබුවා.

2014දී රුපියල් මිලියන් 50,563ක් අධ්‍යාපනය සඳහා රාජ්‍ය මුදල් වෙන් කරන ලද අතර 2015දී එය රු. මිලියන් 55,447ක්ද, 2016දී රුපියල් මිලියන් 57,079ක්ද වූ බව මුදල් අමාත්‍යාංශයේ 2016 සඳහා වාර්ෂික වාර්තාව කියනවා.

2018 අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා පමණක් රුපියල් මිලියන් 10,000ක් වෙන් කර තිබෙනවා.

2016දී මෙරට රජයේ පාසල් 10,162ක් තිබුණා. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,143,000ක්ද සමස්ත ගුරුවරුන් ගණන 235,999ක්ද වූවා. (මීට අමතරව පෞද්ගලික පාසල් 105ක තවත් සිසුන් 136,000ක් සිටියා. ජාත්‍යන්තර පාසල් මේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් කොට නැහැ.)

සෑම රජයේ පාසලක්ම එක සමාන පහසුකම්වලින් සමන්විත නොවන බව කවුරුත් දන්නවා. සියලූ පාසල්වලට මූලික පහසුකම් හා ගුරුවරුන් ලබා දීම අධ්‍යාපන සංවර්ධන ඉලක්කයක්. එහෙත් රජයේ පාසල් අතර පවතින විසමතා සියල්ල සමනය කිරීම ලෙහෙසි කාරියක් නොවෙයි.

මීට වසර හයකට පෙර ප‍්‍රකාශිත එක් සොයා ගැනීමක් වූයේ රජයේ පාසල් 1,000ක පමණ කිසිදු වැසිකිළි පහසුකමක් නොතිබි බවයි. එවැනි මූලික අවශ්‍යතා සෑම පාසලකටම ලබා දීම අත්‍යවශ්‍යයි.

එහෙත් රටේ අන්තිම රජයේ පාසල දක්වා මූලික පහසුකම් සියල්ල සපයා දෙන තුරු සෙසු පාසල් කිසිවක අධ්‍යාපනයට නවීන තාක්ෂණය යොදා ගැනීම අකැප විය යුතුද?

සැමට එක සේ පහසුකම් දිය නොහැකි නම් කිසිවකුටත් නව තාක්ෂණයක් භාවිත කිරීම අකැප විය යුතුයි යන තර්කය බොළඳ මෙන්ම පසුගාමී එකක්.

ජනාධිපතිවරයා උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ්ලට් ලබා දීම නතර කළේ එයට වඩා වැදගත් අවශ්‍යතා තිබෙනවාය යන පදනම මත නම්, එය දැඩි ලෙස මහජන විවාදයට ලක් කළ යුතුයි. සමස්ත ශිෂ්‍ය පරපුරක් ජීවිත කාලයක් පුරා ළිං මැඩියන් සේ සීමා කළ හැකි තීරණයක් මෙසේ එක් පුද්ගලයකු හෝ ටික දෙනකු විසින් ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට සුදුසු නැහැ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් හෙවත් ICT මෙවලම් ප‍්‍රශස්ත ලෙස ජාතික සංවර්ධනයට යොදා ගන්නේ කෙසේද යන්න විද්වත්ව විග‍්‍රහ කළ වැදගත් ආසියානු කලාපීය වාර්තාවක් 2004දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ප‍්‍රකාශයට පත් කළා. Promoting ICTs for Human Development in Asia නම් වූ එයට පෙරවදන ලියුවේ ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්. ඔහු එහිදී කළ විග‍්‍රහයේ කොටසක් සිංහල අනුවාදයක් ලෙස මා මෙහි උපුටා දක්වන්නට කැමතියි.

‘‘1983 ලෝක දුරස්ථ සන්නිවේදන වර්ෂය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්නට මට අවස්ථාවක් ලැබුණා. එවකට තවමත් මතු වෙමින් පැවති නව සන්නිවේදන තාක්ෂණයන් හා පරිගණක තාක්ෂණයන් මානව සංවර්ධනයට යොදා ගත හැක්කේ කෙසේද යන්න ගැන ලෝකයේ රටවල ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට යම් උපදෙස් සමුදායක් දීමට මට හැකි වුණා.

‘‘1990 දශකයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයන් දියුණු වූයේත්, ප‍්‍රචලිත වූයේ්ත් අප බලාපොරොත්තු නොවූ තරම් ශීඝ‍්‍රයෙන්. ජංගම දුරකතන සේවා පැතිර යාම සමඟ නිවසකට එක් දුරකතනයක් ලබාගැනීමට සීමා නොවී බොහෝ වැඩිහිටියන්ට පෞද්ගලිකව ජංගම දුරකතන හිමිකාරිත්වය සැබෑවක් වුණා. 2000 දශකය එළඹෙන විට ලෝකය සිටියේ ඉතිහාසයේ වෙන කවරදාකවත් නොතිබූ තරම් සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විප්ලවයක් අත්විඳිමින්.

‘‘එහෙත් මේ සන්නිවේදන විප්ලවයේ ප‍්‍රතිලාභ ඇති නැති සැමට එක සේ ලැබී නැති වීම විශාල විසමතාවක්. අප හමුවේ දැන් (2004) තිබෙන අභියෝගය නම් ඩිජිටල් ඇති නැති පරතරය අඩු කිරීමට තාක්ෂණය, ප‍්‍රතිපත්ති හා වෙළෙඳපොළ ප‍්‍රවාහයන් ප‍්‍රශස්ත ලෙස හැසිරවීමයි.

‘‘මෙම අභියෝගයට රජයක් හා සමාජයක් ලෙස මුහුණ දීමේදී හුදෙක් තාක්ෂණ මෙවලම් හෙවත් ‘ගැජට්’වලට වශී නොවී පුළුල් චිත‍්‍රය (big picture) සිහි තබා ගෙන ක‍්‍රියා කළ යුතුයි. ගැජට්වලින් ප‍්‍රයෝජන රැුසක් ගත හැකි බව ඇත්තයි. එහෙත් ඒවා සමාජ අවශ්‍යතා සපුරාලීමටත්, ගැටලූ විසඳීමටත් නිසි ලෙස යොදා ගත යුතුයි.

‘‘ගැජට්වලින් සියලූ ප‍්‍රශ්න විසඳිය හැකි යයි යමකු සිතනවා නම් එය බරපතළ මුලාවක්. සන්නිවේදන විප්ලවය හමුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් කළ යුත්තේ රටක හා සමාජයක සංවර්ධන අවශ්‍යතා හරිහැටි අවබෝධ කර ගෙන, ඒවාට ක‍්‍රමීය වූත්, දිගුකාලීන වූත් ප‍්‍රතිචාර දැක්වීමයි. එහිදී ආයතනික විසදුම්, මානව සම්පත් වැනි වෙනත් සාධක අතර තාක්ෂණයටද කළ හැකි බොහෝ දේ තිබෙනවා.

‘‘පරිගණක පන්ති කාමරයට ගෙන ආ යුතු ද – එසේ නම් එය කෙසේ කළ යුතුද යන්න ගැන ලොකු විවාදයක් ලොව පුරාම තිබෙනවා. ගුරුවරුන් වෙනුවට නොව ගුරුවරයාගේ කාර්යය වඩාත් පහසු කිරීමටත්, ඉගෙනීමේ නිම්වළලූ පුළුල් කිරීමටත් පරිගණක නිර්මාණශීලීව යොදා ගත හැකියි. එහෙත් එය සිදු කළ යුත්තේ කාලානුරූපීව හා යථාර්ථයට අනුගත වන පරිදියි.

‘‘ශ‍්‍රී ලංකාව වැනි තවමත් දියුණු වෙමින් පවතින රටක සෑම පාසලකම සෑම පන්ති කාමරයකම පරිගණකයක් හඳුන්වා දීම පරමාදර්ශී ඉලක්කයක් වුවද එයට පෙර සපුරා ගත යුතු මූලික අවශ්‍යතා තිබෙනවා. බිත්ති හා වහලය හරිහැටි නොමැති, ගරා වැටුණු පාසල් ගොඩනැගිල්ලක නවීන පන්නයේ පරිගණකයක් තිබීමෙන් එතරම් වැඩක් නැහැ. පරිගණකයට පෙර පාසලේ ගොඩනැගිලි හා අනෙක් මූලික පහසුකම් ලබා දිය යුතුයි. හරිහැටි ගුරුවරුන් සිටිය යුතුයි.

‘‘හොඳ ගුරුවරුන් යනු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අගනාම සම්පත බව කිසි විටෙක අමතක නොකරමු. ලෝකයේ ඉසුරුබර රටවලත්, සෙසු රටවලත් බොහෝ විට ගුරුවරුන්ට ලැබෙන්නේ සාපේක්ෂව අඩු වැටුපක්. සමාජය ඔවුන් අගය කරනවාද අඩුයි.

‘‘මේ නිසා ගැජට් මානසිකත්වයට නතු නොවී ක‍්‍රමීය මට්ටමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත‍්‍රය දෙස අප නෙත් යොමු කළ යුතුයි. දක්ෂ හා වෘත්තියට කැප වූ ගුරුවරුන් මීට වඩා අගය කරමින් ඔවුන්ට වැඩිදුර පුහුණුව, දිරිගැන්වීම් හා සම්පත් ලබා දිය යුතුයි. පන්ති කාමරයට පරිගණක හෝ වෙනත් තාක්ෂණ මෙවලම් සැපයීමට පෙර භෞතික යටිතල පහසුකම් තිබේද හා ගුරුවරුන් ඇති පමණ සිටීද යන්න තක්සේරු කළ යුතුයි. එසේම ප‍්‍රාග්ධන ආයෝජන මට්ටමින් පාසල්වලට ලබා දෙන ඉගැන්වීමේ මෙවලම්, ඉනික්බිති හරිහැටි භාවිත කිරීමටත්, නඩත්තු කිරීමටත් පුනරාවර්තන වියදම් ලබා දීම අතිශයින් වැදගත්.

‘‘පරිගණක හා ඒවා ක‍්‍රියාකරවීමට අවශ්‍ය මෘදුකාංග ලැබුණද ඒවා ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධ කිරීමට යන (සාපේක්ෂව සුළු) වියදම දරා ගත නොහැකි වූ ශ‍්‍රී ලාංකික පාසල් ගැන මා දන්නවා. පරිගණක පන්ති කාමරයට ගෙන ආවාට පමණක් මදි. ඒවා නිතිපතා ඵලදායීව හා උද්‍යෝගිමත්ව භාවිතයට ගුරුවරුන්ට හා සිසුන්ට නිසි වාතාවරණයක්ද තිබිය යුතුයි.

‘‘ICT විවිධාකාර සංවර්ධන අවශ්‍යතා සඳහා යොදා ගන්නා විට, ICT මෙවලම්වලින් ගැටලූ විසඳන විට අලූතින් ප‍්‍රශ්න බිහි නොවිය යුතුයි.

‘‘ICT තාක්ෂණය මානව සංහතියට නව මෙවලම් සමුදායක් ලබා දී තිබෙනවා. ජීවිත බේරන්නට, ජීවිකා දියුණු කරන්නට, දැනුම ජනනයට හා බෙදා ගැනීමට මෙන්ම වෙනත් බොහෝ අංශයන්ගෙන් සමාජ සංවර්ධනය කිරීමට මේ මෙවලම් නැණවත්ව හා නිර්මාණශීලීව යොදා ගැනීම අපේ බැ?රුම් වගකීමයි.” (අනුවාදය අවසන්)

ආතර් සී. ක්ලාක් 2004දී දැක්වූ එම අදහස් අදටත් අදාළයි. ඔහු ජීවිත කාලය පුරා අපට ඔවදන් දුන්නේ තාක්ෂණයට වහලකු නොවී තාක්ෂණය මෙවලමක් හා සේවකයකු ලෙස පරිහරණය කිරීමේ ක‍්‍රමවේද ගැනයි.

තාක්ෂණයට වශී නොවන්න යයි කියන අතරම තාක්ෂණය අලූත් නිසා හෝ නුහුරු නිසා හෝ විදෙස් සම්භවයක් ඇති නිසා හෝ ගෙඩි පිටින් ඉවත නොදමන්න යැයි ද ඔහු කියා සිටියා.

නව තාක්ෂණයන් සමාජගත වීම පිළිබඳව පොදුවේ ඔහු දුන් කෙටි උපදෙසක් වූයේ

‘Exploit the inevitable!’ යන්නයි. ‘කොහොමටත් සිදුවන, අප කැමති වූවත් නැතත් ඉදිරියට යන තාක්ෂණ ප‍්‍රවාහයන්ගෙන් අපට අවශ්‍ය විදියට වැඩ ගන්න’ ලෙස එය අනුවාදය කළ හැකියි.
සම්පූර්ණ 2004 UNDP  වාර්තාව මෙතැනින් : http://hdr.undp.org/en/content/regional-human-development-report